Saturday, September 29, 2012

අවුල් වන්නට පෙර(8)….ප්‍රථම නවාතැන

   ප්‍රියයන්ගෙන් වෙන්ව ජීවත් වීමට සිදුව ඇත. කෙසේ හෝ මම දැන් සිටින්නේ ගංගොඩවිල අප සතුව තිබූ නිවසින් ඉඩම් දෙකක් තුනක් මෙහාට වෙන්නට වූ නැන්දලාගේ ගෙදරය. ආනන්ද අයියාගේ කාමරයේම එක් ඇඳක් මට අයිති විය. පොත්පත්ද, ඇඳුම් පැළදුම්ද අම්මා විසින් නිසිලෙස අසුරා තබා පසුවදා උදේ පාසල් බස් රථයටත් ගොඩකර ඔවුන් පිටත්ව ගිය බවක්වත් මට මතකයේ නැත. එක දෙයක්නම් මතකය. ඒ මම නොහැඬු බවය.
    නැන්දලාගේ ගෙදර නියමිත කාලසටහනකට වැඩකරන තැනක්ය. දරුවන් හතර දෙනෙකුන් යුත් ඒ පවුලේ සියල්ලන්ම මට වඩා බොහෝ වැඩිමහල්ය. උසස් පෙළ හදාරමින් සිටියේ පවුලේ බාලයා වූ සර්ධා අක්කාය. වැඩිමහලා වූ බන්ධුල අයියා, නොයෙකුත් නව නිර්මාණයන් අත්හදා බලන්නෙකි. වරක් පිදුරු වලින් කඩදාසී නිශ්පාදනයක්ද, අලවන ගම් වර්ගයක්ද, අයිස් කෝපි, නෙල්ලි යුෂ වැනි දේ බෝතල් කිරීමද වැනි නිමක් නැති වැඩ රාශියක් වත්තේ මඩුවක් තුල සිදුවිය. මේවා සියල්ලක්ම පර්යේෂණ මට්ටමේම අඩාල වු නිශ්පාදනයන්ය. ගෙදර කවුරුවත් මේවාට උදවු නොවන නිසා අකමැත්තෙන් වුවද මට සහභාගි වෙන්නට විය.
   නිතරම පොත පත කියවන මොහු දක්ෂ ගුවන්විදුලි යන්ත්‍ර කාර්මිකයෙක්ද විය. ග්‍රැමෆෝනයක්ද, බොහෝම පැරණි ගී තැටි රාශියක්ද ,රේඩියෝ සඟරාව, සෝවියට් දේශය ඇතුලු බොහෝ පොත්පත් රාශියක් සහිත අල්මාරියක්ද මොහුගේ කාමරයේ විය. ගුවන්විදුලි සංස්ථාව විසින් මාසික සඟරාවක් ලෙස ප්‍රකාශ කෙරුනු රේඩියෝ සඟරාවත්, සෝවියට් දේශයත් මම ඉතා උනන්දුවෙන් කියවීමට පුරුදු වුනෙමි. සෝවියට් දේශය , කඩදාසි සහ මුද්‍රණ තාක්ෂණය අතින් ගත් කල ඉතා ඉහල මට්ටමක පැවතිනි. අද Hello සහ OK වැනි සඟරාවක් හා සමාණය. යම් තරමකට හෝ පොත්පත් කියවීමට මා හුරුවූයේ බන්ධුල අයියාගෙන් යැයි කිව යුතුමය. ඔහු හොඳ පොත පත තෝරාදී කියවන්නට යෝජණා කලත් මා කැමති වූයේ ලී මඩුවේත්, අල්ලපු වතුවලත් කවුරුත් හා එක්ව සෙල්ලම් කිරීමටය.
   පාසැල් ඇරී පැමිණ දහවල් කෑමෙන් පසු සෙල්ලමට සීමිත කාලයක් ලැබුනි. නැන්දලාගේ නිවසේ පලවෙනි කාමරය බුදු කාමරය විය. හැන්දැවේ හය වෙනවිට ඇඟ පත සෝදා පිරිසිඳු ඇඳුමෙන් සැරසී ගෙදර සියල්ලෝම එකට වාඩිවී බුදුන් වැඳීමේ අගනා චාරිත්‍රය සිදුකරන අතර, උදය, දවල්, සවස බුද්ධ පූජාව තැබීමද අනිවාර්ය අංගයක් විය. 1989 දී පවුලේ බාල පුතා වූ ආනන්ද අයියා සම්බන්ධව සිදුවූ කුරිරු සිදුවීමත් නිසා බොහෝ ලෙස මානසික කඩා වැටීමකට ලක් වූ නැන්දා , තමන් සතු සමහරක් දේපලද පන්සල්වලට පූජාකර, ඉන් බොහෝ කලකට පසු මිය පරලොව ගියාය. ඒ සිදුවීම මම පසුව ලියන්නෙමි.
   කාලසටහනකට වැඩ කිරීමත්, අධීක්ෂණයක් යටතේ ජීවත් වෙන්නට සිදුවීමත් එතරම් රුචි නොවීය. මෙතනදී මම වැරදි බව මම දනිමි. නමුත් මට මේවා නියමාකාරයෙන් වටහාදීමට කිසිවෙක් නොවීය. මමත් තවත් පාසැල් මිතුරන් දෙදෙනෙකුත් පාසල් බසය මගහැර, පාසලෙන් පසු පිට්ටනියටවී ටික වේලාවක් සෙල්ලම් කර ටවුන්හෝල් එක ලඟින් බසයට ගොඩවීමට පුරුද්දක් කර ගතිමු. ටවුන්හෝල් දක්වා යන ගමන කෞතුකාගාරය මැදින් ඇති අතුරු පාරෙන් යන අප, ඒ වයසේදී කිසිවිටකත් නොකල යුතු වැරද්දක් නිසා මහත් අපහසුතාවයකට පත්විය.
        එකල කෞතුකාගාරය අසල ටොෆී, කඩල, සිගරට් ආදිය විකුණනා වෙලෙන්දන්ගෙන් අඩුවක් නොවීය. මොවුන්ගෙන් සිගරට් මිලදී ගැනීමට තහංචියක් නොතිබූ නිසාත්, විකිනීමට ඔවුන් මැලිකමක්ද නොදැක්විය. කුඩා එවුන් කඩයට යවා සිගරට් ගෙන්වා ගන්නා වැඩිහිටියන් එකල විය. එය නරක පුරුද්දක් විය. අප තිදෙනාද සිගරට් මිලදී ගෙන විහාරමහාදේවී උද්‍යානයේ ගසක් උඩ තිබූ අට්ටාලය උඩට නැග මෙලෝ හසරක් නැතිව දුම් උරන්නෙමු. දිනක් වැදගත් පෙනුමෙන් යුතු මහත්මයෙක් අට්ටාලයට නගින පඩිපෙල පාමුලට විත් වහාම බිමට බසින්නට අණ කලේය. පැයකට අධික කාලයක් ඔහුගේ දේශණයටත්, ගෝරනාඩුවත් ඇහුම්කන් දුන් අප තිදෙනාගෙන් දෙදෙනෙකු හඬන්නට පටන්ගත් නිසා නැවත විහාරමහාදේවී උද්‍යානයට පැමින අසුවුවහොත් පොලීසියට භාරදෙන පවසා යන්නට පැවසුවේය. එවකට ප්‍රසිද්ධ නාරි සහ ප්‍රසව වෛද්‍යවරයෙක්ගේ පුතෙක් වූ ප්‍රසන්න අද නවසීලන්තයේද, පංතියේ කිරි බෝතල් බෙදීමේ රාජකාරිය පැවරී තිබු නිසා කිරා යැයි ඇමතූ හේරත්ද විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක තනතුරක් හොබවන කිරා නම් වෛද්‍යවරයා, එදායින් පසු අදටත් දුම්පානයෙන් තොර අතර, මටනම් කොතෙක් උත්සාහ කලත් ඒ නරක පුරුද්දට තිත තබන්නට බැරි විය. අදටත් පාර තොටේදි කුඩාවුන් සිගරට් බොනවා දුටුවිට ඒ සිද්ධිය මතකයට නැගේ.
   මේ පලහිලව්ව නිසා එදා ගෙදර එන්නට බොහෝ පරක්කු විය. විත්තිකරු එනතෙක් විනිශ්චය මංඩලය නොඉවසිල්ලෙන් බලා සිටී. චෝදනාව ප්‍රමාදවී රපෝර්තු කිරීමය. බරපතලම චෝදනාව වාර්තාවීමට කිසිම ඉඩක් නැත. දෝෂාරෝපණ රාශියකට මුහුණ දී එකම දිනයේදී දෙවරක් හඬාවැටෙන්නට සිදුවූ නිසාත් දින කිහිපයක් ගතකරේ ඉමහත් කණස්සලෙනි. මේ සිදුවීම අප තිදෙනාගෙන් කිසිවෙක් පාසලේදීවත් නැවත කතා නොවුයේ , ඒ වැදගත් මහතාට පින් සිදුවන්නට ඇතිවූ තිගැස්සීම නිසාම විය යුතුය.
   දිනක් හැන්දෑවේ සෙල්ලම් කරමින් සිටි මට නැන්දාගේ “ගෙදර එන්නේ නැද්දයි” යන හඬ ඇසුනේ ඉඩම් දෙක තුනක් එහාට වන්නට  අප සිටි දිශාවටය. ඒ හඬින්ම මට දැනුනේ නැන්දා තදින් කෝපවී ඇති බවත්, තවත් චෝදනා පත්‍රයකට මුහුණ දෙන්නට වෙන බවත්ය. මම ගෙදර නොයෑමට තීරණය කලෙමි. හැඳ සිටි කොට කලිසමත්, කමිසයත් හැර සෙරෙප්පු දෙකක්වත්, අන් කිසිම දෙයක්වත් නොමැතිව ඒ අසලම ඇති අටේ කණුව බස් නැවතුම දෙසට පියමන් කලේ මමම දැයි මට තවමත් අවිශ්වාසය.
   මා සතු කිසිවක් නැත. ඉතිරිව තිබුනේ ඉහල තල්දූවේ ගෙදරට යෑමේ අධිෂ්ඨාණය පමනී. කොළඹ- අවිස්සවේල්ල 122 බසයක් පැමිනෙන තුරු එඩ්වින් ස්ටුඩියෝ එකට මුවාවී සිටි මා බසය නැවතූ සැණින් ඉදිරිපස දොරටුවෙන් දඩිබිඩියේ ගොඩවූයේ බසයෙන් බසිනා මගියෙක්ගෙන් හොඳ බැනුමක්ද අසමින්ය. වාසනාවකට හෝ අවාසනාවකට මට බැන වැදුනු මගියා, විජේරාමේ පදිංචිව සිටි අපේ මාමා කෙනෙක්ය. ඔහු මා හඳුනාගත්තේ බසය පනගන්වා ඉදිරියට ඇදීමෙන් පසුව බව මට පෙනුනි.
   ඔබ දන්නා පරිදිම එකල පෞද්ගලික බස් සේවයක් නොතිබූ අතර, ලංගම බස්වල පිටුපසටවී සිටිනා කොන්දොස්තර මහතා පස්සෙන් පන්න පන්නා ටිකට් ගන්නැයි, ටිකට් ගන්නැයි හඬා වැටෙන්නේවත්, අණ කරන්නේත් නැත. ඉදිරියෙන් ගොඩවනා මගියා පිටුපසට පැමිණ ටිකට් ගන්නා තුරු, කොන්දොස්තර මහතා ඔහුගේ ලෝකයේ කල්පනාවක නිමග්නව සිටිනවා හැර කිසිම කරදරයක් නැත. ඉල්ලුවොත් ටිකට් එකක් දීමත්, නැවැත්වූ බසය යලි ධාවනයට බෙල් එක ගැසීමත්, සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට කොලයක කුරුටු ගෑමත් ඔහුගේ රාජකාරිය විය. “ඇතුල්වීම පිටුපස දොරටුවෙන් පමණි” යන දැන්වීම පැමිණියේ බොහෝ කලකට පසුය. 
    කොහොමින් කොහොම හරි අවිස්සාවේල්ලට පැමිණි බසයෙන් පිටවූ මා, තාත්තාගේ කන්තෝරුවට ගොස් ඔහු හමුවීම සහමුලින්ම අමතක කරදමා ඉහල තල්දූවට පයින්ම ගෑටුවෙමි. අවට සිරි නරඹමින්ද, ත්‍රාසය, බිය, ශෝකය ,කුතුහලය ආදී නන්වැදෑරුම් රසයන් ගෙන් යුත් මනසකින් යුතුව ගෙදරට ගොඩවූ පමනින් සියල්ලන්ම පුදුමයට පත්වූ අතර, ආච්චී දුවවිත් මා සිපගන්නට විය. කවුරුන් සමග මා පැමින ඇත්දැයි විමසිල්ලෙන් බැලූ අම්මා එකවරම හඬා වැටෙන්නට විය. ඔවුන් යමක් තේරුම් ගන්නට ඇත. සිපගැනීම්, හඬාවැටීම්, පාපොච්ඡාරණ සියල්ලම අවසන, රාජකාරී නිමවී පැමිණෙන තාත්තාට මුහුණ දිය යුතුය. කිසිදා ගුටියක් නොකා ඇති මා, එදාද තාත්තාගෙන් ගුටි නොකෑවා පමනක් නොව ඔහුගේ ආදරයටත් පාත්‍ර විය. ඔහු මා සනසාලන්නට විය. ගහෙන් වැටුනු එකාට ගොනා ඇණීමේ කලාව තාත්තාට කිසිදා ගෝචර නොවීය.
     මේවන විට අප පවුලේ හයවැනි දරුවා ලෙස ඉතා පියකරු නැඟණියක්ද එකතුවී සිටී. ගෙදර ආර්ථිකය එතරම්ම යහපත් නොවන බව රාත්‍රී ආහාර වේලෙන්ම වටහා ගැනීමට හැකිවිය. පසුව ආච්චීද ඒ බව මට කියාදුන්නේ අම්මාගේ මාල, කරාබුද උගසට තබා ඇති බවත්, ඇය පලඳන්නේ ආච්චීගේ කරාබු යුවලක් බවත් කියාය. 
                  මේ වනවිට නැන්දලාද කලබලවී ඇතිබව සහසුදක්සේ මම දනිමි. එදා සිකුරාදා රාත්‍රියක් නිසා තාත්තා පසුවදා පාන්දරින්ම ගංගොඩවිල බලා පිටත්වූයේ, එකල දුරකථන භාවිතාවක් නොවු නිසා තත්වය සාකච්ඡා කිරීමටය. ඒ වෙන විට මට බැන වැදුනු බස් මගියා මේ විස්තරය නැන්දාට පවසා ඇති බව මට වැටහුනත්, ඒ බව දෙමව්පියනට නොකීවෙමි.
    මම නැන්දලාගේ ගෙදරින් පැන ආවේ මගේ නොදැණුවත්කමත්, මානසික අපහසුතාවයත් නිසාය. පසුදින තවත් කෙනෙක් ගෙදරින් පැන ඇවිත් නැවතුනේ අපේ ගෙදරමය. එයත් අපහසුතාවයක් නිසා විය යුතුය. නමුත් නොදැණුවත්කමක් නිසා නම් නොවේ යැයි හිතමි. ඒ අපේ ලොකු අම්මාය. මල ජංජාලයකි. මම නැවත ලියමි.

Sunday, September 23, 2012

අවුල් වන්නට පෙර (7)….ඉහළ තල්දූව

         කෙනෙකුගේ ජීවිතය වෙනස්වන්නට ගතවන්නේ කුඩා කාලයකි. කුඩා සිදුවීමකි. එය කෙසේ සිදුවෙනවා දැයි සිතාගැනීමටත් අපහසුය.
      මගේ ජීවිතේ මහා කුනාටුවක පෙර නිමිති පහලවන බැව් මට දැනගන්නට පටන් ගන්නේ ගෙදර තුල ඇතිවූ කතාබස් තුලින්මය. තාත්තා දැන් පදිංචිවී සිටින්නේ ඉහළ තල්දූවේය. රැකියාව අවිස්සාවේල්ල නගරයේය. රාජකීය විදුහලේ ඉගෙණීම ආරම්භකර ටික කාලයක් ගතවන විට පවුලේ සියල්ලන්ම ඉහල තල්දූවට සංක්‍රමණය විය යුතු යැයි තාත්තාගේ අදහසවී ඇත. ඒ පලාතේ සිට කොළඹ පාසැල් ඒම පහසු කටයුත්තක් නොවන නිසා මා කොහේ හෝ නැවතිය යුතුය. මෙය ආච්චීටනම් ඉවසුම් නොදෙන වැඩක් බව දැනගතිමි. කෙසේ හෝ එක් පාසැල් නිවාඩු කාලයකදී ගෙවල් කුලියටදී ඉහල තල්දූවට යෑමට සියල්ලන්ටම සිදුවිය. මේ වනවිට අප පවුලේ හතරවැනියා වූ මල්ලීට පැපොල රෝගය වැලඳුණි. එයින් පසු පස්වැනියා වූ මුලින් කියු අහිංසකාවියටද රෝගය බෝවී තිබුනි.
   අන් අයටද රෝගය බෝවීම වැලැක්වීම සඳහා ඔවුන්ගෙන් වෙන්කර තැබුවද, නංගී රෝගාතුරවීම මට බොහෝ රිදුම් දෙන්නක් විය.මම  එදාත් අදත් හෙටටත් ඇයට බෙහෙවින්ම ආදරය කරන්නෙමි. මට කාටත් හොරෙන් ඇය හුරතල් කිරීමටත්, වඩා ගැනීමටත් අවශ්‍ය විය. එය එලෙසින්ම සිදුවිය. මටද පැපොල රෝගය වැලඳුණි. මේ නිසා ගෙවල් හැරයාම තව කාලයකට දිග් ගැසුනි. අසනීප තත්වයන් මත මෙය කල්දැමුවා මිස, කෙසේ හෝ අප යායුතු බව ඒකාන්තය.
          ඊලඟ පාසැල් නිවාඩුවේ ලොරි දෙකකින් බඩු පටවාගත් අප ඉහල තල්දූවේ පදිංචියට යාමට පිටත්වුනි. මෙය අප සියලු දෙනාගේම ජීවිතවලට තාත්තා විසින් බලෙන් පැටවූ අභාග්‍යයක් යැයි මම සිතමි. මෙයට ක්‍රියාවෙන් විරෝධය පෑවේ ගෙදර හුරතලයට හැදුනු බළල් පැටවා පමණි. යන්නට සුදානම්වී වැඩ කටයුතු අහවර වූ එක් සැණින් මූ අතුරුදහන් විය. කොහේ ගියා දැයි දන්නේ ඌම පමණි. පිටත්වීමට මොහොතකට පෙර පවා, නෑදෑයින් සහ අසල්වැසියන්ගෙන් තාත්තාට ලැබුනේ සුභ පැතුම් නොව දෝස්මුරයන්ය.  ඔවුන් අපගේ පවුලේ අයට මහත් ලෙන්ගතුවූ නිසාමය. මගේ සම වයසේ කුඩා මිතුරෙකු ලොරියට ගලකින් ගැසූ බවද මතකය. මට අවශ්‍යවූයේ බඩු පැටවූ ලොරියේ පිටුපස ගමන් කිරීමටය. අම්මාගේ බලවත් අකැමැත්තෙන් වුවද ඒ අවශ්‍යතාවය ඉටුවූ අතර අප ඉහල තල්දූවේ පදිංචියට පිටමන් විය. කවදාවත් කේන්ති ගොස් සිටුනු දැක නොමැති ආච්චී පෙන්වූ සැර පරුෂ ස්වභාවය අදටත් මතකය. එය සාධාරණය. මේ අතහැර යන්නේ ඔවුන් උපන්, හදුනු  වැඩුනු ගෙවල් දොරවල් සහ ගම්බිම්ය. මේ නම් සිදුවන්නේ වෙන කිසිම දෙයක් නොව තාත්තාගේ තවත් තකතීරු වැඩ පිලිවෙලක එක් අංගයක් බව පසුව වටහා ගතිමි. ටික කාලයකට පසුව අම්මාගේ මල්ලීද සමග එක්වී මෙතරම් වටිනා දේපල කුණුකොල්ලට විකුණා අහවර කරේය. තාත්තාගේ මව් පාර්ශවයෙන් හිමිව තිබු වැල්ලවත්තේ පාමංකඩ ඉතා සුවිසල් නිවසකටද එම ආනිසංසයම සිදුකල බව මේ නාස්තිකාර පුත්‍රයාගේ තාත්තා මට කියා ඇත. ඔවුන් ගැන මම පසුව ලියමි. මොනවා සිදුවූවත් අපේ තාත්තා ඉතා අවංක, සුන්දර මනුස්සයෙක් බව නම් නොකියා සිටිය නොහැක.
       අප පදිංචියට ගිය ඉහල තල්දූව නිවස පිහිටියේ මහපාරට යාබදව තරමක් උස් බිම් කඩකය. ඉදිරියෙන් වෙල් යායද, ටික දුරක් ඇවිද ගිය විට පිටුපසින් සීතාවක ගඟද, එක් අතකින් මහ පාරට යටින් ගලා යන කුඩා ඇලද, අනික් පසින් කඩ දෙක තුනකින් සමන්විත කඩමංඩියද විය. අර්ධ නාගරීක ජීවිතයකට හුරුවී සිටි අපට මෙය නැවුම් අත්දැකීමක් විය. පාසල් නිවාඩු කාලය නිසාත්, ඉක්මනින්ම මිතුරු ඇසුරට එක්වීමේ සහජ දක්ෂතාවයත් නිසා මට සම වයසේ මිතුරන්ගෙන් ඒ ප්‍රදේශයේද හිඟයක් නොවීය. ඔවුන්ගේ මුහුණු මතකයේ ඇතිමුත් නමින් මතකය ඇත්තේ, අප අසලම නිවසක වාසය කල ඇලෝසියස් නම් ලංගමයේ සේවය කල බස් කොන්දොස්තර මහතාගේ පුත් ලාල් පමණය.
       සොල්දර තට්ටුවක්, කාමර තුනක් සහ විශාල කුස්සියකින් සමන්විත මේ නිවස ප්‍රමාණයෙන් අපේ මුල් නිවස හා සමාණය. නමුත් මේ කිසිවක් කාටවත් සතුටක් ගෙන නොදුන්නේ පැමිණි මොහොතේ සිට ආච්චී දැක්වූ ප්‍රතිචාර නිසාමය. ඇය වාඩිගත් තැනම වාඩිවී සිටියේ ඇයගේ රණ් ආභරණ බහා තිබූ කුඩා පෙට්ටියද ලංකර ගෙන තදබල කෝපයෙනි. තාත්තාගේ ගංගොඩවිල යහළුවන් බඩු පටවා ගැනීමට උදව් වුවා සේම මෙහෙන් බඩු බාගැනීමට තාත්තාගේ අවට යහළුවන් කංඩායමක්ද පැමින සිටී. ඔවුන් ගොවිතැන් බතක් කරන, කුලී වැඩක් කර මුදලක් සොයාගන්නා ග්‍රාමීය මිනිසුන්ය. අපේ තාත්තාගේ මිතුරු ඇසුරේ සීමා මායිම් නොවීය. ආච්චී පැවසුයේ එක් දෙයක් විතරමය. ඔය ලෑස්ති කරගෙන ඉන්නේ තවත් බේබද්දෝ රැලක් යන වග පමණි. එය ඔවුනට නෑසුනා විය හැක. නමුත් ඇය නිවැරදිය.
   ඉහල තල්දූවට පැමිනෙන ගමනේදී තාත්තා අවිස්සාවේල්ලෙන් බැස්සේ තවත් අඩුම කුඩුම මිලදී ගැනීමට විය යුතුය. ඒ උදව්වට පැමිණි යහළුවන්ට සංග්‍රාහ කිරීමට බව පෙනේ. නැවත ඔහු පැමිණෙන තෙක් උදව්වට පැමිණි අයත් අසල්වැසීයෝත් අපට මහත් ඇළුම් කලේ අපේ අම්මාගේ නිවුනු ගති පැවතුම් නිසාත්, අප කොළඹ උදවිය නිසාත් බව හිතමි. කෙසේ නමුත් ගම්වල අය ආගන්තුක සංග්‍රහයට බොහෝ උනන්දු අය බව කවුරුත් දන්නා කරුණකි. එක් කාමරයක් අගුළු දමා තිබු නිසා එය ඇරගැනීමට අම්මාට යතුරක් නොතිබූ නිසා ඉදිරිපත් වූයේ තාත්තාගේ අලුත් යහළුවෙක්ය. ඒ කාමරයට යතුරක් ඔහු සතුව තිබුණි. දොර ඇරුනු සැනින් මා දුටුවේ පැත්තකට කර තිබූ හිස් බෝතල් සහ සිගරට් කොට සහිත භාජනත් සමගින් පිරි ඩෙඟා මඩුවකි. ආච්චී දැක්කොත් කෑගසාවි යැයි කියා අම්මා ඉක්මණින් එය අගුළු දැමුවේ තාත්තාටම අස්කරන්නට ඉඩහරිමින්මය.
        ඉහල තල්දූව හෙවත් තැඹිලියාන මනරම් ග්‍රාමයකි. කඩ මංඩිය සමන්විත වූයේ කුඩා තේ කඩ දෙකකින් සහ එක පුටුවක් සහිත බාබර් සාප්පුවෙන්ය. බස් නවත්තන්නෙත් ඔතනමය. හුලං විස්කෝතු, විස්කිරිඤ්ඤා,සව්බොරවා පිරවු විශාල වීදුරු බෝතල්ද,එල්ලූ කෙසෙල් කැණ්ද, හැලප, වන්ඩු ආප්ප තිබූ සෝකේස්ද, අඟුරු දැමූ තේ බොයිලේරුවද කඩ දෙකේම දක්නට ලැබුන පොදු දසුන්ය. ඒ කඩ දෙක මැදින් ඇති කුඩා පටු වැලි පාරේ ඇතුලට යනවිට තැනින් තැන පිහිටා තිබූ ගෙවල් කීපයකට පසු හමුවන්නේ ඒ සුන්දර සීතාවක ගංගාවයි. ගමේ මිනිසුන් නෑමට ,රෙදි සෝදා ගැනීමට භාවිතා කලේ සීතාවක ගඟය.
     ගඟේ රෙදි සේදීම අම්මාටත්, ඉන්ද්‍රක්කාටත් හුරු නැති නිසාත්, තාත්තාගේ සුදු කමිස කලිසම් බොර පැහැ ගැන්වෙන නිසාත් එම රෙදි පමනක් ටික දුරක් යනවිට හමුවන හේනේ මාමා සහ රෙදි නැන්දාගේ ගෙදරට ගෙන යා යුතුය. මම මේ ගමනට ඉතා කැමතිය. මගදී හමුවන එක් පංසලක් ඇත. එවකටත් මේ පංසල සමග ගම්මුන්ගේ එතරම් ඇසුරක් තිබී නැත. බංඩාරණායක මහතා ඝාතණ නඩුවේ වැරදිකරුවෙක්වූ තල්දූවේ සෝමාරාම නම් පැවිද්දා වාසය කර ඇත්තේ මෙහි යැයි පැවසේ. අපේ අම්මාද බොහෝ විට කැමති දෙයක් නම් අසල්වැසි ඇසුරය. ඇය ඉතාමත්ම ප්‍රිය මනාප ගැහැණියක්ම නිසා කවුරුත් ඇයගේ පැමිණීම අපේක්ෂා කරයි. රෙදි නැන්දාගේ නිවස අසල ඉතාමත්ම දැකුම්කළුය. ගෙට එහායින් ඇති වතුර පීල්ල, අප වැනි නගරයෙන් පැමිනිවුන්ට නම් මැජික් එකක්ම විය. සෝද වේලා ගෙනගිය සමහරක් රෙදි මැද දීමට ගතවන කාලය මගේ ප්‍රියතම කාලය විය. රෙදි නැන්දා ඒ සඳහා පමනටත් වඩා කාලයක් මිඩංගු කරන්නේ, තේ බිබී අම්මා සමග දොඩමළුවී කාලය ගත කිරීමටත්, මට ඇති පදම් සෙල්ලම් කිරීමට කාලය ලබා දිය යුතු බැවින්දෝ යැයි අදටත් මම සිතමි. 
     පාසැල් නිවාඩු කාලය නිසාත්, මගේ සහෝදර සහෝදරියන් මට වඩා කුඩා වූවන් නිසාත් මට අලුත් යාළුවෝ සමග මාළු ඇල්ලීම, ගඩා ගෙඩි කැඩීම, ගස් බඩ ගෑම හැර අන් කිසිම රාජකාරියක් නොවීය. මට මේ දේවල් එතරම් නුහුරු වූවත් මගේ මිතුරන් ප්‍රවීණයන් නිසාත් පසු කාලයකදී මගේ ප්‍රියතම විනෝදාංශය මසුන් ඇල්ලීම විය. කුඩා දිය පාරවල් දෙපැත්තෙන් අහුරා දැමීම, වලවල් ඉසීම, බිලී පිත්ත, කුඩා දැල් එලීම වැනිදේ ඉගෙනගන්නට ලැබුනේ ඒ සොඳුරු මිතුරු ඇසුරේය.
     මේ කාලය තුලදී සතියකට වරක් හෝ දෙවරක් පමණ තාත්තා සමග ඔහුගේ රාජකාරී ස්ථානයට ගොස් කාලය කා දැමීමටත් මට සිදුවිය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අවිස්සාවේල්ලේ ශාඛාව පිහිටියේ නගරයට නුදුරින්ම රත්නපුර පාරට මායිම්ව විශාල නිවසක් බඳු ගොඩනැගිල්ලකය. එයට වම් පසින් කුඩා ඇල පාරක්ද ගලා බසී. සේවක සේවිකාවන් දහ දොලොස් දෙනෙකු පමණක් සේවය කල මේ ස්ථානයේ, රාජකීය විදුහලේ සහ මගේ ඉගෙනුම් කටයුතු සම්බන්ධ ප්‍රශ්ණ වලට උත්තර දිදී සිටිනවා හැර කරන්නට යමක් තිබුනේ නම්, ඒ ඔවුන්ගේ හුරතලයට බඳුන් වීමත්, නිතර දෙවේලේ ලැබෙන කඩචෝරු සප්පායම් වීමත්ය. වැඩ අහවර වෙන්නට පැය දෙක තුනකට පමන පෙර සිට මේ මිතුරන් එකා දෙකා තුන්දෙනා බැගින් විටින් විට නගරය දෙසට ගොස් පැමිනෙන්නේ කුමන රාජකාරියකට දැයි පසුව මම තේරුම් ගතිමි. මේ හැම කංඩායම් ගමනකම තාත්තා අනිවාර්‍ය සාමාජිකයෙක් විය. මම ඔහුගේ කාර්යල මිතුරියන් හා තනිවිමි. 
      පාසල් නිවාඩුව ඉවර වෙන්නට ආසන්නය. තීරණය කර තිබූ පරිදි ,නැවත පාසල් යාම සඳහා ගංගොඩවිල නැන්දා කෙනෙකුගේ ගෙදර නැවතී සිටිය යුතුය. මෙය මට ඉතාමත්ම රිඳුම් දෙන කාරණයක් විය. මෙවැනි වයසකදී දෙමව්පියන්ගෙන් ඈත්ව ජීවත්වීම මට ඉතාමත්ම අපහසු කාර්යයක් විය. මෙය කියවන තරුණ දෙමව්පියන් සහ දෙමව්පියන් වීමට සිටිනා අය නම් වටහාගත යුතු එක් විශේෂිත කරුණක් විය යුත්තේ, තම දරුවන් මෙවන් වයස් වලදී ඔබෙන් ඈත්කර නොතබා ගැනීමය. කුමන රජ සම්පත් ලැබුනත්, කවර රාජකීය අධ්‍යාපනයක් ලැබුවත් දරුවන්ට දෙමව්පිය ඇසුරේ වැඩීම තරම් අන් දෙයක් ලොව නැත. එය එසේ නොකිරීමට ඔබ වග බලා ගත යුතුය.
        මගේ පාසල් කාලය තුල මා ලැබූ සුන්දර අත්දැකීම්වලට වඩා අසුන්දර දෑ බොහෝය. මගේ පංතියේ මිතුරන්ද බොහෝ දෙනෙක් මව්පිය ඇසුරෙන් මිදී, කොහේ හෝ නැවතී පාසල් ගිය බව සැබෑය. නමුත් මෙය මට වාවා ගත නොහැකි දෙයක් විය. කුඩා කල සිටම මා සංවේදී දරුවෙක් වී යැයි මම සිතමි. මෙතැන් පටන් මගේ පාසල් ජීවිතය රුවල් බිඳී ගිය නෞකාවක් වගේ යැයි කියන්නේ අතිශයෝක්තියකින් නොවේ. බොහෝ දේ කීමට ඇත. දැනටද නීරස මේ කතාව තවත් නීරස කිරීම සුදුසු නොවේ. මට කවුරුන්වත් විත්තිකරුවන් කිරීමට උවමනා නැත. මම මේ කතාවේ කොටස් කරුවෙක් පමනි. මම පසුව ලියන්නෙමි.

Monday, September 17, 2012

අවුල් වන්නට පෙර (6)…තුම්මුල්ලේ යාළුවෝ….

   රාජකීය විදුහලේ ගතකල පාසැල් ජීවිතය ඉතා මිහිරි විය. එය වඩාත් රසවත් වූයේ අප පංතියේ අය නොයෙකුත් පලාත්වලින් පැමිණි අය නිසාත්, ඔවුන්ගේ ජීවිත අත්දැකීම් එකිනෙකට වෙනස්වූ බැවිනුත්ය. එකම ශ්‍රේණියේ පන්ති හත බැගින් පැවැත්වූවත්, අප පංතියේ එවුන් සැමවිටම එකම කංඩායමක් ලෙසින් කල් ගෙවූහ. නගරයේ සිසුන්ගේ චර්යාවන්ට හැඩගැසීමට මදක් කල් ගතවිය.
         අපට ඉගැන්වූ ගුරුවරුන් ඉතා කාරුණික අය විය. ලින්ටන් සර්, අමරදාස සර්, ඉලේපෙරුම ආරච්චි සර්, නන්දා ගුනවර්ධණ මැතිනිය ඉන් ප්‍රධාණය. අමරදාස සර් ඉතාමත්ම කාරුණික සහ විනෝදශීලි ගති පැවත්ම් ඇති අයෙක් විය. ලයනල් රංවල මහතාද ටික කලක් අපට උගන්වා ටික කලකින් ආනන්ද විදුහලට මාරුවී ගියේ රාජකීයේ එවුන්ට සංගීතය උගන්වා වැඩක් නැතිව ඇතැයි සිතා විය හැක. සොමිපාල හෙට්ටිආරච්චි මහතා නැටුම් විෂය ඉගැන්වීය. බෙර තද කරගැනීමට ගන්නා කොට මහත පොලු කෑල්ල අපගේ දණහිස් බුරුල් කිරීමට පාවිච්චි කලේ විෂය මැනවින් ඉගැන්විය යුතු නිසාමය. මොහු නිශ්පාදණය කල පාසල් වේදිකා නාට්‍යයක නාගරික මවකගේ චරිතය මා නිරූපණය කලේ ලුන්ගියක් සහ බ්ලවුසයක් ඇඳ බවත් මතකය. මොවුන්ගේ ඇසුරේ කාලය හෙමින් ගලා ගියේය.
       එවකට අධ්‍යාපණ ඇමතිව සිටියේ ආචාර්‍යය බද් උද්දීන් මොහමඩ් මහතාය. අපේ රටේ අධ්‍යාපණ ප්‍රතිසංස්කරණ සිදුවන්නේ පත්වන ඇමතිගේ අභිලාශයන් අනුවය. එය එදත් අදත් එලෙසමය. කාට කියන්නේදැයි නොදන්නා මුත් වැඩේනම් කොහෙත්ම හොඳ නැත. ප්‍රාග්වෘර්තීය විෂයන් 1 සහ 2 ලෙසද, සෞන්දර්‍යය විෂයන් තුනකින් එකක් තෝරා ගැනීමට ඉඩ සැලසුනේ අප හයවැනි පංතියට ඇතුලත්වූ වසරේ සිට යැයි සිතමි. ප්‍රාග්වෘර්තීය විෂයන් පාසලින් පාසලට වෙනස්වූයේ, තමන්ට ඇති සම්පත් මත හැකි විෂයන් සුදානම් කර ගැනීමට විදුහල්පතිවරුන්ට ඉඩකඩ තිබූ බැවින් විය යුතුය. ප්‍රාග්වෘර්තීය 1 සඳහා ඡායාරූප ශිල්පය, මුද්‍රණ ශිල්පය, උද්‍යාණ විද්‍යාවත් ප්‍ර.වෘ. 2 සඳහා මැටි වැඩ, ලෝහ වැඩ, සහ වඩු වැඩද විය. චිත්‍ර, නැටුම් සහ සංගීතය සෞන්දර්‍ය විෂයන් විය. මමද රිසි පරිදි උද්‍යාණ විද්‍යාවද, මැටි වැඩද, නැටුම් විෂයද තෝරා ගත්තේය. පසුකාලීනව, ඉගෙනගත් උද්‍යාන විද්‍යාවෙන් මල් කැඩීමට පුරුදුවූවාසේම අනන්තවත් මැටි වැඩනම් කර ඇත. ඉගෙනගත් නැටුම්වලින් පලක් නොවූවත් නටපු වෙන වෙන නැටුම් නම් බොහෝය.
               මැටිවැඩ කියද්දී මේ සිද්ධිය මතක්විය. මැටිවැඩ පංතිය සහ අපේ පංතිය වෙන්කර තිබුනේ තුනී ලෑලී වෙන්කිරීමකින්ය. “සයන්ස් කොටා” නමින් ඔහුට නෑසෙන්නට අප ආදරයෙන් හැඳින්වූ මිටි විද්‍යා ගුරුතුමා, මා කරපු වරදකට කොලරයෙන් අල්ලා අර ලෑලී බිත්තියේ එබුවා මතකය. මහා හඬින් ශබ්දයක් නැගුනු අතර එහා පංතියේ මැටිවැඩ උගන්නන අලස් ටීචර් පැමිනියේ ඉතා දරුණු විලාසයකින්ය. ඇය කළු, මිටි, මහත, තොල් රතු කෙරූ නවීන පන්නයේ සාරී අඳින කෙනෙකි. මැටි වැඩ කාමරයේ ලෑලී බිත්තියේ රාක්ක ගසා එකතුකර තිබුනේ නොබෝ දිනයකින් පවත්වන්නට තිබූ මැටිවැඩ ප්‍රදර්ශණය සඳහා සිසුන් විසින් විසින් නිර්මාණය කරන ලද හොඳම භාණ්ඩයන්ය. මා විසින් සාදන ලද අළු බඳුනක්ද එහි විය. බොහොමයක්ම දේ කැඩීබිඳී අවසන්ය. ප්‍රදර්ශණය ටික කාලයකට කල් දැමීය. මගේ වැරදි වැඩක් නිසා ගුරුවරුනුත් අන් අයත් මහා කරදරයක පැටලිනි. බිත්තියේ  ගැසු පලමුවන්නා සහ අවසානයා මමම විය.
       මැටි භාණ්ඩ නිර්මාණය සඳහා අවශ්‍ය හැඩගැන්වීමේ මෙවලම් අපටම සාදාගැනීමට සිදුවිය. එක එක හැඩයන්ගෙන් යුතු මේ ආයුධ ඇට්ටේරියා ලී හොයාගෙන සාදා ගන්නට විය. ලී හොයාගෙන කූරු, තල ආදී වශයෙන් ඒවා සාදා ගැනීමත් ලමයින්ටම පැවරීම අමුම අමු මැටි වැඩකි. සකපෝරු නම් පාසලේම තිබුනේය. නොකඩවා උසස් වර්ගයේම මැටිද පාසලට සපයන ලදී. ලෝහ වැඩ සහ ලීවැඩ පංති තිබුනේ පාසලේ කොනකටම වෙන්නටය. ඒ ශබ්දය අන් පංතිවලට කරදරයක්වූ නිසාය. එදා මැටිවැඩ, වඩුවැඩ, ලෝහ වැඩ ඉගෙනගත් මගේ පංතියේ යහළුවන් අද අති දක්ෂ වෛද්‍යවරුන්ය, ඉන්ජිනේරුවන්ය, උගතුන් බුද්ධිමතුන්ය. මොවුන් නිදහස් අධ්‍යාපණය තුලින්  දැණුම, ඥාණය ලබා අද කොහේ සේවය කලත් ලෝකවැසියන්ට නම් මහඟු සේවයක් ලැබෙනවා විය යුතුය. ඔවුන් සමහරක් ගැන සඳහන් කිරීම වටී.
    
     අප තිස්පස් දෙනාගෙන් හයදෙනෙක්ම දොස්තරවරු විය. පහලොස්දෙනෙක් පමණ ඉන්ජිනේරු සහ ගණිත ආදී විෂයන්ගේ බොහෝ දුරගිය වුන්ය. මමද ඇතුළු හත් අට දෙනෙක් පමනක් උසස් අධ්‍යාපණයට වරම් නොලැබූහ.
          මොවුන්ගෙන් දෙදෙනකු හෝ තුන් දෙනෙකු දැන් අපගෙන් සමුගෙන අවසන්ය. පාසල් ඉගෙනුමෙන් පසු වසන්ත කරුණාරත්න දිවියට සමුදුන්හ. වෛද්‍යවරයකුවූ ආර්.එච්. ගුණසේකර ගැනද අසන්නට ලැබුනේ අසුභ ආරංචියකි. මට එය ඉඳුරා කිව නොහැක.අනිකා නම් සඳුන් ගුණසේකර නම්වූ දක්ෂ නාවුක නිලධාරියාය. මොහු පාසල් කාලයේදිත් දක්ෂ කරාටේ ක්‍රීඩකයෙක් විය. ඊට පෙර මා සමගද පාසලේදී ද්වන්ධ සටනක යෙදී ඇත. කොතලාවල හමුදා ඇකඩමියෙන් සමත්වී නාවික හමුදාවට බැඳුණු සඳුන් නාවුක හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු මහතාගේ Flag Officer ලෙසින් සේවය කරද්දී ත්‍රස්තවාදීන් ඇටවූ බෝම්බයකට හසුවී නාවුක හමුදාපතිතුමා සමගම එම රථයේම ජීවිතය පූජා කරණ ලදී. නාවුක හමුදාපතිගේ Flag Officer යනු කුමන රාජකාරියක්ද යන්න විචාරක තුමාවත් පැහැදිලි කරොත් මැනවි යැයි සිතමි.
     දොස්තරවරුන්වූ අය අතරින් පී.යූ.රාමණයක අද එංගලන්තයේ ජ්‍යේශ්ඨ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරණ අතර ,ගංගා හේමතිලක ඇමරිකාවේ Kansaas University School Of Medicine හී Associate Dean වරයෙක් ලෙස සේවය කරයි. හේමමාල් ජයවර්ධන යුනිසෙෆ් ආයතනයට සම්බන්ධව ලමා ආරක්ෂක කටයුතු වෙනුවෙන් මූලිකවී කටයුතු කරයි. Medical Law සහ Forensic Medicine යන විෂයන් අතින් පොත් කිහිපයක්ද රචනය කර ඇති මොහු රටටම සම්පතකි. හේමන්ත හේරත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිතව අධ්‍යක්ෂක වරයෙක් වශයෙන්ද, ජයන්ත හේරත් රටේ හෝ ලෝකයේ යම්කිසි තැනක වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරන බව දනිමි. ජයන්තගේ ආදරණීය පියාණන් 1971දී ඝාතනයට ලක්වූ අතර ඉතා උනන්දුවෙන් අධ්‍යාපණය නිමකල අතර නැවතී සිටියේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ විදුහල්පතිව සිටි බන්නැහැක මහතාගේ මහරගම නිවසේය. ජයන්ත ගැන මට ඇත්තේ අති මහත් ආඩම්බරයකි.
   ඉංජිනේරු හා ගණිත ආශ්‍රිත විෂයන් තුලින් ඉදිරියට ගිය අය බොහෝය. ඉන් බැසිල් නානායක්කාර ඇමරිකාවේ University Of Pennsyivenia හී ගණිත අංශයේ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කරයි. යසන්ත රාජකරුණනායක ඇමරිකාවේ සිටිනා තොරතුරු තාක්ෂනය සහ මෘදුකාංග සම්බන්ධ ඉහලම ගණයේ පර්යේෂකයෙකි. පේටන්ට් බලපත්‍ර කිහිපයකම අනාගත හිමිකරුවෙකි විය හැකි බවත්, අන් අයගේ දැණුම වර්ධණය සඳහා ග්‍රන්ථ කිහිපයක් ප්‍රකාශකර ඇති බවත් සමහරුන් මට පවසා ඇත. ගිහාන් සෙනෙවිරත්න කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙකි. කුශාන් කුරුකුලසූරිය ඇමරිකාවේ ඛනිජ තෙල් ආශ්‍රිත ඉංජිනේරුවෙකි.
      චම්පාල් කොස්තා, හර්ෂ සූරියාරච්චි වැන්නන් රටටත්, ලොවටත් තම සේවය බෙදමින් සිටී. කුමාර් කිරින්ද ගුවන් හමුදාවේ ඉහල නිලධරියෙක් ලෙසද, ආර්.ඩබ්.උඩවත්ත යුධ හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙක් ලෙසද සේවය කරති. මහේෂ් පත්මපෙරුම, විමල් කනහැර යන අය සංචාරක ව්‍යාපාරය තුලත්, බෙලිඅත්තේ සිට පැමිණි ධර්මපාල පමනක් ඔවුන්ට එදා සිටම උරුමව තිබූ වෙලඳ ක්ෂෙත්‍රයටත් යොමුවිය. ඔය කිහිප දෙනෙක් පමණි. මම ගියේ කොහේදැයි ඔබට පසුව දැණගත හැක.
   වඩාත් වැදගත් වන්නේ කවුරුන් මේවන විට කොහේ සිටියත්, මොවුන් සියල්ලක්ම නිදහස් අධ්‍යාපණයටත්, පහේ ශිෂ්‍යත්ව ක්‍රමයටත්, ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්‍යයට ස්තූතිවන්නටත්, කොළඹින් පිට සිට පැමිණි මධ්‍යම පාන්තික දෙමව්පියන්ගේ දරුවන් බවය. බුද්ධි ගලණය එදත් තිබුනේය. අද එය පෙරටත් වඩා කනගාටුදායකය. පාලකයින්ට ඔල්මොරොන්දන් නිසා මේවාට පිලිතුරු නැත.

කනගාටුවෙන් වුවත් ප.ලි……
සමහරක් බ්ලොග් අඩවි තුල, එය කියවන්නා දන්නා දේ සහ කියවා ඇතිදේ අදහසක් සේ පලකිරීම ගෝචර නොවන බව කියවේ. එක් මූලාශ්‍රයක් පමනක් නොසෑහෙන බවටත් කියා සිටී. මට නම් මෙය පිළිකුල් සහගතය. මා දන්නා පරිදි බ්ලොග් ලෝකය පමනක් නොව අන් සියළුම දෑ රඳා පවතින්නේ උස් මිටි අදහස් හා සංවාද මතය. සත් සමුදුරු තරණයට විශාල නෞකා අවශ්‍ය බව සැබෑය. නමුත් සාගරය මැදදී කාර්මික දෝෂයක් සිදුවූවිට ගොඩවෙන්නට වන්නේ පුංචි පුංචි බෝට්ටුවලට බව පමනක් බව හොඳ කප්පිත්තෝ නම් දනී. මම බ්ලොග් ලෝකයේ කුහුඹුවෙක්මි. මමද පැණි සොයා යන්නමි. මට පැණිද තව බොහෝදේද හමුවිනි. අලියෙක් නොවී කුහුඹුවෙක් වීම අදටත් හෙටටත් කාටත් හොඳය. බර අඩුය. සැහැල්ලුය.
                                              පසුව හමුවෙමු!!!!!!!!!!!!!!!!

Tuesday, September 4, 2012

අවුල් වන්නට පෙර (4)….චේ ගුවේරා

    සෑම දෙයක්ම සිදුවන්නේ අප නොසිතූ පරිදිය. හැත්තෑවේ මැතිවරණ ජයග්‍රහණයෙන් ටික කලකට ගෙදර මිදුලේ මල් පෝච්චීවල මල් වෙනුවට කපා ඉතිරිවෙන ලීක්ස් මොටෙයියනුත්, දෙහි ගස යට තක්කලි , මිරිස් පැළ ඉන්ද වෙන්නේත් මේ කාළයේය. මල් පැළයකටවත් වතුර බිඳක් නොදැමූ තාත්තාගේ අතින් මේ සියල්ලක්ම ඉතා උවමනාවෙන්ම සිදුවිය. මේ රජයේ වගා සංග්‍රාමයයි. තමන් විසින් මහත් උනන්දුවෙන් කැපවී පත්කර ගන්නා ලද රජයේ ආයාචනාවට තාත්තාද ඇතුළුව බොහෝ දෙනෙක් කැපවු වගයි. ඒ ප්‍රාර්ථනා දළුලා වැඩෙන තුරු සාත්තු සප්පායම් කිරීම ඔවුන්ගේ අභිලාශය වූවා විය හැක. සිතුදේ නොමවේ නොසිතුදේම වෙය කියන්නට වෙන්නේ මින් පසුවය.
   70න් පසු රටේ දේශපාලණ වාතාවරණයද අපේ ගෙදර ආර්ථික වටපිටාවද ඉතා සීඝ්‍ර වෙනසකට බඳුන්වන බව මට වැටහෙන්නට පටන් ගැනිනි. තාත්තාගේ මිතුරන් ගෙදර භෝජන සංග්‍රහ සඳහා පැමිනීම කෙමෙන් කෙමෙන් අඩුවන්නට පටන් ගති. සීයාගේ අභාවයෙන් පසු තාත්තාට ගෙදර වියදම් කළමනාකරණය කර ගැනීම අපහසු වන්නට ඇත. මුදල් පරිපාලණය ඔහුට නුහුරු දෙයක් වෙන්නට ඇත. ඔහුගේ මාසික වේතනය සහමුලින්ම වියදම් කරේ යහළු මිත්‍ර ඇසුරට බවත්, ගෙදර වියදම් සියල්ලක්ම සීයා සිදුකල බවත් පසුකාළයකදී අම්මා මට කියා ඇත. මූල්‍ය කළමනාකරණය අවුල්වූ විට සියළුම දේ කඩා වැටෙනු ඇත. සමාජ, සංස්කෘතික, දේශපලණ ඇතුළු සියළුම කරුනු කාරණා බැඳී ඇත්තේ මුදල් නැමැති යදමින් මිස අන් කවර සාධකයකින්ද යන්න පහදා දිය හැක්කේ මා වැනි කුහුඹුවකු නොව ආර්ථික විද්වතකු පමණි. මූල්‍ය පරිපාලණය බිඳ වැටීම සියළුම පරිහානියන්ගේ මූලය බව මම හිතමි. අද සමාජය අත්දකින්නේ එය විය යුතුය.
   මේ වනවිට තාත්තාගේ ගමේ යහළුවන් දෙදෙනෙකු අපේ ගෙදරට අළුත් ආගන්තුකයින් විය. මොවුන් දෙදෙනාම හංවැල්ලේ පදිංචිව සිටි දක්ෂ ගුරුවරුන් දෙදෙනෙක් විය. විමලසේන සහ සුගතපාල නම්වූ මොවුන් හා දුරස්ථ ඥාති සම්බන්ධයක්ද තිබී ඇත. කෙමෙන් කෙමෙන් පසු මේ දෙදෙනා අප නිවසේ රාත්‍රිය ගත කිරීමටත් පුරුදුවිය. තාත්තාගේ පරණ මිතුරන් මෙන් නොව අඩිපුඩි ගැසීමක් නොවූ අතර ඉස්තෝප්පුවේ අඳුරේම ඉතා සෙමින් කතාබහේ යෙදෙනා මොවුන් මට පාඩම්ද කියාදුනි. අපේ තාත්තගේ අඩිපුඩි ගැසීමටද අප්‍රසාදය පල කෙරුනි. රැකියාව අහවරවී ගෙදර පැමිණ අඩියක් ගැසීමට පුරුදුවී සිටි තාත්තා මේ නිසාම දැන් දැන් පිටින්ම සප්පායම්වී ගෙදර එන්නට පුරුදුවී තිබුනි.
   මේ වනවිට මා පුවත් පතකින්ද දුටු “චේ ගුවේරා නම් කල්ලියක්” ගැනද කතාබහක් විය. මා මේ ගැන අම්මාගෙන් විමසා ඇත්තේ “චේ ගුවේරා පල්ලිය” පිහිටා ඇත්තේ කොහේද කියා බවද අම්මා තවමත් සිනහාවෙමින් පවසයි.
   ඒ කෙසේ වුවද තාත්තා ගෙදර නොසිටී එක් හැන්දෑවක පැමිණි පොලීසිය, සුගතපාල සහ විමලසේන දෙදෙනා අත් අඩංගුවට ගන්නා ලදී. දිනකට පසුව තාත්තාවද කුදලාගෙන ගියේය. මගේ ජීවිතයේ මා පළමුවෙන්ම දුටු ජවිපේ සාමාජිකයින් දෙදෙනා මොවුන්ය. තාත්තා මේ දේවල් හොඳින්ම දැණ සිටියා විය යුතුය. ඔහු කොතරම් ශ්‍රිලනිපයට ලෙන්ගතු පුද්ගලයෙක් වුවද වාමාංශික අදහස් ඉතා ජවයකින් එලියට පනින්නේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් තුලදීය. යහළුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කැපකිරීමට සුදානම් තාත්තා මේ දෙදෙනාගේ ක්‍රියාකලාපයන්ට එරෙහි නොවූවා පමනක් නොවා ඔවුනට සැඟවී සිටීමට ස්ථානයක් ලෙස අප නිවස යොදා ගැනීමට ඉඩ සලසා තිබුනේ එලෙසය. තාත්තා කිසිම දේශපාලණ සම්බන්ධතාවයක් ඔහුගේ වාසියට යොදාගත් මිනිසෙකු නොවේ යැයි කියන්නේ ඔහුට ගෞරවයක් පිනිසය. කෙසේ හෝ හංවැල්ලේ සීයාගේ මැදිහත් වීමෙන් තාතාව නිදහස් කර ගැනීමට හැකි වුවද අවිස්සාවේල්ලට රැකියා මාරුවක් ලැබුනේ මේ නිසා යැයි මට සිතේ. හංවැල්ලේ සීයා යනු තාත්තාගේ පියාය.
    නුගේගොඩ සිට තුම්මුල්ලේ පාසලට 1973දී පළමු වරට මා පැමිනියේ තාත්තා සමගය. කවුරුත් දන්නා පරිදි රාජකීය විද්‍යාලය යනු නුගේගොඩ ශාන්ත් ජෝන් විදුහලට වඩා අති විශාල පාසලක්ය. පළමු දිනයේ, රටේ නන් දෙසින් පැමිණි අප තිස්පස් දෙනා සහ දෙමව්පියන් පිළිගැනීමට රාජකීය විදුහලේ නවරඟහලේ පුංචි පහේ උත්සවයක් සංවිධාණය කර තිබුණි. රාජකීය විදුහලේ ප්‍රාථමික අංශය හැඳින්වූයේ රාජකීය කණිෂ්ඨ විද්‍යාලය (ROYAL JUNIOR SCHOOL–RJS)…නමිනි. මෙහි විදුහල්පති වූයේ සුගතපාල මහත්මයාය.රාජකීය විද්‍යාලයේ විදුහල්පති වූයේ එල්.ඩී.එච්.පීරිස් මහතාය. මොවුන් ඉතාම වැදගත්වූත් ගාම්භීර මිනිසුන් විය.පීරිස් මහතා පදිංචිව සිටියේ පාසල අසලම කොල්ලුපිටිය පැත්තට වෙන්න ඔවුන්ගේමවූ ඉතා විශාල නිවසකය.
   විදුහල්පති කාමරයේ සිට පරිපාලණ රාජකාරීන් මෙහෙයවනවා මිස සිසුන් හා ගුරුවරුන් පසුපස හඹායාම් දක්නට නොලැබුනි. ඒ සඳහා සුදුසු පුද්ගලයින් අංශ ප්‍රධාණීන් ලෙස පත්කර තිබුණි. මොවුන් කර්නල්, බ්‍රිගේඩියර් විදුහල්පතිවරුන් නොවූහ. එදා ආනන්දයේ විදුහල්පතිව සිටි කර්නල් රාජපක්ෂ වැනි විදුහල්පති පියවරුන් අසලකවත් තැබිය නොහැකි උදවිය අද කර්නල් විදුහල්පතිලාවී සිටිනා බව ආනන්දයේ ආදී සිසුන් සාක්කී දරනවා ඇත. එදා රාජකීය විදුහලේ සිට ගමේ පංසලේ බණ මඩුවේ පැවත්වූ පාසැලක විදුහල්පතිවරයෙක්වත් අද සමහරක් විදුහල්පති වරුන් තරම් අමනයෝ නොවූහ. ඔවුන් අදීන,බුද්ධිමත් දක්ෂ පරිපාලකයෝ බව කියන්නේ අති මහත් ගෞරවයෙනි.
    රාජකීය විදුහලේ භූමිය, එහි ගොඩනැගිලි, ගුරුවරුන්, සේවකයින් සහ එහි තිබූ පහසුකම් ගත් කල එය වෙනම රාජධාණියක් යැයි කියන්නේ අතිශයොක්තියකින් නොවේ. නවරඟහලට අමතරව පිහිනුම් තටාකය, ශිෂ්‍ය නේවාසිකාගාරය, කිරිහල, කුඩා කෞතුකාගාරය, හෙදියන් දෙදෙනකුගෙන් සමන්විතවූ සෞඛ්‍ය මධ්‍යාස්ථානය, විශාල පුස්තකාලය ආදී එකී නොකී දෑ බොහෝය. එහි සිටි ගුරුවරුන්ට අමතරව සුවිශේෂි පුද්ගලයින් බොහෝය. ඉන් මා වඩාත් සිත්ගත් පුද්ගලයින් වූයේ කඩලේ සහ ඩැණී අයියාය. තව අය බොහෝය. කඩලේ පිලිබඳව මාතලන් විසින් රසවත් පෝස්ටුවක් කලකට ඉහතදී ලියා තබා ඇත.
        පාසලට පැමිනි අප තිස්පස්දෙනා ඇතුලත් කලේ 6G පංතියටය. සියල්ලන්ම රටේ නන්දෙසින් පැමිණි අය වූහ. අම්පාරේ සිට පැමිණි ශාන්ති කුමාර්, එවකටත් අති දක්ෂ නැටුම් ගුරුවරියක්වූ රැජිණි ශෙල්වනායගම්ගේ බාල සොහොයුරාය. හයවැනි පන්තියේ සිට නවවැනි පංතිය දක්වා එකම කංඩායමක් ලෙස ඉගෙණුමේ යෙදීමට අපට අවස්ථාවක් ලැබිණි. ඒ කංඩායමේ සිටියවුන් පැමිණීමේ ලේඛණයේ සඳහන්වූ පරිදිම මුල සිට අගට තවමත් මතකය. අපේ පළමු පංතිභාර ගුරුවරයා වූයේ ලින්ටන් ගුරු මහතාය. ඇත් දළ පාටින් යුත් ජාතික ඇඳුමෙන් සැරසී සිටි ඔහු විවාහයෙන් පසුව යුරෝපීය ඇඳුමට මාරුවිය. අදත් මේ ශ්‍රේෂ්ඨ උත්තමයා ජීවතුන් අතර සිටී. මා මේ බව දැණගත්තේ 6G-9G රාජකීය කංඩායම යනුවෙන් හඳුන්වන කංඩායම විසින් සංවිධාණය කල උත්සවයකදීය.මම මුහුණු පිටුවෙන් ඉවත්වූ පසු මේවා දැණගන්නේ ඊමේල් මාර්ගයෙන්ය. අදට ඇතිය.
*******************************නැවත හමුවෙමු.*************************************