Tuesday, October 29, 2013

අවුල් වන්නට පෙර (13)…….හංවැල්ලෙන් තව පොඩ්ඩක්..


බ්ලොග් ලෝකයට බෝම්බයක් වැදිලාය. එය හෙලිදරව් කලේය. ගිනි නිවන හමුදාව වෙනුවට ගිනි තියන හමුදාව වැඩේට බැහැලාය. නැවත ලියනවාද නැද්ද තීරණය කලයුත්තේ වැරැද්ද කල එකාය. ඒවා කියනවාද නැද්ද තීරණය කලයුත්තේ වැරැද්දක් නොකෙරූ තම තමන්ය. මේ ගැන යමක් ලියන්නට සිතුවත්, බ්ලොග් කියවීම පමනක් කරනා මිත්‍රයෙක් කිව්වේ බ්ලොග්කරුවන් කියන්නේත් සිවිල් සමාජයේම පැතිකඩක් බැවින් ඕවා බලාපොරොත්තු විය යුතු බවත්, ඊට වඩා වැදගත් දෙයකට කාලය යොදවන ලෙසත්ය. ඔහු නිවැරදිය.
ජයතිස්ස කුමාරගේ ලේඛකයා ලියූ අසම්මත විචාරය නම් පොතේ ඔහු මෙසේ පවසයි.
////”පුද්ගලයාගෙන් පුද්ගලයාට තමන් ලබා ඇති ජීවිත අත්දැකීම් අනේකාකාරය. ළමා කාලයේ සිට තමන්ගේ ජීවිත පසුබිමට අනුව මුහුණ දීමට සිදුවන සිත සතුටු කරවන, එමෙන්ම සිත කම්පා කරවන සිදුවීම් සමුදාය ඔහුගේ හෝ ඇයගේ ජීවිතය තීරණය කරයි.නොයෙක් අයුරින් ඔවුන්ගේ ජීවිත හැඩ ගස්වයි.
ඇතැම් අය තම අත්දැකීම් ගුරුකොට ගනී. තවත් අය තම අත්දැකීමවල ගොදුරු බවට පත්වෙති. මෙසේ අත්දැකීමවලට ගොදුරු වන්නෝ එකම අත්දැකීම දහස්වර ලැබුවද ඉන් ඔබ්බට නොසිතති. නොදනිති. එනිසාම ස්වාධීන වූ තමන්භාවය අමතකවී ඔවුහු සිදුවීම් පටලයක පැටලී සිටී.
එහෙත් අත්දැකීම් ගුරුකොට ගන්නා අය තම ස්වාධීන විචාරයට අනුව සියලු සිදුවීම් කීකරු කරගනිති. ආර්ථික, සමාජීය පසුතලයන් ඉහල හෝ පහළ වශයෙන් කුමන ආකාරයක හෝ වේවා ඔවුන්ට ඒ කිසිවක් වැදගත් නොවේ. බාහිරින් තමන් කුමන ආර්ථික හා සමාජ ඇගයීම් වලට ලක්වී සිටියද ඔවුහු පුද්ගලිකව නිතර ස්වාධීනව සිටිති.”////
මට ඔය පොතේ කියවන්නට ලැබුනේ පෙරවදන පමනී. මෙය ඉතා කදිමට මගේ ජීවිත කතාවට ගැලපේ යැයි මම සිතමි. මම දැන් පාසල් යන්නේ පහත්ගම සිටය. මෙය නුගේගොඩ සිට පාසැල් යාම තරම් පහසු කටයුත්තක් නොවීය. පහත්ගම ගම්මානයට විදුලි පහසුකම් නොවීය. පාසල් ඇඳුම් ලක ලෑස්ති කිරීම, පොත්පත් කාලසටහනට සකසා ගැනීම සියල්ලක් සිදුවන්නේ කුප්පි ලාම්පු එලියෙනි. නැත්නම් ඒ දවස්වල ගෙවල්වල සාලයේ දල්වා තබන විශාල ලාම්පුවෙනි. එය ගෝලාකාර වීදුරු චිමිනියකින් සහ පිත්තල භූමිතෙල් රඳවනයකින් හෙබි අවටම ආලෝකමත් කරන ගාම්භීර භාන්ඩයක් විය. කාමර එලිය කරන්නේ කුප්පි ලාම්පුවලින්ය. පැට්‍රෝමැක්ස් තිබුනේ එහෙමත් ගේකය.
පොල්කටු ඉස්තිරික්කයෙන් පාසල් ඇඳුම් මැදදෙන නැන්දලා අන් කටයුතු මටම කරගන්නට ඉඩදී, ශ්‍රී සඟරාවක් කියවීම, ගුවන් විදුලි නාට්ටියකට සවන්දීම කරති. ආච්චීට උදව්වෙන්නේ කලාතුරකිනි. නැන්දලා දෙන්නාම විවාහ වීමට සුදුසු වයසේ අයවුවත් එවැනි කතාබහක් නම් නොවීය. ලොකු නැන්දානම් නිතර නිතර කියන්නේ ඇයටත් අයියාට මෙන් පිරිමි පුතෙක් හිටියානම් හොඳ බවය. ඇය සෝමාවතීය. අනිකා මාලනීය.
ගෙට පහලින් යාබදම නිවස වූයේ, ලිලි ආච්චීගේ මල්ලීවු විල්සන් සීයාගේ නිවසය. ඒ ගෙදර දරුවන් හයකි. බාලයාවූ ජයන්ති මට වඩා වයසින් බාලවූ අතර නන්දේ සහ ගුනේ මට වඩා ටිකක් වැඩිමහල් වූවත් සෙල්ලම් කරන්නේ එකටය. අනිත් තිදෙනා තරුන වයසේ ඉලන්දාරීන් දෙදෙනකු සහ ළමිස්සියකි. මින් ළමිස්සියවූ වසන්තක්කා මට මොකක්දෝ මොකක්දෝ ඇල්මක් දැක්විය. මමද ඒ ඇල්මට ඇලුම් කලෙමි. සීයලාගේ ගෙදර රෑ කෑම පිසින්නේ කළුවර වැටෙන්න පටන් ගත්තාටත් පසුවය. එදා සිටම ඒ ගෙදර පුරුද්ද එය බව අම්මා කියයි. පාඩම් අවසන්වූ පසු කෑම කනතෙක් බලා සිටින්නට බොහෝ කාලයක් තිබේ. මේ කාලය ගෙවාගන්නේ බබාච්චීගේ රසකතා අසා සිටීමෙන්ය. පල්ලෙහා ගෙදර ළමයින්ද සියල්ලෝම එක තැනකට එක්වන්නේ මේ කතා මන්ඩපය නිසාමය. වසන්තක්කා වාඩිගන්නේ මගේ පුටුවේමය. බබාච්චි බොහෝ කතන්දර දැණ සිටියා පමන්ක් නොව හැඩ වැඩ දමා කියන්නේත් තලු මරමින්ය. මේවා බොහෝ රසවත්ය. සති අන්තයේ නම් කථානායකයා සීයාය. එදාට පල්ලෙහා ගෙදර එවුන් මාව එහේ කැන්දන් යයි.
රෑ බෝවී නිදාගැනීම පාන්දරින් අවදිවීමට මහත් බාධාවක් විය. කළු අග්ගල හෝ අවිස්සාවේල්ල සිට කොළඹ යන 122 බසය පාන්දර හතරේ සිට ගමන් අරඹයි. වරාය ඇතුළු රජයේ ආයතන කරා රාජකාරියට යන අයගේ පහසුව සඳහාය. ඒ කාලයේ පෞද්ගලික බස් සේවයක් නොතිබුන නිසා හැම බස් රථයක්ම නියමිත වේලාවට ධාවනයේ යෙදීය. පාසල් පටන් ගන්නේ 7.30 ට බැවින් උදේ හය වෙනකොටත් බස් නැවතුමට පැමිනිය යුතුය. ලිලි ආච්චි අවදිවන්නේ පාන්දර 4.30ට පමනය. නිවසේ සිට බස් නැවතුමට හැතැප්ම භාගයක් පමන ඇවිද ආ යුතුය. පලාතම කට්ට කරුවලය. සීයා උදේම නැගිට කිරි දෙවීමට පටන් ගන්නා නිසා මා ඇරලවීමේ රාජකාරිය පැටවෙන්නේ ආච්චී මතය. පෙරදා රාත්‍රියේම හොඳින් බැඳගත් හුළු අත්තත් දල්වාගන්නා ආච්චී පහත්ගම කන්ද උඩ බස් නැවතුමට මා හැරලවයි. කොතරම් කීවත් මා බසයට ගොඩවෙනතෙක් ඇය ආපසු නොයන්නීය.
අප දැන් පාසලේ අටවැනි පන්තියේ සිසුවෝ වෙමු. පන්ති භාර ගුරුතුමිය වූයේ ගුනවර්ධන මැතිනියයි. අපි ඇයට මෑන් කියන්නේ නැති තැනය. ඇය මා කෙරෙහි විමසිල්ලෙන් සිටියේ ඇයත්, අපේ අම්මාත් නුගේගොඩ අනුලා විදුහලේ එකට ඉගෙනගත් සිසුවියන් නිසා විය යුතුය. මම ඔය කාලයේ “අහස් කුසින් ගෙනත් දියව්” නමින් කුඩා කවි පොතක්ද ලීවේය. දම්පාට කාඩ්බෝඩ් ෆයිල් කවරයක් කපා පිට කවරයද ,කොල පැහැති ෆයිල් ලේස් එකකින් එහි පිටු එක්කරද තිබුනි. මෙහි පිට කවරයේ චිත්‍රය ඇන්දේ මගේ පංතියේ විමල් රත්නසිරිය. ගුරුතුමියගේ යෝජනාවකින් අපි පංතියේ පුංචි ඡන්දයක් පැවත්විය. තිලක්ගේ සහ රාමාගේ නායකත්වයෙන් නරියා සහ කබරයා ලකුණින් කංඩායම් දෙකක් ඉදිරිපත් විය. හදිසියේම ඇඩම්ස් විසින් ස්වාධීන කංඩායමක් ඉදිරිපත් කෙරුනි. රාමාගේ කංඩායම ජය ලැබූ අතර එදා පටන් තිලක් නරියා විය.
ඉන් බොහෝ කාලයකට පසුව ඇඩම්ස් කටුබැද්ද විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍ය දේශපාලනයට පිවිසියේත් ස්වාධීන ශිෂ්‍ය සංගමය හරහා බව මතකය. මොහු එහි ප්‍රභල ක්‍රියාකාරිකයෙකු විය. මේ කාලය ඉතාම කලබලකාරී විය. ඒ ගැන පසුව කතා කරමු.
පාසැල නිමවී රේස්කෝස් මාවතේ, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාපිටිය අසලින් නැවත බසයට ගොඩවන මා ගෙදර එන්නේ සවස 3-4 වෙන කොටය. පාසල් නිමවී රවුම් ගැසීම් නැත. සමහර විට බසයේ නින්ද ගොස් බසින්නේ කළු අග්ගලින්මය. නන්දෙලා, ගුනේලා සමග දඩාවතේ ඇවිදින්නත්, ගඩාගෙඩි කෑමටත්, මාළු ඇල්ලීමටත් දැක්වූයේ තදබල කැමැත්තක්ය. එක් පැත්තකින් ඊරියගොල්ලටත් තවත් පැත්තකින් ජාලිගොඩටත් යෑමට හැකිමුත් අපි යන්නේ ජාලිගොඩ පැත්තටය. එහි විශාල මාළු වලවල් ඇත. මෙහි යාම අපට තහනම්ය. එකල ඒ පලාත කසිප්පු සඳහා ප්‍රසිද්ධය. වරක් අපි ඔය පලාතේ රවුම් ගසා එනවිට තාත්තා පැමින සිටියේය. මම කිව්වේ ජාලිගොඩ ගියා කියලාය. තාත්තා කීවේ එහි වෙසෙනා මිනිසුන් දුප්පත් වුවත් ගමේ නම හරියට උච්චාරනය කරන ලෙසටය. එය ජයවීරගොඩ යැයි කියා ඔහු පැවසීය. සීයලාගේ ගෙවල් අවට සොයා ගන්නට බැරි පලතුරක්, පලා වර්ගයක්, බෙහෙත් පැලෑටියක් නැති තරම්ය. දං, මාදං, ගඩුගුඩා, රඹුටන් ඇති පදම්ය. පේර වර්ග රාශියක් විය. ඉතාම කුඩා පේර වර්ගයක් වූ ඇඹුල් පේර මගේ ප්‍රියතම පලතුර විය. බොහෝ අල වර්ග කෑමට හුරුවූයේද මේ ප්‍රදේශයෙන්ය. මයියොක්කා, බතලවලට අමතරව හුලංකීරිය, ආටි ශෝක්, රාජාල, කිරිඅල වැනි දෑ බොහෝය. හුලංකීරිය සහ කලටි පොල් හරිම රස කෑමකි. හැම ශාක පත්‍රයක්ම පලා වර්ගයක්ද සිතෙන තරමට මැල්ලුම් වර්ග කන්නට ලැබුනේත් ඔය පලාතෙන්මය. වෙල් මාළු නොලැබුනොත් කරවල හොදි හෝ ගෙදර කුකුළන් සිටින නිසා බිත්තරය. මස් අනුභවයක් නොතිබුනු තරම්ය. එකල ගම්වල මිනිසුන් මස් කෑමට එතරම් ප්‍රියයක් නොදැක්විය. බත් හා සමානව කොස් මූලික අහාරයක් විය. සුදු හාමුදුරුවන් යැයි කියු උගත් හාමුදුරුවන්ගේ ඉතා කුඩා පංසල අසල අපූරු පවුලක් පදිංචිව සිටියෝය. ඔවුන් ගැන යමක් සඳහන් කිරීම වටී.
පැල්පතක් බඳුවූ මෙම නිවසේ තරුන, මහළු, කුඩා අය බොහෝ දෙනෙක් සිටියා මතකය. තරුන උදවිය තාත්තාගේ සමවයසේ උන්ගේ මිතුරන්ය. අනිකුන් අපේ මිතුරන්ය. මහතුන් නම් මිනිසා පෝලියෝ රෝගය නිසා ඇවිදින්නේ පස්ස පැත්තෙන් සහ අත් දෙකෙන්ය. මොහුගේ ආදායම් මාර්ගය කසිප්පු විකිනීමය. පලාතේ මල ගෙයක් තිබුනොත්, මහතුන් කාට හරි කියා කසිප්පු බූලිය ඒ අසල ඇති බඩවැටියකට ගෙන්වා ගනී. එතැන සඟවාගෙන නිදිමරනා අයට අඩුපාඩු විකුනයි. අපේ තාත්තා නම් කියන්නේ මහතුන් අශෝක වීදුරුවෙන් ශෝකය බෙදනවා කියාය. කසිප්පු විකුනන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා විය යුතුය.
මොහුගේ එක් සොහොයුරකු පියරත්න නම් විය. ඔහු අපේ තාත්තාට බෙහෙවින් ආදරේය. නුගේගොඩ හෝ අවිස්සාවේල්ලේ ආවොත් බර වැඩ සියල්ල කරදෙන්නේ පියරත්නය. යම්කිසි ගෙවීමක්ද කරන තාත්තා ඔහු සමග අඩි පුඩිද ගසයි. පියරත්න සතුව දඩ බල්ලෝ තුන් හතර දෙනෙක් සිටියෝය. ඒ හාවන්, මීමින්නන් දඩයමටය. මොහු සාර්ථක දඩයම් කරුවෙකි. මාළු ඇල්ලීම, සතුන් දඩයම ඔවුන්ගේ ආදායම විය. එක සොයුරෙක් මියගියේ බිලිපිත්තෙන් කාවයියෙක් ගලවන්නට ගොසින්ය. කාවයියාව කටින් තද කර ගලවගන්නා බව මම දැක ඇත. සැණින් මිදුනු කාවයියා උගුරේ හිරවීමෙන් ඔහු මිය ඇදිනි. තවත් සොයුරෙක් මිය ගියේ ඉත්තෑ දඩයමේ ගොසින්, ඉත්තෑවා රිංගූ ගුල වටා ගිනි ගැසීමට ගොසින්ය. ගිනි රස්නෙට ඉත්තෑවා ගුලෙන් එලියට පනිනිනේ කූරු විහිදාගෙනය. ඉත්තෑ මස් වෙනුවට මස් වැද්දා ගස් ගියේය. මෙවර ඉත්තෑවා එලියට පැන්නේ ගුල ඉදිරියෙන් සිටි මේ මිනිහාගේ මුහුණටය. ඒ තුවාල වලින්ම පසුව ඔහු මිය ගියේය. මේ සිදුවීම් දෙකම එකල දවස, සවස හෝ ජනතා පත්‍රයේ පලවිය. ඒ පලාතේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක්ව සිටියේත් තාත්තාගේ මිතුරෙක්ය.
පාසල් ගමනත් මෙසේ සිදුවෙමින් යන අතර සීයාගේ එක් දියණියක් විවාහය ප්‍රමාදවීම නිසාම මානසික ව්‍යාකූල තත්වයකට පත්විය. අපේ අම්මා නම් කීවේ මෙය හිස්ටීරියා රෝගි තත්වයක් බවය. අපේ ගෙදර යන්ත්‍ර, මන්ත්‍ර, ජ්‍යෝතිශ්‍ය කටයුතු ගැන කිසිදා ප්‍රසාදයක් නොවීය. සීයා නම් කියන්නේ මේ භූතයෙක් වැහිලා බවය. සාස්තරයකට කිව්වේ වැහී හිටින්නේ තාත්තාගේ මියගිය අම්මාවන සීයාගේ පලමු බිරිඳ බවය. තාත්තා මෙයට තදබල විරෝදය පලකලත් වැඩක් නැතිවිය. සීයාගේ තිබු බහුබූත අදහස් හා මිථ්‍යා විශ්වාස නිසා , මේ ගෙදර යාග හෝම තොවිල් වලින් කිසිම අඩුවක් නොවීය. වියදම්කල මුදල් මෙපමනැයි කිව නොහැක. මේ හැම අවස්ථාවකටම තාත්තාටද ගමට එන්න කියන්නේ ,භූතයා ලෙස වැහී හිටින්නේ තාත්තාගේ අම්මා නිසාය. වැලලිය යුතු දේවල් හතර මායිම්වල වලලන්නත්, සොහොන් පිට්ටනිවල පාලු කපන්න බාර ගන්නේත් තාත්තා ඇතුලු යහළුවන්ය. වැලලිය යුතු දේවල් කොහේට හෝ විසිකර ,වැලලුවා කියා ඔවුන් නැවත එන බව අම්මා නම් දැණගෙන සිටයාය. පසු කාලයකදී නැන්දලා දෙදෙනාම විවාහ විය.
පෙරේත තට්ටුවක් සහ තවත් මොනවාද ගොස් සොහොන් පිට්ටනියක තබන්නට වරක් තාත්තා මාවද රැගෙන ගියේ මේවාට බය නොවන ලෙසත්, මේවා බොරුකාරයින් සීයාගේ පොකට් එකට විදින්නට දාන සෙල්ලම් වර්ගයක් කියාත්ය. මටත් අදටත් ඕවා ගැන නම් කිසිම විශ්වාසයක් නැත. අපි තරුන කාලයේ ඇති පදම් පිස්සු කෙලියේ නුගේගොඩ, උඩහමුල්ල කනත්තේය. රෑට කනත්ත මුරකෙරුවේත් අපේ එකෙක් නිසා වැඩ කෝටියයිය.

Friday, October 18, 2013

අවුල් වන්නට පෙර (11)…කරදර පොදිබැඳ…………


මගේ මතකය නිවැරදි නම් මේ 1974 හී අවසාන භාගය විය යුතුය. රාජකීය විදුහලට යෑමට පටන් අරන් කෙටි කාලයක් තුලදී මගේ තුන්වැනි නවාතැන් පොල වෙත යෑමට සිදුව තිබේ. හංවැල්ලේ සීයා තාත්තා හමුවීමට ගොස් මට ඔහුගේ නිවසේ සිට පාසැල් යාමට සුදානම් වෙන ලෙස දන්වා ඇත. දින තුනකට හෝ හතරකට පසු පාසල් නිවාඩුව ඇරඹීමත් සමගම අම්මා පැමිණ මගේ අඩුම කුඩුමද රැගෙන ගෙදර බලා පිටත්වුනි. මම්මාටද, කුසුමාටද මෙය හැඬුම් ගෙනදෙන කාරණාවක් වූවත් කලහැකි අන් දෙයක් නොමැත. වඩාත් කළහකාරී හැසිරීමක් දැක්වූයේ මා මිත්‍ර ගාමිණීය. ඔහුට සිටී එකම මිතුරා ඔහුගෙන් වෙන්ව පිටත් වෙන්නට සූදානම්ය. මම්මාටද, කුසුමාටද වැඳ සමුගෙන යන්නට පෙර මම්මා ඇයගේ පසුම්බියෙන් ඇද සුළු මුදලක් මා අත තබා හඬමින් මගේ හිස පිරිමැදීය. මා මේ නිවසට පැමිණි දිනයේත් ඇය මට මෙවන්ම මුදලක් අත තැබූ බව මතකය.
අපගේ ගෙදර ආර්ථික තත්වය වඩාත් ගැටළුකාරී ස්ථානයකට ලඟාවී ඇති බව හොඳින් පෙනේ. තාත්තාගේ වැටුපෙන් කොතරම් මුදලක් ගෙදර වියදමට සම්මාදම් වෙනවා දැයි කිව නොහැක. ඔහු හොඳටම ණයවී ඇති බවත්, ලැබෙන පඩියෙන් ණය සහ පොලී ගෙවනවා හැරෙන්නට ගෙදර වියදමට දීමට ඉතිරියක් නැත. සුදු කලිසමට හා කමිසයට පුරුදුවී සිටි ඔහු දැන් වැඩට අඳින්නේත් අතට අහුවෙන ඕනෑම කලිසමක් සහ කමිසයක් බව පෙනේ. සපත්තු දෙක නම් මල්ලීලා පොලිෂ් කරන බව දැක්කෙමි. විශ්වාසනීය ආදායම් මාර්ගය වූයේ ආච්චීගේ පෙන්ෂන් එක පමණය. කාර්ය්‍යාලයේ වැඩ අවසන්වී තාත්තා ගෙදර එන්නේත් වෙනදාට වඩා පරක්කුවී, මද පමනට සප්පායම් වී වුවත්, ඔහු එනතෙක් අම්මා බත්පත අතට ගන්නේවත් නැත. මේ ආදරය කොතෙක් දැයි කිවහොත් අපේ පවුලේ බඩපිස්සා හෙවත් හත්වැන්නා වූ මල්ලීද, මව්කුස දරා ඉන්නා බව කීවේ ඉන්ද්‍රක්කාය. මේ ප්‍රශ්ණ කරදර කොපමන තිබුනත් අම්මා හෝ තාත්තා මේ වනතෙක් නෑදෑයින්ගෙන් උදව් පදව් ඉල්ලා තිබුනේම නැත.
අප පවුලේ දරුවන් හයදෙනාද, දෙමව්පියෝ සහ ආච්චීද, අපිත් සමග එකටම ජීවත්වූ ඉන්ද්‍රක්කා, ටේච්චි, රොමානිස් හාමි සමග සියල්ල දොලහකි. ලොකු අම්මා සහ දියණියද අප සමගය. රක්ෂණ සංස්ථාවේ සේවය අහිමි කරගත්, පවුල් ජීවිතයද ව්‍යාකූල කරගත් කිසිම රක්ෂණයක් නැතිව අතරමංවූ ධර්මපාල අංකල් නම් තාත්තාගේ යාළුවෙක්ද, ඔය අල්ල පණල්ලේ කඩාපාත් වුනි. මොහු සුරා පාණයෙන් තොර මුත් රේස් සූදුවට පුරුදු වූවෙකි. අඩුවකට තිබුනේ එච්චරය(ආච්චී කිව්වේ එහෙමය.). දැන් සියල්ලෝම පහලොස් දෙනෙකි. අද කාලයේ නම් මෙවැනි පවුලක් නඩත්තු කරන්නට නම් මධ්‍යම ප්‍රමාණයේ කුඩු මුදලාලි කෙනෙක්වත් විය යුතු බව නිකමට මෙන් අතීතය ආවර්ජණය කරන විට හිතට දැණේ.
ලොකු මල්ලී සහ ලොකු නංගීද පාසල් යන්නේ අවිස්සාවේල්ලේ පිහිටි පාසලකටය. පවුලේ හතරවෙනියා වූ මල්ලීද පාසල් යාමට පටන් ගත්තා පමණි. දැන් අනිත් වියදම්වලට අමතරව මොවුන්ගේ බස් ගාස්තුද එක්වී ඇත. ගෙදර තිබූ රත්තරන් බඩු සියල්ලම උගස් කර අවසන් බවත් තවත් ඉතිරිව ඇත්තේ, ආච්චී විසින් කිසිසේත්ම කාටවත් නොදී රැක බලාගත් පරම්පරාවෙන් පැවතෙනා වටිනා මාලයක්ය. මේ සියල්ලක්ම ගැන මට කලහැකි දෙයක් නොතිබුණත් මම මේවා ගැන විමසිලිමත් විමි. මට ගෙදර අය ගැන බොහෝ දුකය. මම බොහෝ කලකට පසු මේ සියල්ල උඩු යටිකුරු කිරීමට සමත්විය.
මේ කාලයේදී සෑම පවුලක සාමාජිකයෙකුටම හාල් පොතක් සහ මුළු පවුලටම සමුපකාර කාඩ් පතක් කියා වටිනා සහණාධාරයක් රජය විසින් සපයාදී තිබුනි. මෙම හාල්පොත නොයෙකුත් හැල හැප්පීම්වලට ලක්වී 1977දී ඇහටවත් නොදැකපු ඇට රාත්තල් අටක් බවට, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමා පරිවර්තනය කලේය. මේවා තුල නොයෙකුත් දේශපාලන කතා ඇතිමුත්, ඒවා අවුස්සන්නට ගියහොත් මතකය අවුල් විය හැක.
සමුපකාර කාඩ් එක කෙසේ වෙතත් හාල්පොත නම් දුප්පත් මිණිස්සුන්ට මහත් අස්වැසිල්ලක් විය. සමුපකාර කාඩ් එක අවතක්සේරු කරා එහෙම නොවේ. හාල්පොතෙන් නොමිලේ සහල් ලබාගැනීමට හැකිවූවා පමනක් නොව, හදිස්සියකට උගස්කර මුදල්ද ලබාගත හැකි මාර්ගයකි. හාල්පොත උගස් තැබීම අවනම්බුවක් ලෙස සමාජය සැලකීය. නමුත් ඊට වඩා අසික්කිත වැඩ ඉහල සමාජයේ අනන්තවත් සිදුවිය. මේවා උගස් ගන්නේ ගමේ සිල්ලර කඩේ මුදලාලි හෝ ගමේ පොලියට දෙන කාන්තාවන්ය. 1970-1977 කාලය තුල රට තුල නොයෙකුත් විපර්යාසයන් සිදුවිය. මේව ජනතාවට ඔරොත්තු නොදෙන තරම් විය. හාල් පොලු, මිරිස් පොලු, පාන් පෝලිම්, රතු සීනි, භූමිතෙල් චීත්ත මුල් තැනගත් මාතෘකා විය. අඟහරුවාදා සහ සිකුරාදා බත් ඉවීමේ තහනමත්,ෆීලික්ස් ඩයස්ගේ කුකුලන්ට ලක්ස්ප්‍රේ කැවීමත් මහත් ආන්දෝලණයකට තුඩු දුන් සිදුවීම්ය. මට මේවා ගැන යම්කිසි මතකයක් ඇතත් විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට නොහැක. සීනි හිඟය දැඩිව බලපෑ අතර හකුරු නිෂ්පාදනය සීඝ්‍රයෙන් ඉහල ගියේය. ලාවුළු වලින් පවා, තේ බීමට සුදුසු හකුරු වර්ගයක් නිපදවා වෙලඳ පොලේ අලෙවියට තිබුන බව මතකය.අල්ලට සීනි ගෙන තේ බිව්වේ ඔය කාලයේය.
කාලය ගෙවී යන අතරම අපේ ගෙදරද එක දෙක තුන වශයෙන් හාල්පොත් සිල්ලර කඩයට උගස්වුණි. උගස් තබන්නා විසින් නැවත බේරාගන්නා තුරු නොමිලයේ ලැබෙන සහල් සිල්ලර මුදලාලීට සමුපකාරයෙන් ලබාගත හැක. ඔවුන් එම හාල්ම තම කඩයේදීම වැඩිමිලට විකුනාගණී. අපටද සිදුවූයේ ඒ අවාසනාවන්ත තත්වයට මුහුණ දීමටය. මාසය මැදදී උගස් තබනා හාල්පොත් බේරා ගන්නට වෙන්නේ ආච්චිගේ විශ්‍රාම වැටුප ලැබෙන මාසේ අන්තිමටමය. එතකන් සිල්ලර කඩෙන් වැඩි මුදලට මිලදී ගත යුතුය. මෙය නොබිඳිය හැකි චක්‍රයක් මෙනි. මෙයින් ගැලවීමට ලෙහෙසිවූයේ නැත. හාල්පොත උගස් තැබීම බොහෝ දුප්පත් පවුල්වල සාමාණ්‍ය චර්යාවක් විය.
මෙය කොතරම් බරපතල තත්වයක් වූවා දැයි කිවහොත්, මාස දෙක තුනකට වතාවක් ග්‍රාමසේවක මහත්වරුන්ට ගෙයින් ගෙට ගොස්, හාල්පොත් ගෘහමූලික සන්තකයේ තිබෙනවාදැයි පරීක්ෂාකිරීමට රජයෙන් නියෝගයක් ලබාදී තිබූ බවද මතකය. අන්සතු හාල්පොත් තමන් භාරයේ තබාගැනීම වරදක් ලෙස හැඳින්වීය. මේ පරීක්ෂාව සිදුවන දවස් කිට්ටුවෙන විට සිල්ලර මුදලාලිගෙන් හෝ පොලී ගෙදරින් මේවා තාවකාලිකව තමන් සතුකර ගැණීමට මිණිසුන් පුරුදුව සිටියහ. පසු කාලයකදී හාල් පොත ඉවත් කර දමන ලදි. හාල් පොත් උගස් කෙරූ ගෙදර අරූත්, හාල් සහණාධාරය කැපූ ජේ.ආර්. ජයවර්ධනගේ ගෙදර මුණුබුරා අම්‍රිත් නිවුන් සොහොයුරනුත් එකම පාසලේ, එකම ශ්‍රේණියේ භාශා දෙකකින් එකම විෂයන් හැදෑරූ විවේක කාලයේ මිතුරන්ද වීම දෛවයේ සරදමක් මිස වෙන අහවල් දෙයක් දැයි විටෙක සිතේ.
මේ අතර තුර නොයෙකුත් සිදුවීම් රාශියක් මැද ලොකුඅම්මාගේ සහකරු නොයෙක් අවස්ථාවන්හීදි ඇය හමුවීමට පැමිනියත් ගෙදරට ගැනීමට අවසර නැතිබව ආච්චී තරයේම දන්වා සිටියාය. අම්මාද තාත්තාද මෙය ආච්චීට පැහැදිලි කර දීමට උත්සාහ ගත්තත් එය සාර්ථක නොවීය. ඔහු පැමිණෙන විට දියණියට කිරිපිටි ආදියත්, අනිකුත් ළමයින්ට රසකැවිලිද ගෙනවිත් ඒවා නිවස අසලදීම ලොකුඅම්මාට බාරදී යන්නට යන්නේය. කුඩා කාලයේදී ඕවා නොතේරුනත් දැන්නම් හිතෙන්නේ ඒ මොන කරුමයක්දැයි කියාය. එකෙක් සමග ජීවිතය ගෙවන්නට බැරිව තව එකෙක් සමග දීග ගියත් එකව ඉන්නට වරම් නැත. ඇල්පින් බාප්පාට හරිහමන් රස්සාවක් තිබුනේ නැත.ඔහුට අකුරු ශාස්ත්‍රයත් බැරිය. ඉන් ටික දොහකට පසු ඔහුට කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ පොල් වත්තක මුරකරු සහ එහි වැඩ කටයුතු බලාගන්නෙකු ලෙස රැකියාවක් ලැබුණි. එහි මැටි ගැසූ කුඩා පොල් අතු පැලක් සහ අවම පහසුකම් සහිත වටපිටාවක් ඇති බව මම දැණගත්තේ තාත්තාද, මමද, අම්මාද ලොකුඅම්මා සමග ඇයගේ දෙවැනි ගමනට කැන්දාගෙන ගිය දවසේය. ඇල්පින් බාප්පා ඔහුට හැකි පමණින් අපට සංග්‍රහ කලේය. තාත්තාට හුරු මචං භාශාවෙන්ම  ඇල්පින් බාප්පා සමග කයියට වැටුනු තාත්තා මදක් සප්පායම් වී තිබුනේ අළුත් මස්සිනා සමගය. දෛවයේ හැටි ඔහොමය. රාජ බිසවක් සේ සිටි ලොකු අම්මා අද කටු මැටි පැල්පතකය. ඕවා එතරම් ගනන් ගතයුතු දේවල් නොවේ යැයි කියු තාත්තා, උන් තුන්දෙනා සතුටින් ඉන්නවා නම් කාටවත් ඇති රුදාව මොකක්දැයි කියා ආච්චීටද දොස් පැවරීය. අදටත් ඔවුන් දියණිය සහ මුණුබුරන් සමග මහා සැප සම්පත් නැති වුවත් අප මෙන්ම සතුටින් ජීවත් වෙති. එය අප පවුලේ සියල්ලන්ටම අස්වැසිල්ලකි.
දැන් අපගේ ගෙදර පහලොස් දෙනාගෙන් දෙදෙනෙකු පිටත්ව ගොස් ඇත. තවකෙක් පිටත්ව ගියේ අපූරු විදිහකටය. ඔහු නම් තාත්තාගේ යාළුවා ධර්මපාල අංකල්ය.
මේ දුක් කරදර දිහා තව දුරටත් බලා සිටීමට නොහැකිවූ තැන, ආච්චිගේ වටිනා මාලය උගස් කිරීමට ඇය තීරණය කලාය. තම පරපුරෙන් පැවත එන එකක් නිසාත්, එය ගමේ තැනකට උගස් කරනවාට වඩා අවිස්සාවේල්ලට හෝ නුගේගොඩට ගොස් ගණුදෙණුවක් කර ගැණීමට ඇයට අවශ්‍යවිය. ගෙදරම කෙනෙක් ලෙස අපිත් සමගම සිටි ධර්මපාල අංකල් මේ සඳහා ඉදිරිපත් විය. තාත්තාට මේ වැඩය පැවරුවහොත් ඔහු අවශ්‍ය මුදලටත් වඩා මුදලක් ලබා ගනීවී යැයි සිතු ආච්චී ධර්මපාල අංකල්ට කීවේ මෙය උගස් තබා අවශ්‍ය මුදල් ප්‍රමාණයද, හොඳ දුම්කොලයක්ද රැගෙන එන ලෙසය. මේ වනවිට ආච්චී, සැර දුම්කොල සමග බුලත් හැපීමට පුරුදුවී සිටයාය. ඒ අන් කිසිවක් නිසා නොව, ඒ කාලයේ සිටම නින්දට පෙර බීමට පුරුදුවී සිටි බ්‍රැන්ඩි වීදුරුවට මුදල් යෙදවීමට නොහැකි නිසාය. සීයා සිටින කාලයේ සිටම වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් නිතර ඇය සතු විය. බෝතලය විවෘත කර එයට කරාබුනැටි තුන හතරක් ඇතුල්කරනා ආච්චි මාසයක් පමණ මෙය පාවිච්චි කරයි.ඊලඟ බෝතලය ගන්නේ අනිත් පැන්ශන් එකටය. බඩේ කැක්කුමට අපටද හැන්දක් පොවයි. වැඩිපුර හුරතල් වුනොත් හැඳි දෙකක්ම ගන්නත් පුළුවන්ය. සමහර වේලාවට තාත්තා, ආච්චීට හොරෙන් මදිපාඩුවට මේකෙන්ද දෙකක් හලාගන්න බව අම්මාද දණී. දැන් ඇයගේ එම අවශ්‍යතාවයද අප නිසාම අමතක කර ඇත. මට ඇය පිලිබඳ ඇත්තේ අති මහත් ගෞරවයකි.
දුම්කොලයද රැගෙන පැමිණෙන්නම් යැයි කියු ධර්මපාල අංකල්ව අපි ආපහු දැක්කේ අවුරුදු හතරකට හෝ පහකට පසුවය. ඔහු ආච්චීව බලන්නට පැමිණියේ ගංගොඩවිලටය. මාලයත් නැත. දුම්කොලත් නැත. ඔහු නැවතත් ගංගොඩවිල ගෙදර ඉස්තෝප්පුවේ තව අවුරුදු ගානක් අප සමගම ජීවත් විය. ඔය අපේ තාත්තාගේ එක යහළුවෙක්ය. තව අයද බොහෝය. නැවත ලියන්නෙමි.