Tuesday, October 23, 2012

අවුල් වන්නට පෙර (12)….හංවැල්ලේ සීයා…..

මම දැන් පදිංචිව සිටින්නේ මගේ තුන්වැනි නවාතැන්පල වූ ඉහල හංවැල්ල, පහත්ගම සීයාගේ ගමේ ගෙදරය. මේ ප්‍රදේශයද එවකට ඉහල තල්දූව තරමටම ග්‍රාමීය ප්‍රදේශයක්ය. කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට යන හයිලෙවල් පාරේ කළු අග්ගලට මෙහායින් පහත්ගම හංදිය පිහිටා ඇත. මෙතැන තිබූ විශාලතම ගොඩනැගිල්ල ඉහල හංවැල්ල විවිධ සේවා සමුපකාර සමිතියට අයත්ය. විශාල බිම් කඩක පිහිටා තිබු මෙතැනින්, ඒ හා අවට ගම් දනව් රාශියක සමූපකාර සිල්ලර ශාඛාවන්ට තොග නිකුත්  කලේය. එකලද මෙම ආයතනය සතුව විශාල ලොරි කිහිපයක් තිබූ අතර , මේ ආයතනයෙ ඉදිරි කටයුතු සඳහා තාත්තාද විශාල මෙහෙවරක් ඉටු කෙරූ බව මම අසා ඇත්තෙමි.
එහි ඉදිරිපසින්ම පිහිටා තිබුනේ ඉතා ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයකු පවත්වාගෙන ගිය මහකඩේ යැයි හැඳින්වූ විශාල තොග සහ සිල්ලර ආයතනයය. ලුනු, ගොරක හාල් සිට රෙදිපිළි, බයිසිකල් ආම්පන්න සහ රබර් ඇසිඩ් දක්වා සියළුම දේ ගම්මුන් මිලදී ගත්තේ මෙතැනින්ය. ගමේ ප්‍රධාණ ආදායම් මාර්ගය වූ රබර් සීට්, ඔට්ටපාල් සහ රබර් ඇට ආදී සියළුම ද්‍රව්‍යයන් තොග සහ සිල්ලරට මිලදී ගත්තේ මහකඩේ මුදලාලීය. තවත් කඩ කිහිපයක්, තැපැල් කන්තෝරුව, පොලීසිය, පිරවුම් හලද ඒ අවටය. මහාචාර්ය්‍ය අමරා රණතුංග (කස්තුරි ආරච්චි ) එවකට පදිංචිව සිටියේත්, එකම සිනමාහල වූ නිමාලිය තිබුනේත් මහ පාරට අද්දරවය.
හංවැල්ල දෙසට ගමන් කරනා කුඩා තාර පාරද ඊටත් එහායින් කැළනි ගඟත් කඩුවෙල හරහා කොළඹ දෙසට දිවයන පරණ පාර හෙවත් ලෝ ලෙවල් පාරත් විය. ඉහල හංවැල්ල පොලිසීයටත් තුන්නාන ගම්මානයට  අතර මැදින් හයිලෙවල් පාරින් පල්ලමට බැස වෙල් යාය මැදින් ,පුරාණ රජ මහා විහාරය පසුකල විට හමුවන්නේ සීයා පදිංචිවී සිටි ප්‍රදේශයයි. සීයාගේ මුල්ම ගම් පලාත වැලිවේරිය, ඉඹුල්ගොඩ ප්‍රදේශයයි. සීයා විවාහවූ රෝසා ආච්චිගේ මහගෙදර වැල්ලවත්ත හැව්ලොක් පාරේය. තාත්තා ඉපදී ඇත්තේ මෙම නිවසේය. දින කිහිපයකට පසු ඇය මියගොස් ඇති නිසා පසුව හංවැල්ලේ පදිංචියට පැමිණ ඇත. මෙම විශාල නිවසද ඉන් බොහෝ කාලයකට පසු සීයාටද හොරෙන් අපේ තාත්තා විකුණා දමා ඇත.
තාත්තා ඉපදී දින කිහිපයකට පසුව ඔහුගේ වැදූ මව වූ රෝසා ආච්චී මිය ගොසින්ය. අහල ගම් හතේවත් එවැනි රූමත් ගැහැණියක් නොවූ බව වැඩිහිටියෝ පවසති. එය එසේ විය හැකියයි තාත්තාගේ රුවෙන් හිතාගත හැක. ඇය මියගියේ යකා ගැසීමෙන් යැයි පැරැණි උදවිය කතා වුවත් යකා මොකාදැයි කවුරුත් නොදණී. රෝසාච්චි මියයෑමෙන් පසු සීයා තම පුතු හදාවඩා ගැණීම සඳහා ලිලි ආච්චි නම් තවත් රූමත් අහිංසක ගැහැණියක් පහත්ගමින් ආවාහ කර ගත්තේය. ඒ තාත්තාගේ හැදූ මවය. තාත්තා ඇයගෙන් කිරි උරා බිවු බවත් කියයි. ඔවුන් දෙදෙනා ගහට පොත්ත මෙන් තද බැඳීමක් විය. මේ වැදූ මව නොවන බව ඔහු පසුව දැණගෙන තිබේ. නමුත් ඒ ආදරය කිසිදා වෙනස් වූවේ නැත. ඇයගෙන් නොකඩවා ආදරය ලබන්නට මමද වාසනාවන්ත වුනෙමි. ඇයගේ මව බබානෝනා හෙවත් බබාච්චිය. මට ඇය ගැනද ඇත්තේ ඉතා හොඳ මතකයක්ය. පසුව සීයාට දාව ලිලිආච්චි දරුවන් දෙදෙනෙකු වැදුවාය. ඒ අපේ නැන්දලාය. මේ දෙදෙනාටත් වඩා ලිලිආච්චි සහ බබාච්චීගේ හුරතලය වී ඇත්තේ අපේ තාත්තා බව බොහෝ අය දණී.
මම සීයාගේ ගෙදර සිට පාසැල් යන කාලයේදී තාත්තා මාසයකට වතාවක් වත් ගමට පැමිණේ. ඒ තනිවමය. තාත්තාත් ගමේ යහළුවනුත් ආපහු දකින්නට ලැබෙන්නේ අඳුර වැටුනාත් පසුවය. ඒ වනවිටත් ආච්චී හුළු අත්තකුත් පත්තු කරගෙන ගමවටේ යන්නේ තාත්තා හොයන්නටය. ඔබ පුදුම නොවන්න. ඒ සීයාගෙන් ගුටි ලැබෙයි කියා බයටය. හංවැල්ලේ සීයාට නම් අපේ තාත්තාව අරහංය. එසේ වෙන්නට හේතු බොහෝය.සීයාගෙන් තාත්තා ගුටිකන අවස්තා කිහිප විටක් මම නරඹා ඇත. බීමත්ව සිටිනා තාත්තාට පහරදෙන සීයා වටපිට බලන්නේ මහත් ආඩම්බරයෙන් මෙනි. ඒ හරියට “මූ තාමත් මට බය පක්ෂපාති යැයි” අන් අයටද දැණ ගැනීම පිනිස විය යුතුය. බේර ගන්නේ ලිලි ආච්චී සහ ඇගේ මව වූ බබාච්චීය. සීයාගෙන් ගුටිකන තාත්තා නිදාගන්නේ ලිලි ආච්චී තුරුලට වීය. මේවා ප්‍රබන්ධ නොව මා ඇසින් දුටු දෙවල්ය.
පසුවදා කිසිවක් නොවූ පරිදී තාත්තා ගෙදර යාමට  සූදානම් වේ. ලිලි ආච්චීද බබාච්චීද මොහුව හුරතල් කරන්නේ පොඩි එකෙකු හා පරිද්දෙනි. බබාච්චී තාත්තාගේ හිසද පීරයි. රබර් සීට් විකුනා ලැබෙන මුදල් බබාච්චී සතුව ඇති හෙයින් එයින් කොටසක්ද තාත්තාට දෙන්නේ කාටත් හොරෙන්ය. මේ අතරතුර ලිලී ආච්චී සීයාට කියන්නේ කොලුවා යන්න හදනවා ඇවිත් කතා කරන්නට කියාය. මට බේබද්දෝ සමග කතාවක් නැතැයි කියන සීයාගේ උදෑසන දේශණයට පෙර තාත්තා ඔහුගේ සුපුරුදු දුක්ගැනවිල්ල පටන් ගනී. ඉපදී දවස් කිහිපයකින් අම්මා මියගිය බවත්, මට දැන් අම්මාත් නැත තාත්තාත් නැත කියා බොරු කඳුළු සලන්නේ, ලිලි ආච්චී දෙස හැරී සිනහ වෙමින්ය. මොහොතින් සීයා පැමිණ  තවත් කීයක් හෝ අතමිට මොලවා තාත්තාට සමුදේ. ඒ මොනවා වුනත් නොදුටු අම්මා ගැන ඔහු නිතරම ආච්චී සමග බොහෝ දේ කතා කර ඇති බව මට ඇය කියා ඇත.
බබාච්චීගේ ලොඹු කට තවත් ලොඹු කරමින් කියන්නේ, ඕකා පොඩි කාලේ සිටම දඟයා බවත් උගේ හිත රිදවීම නාකයි බවත්ය. ඇය නාකයි කියන්නේ නරකයි කියන එකටය. ඔවුන් කියනා හැටියට නම් සීයාට අපේ තාත්තාව එපා වීමට මූලික හේතුව වැල්ලවත්තේ නිවස හොරෙන් විකුණා දැමීමය. ඔහුගේ මියගිය අම්මාගේ නමින් තිබු නිවසක් කොහොම විකිණුවාදැයි මම කිසිදා අසා නැත. අනිත් කාරණය නම් තාත්තා විවාහවී ඇත්තේද කිසිවෙකුටත් නොදන්වා බැවින්ය. සීයා විසින් ගෙන එන කිසිම මංගල යෝජනාවක් බැහැයි නොකියා බාරගන්නා බවත් ,මනාලියන් බැලීමට යාම සඳහා සීයාත් ආච්චීටත් අමතරව ගමේ යහළුවන් තුන් හතර දෙනෙක් ලෑස්ති කර ගැනීම අනිවාර්ය්‍ය සිරිතක් බවත් තාත්තාගේ ආච්චී වූ බබාච්චී මට කියා ඇත. එම ගෙවල්වලට ගොස් යහළුවන් සමග ඇති පදම් සංග්‍රහ භුක්ති විඳ ගෙදර පැමින, සීයාට කෙල්ලගේ ඇදයක් කුදයක් පෙන්නන තාත්තා, ඒ වන විටත් ඔහුගේ දැඩි ප්‍රේම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස අම්මාව විවාහකර ගෙන සිටි බව දැණගෙන සිට ඇත්තේ ලඟම මිත්‍රයින් පමණය. ඔවුන්ගේ මංගල ඡායාරූපයක් නැත. ඔහු ඒවා සත පහකට ගනන් ගන්නේ නැත. මේ කරුණු කාරනා නිසා සීයා, අපේ අම්මා හෝ අපේ අම්මාගේ පවුලේ අය සමග බොහෝ කාලයක් යනතෙක් ඇයි හොඳැයියක් පැවැත්වූවේද නැත. අපේ අම්මාද සීයා ගැන පැවතියේ තාත්තාගේ තාත්තා නිසා ආශ්‍රය කරනවා යන ආකල්පයය. එය වැරදි නැත. ඔහු අම්මාට වෙනස්කම් කර ඇත.
සීයා වැල්ලවත්තෙන් හංවැල්ලේ පදිංචියට පැමින ඇත්තේ ඔහුගේ දෙවැනි විවාහයෙන් පසුවය. මේ ලිලි ආච්චීගේ ගමය. තාත්තා එවකටත් කිරිබොන වයසේ පොඩි එකා යැයි ආච්චී කියයි. සීයා රජයේ දුම් රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයෙක්ය. මේ ගම් පලාතේ බොහෝ අයගේ ආදායම් මාර්ගය රබර් වගාවය. රජයේ සේවයේ සිටි අය ඇත්නම් අතලොස්සකි. සමහරුන් ස්වර්ණාභරන නිශ්පාදනය කල අයය. තාත්තා මෙන්ම එම වයසේ බොහෝ අය දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයින් විය. ගම්මැද්දේ විශාල වොලිබෝල් පිට්ටනියක් විය. හැන්දෑවට වොලිබෝල් ක්‍රීඩා කිරීමත් රාත්‍රියට කැරම් ගැසීමත් ,ඕමි ගැසීමත් මොවුන්ගේ ප්‍රධාණ විනෝදාංශය විය. සමස්ථ ලංකා මට්ටමින් ක්‍රීඩාකල වොලිබෝල් කංඩායමක් සෑදීමට පුරෝගාමි මෙහෙවරක් කලේ තාත්තා බව ගම්මු කියති. ඒ කාලයේ ශ්‍රී ලංකාවත්, ලංගමයත් නියෝජනය කල එල්.ඒ.ඩී. ප්‍රේමරත්න ඉන් එක් අයෙකි. රක්ෂණ සංස්ථාවේ සිටි දක්ෂතම කැරම් ක්‍රීඩකයෙකුවූ තාත්තා ගමටද කැරම් ගෙන ආ බව දන්නෝ දනිති.
ඉහල හංවැල්ල ග්‍රාමයේ අවමංගල්‍යාධාර සමිතිය, ප්‍රජා මංඩලය ඇතුළු බොහෝ සමාජ ක්‍රියාකාරකම්වල මුල් පුරුක දයාරත්න අයියා නොහොත් රත්නේ අයියා වූ අපේ තාත්තාය. වරක් ඔහුගේ තනි වියදමින් ප්‍රසිද්ධ අවුරුදු උත්සවයක් පවත්වා ඇත. එහි රූප රැජිණිය වූ සොමිලතා නම් තැනත්තිය එයින් පසු විවාහ කරගෙන ඇත්තේ අපේ අම්මාගේ මල්ලීය. ඔය අපේ තාත්තාගේ වැඩය. ඕවාට වියදම් කරන්නට ඇත්තේ අර ඉඩම් විකුණූ මුදල් විය යුතුය.
සීයාද සමාජ සේවයට කැමැත්තක් දැක්වූ අයෙක් විය. නමුත් මොහු තාත්තා මෙන් නොව පුරාජේරුවට කැමැත්තෙක් විය. මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ ඉංග්‍රීසියෙන් පුතා ඉගෙනගත් බවත් දැන් මුණුබුරා රෝයල් කොලෙජ් එකේ බවත් කියන්නේ දෑස් ලොකුකර වටපිට බලමින්ය. තාත්තාට මෙන්ම මටද මෙය ඉතා අපහසු තත්වයක් විය. සීයා මත්පැනට සහ දුම්පානයට තදින්ම විරුද්ධ කෙනෙක් විය. ඔහුගේ එකම පුතා නම් මේ දෙවර්ගයටම තදින් ලොල් විය. එවකට සීයාගේ වයසේ අය දුම්පානය කරනවා මම කවදාවත් දැක නැත. ඒ අය බොහෝමයක්ම බුලත්විටි හැපීමට නම් පුදුම ගිජුකමක් දැක්විය. සිගරට්, බීඩි භාවිතය තිබුනේ පසු පරම්පරාවෙ උන් අතරය.
හැන්දෑ වරුවට ගෙදරට පැමිනෙන මිණිසුන් වටකරගෙන බුලත් හපමින් වරු ගනන් කතාබහේ යෙදීම සීයාගේ සිරිතය. දවල් වරුවේ එලවළු කොරටුව සුද්ධ කිරීමත්, හරක් බැඳීමත්, කුකුලන්ට කෑම දැමීමත් හැර වෙන රාජකාරියක් නැත. සීයාගේ කතා අසා සිටීම ඉතා නීරස කටයුත්තක් බව ගමම දණී. අපේ තාත්තා මංගල්‍ය, අවමංගල්‍ය කටයුතුවලදී අනිවාර්ය්‍ය කථිකයෙක් විය. ඔහුගේ කතා ඇසීමට මිණිසුන් කැමතිය. මල ගෙදරකදී ඉතාමත් හැඟීම්බර කෙටි කතාවක් පවත්වා මිණිසුන් හැඬවීමට සමත් මොහු මගුල් උත්සවයකදී නම් ශෘංඝාරය මුසු කතාවක් පවත්වා වැඩිහිටියන්වද, තරුණියන්වද කුල්මත් කරවයි. ශෘංඝාරය වුවත් පාලනයකින් හසුරුවා කතා කිරීමට මොහු දක්ෂයෙක් විය.
සීයා වාඩිවී කතා කරන්නේ පරණ දේශපාලන සිද්ධීන්ය. තදබල ශ්‍රීලංකා කාරයෙකි. සීජීආර් එකේ යූනියන් කාරයෙකි. කතා කිරීමේදී තදින් ඇස් පියාගෙන කතා කිරීම සීයාගේ පුරුද්දය. විනාඩි දෙක තුනකට වරක් ඇස් ඇර බලන්නේ ආඩම්බරයෙන්ය. තාත්තා ගමට ඇවිත් සිටින දිනයක නම් යහළුවන්ට මේවා අසා සිටීමට උනන්දුවක් නැත. නැගිට යාමටත් බැරිය. සීයා කතාවේ ඊලඟ කොටස පටන් ගැනීමට ඇස් වැසූ සැණින් ,සද්දයක් නැතිව නැගිටින තාත්තා ලඟින්ම ඉන්නා කෙනෙකුට ඇඟිල්ලෙන් ඇන හොරෙන්ම පිටව යයි. සීයාගේ කතාව අවසන් වෙනවිට එකා දෙකා සීයාටත් හොරෙන් නැගිට ගොස් අවසන්ය. සීයා ඇස් ඇර බැලූවිට ඉතිරිව ඇත්තේ මමත් නැන්දලා දෙදෙනාත් අසල්වැසි කුඩාවුන් කිහිප දෙනෙක් පමණය. මේ ඔක්කොටම මුල අපේ තාත්තා යැයි දොස් පවරන සීයා කතාව අවසන් කරයි. තාත්තා රෑ බෝවී ආපසු එන්නේ මිතුරන් හා සප්පායම් වීමෙන් පසුවය. අපේ අම්මා නම් කියන්නේ, පඩික්කම් පුරෝ පුරෝ ඔය දොඩවන මාගල් අහන්න මිණිස්සුන්ට පිස්සුද කියාය.
සීයා බුලත් කෑමේ ඇති විශේෂත්වය නම් දුම්කොල කෙරෙහී දක්වන පුදුම උනන්දුවය. මිලදී ගන්නේ ඉස්තරම් වර්ගයේ රට දුම්කොල යැයි කියන ජාතියය. මේවා සිංහල දුම්කොල යැයි කිවු වර්ගයට වඩා වෙනස්ය. පැහැයෙනුත් තදය. හංවැල්ලේ පොලේ සහ පාදුක්ක පොලේ සීයා හඳුණන දුම්කොල වෙලෙන්දෝ වූහ. මේ දුම්කොල ඉතා මැනවින් අතපතගා එහෙට මෙහෙට පද්දමින්, පැයක් වැනි කාලයක් තුල මෙය ගැහැණුන් කොන්ඩය ගැටගසනවා මෙන් ඉතා තදට ගැට ගැට සිටිනසේ ඉතා කුඩා ලනු කැරැල්ලක් සේ හැඩයකට ගොතා ගනී. එම දුම්කොලය සප්පායම් වීමට වෙන කිසිවෙකුට ඉඩ නැත. රසය, පැහැය සහ තෙතමනය රැක ගැනීම සඳහා මෙම කටයුත්ත කරන බව පසුව දැණගතිමි. අනිත් අයගේ දුම්කොල, වේලිච්ච ගස්ලබු කොල වැනි යැයි සීයා කියන්නේ පන්ඩිත සිනහවක්ද ආරුඪ කරගෙනය.
සීයාට අණ්ඩවාතය නම් රෝගය නිසා මහා විශාල ලබ්බක් විය. වත්තේ වැඩ කරන්නේත්, හරක් බලන්නේත් අමුඩය පිටින්ය. එවිට මෙම ලබු රාජයා මනාව දැක බලා ගත හැකිය. මොහු එය වසන් කරන්නේ නැත. තාත්තාගේ මිතුරන් නම් කියන්නේ සීයා ඔච්චර දුම්කොල තෝරන්නේ ලබ්බට බැඳීමට බවය. ලබ්බට දුම්කොල බඳිනවා යැයි කතාවක් ඇත. අම්මාට සීයා සමග ඇති අමනාපය පිටකරන්නේ තමුසෙලාගේ තාත්තා නම් අති පන්ඩිත ලබ්බෙක් කියාය. තාත්තාද බක බක ගගා සිනහාවෙනවා මිස කිසි අමනාපයක් නැත. අපේ අම්මා ලිලී ආච්චීට දැක්වූයේ පුදුමාකාර සෙනෙහසකි. ඒ අපේ තාත්තාව අම්මෙකුත් නැතුව හදා වඩා ගත් නිසාම බව අම්මා කියයි.

Friday, October 5, 2012

අවුල් වන්නට පෙර..(9)….ලොකු අම්මා……

   මගේ ජීවිතය යනු කුඩා පොතක් නම්, එහි මුල් කවරය අම්මාය. එය සදාකල් ඇයට හිමි ස්ථානයමය. නිමක් නොමැති සාගරය මැද, රුවල් බිඳී ගිය නෞකාවක්, නියමුවාටද නොදැණීම ගල් පරවල හසුවී විනාශවෙන්නට ගිය මොහොතක, ඇය සුක්කානම තම දෑතට තද කර අල්ලා වෙරල කරා රැගෙන ආවාය. චණ්ඩ මාරුතයද, නොහික්මුනු ජල කඳද, අව්වද වැස්සද, මේ සියල්ලම උපේක්ෂාවෙන් ඉවසා දරා අප සියල්ලන්ම නිරුපද්‍රිතව ගොඩබිම කරා රැගෙන ආවේ අපේ අම්මාය.
   මම මෙතෙක් ඇය ගැන වැඩි දෙයක් ලියා නොමැත.හිත තුල තෙරපි තෙරපී, කැකෑරි කැකෑරී තිබෙන ඒ සෙනෙහස, ආදරය, ගෞරවය සහ වේදනාව තව තවත් පිරී ඉතිරී වාන් දමනා තෙක් මම ඇය ගැන දැනට නොලියමි. එය අකුරු කරවිය යුත්තේ තව දුරටත් තෙරපා තබා ගත නොහැකිවූ විටකදීය. ඇය මට පමනක් නොව අප සණුහරේටම ආලෝකය දුන් පූර්ණ චන්ද්‍රයාය.
   මගේ ජීවිත පොතේ ලියවී ඇති සෑම වචණයකම හරය, සත්‍යය සහ ඇමුණුම මගේ ආදරණීය බිරිඳ අරකීය. අරකී නොවුයේ නම්, මේ පොතේ ඉතිරිවන්නට තිබුනේ හිස් කඩදාසි පමණය. මම ඇය ගැනත් පසුව ලියන්නෙමි. ඉරා දැමිය නොහැකි පිටු ඇත්නම් ඒ සියල්ලකගේම හිමිකාරියන් වන්නේ ගැහැණුන්ය. අම්මා, ආච්චි, ඉන්ද්‍රක්කා, ලොකු අම්මා, අරකී,අරකීගේ ආදරණීය අම්මා (සෝමා ඇන්ටී මගේ ජීවිතයේ අනිත් අම්මාය) සහ අපේ දියණිය මින් ප්‍රධාණය. තාත්තා මගේ කතා පොතේ පිටුපස කවරය පමණය. ඔහුගෙන් අප ලද්දේ යහපත් ගතිගුණ පමණි. අන් සියල්ලක්ගේම හිමිකාරිය අම්මාය. ඒ  මිල කල නොහැකි මැණික අම්මාය.
   අම්මාගේ පවුලේ වැඩිමහලා වූ ලොකු අම්මා, මා ඉපදෙන්නටත් පෙර සිටම විවාහවී පදිංචිව සිටියේ මිනුවන්ගොඩ, වඩුමුල්ල නම් ග්‍රාමීය ප්‍රදේශයේය. ඉතාමත්ම නිහඬ මිනිසෙක් වූ මහප්පා සේවය කලේ කොළඹ කොටුවේ මහ තැපැල් කන්තෝරුවේ හෙවත් G.P.O. එකේය. ලොකු අම්මාට අයත්ව තිබූ ගංගොඩවිල නිවස කුලියට පවරා ඔවුන් වඩුමුල්ලේ පදිංචිව සිටියේ මහප්පාගේ දෙමව්පියන්ද වතුපිටි ආදියේද සියළුම වගකීම් ඔවුන්ට පැවරී තිබූ නිසා විය යුතුය.
   වඩුමුල්ල, දෙවලපොල කඩ මංඩියේ තිබු පොල් අතු බස් නැවතුමෙන් බැස, එතැනම ඇති කුඩා බොරළු මාරගයේ කෙලවරටම යනවිට මහප්පාගේ පැරණි නිවස හමුවේ. මේ කුඩා මාර්ගය දෙපස තිබුනේ පොඩි පොඩි පොල්වතුත්, කුඹුරු කිහිපයක් සහ විශාල නිවාසය. පොල් වත්තක් මැද තැනූ අලංකාර පල්ලියක්ද විය. මෙහි ගම් වැසියෝ ආර්ථික අතින් අඩුපාඩු ඇති උන් නොවේ යැයි කියන්නේ අවට තිබු සියළුම ගෙවල් දොරවල් ප්‍රමාණයෙන්ද විශාල, පෙනුමෙන්ද නවීන පන්නයේ ඒවා වූ බැවින්ය. ලොකු අම්මලාගේ නිවස පමනක් පෞරාණික පෙණුමෙන් යුත් හාන්සි පුටු, කවිච්චි, පෙට්ටගම් ආදියෙන් සමන්විත ගම්මුළාදෑණියකුගේ ගෙදරක් වගේ යැයි කිව හැකිය. මොවුන් සතු පොල් ඉඩම් සහ කුඹුරුද බොහෝය.
    කුඩා කාලයේදී වසර අවසාන පාසල් නිවාඩුවට මගේ එක් අනිවාර්ය නවාතැන් පොලක් වන්නේ ලොකු අම්මාගේ ගෙදරය. නව වසරේ පාසල් පොත් ලැයිස්තුවේ සෑම අංගයක්ම මා වෙනුවෙන් මේ දෙදෙනා මිලදී ගැනීමද පුරුද්දක් විය. වෙනත් කවුරුන් හෝ එයට සහභාගී වුවහොත් ඔවුන්ගේ අමනාපයටද හේතුවිය. දරුවන් නොසිටී මොවුන් ඉතා නිහඬ ජීවිතයක් ගතකල බව එකලද මට වැටහිනි. ඔවුන් දෙදෙනා නිදා ගත්තේද නිදන කාමර දෙකකය. මට මේවා නුහුරුය.
    ලොකු අම්මාත්, මහප්පාගේ වියපත් දෙමව්පියනුත්, ඔහුගේ මල්ලි කෙනෙකුත් හැර වත්තක් මැද්දට වූ විශාල නිවසේ අන් කිසිවෙක් නොවූ අතර, වතු පිටි වැඩ සහ කුඹුරු වැඩ කිරීමට නම මහප්පාගේ මල්ලීගේ වයසේ තරුණයෙක් වත්තේ කුඩා නිවසක පදිංචිවී සිටියා මතකය. ගොනු බැඳි කරත්තයේ පොල් පටවා, මෝලට රැගෙන යනවිට මොහුගෙන් මටද සංචාරයක් සඳහා ආරාධනා ලැබේ.
    මටද වයස අවුරුදු නවයක් හෝ දහයක් ඉක්මවූ පසු ලොකුඅම්මාගේ පවුලේ පලමුවැන්නා ලෙස පුතෙක් බිහිවිය. ඉන් අවුරුද්දකට හෝ දෙකකට පසු දියණියක්ද ලැබුණාය. මම නැන්දලාගේ ගෙදරින් නික්ම මහගෙදරට පැනයන්නේත්, ලොකුඅම්මා ඇයගේ සිඟිති දියණිය පමනක් සමග අපේ ගෙදරට පැන එන්නේත් මේ කාලයේදිය.
   ගෙදර එකම කාලගෝට්ටියකි. මගේ ප්‍රශ්ණය, ප්‍රශ්ණයක්ම නොවී දිනකට හෝ දෙකකට මාතෘකාවක්ද නොවීය. මට Lady Chatterley’s Lover කෘතියේ චැටර්ලී ආර්යාව සහ උයන්පල්ලා සිහිවන්නේ අපේ ලොකුඅම්මාගේ කතාව නිසාය. ඇය තම කුඩා දියණියද කැටිව අප ගෙදර පැමින ඇත්තේ ඔවුන්ගේ වතු පිටි බලාගත් ,කරත්තය දැක්කූ (ආච්චී තරහ පිට කලේ මේ වචණයෙනි )අර සේවකයා සමගය. සුදු කමිසය සහ සරමින් සැරසුනු මොහු ඉතා කඩවසම් හැඩි දැඩි මිනිසෙක් විය. අපේ තාත්තා තරම් නම් කඩවසම් නැත. මගේ විවාහයෙන් පසු අරකී පවා ඔහුව හැඳින්වූයේ ලයනල් රිචී නමින්ය. කොන්ඩය පීරුවේ එලෙසය. කෙසේ වෙතත් ගෙදරට පැමිනීමට ආච්චී අවසර නුදුන් නිසා ඔහු එවෙලේ කොහේ ගියා දැයි මම නොදණිමි.
   වැඩිහිටියන්ගේ හඬාවැලපීම්ද, පොඩි උන්ගේ හඬා වැටීම් සහ හිනාවන්ද, ඒ අතර තුර ආච්චීගේ බැන වැදීම්ද සියල්ලම අතරින් ගෙදරට ගොඩ වැදුනේ, මගේ ප්‍රශ්ණය විසඳීමට ගොස් සිටි තාත්තාය. ගෙදර වටපිටාව සහමුලින්ම වෙනස් වූයේ තාත්තාගේ නොමසුරු සිනහවත්, මදිපාඩුව පිරිමසා ගැනීමට රැගෙන විත් තිබු කුඩා බෝතලයෙන් වීදුරුවක් දෙකක් කටට හලා ගැනීමෙනුත් පසුවය. දැන් මතුවන්නේ සිනහව මුසු කතාබහය. මම තාත්තාට තවමත් ආදරේ ඔහුගේ ඔය ගතිගුණය  නිසාමය. ඔහු සරළය.
   මේ සුවිශාල අර්බුදය නිරවුල් කරදීම තමාටම පවරාගත් තාත්තා, සියල්ලක්ම සන්සුන් කර සිනහ කතාවලින් පසු කාබී නින්දට වැටුනේ පසුවදා මහප්පා හමුවීමට යායුතු යැයි කියා තීරණය කරමින්ය. පසුවදා අප නිවසට මොරිස් මයිනර් වර්ගයේ කුඩා රථයකින් මහප්පාගේ අයියාත් ඔහුගේ රියදුරාත් පැමිණියේ තර්ජනාංගුලියද ඔසවාගෙනය. බියවැද්දීමට, තර්ජනයට කිසිදිනෙක හිස නොනමන තාත්තා, කටවහගෙන ඉඳගනින් ඩෝ යැයි ඔවුන්ට අණකලේ අවට සිටින්නේ පොඩි එවුන් යැයිද මතක් කර දෙමින්ය. සෝමපාල නම්වූ මහප්පාගේ අයියා, මහප්පා මෙන් සුරා සූදුවෙන් තොර උපාසකයෙකු නොවීය. මොහුද අපේ තාත්තා මෙන් කෑමටද බීමටද රුසියෙකි. මොහු තාත්තා ගැනද හොඳින් දණී. 
     කුඩාවුන් සහ සෝමපාලගේ රියදුරා මෙම කථාබහට සවන්දීම නුසුදුසු යැයි තීරණය කල තාත්තා අපිවද ලෑස්තිකර ඉන්ද්‍රක්කා සමග සෝමපාලගේ වාහනයෙන් අවිස්සාවේල්ල නගරයට පිටත්කර යවා පැයකින් පමන පසු නැවත එන ලෙස දැන්වීය. රියදුරාට කණට කර යමක් පවසා මුදල් දුන්නේ අපට රසකැවිලිද, තාත්තාට අවශ්‍යදේ ගෙන්වා ගැනීමටය.
    ඉන්පසු සියළු සාකච්ඡා, සංග්‍රහවලින් පසු ඔවුන් පිටත්ව ගිය අතර, තාත්තා පසුදිනම මහප්පා හමුවීමට වඩුමුල්ල බලා පිටත්විය. තනිවම නොයන ලෙසටත්, අම්මගේ මල්ලීවද මගින් හමුවන්නටත් යෝජනා වූ නමුත් ඔහුට අවශ්‍ය වූයේ තනිවම යාමටය. තාත්තාගේ සාකච්ඡාවේ ප්‍රතිඵලය වී තිබුනේ මහප්පා නැවත එක්වීමකට තදබල අකැමැත්ත ප්‍රකාශ කිරීම සහ පුතා ඇයගේ භාරයට ලබා නොදීමත්ය. ලොකු අම්මා පැමිණියේ අතදරු දියණිය සමගය. මහප්පා පසුව විවාහයක් කරගෙන ඒ පුතන්ඩියගේ දරුවන් සමග අදටත් සතුටින් ජීවිතය ගත කරනා බව මම දණිමි. මට ඔවුන් හමුවූයේ බොහෝ කාලයකට පමන පසු එක් වරක් පමණි. ලොකුඅම්මා එතැනින් පසු ඔහුව දැක තිබුනේ එකම එක් වරක් උසාවියේදීය. තාත්තා නම් පසු කාලයේදීත් කොළඹ පැමිනිවිට මහප්පා හමුවීමට එකට යනබව මම දන්නෙමි.
    පවුල් ජීවිතය යනු මැනවින් තුලණය කරගත යුතු අති ප්‍රභල සම්බන්ධතාවයකි. අසතුටින් හෝ අසහනයෙන් එය නාමිකව පවත්වා ගෙන යාම මම නම් කිසිවිටෙක අනුමත කරන්නේ නැත. මෙවැනි සිදුවීම් එදාද සිදුවිය. අද බොහෝය. නමුත් සිදුවන ආකාරය ගැන නම් පැහැදීමක් නැත. අසතුටින් එක්ව සිටිනවාට වඩා සතුටින් වෙන්වී යාම වඩා වටී. නමුත් ලොකුඅම්මා වෙන්වී ආ ක්‍රමය තාත්තා කිසිවිටෙකත් අනුමත නොකලේය. ඔහු සැමවිටම පැවසූයේ එය සාකච්ඡාවකින් පසු සිදුවිය යුතු වෙන්වීමක් මිස, කෙනෙකුන් තනිකර පලායෑමක් සිදුනොවිය යුතු බවය. මෙය සත්‍යයකි. මහප්පාගෙන් නොලැබෙන දේ, ඇය තම ප්‍රේමවන්තයාගෙන් ලබාගත්තා විය යුතුය. නමුත් වෙන්වී යෑමේදී මහප්පාට සිදුවූ අසාධාරණය කිසිවිටෙක අමතක කල නොහැකිය.
        මේ සිදුවීම්වලින් පසුවත් කාලයක් යනතුරු ලොකු අම්මගේ හව්හරණයට සිටියේ අප පවුලේ අය පමණය. නමුත් බොහෝ කාලයකට පසුව අනිකුත් නෑදෑයින්ගෙන් තාත්තාට බොහෝ දොස් එල්ලවිය. ඒ මහප්පා හමුවී එදා සාකච්ඡාවට ගිය දින ලොකුඅම්මාගේ වටිනා රන් ආභරණ ඔහුගෙන් රැගෙන නොපැමිණීම නිසාය. මහප්පා ඒ සියළු දේ තාත්තාට බාර දී ඇත. තාත්තාගේ පිලිතුර වී තිබුනේ, මා පැමිනියේ නැවත මේ පවුල එකතු කිරීමට හැකියාවක් ඇත්දැයි විමසා බැලීමට මිස භෞතික සම්පත් එකතු කිරීමකට නොවන බවය. ඔහු අමතක නොකර විමසා බලා රැගෙන ආ එක් දෙයක් විය. ඒ අර සිඟිති දියණියගේ උප්පැන්න සහතිකයය. රන් ආභරණ සම්බන්ධ දෝෂාරෝපණයට තාත්තාගේ කදිම පිලිතුරක් විය. ඒ ඔහුට මුදල් තිබූ දිනෙක ඒවා සාදා දෙන බවටය. හැබැයි තාත්තාට කවදාවත් එතරම් මුදලක් තිබුනේද නැත. අප ජීවිත ගැටගසා ගත්තේත් බොහොම අසීරුවෙන්ය.
     ලොකු අම්මා සහ ඇයගේ ආදරණීය උයන්පල්ලාගේ ජීවිත කතාව සතුටින් සාමයෙන් ඒ දියණියද මුණුබුරන් සමගද ගෙවීයයි. ලොකු අම්මා යමක් කමක් දැණ උගත්තියක්ය. ඔහු අකුරු සාස්තරයක්වත් නොදන්නා ඇල්පින් සිඤ්ඤෝ විය. මේ නම් සැබෑ සොඳුරු ප්‍රේමයමය. ඔහු අපේ ආදරණීය ඇල්පින් බාප්පාය. බාප්පා නොකියා මහප්පා කියන්නට අපගේ දිව හුරු නොවූවේ ඇයිදැයි අදටත් මම නොදණිමි.මණුස්සකමට වඩා කෙනෙකුගේ බලයටත් මුදලටත් ගරු කිරීමේ වෘෂභ සංකල්පය එදා මෙන් අදත් පවතී. අපේ දියණියට ඔහු ආදරණීය සීයාය. ජීවිතය ගැන බොහෝ දේ අපි දියණියට කියා දී ඇත.
මගේ කථාව ලියන්නට ගොස් ලියන්නේ තවත් කථාය. මේවා නොලියා මගේ කථාව සම්පූර්ණ කල නොහැක. මට සමාවෙන්න. ඔබ දිගටම කියවන්න.

Saturday, September 29, 2012

අවුල් වන්නට පෙර(8)….ප්‍රථම නවාතැන

   ප්‍රියයන්ගෙන් වෙන්ව ජීවත් වීමට සිදුව ඇත. කෙසේ හෝ මම දැන් සිටින්නේ ගංගොඩවිල අප සතුව තිබූ නිවසින් ඉඩම් දෙකක් තුනක් මෙහාට වෙන්නට වූ නැන්දලාගේ ගෙදරය. ආනන්ද අයියාගේ කාමරයේම එක් ඇඳක් මට අයිති විය. පොත්පත්ද, ඇඳුම් පැළදුම්ද අම්මා විසින් නිසිලෙස අසුරා තබා පසුවදා උදේ පාසල් බස් රථයටත් ගොඩකර ඔවුන් පිටත්ව ගිය බවක්වත් මට මතකයේ නැත. එක දෙයක්නම් මතකය. ඒ මම නොහැඬු බවය.
    නැන්දලාගේ ගෙදර නියමිත කාලසටහනකට වැඩකරන තැනක්ය. දරුවන් හතර දෙනෙකුන් යුත් ඒ පවුලේ සියල්ලන්ම මට වඩා බොහෝ වැඩිමහල්ය. උසස් පෙළ හදාරමින් සිටියේ පවුලේ බාලයා වූ සර්ධා අක්කාය. වැඩිමහලා වූ බන්ධුල අයියා, නොයෙකුත් නව නිර්මාණයන් අත්හදා බලන්නෙකි. වරක් පිදුරු වලින් කඩදාසී නිශ්පාදනයක්ද, අලවන ගම් වර්ගයක්ද, අයිස් කෝපි, නෙල්ලි යුෂ වැනි දේ බෝතල් කිරීමද වැනි නිමක් නැති වැඩ රාශියක් වත්තේ මඩුවක් තුල සිදුවිය. මේවා සියල්ලක්ම පර්යේෂණ මට්ටමේම අඩාල වු නිශ්පාදනයන්ය. ගෙදර කවුරුවත් මේවාට උදවු නොවන නිසා අකමැත්තෙන් වුවද මට සහභාගි වෙන්නට විය.
   නිතරම පොත පත කියවන මොහු දක්ෂ ගුවන්විදුලි යන්ත්‍ර කාර්මිකයෙක්ද විය. ග්‍රැමෆෝනයක්ද, බොහෝම පැරණි ගී තැටි රාශියක්ද ,රේඩියෝ සඟරාව, සෝවියට් දේශය ඇතුලු බොහෝ පොත්පත් රාශියක් සහිත අල්මාරියක්ද මොහුගේ කාමරයේ විය. ගුවන්විදුලි සංස්ථාව විසින් මාසික සඟරාවක් ලෙස ප්‍රකාශ කෙරුනු රේඩියෝ සඟරාවත්, සෝවියට් දේශයත් මම ඉතා උනන්දුවෙන් කියවීමට පුරුදු වුනෙමි. සෝවියට් දේශය , කඩදාසි සහ මුද්‍රණ තාක්ෂණය අතින් ගත් කල ඉතා ඉහල මට්ටමක පැවතිනි. අද Hello සහ OK වැනි සඟරාවක් හා සමාණය. යම් තරමකට හෝ පොත්පත් කියවීමට මා හුරුවූයේ බන්ධුල අයියාගෙන් යැයි කිව යුතුමය. ඔහු හොඳ පොත පත තෝරාදී කියවන්නට යෝජණා කලත් මා කැමති වූයේ ලී මඩුවේත්, අල්ලපු වතුවලත් කවුරුත් හා එක්ව සෙල්ලම් කිරීමටය.
   පාසැල් ඇරී පැමිණ දහවල් කෑමෙන් පසු සෙල්ලමට සීමිත කාලයක් ලැබුනි. නැන්දලාගේ නිවසේ පලවෙනි කාමරය බුදු කාමරය විය. හැන්දැවේ හය වෙනවිට ඇඟ පත සෝදා පිරිසිඳු ඇඳුමෙන් සැරසී ගෙදර සියල්ලෝම එකට වාඩිවී බුදුන් වැඳීමේ අගනා චාරිත්‍රය සිදුකරන අතර, උදය, දවල්, සවස බුද්ධ පූජාව තැබීමද අනිවාර්ය අංගයක් විය. 1989 දී පවුලේ බාල පුතා වූ ආනන්ද අයියා සම්බන්ධව සිදුවූ කුරිරු සිදුවීමත් නිසා බොහෝ ලෙස මානසික කඩා වැටීමකට ලක් වූ නැන්දා , තමන් සතු සමහරක් දේපලද පන්සල්වලට පූජාකර, ඉන් බොහෝ කලකට පසු මිය පරලොව ගියාය. ඒ සිදුවීම මම පසුව ලියන්නෙමි.
   කාලසටහනකට වැඩ කිරීමත්, අධීක්ෂණයක් යටතේ ජීවත් වෙන්නට සිදුවීමත් එතරම් රුචි නොවීය. මෙතනදී මම වැරදි බව මම දනිමි. නමුත් මට මේවා නියමාකාරයෙන් වටහාදීමට කිසිවෙක් නොවීය. මමත් තවත් පාසැල් මිතුරන් දෙදෙනෙකුත් පාසල් බසය මගහැර, පාසලෙන් පසු පිට්ටනියටවී ටික වේලාවක් සෙල්ලම් කර ටවුන්හෝල් එක ලඟින් බසයට ගොඩවීමට පුරුද්දක් කර ගතිමු. ටවුන්හෝල් දක්වා යන ගමන කෞතුකාගාරය මැදින් ඇති අතුරු පාරෙන් යන අප, ඒ වයසේදී කිසිවිටකත් නොකල යුතු වැරද්දක් නිසා මහත් අපහසුතාවයකට පත්විය.
        එකල කෞතුකාගාරය අසල ටොෆී, කඩල, සිගරට් ආදිය විකුණනා වෙලෙන්දන්ගෙන් අඩුවක් නොවීය. මොවුන්ගෙන් සිගරට් මිලදී ගැනීමට තහංචියක් නොතිබූ නිසාත්, විකිනීමට ඔවුන් මැලිකමක්ද නොදැක්විය. කුඩා එවුන් කඩයට යවා සිගරට් ගෙන්වා ගන්නා වැඩිහිටියන් එකල විය. එය නරක පුරුද්දක් විය. අප තිදෙනාද සිගරට් මිලදී ගෙන විහාරමහාදේවී උද්‍යානයේ ගසක් උඩ තිබූ අට්ටාලය උඩට නැග මෙලෝ හසරක් නැතිව දුම් උරන්නෙමු. දිනක් වැදගත් පෙනුමෙන් යුතු මහත්මයෙක් අට්ටාලයට නගින පඩිපෙල පාමුලට විත් වහාම බිමට බසින්නට අණ කලේය. පැයකට අධික කාලයක් ඔහුගේ දේශණයටත්, ගෝරනාඩුවත් ඇහුම්කන් දුන් අප තිදෙනාගෙන් දෙදෙනෙකු හඬන්නට පටන්ගත් නිසා නැවත විහාරමහාදේවී උද්‍යානයට පැමින අසුවුවහොත් පොලීසියට භාරදෙන පවසා යන්නට පැවසුවේය. එවකට ප්‍රසිද්ධ නාරි සහ ප්‍රසව වෛද්‍යවරයෙක්ගේ පුතෙක් වූ ප්‍රසන්න අද නවසීලන්තයේද, පංතියේ කිරි බෝතල් බෙදීමේ රාජකාරිය පැවරී තිබු නිසා කිරා යැයි ඇමතූ හේරත්ද විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක තනතුරක් හොබවන කිරා නම් වෛද්‍යවරයා, එදායින් පසු අදටත් දුම්පානයෙන් තොර අතර, මටනම් කොතෙක් උත්සාහ කලත් ඒ නරක පුරුද්දට තිත තබන්නට බැරි විය. අදටත් පාර තොටේදි කුඩාවුන් සිගරට් බොනවා දුටුවිට ඒ සිද්ධිය මතකයට නැගේ.
   මේ පලහිලව්ව නිසා එදා ගෙදර එන්නට බොහෝ පරක්කු විය. විත්තිකරු එනතෙක් විනිශ්චය මංඩලය නොඉවසිල්ලෙන් බලා සිටී. චෝදනාව ප්‍රමාදවී රපෝර්තු කිරීමය. බරපතලම චෝදනාව වාර්තාවීමට කිසිම ඉඩක් නැත. දෝෂාරෝපණ රාශියකට මුහුණ දී එකම දිනයේදී දෙවරක් හඬාවැටෙන්නට සිදුවූ නිසාත් දින කිහිපයක් ගතකරේ ඉමහත් කණස්සලෙනි. මේ සිදුවීම අප තිදෙනාගෙන් කිසිවෙක් පාසලේදීවත් නැවත කතා නොවුයේ , ඒ වැදගත් මහතාට පින් සිදුවන්නට ඇතිවූ තිගැස්සීම නිසාම විය යුතුය.
   දිනක් හැන්දෑවේ සෙල්ලම් කරමින් සිටි මට නැන්දාගේ “ගෙදර එන්නේ නැද්දයි” යන හඬ ඇසුනේ ඉඩම් දෙක තුනක් එහාට වන්නට  අප සිටි දිශාවටය. ඒ හඬින්ම මට දැනුනේ නැන්දා තදින් කෝපවී ඇති බවත්, තවත් චෝදනා පත්‍රයකට මුහුණ දෙන්නට වෙන බවත්ය. මම ගෙදර නොයෑමට තීරණය කලෙමි. හැඳ සිටි කොට කලිසමත්, කමිසයත් හැර සෙරෙප්පු දෙකක්වත්, අන් කිසිම දෙයක්වත් නොමැතිව ඒ අසලම ඇති අටේ කණුව බස් නැවතුම දෙසට පියමන් කලේ මමම දැයි මට තවමත් අවිශ්වාසය.
   මා සතු කිසිවක් නැත. ඉතිරිව තිබුනේ ඉහල තල්දූවේ ගෙදරට යෑමේ අධිෂ්ඨාණය පමනී. කොළඹ- අවිස්සවේල්ල 122 බසයක් පැමිනෙන තුරු එඩ්වින් ස්ටුඩියෝ එකට මුවාවී සිටි මා බසය නැවතූ සැණින් ඉදිරිපස දොරටුවෙන් දඩිබිඩියේ ගොඩවූයේ බසයෙන් බසිනා මගියෙක්ගෙන් හොඳ බැනුමක්ද අසමින්ය. වාසනාවකට හෝ අවාසනාවකට මට බැන වැදුනු මගියා, විජේරාමේ පදිංචිව සිටි අපේ මාමා කෙනෙක්ය. ඔහු මා හඳුනාගත්තේ බසය පනගන්වා ඉදිරියට ඇදීමෙන් පසුව බව මට පෙනුනි.
   ඔබ දන්නා පරිදිම එකල පෞද්ගලික බස් සේවයක් නොතිබූ අතර, ලංගම බස්වල පිටුපසටවී සිටිනා කොන්දොස්තර මහතා පස්සෙන් පන්න පන්නා ටිකට් ගන්නැයි, ටිකට් ගන්නැයි හඬා වැටෙන්නේවත්, අණ කරන්නේත් නැත. ඉදිරියෙන් ගොඩවනා මගියා පිටුපසට පැමිණ ටිකට් ගන්නා තුරු, කොන්දොස්තර මහතා ඔහුගේ ලෝකයේ කල්පනාවක නිමග්නව සිටිනවා හැර කිසිම කරදරයක් නැත. ඉල්ලුවොත් ටිකට් එකක් දීමත්, නැවැත්වූ බසය යලි ධාවනයට බෙල් එක ගැසීමත්, සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට කොලයක කුරුටු ගෑමත් ඔහුගේ රාජකාරිය විය. “ඇතුල්වීම පිටුපස දොරටුවෙන් පමණි” යන දැන්වීම පැමිණියේ බොහෝ කලකට පසුය. 
    කොහොමින් කොහොම හරි අවිස්සාවේල්ලට පැමිණි බසයෙන් පිටවූ මා, තාත්තාගේ කන්තෝරුවට ගොස් ඔහු හමුවීම සහමුලින්ම අමතක කරදමා ඉහල තල්දූවට පයින්ම ගෑටුවෙමි. අවට සිරි නරඹමින්ද, ත්‍රාසය, බිය, ශෝකය ,කුතුහලය ආදී නන්වැදෑරුම් රසයන් ගෙන් යුත් මනසකින් යුතුව ගෙදරට ගොඩවූ පමනින් සියල්ලන්ම පුදුමයට පත්වූ අතර, ආච්චී දුවවිත් මා සිපගන්නට විය. කවුරුන් සමග මා පැමින ඇත්දැයි විමසිල්ලෙන් බැලූ අම්මා එකවරම හඬා වැටෙන්නට විය. ඔවුන් යමක් තේරුම් ගන්නට ඇත. සිපගැනීම්, හඬාවැටීම්, පාපොච්ඡාරණ සියල්ලම අවසන, රාජකාරී නිමවී පැමිණෙන තාත්තාට මුහුණ දිය යුතුය. කිසිදා ගුටියක් නොකා ඇති මා, එදාද තාත්තාගෙන් ගුටි නොකෑවා පමනක් නොව ඔහුගේ ආදරයටත් පාත්‍ර විය. ඔහු මා සනසාලන්නට විය. ගහෙන් වැටුනු එකාට ගොනා ඇණීමේ කලාව තාත්තාට කිසිදා ගෝචර නොවීය.
     මේවන විට අප පවුලේ හයවැනි දරුවා ලෙස ඉතා පියකරු නැඟණියක්ද එකතුවී සිටී. ගෙදර ආර්ථිකය එතරම්ම යහපත් නොවන බව රාත්‍රී ආහාර වේලෙන්ම වටහා ගැනීමට හැකිවිය. පසුව ආච්චීද ඒ බව මට කියාදුන්නේ අම්මාගේ මාල, කරාබුද උගසට තබා ඇති බවත්, ඇය පලඳන්නේ ආච්චීගේ කරාබු යුවලක් බවත් කියාය. 
                  මේ වනවිට නැන්දලාද කලබලවී ඇතිබව සහසුදක්සේ මම දනිමි. එදා සිකුරාදා රාත්‍රියක් නිසා තාත්තා පසුවදා පාන්දරින්ම ගංගොඩවිල බලා පිටත්වූයේ, එකල දුරකථන භාවිතාවක් නොවු නිසා තත්වය සාකච්ඡා කිරීමටය. ඒ වෙන විට මට බැන වැදුනු බස් මගියා මේ විස්තරය නැන්දාට පවසා ඇති බව මට වැටහුනත්, ඒ බව දෙමව්පියනට නොකීවෙමි.
    මම නැන්දලාගේ ගෙදරින් පැන ආවේ මගේ නොදැණුවත්කමත්, මානසික අපහසුතාවයත් නිසාය. පසුදින තවත් කෙනෙක් ගෙදරින් පැන ඇවිත් නැවතුනේ අපේ ගෙදරමය. එයත් අපහසුතාවයක් නිසා විය යුතුය. නමුත් නොදැණුවත්කමක් නිසා නම් නොවේ යැයි හිතමි. ඒ අපේ ලොකු අම්මාය. මල ජංජාලයකි. මම නැවත ලියමි.

Sunday, September 23, 2012

අවුල් වන්නට පෙර (7)….ඉහළ තල්දූව

         කෙනෙකුගේ ජීවිතය වෙනස්වන්නට ගතවන්නේ කුඩා කාලයකි. කුඩා සිදුවීමකි. එය කෙසේ සිදුවෙනවා දැයි සිතාගැනීමටත් අපහසුය.
      මගේ ජීවිතේ මහා කුනාටුවක පෙර නිමිති පහලවන බැව් මට දැනගන්නට පටන් ගන්නේ ගෙදර තුල ඇතිවූ කතාබස් තුලින්මය. තාත්තා දැන් පදිංචිවී සිටින්නේ ඉහළ තල්දූවේය. රැකියාව අවිස්සාවේල්ල නගරයේය. රාජකීය විදුහලේ ඉගෙණීම ආරම්භකර ටික කාලයක් ගතවන විට පවුලේ සියල්ලන්ම ඉහල තල්දූවට සංක්‍රමණය විය යුතු යැයි තාත්තාගේ අදහසවී ඇත. ඒ පලාතේ සිට කොළඹ පාසැල් ඒම පහසු කටයුත්තක් නොවන නිසා මා කොහේ හෝ නැවතිය යුතුය. මෙය ආච්චීටනම් ඉවසුම් නොදෙන වැඩක් බව දැනගතිමි. කෙසේ හෝ එක් පාසැල් නිවාඩු කාලයකදී ගෙවල් කුලියටදී ඉහල තල්දූවට යෑමට සියල්ලන්ටම සිදුවිය. මේ වනවිට අප පවුලේ හතරවැනියා වූ මල්ලීට පැපොල රෝගය වැලඳුණි. එයින් පසු පස්වැනියා වූ මුලින් කියු අහිංසකාවියටද රෝගය බෝවී තිබුනි.
   අන් අයටද රෝගය බෝවීම වැලැක්වීම සඳහා ඔවුන්ගෙන් වෙන්කර තැබුවද, නංගී රෝගාතුරවීම මට බොහෝ රිදුම් දෙන්නක් විය.මම  එදාත් අදත් හෙටටත් ඇයට බෙහෙවින්ම ආදරය කරන්නෙමි. මට කාටත් හොරෙන් ඇය හුරතල් කිරීමටත්, වඩා ගැනීමටත් අවශ්‍ය විය. එය එලෙසින්ම සිදුවිය. මටද පැපොල රෝගය වැලඳුණි. මේ නිසා ගෙවල් හැරයාම තව කාලයකට දිග් ගැසුනි. අසනීප තත්වයන් මත මෙය කල්දැමුවා මිස, කෙසේ හෝ අප යායුතු බව ඒකාන්තය.
          ඊලඟ පාසැල් නිවාඩුවේ ලොරි දෙකකින් බඩු පටවාගත් අප ඉහල තල්දූවේ පදිංචියට යාමට පිටත්වුනි. මෙය අප සියලු දෙනාගේම ජීවිතවලට තාත්තා විසින් බලෙන් පැටවූ අභාග්‍යයක් යැයි මම සිතමි. මෙයට ක්‍රියාවෙන් විරෝධය පෑවේ ගෙදර හුරතලයට හැදුනු බළල් පැටවා පමණි. යන්නට සුදානම්වී වැඩ කටයුතු අහවර වූ එක් සැණින් මූ අතුරුදහන් විය. කොහේ ගියා දැයි දන්නේ ඌම පමණි. පිටත්වීමට මොහොතකට පෙර පවා, නෑදෑයින් සහ අසල්වැසියන්ගෙන් තාත්තාට ලැබුනේ සුභ පැතුම් නොව දෝස්මුරයන්ය.  ඔවුන් අපගේ පවුලේ අයට මහත් ලෙන්ගතුවූ නිසාමය. මගේ සම වයසේ කුඩා මිතුරෙකු ලොරියට ගලකින් ගැසූ බවද මතකය. මට අවශ්‍යවූයේ බඩු පැටවූ ලොරියේ පිටුපස ගමන් කිරීමටය. අම්මාගේ බලවත් අකැමැත්තෙන් වුවද ඒ අවශ්‍යතාවය ඉටුවූ අතර අප ඉහල තල්දූවේ පදිංචියට පිටමන් විය. කවදාවත් කේන්ති ගොස් සිටුනු දැක නොමැති ආච්චී පෙන්වූ සැර පරුෂ ස්වභාවය අදටත් මතකය. එය සාධාරණය. මේ අතහැර යන්නේ ඔවුන් උපන්, හදුනු  වැඩුනු ගෙවල් දොරවල් සහ ගම්බිම්ය. මේ නම් සිදුවන්නේ වෙන කිසිම දෙයක් නොව තාත්තාගේ තවත් තකතීරු වැඩ පිලිවෙලක එක් අංගයක් බව පසුව වටහා ගතිමි. ටික කාලයකට පසුව අම්මාගේ මල්ලීද සමග එක්වී මෙතරම් වටිනා දේපල කුණුකොල්ලට විකුණා අහවර කරේය. තාත්තාගේ මව් පාර්ශවයෙන් හිමිව තිබු වැල්ලවත්තේ පාමංකඩ ඉතා සුවිසල් නිවසකටද එම ආනිසංසයම සිදුකල බව මේ නාස්තිකාර පුත්‍රයාගේ තාත්තා මට කියා ඇත. ඔවුන් ගැන මම පසුව ලියමි. මොනවා සිදුවූවත් අපේ තාත්තා ඉතා අවංක, සුන්දර මනුස්සයෙක් බව නම් නොකියා සිටිය නොහැක.
       අප පදිංචියට ගිය ඉහල තල්දූව නිවස පිහිටියේ මහපාරට යාබදව තරමක් උස් බිම් කඩකය. ඉදිරියෙන් වෙල් යායද, ටික දුරක් ඇවිද ගිය විට පිටුපසින් සීතාවක ගඟද, එක් අතකින් මහ පාරට යටින් ගලා යන කුඩා ඇලද, අනික් පසින් කඩ දෙක තුනකින් සමන්විත කඩමංඩියද විය. අර්ධ නාගරීක ජීවිතයකට හුරුවී සිටි අපට මෙය නැවුම් අත්දැකීමක් විය. පාසල් නිවාඩු කාලය නිසාත්, ඉක්මනින්ම මිතුරු ඇසුරට එක්වීමේ සහජ දක්ෂතාවයත් නිසා මට සම වයසේ මිතුරන්ගෙන් ඒ ප්‍රදේශයේද හිඟයක් නොවීය. ඔවුන්ගේ මුහුණු මතකයේ ඇතිමුත් නමින් මතකය ඇත්තේ, අප අසලම නිවසක වාසය කල ඇලෝසියස් නම් ලංගමයේ සේවය කල බස් කොන්දොස්තර මහතාගේ පුත් ලාල් පමණය.
       සොල්දර තට්ටුවක්, කාමර තුනක් සහ විශාල කුස්සියකින් සමන්විත මේ නිවස ප්‍රමාණයෙන් අපේ මුල් නිවස හා සමාණය. නමුත් මේ කිසිවක් කාටවත් සතුටක් ගෙන නොදුන්නේ පැමිණි මොහොතේ සිට ආච්චී දැක්වූ ප්‍රතිචාර නිසාමය. ඇය වාඩිගත් තැනම වාඩිවී සිටියේ ඇයගේ රණ් ආභරණ බහා තිබූ කුඩා පෙට්ටියද ලංකර ගෙන තදබල කෝපයෙනි. තාත්තාගේ ගංගොඩවිල යහළුවන් බඩු පටවා ගැනීමට උදව් වුවා සේම මෙහෙන් බඩු බාගැනීමට තාත්තාගේ අවට යහළුවන් කංඩායමක්ද පැමින සිටී. ඔවුන් ගොවිතැන් බතක් කරන, කුලී වැඩක් කර මුදලක් සොයාගන්නා ග්‍රාමීය මිනිසුන්ය. අපේ තාත්තාගේ මිතුරු ඇසුරේ සීමා මායිම් නොවීය. ආච්චී පැවසුයේ එක් දෙයක් විතරමය. ඔය ලෑස්ති කරගෙන ඉන්නේ තවත් බේබද්දෝ රැලක් යන වග පමණි. එය ඔවුනට නෑසුනා විය හැක. නමුත් ඇය නිවැරදිය.
   ඉහල තල්දූවට පැමිනෙන ගමනේදී තාත්තා අවිස්සාවේල්ලෙන් බැස්සේ තවත් අඩුම කුඩුම මිලදී ගැනීමට විය යුතුය. ඒ උදව්වට පැමිණි යහළුවන්ට සංග්‍රාහ කිරීමට බව පෙනේ. නැවත ඔහු පැමිණෙන තෙක් උදව්වට පැමිණි අයත් අසල්වැසීයෝත් අපට මහත් ඇළුම් කලේ අපේ අම්මාගේ නිවුනු ගති පැවතුම් නිසාත්, අප කොළඹ උදවිය නිසාත් බව හිතමි. කෙසේ නමුත් ගම්වල අය ආගන්තුක සංග්‍රහයට බොහෝ උනන්දු අය බව කවුරුත් දන්නා කරුණකි. එක් කාමරයක් අගුළු දමා තිබු නිසා එය ඇරගැනීමට අම්මාට යතුරක් නොතිබූ නිසා ඉදිරිපත් වූයේ තාත්තාගේ අලුත් යහළුවෙක්ය. ඒ කාමරයට යතුරක් ඔහු සතුව තිබුණි. දොර ඇරුනු සැනින් මා දුටුවේ පැත්තකට කර තිබූ හිස් බෝතල් සහ සිගරට් කොට සහිත භාජනත් සමගින් පිරි ඩෙඟා මඩුවකි. ආච්චී දැක්කොත් කෑගසාවි යැයි කියා අම්මා ඉක්මණින් එය අගුළු දැමුවේ තාත්තාටම අස්කරන්නට ඉඩහරිමින්මය.
        ඉහල තල්දූව හෙවත් තැඹිලියාන මනරම් ග්‍රාමයකි. කඩ මංඩිය සමන්විත වූයේ කුඩා තේ කඩ දෙකකින් සහ එක පුටුවක් සහිත බාබර් සාප්පුවෙන්ය. බස් නවත්තන්නෙත් ඔතනමය. හුලං විස්කෝතු, විස්කිරිඤ්ඤා,සව්බොරවා පිරවු විශාල වීදුරු බෝතල්ද,එල්ලූ කෙසෙල් කැණ්ද, හැලප, වන්ඩු ආප්ප තිබූ සෝකේස්ද, අඟුරු දැමූ තේ බොයිලේරුවද කඩ දෙකේම දක්නට ලැබුන පොදු දසුන්ය. ඒ කඩ දෙක මැදින් ඇති කුඩා පටු වැලි පාරේ ඇතුලට යනවිට තැනින් තැන පිහිටා තිබූ ගෙවල් කීපයකට පසු හමුවන්නේ ඒ සුන්දර සීතාවක ගංගාවයි. ගමේ මිනිසුන් නෑමට ,රෙදි සෝදා ගැනීමට භාවිතා කලේ සීතාවක ගඟය.
     ගඟේ රෙදි සේදීම අම්මාටත්, ඉන්ද්‍රක්කාටත් හුරු නැති නිසාත්, තාත්තාගේ සුදු කමිස කලිසම් බොර පැහැ ගැන්වෙන නිසාත් එම රෙදි පමනක් ටික දුරක් යනවිට හමුවන හේනේ මාමා සහ රෙදි නැන්දාගේ ගෙදරට ගෙන යා යුතුය. මම මේ ගමනට ඉතා කැමතිය. මගදී හමුවන එක් පංසලක් ඇත. එවකටත් මේ පංසල සමග ගම්මුන්ගේ එතරම් ඇසුරක් තිබී නැත. බංඩාරණායක මහතා ඝාතණ නඩුවේ වැරදිකරුවෙක්වූ තල්දූවේ සෝමාරාම නම් පැවිද්දා වාසය කර ඇත්තේ මෙහි යැයි පැවසේ. අපේ අම්මාද බොහෝ විට කැමති දෙයක් නම් අසල්වැසි ඇසුරය. ඇය ඉතාමත්ම ප්‍රිය මනාප ගැහැණියක්ම නිසා කවුරුත් ඇයගේ පැමිණීම අපේක්ෂා කරයි. රෙදි නැන්දාගේ නිවස අසල ඉතාමත්ම දැකුම්කළුය. ගෙට එහායින් ඇති වතුර පීල්ල, අප වැනි නගරයෙන් පැමිනිවුන්ට නම් මැජික් එකක්ම විය. සෝද වේලා ගෙනගිය සමහරක් රෙදි මැද දීමට ගතවන කාලය මගේ ප්‍රියතම කාලය විය. රෙදි නැන්දා ඒ සඳහා පමනටත් වඩා කාලයක් මිඩංගු කරන්නේ, තේ බිබී අම්මා සමග දොඩමළුවී කාලය ගත කිරීමටත්, මට ඇති පදම් සෙල්ලම් කිරීමට කාලය ලබා දිය යුතු බැවින්දෝ යැයි අදටත් මම සිතමි. 
     පාසැල් නිවාඩු කාලය නිසාත්, මගේ සහෝදර සහෝදරියන් මට වඩා කුඩා වූවන් නිසාත් මට අලුත් යාළුවෝ සමග මාළු ඇල්ලීම, ගඩා ගෙඩි කැඩීම, ගස් බඩ ගෑම හැර අන් කිසිම රාජකාරියක් නොවීය. මට මේ දේවල් එතරම් නුහුරු වූවත් මගේ මිතුරන් ප්‍රවීණයන් නිසාත් පසු කාලයකදී මගේ ප්‍රියතම විනෝදාංශය මසුන් ඇල්ලීම විය. කුඩා දිය පාරවල් දෙපැත්තෙන් අහුරා දැමීම, වලවල් ඉසීම, බිලී පිත්ත, කුඩා දැල් එලීම වැනිදේ ඉගෙනගන්නට ලැබුනේ ඒ සොඳුරු මිතුරු ඇසුරේය.
     මේ කාලය තුලදී සතියකට වරක් හෝ දෙවරක් පමණ තාත්තා සමග ඔහුගේ රාජකාරී ස්ථානයට ගොස් කාලය කා දැමීමටත් මට සිදුවිය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අවිස්සාවේල්ලේ ශාඛාව පිහිටියේ නගරයට නුදුරින්ම රත්නපුර පාරට මායිම්ව විශාල නිවසක් බඳු ගොඩනැගිල්ලකය. එයට වම් පසින් කුඩා ඇල පාරක්ද ගලා බසී. සේවක සේවිකාවන් දහ දොලොස් දෙනෙකු පමණක් සේවය කල මේ ස්ථානයේ, රාජකීය විදුහලේ සහ මගේ ඉගෙනුම් කටයුතු සම්බන්ධ ප්‍රශ්ණ වලට උත්තර දිදී සිටිනවා හැර කරන්නට යමක් තිබුනේ නම්, ඒ ඔවුන්ගේ හුරතලයට බඳුන් වීමත්, නිතර දෙවේලේ ලැබෙන කඩචෝරු සප්පායම් වීමත්ය. වැඩ අහවර වෙන්නට පැය දෙක තුනකට පමන පෙර සිට මේ මිතුරන් එකා දෙකා තුන්දෙනා බැගින් විටින් විට නගරය දෙසට ගොස් පැමිනෙන්නේ කුමන රාජකාරියකට දැයි පසුව මම තේරුම් ගතිමි. මේ හැම කංඩායම් ගමනකම තාත්තා අනිවාර්‍ය සාමාජිකයෙක් විය. මම ඔහුගේ කාර්යල මිතුරියන් හා තනිවිමි. 
      පාසල් නිවාඩුව ඉවර වෙන්නට ආසන්නය. තීරණය කර තිබූ පරිදි ,නැවත පාසල් යාම සඳහා ගංගොඩවිල නැන්දා කෙනෙකුගේ ගෙදර නැවතී සිටිය යුතුය. මෙය මට ඉතාමත්ම රිඳුම් දෙන කාරණයක් විය. මෙවැනි වයසකදී දෙමව්පියන්ගෙන් ඈත්ව ජීවත්වීම මට ඉතාමත්ම අපහසු කාර්යයක් විය. මෙය කියවන තරුණ දෙමව්පියන් සහ දෙමව්පියන් වීමට සිටිනා අය නම් වටහාගත යුතු එක් විශේෂිත කරුණක් විය යුත්තේ, තම දරුවන් මෙවන් වයස් වලදී ඔබෙන් ඈත්කර නොතබා ගැනීමය. කුමන රජ සම්පත් ලැබුනත්, කවර රාජකීය අධ්‍යාපනයක් ලැබුවත් දරුවන්ට දෙමව්පිය ඇසුරේ වැඩීම තරම් අන් දෙයක් ලොව නැත. එය එසේ නොකිරීමට ඔබ වග බලා ගත යුතුය.
        මගේ පාසල් කාලය තුල මා ලැබූ සුන්දර අත්දැකීම්වලට වඩා අසුන්දර දෑ බොහෝය. මගේ පංතියේ මිතුරන්ද බොහෝ දෙනෙක් මව්පිය ඇසුරෙන් මිදී, කොහේ හෝ නැවතී පාසල් ගිය බව සැබෑය. නමුත් මෙය මට වාවා ගත නොහැකි දෙයක් විය. කුඩා කල සිටම මා සංවේදී දරුවෙක් වී යැයි මම සිතමි. මෙතැන් පටන් මගේ පාසල් ජීවිතය රුවල් බිඳී ගිය නෞකාවක් වගේ යැයි කියන්නේ අතිශයෝක්තියකින් නොවේ. බොහෝ දේ කීමට ඇත. දැනටද නීරස මේ කතාව තවත් නීරස කිරීම සුදුසු නොවේ. මට කවුරුන්වත් විත්තිකරුවන් කිරීමට උවමනා නැත. මම මේ කතාවේ කොටස් කරුවෙක් පමනි. මම පසුව ලියන්නෙමි.

Monday, September 17, 2012

අවුල් වන්නට පෙර (6)…තුම්මුල්ලේ යාළුවෝ….

   රාජකීය විදුහලේ ගතකල පාසැල් ජීවිතය ඉතා මිහිරි විය. එය වඩාත් රසවත් වූයේ අප පංතියේ අය නොයෙකුත් පලාත්වලින් පැමිණි අය නිසාත්, ඔවුන්ගේ ජීවිත අත්දැකීම් එකිනෙකට වෙනස්වූ බැවිනුත්ය. එකම ශ්‍රේණියේ පන්ති හත බැගින් පැවැත්වූවත්, අප පංතියේ එවුන් සැමවිටම එකම කංඩායමක් ලෙසින් කල් ගෙවූහ. නගරයේ සිසුන්ගේ චර්යාවන්ට හැඩගැසීමට මදක් කල් ගතවිය.
         අපට ඉගැන්වූ ගුරුවරුන් ඉතා කාරුණික අය විය. ලින්ටන් සර්, අමරදාස සර්, ඉලේපෙරුම ආරච්චි සර්, නන්දා ගුනවර්ධණ මැතිනිය ඉන් ප්‍රධාණය. අමරදාස සර් ඉතාමත්ම කාරුණික සහ විනෝදශීලි ගති පැවත්ම් ඇති අයෙක් විය. ලයනල් රංවල මහතාද ටික කලක් අපට උගන්වා ටික කලකින් ආනන්ද විදුහලට මාරුවී ගියේ රාජකීයේ එවුන්ට සංගීතය උගන්වා වැඩක් නැතිව ඇතැයි සිතා විය හැක. සොමිපාල හෙට්ටිආරච්චි මහතා නැටුම් විෂය ඉගැන්වීය. බෙර තද කරගැනීමට ගන්නා කොට මහත පොලු කෑල්ල අපගේ දණහිස් බුරුල් කිරීමට පාවිච්චි කලේ විෂය මැනවින් ඉගැන්විය යුතු නිසාමය. මොහු නිශ්පාදණය කල පාසල් වේදිකා නාට්‍යයක නාගරික මවකගේ චරිතය මා නිරූපණය කලේ ලුන්ගියක් සහ බ්ලවුසයක් ඇඳ බවත් මතකය. මොවුන්ගේ ඇසුරේ කාලය හෙමින් ගලා ගියේය.
       එවකට අධ්‍යාපණ ඇමතිව සිටියේ ආචාර්‍යය බද් උද්දීන් මොහමඩ් මහතාය. අපේ රටේ අධ්‍යාපණ ප්‍රතිසංස්කරණ සිදුවන්නේ පත්වන ඇමතිගේ අභිලාශයන් අනුවය. එය එදත් අදත් එලෙසමය. කාට කියන්නේදැයි නොදන්නා මුත් වැඩේනම් කොහෙත්ම හොඳ නැත. ප්‍රාග්වෘර්තීය විෂයන් 1 සහ 2 ලෙසද, සෞන්දර්‍යය විෂයන් තුනකින් එකක් තෝරා ගැනීමට ඉඩ සැලසුනේ අප හයවැනි පංතියට ඇතුලත්වූ වසරේ සිට යැයි සිතමි. ප්‍රාග්වෘර්තීය විෂයන් පාසලින් පාසලට වෙනස්වූයේ, තමන්ට ඇති සම්පත් මත හැකි විෂයන් සුදානම් කර ගැනීමට විදුහල්පතිවරුන්ට ඉඩකඩ තිබූ බැවින් විය යුතුය. ප්‍රාග්වෘර්තීය 1 සඳහා ඡායාරූප ශිල්පය, මුද්‍රණ ශිල්පය, උද්‍යාණ විද්‍යාවත් ප්‍ර.වෘ. 2 සඳහා මැටි වැඩ, ලෝහ වැඩ, සහ වඩු වැඩද විය. චිත්‍ර, නැටුම් සහ සංගීතය සෞන්දර්‍ය විෂයන් විය. මමද රිසි පරිදි උද්‍යාණ විද්‍යාවද, මැටි වැඩද, නැටුම් විෂයද තෝරා ගත්තේය. පසුකාලීනව, ඉගෙනගත් උද්‍යාන විද්‍යාවෙන් මල් කැඩීමට පුරුදුවූවාසේම අනන්තවත් මැටි වැඩනම් කර ඇත. ඉගෙනගත් නැටුම්වලින් පලක් නොවූවත් නටපු වෙන වෙන නැටුම් නම් බොහෝය.
               මැටිවැඩ කියද්දී මේ සිද්ධිය මතක්විය. මැටිවැඩ පංතිය සහ අපේ පංතිය වෙන්කර තිබුනේ තුනී ලෑලී වෙන්කිරීමකින්ය. “සයන්ස් කොටා” නමින් ඔහුට නෑසෙන්නට අප ආදරයෙන් හැඳින්වූ මිටි විද්‍යා ගුරුතුමා, මා කරපු වරදකට කොලරයෙන් අල්ලා අර ලෑලී බිත්තියේ එබුවා මතකය. මහා හඬින් ශබ්දයක් නැගුනු අතර එහා පංතියේ මැටිවැඩ උගන්නන අලස් ටීචර් පැමිනියේ ඉතා දරුණු විලාසයකින්ය. ඇය කළු, මිටි, මහත, තොල් රතු කෙරූ නවීන පන්නයේ සාරී අඳින කෙනෙකි. මැටි වැඩ කාමරයේ ලෑලී බිත්තියේ රාක්ක ගසා එකතුකර තිබුනේ නොබෝ දිනයකින් පවත්වන්නට තිබූ මැටිවැඩ ප්‍රදර්ශණය සඳහා සිසුන් විසින් විසින් නිර්මාණය කරන ලද හොඳම භාණ්ඩයන්ය. මා විසින් සාදන ලද අළු බඳුනක්ද එහි විය. බොහොමයක්ම දේ කැඩීබිඳී අවසන්ය. ප්‍රදර්ශණය ටික කාලයකට කල් දැමීය. මගේ වැරදි වැඩක් නිසා ගුරුවරුනුත් අන් අයත් මහා කරදරයක පැටලිනි. බිත්තියේ  ගැසු පලමුවන්නා සහ අවසානයා මමම විය.
       මැටි භාණ්ඩ නිර්මාණය සඳහා අවශ්‍ය හැඩගැන්වීමේ මෙවලම් අපටම සාදාගැනීමට සිදුවිය. එක එක හැඩයන්ගෙන් යුතු මේ ආයුධ ඇට්ටේරියා ලී හොයාගෙන සාදා ගන්නට විය. ලී හොයාගෙන කූරු, තල ආදී වශයෙන් ඒවා සාදා ගැනීමත් ලමයින්ටම පැවරීම අමුම අමු මැටි වැඩකි. සකපෝරු නම් පාසලේම තිබුනේය. නොකඩවා උසස් වර්ගයේම මැටිද පාසලට සපයන ලදී. ලෝහ වැඩ සහ ලීවැඩ පංති තිබුනේ පාසලේ කොනකටම වෙන්නටය. ඒ ශබ්දය අන් පංතිවලට කරදරයක්වූ නිසාය. එදා මැටිවැඩ, වඩුවැඩ, ලෝහ වැඩ ඉගෙනගත් මගේ පංතියේ යහළුවන් අද අති දක්ෂ වෛද්‍යවරුන්ය, ඉන්ජිනේරුවන්ය, උගතුන් බුද්ධිමතුන්ය. මොවුන් නිදහස් අධ්‍යාපණය තුලින්  දැණුම, ඥාණය ලබා අද කොහේ සේවය කලත් ලෝකවැසියන්ට නම් මහඟු සේවයක් ලැබෙනවා විය යුතුය. ඔවුන් සමහරක් ගැන සඳහන් කිරීම වටී.
    
     අප තිස්පස් දෙනාගෙන් හයදෙනෙක්ම දොස්තරවරු විය. පහලොස්දෙනෙක් පමණ ඉන්ජිනේරු සහ ගණිත ආදී විෂයන්ගේ බොහෝ දුරගිය වුන්ය. මමද ඇතුළු හත් අට දෙනෙක් පමනක් උසස් අධ්‍යාපණයට වරම් නොලැබූහ.
          මොවුන්ගෙන් දෙදෙනකු හෝ තුන් දෙනෙකු දැන් අපගෙන් සමුගෙන අවසන්ය. පාසල් ඉගෙනුමෙන් පසු වසන්ත කරුණාරත්න දිවියට සමුදුන්හ. වෛද්‍යවරයකුවූ ආර්.එච්. ගුණසේකර ගැනද අසන්නට ලැබුනේ අසුභ ආරංචියකි. මට එය ඉඳුරා කිව නොහැක.අනිකා නම් සඳුන් ගුණසේකර නම්වූ දක්ෂ නාවුක නිලධාරියාය. මොහු පාසල් කාලයේදිත් දක්ෂ කරාටේ ක්‍රීඩකයෙක් විය. ඊට පෙර මා සමගද පාසලේදී ද්වන්ධ සටනක යෙදී ඇත. කොතලාවල හමුදා ඇකඩමියෙන් සමත්වී නාවික හමුදාවට බැඳුණු සඳුන් නාවුක හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු මහතාගේ Flag Officer ලෙසින් සේවය කරද්දී ත්‍රස්තවාදීන් ඇටවූ බෝම්බයකට හසුවී නාවුක හමුදාපතිතුමා සමගම එම රථයේම ජීවිතය පූජා කරණ ලදී. නාවුක හමුදාපතිගේ Flag Officer යනු කුමන රාජකාරියක්ද යන්න විචාරක තුමාවත් පැහැදිලි කරොත් මැනවි යැයි සිතමි.
     දොස්තරවරුන්වූ අය අතරින් පී.යූ.රාමණයක අද එංගලන්තයේ ජ්‍යේශ්ඨ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරණ අතර ,ගංගා හේමතිලක ඇමරිකාවේ Kansaas University School Of Medicine හී Associate Dean වරයෙක් ලෙස සේවය කරයි. හේමමාල් ජයවර්ධන යුනිසෙෆ් ආයතනයට සම්බන්ධව ලමා ආරක්ෂක කටයුතු වෙනුවෙන් මූලිකවී කටයුතු කරයි. Medical Law සහ Forensic Medicine යන විෂයන් අතින් පොත් කිහිපයක්ද රචනය කර ඇති මොහු රටටම සම්පතකි. හේමන්ත හේරත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිතව අධ්‍යක්ෂක වරයෙක් වශයෙන්ද, ජයන්ත හේරත් රටේ හෝ ලෝකයේ යම්කිසි තැනක වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරන බව දනිමි. ජයන්තගේ ආදරණීය පියාණන් 1971දී ඝාතනයට ලක්වූ අතර ඉතා උනන්දුවෙන් අධ්‍යාපණය නිමකල අතර නැවතී සිටියේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ විදුහල්පතිව සිටි බන්නැහැක මහතාගේ මහරගම නිවසේය. ජයන්ත ගැන මට ඇත්තේ අති මහත් ආඩම්බරයකි.
   ඉංජිනේරු හා ගණිත ආශ්‍රිත විෂයන් තුලින් ඉදිරියට ගිය අය බොහෝය. ඉන් බැසිල් නානායක්කාර ඇමරිකාවේ University Of Pennsyivenia හී ගණිත අංශයේ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කරයි. යසන්ත රාජකරුණනායක ඇමරිකාවේ සිටිනා තොරතුරු තාක්ෂනය සහ මෘදුකාංග සම්බන්ධ ඉහලම ගණයේ පර්යේෂකයෙකි. පේටන්ට් බලපත්‍ර කිහිපයකම අනාගත හිමිකරුවෙකි විය හැකි බවත්, අන් අයගේ දැණුම වර්ධණය සඳහා ග්‍රන්ථ කිහිපයක් ප්‍රකාශකර ඇති බවත් සමහරුන් මට පවසා ඇත. ගිහාන් සෙනෙවිරත්න කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙකි. කුශාන් කුරුකුලසූරිය ඇමරිකාවේ ඛනිජ තෙල් ආශ්‍රිත ඉංජිනේරුවෙකි.
      චම්පාල් කොස්තා, හර්ෂ සූරියාරච්චි වැන්නන් රටටත්, ලොවටත් තම සේවය බෙදමින් සිටී. කුමාර් කිරින්ද ගුවන් හමුදාවේ ඉහල නිලධරියෙක් ලෙසද, ආර්.ඩබ්.උඩවත්ත යුධ හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙක් ලෙසද සේවය කරති. මහේෂ් පත්මපෙරුම, විමල් කනහැර යන අය සංචාරක ව්‍යාපාරය තුලත්, බෙලිඅත්තේ සිට පැමිණි ධර්මපාල පමනක් ඔවුන්ට එදා සිටම උරුමව තිබූ වෙලඳ ක්ෂෙත්‍රයටත් යොමුවිය. ඔය කිහිප දෙනෙක් පමණි. මම ගියේ කොහේදැයි ඔබට පසුව දැණගත හැක.
   වඩාත් වැදගත් වන්නේ කවුරුන් මේවන විට කොහේ සිටියත්, මොවුන් සියල්ලක්ම නිදහස් අධ්‍යාපණයටත්, පහේ ශිෂ්‍යත්ව ක්‍රමයටත්, ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්‍යයට ස්තූතිවන්නටත්, කොළඹින් පිට සිට පැමිණි මධ්‍යම පාන්තික දෙමව්පියන්ගේ දරුවන් බවය. බුද්ධි ගලණය එදත් තිබුනේය. අද එය පෙරටත් වඩා කනගාටුදායකය. පාලකයින්ට ඔල්මොරොන්දන් නිසා මේවාට පිලිතුරු නැත.

කනගාටුවෙන් වුවත් ප.ලි……
සමහරක් බ්ලොග් අඩවි තුල, එය කියවන්නා දන්නා දේ සහ කියවා ඇතිදේ අදහසක් සේ පලකිරීම ගෝචර නොවන බව කියවේ. එක් මූලාශ්‍රයක් පමනක් නොසෑහෙන බවටත් කියා සිටී. මට නම් මෙය පිළිකුල් සහගතය. මා දන්නා පරිදි බ්ලොග් ලෝකය පමනක් නොව අන් සියළුම දෑ රඳා පවතින්නේ උස් මිටි අදහස් හා සංවාද මතය. සත් සමුදුරු තරණයට විශාල නෞකා අවශ්‍ය බව සැබෑය. නමුත් සාගරය මැදදී කාර්මික දෝෂයක් සිදුවූවිට ගොඩවෙන්නට වන්නේ පුංචි පුංචි බෝට්ටුවලට බව පමනක් බව හොඳ කප්පිත්තෝ නම් දනී. මම බ්ලොග් ලෝකයේ කුහුඹුවෙක්මි. මමද පැණි සොයා යන්නමි. මට පැණිද තව බොහෝදේද හමුවිනි. අලියෙක් නොවී කුහුඹුවෙක් වීම අදටත් හෙටටත් කාටත් හොඳය. බර අඩුය. සැහැල්ලුය.
                                              පසුව හමුවෙමු!!!!!!!!!!!!!!!!

Tuesday, September 4, 2012

අවුල් වන්නට පෙර (4)….චේ ගුවේරා

    සෑම දෙයක්ම සිදුවන්නේ අප නොසිතූ පරිදිය. හැත්තෑවේ මැතිවරණ ජයග්‍රහණයෙන් ටික කලකට ගෙදර මිදුලේ මල් පෝච්චීවල මල් වෙනුවට කපා ඉතිරිවෙන ලීක්ස් මොටෙයියනුත්, දෙහි ගස යට තක්කලි , මිරිස් පැළ ඉන්ද වෙන්නේත් මේ කාළයේය. මල් පැළයකටවත් වතුර බිඳක් නොදැමූ තාත්තාගේ අතින් මේ සියල්ලක්ම ඉතා උවමනාවෙන්ම සිදුවිය. මේ රජයේ වගා සංග්‍රාමයයි. තමන් විසින් මහත් උනන්දුවෙන් කැපවී පත්කර ගන්නා ලද රජයේ ආයාචනාවට තාත්තාද ඇතුළුව බොහෝ දෙනෙක් කැපවු වගයි. ඒ ප්‍රාර්ථනා දළුලා වැඩෙන තුරු සාත්තු සප්පායම් කිරීම ඔවුන්ගේ අභිලාශය වූවා විය හැක. සිතුදේ නොමවේ නොසිතුදේම වෙය කියන්නට වෙන්නේ මින් පසුවය.
   70න් පසු රටේ දේශපාලණ වාතාවරණයද අපේ ගෙදර ආර්ථික වටපිටාවද ඉතා සීඝ්‍ර වෙනසකට බඳුන්වන බව මට වැටහෙන්නට පටන් ගැනිනි. තාත්තාගේ මිතුරන් ගෙදර භෝජන සංග්‍රහ සඳහා පැමිනීම කෙමෙන් කෙමෙන් අඩුවන්නට පටන් ගති. සීයාගේ අභාවයෙන් පසු තාත්තාට ගෙදර වියදම් කළමනාකරණය කර ගැනීම අපහසු වන්නට ඇත. මුදල් පරිපාලණය ඔහුට නුහුරු දෙයක් වෙන්නට ඇත. ඔහුගේ මාසික වේතනය සහමුලින්ම වියදම් කරේ යහළු මිත්‍ර ඇසුරට බවත්, ගෙදර වියදම් සියල්ලක්ම සීයා සිදුකල බවත් පසුකාළයකදී අම්මා මට කියා ඇත. මූල්‍ය කළමනාකරණය අවුල්වූ විට සියළුම දේ කඩා වැටෙනු ඇත. සමාජ, සංස්කෘතික, දේශපලණ ඇතුළු සියළුම කරුනු කාරණා බැඳී ඇත්තේ මුදල් නැමැති යදමින් මිස අන් කවර සාධකයකින්ද යන්න පහදා දිය හැක්කේ මා වැනි කුහුඹුවකු නොව ආර්ථික විද්වතකු පමණි. මූල්‍ය පරිපාලණය බිඳ වැටීම සියළුම පරිහානියන්ගේ මූලය බව මම හිතමි. අද සමාජය අත්දකින්නේ එය විය යුතුය.
   මේ වනවිට තාත්තාගේ ගමේ යහළුවන් දෙදෙනෙකු අපේ ගෙදරට අළුත් ආගන්තුකයින් විය. මොවුන් දෙදෙනාම හංවැල්ලේ පදිංචිව සිටි දක්ෂ ගුරුවරුන් දෙදෙනෙක් විය. විමලසේන සහ සුගතපාල නම්වූ මොවුන් හා දුරස්ථ ඥාති සම්බන්ධයක්ද තිබී ඇත. කෙමෙන් කෙමෙන් පසු මේ දෙදෙනා අප නිවසේ රාත්‍රිය ගත කිරීමටත් පුරුදුවිය. තාත්තාගේ පරණ මිතුරන් මෙන් නොව අඩිපුඩි ගැසීමක් නොවූ අතර ඉස්තෝප්පුවේ අඳුරේම ඉතා සෙමින් කතාබහේ යෙදෙනා මොවුන් මට පාඩම්ද කියාදුනි. අපේ තාත්තගේ අඩිපුඩි ගැසීමටද අප්‍රසාදය පල කෙරුනි. රැකියාව අහවරවී ගෙදර පැමිණ අඩියක් ගැසීමට පුරුදුවී සිටි තාත්තා මේ නිසාම දැන් දැන් පිටින්ම සප්පායම්වී ගෙදර එන්නට පුරුදුවී තිබුනි.
   මේ වනවිට මා පුවත් පතකින්ද දුටු “චේ ගුවේරා නම් කල්ලියක්” ගැනද කතාබහක් විය. මා මේ ගැන අම්මාගෙන් විමසා ඇත්තේ “චේ ගුවේරා පල්ලිය” පිහිටා ඇත්තේ කොහේද කියා බවද අම්මා තවමත් සිනහාවෙමින් පවසයි.
   ඒ කෙසේ වුවද තාත්තා ගෙදර නොසිටී එක් හැන්දෑවක පැමිණි පොලීසිය, සුගතපාල සහ විමලසේන දෙදෙනා අත් අඩංගුවට ගන්නා ලදී. දිනකට පසුව තාත්තාවද කුදලාගෙන ගියේය. මගේ ජීවිතයේ මා පළමුවෙන්ම දුටු ජවිපේ සාමාජිකයින් දෙදෙනා මොවුන්ය. තාත්තා මේ දේවල් හොඳින්ම දැණ සිටියා විය යුතුය. ඔහු කොතරම් ශ්‍රිලනිපයට ලෙන්ගතු පුද්ගලයෙක් වුවද වාමාංශික අදහස් ඉතා ජවයකින් එලියට පනින්නේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් තුලදීය. යහළුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කැපකිරීමට සුදානම් තාත්තා මේ දෙදෙනාගේ ක්‍රියාකලාපයන්ට එරෙහි නොවූවා පමනක් නොවා ඔවුනට සැඟවී සිටීමට ස්ථානයක් ලෙස අප නිවස යොදා ගැනීමට ඉඩ සලසා තිබුනේ එලෙසය. තාත්තා කිසිම දේශපාලණ සම්බන්ධතාවයක් ඔහුගේ වාසියට යොදාගත් මිනිසෙකු නොවේ යැයි කියන්නේ ඔහුට ගෞරවයක් පිනිසය. කෙසේ හෝ හංවැල්ලේ සීයාගේ මැදිහත් වීමෙන් තාතාව නිදහස් කර ගැනීමට හැකි වුවද අවිස්සාවේල්ලට රැකියා මාරුවක් ලැබුනේ මේ නිසා යැයි මට සිතේ. හංවැල්ලේ සීයා යනු තාත්තාගේ පියාය.
    නුගේගොඩ සිට තුම්මුල්ලේ පාසලට 1973දී පළමු වරට මා පැමිනියේ තාත්තා සමගය. කවුරුත් දන්නා පරිදි රාජකීය විද්‍යාලය යනු නුගේගොඩ ශාන්ත් ජෝන් විදුහලට වඩා අති විශාල පාසලක්ය. පළමු දිනයේ, රටේ නන් දෙසින් පැමිණි අප තිස්පස් දෙනා සහ දෙමව්පියන් පිළිගැනීමට රාජකීය විදුහලේ නවරඟහලේ පුංචි පහේ උත්සවයක් සංවිධාණය කර තිබුණි. රාජකීය විදුහලේ ප්‍රාථමික අංශය හැඳින්වූයේ රාජකීය කණිෂ්ඨ විද්‍යාලය (ROYAL JUNIOR SCHOOL–RJS)…නමිනි. මෙහි විදුහල්පති වූයේ සුගතපාල මහත්මයාය.රාජකීය විද්‍යාලයේ විදුහල්පති වූයේ එල්.ඩී.එච්.පීරිස් මහතාය. මොවුන් ඉතාම වැදගත්වූත් ගාම්භීර මිනිසුන් විය.පීරිස් මහතා පදිංචිව සිටියේ පාසල අසලම කොල්ලුපිටිය පැත්තට වෙන්න ඔවුන්ගේමවූ ඉතා විශාල නිවසකය.
   විදුහල්පති කාමරයේ සිට පරිපාලණ රාජකාරීන් මෙහෙයවනවා මිස සිසුන් හා ගුරුවරුන් පසුපස හඹායාම් දක්නට නොලැබුනි. ඒ සඳහා සුදුසු පුද්ගලයින් අංශ ප්‍රධාණීන් ලෙස පත්කර තිබුණි. මොවුන් කර්නල්, බ්‍රිගේඩියර් විදුහල්පතිවරුන් නොවූහ. එදා ආනන්දයේ විදුහල්පතිව සිටි කර්නල් රාජපක්ෂ වැනි විදුහල්පති පියවරුන් අසලකවත් තැබිය නොහැකි උදවිය අද කර්නල් විදුහල්පතිලාවී සිටිනා බව ආනන්දයේ ආදී සිසුන් සාක්කී දරනවා ඇත. එදා රාජකීය විදුහලේ සිට ගමේ පංසලේ බණ මඩුවේ පැවත්වූ පාසැලක විදුහල්පතිවරයෙක්වත් අද සමහරක් විදුහල්පති වරුන් තරම් අමනයෝ නොවූහ. ඔවුන් අදීන,බුද්ධිමත් දක්ෂ පරිපාලකයෝ බව කියන්නේ අති මහත් ගෞරවයෙනි.
    රාජකීය විදුහලේ භූමිය, එහි ගොඩනැගිලි, ගුරුවරුන්, සේවකයින් සහ එහි තිබූ පහසුකම් ගත් කල එය වෙනම රාජධාණියක් යැයි කියන්නේ අතිශයොක්තියකින් නොවේ. නවරඟහලට අමතරව පිහිනුම් තටාකය, ශිෂ්‍ය නේවාසිකාගාරය, කිරිහල, කුඩා කෞතුකාගාරය, හෙදියන් දෙදෙනකුගෙන් සමන්විතවූ සෞඛ්‍ය මධ්‍යාස්ථානය, විශාල පුස්තකාලය ආදී එකී නොකී දෑ බොහෝය. එහි සිටි ගුරුවරුන්ට අමතරව සුවිශේෂි පුද්ගලයින් බොහෝය. ඉන් මා වඩාත් සිත්ගත් පුද්ගලයින් වූයේ කඩලේ සහ ඩැණී අයියාය. තව අය බොහෝය. කඩලේ පිලිබඳව මාතලන් විසින් රසවත් පෝස්ටුවක් කලකට ඉහතදී ලියා තබා ඇත.
        පාසලට පැමිනි අප තිස්පස්දෙනා ඇතුලත් කලේ 6G පංතියටය. සියල්ලන්ම රටේ නන්දෙසින් පැමිණි අය වූහ. අම්පාරේ සිට පැමිණි ශාන්ති කුමාර්, එවකටත් අති දක්ෂ නැටුම් ගුරුවරියක්වූ රැජිණි ශෙල්වනායගම්ගේ බාල සොහොයුරාය. හයවැනි පන්තියේ සිට නවවැනි පංතිය දක්වා එකම කංඩායමක් ලෙස ඉගෙණුමේ යෙදීමට අපට අවස්ථාවක් ලැබිණි. ඒ කංඩායමේ සිටියවුන් පැමිණීමේ ලේඛණයේ සඳහන්වූ පරිදිම මුල සිට අගට තවමත් මතකය. අපේ පළමු පංතිභාර ගුරුවරයා වූයේ ලින්ටන් ගුරු මහතාය. ඇත් දළ පාටින් යුත් ජාතික ඇඳුමෙන් සැරසී සිටි ඔහු විවාහයෙන් පසුව යුරෝපීය ඇඳුමට මාරුවිය. අදත් මේ ශ්‍රේෂ්ඨ උත්තමයා ජීවතුන් අතර සිටී. මා මේ බව දැණගත්තේ 6G-9G රාජකීය කංඩායම යනුවෙන් හඳුන්වන කංඩායම විසින් සංවිධාණය කල උත්සවයකදීය.මම මුහුණු පිටුවෙන් ඉවත්වූ පසු මේවා දැණගන්නේ ඊමේල් මාර්ගයෙන්ය. අදට ඇතිය.
*******************************නැවත හමුවෙමු.*************************************

Friday, August 31, 2012

අවුල් වන්නට පෙර…….3වැනි කොටස

                                  ශාන්ත ජෝන් විදුහලේ මා සමග එකම පංතියේ සිටි යහළුවන් කීප දෙනෙක් තවමත් මතකය.උදයානන්ද පෙරේරා,ශිරාජ් පෙරේරා,ගාමිණි ඇල්විටිගල[සෝමදාස ඇල්විටිගලයන්ගේ පුතා],ෆොන්සේකා[නුගේගොඩ සමරකෝන් ස්ටුඩියෝ අසල තිබු බේක් හවුස් ආයතනයේ පුතෙක්]පොන්නයියා,නන්ද[එවකට පුවත් පත් මගින් පවා විශාල සාකච්ඡවකට ලක්වූ ගිනි පෑගීම සම්බන්ධව කපුමහත්වරුන්ගේ පාර්ශවයට නායකත්වය දුන් මුතුකුඩ කපු මහත්තයාගේ පුතා]පෝලියෝ රෝගය නිසා එක් පාදයක් ඉතා සිහින්ව තිබු මිත්‍රයෙක් ඉන් සමහරක්ය.මේ නම් සඳහන් කලේ ඔවුන් ගැන දන්නා කෙනෙක් ඇතොත් කමෙන්ට් කිරීම පිනිසය.පොන්නයියා යනු නුගේගොඩ හන්දියේ සපත්තු සහ කුඩ අලුත්වැඩියා කල අහිංසක දෙමල මනුස්සයකුගේ පුතෙක්ය.පාසල නිමවු සැනින් පොන්නයියා කෙලින්ම දුවගෙන යන්නේ තාත්තා සපත්තු හදන තැන කුඩය යටටය.තාත්තා කෙනෙකුගේ සෙනෙහස කොපමනදැයි කියා නිමකල නොහැක.1983න් පසු නුගේගොඩ සහ ඒ අවට පදිංචිව සිටි අහිංසක දෙමල ජාතිකයින්ට සිදුවූයේ කුමක් දැයි දන්නේ දුටුගැමුණු පරපුරේ යැයි කියාගන්නා අපේ සිංහලේ මහා අප්පුච්චලා පමණි.ලැජ්ජය.හිරිකිතය.කකුල සිහින් මිත්‍රයා බොහෝ කාලයකට පසුව අන්ත දුක්ඛිත ජීවිතයක් ගතකරනවා නුගේගොඩ හංදියේදීම මා දැක ඇත.                                                                                                                                                                                                                   පාසැල නිමවී ගෙදර යාමට මා වඩාත්ම කැමැත්තක් දැක්වූයේ පයින්මය.ඉන්ද්‍රක්කාවත් කැමති කරගන්නා මම එසේ ඇවිදගෙන යන්නේ පාරේ වැටී ඇති බස් ටිකට් එකතු කර ගැනීමටය.ජිල්බෝල ගැසීමේදී මේවා හුවමාරු භාණ්ඩ විය.නුගේගොඩ සිට දෙල්කඳ දක්වා පයින් යෑමේදී එදා හමුවූ විශේෂ ස්ථාන කිහිපයක් සඳහන් කිරීම වටී.උඩරට ටී හවුස්,දොස්තර බර්නාඩ් සොයිසාගේ ක්ලිනික් එක,යමුනා මෝටර්ස්,හතේ කණුව මස් කඩේ.බෝ ගහ,ගම්සභා හන්දිය,ලැවීනියා සිනමාහල ඉන් සමහරකි.                                                                                                               පාසැල් යාමත්,සරුංගල් ඇරීමත්,ජිල්බෝල ගැසීමටත් අමතරව තවත් එක රාජකාරියක් මටත් ගෙදර අයටත් පැවරී තිබුනා මතකය.ඒ 1970 මහා ඡන්දය ලංව තිබූ කාලය නිසා නිල්පාට කොඩි සහ රැළි කැපීමත්,විශාල අත ලකුණක් නිල් පාටින් පාට කිරීමත්ය.තාත්තා මේවා දේවකාරියක් සේ සැලකූ දේවල්ය.එකල පැවතියේ ආසණ ක්‍රමයට පාර්ලිමේන්තුවට තේරී පත්වීමය.කෝට්ටේ ආසණය ඡන්ද ව්‍යාපාරය තුල ඉතා වැදගත් මැතිවරණ කොට්ඨාශයක් විය.ඒ කාලයේ දේශපාලණ පක්ෂ හැට කෝටියක් නොතිබුන අතර අප ප්‍රදේශයේ ශ්‍රිලනිප නියෝජණය කලේ පසුව කථානායකවරයෙක්වූ ස්ටැන්ලි තිලකරත්න මහතාය.යුඇන්පී ප්‍රභලයා වූයේ ජිනදාස නියතපාල මහතාය.කොමියුනිස්ට් පක්ෂයේ වැඩ කටයුතු භාරව සිටියේ කේ.පී.සිරිවර්ධන මහතාය.මොවුන් සියල්ලන්ම අවට ප්‍රදේශවාසීන්ය.වැදගත් හා නිහතමාණී මිනිසුන් විය.                                                                                                               ස්ටැන්ලි තිලකරත්න මහතා ඔහුව හඳුන්වාගනු ලැබුවේ දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නැති මිනිහා කියාය.ගැහැණුන්ට හරි හිනාය.ඔහු ඉතා මිටිය.ජිනදාස නියතපාල මහතා සද්දන්ත පුරුෂයෙකි.ඒ කථා කෙසේ වෙතත් මැතිවරණයෙන් ස්ටැන්ලි තිලකරත්න මහතා ඉහලින් ජයගත්තේය.මමද ඒ සඳහා දායක වූවෙක්මි.කොඩි සැරසිලිවලට අමතරව අපේ ගේ ඉදිරිපිට මොහුව පිලිගන්නා අවස්ථාවලදී බුලත් අත දීම මට පැවරුණු තවත් රාජකාරියක්ය.ඔහු නිවසට ඇතුල්වු පසු ඉස්කෝලේ වැඩ ගැන අසන සරළ ප්‍රශ්ණ කිහිපයකට උත්තර බැඳීමටත් සිදුවිය.තාත්තා සහ සුසිල් ප්‍රේම්ජයන්තගේ පියා කරුණාපාල අයියා තද ශ්‍රීලංකා කාරයින්ය.පොඩිබාසුන්නහේ යන ධනවතාත් සෝමා තලගල යන අය තද යුඇන්පී කාරයින්ය.මේ හැම දෙනාම හොඳ මිතුරන්ය.                                                                                                                                                                         මා හුරුබුහුටි ලමයෙක් නිසාත් ඉගෙණීමට දක්ෂ නිසාත් අවට අන් අය අතරින් කැපී පෙනෙන්නෙක් විය.පාසැල් නිමවීමෙන් පසු අපට ඇති තරම් සෙල්ලම් කරන්නට ඉඩකඩ බොහෝ තිබුනි.අප නිවසට යාබදව විශාල ලී මඩුවක් විය.මඩුවක් නොව එය ලී කොටන්.බාල්ක,පරාල,රීප්ප ඇතුළු සියළුම දැව විකුනන විශාල වෙළඳ භූමියකි.කොල්ලන් කැමතිවූයේ ටින් පෙරලීම,රිම් පැදීම වැනි ක්‍රීඩාවන් වූවත් අවට සිටි අක්කලාගේ උවමනාව මත හැංගිමුත්තම් සෙල්ලමට හැන්දෑ වරුවම වෙන්විය.ඒ අවට මට වඩා වැඩිමහල් අක්කලා රාශියක් වූහ.අද මෙන් කලිසම්,කොට කලිසම් නොව,ගවුම් අඳින්නට ඔවුන් පුරුදුවී සිටියෝය.කොල්ලන්ගේ ගෙදර ඇඳුම සරම විය.මම නිතරම කොට කලිසම් ඇන්දත් සිංහල අවුරුද්දට සරමක් ලැබෙන නිසා සරමත් හොඳට පුරුදුය.ඔය හැංගිමුත්තම් කෙලියේදී බොහොමයක් අක්කලා හැංගෙන්නට තෝරාගන්නේ මාවමය.ලී මඩුවේ අඳුරු අහුමුළුවල දෙදෙනා දෙදෙනා පමනක් හැංගීමට අක්කලා වග බලා ගතී.ඇටෙන් පොත්තෙන් පනින වයසේ මම වැනි එකෙකුට,ඒ වයසේදී දකින්නට නොලැබෙනදේ දකින්නටත්, ස්පර්ශ කිරීමට නොලැබෙන දේ ස්පර්ශ කිරීමට ලැබුනේත් ඔය අක්කලාටත්,හැංගිමුත්තම් කෙලියටත්,විශාල ලී මඩුවටත් පින්සිද්ධ වෙන්නටය.මේ අක්කලා දැන් වියපත්ය.සමහරුන්ගේ දරුවන්ටත් දරුවන්ය.                                                                               අරකීනම් කියන්නේ අරූ තව මොනවා ලියයිද දන්නේ නැහැ කියාය.මා තුල රහස් නැත.තිබෙනවානම් තිබෙන්නේ තව කවුරුන් හෝ තව කාටවත් කියන්නට එපා යැයි කියු දේවල් පමණි.මා එවැනි දේ අරකීටවත් නොකියන්නට වග බලා ගනී.විවෘතවීම තුලින් ජීවිතයට සිදුවිය හැකි අවාසි බොහෝය.නමුත් මේවා සුන්දර මතකයන්ය.මිහිර රස විඳිය හැක. අධ්‍යාපණයෙන් පමනක් නොව අරවගේ අංශයන්ගෙන්ද දැන් මා තරමක් දුරට සන්නද්ධය.නමුත් සිදුවීම් සිද්ධවන්නේ අප නොසිතූ පරදිය.                                                                                               අද මෙන් නොව එදා ජනප්‍රිය පාසල් සඳහා පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය අති ධාවනකාරී නොවීය.එයද වාර අවසාණ විභාගයක් වැනි විය.මමද එහි කොටස්කරුවෙක් වුනෙමි.ප්‍රතිඵල පැමිනීමෙන් පසු දක්නට ලැබුනේ දිවයිනේ හොඳම ශිෂ්‍යයින් තිස්පස් දෙනා අතරින් එකෙකු වී කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කර ගන්නා ගොන්නේ මමද සිටිනා බවය.ඊට වඩා අඩුවෙන් ලකුණු ලැබූ ලමයින් ආනන්ද විද්‍යාලයටත් අන් පාසල්වලටත් ඇතුල් කරගන්නා ලදී.අප පාසලින් රාජකීය විදුහලට සමත්වූයේ අනුර ගුණසේකර නම් අවටම පදිංචිවී සිටි මිතුරෙකි.ගාමිණි ඇල්විටිගල ආනනදයට ඇතුල්වූවා මතකය.මෙතැනින් පසු මගේ ජීවිතයේ බොහොදේ ඉතා විශාල වෙනසකට භාජනය විය.තාත්තා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අවිස්සාවේල්ලේ ශාඛාවට මාරුවිය.දෙමව්පියන්ගෙන් වෙන්වී ජීවත්වීම ඉතාම අමිහිරිය.වේදණාකාරීය.එය එසේ නොකල යුතුය.අපි නැවත හමුවෙමු.

Monday, August 27, 2012

අවුල් වන්නට පෙර…….2 කොටස

 

                                  මා සතුව තිබු විශාල ප්‍රමාණයක් මතක සටහන් කාවුන්ටත් පුස්වලටත් මාගේ නොසැලකිල්ලටත් හසුවී විනාශවී ගොස්ය.ඒ අතර මාගේ පලමු පංතියේ සිට පාසැල් ප්‍රගථි වාර්ථා පොත්ද විය.මෑතක් වනතුරුත් ඒවා සුරක්ෂිතව ත්බු නමුත් දැන් ඒවා ගැන සිතීමෙන් පලක් නැත.එංගලන්තයේ චාල්ස් කුමරුගේ අත් අකුරින් මාහට දුන් සටහන්ද ඒ අතර විය.ඔහුගෙන් ලැබූ තෑගි සහ ඡායාරූප නම් තවමත් මා සතුව ඇත.යමක් අහිමිවීමට තිබේනම් එය වැලක්විය නොහැක.ඒ දෛවයයි.කොම්බු දෙකකින් පටන්ගන්නා බොහොමයක් වචන අධ්‍යාථ්මය හා බැඳුනු ඒවා යැයි වරක් කවුදෝ මට පැවසීය.දෛවය,වෛරය,මෛත්‍රිය,කෛරාටික කම ඉන් සමහරකි.මීට වඩා වෙනස් වචනද තිබිය හැක.
                                                           මා කුඩා කල සිට අප නිවැසියන් වූයේ දෙමව්පියන් හැරුනුවිට ආච්චී,සීයා[මව් පාර්ශවයේ]මගේ තුන් හැවිරිදි මල්ලි සහ ඔහුටත් බාල නංගීත්ය.සීයා කොලොන්නාවේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ලොකු බාස්ය.ඩෝරා මශියා මොරායස් නම්වු ආච්චී උපතින් කතෝලික වුවත් පසුව බුදුදහම වැලඳගත් කෙනෙක් විය.ඇයගේ දකුණු අතේ උඩ අත්ල ආශ්‍රිතව කුරුසයක් පච්ච කොටා තිබුනි.ඇය ගැන ලිවීමට බොහෝ දේ ඇත.ඇයගෙන් මා ලද ආදරය කිසිලෙසකින් වත් දෙවනි කොට සැලකිය නොහැක.1993 දී මිය යනතෙක්ම අපට සියලු රැකවරණ සලසමින් අප සමගම ජීවත් වුවාය.අදටත් මම ඇය මෙණෙහිකර ඇයට ස්තූතිකර නින්දට පිවිසෙන්නෙමි.සීයා ගැන මතකය කෙටිය.මා පාසල් යාම ආරම්භකර වසරකටත් අඩු කාලයක් තුලදී ඔහු අප අතරින් වෙන්වී ගියේය.ආච්චී සහ සීයාගේ දරුවන් අතරින් අම්මා තුන්වැන්නා විය.ඒ වනවිටත් ලොකු අම්මාට දරුවන් නොසිටී නිසාත් ලොකු මාමා මියගොස් සහ පොඩි මාමා කලුතර ප්‍රදේශයේ ඥාතීන් සමග ජීවත්වු නිසාත් සීයා සහ ආච්චීගේ ලෝකයේ ලොකුම වීරයා මා විය.  
                                                 අපට හිමි නිවස විශාල නිසාත් එතරම් ආර්ථික ගැටලු නොවු බැවිනුත් අපේ ගෙදර නිතරම සෙනග ගැවසෙන ස්ථානයක් විය.එකල අප පවුලේ උදවියට අමතරව එහි ස්ථිර පදිංචිකරුවෝ වුයේ ටේච්චී,පොඩි අයියා සහ ඉන්ද්‍රක්කාය.මේ අය ගැනත් සටහනක් කලයුත්තේ ඔවුන්ද දුකේදීත් සැපේදීත් අප අතරේම එකටම ජීවත්වු නිසාමය.ටේච්චීගේ නම ටේලින් නෝනාය.ඇය අපගේ පිය පාර්ශවයේ උදවිය සමග කුඩාකල සිටම හැදී වැඩී ඇති අනාථ කාන්තාවක්ය.තාත්තාගේ විවාහයෙන් පසුව තාත්තාට දැක්වු ආදරය නිසාම හංවැල්ලේ සිට ගංගොඩවිලට අප සමගම ජීවත්වීමට පැමින ඇත.මා කලින් කීවාසේ ඇය කාත් කවුරුවත් නැති ගැහැණියක්ය.මානසික වශයෙන්ද එතරම් නිරෝගී නොවීය.ඉතාමත් මිටි,කුඩා සිරුරක් හිමි ඇයගේ මුහුණ ඉතා ප්‍රියමනාපය.ඇයද අප ආච්චී හා සම වයසේ වු නිසා ටේලින් ආච්චී වෙනුවට අප ඇය ඇමතුවේ ටේච්චී කියාය.ඊට ඉහතදී ඇයගේ මානසික තත්වය එතරම්ම අවුල් සහගත නොවු නිසා අපගේ වැඩිමහල් උදවිය දන්නා කියන කෙනෙකුට විවාහ කරදී ඇත.ඔහුට දාව දරුවකු ගැබ්ගත් පසු ඇයව තනිකර දමා මොහු පලාගොස් ඇත.ඒ උපන් දියණිය ඉන්ද්‍රක්කා විය.අපට වඩා ගොඩාක් වැඩිමල් නිසාත් අප සමගම එකට හැදී වැඩුන නිසාත් අප ඉන්ද්‍රක්කා නමින් ඇය ඇමතීය. ඇය මා පාසැල් යාමට පෙර ඇයගේ අධ්‍යාපණ කටයුතු අවසන් කොට තිබුනි.පොඩි අයියා යනු කුඩා කාලයේදී මග දමා ගොස් සිටියදී හමුවී අප මව් පාර්ශවයේ අය විසින් හදාවඩා ගන්නා ලද මෝඩ පහේ නමුත් හරිම ආඩම්බරකාර රොමානිස් හාමිය.අපේ දෙමව්පියන්ට වඩා ඔහු වැඩිමහල් නිසා පොඩි අයියා නමින් ඇමතීය.මිය යන තෙක්ම අපටත් ඔහු පොඩිඅයියාම විය.තාත්තාගේ ලැබෙන මුදල් සහ අරක්කු නිසා ඔහුට අපේ තාත්තා හැර වෙන ලෝකයක් නොවීය.තාත්තාගේ රැස්පොට් එක කරටගත් පොඩි අයියා අපේ අම්මාටත්, තාත්තාගේ කන්තෝරුවේ යාලුවන්ටත් පවා බැණ අඬ ගසන අවස්ථා මට මතකය. නමුත් කවුරුත් මොහු සමග උරණ වන්නේ නැත.කාටත් හොරෙන් ගංජා බොන බවත් තාත්තා එය දැණසිටි බවත් පසු කාලයකදී අම්මා මට කියා ඇත.                                                                                                                                                                                    නිතරම හැන්දෑවේ සිට රාත්‍රීය වන තෙක් ගෙදර විශාල ඉස්තෝප්පුවේ ගැවසෙන පුද්ගලයින් වුයේ තාත්තාගේ කන්තෝරුවේ වෘත්තීය සමිති සගයන්,ගමේ යහලුවන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ ආසනයේ සමහර ක්‍රියාකාරීන්ය.ඔවුන් අඩි පුඩි ගසමින් දේශපාලණ කතා බහේ යෙදුනි.බාලා තම්පෝ,වාසුදේව,චන්ද්‍රා කුමාරගේ,ස්ටැන්ලි තිලකරත්න වැනි අයද ගොඩ වැදුනු අවස්ථා ඇත.සීයා මියගිය පසු මේ ක්‍රියාවලිය වඩාත් වර්ධණය වුයේ තාත්තා ගෙදර ගෘහමූලිකයා වීම නිසා විය යුතුය.අපේ තාත්තා ඉගෙනුම ලබා ඇත්තේ කලුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ සහ මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේය.ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා ඇති මොහු ඉංග්‍රීසියෙන් කථා කරනවා මම අසා ඇත්තේ ඉතාමත්ම අඩුවෙනි.අවශ්‍යම අවස්ථාවකදී හැර ඉංග්‍රීසි භාවිතාවක් නොතිබු තරම්ය.අම්මා සහ ලොකු අම්මා නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදී සිසුවියන්ය.මාමා කලුතර සිරිකුරුස විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇත.                                                                                                                 මා ප්‍රථමයෙන්ම ගල්ලෑලක් ගල්කූරක් අතට ගත්තේ,ගංගොඩවිල වනාත පාරේ තුන්වැනි පටුමග අසල අම්බලන්දූව ටීචර්ලාගේ ගෙදරින්ය.ඉතාම කුඩා දරුවන්ට අත්පොත් තැබූ, ඇයගේ ඉස්තෝප්පුවේ පවත්වාගෙන ගිය එම කුඩා මොන්ටිසෝරියේ අවට ලමුන් පස් හය දෙනෙක් පමනක්විය.තම්බාපු කඩල,තම්බපු වෙරලු හෝ කොස් ඇට වැනි කුමක් හෝ අපිට ලබාදුනි.මට වඩාත් සැලකිලි ලැබුනේ එකල වඩාත්ම සුරුබුහුටි සහ කීකරුම දරුවා මා නිසා විය යුතුය.මෙතුමියට උපාලි සහ ලාල් අම්බලන්දූව නම් තරුණ පුතුන් දෙදෙනෙක් විය.ඔවුන් දෙදෙනාම නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් විය.                                                            මම ප්‍රාථමික අධ්‍යාපණය ලැබුවේ එවකට ශාන්ත යොහාන්ගේ පාසල නම්වූ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන්ය.එවකටත් මෙම පාසැල කොළඹ දිස්ත්‍රික්කයේ තිබු කීර්තිමත් පාසැලක් විය.මෙහි ඉගැණුම ලැබූ විශිෂ්ඨ ආදී ශිෂ්‍යයෙක් වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිතුමාය.ඔහුගේ වැඩිමහල් සොහොයුරු තිලකරත්න කුරුවිටබංඩාර,අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැනි අය මගේ වැඩිහිටි ඥාති සොයුරන්ගේ පංතිවල ඉගෙනුම ලද බව මම දනිමි.තවත් අය බොහෝය.මගේ පාසල නුගේගොඩ හයිලෙවල් පාරේ පිරවුම්හලට යාබදව මෙට්‍රෝ සිනමාහලට පිවිසෙන මාර්ගය ඉදිරිපිට පිහිටා ඇත.එකල පාසලට පිවිසීමට පෙර දක්නට ලැබුනු මනරම් දර්ශන දෙකකි.එකක් නම් අඹ,අන්නාසි විකුනන පුංචි කරත්තයය.එය සිහින් සිරුරක් හෙබි ප්‍රියමනාප මනුස්සයෙක් සතුවිය.පාසලේ ලොකු ලමයින් ඔහුගේ මිතුරන් මෙන් විය.අනික් දර්ශණය නම් කාලවර්ණ,තරබාරු,චීත්ත  රෙද්දක් සහ හැට්ටයක් හැඳි අච්චාරු ආච්චීය.ඇයගේ අඩුම කුඩුම සියල්ලක්ම මහ පොලොව මත එලූ ඉටි රෙද්දක් මත ප්‍රදර්ශණය විය.ඇය හා වටා සිටියේ පාසලේ කුඩා දරුවන් රැගෙන යාමට පැමිනෙන වැඩිහිටි කාන්තාවෝය.                                                                                                                                            අප පාසලේ එවකට විදුහල්පති වූයේ ප්‍රතාපවත් චරිතයක්වූ ජී.බී.බන්නැහක මහතාය.සුදෝ සුදු කලිසමත්,කෝට් එකත් හැඳ උපැස් යුවලක් පැලඳූ බන්නැහක මහතා හීන්දෑරී පුද්ගලයෙකි.පතෝලයා යන අන්වර්ථ නාමයෙන් මොහු හැඳින්වු වැඩිහිටි ශිෂ්‍යයින්ට දැඩි දඬුවම් වලට ලක්වන්නට සිදුවිය.මාගේ වැඩිමල් ඥාති සොහොයුරෙක්ගේ නොමනා හැසිරීම නිසා පාසලෙන් ඉවත් කරන ලදි.මොහු අත වේවැලක් තිබූ අතර ඉතාමත් මැනවින් පාසැල පාලනය කරනා බවට වැඩිහිටියන්ගේ කතා බහට ලක්විය.ඒ සම්බන්ධව මට වඩා දන්නා අය බොහෝය.මට ශාන්ත ජෝන් විදුහලේ අකුරු කිරීමට ලැබුනේ පස් වසරක් පමනී.                                                                                                                                                                   
               මා මුල් දිනයේ පාසලට පැමිනියේ අම්මා සමගය.දෙල්කඳ හංදියේ සිට නුගේගොඩ දක්වා ගමනට ටිකට් එකහමාරක් ශත අටක් පමනක් විය.අම්මාට ශත පහක් සහ භාගයක්වූ මට ශත තුනක් වශයෙනි.එකල තිබුනේ ලංගම බස් පමනි.එදා මගේ පලමු පාසල් ගමනට ලබාදුන් ඒ ප්‍රවේශ පත්‍රයන් දෙක මෑතක් වනතුරුත් මා සුරැකිව තබාගත් මුත් නොසැලකිල්ල නිසාමදෝ ඒවා අතුරුදහන් වී ඇත.ඉන් පසුව ඉන්ද්‍රක්කා සමගත් පසුව මා තනිවමත් පාසල් ගමනේ යෙදුනේය.ඉන්ද්‍රක්කා ඇතුලු වැඩිහිටි කාන්තාවන් රේන්ද ගොතමින්ද,පොත්පත් කියවමින්ද,අල්ලාප සල්ලාපයේ යෙදෙමින්ද ඉටි රෙදි එලා වාඩිලා සිටියේ තරබාරු අච්චාරු ආච්චී අසලය.ඒ කුඩා දරුවන් වන අපගේ පාසල නිමවන තෙක් සිට ගෙදර රැගෙන යාමටය.මාගේ මුල්ම පංතිභාර ගුරුවරිය වුයේ මොරායස් නම්වු ඉතා කාරුනික,සිහින් සිරුරක් ඇති තරුණ කාන්තාවකි.අම්මා විසින් මොරායස් ගුරුතුමියට මා බාරදුන් අවස්තාවේ සිට ගොඩක් සිදුවීම් අදටත් චිත්‍රයක් සේ මැවී මැවී පෙනේ.ඇය යටතේ අවුරුදු දෙකක්ද ඉන් පසුව කරුනාරත්න සහ ෆොන්සේකා යන මහත්ම මහත්මීන් යටතේද පස්වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබීය.කරුනාරත්න මහතා ජාතික ඇඳුමෙන් සැරසී හිටි කහට දත් දෙපෙල පෙන්වා නිතරම සිනහා මුවින් සිටි පුද්ගලයෙකි.ෆොන්සේකා මහත්මිය ඉතාමත්ම සැර පරුෂය.සමහරක් ගුරුවරුන් පවා ඇයට බියක් දැක්වූ බව මතකය.
ප.ලි………මේ සියල්ලක්ම සටහන් කරන්නේ මතකයෙන්ම පමනක් බැවින් සමහරක් දින වකවානු ඉතාමත්ම නිවැරදි නොවීමට ඉඩ ඇත.
*********************නැවත හමුවෙමු***************************************

Monday, July 16, 2012

අවුල් වන්නට පෙර…….දේශපාලණික සටහනක් නොවේ

අඩසිය වසකටත් වඩා කාලයක් දිව යන මගේ ජීවිතයේ සටහන් කාටවත් වැදගත් වේදෝ යැයි මම කිහිප විටක් සිතා බැලුවෙමි.                                                                                                                                                          මගේ ජීවිත කතාව කොහේ හෝ සටහන් කර තබනුයේ නම් එය අගනේ යැයි මා දන්නා කිහිප දෙනෙක් පවසා ඇති නිසාත් මෙසේ සටහන් තබන්නට සිතා ගත්තෙමි.මා මේ දිනවල වඩාත් රුචියෙන් නරඹන “අමුතු මිනිස්සු” ටෙලි නාට්‍යයේ මානවගේ චරිත අභ්‍යන්තරයත්,රවී විසින් සටහන් තබා ඇති “සරත් සඳ”පෝස්ටුව කියවීමෙන් නැවත දෝංකාර දෙන දෙවොන්දරා සංගේ ආත්මීය කෙඳිරිල්ලත් මෙය ලිවීමට මට බලකරන් ලදී.
                     
                        මා පසුකල ජීවිතකාලය තුල මට මුන ගැසුනු පුද්ගල චරිත බොහෝය.කොම්පඤ්ඤවීදියේ සිමෙන්ති මුඩුක්කුවේ සිට එංගලන්තයෙ රජ චරිත දක්වා මේ අය විවිධය.විෂමය.ගංගොඩවිල-නුගේගොඩ,පහත්ගම-හංවැල්ල,ඉහල තල්දූව-අවිස්සවේල්ල,දෙහිවල-ගල්කිස්ස ආදී නොයෙකුත් ප්‍රදේශයන්හී මම පදිංචිවී ඉඳ ඇත.රටින් පිට නම් මා වැඩිපුරම ජීවත්ව ඇත්තේ ඕමානයේ මස්කට්-අල්කුවේර් ආශ්‍රිත පෙදෙස් වලත් එංගලන්තයේ නොයෙකුත් පලාත්වලත්ය.ඕමානය අධික ඌශ්ණය.එංගලන්තය අධික ශීතලය.ලංකාවේ උපන් මා ඕනෑම දේශගුණයකට ඔරොත්තු දේන මිනිසෙකු විය.මට හමුවු සහ ඇසුරු කිරීමට ලැබුනු පුද්ගල චරිත කිහිපයක් පමනක් දැනට සඳහන් කිරීම වටි.නිවන්තිඩියේ ආනන්ද නායක ස්වාමීන්,අමරබන්ධු රූපසිංහයන්,කුඩු රජා ඩේලු,පාකිස්තාන් හිටපු ජනාධිපති සියා උල් හක්,මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුද ඉන් සමහරක්ය.මේ අයගෙන් දැනට ජීවත්ව ඉන්නේ චාල්ස් කුමරු පමණය.මොහුගේ පෞද්ගලික ආවතේවකරු[BUTLER] ලෙස මට දින දෙකකට අධික කාලයක් සේවය කිරීමට ලැබුනි.එය අප වෘත්තිය ක්ෂේත්‍රය තුල බොහෝ අයට නොලැබෙනා මහඟු අවස්ථාවක් විය.මා මෙහි සඳහන් කලේ එවැනි චරිත කිහිපයක් පමනි.තව අය බොහෝය.ඔවුන් හා බැඳුනු අත්දැකීම් රාශියකි.ඉදිරියේදී ඒවා ලියා තබන්නට උත්සාහ කරමි.
                      මා සඳහන් කල පලාත්,පුද්ගලයන් සම්බන්ධව අත්දැකීම් සහ තොරතුරු ඇත්නම් මා හා එක්වන්න යැයි ඔබෙන් ඉල්ලා සිටිමි.මේවා කියවීමෙන් ඔබට පලක් වේදැයි මම නොදනිමි.නමුත් ජීවිතයේ සැඳෑසමයට පියමන් කරන්නෙකුගේ ජීවිත අත්දැකීම් එසේ මෙසේ ඉවත හෙලිය නොහැකි බව හුඟ දෙනෙකුගේ මතයයි.දේශපාලණ කරලිය නැවත උණුසුම් වෙනතෙක් කොටස් කිහිපයකින් අප මෙසේ හමුවෙමු.

Tuesday, January 10, 2012

අවුල් වන්නට පෙර………1 කොටස

                           මීට වසර පනහකටත් පමන පෙර මා ඉපදුනේ කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ,ගංගොඩවිල දෙල්කඳ ඉරිදා පොලට මුහුණලා ඇති නිවසකය.උපත කාසල් රෝහලේ වුවත් මගේ මුල් ගෙය ඔතනය.ගංගොඩවිල මවගේ උපන් ගමය.තාත්තා පහත්ගම,හංවැල්ලය.මා ඉපදෙන දිනයේත්,තාත්තා ඔහුගේ ගමේ නාට්‍යයක වීදිය බංඩාරගේ චරිතය නිරූපණය කරමින් සිටි බව පරණ උදවිය කියති.ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව,සමාගමක් කාලයේ පටන්ම ආරම්භක සේවකයෙකි.ගමේ සමාජ වැඩ කටයුතුවලදී උරදී කරදී ඇති පදමට වියදම් කරපු මිනිසෙක් බව අසා ඇත.අම්මා ගෙදර වැඩ කටයුතුවලට සීමාවිය.
                              ගංගොඩවිල නම් එවකට ඉතා මනරම්,සුන්දර ගම් ප්‍රදේශයකි.ජීවත්වීමට ඉතාමතම යෝග්‍යයවු පිහිටීම අතින් අර්ධ නාගරීකවුද සුන්දර තැනිතලාවකි.කොළඹ සිට එනවිට ගංගොඩවිල හයිලෙවල් පාරට වම්පසින් ඈතට වන්නට තිබුනේ කොළඹ සිට ඕපනායක දක්වා ගමන් ගත් පුංචි කෝච්චියේ රේල් පාරය.මේ දෙකටම මැදිව උඩහමුල්ල දෙසට ගමන්ගත් පරණ පාර විය.රේල් පාරට ඔබ්බෙන් තිබුනේ සුන්දර වෙල්යායය.කුඩා දිය පාරවල්,ඒදඬු.හබරල යායත් මට අද මෙන් මතකය.හයිලෙවල් පාරට දකුණු පසින් වනාත පාර මැද්දෙන් යනවිට ඉතා සොඳුරු ගම්බිම් සහ වෙල්යාය පිහිටා තිබුනේය.                                                                                           
                                       ගංගොඩවිල ග්‍රාමය වටා පිහිටා තිබූ සුවිශේෂ ස්ථානවන්නේ පැඟිරිවත්ත,දෙල්කඳ හංදිය,රත්තනපිටිය හරහා ගලා බසිනා ඇල,ජපුර විශ්ව විද්‍යාලය,ශ්‍රී විජයාරාම රජමහ විහාරය සහ අපේ සරුංගල් චාරිකාවන්හී තවත් ගමන් කෙලවරක්වු නාවින්න ආයුර්වේද පරිශ්‍රයය.අද කාගෙත් කතාබහට ලක්වන අපේ ගේ ඉදිරිපිට විශාල බිම්කඩක පිහිටි ඉරිදාපොල,එවකට ගමේ සැමට විවෘතවූ නිලනොලත් ක්‍රීඩාපිටිය විය.සඳුදා සිට සෙනසුරාදා දක්වාම ක්‍රිකට් ගහන,ජිල්බෝල ගහන,සරුංගල් අරින ගමේ තරුනයිනුත් කොලු කුරුට්ටනුත්,සෙනසුරාදා රාත්‍රියේ සිට අවටින් පැමිනෙන වෙළඳුන්ට මේ බිම් කඩ බාරදෙන්නේ තදබල අකැමැත්තෙන්වුවද,ඉරිදා දවසද ඇඟිලි ගනිමින් බලාසිටිනා දවසකි.පොල දවස එතරම්ම දැකුම්කළුය.
                         මේ භූමිය සහ අවට ඉඩකඩම් සමහරක් අයිතිව තිබුනේ රජ්ජුරුවෝ නමින් හඳුන්වන ගම්වාසි ධනවත් ව්‍යාපාරිකයකුටය.ඉරිදාපොලට පැමිනෙන වෙලෙන්ඳන් සහ වෙලෙන්ඳියන්ගෙන් ලබාගන්නා සොච්චම් මුදලකින් ඔහු ඒ දිනවල සෑහීමකට පත්විය.එය ඔහුට ව්‍යාපාරයකට වඩා පොල අයිතිකාරයා යන ගරුනාමය රැකගැනීමට පවත්වා ගෙනගිය පොදු කටයුත්තක් බව මට හිතේ.                                                                                                    
                    අවට ගම්වාසීන්ද සොඳුරු මිනිසුන් විය.හයිලෙවල් පාරට මුහුණලා තිබු නවීන පන්නයේ ගෙවල් කිහිපයක් හැරෙන්නට අන් බොහොමයක් ගෙවල් සිංහල උළු ඇහිරූ 60-70 දශකයේ ගෘහ නිර්මාණයන්ට අනුරූපවු ඒවාය.අපේ ගෙයි දොරකඩ සරුවට වැඩුනු දෙහි ගසක් සහ රත්මල් ගසක්ද විය.එක් පසකින්වූ ලොකු අම්මලාගේ ගෙදර විශේෂිත රතු පැහැයකින් ගෙඩි හටගන්නා අඹ ගසක්ද පිටුපසින් විශාල කිතුල් ගසක්ද විය.මෙම කිතුල් ගස පසු කාලයකදී කපා දැමු පසු නැෂනල් මුදලාලිගේ ගෝලයකු සමග ඔහුගේ අලියා පැමින රැගෙන යනවා අදත් මතකය.මෙම ඉඩම දැන් ජපන් ලංකා හෝ ටොයොටා ලංකා සමාගම සතුව ඇතිබව සිතමි.අනිත් පසින් දුල්ලාවතී නැන්දාලාගේ නිවස ඉදිරිපිට ගමම සුවඳ කෙරූ සේපාලිකා ගසක්ද,විශාල සමන් පිච්ච වැලක්ද,ගේ පිටුපසින් විශාල කොස් ගස්ද ජම්බු,ලාවුළු,වෙරළු වැනි පලතුරු ගස්ද වීය.නැන්දා මල් කැඩීමට පෙර සමන්පිච්ච සහ සේපාලිකා මල්වලට අත තැබීම අන් අයට තහනම් විය.ගම්මු එය දැන සිටියහ.මගේ කුඩාකල ලඟම මිතුරන්වූ ජෝරිස් එදිරිසිංහ පවුලේ තිබු මහා දෙල් ගස අවට මිනිසුන්ගේ බතට නොමිලේම සම්මාදම් විය.අප නිවසට ඉදිරියෙන් හයිලෙවල් පාරේ එහා පැත්තේ ගෙඩි හටගන්නා කොස් ගසක්ද හතර පස් දෙනෙකුට බදන්න බැරි විශාල මාර ගසක්ද විය.මේවා මෙලෙස ලියා තැබුවේ එකල සුන්දර ගම් පියසක්වු ගංගොඩවිලට දැන් සිදුවී ඇති සංතෑන්සිය වටහාගන්නටය.
                     මිල්ටන් මල්ලවාරච්චි,වික්ටර් රත්නායක,රූපා ඉන්දුමති වැනි අයද සිබිල් වෙත්තසිංහ, ජෙනිටා සමරවීර,රෙක්ස් කොඩිප්පිලි වැනි ප්‍රවීනයන්ද එකල අප අවට ගම් වාසීන්ය.ප්‍රියා සූර්යසේන,රෝසි සේනානායක වැන්නවුන්ද පසුකාලීනව ගම් වැසියන් වූහ.අමරදේවයන්,ෆ්‍රෙඩී සිල්වා ඉරිදා පොලේ විශේෂ පාරිභෝගිකයෝය.ප්‍රවීන රාජ්‍ය පරිපාලකයෙකුවු කේ.එච්.ජේ.විජේදාසයන්ගේ මහ ගෙදර අප නිවසට ඉදිරිපසින්ය.නවරත්න ගමගේ නම් අති දක්ෂ සංගීතවේදියාද,සුසිල් ප්‍රේම්ජයන්ත නම් ප්‍රභල ඇමතිවරයාද මට වඩා වසරක් දෙකක් වැඩිමල් වුවද කොට කලිසම් ඇඳ ඉරිදාපොලේ ක්‍රිකට් ගහනවා අද වගේ මතකය.අපෙන් වියෝවු විශාරද ගුනදාස කපුගේයන් ඔහුගේ පලමු ගීතය”දෑස නිලුපුල් තෙමා”මුලින්ම වේදිකාවක ගායනා කලේ අපේ ගෙවල් ආසන්නයේ පොල් කොට වේදීකාවක් උඩ බවත් මතකය.                                                                        
මේ හා සම්බන්ධ තොරතුරු හෝ අවට වත්මන් තතු දන්නේනම් මා හා කමෙන්ටුවකින් හෝ එක්වෙන මෙන් ඉල්ලමි.
                    *****************නැවත හමුවෙමු***************************