Tuesday, October 23, 2012

අවුල් වන්නට පෙර (12)….හංවැල්ලේ සීයා…..

මම දැන් පදිංචිව සිටින්නේ මගේ තුන්වැනි නවාතැන්පල වූ ඉහල හංවැල්ල, පහත්ගම සීයාගේ ගමේ ගෙදරය. මේ ප්‍රදේශයද එවකට ඉහල තල්දූව තරමටම ග්‍රාමීය ප්‍රදේශයක්ය. කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට යන හයිලෙවල් පාරේ කළු අග්ගලට මෙහායින් පහත්ගම හංදිය පිහිටා ඇත. මෙතැන තිබූ විශාලතම ගොඩනැගිල්ල ඉහල හංවැල්ල විවිධ සේවා සමුපකාර සමිතියට අයත්ය. විශාල බිම් කඩක පිහිටා තිබු මෙතැනින්, ඒ හා අවට ගම් දනව් රාශියක සමූපකාර සිල්ලර ශාඛාවන්ට තොග නිකුත්  කලේය. එකලද මෙම ආයතනය සතුව විශාල ලොරි කිහිපයක් තිබූ අතර , මේ ආයතනයෙ ඉදිරි කටයුතු සඳහා තාත්තාද විශාල මෙහෙවරක් ඉටු කෙරූ බව මම අසා ඇත්තෙමි.
එහි ඉදිරිපසින්ම පිහිටා තිබුනේ ඉතා ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයකු පවත්වාගෙන ගිය මහකඩේ යැයි හැඳින්වූ විශාල තොග සහ සිල්ලර ආයතනයය. ලුනු, ගොරක හාල් සිට රෙදිපිළි, බයිසිකල් ආම්පන්න සහ රබර් ඇසිඩ් දක්වා සියළුම දේ ගම්මුන් මිලදී ගත්තේ මෙතැනින්ය. ගමේ ප්‍රධාණ ආදායම් මාර්ගය වූ රබර් සීට්, ඔට්ටපාල් සහ රබර් ඇට ආදී සියළුම ද්‍රව්‍යයන් තොග සහ සිල්ලරට මිලදී ගත්තේ මහකඩේ මුදලාලීය. තවත් කඩ කිහිපයක්, තැපැල් කන්තෝරුව, පොලීසිය, පිරවුම් හලද ඒ අවටය. මහාචාර්ය්‍ය අමරා රණතුංග (කස්තුරි ආරච්චි ) එවකට පදිංචිව සිටියේත්, එකම සිනමාහල වූ නිමාලිය තිබුනේත් මහ පාරට අද්දරවය.
හංවැල්ල දෙසට ගමන් කරනා කුඩා තාර පාරද ඊටත් එහායින් කැළනි ගඟත් කඩුවෙල හරහා කොළඹ දෙසට දිවයන පරණ පාර හෙවත් ලෝ ලෙවල් පාරත් විය. ඉහල හංවැල්ල පොලිසීයටත් තුන්නාන ගම්මානයට  අතර මැදින් හයිලෙවල් පාරින් පල්ලමට බැස වෙල් යාය මැදින් ,පුරාණ රජ මහා විහාරය පසුකල විට හමුවන්නේ සීයා පදිංචිවී සිටි ප්‍රදේශයයි. සීයාගේ මුල්ම ගම් පලාත වැලිවේරිය, ඉඹුල්ගොඩ ප්‍රදේශයයි. සීයා විවාහවූ රෝසා ආච්චිගේ මහගෙදර වැල්ලවත්ත හැව්ලොක් පාරේය. තාත්තා ඉපදී ඇත්තේ මෙම නිවසේය. දින කිහිපයකට පසු ඇය මියගොස් ඇති නිසා පසුව හංවැල්ලේ පදිංචියට පැමිණ ඇත. මෙම විශාල නිවසද ඉන් බොහෝ කාලයකට පසු සීයාටද හොරෙන් අපේ තාත්තා විකුණා දමා ඇත.
තාත්තා ඉපදී දින කිහිපයකට පසුව ඔහුගේ වැදූ මව වූ රෝසා ආච්චී මිය ගොසින්ය. අහල ගම් හතේවත් එවැනි රූමත් ගැහැණියක් නොවූ බව වැඩිහිටියෝ පවසති. එය එසේ විය හැකියයි තාත්තාගේ රුවෙන් හිතාගත හැක. ඇය මියගියේ යකා ගැසීමෙන් යැයි පැරැණි උදවිය කතා වුවත් යකා මොකාදැයි කවුරුත් නොදණී. රෝසාච්චි මියයෑමෙන් පසු සීයා තම පුතු හදාවඩා ගැණීම සඳහා ලිලි ආච්චි නම් තවත් රූමත් අහිංසක ගැහැණියක් පහත්ගමින් ආවාහ කර ගත්තේය. ඒ තාත්තාගේ හැදූ මවය. තාත්තා ඇයගෙන් කිරි උරා බිවු බවත් කියයි. ඔවුන් දෙදෙනා ගහට පොත්ත මෙන් තද බැඳීමක් විය. මේ වැදූ මව නොවන බව ඔහු පසුව දැණගෙන තිබේ. නමුත් ඒ ආදරය කිසිදා වෙනස් වූවේ නැත. ඇයගෙන් නොකඩවා ආදරය ලබන්නට මමද වාසනාවන්ත වුනෙමි. ඇයගේ මව බබානෝනා හෙවත් බබාච්චිය. මට ඇය ගැනද ඇත්තේ ඉතා හොඳ මතකයක්ය. පසුව සීයාට දාව ලිලිආච්චි දරුවන් දෙදෙනෙකු වැදුවාය. ඒ අපේ නැන්දලාය. මේ දෙදෙනාටත් වඩා ලිලිආච්චි සහ බබාච්චීගේ හුරතලය වී ඇත්තේ අපේ තාත්තා බව බොහෝ අය දණී.
මම සීයාගේ ගෙදර සිට පාසැල් යන කාලයේදී තාත්තා මාසයකට වතාවක් වත් ගමට පැමිණේ. ඒ තනිවමය. තාත්තාත් ගමේ යහළුවනුත් ආපහු දකින්නට ලැබෙන්නේ අඳුර වැටුනාත් පසුවය. ඒ වනවිටත් ආච්චී හුළු අත්තකුත් පත්තු කරගෙන ගමවටේ යන්නේ තාත්තා හොයන්නටය. ඔබ පුදුම නොවන්න. ඒ සීයාගෙන් ගුටි ලැබෙයි කියා බයටය. හංවැල්ලේ සීයාට නම් අපේ තාත්තාව අරහංය. එසේ වෙන්නට හේතු බොහෝය.සීයාගෙන් තාත්තා ගුටිකන අවස්තා කිහිප විටක් මම නරඹා ඇත. බීමත්ව සිටිනා තාත්තාට පහරදෙන සීයා වටපිට බලන්නේ මහත් ආඩම්බරයෙන් මෙනි. ඒ හරියට “මූ තාමත් මට බය පක්ෂපාති යැයි” අන් අයටද දැණ ගැනීම පිනිස විය යුතුය. බේර ගන්නේ ලිලි ආච්චී සහ ඇගේ මව වූ බබාච්චීය. සීයාගෙන් ගුටිකන තාත්තා නිදාගන්නේ ලිලි ආච්චී තුරුලට වීය. මේවා ප්‍රබන්ධ නොව මා ඇසින් දුටු දෙවල්ය.
පසුවදා කිසිවක් නොවූ පරිදී තාත්තා ගෙදර යාමට  සූදානම් වේ. ලිලි ආච්චීද බබාච්චීද මොහුව හුරතල් කරන්නේ පොඩි එකෙකු හා පරිද්දෙනි. බබාච්චී තාත්තාගේ හිසද පීරයි. රබර් සීට් විකුනා ලැබෙන මුදල් බබාච්චී සතුව ඇති හෙයින් එයින් කොටසක්ද තාත්තාට දෙන්නේ කාටත් හොරෙන්ය. මේ අතරතුර ලිලී ආච්චී සීයාට කියන්නේ කොලුවා යන්න හදනවා ඇවිත් කතා කරන්නට කියාය. මට බේබද්දෝ සමග කතාවක් නැතැයි කියන සීයාගේ උදෑසන දේශණයට පෙර තාත්තා ඔහුගේ සුපුරුදු දුක්ගැනවිල්ල පටන් ගනී. ඉපදී දවස් කිහිපයකින් අම්මා මියගිය බවත්, මට දැන් අම්මාත් නැත තාත්තාත් නැත කියා බොරු කඳුළු සලන්නේ, ලිලි ආච්චී දෙස හැරී සිනහ වෙමින්ය. මොහොතින් සීයා පැමිණ  තවත් කීයක් හෝ අතමිට මොලවා තාත්තාට සමුදේ. ඒ මොනවා වුනත් නොදුටු අම්මා ගැන ඔහු නිතරම ආච්චී සමග බොහෝ දේ කතා කර ඇති බව මට ඇය කියා ඇත.
බබාච්චීගේ ලොඹු කට තවත් ලොඹු කරමින් කියන්නේ, ඕකා පොඩි කාලේ සිටම දඟයා බවත් උගේ හිත රිදවීම නාකයි බවත්ය. ඇය නාකයි කියන්නේ නරකයි කියන එකටය. ඔවුන් කියනා හැටියට නම් සීයාට අපේ තාත්තාව එපා වීමට මූලික හේතුව වැල්ලවත්තේ නිවස හොරෙන් විකුණා දැමීමය. ඔහුගේ මියගිය අම්මාගේ නමින් තිබු නිවසක් කොහොම විකිණුවාදැයි මම කිසිදා අසා නැත. අනිත් කාරණය නම් තාත්තා විවාහවී ඇත්තේද කිසිවෙකුටත් නොදන්වා බැවින්ය. සීයා විසින් ගෙන එන කිසිම මංගල යෝජනාවක් බැහැයි නොකියා බාරගන්නා බවත් ,මනාලියන් බැලීමට යාම සඳහා සීයාත් ආච්චීටත් අමතරව ගමේ යහළුවන් තුන් හතර දෙනෙක් ලෑස්ති කර ගැනීම අනිවාර්ය්‍ය සිරිතක් බවත් තාත්තාගේ ආච්චී වූ බබාච්චී මට කියා ඇත. එම ගෙවල්වලට ගොස් යහළුවන් සමග ඇති පදම් සංග්‍රහ භුක්ති විඳ ගෙදර පැමින, සීයාට කෙල්ලගේ ඇදයක් කුදයක් පෙන්නන තාත්තා, ඒ වන විටත් ඔහුගේ දැඩි ප්‍රේම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස අම්මාව විවාහකර ගෙන සිටි බව දැණගෙන සිට ඇත්තේ ලඟම මිත්‍රයින් පමණය. ඔවුන්ගේ මංගල ඡායාරූපයක් නැත. ඔහු ඒවා සත පහකට ගනන් ගන්නේ නැත. මේ කරුණු කාරනා නිසා සීයා, අපේ අම්මා හෝ අපේ අම්මාගේ පවුලේ අය සමග බොහෝ කාලයක් යනතෙක් ඇයි හොඳැයියක් පැවැත්වූවේද නැත. අපේ අම්මාද සීයා ගැන පැවතියේ තාත්තාගේ තාත්තා නිසා ආශ්‍රය කරනවා යන ආකල්පයය. එය වැරදි නැත. ඔහු අම්මාට වෙනස්කම් කර ඇත.
සීයා වැල්ලවත්තෙන් හංවැල්ලේ පදිංචියට පැමින ඇත්තේ ඔහුගේ දෙවැනි විවාහයෙන් පසුවය. මේ ලිලි ආච්චීගේ ගමය. තාත්තා එවකටත් කිරිබොන වයසේ පොඩි එකා යැයි ආච්චී කියයි. සීයා රජයේ දුම් රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයෙක්ය. මේ ගම් පලාතේ බොහෝ අයගේ ආදායම් මාර්ගය රබර් වගාවය. රජයේ සේවයේ සිටි අය ඇත්නම් අතලොස්සකි. සමහරුන් ස්වර්ණාභරන නිශ්පාදනය කල අයය. තාත්තා මෙන්ම එම වයසේ බොහෝ අය දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයින් විය. ගම්මැද්දේ විශාල වොලිබෝල් පිට්ටනියක් විය. හැන්දෑවට වොලිබෝල් ක්‍රීඩා කිරීමත් රාත්‍රියට කැරම් ගැසීමත් ,ඕමි ගැසීමත් මොවුන්ගේ ප්‍රධාණ විනෝදාංශය විය. සමස්ථ ලංකා මට්ටමින් ක්‍රීඩාකල වොලිබෝල් කංඩායමක් සෑදීමට පුරෝගාමි මෙහෙවරක් කලේ තාත්තා බව ගම්මු කියති. ඒ කාලයේ ශ්‍රී ලංකාවත්, ලංගමයත් නියෝජනය කල එල්.ඒ.ඩී. ප්‍රේමරත්න ඉන් එක් අයෙකි. රක්ෂණ සංස්ථාවේ සිටි දක්ෂතම කැරම් ක්‍රීඩකයෙකුවූ තාත්තා ගමටද කැරම් ගෙන ආ බව දන්නෝ දනිති.
ඉහල හංවැල්ල ග්‍රාමයේ අවමංගල්‍යාධාර සමිතිය, ප්‍රජා මංඩලය ඇතුළු බොහෝ සමාජ ක්‍රියාකාරකම්වල මුල් පුරුක දයාරත්න අයියා නොහොත් රත්නේ අයියා වූ අපේ තාත්තාය. වරක් ඔහුගේ තනි වියදමින් ප්‍රසිද්ධ අවුරුදු උත්සවයක් පවත්වා ඇත. එහි රූප රැජිණිය වූ සොමිලතා නම් තැනත්තිය එයින් පසු විවාහ කරගෙන ඇත්තේ අපේ අම්මාගේ මල්ලීය. ඔය අපේ තාත්තාගේ වැඩය. ඕවාට වියදම් කරන්නට ඇත්තේ අර ඉඩම් විකුණූ මුදල් විය යුතුය.
සීයාද සමාජ සේවයට කැමැත්තක් දැක්වූ අයෙක් විය. නමුත් මොහු තාත්තා මෙන් නොව පුරාජේරුවට කැමැත්තෙක් විය. මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ ඉංග්‍රීසියෙන් පුතා ඉගෙනගත් බවත් දැන් මුණුබුරා රෝයල් කොලෙජ් එකේ බවත් කියන්නේ දෑස් ලොකුකර වටපිට බලමින්ය. තාත්තාට මෙන්ම මටද මෙය ඉතා අපහසු තත්වයක් විය. සීයා මත්පැනට සහ දුම්පානයට තදින්ම විරුද්ධ කෙනෙක් විය. ඔහුගේ එකම පුතා නම් මේ දෙවර්ගයටම තදින් ලොල් විය. එවකට සීයාගේ වයසේ අය දුම්පානය කරනවා මම කවදාවත් දැක නැත. ඒ අය බොහෝමයක්ම බුලත්විටි හැපීමට නම් පුදුම ගිජුකමක් දැක්විය. සිගරට්, බීඩි භාවිතය තිබුනේ පසු පරම්පරාවෙ උන් අතරය.
හැන්දෑ වරුවට ගෙදරට පැමිනෙන මිණිසුන් වටකරගෙන බුලත් හපමින් වරු ගනන් කතාබහේ යෙදීම සීයාගේ සිරිතය. දවල් වරුවේ එලවළු කොරටුව සුද්ධ කිරීමත්, හරක් බැඳීමත්, කුකුලන්ට කෑම දැමීමත් හැර වෙන රාජකාරියක් නැත. සීයාගේ කතා අසා සිටීම ඉතා නීරස කටයුත්තක් බව ගමම දණී. අපේ තාත්තා මංගල්‍ය, අවමංගල්‍ය කටයුතුවලදී අනිවාර්ය්‍ය කථිකයෙක් විය. ඔහුගේ කතා ඇසීමට මිණිසුන් කැමතිය. මල ගෙදරකදී ඉතාමත් හැඟීම්බර කෙටි කතාවක් පවත්වා මිණිසුන් හැඬවීමට සමත් මොහු මගුල් උත්සවයකදී නම් ශෘංඝාරය මුසු කතාවක් පවත්වා වැඩිහිටියන්වද, තරුණියන්වද කුල්මත් කරවයි. ශෘංඝාරය වුවත් පාලනයකින් හසුරුවා කතා කිරීමට මොහු දක්ෂයෙක් විය.
සීයා වාඩිවී කතා කරන්නේ පරණ දේශපාලන සිද්ධීන්ය. තදබල ශ්‍රීලංකා කාරයෙකි. සීජීආර් එකේ යූනියන් කාරයෙකි. කතා කිරීමේදී තදින් ඇස් පියාගෙන කතා කිරීම සීයාගේ පුරුද්දය. විනාඩි දෙක තුනකට වරක් ඇස් ඇර බලන්නේ ආඩම්බරයෙන්ය. තාත්තා ගමට ඇවිත් සිටින දිනයක නම් යහළුවන්ට මේවා අසා සිටීමට උනන්දුවක් නැත. නැගිට යාමටත් බැරිය. සීයා කතාවේ ඊලඟ කොටස පටන් ගැනීමට ඇස් වැසූ සැණින් ,සද්දයක් නැතිව නැගිටින තාත්තා ලඟින්ම ඉන්නා කෙනෙකුට ඇඟිල්ලෙන් ඇන හොරෙන්ම පිටව යයි. සීයාගේ කතාව අවසන් වෙනවිට එකා දෙකා සීයාටත් හොරෙන් නැගිට ගොස් අවසන්ය. සීයා ඇස් ඇර බැලූවිට ඉතිරිව ඇත්තේ මමත් නැන්දලා දෙදෙනාත් අසල්වැසි කුඩාවුන් කිහිප දෙනෙක් පමණය. මේ ඔක්කොටම මුල අපේ තාත්තා යැයි දොස් පවරන සීයා කතාව අවසන් කරයි. තාත්තා රෑ බෝවී ආපසු එන්නේ මිතුරන් හා සප්පායම් වීමෙන් පසුවය. අපේ අම්මා නම් කියන්නේ, පඩික්කම් පුරෝ පුරෝ ඔය දොඩවන මාගල් අහන්න මිණිස්සුන්ට පිස්සුද කියාය.
සීයා බුලත් කෑමේ ඇති විශේෂත්වය නම් දුම්කොල කෙරෙහී දක්වන පුදුම උනන්දුවය. මිලදී ගන්නේ ඉස්තරම් වර්ගයේ රට දුම්කොල යැයි කියන ජාතියය. මේවා සිංහල දුම්කොල යැයි කිවු වර්ගයට වඩා වෙනස්ය. පැහැයෙනුත් තදය. හංවැල්ලේ පොලේ සහ පාදුක්ක පොලේ සීයා හඳුණන දුම්කොල වෙලෙන්දෝ වූහ. මේ දුම්කොල ඉතා මැනවින් අතපතගා එහෙට මෙහෙට පද්දමින්, පැයක් වැනි කාලයක් තුල මෙය ගැහැණුන් කොන්ඩය ගැටගසනවා මෙන් ඉතා තදට ගැට ගැට සිටිනසේ ඉතා කුඩා ලනු කැරැල්ලක් සේ හැඩයකට ගොතා ගනී. එම දුම්කොලය සප්පායම් වීමට වෙන කිසිවෙකුට ඉඩ නැත. රසය, පැහැය සහ තෙතමනය රැක ගැනීම සඳහා මෙම කටයුත්ත කරන බව පසුව දැණගතිමි. අනිත් අයගේ දුම්කොල, වේලිච්ච ගස්ලබු කොල වැනි යැයි සීයා කියන්නේ පන්ඩිත සිනහවක්ද ආරුඪ කරගෙනය.
සීයාට අණ්ඩවාතය නම් රෝගය නිසා මහා විශාල ලබ්බක් විය. වත්තේ වැඩ කරන්නේත්, හරක් බලන්නේත් අමුඩය පිටින්ය. එවිට මෙම ලබු රාජයා මනාව දැක බලා ගත හැකිය. මොහු එය වසන් කරන්නේ නැත. තාත්තාගේ මිතුරන් නම් කියන්නේ සීයා ඔච්චර දුම්කොල තෝරන්නේ ලබ්බට බැඳීමට බවය. ලබ්බට දුම්කොල බඳිනවා යැයි කතාවක් ඇත. අම්මාට සීයා සමග ඇති අමනාපය පිටකරන්නේ තමුසෙලාගේ තාත්තා නම් අති පන්ඩිත ලබ්බෙක් කියාය. තාත්තාද බක බක ගගා සිනහාවෙනවා මිස කිසි අමනාපයක් නැත. අපේ අම්මා ලිලී ආච්චීට දැක්වූයේ පුදුමාකාර සෙනෙහසකි. ඒ අපේ තාත්තාව අම්මෙකුත් නැතුව හදා වඩා ගත් නිසාම බව අම්මා කියයි.

Friday, October 5, 2012

අවුල් වන්නට පෙර..(9)….ලොකු අම්මා……

   මගේ ජීවිතය යනු කුඩා පොතක් නම්, එහි මුල් කවරය අම්මාය. එය සදාකල් ඇයට හිමි ස්ථානයමය. නිමක් නොමැති සාගරය මැද, රුවල් බිඳී ගිය නෞකාවක්, නියමුවාටද නොදැණීම ගල් පරවල හසුවී විනාශවෙන්නට ගිය මොහොතක, ඇය සුක්කානම තම දෑතට තද කර අල්ලා වෙරල කරා රැගෙන ආවාය. චණ්ඩ මාරුතයද, නොහික්මුනු ජල කඳද, අව්වද වැස්සද, මේ සියල්ලම උපේක්ෂාවෙන් ඉවසා දරා අප සියල්ලන්ම නිරුපද්‍රිතව ගොඩබිම කරා රැගෙන ආවේ අපේ අම්මාය.
   මම මෙතෙක් ඇය ගැන වැඩි දෙයක් ලියා නොමැත.හිත තුල තෙරපි තෙරපී, කැකෑරි කැකෑරී තිබෙන ඒ සෙනෙහස, ආදරය, ගෞරවය සහ වේදනාව තව තවත් පිරී ඉතිරී වාන් දමනා තෙක් මම ඇය ගැන දැනට නොලියමි. එය අකුරු කරවිය යුත්තේ තව දුරටත් තෙරපා තබා ගත නොහැකිවූ විටකදීය. ඇය මට පමනක් නොව අප සණුහරේටම ආලෝකය දුන් පූර්ණ චන්ද්‍රයාය.
   මගේ ජීවිත පොතේ ලියවී ඇති සෑම වචණයකම හරය, සත්‍යය සහ ඇමුණුම මගේ ආදරණීය බිරිඳ අරකීය. අරකී නොවුයේ නම්, මේ පොතේ ඉතිරිවන්නට තිබුනේ හිස් කඩදාසි පමණය. මම ඇය ගැනත් පසුව ලියන්නෙමි. ඉරා දැමිය නොහැකි පිටු ඇත්නම් ඒ සියල්ලකගේම හිමිකාරියන් වන්නේ ගැහැණුන්ය. අම්මා, ආච්චි, ඉන්ද්‍රක්කා, ලොකු අම්මා, අරකී,අරකීගේ ආදරණීය අම්මා (සෝමා ඇන්ටී මගේ ජීවිතයේ අනිත් අම්මාය) සහ අපේ දියණිය මින් ප්‍රධාණය. තාත්තා මගේ කතා පොතේ පිටුපස කවරය පමණය. ඔහුගෙන් අප ලද්දේ යහපත් ගතිගුණ පමණි. අන් සියල්ලක්ගේම හිමිකාරිය අම්මාය. ඒ  මිල කල නොහැකි මැණික අම්මාය.
   අම්මාගේ පවුලේ වැඩිමහලා වූ ලොකු අම්මා, මා ඉපදෙන්නටත් පෙර සිටම විවාහවී පදිංචිව සිටියේ මිනුවන්ගොඩ, වඩුමුල්ල නම් ග්‍රාමීය ප්‍රදේශයේය. ඉතාමත්ම නිහඬ මිනිසෙක් වූ මහප්පා සේවය කලේ කොළඹ කොටුවේ මහ තැපැල් කන්තෝරුවේ හෙවත් G.P.O. එකේය. ලොකු අම්මාට අයත්ව තිබූ ගංගොඩවිල නිවස කුලියට පවරා ඔවුන් වඩුමුල්ලේ පදිංචිව සිටියේ මහප්පාගේ දෙමව්පියන්ද වතුපිටි ආදියේද සියළුම වගකීම් ඔවුන්ට පැවරී තිබූ නිසා විය යුතුය.
   වඩුමුල්ල, දෙවලපොල කඩ මංඩියේ තිබු පොල් අතු බස් නැවතුමෙන් බැස, එතැනම ඇති කුඩා බොරළු මාරගයේ කෙලවරටම යනවිට මහප්පාගේ පැරණි නිවස හමුවේ. මේ කුඩා මාර්ගය දෙපස තිබුනේ පොඩි පොඩි පොල්වතුත්, කුඹුරු කිහිපයක් සහ විශාල නිවාසය. පොල් වත්තක් මැද තැනූ අලංකාර පල්ලියක්ද විය. මෙහි ගම් වැසියෝ ආර්ථික අතින් අඩුපාඩු ඇති උන් නොවේ යැයි කියන්නේ අවට තිබු සියළුම ගෙවල් දොරවල් ප්‍රමාණයෙන්ද විශාල, පෙනුමෙන්ද නවීන පන්නයේ ඒවා වූ බැවින්ය. ලොකු අම්මලාගේ නිවස පමනක් පෞරාණික පෙණුමෙන් යුත් හාන්සි පුටු, කවිච්චි, පෙට්ටගම් ආදියෙන් සමන්විත ගම්මුළාදෑණියකුගේ ගෙදරක් වගේ යැයි කිව හැකිය. මොවුන් සතු පොල් ඉඩම් සහ කුඹුරුද බොහෝය.
    කුඩා කාලයේදී වසර අවසාන පාසල් නිවාඩුවට මගේ එක් අනිවාර්ය නවාතැන් පොලක් වන්නේ ලොකු අම්මාගේ ගෙදරය. නව වසරේ පාසල් පොත් ලැයිස්තුවේ සෑම අංගයක්ම මා වෙනුවෙන් මේ දෙදෙනා මිලදී ගැනීමද පුරුද්දක් විය. වෙනත් කවුරුන් හෝ එයට සහභාගී වුවහොත් ඔවුන්ගේ අමනාපයටද හේතුවිය. දරුවන් නොසිටී මොවුන් ඉතා නිහඬ ජීවිතයක් ගතකල බව එකලද මට වැටහිනි. ඔවුන් දෙදෙනා නිදා ගත්තේද නිදන කාමර දෙකකය. මට මේවා නුහුරුය.
    ලොකු අම්මාත්, මහප්පාගේ වියපත් දෙමව්පියනුත්, ඔහුගේ මල්ලි කෙනෙකුත් හැර වත්තක් මැද්දට වූ විශාල නිවසේ අන් කිසිවෙක් නොවූ අතර, වතු පිටි වැඩ සහ කුඹුරු වැඩ කිරීමට නම මහප්පාගේ මල්ලීගේ වයසේ තරුණයෙක් වත්තේ කුඩා නිවසක පදිංචිවී සිටියා මතකය. ගොනු බැඳි කරත්තයේ පොල් පටවා, මෝලට රැගෙන යනවිට මොහුගෙන් මටද සංචාරයක් සඳහා ආරාධනා ලැබේ.
    මටද වයස අවුරුදු නවයක් හෝ දහයක් ඉක්මවූ පසු ලොකුඅම්මාගේ පවුලේ පලමුවැන්නා ලෙස පුතෙක් බිහිවිය. ඉන් අවුරුද්දකට හෝ දෙකකට පසු දියණියක්ද ලැබුණාය. මම නැන්දලාගේ ගෙදරින් නික්ම මහගෙදරට පැනයන්නේත්, ලොකුඅම්මා ඇයගේ සිඟිති දියණිය පමනක් සමග අපේ ගෙදරට පැන එන්නේත් මේ කාලයේදිය.
   ගෙදර එකම කාලගෝට්ටියකි. මගේ ප්‍රශ්ණය, ප්‍රශ්ණයක්ම නොවී දිනකට හෝ දෙකකට මාතෘකාවක්ද නොවීය. මට Lady Chatterley’s Lover කෘතියේ චැටර්ලී ආර්යාව සහ උයන්පල්ලා සිහිවන්නේ අපේ ලොකුඅම්මාගේ කතාව නිසාය. ඇය තම කුඩා දියණියද කැටිව අප ගෙදර පැමින ඇත්තේ ඔවුන්ගේ වතු පිටි බලාගත් ,කරත්තය දැක්කූ (ආච්චී තරහ පිට කලේ මේ වචණයෙනි )අර සේවකයා සමගය. සුදු කමිසය සහ සරමින් සැරසුනු මොහු ඉතා කඩවසම් හැඩි දැඩි මිනිසෙක් විය. අපේ තාත්තා තරම් නම් කඩවසම් නැත. මගේ විවාහයෙන් පසු අරකී පවා ඔහුව හැඳින්වූයේ ලයනල් රිචී නමින්ය. කොන්ඩය පීරුවේ එලෙසය. කෙසේ වෙතත් ගෙදරට පැමිනීමට ආච්චී අවසර නුදුන් නිසා ඔහු එවෙලේ කොහේ ගියා දැයි මම නොදණිමි.
   වැඩිහිටියන්ගේ හඬාවැලපීම්ද, පොඩි උන්ගේ හඬා වැටීම් සහ හිනාවන්ද, ඒ අතර තුර ආච්චීගේ බැන වැදීම්ද සියල්ලම අතරින් ගෙදරට ගොඩ වැදුනේ, මගේ ප්‍රශ්ණය විසඳීමට ගොස් සිටි තාත්තාය. ගෙදර වටපිටාව සහමුලින්ම වෙනස් වූයේ තාත්තාගේ නොමසුරු සිනහවත්, මදිපාඩුව පිරිමසා ගැනීමට රැගෙන විත් තිබු කුඩා බෝතලයෙන් වීදුරුවක් දෙකක් කටට හලා ගැනීමෙනුත් පසුවය. දැන් මතුවන්නේ සිනහව මුසු කතාබහය. මම තාත්තාට තවමත් ආදරේ ඔහුගේ ඔය ගතිගුණය  නිසාමය. ඔහු සරළය.
   මේ සුවිශාල අර්බුදය නිරවුල් කරදීම තමාටම පවරාගත් තාත්තා, සියල්ලක්ම සන්සුන් කර සිනහ කතාවලින් පසු කාබී නින්දට වැටුනේ පසුවදා මහප්පා හමුවීමට යායුතු යැයි කියා තීරණය කරමින්ය. පසුවදා අප නිවසට මොරිස් මයිනර් වර්ගයේ කුඩා රථයකින් මහප්පාගේ අයියාත් ඔහුගේ රියදුරාත් පැමිණියේ තර්ජනාංගුලියද ඔසවාගෙනය. බියවැද්දීමට, තර්ජනයට කිසිදිනෙක හිස නොනමන තාත්තා, කටවහගෙන ඉඳගනින් ඩෝ යැයි ඔවුන්ට අණකලේ අවට සිටින්නේ පොඩි එවුන් යැයිද මතක් කර දෙමින්ය. සෝමපාල නම්වූ මහප්පාගේ අයියා, මහප්පා මෙන් සුරා සූදුවෙන් තොර උපාසකයෙකු නොවීය. මොහුද අපේ තාත්තා මෙන් කෑමටද බීමටද රුසියෙකි. මොහු තාත්තා ගැනද හොඳින් දණී. 
     කුඩාවුන් සහ සෝමපාලගේ රියදුරා මෙම කථාබහට සවන්දීම නුසුදුසු යැයි තීරණය කල තාත්තා අපිවද ලෑස්තිකර ඉන්ද්‍රක්කා සමග සෝමපාලගේ වාහනයෙන් අවිස්සාවේල්ල නගරයට පිටත්කර යවා පැයකින් පමන පසු නැවත එන ලෙස දැන්වීය. රියදුරාට කණට කර යමක් පවසා මුදල් දුන්නේ අපට රසකැවිලිද, තාත්තාට අවශ්‍යදේ ගෙන්වා ගැනීමටය.
    ඉන්පසු සියළු සාකච්ඡා, සංග්‍රහවලින් පසු ඔවුන් පිටත්ව ගිය අතර, තාත්තා පසුදිනම මහප්පා හමුවීමට වඩුමුල්ල බලා පිටත්විය. තනිවම නොයන ලෙසටත්, අම්මගේ මල්ලීවද මගින් හමුවන්නටත් යෝජනා වූ නමුත් ඔහුට අවශ්‍ය වූයේ තනිවම යාමටය. තාත්තාගේ සාකච්ඡාවේ ප්‍රතිඵලය වී තිබුනේ මහප්පා නැවත එක්වීමකට තදබල අකැමැත්ත ප්‍රකාශ කිරීම සහ පුතා ඇයගේ භාරයට ලබා නොදීමත්ය. ලොකු අම්මා පැමිණියේ අතදරු දියණිය සමගය. මහප්පා පසුව විවාහයක් කරගෙන ඒ පුතන්ඩියගේ දරුවන් සමග අදටත් සතුටින් ජීවිතය ගත කරනා බව මම දණිමි. මට ඔවුන් හමුවූයේ බොහෝ කාලයකට පමන පසු එක් වරක් පමණි. ලොකුඅම්මා එතැනින් පසු ඔහුව දැක තිබුනේ එකම එක් වරක් උසාවියේදීය. තාත්තා නම් පසු කාලයේදීත් කොළඹ පැමිනිවිට මහප්පා හමුවීමට එකට යනබව මම දන්නෙමි.
    පවුල් ජීවිතය යනු මැනවින් තුලණය කරගත යුතු අති ප්‍රභල සම්බන්ධතාවයකි. අසතුටින් හෝ අසහනයෙන් එය නාමිකව පවත්වා ගෙන යාම මම නම් කිසිවිටෙක අනුමත කරන්නේ නැත. මෙවැනි සිදුවීම් එදාද සිදුවිය. අද බොහෝය. නමුත් සිදුවන ආකාරය ගැන නම් පැහැදීමක් නැත. අසතුටින් එක්ව සිටිනවාට වඩා සතුටින් වෙන්වී යාම වඩා වටී. නමුත් ලොකුඅම්මා වෙන්වී ආ ක්‍රමය තාත්තා කිසිවිටෙකත් අනුමත නොකලේය. ඔහු සැමවිටම පැවසූයේ එය සාකච්ඡාවකින් පසු සිදුවිය යුතු වෙන්වීමක් මිස, කෙනෙකුන් තනිකර පලායෑමක් සිදුනොවිය යුතු බවය. මෙය සත්‍යයකි. මහප්පාගෙන් නොලැබෙන දේ, ඇය තම ප්‍රේමවන්තයාගෙන් ලබාගත්තා විය යුතුය. නමුත් වෙන්වී යෑමේදී මහප්පාට සිදුවූ අසාධාරණය කිසිවිටෙක අමතක කල නොහැකිය.
        මේ සිදුවීම්වලින් පසුවත් කාලයක් යනතුරු ලොකු අම්මගේ හව්හරණයට සිටියේ අප පවුලේ අය පමණය. නමුත් බොහෝ කාලයකට පසුව අනිකුත් නෑදෑයින්ගෙන් තාත්තාට බොහෝ දොස් එල්ලවිය. ඒ මහප්පා හමුවී එදා සාකච්ඡාවට ගිය දින ලොකුඅම්මාගේ වටිනා රන් ආභරණ ඔහුගෙන් රැගෙන නොපැමිණීම නිසාය. මහප්පා ඒ සියළු දේ තාත්තාට බාර දී ඇත. තාත්තාගේ පිලිතුර වී තිබුනේ, මා පැමිනියේ නැවත මේ පවුල එකතු කිරීමට හැකියාවක් ඇත්දැයි විමසා බැලීමට මිස භෞතික සම්පත් එකතු කිරීමකට නොවන බවය. ඔහු අමතක නොකර විමසා බලා රැගෙන ආ එක් දෙයක් විය. ඒ අර සිඟිති දියණියගේ උප්පැන්න සහතිකයය. රන් ආභරණ සම්බන්ධ දෝෂාරෝපණයට තාත්තාගේ කදිම පිලිතුරක් විය. ඒ ඔහුට මුදල් තිබූ දිනෙක ඒවා සාදා දෙන බවටය. හැබැයි තාත්තාට කවදාවත් එතරම් මුදලක් තිබුනේද නැත. අප ජීවිත ගැටගසා ගත්තේත් බොහොම අසීරුවෙන්ය.
     ලොකු අම්මා සහ ඇයගේ ආදරණීය උයන්පල්ලාගේ ජීවිත කතාව සතුටින් සාමයෙන් ඒ දියණියද මුණුබුරන් සමගද ගෙවීයයි. ලොකු අම්මා යමක් කමක් දැණ උගත්තියක්ය. ඔහු අකුරු සාස්තරයක්වත් නොදන්නා ඇල්පින් සිඤ්ඤෝ විය. මේ නම් සැබෑ සොඳුරු ප්‍රේමයමය. ඔහු අපේ ආදරණීය ඇල්පින් බාප්පාය. බාප්පා නොකියා මහප්පා කියන්නට අපගේ දිව හුරු නොවූවේ ඇයිදැයි අදටත් මම නොදණිමි.මණුස්සකමට වඩා කෙනෙකුගේ බලයටත් මුදලටත් ගරු කිරීමේ වෘෂභ සංකල්පය එදා මෙන් අදත් පවතී. අපේ දියණියට ඔහු ආදරණීය සීයාය. ජීවිතය ගැන බොහෝ දේ අපි දියණියට කියා දී ඇත.
මගේ කථාව ලියන්නට ගොස් ලියන්නේ තවත් කථාය. මේවා නොලියා මගේ කථාව සම්පූර්ණ කල නොහැක. මට සමාවෙන්න. ඔබ දිගටම කියවන්න.