Friday, November 29, 2013

ජයග්‍රහණයක් සහ පුංචි ආරාධනාවක්!!!!!!

අද දවස මා සතුටු කල දවසක් විය. ඒ නිසාම අවුල් වන්නට පෙර නොලියා මේ කුඩා සටහන ලියා තබන්නට සිතා ගත්තෙමි.
ජය ගත්තේ මගේ පවුලේ හයවැනියා වූ පොඩි නංගීගේ දියණියයි. ඇය පිලිපීනයේ සයන්ස් ඔලිම්පියාඩ් වෙනුවෙන් ශ්‍රීලංකාව නියෝජනය කරමින් තවත් එවන් දරුවන් කිහිප දෙනෙක් සමග සහභාගි විය. ඔවුන් ලෝකයේ අන් රටවල් හා තරඟ වැදීම පවා අප රටට කීර්තියකි. අප මේ තරඟයට සහභාගීවන්නේ පළමු වතාවට නොවේ. ඔවුන්ද රටට කීර්තියක් රැගෙන පැමිණ තිබේ.
මගේ නංගීගේ දියණිය රටට කීර්තියක් ලබා දෙමින් රණ් පදක්කම් දිනා ගෙන ඇත. සියළුම ශ්‍රීලාංකිකයින් වෙනුවෙන් මම ඇය වෙනුවෙන් උදම් වෙමි. ඇයගේ දෙමව්පියන් සතුටු කඳුළු වගුරුවනු ඇත. තවත් දරුවන්ද මෙවන් දස්කම් පා ඇතැයි මම හිතමි. අපේ සතුට ඒ සිඟිති දියණිය විහඟනා වෙනුවෙන් පුදමු!!!!!!!!!!
අනිත් කරුණ නම් ආරාධනාවකි…ඒ පවුලේ හත්වැනියා සහ බාලම මල්ලි ලියු පොතක් දොරට වැඩුමය..රාජකාරිය ලෙස අවුරුද්දේ දවස් තුන්සිය හැට පහෙන් වැඩි කාලයක් ගුවනේම ගත කරන මොහු මෙවන් ශාස්ත්‍රීය කටයුත්තක් සඳහා කාලය යෙදවීම අගය කලයුතුය.
ජනමාධ්‍ය සහ ගුවන්සේවය අපූරු විෂයන් දෙකකි. මේ දෙකම මැනවින් කළමනාකරණය කරගෙන පොතක් ලියූ පලමුවැන්නා මූ දැයි මම නොදණිමි. ගුවන් සේවයේ රස කතාද..මාධ්‍ය රස කතාද වෙන් වෙන් වශයෙන් ලියා පාඨකයින් රසවත් කිරීම ඔහු දවසක සිදු කරාවි යැයි මම හිතන්නෙමි.
ඔබ එදාට ඔය අසල ගැවසේනම් සහ වෙලාවක් ඉතිරී ඇත්නම් ගොඩවී ඔහු හමුවන්න. මෙන්න ඔබට පුංචි ආරාධනාවක්!!!!
lucky 1

Tuesday, November 26, 2013

අවුල් වන්නට පෙර..(18)…138-මහරගම…


මගේ පස්වෙනි නවාතැන් පොල වූයේ, දුරස්ථ ඥාති සම්බන්ධතාවයක්ද ඇති අම්මාගේ යෙහෙළියක්දවූ එකල මහරගම සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියකගේ ගෙදරය. මහරගම බෙල්ලන්විල පාරේ ඩිපෝව අසලම පිහිටි මෙම නිවසේදි ජීවිතයේ පළමු වරට මටම කියා කාමරයක්ද ලැබිනි. කිසිම අඩුපාඩුවක්ද නැත. පාසැල් යාමට පෙර ඇරැව්වල පාරට හැරෙන තැනම ඇති නිවසින් උදයට එළකිරි බෝතලයක් රැගෙන ඒම පමණක් මට පැවරුනු කාර්ය්‍ය විය. මේ එළකිරි විකුනු නිවස පසුකාලයකදී ජ.වි.පෙ. මහරගම ආසනයේ ප්‍රධාණ කාර්ය්‍යලය විය.
මහරගම හංදිය ඒ කාලයේදී එතරම් දියුනු නගරයක් නොවීය. පමුනුව පාරේ කෑලි රෙදි ව්‍යාපාරය ඇතිවුනේ ඉන් බොහෝ කාලයකට පසුවය. හයිලෙවල් පාරේ කඩ කිහිපයක් හැර අනිත් ස්ථාන ග්‍රාමීය ස්වරූපයක් ඉසිලිය. වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානය වූයේ හයිලෙවල් පාරේ බස් නැවතුම අසල බෝධියත් ඒ කුඩා ක්‍රිඩාංගනයත්ය. එම බෝධිය අසලම කුඩා බුද්ධ රූපයක්ද විය. බුවනෙකබාහු විද්‍යාලයද ඒ අසලම විය. මානසික ආබාධයකින් පෙලුනු ගැහැණියක් අමු නිරුවතින් ඔය බුද්ධ රූපය බදාගෙන කෙරූ අපූරු සිදුවීමක් අවට මිනිසුන් එකතුවී නැවත්වු සැටිත්, මට ඕන විදිහට **ගන්න මුන් ඉඩ දෙන්නේ නැතැයි කියමින් ඇය කෑගසු සැටිත් මට අද මෙන් මතකය. ඇයගේ මානසික තත්වය අවබෝධ කරගත් අය මෙන්ම එම ගැහැණියටත් වඩා මානසික ආබාධයන් ඇතැයි සිතිය හැකි එවුන් ඇයට පහර දීමෙන් සහ අඩම්තේට්ටම් කෙරූ අයුරු බලා සිටීමට පවා අපහසු විය. උන් නම් නියම බෞද්ධයෝය. අදත් මෙවන් කාඩ්බෝඩ් බෞද්ධයින් දැකීමට ලැබීම අප කල පූරුවේ පවකි.
මහරගම නගරයේ කොයි මොහොතේත් ඇත්තේ තද කලබලයකි. අදටත් එය එසේම දැයි මම නොදනිමි. අනුෂා, නැෂනල් සිනමාහල් කරා ඇදීඑන මිනිසුන්ගෙන්ද, හැන්දාවරුවේ නගරසභා පිට්ටනියේ දේශපාලන රැස්වීමක් නම් එතැන ගොඩ ගැසෙන අයගෙන්ද, හෝමාගම, දෙහිවල ආදී නොයෙකුත් දෙසට ඇදෙන බස් සඳහා නැවතී සිටින මගීන්ගෙන්ද අඩුවක් නැත. මම පළමු වතාවට ජේ.ආර්.ජයවර්ධනයන් දැක්කේ මහරගම පැවතී දේශපාලන රැස්වීමකදීය. 1973දී ඩඩ්ලි සේනානායකයන්ද මියයන්නට පෙර එතැනම පැවති රැස්වීමක ඇමතුවා මතකය. ඒ තාත්තා සමග රැස්වීම බලන්නට ආ දිනයකය. 1948 සිට අප රට පාලනය කල රාජ්‍ය නායකයින් අතුරින් මම දැක නැත්තේ D.S.සේනානයක, SWRD බංඩාරනායක සහ සර් ජෝන් කොතලාවල පමණි. ආචාර්ය්‍ය ඩබ්ලිව්.දහනායක දුටුවේ ඔහු දේශපාලනයට සමුදුන් පසු කාලයකදී ගාල්ල ටවුමේදිය. අන් සියල්ලන් ගැනම මතකය පැහැදිලිය.
එහි සිට පාසල් යන කාලය අතරතුර අපේ ගෙදර උදවියට තවත් අකරතැබ්බයකට මුහුන දීමට සිදුවී ඇත. ඔවුන් සියල්ලන්ම නිවසද වසා දමා හංවැල්ලේ නෑදෑ ගමන් ගොස් තිබුනේ දින දෙකකටය. පසුදා නිවසට ඇතුළු වනවිට එහි දොර කඩා තිබූ බවත් ඉතිරිව තිබූ වටිනා අල්මාරි දෙකක් ,මේසයක් සහ තවත් සුළු සුළු භාන්ඩ කිහිපයක්ද හොරු රැගෙන ගොස්ය. මේ නම් හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුනාට දෙවෙනි නැති වැඩකි. මේවා ආච්චිගේ දෙමව්පියන්ගෙන් සිට පැවතෙන පෞරාණික ගෘහභාණ්ඩය. දැන් ඉතිරිව ඇත්තේ පැදුරු කොට්ට, ඇඳුම් පැළදුම් සහ උයන පිහන ආම්පන්න පමනක් යැයි කීවොත් නිවැරදිය. මේ සොරකම සිදුවී ඇත්තේ ගෙවල් අයිතිගෙදර පොඩි පුතා වූ පර්සි නම් රස්තියාදුකාරයා දැණුවත්ව, අපේ ඉන්ද්‍රක්කාට මනමාලකම් පෑ විජේපාල සහ ඔහුගේ මිතුරන්ගේ සහභාගිත්වයෙන්ය. පොලිසියෙන් සිදුවූ හොරු ඇල්ලීමක් නැත. පාඩුව අපිටමය. ආච්චී සහ අම්මා තීරනය කර තිබුනේ ඉහල තල්දූවේ පදිංචිවී සිටීම තව දුරටත් නිශ්ඵල ක්‍රියාවක් බවත්, වෙනත් සුදුසු ස්ථානයක් සොයා ගත යුතු බවත්ය.
ජීවිතය අප නොසිතූ ලෙස එක් එක් දිශාවන්ට ගලාගෙන යයි. එක් සොඳුරු බිම් කඩක නවතින පාටක් පෙනෙන්නටවත් නැති සැටිය. වැරදි කවුරුද, වරද කොතනද යැයි සෙවීමට කාලයක් නැත. ඉන් ලැබෙන ක්ෂනික ප්‍රතිපලයක් නැත. ගමන යා යුතුමය. අපගේ ලොකු අම්මා ඇයගේ දික්කසාදයෙන් පසු දැන් ජීවත්වෙන්නේ කුලියාපිටියේ උඩුබද්දාව පලාතේය. නමුත් ඇය සතුව දෙල්කඳ ගංගොඩවිල නිවසක් ඇත. ඒ අප සතුව තිබු නිවසට යාබදවය. එහි සම අයිතියක් ලොකු අම්මාගේ පළමු විවාහයේ මහප්පාට සතුව තිබු මුත්, ඔහු එහි සම්පූර්ණ අයිතියම ලොකු අම්මාට පවරාදුනි. ඔහු ඉතාමත්ම නිහඬ මහත්මා ගතිගුණ ඇත්තෙක් බව කියා ඇත. ඒ නිහඬ බවම ලොකු අම්මාගේ ජීවිතයට නොතේරෙන ගුප්ත සාංකාවක් ඇතිකරන්නට ඇත. ඒ ගැන කතා කිරීම දැනට අදාල නැත.
මෙම නිවස කුලියට ගෙන තිබුනේ කොමියුනිස්ට් පක්ෂයේ කෝට්ටේ ආසනයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාමටය. එවකට එම පක්ෂයේ කෝට්ටේ ප්‍රධානියා වූයේ පසුව දේශපාලන මංඩල සාමාජිකයෙක්දවූ කේ.පි.සිරිවර්ධන හෙවත් සිරිවර්ධන අයියාය. නගරසභා, පලාත්සභා මිස පාර්ලිමේන්තු වරම් නොලැබූ ඔහුට 1989 කාලයේදි ප්‍රා සංවිධානය හා සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා එල්ලවිය. ඒවා කොතරම් නිවැරදි දැයි නොදනිමි. නිවසේ කොටසක කාර්යාලය පවත්වාගෙන ගිය අතර, එහි නිතර ගැවසෙන සාමාජිකයින් තාත්තාගේ පැරනි මිතුරන් විය. ලොකු අම්මා සහ ඇල්පින් බාප්පාද නිවසේ අනිත් කොටසට පැමිණ පදිංචි වීමට තීරණය කෙරුනු අතර, ඇල්පින් බාප්පා රැකියාව කරන්නේ කුලියාපිටිය පලාතේ නිසා ලොකු අම්මාගේ සහ දියණියගේ තනි නොතනියට ආච්චීත් රොමානිස් හාමිත් පැමිනෙනව නම් හොඳ යැයි කතාවක්ද විය.
අම්මලා පහත්ගම සීයලාගේ නිවසට ඈතින් හයිලෙවල් පාරට වෙන්නට ඉතාම කුඩා නිවසක් කුලියට ගෙන පැමිණියෝය. මේ නිවස කොතරම් කුඩාද කිවහොත් පවුලේ සියල්ලන්ම නිදාගන්නේ එකම කොටසේය. මම මෙහි එක් දිනක්වත් ගතකර නැත්තේ අම්මලා එහි පදිංචිව සිටියේ සුළු කාලයක් නිසාය. ඒ කාලය තරම් දුක්බර කාලයක් තිබුනා දැයි කියා මට මතක් නොවේ. ඇඳුම් පැළදුම් එක් එක් තැන්වල ගොඩ ගසාගෙනය. අල්මාරි සොරුන් රැගෙන ගොසිනි. පාරෙන් මෙහා පැත්තේ ඇති පල්ලමේ නිසා පොඩි ගංවතුරටත් යටවෙන එක නවත්තන්නට බැරිය. අඩුම කුඩුම සී සී කඩය. අම්මා තාත්තාගේ මහ ගෙදරට ගොස් උදව්වක් ගන්නට කැමති නැත. හොඳ වේලාවට අපේ ආච්චීටත් රොමානිස් හාමි නොහොත් පොඩි අයියාටත් ඒ දුක දැරීමට සිදුවූයේ නැත්තේ ලොකු අම්මා දෙල්කඳ පදිංචියට පැමිණි නිසාය.
පාසැල් යන වයසේවූ මල්ලිලා දෙදෙනාගෙන් එක් අයකු හංවැල්ල රාජසිංහ විදුහලටත්, අනිකා පන්නිපිටියේ ධර්මපාල විදුහලටත් ඇතුලත් විය. ලොකු නංගී පහත්ගම රෝමානු කතෝලික කන්‍යාරාමයටත් පාසැල් ගියාය. අපේ පවුලේ හුරතලී නොහොත් සුළු මානසික ආබාධයකින් පෙලෙන නංගී ගමේම තිබු කුඩා පාසලවු මලියදේවයට ඇතුල් කෙරූ නමුත් ඇයට ඉගෙනගැනීමේ හැකියාවක් නොතිබුනි. එහි තිබුනේ පංති පහකි. ඉන් තුනක් මහ පන්සලේ ඉඩමේත් ඉතිරි දෙක පොඩි පන්සලට ආසන්නයේත්ය. උදයට පාසැල් යන ඇය විවේක කාලයේදි ලැබෙන බිස්කට් තුනත් රැගෙන ගෙදර එයි. ඒ අවට විසූ මැම්බර් මහත්තයාගේ පවුලේද මෙවැනි ගැහැණු දරුවෙක් විය. දෙදෙනාම සම වයසේද විය. මේ දෙදෙනා ගැන එම කුඩා පාසැලේ මුල් ගුරුතුමාද අන් අයද හොඳටම දන්නා අතරම ඒ නිදහසද ඔවුන්ට ලබාදී තිබුනි. මෙය දිගු කාලයක් සිදු නොවුනි. අපේ නංගීව නාරාහේන්පිට චිත්‍රා ලේන් හී පැවති මෙවන් ළමුන් සඳහා වූ පාසැලට ඇතුලත් කරන ලදි. එහි පාලකයින් සහ ගුරුවරුන් පවසා ඇත්තේ, එතැන සිටි දරුවන් සමග එකට සිටියහොත්, ඒ ළමුන්ගේ ආභාශය හා ඌරුව ලබා අපේ නංගී තවතවත් මානසික ව්‍යාකූල තාවයන්ට පත්විය හැකි බවත්, එය එතරම් සුදුසු නොවන බවත්ය. ඉන් ඉවත්වූ පසු ඇය වෙන කිසිම පාසලකට ගියේත් නැත. වෙනත් අධ්‍යාපනයක් ලැබුවේද නැත. එකල අද තරම් පහසුකම් නොවීය. අපට වත්කමක්ද නැතිවිය.
ලොකු අම්මාත්, කුඩා දියණියත්, ආච්චීත්, “පොඩි අයියාත්” දැන් දෙල්කඳ අපට හුරු අපට පුරුදු අපේ වට පිටාවේය. ආච්චී අපේ අම්මාවත් අප පවුලේ අන් අයත් එහි දමා දෙල්කඳට පැමිණ ඇත්තේ තදබල අකැමත්තෙන්ය. ඇයට අපේ පවුලෙන් තොර ලෝකයක් නොවීය. පොඩි අයියා නම් පැමිණ ඇත්තේ කැමෙත්තෙන්ය. ඒ ඔහුගේ නොයෙකුත් වැඩ කටයුතු සඳහා ඔහුට හුරු නාගරික වටපිටාව වඩාත් යෝග්‍ය නිසා විය යුතුය. ලෝකය පෙරළුනත් ඔහුට ගනිච්චියක් නොමැත. අවිවාහක ඔහු අපේ ආච්චීට වඩා වයසින් බාලය. බීඩි, සිගරට්, ගංජා බීම හැර අරක්කු බීමක් නැත. බීවොත් කෙලින් ඉන්නටම බැරිය. ඉතාමත්ම පිරිසිඳුවට සිටින්නට බොහෝ කැමති මිනිසෙක්ය. දිනපතා රැවුල බෑමටත්, සුදු කමිසයෙන් සහ සරමින් සැරසී වැස්ලින් පැකට් එකක් කඩා හිසේ ගා ජැන්ඩියට හිස පීරීමත් දෛණික රාජකාරියක් විය. මේ වැස්ලින් පැකට් වලට කියන්නේ “කොන්ඩේ බාම්” කියාය . කුඩා පැකට්ටුවක් ශත පහකට දහයකට වඩා නොවීය. ඉස්සර චන්ඩීන්ද මෙයට බොහෝ කැමතිය. අපේ ආච්චී ඔය පොඩි අයියාට බනින්නේ උඹ මගුලේ යන්නද ඔච්චර හැඩ වෙන්නේ කියාය. ඔහුට ඒවා වගේ වගක් නැත. ඔහු ඉතාම මෝඩ මනුස්සයෙක් විය. වරක් රත්නපුරයේ ගියේ මැණික් ගරන්නෙකුගේ අත් උදව්වටය. මහ රෑක ගෙදර ඇවිත් පෙන්වා තිබෙන්නේ විශාල මැණිකක්ය. කවුරු හෝ කවටකමට ඔතාදී තිබෙන්නේ රේල් පාරේ සිග්නල් කනුවල තියෙන කොල පැහැති විශාල වීදුරු කවරයකි. ඔහු එතරම් මෝඩයෙකි. නමුත් හරිම ආඩම්බරය. ගෙවල් බ්‍රෝකර් වැඩ වලින් උපයා ගන්නා මුදලින් බීඩි, සිගරට්, ගංජා මුදල සරිකර ගන්නා ඔහු මිය යන තෙක්ම සිටියේ අප සමගය.
ටික දවසකින් මමද හයවැනි නවාතැනවූ දෙල්කඳ,ගංගොඩවිල ලොකු අම්මාගේ ගෙදරට ගොඩ වැදුනෙමි.

Thursday, November 21, 2013

අවුල් වන්නට පෙර (17)……දෙදෙනෙක් අඩුවෙයි….

මගේ ජීවිතය ගැන ලිවීමේදී, නිරතුරුවම එගොඩටත් මෙගොඩටත් එහා මෙහා යාමට සිදුවනු ඇත. මන්දයත් මුළු පාසැල් කාලය පුරාම මම එක් තැනක සිට පාසල් ගිය දරුවකු නොවීය. ඔබ විශ්වාස කරාවීදැයි මම නොදණිමි. හයවැනි පංතියේ සිට පාසලෙන් අස්වන කාලය දක්වා මම නවාතැන්පලවල් එකොලහක නැවතී සිට ඇත. ඔබ නම් පාසල් නොගොස් ගෙදරට වී සිටිනවා ඇත. මේ සියළුම තැන් එකිනෙකට වෙනස් වටපිටාවන්ය. එකිනෙකට වෙනස් මිණිසුන්ය. එකිනෙකට වෙනස් ආර්ථික පසුබිම්ය. එකිනෙකට වෙනස් මිනිස් ගතිපැවතුම්ය. මගේ පසුකාලීන ජීවන චර්යාවන්ට මේ අත්දැකීම් බොහෝසේ ඉවහල්වී ඇත. මට ඕනෑම සමාජයක ඒ ඒ ක්‍රමයන් තුලට සමාජගත වීමට ගතවන්නේ ඉතාම සුළු කාලයකි. මම නිහඬ නිරීක්ෂකයෙක්මි. මට මිණිසුන්ගේ චර්යා රටාවන්, හැඟීම් හැඳිණ ගැනීමට ඉක්මන් ඉවක් ඇතැයි සිතන්නෙමි. නමුත් මට පෞද්ගලිකව කෙනෙකුගෙන් සිදුවන වරදක් හෝ බොරුවක් , මම තේරුම් ගත්තා යැයි ඔවුන්ට කියනවා තබා හැඟවීමටවත් උත්සාහ නොගනිමි. මම එවන් දෙයක් නොදන්නා සේ හැසිරෙන්නේ ,ඔවුන් අපහසුතාවයට පත්වෙනවා දකින්නට අවැසි නැති නිසාමය. අදටත් මම එසේමය. මම සෙමින් සෙමින් ඔවුන්ගෙන් ඉවත්වීමට වග බලා ගන්නෙමි. නමුත් යුක්තිය සහ අයුක්තිය යන සාධකයේදී එය පහදා දීමත්, හරි දේ වෙනුවෙන් පෙනී සිටීමටත් මම පසුබට නොවෙමි.
මා වඩාත්ම ආදරය කල සත්වෝද්‍යානය සහ ඒ අවට පරිසරයට සමුදී පැමිණ අවසන්ය. සත්වෝද්‍යානය ඒ කාලයේදී මගේ ජීවිතයේ එක් කොටසක් වැනිය. මට ඇතිවු දුක්ඛ දෝමනස්සයන් පීඩාවන් මගහරවා ගත්තේ අරමුනක් නැතිව සත්තුවත්තේ එහාටත් මෙහාටත් ඔහේ ඉබාගාතේ ඇවිදිමින්ය. සතුන් දෙස බලාසිටීම සමහර මිනිසුන් දෙස බලා සිටීනවාට වඩා සොම්නසකි.
මා වඩාත් සිත්ගත්තේ සතුන්ට කෑම බීම ලබා දෙන වේලාවන්ය. ඒ වේලාවට එතැන එකම ගාලගෝට්ටියකි. විශාල සතුන්ගේ ගෝරනාඩුවත්, කුරුල්ලන්ගේ කිචිබිචියත්, සමහර සතුන්ගේ අසාසිටීමට නොහැකි අඳෝනාවත්, සේවකයින්ගේ කඩිමුඩියත් එකම එක රස ගුලාවකි. විශාල සහ රෞද්‍ර සතුන්ගේ සෑම කූඩුවක් තුලම තවත් එක් කුඩා වෙන් කිරීමක් ඇත. එය තවත් කුඩා කූඩුවක් වැනිය. කෑම වේලාවේදී එම කුඩා කූඩුවට කෑම දමනා සේවකයින් සතුන් එහි ඇතුල්වූ පසු එය අගුළු දමා මහා කුඩූව ශුද්ධ පවිත්‍ර කරති. ඉන්පසු ඉන් ඉවතට ගොස් සතුන්ට මහා කූඩුවට එන්නට ඉඩ හැර කුඩා කූඩුව පිරිසිඳු කරයි. මමත් සමහරක් කූඩු තුලට රිංගා උදව්කර ඇත.
නොයෙකුත් වර්ගයේ කෑම රැගත් විල් බැරැක්කද, කුඩා කරත්තද, මස් ගාතයන් වැනි දෑ රැගෙනයාමට කුඩා වෑන්ද, කොස් අතු, කිතුල් අතු ආදීය පටවා ගත් ලොරිද විය. එවැනි විශාල මස් ගාතයන් සත්තුවත්තේ තාප්පයෙන් එහාට පැන ඇවිදගෙන සමහරුන්ගේ ගෙවල් වලට ගිය කතාත් දන්නෝ දනිති. කුඩා දරුවකු සිංහයින් හෝ කොටින් සිටිනා ගැඹුරු වලකට වැටුනු කතාවක් අසා ඇත. ඇත්ත නැත්ත නොදණිමි. මේ වනවිට ඒ ලෝක ප්‍රසිද්ධ සත්වෝද්‍යානය ගැන අසන්නට ඇත්තේ දුක්බර කතා පුවතකි. පාලකයින් නිදිවදින ඕනෑම රටක , කූඩුකරපු එව්වෝ දුක් විඳින බව සත්‍යයකි. මේ අපිද ඊට අයත්ය. උන්ට හැකිනම් අපවද කූඩු කරනු ඇත.
මා මුලින්ම ලිව්වා සේ ඒ එගොඩය. මම දැන් මෙගොඩ ගැන ලියන්නෙමි. ඉහල තල්දූවේ අපේ ගෙදර එතරම් ප්‍රගතියක් පෙනෙන්නට නැත. එහාටත් මෙහාටත් පැද්දෙමින්, රළු සුළඟටත්, කඨෝර රැළි ප්‍රහාරයටත් හසුවී ඇති අපේ නෞකාවේ සුක්කානම දැන් සෙමින් සෙමින් අම්මා අතට පැවරී ඇති සැටිය. තාත්තා කරන්නේ වැඩට යාමත්, හැන්දෑවට ගෙදර ඒමත් පමණය. අපේ ගෙදර සිටිනා ඉන්ද්‍රක්කා, මේ වනවිට විවාහ පත්වන වයසට ආසන්න යුවතියකි. ගමේ රස්තියාදුවට පුරුදුවු එක් තරුනයෙක් නිතර අප නිවස අසලින් යෑමටත්, බයිසිකලය ගසකට හේත්තුකර ගේ අසල බෝක්කුව උඩටවී සිටීම ටික දවසක සිට පුරුද්දක්වී ඇති බවත් ඉන්ද්‍රක්කාද ඉඟිබිඟි නර්ථනයේ යෙදෙන බවත් අම්මාගේ ඇසට හසුවී ඇත. විජේපාල නම්වූ මේ තරුණයා ගමේ කුඩා කුඩා සොරකම් වලටත්, රැකියාවක් නොමැති නිසා රස්තියාදුවටත් හුරුවූ එකෙක් බව ගමම දණී. මෙය නොරිස්සූ අම්මා සියල්ලන්ගේම අවසරය මත ඉන්ද්‍රක්කාව ඥාති නිවසක නැවැත්වීමට තීරණය කලාය. ඒ සත්වෝද්‍යානයේ සේවය කල පෙරේරා අංකල්ගේ සහ නන්දක්කාගේ ගෙදරය. නන්දක්කා නම්වූ ඥාතියා ඉන්ද්‍රක්කාට වඩා ටිකක් වැඩිමහල් වුවත් දෙදෙනා යෙහෙළියන් මෙන් විය.
අප සමග එකට හැදී වැඩුනු අපේ කැත කුණුද අත ගෑ අපෙන් වෙන්ව දෙහිවල පදිංචියට ගියාය. එය අපට මහත් වේදනා ගෙන දෙන්නක් වූවත්, ඇගේ ජීවිතයේ කඩඉම් සළකුනක් වූවා නොඅනුමානය. ඉවුම්,පිහුම්,මැහුම්,ගෙතුම් ගැන මනා අවබෝධයක් තිබූ ඇය බොහෝ කාලයක් ඔවුන් සමගම දෙහිවලින් පානදුර දිබ්බැද්ද ප්‍රදේශයටත් ගොස් කාලය ගත කලේ මහත් සතුටිනි. පසු කාලයකදී අප දෙමව්පියන් සහ ලොකු අම්මා මැදිහත්වී ඇල්පින් බාප්පාගේ මිතුරකුවූ නන්දසේන අයියාට ඇය විවාහ කර දුනි. ආදරණීය පුතුන් දෙදෙනෙකුට මවක්වූ ඇය බොහෝ කලකට පසුව අවසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තාය. මම එය පසුව ලියන්නෙමි.
ඉන්ද්‍රක්කාගේ මවවූ ටේච්චීද ජීවත්වුයේ අප සමගය. ඇය උපතින්ම මන්ද මානසික තත්වයක පසුවී ඇති බව මම ලියා ඇත්තෙමි. එයද සියුම් ආබාධයක් පමණි. ඒ හැරෙන්නට ඇය ඉතාමත්ම නීරෝගීය. අපගේ ආර්ථික තත්වයත් අනිකුත් අපහසුතාවයනුත් තේරුම් ගත් අම්මාගේ තවත් ඥාතී මාමා කෙනෙකුවූ පොරෝලිස් මාමා ඉදිරිපත්ව, ඔහුගේ දරුවන් හා සමග ජීවත්වීමට ටේච්චීව එක්කන් යන ලදි. මේ මහඟු අවස්ථාව ටේච්චීට ලැබීම ගැන අදත් මට ඇත්තේ ඉමහත් සතුටකි. ඔවුන්ගේ ඒ විශාල නිවස තිබුනේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ ක්‍රීඩාංගනයට ඉදිරිපසින් ගාලු පාර අද්දරය. පොරෝලිස් මාමා මැණික් සහ ස්වර්ණාභරන ව්‍යාපාරිකයෙක් විය. සෑහෙන ධනයක් සතුවිය. ඔහුගේ සහෝදරයෙක් වූයේ වැල්ලවත්ත රෙදිමෝල අසල පදිංචිව සිටි එකල ප්‍රසිද්ධ චන්ඩියෙක් සහ චීනාඩි කාරයෙක්වූ ජේමිස් සිල්වාය. මමද කාලයක් ගල්කිස්සේ සිට පාසැල් ගියෙමි. මම රැකියාවක් කර අපටම කියා නිවසක් සාදා ගත්පසු ටේච්චීව නැවතත් අප තුරුලටම ගත්තේය. එයද පසුව ලියන්නෙමි.
අප පවුලේ සිටි ඉතාම සමීපයන් දෙදෙනෙක් දැන් අප සමග නැත. පිටස්තරයකුට සිටින්නේ එදා සිටම අප සමග සිටි පොඩි අයියා නොහොත් රොමානිස් නම් වැඩිමහල් පුද්ගලයාත්ය. පිටස්තරයෙක් යැයි කීම නොවටී. තාත්තාගේ යහළුවන්ද නැත. අම්මා ගෙදර පාලනය යම්කිසි තාක් දුරට අතට ගත් පසු, ඇතිවූ සිදුවීම් පවුලේ නඩත්තුව සඳහා මහත් පිටිවහලක් විය. අම්මා මාසයකට හෝ සති දෙකකට වරක් නුගේගොඩ පැමිණේ. එක් වරක් පැමිණෙන්නේ ආච්චීගේ විශ්‍රාම වැටුප එකතු කර ගැනීමටය. අනිකුත් අවස්ථාවන් වලදී ඇයගේ මිතුරියන්ගේ ගෙවල්වලත් අපගේ ඥාතීන්ගේ නිවෙස්වලත් උදය වරුව ගෙවා දමා ගෙදරට අවශ්‍ය බඩුමුට්ටුද එකතු කරගෙන හැන්දෑවේ තල්දූව බලා පිටත්ව යයි. මොවුන් බොහෝමයක් අම්මාට හැකි අයුරින් උදව් කලෝය. ඒ අපේ අම්මාගේ ඇති නිර්ව්‍යාජ නිර්ලෝභී උතුම් ගතිගුණවලට යැයි මට හඬනගා පැවසිය හැක. ඇය නමේ පමණටත් වඩා දයාන්විත ගැහැණියක් වූවාය. අදටත් එසේමය. බොහෝ අය ඇය ඇමතුවේ දයා, දයක්කා හෝ දයා පුංචී යන ආදණීය ඇමතුම් වලින්ය. දයාලාට මොනවා නැතිවුනත් ළමයින්ගෙන් නම් අඩුවක් නැතැයි සමහරුන් ඔලොක්කුවට කියන කතා අසා මම ලැජ්ජාවට පත්වී ඇතත් අම්මා ඒවා පයිසයකට ගනන් ගත්තේ නැත. ඇයගේ තටු අතරේ අප හොවා අප උනුසුම් කරනවා හැර අන් කිසිවක් ඇයට තඹ දොයිතුවකට මායිම් නොවීය. වචණයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය දිරිය ගැහැණියක්ම විය. ලොවට උතුම් අපේ උතුම් ආදරණීය අම්මාම විය. ඇය නොසිටින්නට අප දරුවන් හත්දෙනාත්, අපගේ ආදරණීය තාත්තාත් කොහේ කොතනක සිටී දැයි කීමට කවුරුත් අපොහොසත් වනු ඇත.
එදා එක් එක් අයගේ කතාවලින් ලැජ්ජාවට පත්වූ මා, අද මහා ආඩම්බරයකින්…..උසින්ද මහතින්ද අඩුවක් නොවූ, ගුණ සුවඳින්ද බිඳක්වත් අඩුනොවූ ඒ සහෝදර සහෝදරියන් හයදෙනා සහ ඔවුන්ගේ පවුල්ද දරු දැරියන්ද පිරිවරාගෙන සිටින්නේ රටක් රාජ්‍යයක් ලැබුනාටත් වඩා සතුටින්ය. මම ඔවුන්ගේ ලොකු පුතාය.. ලොකු අයියාය..ලොකු තාත්තාය…ලොකු මාමාය. මම රජෙක්මි. මට අන් කිසි දෙයක් අවැසි නැත. මමත්, මගේ බිරිඳත්, අපේ දරුවාත් ඔවුන්ව රකින්නේ අපගේ පණ හා සමානවය. මගේ එක සහෝදරයෙකු මීට වසර දහයකට පමණ පෙර ඔහුගේ පලවෙනි දරුවා නම් කෙරුවේ මගේ නමිනි. ඒ මට ගෞරවයක් ලෙස යැයි ඔහු කියයි. අප සියල්ලම ඔහුට හිනැහුනේ ඔබ අවුරුදු හතලිහක් පමණ පිටුපස්සට ගොස් දරුවාටා පැරණි නමක් තැබුවා කියාය. අපේ තාත්තා වසර පනහකටත් පමණ පෙර මට තැබූ නිරංජන් යන නම එතරම්ම කැතක් නැත.
ප.ලි…….මගේ එක් නැගනියකගේ වැඩිමහල් දියණිය විද්‍යා අංශයෙන් ඔලිම්පියාඩ් නියෝජනය කිරීම සඳහා නොබෝ දිනකින් අන් සිසුන් සමග පිලිපීනය බලා පිටත්ව යෑමට නියමිතය. ඇය මාතර සුජාතා විදුහලේ බව කියන්නේ එම පාසලටද ගෞරවයක් වශයෙනි. අපි ඇයට සුභ පතමු!!!!!!!!

Saturday, November 16, 2013

අවුල් වන්නට පෙර (16)….බැඳුනු නැති සමුළුව…


මේ යුගයේ ජාත්‍යන්තර දේශපාලනයේ මතවාදී හැල හැප්පීම් රාශියක් විය. ඒවා ඒ ඒ වශයෙන් ගෙන විග්‍රහ කිරීමට මට මතකයක් නැත. ජාතික දේශපාලනය තුලද පවතින ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටෙමින් පවතින කාලයයි. ඩඩ්ලි සේනානායක මහතාගේ මිය යෑමෙන් පසුව ජේ. ආර්. ජයවර්ධන මහතා විපක්ෂ නායකවීත් බොහෝ කල්ය. ඇමරිකානු සහ රුසියානු බල කඳවුරු වලින් බැහැරවූ නොබැඳි ජාතින්ගේ සමුළුවේ පස්වැනි සැසිවාරය පවත්වන්නට තීරනය වී තිබුනේ සිරිමාවෝ බංඩාරනායක අගමැතිනියගේ සභාපතිත්වයෙන් කොළඹදීය.
මේ සමුළුවට සුදානම්වීම සඳහා කොළඹ නගරය යම්කිසි ප්‍රතිසංස්කරණයකට ලක්විය. අද මෙන් කැරකෙන්නේ නැති රූංපෙති සවි නොකෙරුවාට එදාත් යම්කිසි දුරකට නගරාලංකාර වැඩ කටයුතු සිදුවී ඇත. කැළණි පාලම පසුකර නුවර පාර දෙසට යනවිට ඇති මහා සද්දන්ත කොන්ක්‍රීට් පවුර එදා නිමකර තිබුනේ මොන හේතුවකට දැයි නොදන්නා මුත්, සමහරුන් කියන්නේ කටුනායක සිට පැමිනෙන රාජ්‍ය නායකයින්ට, අවට විසූ පැල්පත්වාසීන් නොපෙනෙන්නට සැදු ආවරනයක් බවය, ඇත්ත නැත්ත නොදනිමි. පසු කාලයක ඉතා දර්ශනීය පෝස්ටර් ඇලවීමටනම් එය මහඟු උපකාරකයක් විය.
මේ සමුළුවට සුදානම් වීම සඳහා නගරවාසී යාචකයින් අල්ලා පිටපලාත්වලට පැටවීමත්, සමහරක් ප්‍රදේශවල පැල්පත් කඩා බිඳ දැමීම නිසා නගරය හැර යන්නට සිදුවූ බවත් අසා ඇත්තෙමි. මේ කිනම් සමුළුවක් හෝ ලංකාවේ පවත්වන ඕනෑම අවස්ථාවක පළමුවෙන්ම පීඩාවට පත්වන ජන කොට්ඨාශයක් වේ නම්, ඒ කොළඹ නගරය සහ අවට පදිංචි අන්ත අසරණ දුගී ජනතාවමය. ඉන්පසු හැම පාලකයාටම ඔවුන් අමතකය. ඒ දිනවල තාප්ප පුරා කළු අකුරින් ඇඳ තිබු විරෝධතා පාඨයන් දෙකක් තවමත් මට මතකය.
කර්නල් ගඩාෆි—–පැල්පත් කඩාපි
ඉඩි අමින් උගන්ඩාවේ—අපෙ මැතිනිට **න්නාවේ
මොවුන් දෙදෙනාම නොබැඳි සමුළුවට සහභාගිවූ බව මතකය.
1976 අගෝස්තු මාසයේ 16-19 දක්වා බංඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නොබැඳි සමුළුව පවත්වා ඇත. මෙය ශ්‍රීලංකාවේ පැවැත්වූ පළමු ජාත්‍යන්තර සමුළුව යැයි මම විශ්වාස කරමි. මට ඒ පිලිබඳ එතරම් දැනුමක් නැත. මේ රාජ්‍ය සමුළුව සඳහා රාජ්‍ය නායකයින් 86ක් සහභාගීවි ඇත. මාෂල් ටිටෝ, ඉන්දිරා ගාන්ධි, අන්වර් සදාත්, ෆිදෙල් කැස්ත්‍රෝ, මුවම්මර් ගඩාෆි, කෙනෙත් කවුන්ඩා, යසර් අර්ෆත්, අලි භූතෝ මට මතක නම් කිහිපයක්ය. මා දන්නා තරමින් මේ සමුළුවට සහභාගීවූ රාජ්‍ය නායකයින්ගෙන් බොහෝමයක් ලෝක දේශපාලන භූමිකාව තුල ඉතාම පෙරලිකාර චරිතයන්ය. ඒ බොහෝමයක් නම් අදටත් අමරණීයය. සිරිමාවෝ බංඩාරනායක චරිතය නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තුල කැපී පෙනෙන නායිකාවක් විය. අද ඉන්නා දේශපාළුවන් මේ චරිත අධ්‍යයනය කිරීම වටී. ඒ තරම් සාර්ථකව සමුළුව සංවිධානය කිරීමට එවකට සිටි අති දක්ෂ රාජ්‍ය නිලධාරීන් දක්වා ඇති උනන්දුව සහ පරිනතභාවය අද ඉන්නා සමහරක් නපුංසක උසස් නිලධාරීන්ට අත්පොත් විය හැක. ඒ දක්ෂ නිලදරුවන්ගේ නම් ලැයිස්තුවක් මා සතුව ඇතත් ඒවා ලියන්නට ගියොත් ලිපිය මාගලක් වෙනවාය. අවම පහසුකම් යටතේ පවා ඔවුන් පෙන්වා ඇත්තේ පරිපාලන නිපුනත්වය හැර අන් කුමක්ද?
මේ සමුළුව සම්බන්ධව කෙටි වාර්තා වැඩසටහනක් http://www.youtube.com/watch?v=kxJoN7oHFxc මේ තුලින් නැරඹිය හැක. මෙහි කථනය අමරබන්ධු රූපසිංහ නම් ඒ අති දක්ෂ ගුවන් විදුලි මාධ්‍යවේදියාගේය. ඉන් වසර හත අටකට පසුව ඔහු හා සමග ඉතා ලබැඳි ඇසුරකට පත්වීමට තරම් මා වාසනාවන්තයෙක් විය. ඒ ගැන මම පසුව ලියන්නෙමි. මේ සමුළුව සඳහා පාසැල් සිසුන් වශයෙන් අප දැක්වූ දායකත්වය කෙබඳු දැයි මට මෙලෝ මතකයක් නැත. නමුත් අරකී නම් කියන්නේ ඔවුනට කුඩා කිරි පැකට්ටුවක් සහ් ජාතික කොඩියක් අතටදී පාර අයිනේ සිට රාජ්‍ය නායක රථ පෙළපාලියට කොඩි වනන්නට රැගෙන ගිය බවය.
මේ සියළු උත්සව කටයුතුවලින් මාස කිහිපයකට පසුව රටපුරා කැළඹිලි ස්වභාවයක් ඇතිවූ බවත් මතකය. ඒ ශ්‍රීලංකාවේ සිදුවූ පළමු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ඝාතනය වූ පේරාදෙනියේ වීරසූරිය ශිෂ්‍යයා ඝාතනයත සමගය. ඒ 1976 අගභාගයේ යැයි යාන්තම් මතකය.
මම තවමත් සිටින්නේ දෙහිවල ආච්චී සමගය. මා ඔබට කලින් කීවාසේ මා නිතර ගැවසෙන්නේ සත්තුවත්ත හා ඒ අවටය. සත්තුවත්ත ඉදිරිපිට බොහෝ ජංගම වෙළඳුන් ගැවසුනු ස්ථානයකි. අඹ, අන්නාසි, ටොෆි, කඩල වෙළඳුන්ට වඩා මින් ප්‍රධාන තැනක් ගත්තේ සිප්පි කටු මාල, මදටිය ඇට මාල වැනි අරුමෝසම් භාන්ඩ වෙළෙන්දන්ය. මොවුන්ගේ බඩ වියත රැකුනේ විදේශීය සංචාරකයින්ට පිහිට වෙන්නය. කුඩා, තරුණ, මහළු මේ සියළු වෙළෙන්දන් සහ වෙළෙන්දියන් දෙහිවල අවට ප්‍රදේශවාසීන්ය. ඉන් සමහරක් පදිංචිව සිටියේ සත්තුවත්ත අසල මහජන ක්‍රීඩාංගනය ඉදිරිපිට එකල තිබූ කුඩා පැල්පත් නිවාස කිහිපයකය. අනිත් අය පැමිණියේ වෙරළ පැත්තෙන්ය.
වරක් එක් ත්‍රාසජනක සිදුවීමක් විය. මේ වෙළෙන්දන්ට සත්තුවත්ත භූමිය තුලට ඇතුල්වී වෙළදාම කරන්නට ඉඩ ලැබෙන්නේ කලාතුරකිනි. ඒ දන්නා හඳුනන නිලධාරියෙක් හොරෙන් අවසර දුන්නොත් පමණි. වරක් මෙලෙස ඇතුලේ මාල වෙළඳාම් කරමින් සිටි කොළුවෙකු වර්ශාවෙන් බේරීමට යකඩ කූරු වලින් වට කර තිබූ කූඩුවක් යටට මුවාවී ඇත. එලිමහන් ප්‍රදේශයේ යකඩ කූරුවලින් වටකර වහලය ගසා තිබූ මේ ශක්තිමත් සිංහ කූඩුව ඔබට මතක දැයි මම නොදණිමි. යකඩ කූරු අසලටම ගොස් වැස්සෙන් නොතෙමෙන්නට සිටි මේ කොළුවාට සිංහයාගේ තදබල හස්ත ප්‍රහාරයකට ගොඳුරු වන්නට සිදුවිය. නොදැනෙන්නට යකඩ කූරු දෙකක් අතරින් අත දැමු සිංහයා මොහුගේ මුහුණෙන් එක් පැත්තක් සූරා ඇද දමා තිබුනි. කම්මුල පැත්තෙන් පමනක් මස් ගොබයක් එලියට ඇද දමා තිබුනත් ඇස් දෙක බේරීම පූරුවේ වාසනාවකි. ඉන් කාලයකට පසුවත් ඒ දරුණු කැළල් සමග ඔහු සුපුරුදු වෙළඳාමේ යෙදී සිටිනු දැක ඇත්තෙමි.
මට දෙහිවල ආච්චීගේ ගෙදරි යන්නට සිදුවූයේ අපේ ආච්චී මා බැලීමට පැමිණි දිනෙක මට ඇති දුෂ්කරතා පැවසීමෙන් පසු ඇය තම නැඟනිය වූ මැටිල්ඩා ආච්චීට දැක්වූ ප්‍රතිචාරයන් සමගය. මේ සිදුවීමට පෙර දින කෙසෙල් ඇවරියක ප්‍රශ්නයක්ද ඇතිවිය. මේ බව නම් මම අපේ ආච්චීට නොකියා සිටීමට ප්‍රවේශම් විය.දෙහිවල ආච්චීගේ මුණුබුරෙක්, කතෝලික පියතුමෙක් වීමේ අභිලාශයෙන් අධ්‍යාපන සහ පුහුණු කටයුතු කලේ කොහුවල සෙමනේරියේය. මෙය ඉතා සුන්දර නිස්කලංක විශාල ස්ථානයකි. මම කෙසෙල් ඇවරියේ සිද්ධියට පෙරද මැටිල්ඩා ආච්චී සමග මෙහි ගොස් ඇත. වත්තෙන් කපාගත් ඉදුණු පූවාලු කෙසෙල් ඇවරියක් මා අත තැබු ආච්චී මෙය රැගෙන ගොස් තම මුණුබුරාවූ රූපස්ට භාරදෙන ලෙස මට දැන්විය. මා ඇයගෙන් නිවසේ සිට කොහුවල දක්වා යෑමට බස් ගාස්තු විමසූ විට ඇය පැවසූවේ මට පයින් යන ලෙසය. කළුබෝවිල හරහා කොහුවලට ඇවිදගෙන යෑම එතරම්ම මහා දුරක් නොවූවත් මට මෙය හිතට රිදුම් දෙන්නක් විය.එම ගෙදර මෙහෙකරුවූ විමලසේන අත මෙය නොයවා මා පයින් යවන්නේ ඇයි දැයි මට වැටහෙන්නේ නැත.
දුකත්, කේන්තියත්, බඩගින්නත් නිසාම නිවසේ සිට ඇවිද යන අතරතුර මම කෙසෙල් ඇවරිය රස විඳින්නට පටන් ගත්තෙමි. කාටවත් ඕක නොදැණේවී යැයි සිතා ඇවරිය අස්සෙන් වූ ගෙඩියක් දෙකක් කඩා පටන්ගත් මේ සෙල්ලම, සෙමනේරිය අසලට ලංවෙන විට ඇවරි භාගයක් වෙන තරමට අඩුවී තිබුනි. මෙය දැන් ගිහින් දෙන්නට බැරි තරමටම අංජ බජල්ය. දෙවරක් නොසිතා, සෙමනේරියට යන ගමන අමතක කර දමා ආපසු හැරුනු මම කොහුවල කුඩා තැපැල් කන්තෝරුව අසල සිටි යාචකයාට ඉතිරි කෙසෙල් ගෙඩි ටික පූජා කර හෙමින් හෙමින් ගෙදර පැමිණියේය. මැටිල්ඩා ආච්චී දුන් තේ කෝප්පයද බී රෑටත් කෑම කා නිදාගත් මම මගේ හතරවෙනි නවාතැනින් පිටත්ව යන්නේ අපේ ආච්චී පහුවදා පැමිණිය නිසාය. මා කල මගෝඩි වැඩේ නිසා හිතේ ඇත්වූ බය සහ පශ්චත්තාපය මදකට හෝ නැතිව ගියේ, ආච්චීත් ඉන්ද්‍රක්කාත් සමග නොගේගොඩ බලා යන බස් රථයට ගොඩ වූවාටත් පසුවය. ඉන්පසු මට මැටිල්ඩා ආච්චී නැවත හමුවන්නේ මගේ පාසැල් කාලයත් නිමාවී රැකියාවක් කිරීමට පටන් ගත්තාටත් පසුවය.
ජයතිස්ස කුමාරගේ ලියු අසම්මත විචාරය ග්‍රන්ථයේ පෙරවදනේ ඔහු මෙසේ කියා ඇත.
“ජීවිතය ක්‍රමයෙන් වයස්ගත වන විට නිමා කිරීමට හෙටක් නැත. ඇත්තේ මෙනෙහි කිරීමට අතීතයක් පමණි. කෙනෙකු තම අතීතය සතුටින් මෙනෙහි කරන අතර, තවත් කෙනෙකුට අතීතය දෙස හැරී බැලීම පවා වේදනාවකි. තම අතීතය දෙස පිරුණු සිතකින් බලනවුන් තම සිතට එකඟව ජීවත්ව ඇත. ඔවුන්ට සිතද එකඟය. පිරුණු ජීවිතයක් ඔවුන් සතුය. කම්පාවෙන් අතීතය දෙස බලන අයට ජීවිතය හරයක් නොමැති දෙයක් ලෙස පෙනෙන අතර තමන් ජීවිතයට ණය ගැති බව දැනෙන්නේ හුදෙකලාවූ සුසුම්ද තැවීම ද සමගය”
මේ කියමන ඉතා වටිනේය. මෙය මට බොහෝ දුරට සමීපය…ඔබටත් එසේ විය හැක…පහතින් ඇති ගීතය ඔබ සියල්ලක්ම අසා ඇති බව නිසැකය. නමුත් මේ අයුරින් අසා තිබේදැයි බලන්න.

Sunday, November 10, 2013

අවුල් වන්නට පෙර…(15)…මිනිමැරුමක් සහ තවත් තැනක්

මේ කාලය වනවිට මගේ හතරවෙනි නවාතැන් පොල වෙත යාමට සිදුව ඇත. එය එසේ වන්නේ අප කවුරුත් සම්බන්ධ නැති එක්තරා අවාසනාවන්ත සිදුවීමක් නිසාය. එය පහත්ගම ගම්මානයම තැතිගැන්මකට ලක් කල මනුෂ්‍ය ඝාතනයක් විය.
මා පදිංචිව සිටි සීයාගේ ගෙදරට උඩහින් තිබුනේ ගුනපාල නම් වූ පුද්ගලයෙකුගේ නිවසය. ඔවුන්ට දරුවන් පස් දෙනෙක් සිටි බවත් මතකය. ගුනපාල නිතරම බීමත්ව කෑගසමින් ගෙදර අඩදබර කරගන්නෙකි. මෙය මුළු ගමම දන්නා කරුනකි. එක් දිනක් රාත්‍රියේ තම නිවසට ඇතුල්වන දොරකඩ ආසන්නයේදීම කවුරුන් හෝ මොහුට තදබල ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත. එසැනින්ම ඔහු, දයාරත්න, ඥානරත්න, ප්‍රේමරත්න මට ඇසිඩ් ගැහුවා..මාව බේර ගනියෝ යැයි කෑ ගසා ඇත. ඔහු එසේ කෑගසුවා යයි කියන්නේ ගෙදර අයය. පසුව ඒ උදවියගේ කෑගැසීම නිසා හුළු අතු දල්වාගෙන ගමම අවදිවී , ගුනපාලව රෝහල් ගතකල මුත් ඔහු එහිදී මිය ගොසින්ය.
දයාරත්න යනු අපේ තාත්තාය. ඔහු ගුනපාලගේ ලඟම හිතෛෂියෙකි. ඥානරත්න සහ ප්‍රේමරත්න යනු තාත්තාට වඩා වයසින් බාලවූ ගමේ ජනප්‍රිය තරුනයන්ය. මොවුන් දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයන් වූ අතර හැන්දෑවට, හැන්දෑවට අඩියක් පුඩියක් ගසා කාලය ගතකරනවා හැර උන්ගෙන් කාටවත් කරදරයක් නැත. ගෙදර අය ලබාදුන් කට උත්තර මත පසුවදාම ඥානරත්න සහ ප්‍රේමරත්න පොලිස් අත්ඩංගුවට පත්වූ බවත් දයාරත්න වන අපේ තාත්තා මාසයකින් වත් ගම් පලාතේ පැමින නැති බවත් සඳහන් විය. සිදුවී ඇත්තේ එක දෙයකි. කට උත්තර දී ඇත්තේ වෙන දෙයකි. පසු කාලයකදී , ගුනපාලගේ ආයාචනය කනින් ඇසුනු කෙනෙක් ,ඥාති සම්බන්දතාවයක් නිසා සාක්කි දීමට ඉදිරිපත් නොවූවත් කියන්නේ වෙනම කතාවකි. ගුනපාල ඔහුගේ ලඟම මිතුරන් තුන්දෙනාගේ නම් කියා කෑගසා ඇත. ඔහු කියන්නේ මේ මිතුරන්ට පැමින ඔහුව බේරා ගන්නට කියාය. “දයාරත්න..ඥානරත්න…ප්‍රේමරත්න….මට ඇසිඩ් ගැහුවා…මාව බේරගන්න” කියාය.
මූලික පොලිස් විමර්ශන වලදී දයාරත්න ගමේ නොසිටිය බවටත් ,ඔහු පදිංචිව සිටින්නේ ඉහල තල්දූවේ බවත්, රැකියාව අවිස්සාවේල්ලේ නිසාත් ඔහු මෙම නඩුවට සම්බන්ධ නොවීය. අනික් දෙදෙනා වසර කිහිපයක් රිමාන්ඩ් භාරයේ සිට සියළුම චෝදනා වලින් නිදහස් වූ මුත් ගුනපාලගේ මරණය අභිරහසක් විය. මේ ගැන නොයෙක් කටකතා පවතී. තාත්තාද හැකි පමනින් මේ නඩුවාර වලදී විත්තිකරුවන්ගේ ඥතීන්ට උදව් කර ඇත. විත්තිය වෙනුවෙන් පෙනී සිට ඇත්තේ එවකටත් දක්ෂ අපරාධ නීතිඥයෙක්වූ දයා පෙරේරා මහතාය.
මේ සිදුවීමත් සමගම් පවුලේ අය තීරනය කලේ මගේ නවාතැන් පොල මාරු කලයුතු බවය. දැන් මා නැවතීමට යා යුතුව ඇත්තේ අපේ අම්මාගේ පුංචි අම්මා විසූ දෙහිවල සත්තුවත්ත ඉදිරිපිට පිහිටි ඇයගේ නිවසටය. ඒ මගේ හතරවෙනි නවාතැන් පොලය. වසර තුන හතරක් තුල මා නවාතැන් මාරුකරන්නේ අහිගුණ්ඨකයෙකු සේ යැයි මට සිතේ. මෙවැනි තත්වයකට මුහුන දුන් කෙනෙක් වෙතොත් එය කොතරම් මානසික පීඩාවක් දැයි සිතා ගැනීම අපහසු නොවේ.
මා එහි නවතාගෙන පාසල් යැවීමට මැටිල්ඩා ආච්චී නම් වූ ඇය කැමතිවී ඇත. මෙම නිවස පිහිටා තිබුනේ දෙහිවල සත්තුවත්තේ මින් මැදුර ඉදිරියෙන්ම ඇති පෞද්ගලික පාරේය. මෙම පාරේ තිබුනේ නිවාස 4ක් පමනි. මොවුන් යමක් කමක් ඇති උදවියය. මැටිල්ඩා ආච්චී තරම් උඩඟු, ආත්මාර්ථකාමී ගැහැනියක් මම කිසිවිටක දැක නැත. ඇයගේ අක්කාවන අපේ අම්මාගේ අම්මා සතු කාරුනික ගති පැවතුම් හා සලකා බැලුවිට ඇය සොහොයුරියක් වූයේ කෙලෙසදැයි සිතා ගැනීමටත් අපහසුය.වැන්දඹු මැයට දරුවන් තිදෙනෙකි. වැඩිමලා වතු පාලකයෙක්ය. දියණිය විවාහවී පදිංචිව සිටියේ මීගමුවේ කුරණ ප්‍රදේශයේය. අනික් පුතා පමනක් විවාහ වනතෙක් ඇය සමග පදිංචිව සිට විවාහයෙන් පසුව ඇමරිකාවට පිටමං විය.
ඔවුන් සෑම ඉරිදාකම පල්ලි යන, හෑම හැන්දැවකම නිවසේ සිටම ඔරසං කියන බැතිබර කතෝලික පවුලක්ය. ඇය නිතරම කියන්නේ ඔවුන් නුවර කටුගස්තොට නම්බුකාර උදවිය බවත්, ඇයගේ දරුවන් සමාජයේ ඉහල රැකියා කරන අය බවත්, අපේ ආච්චිගේ දරුවන් නිසියාකාරව ඉගෙන නොගත් උදවිය බවත්ය. අපේ ආච්චීට මේ ප්‍රතිපලය ඇතිවූයේ සීයාව කසාද බැඳීම නිසා බවත්, ආච්චීගේ දේපොල නැතිවූයේ අපේ තාත්තාගේ නොසැලිකිලිමත් බව නිසා කියා නිතර නිතරම ඇසෙන අඳෝනාවන් මහා හිසරදයක් විය. ඇයගේ දරුවන් බීවත් බොන්නේ අපේ තාත්තා මෙන් නොව ඉහල වර්ගයේ විස්කි බ්‍රැන්ඩි බවත් නිතරම කියවයි. ඇයගේ දරුවන් සිටින්නේ නම් කියන්නේ ඇයට ඔය කියවිල්ල නවත්වන ලෙසය. නමුත් ඇය එසේ නොකරයි. මේ සියල්ලක්ම ඇය කියවන්නේ ගෙදර වැඩට සිටි විමලසේන නම් මට වඩා ටිකක් වැඩිමහල් කොලුවා ඉදිරිපිටමය. මමද අවසානයේ විමලසේනගේ මල්ලී වැනි පුදගලයෙක් බවට පත්විය. කුකුල් කූඩු ශුද්ධ කිරීම, ජෙරාඩ් අංකල්ගේ හාවුන්ට කෑම දීම, හැන්දෑවට පොල් ගෑම, ඉස්සරහ උඳුපියලි ගැලවීම මටත් විමලසේනටත් පැවරී තිබු රාජකාරියන්ය. මේ කිසිවක් ගෙදරට නොදන්වා මගේ පාසල් කටයුතු කරමින් කාලය ගත කලේය.
නිවසේ සිට දෙහිවල මහජන ක්‍රීඩාංගනය අසලින් ඇති පටුමගින් වෛද්‍ය පාරට පිවිසෙන මම ගාලු පාරින් පාසල් බසයට ගොඩවී පාසැල් යන්නෙමි. පාසැල තුල ගතකරන ඒ සොඳුරු කාලය මිස ආච්චිත් එක්ක විසුම නම් මහා කරදරයක් විය. ඒ කාලය තුලදී අප පංතියේ සිසුන් නාට්‍යයක් පුරුදු වූවා මතකය. දෙහිවලම විසූ නන්දක්කා නම් අපගේ ඥාතියෙකුගේ ලුංගියක් සහ බ්ලවුසයක් ඇඳ , එම නාට්‍යයේ නාගරික සිසුවාගේ මවගේ චරිතය නිරූපණය කලේ මමය. මගේ පුතා ලෙස රඟපෑවේ චම්පාල්ය. පුහුනුවීම් සඳහා පාසල් කාලයෙන් පසු නැවතී සිටි මුත් මම කිසිවිටෙකත් ගෙදරින් කෑම ගෙන යන්නේ නැත. ඇය ඒ පිලිබඳව විමසන්නේත් නැත. බොහෝ විට චම්පාල්, කුශාන් ඇතුළු කංඩායම ගෙන එන බත්මුල් වලින් මමද සප්පායම්වී ඒ පුංචි නාට්‍යයෙ වැඩද අවසන් කර ගත්තේය. චම්පාල්ගේ බත් එකට වෙනම හොදි රැගෙන එන්නේ එකල තිබු හිස් වීදුරු තීන්ත කූඩුවක බව මට අද මෙන් මතකය.
එකල දෙහිවල අවට ප්‍රදේශයේ නිවෙස්වල භාවිත වුයේ බාල්දි වැසිකිලිය. මේ තරම් අප්‍රසන්න ක්‍රමවේදයක් ඒ වන විටත් දෙහිවල-ගල්කිස්ස නගර සභාව නඩත්තු කරමින් පැවතියේය. රෝද දෙකේ කරත්තයක් තල්ලු කරගෙන පැමිනෙන ඒ අහිංසක කම්කරුවා ගෙයින් ගෙට ගොස් මේවා ශුද්ධ පවිත්‍ර කර, බාල්දියද පිරිසිඳු කර යෑම දෛනික රාජකාරිය විය. ආච්චිගේ උඩඟු කතා ගැන මා පසුව ගෙදර අයට පැවසූ විට තාත්තා නම් කිව්වේ බොන්නේ විස්කි වුවත් රෙන්නේ බාල්දියෙ බවය. කෙසේ වෙතත් මේ ක්‍රමයට තිත තබා සාමාන්‍ය ක්‍රමයට යායුතුව තිබුන බැවින් වැසිකිලි වලක් කැපීමට සිදුවිය.
එක් උදෑසනක මේ කපා තිබු වල තුල අමුතු සතෙක් වැටී දගලමින් සිටිනු දුටු මා ආච්චීව දැනුවත් කලේය. ඇය කීවේ මේ විස්තරය සත්තුවත්තේ සත්ව සෞඛ්‍ය අංශයේ සේවය කල පෙරේරා අංකල්ට දන්වන ලෙසය. ඔහු නන්දක්කාගේ ස්වාමි පුරුෂයාය. ඔවුන් පදිංචිවී සිටියේ මින්මැදුරට යාබද පාරේ ඇති සත්තුවත්තේ බිත්තියට යාවෙන සේම එම ඉඩමේම සාදා තිබු නිවසකය. එය සත්තුවත්තට අයිති නිවාසයකි. පෙරේරා අංකල් පැවසූවේ කෙසේ හෝ සතා අල්ලාගෙන එන ලෙසය. ඔහු කම්කරුවෙක්ද සැපයීය. එදා විමලසේනත් නොසිටී නිසා මමත්, මැටිල්ඩා ආච්චීත්, අර මිනිසාත් ලොකු වේවැල් කූඩයක් වලට බස්සවා සතා උඩට ගත්තෙමු. මේ මීමින්නෙක් බව කීවත් මම මීමින්නෙක් දැක්කෙත් එදාමය. මුවෙකුගේ හැඩය ගත් ඊට වඩා ඉතා කුඩාවු මේ සතාද රැගෙන මම සත්තුව්ත්තට ගියෙමි. දෙහිවල ඉන්නා කාලයේදි මම ඇතිතරම් සත්තුවත්තේ රවුම් ගසා ඇත්තෙමි. 1936 දී ආරම්භවූ මෙය අක්කර 23ක් යැයි පවසයි. මම තරම් සත්තුවත්ත නැරඹු කෙනෙක් ඇත්නම්, ඒ එහි සේවකයින් පමනක් විය යුතුය. ඒ පෙරේරා අන්කල් මට ලබා දී තිබු වරප්‍රසාදයක්ය. මින් මැදුර නිර්මාණය වුවේත් සීල් මත්ස්‍යයින් ගෙන ආවේත් ඔය කාලයේ බව මතකය.සතා පරීක්ෂාකර බැලූ පෙරේරා අංකල් , ඌව රසායනාගාරයේම කුඩා කූඩුවකට දමා එහි පොතක සතාගේ භාරකරු ලෙස මගේ නම සඳහන් කර අත්සන් කරන්නට කීවේ, නැවත දවස් හතරකින් පැමිනෙන ලෙසත් සතා නිරුපද්‍රිතව සිටියෝතින් මට ගෙවීමක් කරන් බවත්ය. එම පොතේම පේලී දෙක තුනක් උඩින් සඳහන්ව තිබුනේ සුදු නයෙක් භාරදුන් තොරතුරක්ය. ඒ සත්තුවත්තට භාරදුන් පළමු සුදුනයා යැයි මම විශ්වාස කරමි. පසු කාලයකදී විදේශීය සංචාරකයෙක් මේ සුදුනයා සත්තුවත්තෙන් සොරකම් කර යන්නට තැත් කරද්දී ගුවන් තොටුපලේදී අත් අඩංගුවට පත්වු කතාවක් මතකයට නැගේ.
මුදල් ලැබෙන කතාවක් ආච්චීට නොකිව් මම දින හතරකින් සත්තුවත්තට ගිය මට අසන්නට ලැබුනේ ඒ නිරෝගි සතෙක් බවත් මට රුපියල් 40ක මුදලක් ලැබෙන බවත්ය. කුවිතාන්සියකට අත්සන් තබා මුදල් ලබාගත් පසු පෙරේරා අංකල් මට කිව්වේ , ආච්චීට නොකිව්වානම් ඒ මුදල් මට තබාගන්නා ලෙසත්ය. ඒ හැම කෙනෙක්ම මැටිල්ඩා ආච්චීගේ තරම දන්නා නිසා විය යුතුය. සතුන් පිලිබඳ මනා දැණුමකින් හෙබි පෙරේරා අංකල් පසු කාලයකදී ඕමානයේ රාජකීය සත්ව උද්‍යානයේ ඉහල තනතුරක් දැරීය. රාජකීය සත්ව උද්‍යානය මහජන ප්‍රදර්ශණයට විවෘත නැත. එය රජතුමාගේ පුද්ගලික එකතුවකි. මේවා කියෙව්වොත් අපේ රජවරුත් සත්තු එකතු කරන්න පටන් ගනීද කියා බයය. මමද ඒ කාලයේම ඕමාන් ගුවන් සේවයට වැඩ කලේය. මීට වසර කිහිපයකට පෙර මේ නිහතමානී මිනිසා අපෙන් සමුගත්තේය. මොහු නිසාම රාජකීය සත්තුවත්තේ සේවය සඳහා බොහෝ ශ්‍රී ලාංකිකයින් බඳවා ගත්තේය. ලංකාවේ සිටි අති දක්ෂ උරග විශේෂඥයෙක් වූ අභාවප්‍රාප්ත මොල්ලිගොඩ මහතාද මෙහී කලක් සේවය කලේය.

Friday, November 1, 2013

අවුල් වන්නට පෙර (5)…….අතර මැද කතාවක්….

  1971 සිට 1973 දක්වා වූ කාලය තුල රටේත්, අපේ ගෙදරත් නොයෙකුත් විපර්යාසයන් සිදුවෙමින් පැවතුනි.1972 ව්‍යවස්ථා සංශෝධණයද ඒ අතර විය.
  තාත්තාගේ අදහස නම් 71 විප්ලවය යනු, කිසිවිටෙක හෝ සිදුනොවිය යුතු , ඒ සඳහා අනිවාර්ය විය යුතු දේශපාලණික හෝ ආර්ථිකමය පරිසරයක් ගොඩ නැගී නොතිබු අවධියක, අඩු වයසෙන් බිහිකිරීමට හැදු දරුවකුගේ අවාසනාවන්ත මරණයක් බවය. මේ තත්වය මැඩ පැවත්වීම සඳහා සිරිමාවෝ බන්ඩාරනායක රජය විසින් සාර්ථක මෙහෙයුමක් දියත් කරන් ලද බවත්, පාලකයින්ගේ ක්‍රමවත් ප්‍රතිචාර නිසා ජීවිත විනාශයන් අවම කර ගැනීමට හැකිවූ බවත් වැඩිහිටියන්ගේ මතය විය.
  බොහෝ JVP නායකයින් රජයේ අත් අඩංගුවට පත් වූ අතර ඉන් සමහරක් පාපොච්ඡාරණය කරමින් වැරදි පිලිගත්හ.ඒ හඬපට නිතර දෙවේලේ ගුවන් විදුලිය තුලින් ප්‍රචාරය විය. පොඩි අතුල නොහොත් වික්ටර් අයිවන්, ලොකු අතුල නොහොත් නිමලසිරි ජයසිංහගේ හඬ යාන්තමට මතකය. මතකයට හේතුව විය හැක්කේ එකල අපි නිතර දෙවේලේ ගුවන් විදුලියට සවන් දීමට පුරුදු වී සිටි බැවින් විය යුතුය. මගේ මතකය නිවැරදි නම්, සමන් අතාවුදහෙට්ටි සහ පරාක්‍රම පෙරේරාගේ හඬින් යුතු ගුවන් විදුලි නාටකයක් ඒ දිනවල ප්‍රචාරය විය. ඒ ඔවුන් ගුවන් විදුලියට එකතු වූ මුල් අවධියේ ප්‍රචාරය වූ “ජිල් ජෝනා සහ වැන්ද බෝනා” යැයිද කියා මට හරියටම මතක නැත.දන්නා කෙනෙක් සිටී නම් නිවැරදි කරන්න.
      ගංගොඩවිල විජේරාමේ පිහිටි විද්‍යෝදය විශ්ව විද්‍යාලය අල්ලාගත් JVP සාමාජිකයින්ගේ පුනරුත්ථාපණ කඳවුර විය. මේවා වධකාගාර නොව, නිසැකවම ඔවුන්ගේ තාවකාලික නැවතුම් පලවල් විය. අප කුඩා කල සරුංගල් ඇරීමටත්, රවුම් ගැසීමටත් විශ්ව විද්‍යාලය පැත්තෙන් එගොඩවත්ත හරහා බොරලැස්ගමුව පැත්තට ඇවිදින්නට පුරුදුවී සිටිය උන්ය. මේ ගමනේ මා සිත් ගත් තැනක් වූයේ විශ්ව විද්‍යාලය අවට පරිසරයය. ඒ අන් කිසිවක් සඳහා නොව , පාරට පෙනෙන්නට ඔවුන් ඇඳ තිබූ සටහන්, සටන් පාඨ සහ සිතුවම් දැක බලා ගැනීමට තිබු පෙරැත්තය නිසාමය. කුඩා කල සිටම මට මේ දේශපාළන කැක්කුම හිත තුල පැල්පදියම් වී තිබී ඇත.අපේ තාත්තා 1965 සිට පැවත්වූ සියලුම මැතිවරණවල ප්‍රථිපල ( සෑම ආසණයකම )පත්තර වලින් කපා විශාල චිත්‍ර පොත්වල අලවා සුරක්ෂිතව තබා තිබුණි. ඔහුගේ ලොකු පුතා වූ මම ඉන් ඔබ්බට ගොස් මතක ඇති කාලයේ පැවත් වූ සෑම මැතිවරණ සටහනක්ම සියළුම විස්තර සහිතව අතින්ම ලියා ලොකු CR පොත් දහයක ,පහලොවක එකතු කර තබන ලදී. වරෙක ගෙදර අයද, ඉන් පසු අරකීද, ඊටත් පසු අපේ දියණියද මේ ගැන ඇති තරම් මට ඔච්චම් කර ඇත. වරෙක විමලසිරි ද මැල් නම් වූ සමසමාජ නායකයා ඒ සටහන් ඔවුන්ගේ පුස්තකාලයේ තබන්නැයි කීවේ තොරතුරු එකතු කිරීමට, යූනියන් පෙදෙසේ සමසමාජ කාර්යාලයේදි ඔහු හමුවූ විටකදීය.
       1972 මැයි මස 22 දින අපේ රට ජනරජයක් බවට ව්‍යවස්ථාපිත උසස්වීමක් ලැබූහ.මේ දිනය බොහෝ දෙනෙකුට අද අමතකය.මේ උත්සවය පැවැත්වූයේ  නවරඟහළේ විය යුතුය. කොල්වින් ආර් ද සිල්වා, ඇන්.ඇම්. පෙරේරා වැනි බුද්ධිමතුන් මේ සඳහා දායක වී යැයි තාත්තා මට කියා දුණි.එදා පටන් CEYLON තිබු හැම තැනකටම SRI LANKA ආදේශ විය. මෙය SHRI LANKA විය යුතු යැයිද බොහෝ කලකට පසු අදහස් මතු විය. ඒ ගැන කතා කල යුතු නැත. ඒවා පුස් කතාය.ඔය කවර නමින් හැඳින්වූවත් රටට වෙන්න ඕන අවාසි සිදුවූවා මිස වාසි නම් බොහෝ හිඟය.
         මේ වනවිට අපගේ නිවසේ ස්වරූපය පවා වෙනස් වන්නට පටන් ගෙන තිබුණි. විශාල නිවස මැද බිත්තියකින් දෙකට බෙදා කොටසක් කුළියට දෙන්නට විය. එහි වාසය සඳහා කොටුව ගුනසේන පොත් සාප්පුවේ සේවය කල බලදාස අංකල් නම් තාත්තාගේ වයසේ පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිඳ පැමිණියහ. ඉතාමත්ම කාරුණික යුවලක් වූ ඔවුනට දරුවන් නොසිටී අතර ඔවුන් හා ගත් ඡායාරූපයක් තවමත් මා සතුව ඇත. මේ වනවිට අපේ පවුලේ දරුවන් ගණන පහක් වී තිබුණි. හතරවැණියා ලෙස මල්ලියෙක්ද, පස්වැණියා ලෙස අප පවුලේ සියල්ලන්ගේම සුරතලියවන නංගීද විය. ඇය ගැන මා අහිංසකාවිය නමින් කවි යැයි හිතනා කවි පෙලක්ද මගේ බ්ලොගයේ සටහන් කර ඇත. කුඩාකල කිසිවිටෙකත් ඇයගේ මානසික දුර්වලතාවය නොපෙණෙනු අතර කෙමෙන් කෙමෙන් එම ලකුනු පහල වන්නට විය. ඒ කෙසේ වෙතත් ඇය අපගේ පුංචි සුරංගණාවිය ලෙසම අදත් අප අතරම සිටී.
     තාත්තාට ලැබුනු රැකියා මාරුවත් සමගම ඔහු අවිස්සාවේල්ල පලාතට ගොස් පදිංචිවිය යුතු යැයි තීරණය කර ඇත. නමුත් මා රාජකීය විදුහලට තේරී තිබු බැවින්, පවුලේ අය දෙල්කඳ නැවතී සිටීමටත්, ඔහු පමනක් එම ප්‍රදේශයට යෑමටත් තීරණය විය. තාත්තාට ඔහුගේ උපන් බිම වන හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ සීයාගේ ගෙදර සිට රැකියාව කිරීමට අවකාශ තිබුනත්, ඉහල තල්දූව, තැඹිලියාන නම් අවිස්සාවේල්ලට නුදුරු ග්‍රාමයක කුළී පදනමට නිවසක තනියම පදිංචි විය. ආර්ථික තත්වය තවත් දෙදරීමකට ලක්විය. මව් පාර්ශවයේ සීයාගෙ මරණයෙන් පසු ආච්චීට ලැබුණු විශ්‍රාම වැටුප අපේ ගෙදරට මහත් දායාදයක් බඳුවිය.ආචිචී නොවන්නට විශාල ප්‍රශ්ණ රාශියකට මුහුණ දෙන්නට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත.
        තාත්තා පදිංචියට ගිය ඉහල තල්දූව ප්‍රදේශය ඉතා මනරම්, දැකුම්කළු ප්‍රදේශයක් විය. අවිස්සාවේල්ලේ සිට දෙහිඕවිට මාර්ගයේ සීතාවක ගඟ, තල්දූව නගරය පසුකර යනවිට තැඹිළියාන නම් මෙම සුන්දර ගම්මානය මුණගැසේ. මෙහි එකළ බොහෝ තැඹිළි ගස් දක්නට ලැබුණි. තාත්තා කුළියට ගත් නිවස පිහිටියේ 32 වැනි සැතපුම් කණුව ඉදිරිපිට කුඩා ඇල සහ කුඩා පාළමට යාබදවය. එය සොල්දර නිවසක් විය. අත්තනායක නම්වූ ඔහුගේ මිතුරකුගේ නිවසක්වූ එහි හොල්මන්, අවතාර ඇති බවටද කටකතා තිබුණි. අපේ තාත්තා එවැනි දේ සතයකට මායිම් නොකරණ මහා දඩබ්බරයෙක් විය. යහළු මිත්‍ර ආශ්‍රයට දැඩි ගිජුවූ ඔහුගේ අත දිග හැර වියදම් කිරීමේ කළාව අප පවුලට මහත් අවාසි සහ කරදර ඇති කරන්නක් විය. නමුත් පවුලේ අන් අය කවර මතයක් දැරුවත් මම අදටත් ඔහුට දොස් නොපවරමි. එක එක අයගේ ජීවන ශෛලීන් වෙණස්ය. ඔවුන්ම ඒ වැරදි තේරුම් ගෙන නිසි මාර්ගයකට වෙණස් කර ගන්නවා හැර, තවකෙකුට ඒවා වෙණස් කල නොහැක. කෙණෙකුගේ පෞද්ගලිකත්වයට පමණට වඩා අතපෙවීම සුදුසු දෙයක් නොවේ. පමණට වඩා නොව, කිසිසේත්ම අතපෙවීම නොකල යුතු බව මගේ අදහසය. පෙන්වා දීම වෙනත් දෙයකි. 
     මමද ඉතා දැඩි ලෙස යහළු මිතුරු ඇසුරට ප්‍රිය කල මිනිහෙක්ය. නමුත් මූළිකත්වය දිය යුත්තේ මාගේ පවුලටය, අන් සියල්ලක්ම ඉන් පසුවය යන්න මම අත්දැකීම් තුලින්ම හඳුණාගතිමි.
      ශාන්ත ජෝන් විදුහලෙන් මා හට නොයෙකුත් තෑගී භෝග ලැබුණු අතර, ඉන් වඩාත් සිත්ගත් ත්‍යාගය වූයේ රූප රාජිණියක ලෙස පෙනී සිට පළමුවැණියා වී ලැබුණු ඡායාරූපය සහ පැසසුම්ය. තවමත් ඒය මා සතුව ඇත. පළමුවෙන්ම මා රාජකීය විදුහලට පැමිණියේ තාත්තා සමග යැයි මම ලීවෙමි. එයින් පසු වැඩිහිටියකු සමග පාසැල් ගිය එකම සහ අවසාණ දිණය එය විය. මහරගම සිට ගමන් ඇරඹූ පාසැල් බසයෙන් පාසැල් යෑමට පුරුදුවිය. මෙය අප පාසලටත් තර්ස්ටන් විදුහලටත් පොදු තට්ටු දෙකේ බසයක් විය. මෙයින් ටික කලකට පසුව සිට විවාහවන තෙක් ජීවිතයේ බොහෝ දේවල්වලට මා මුහුණ දුන්නේ තනිවමය. එය සමහරුන් විශ්වාස නොකරණු ඇත.
         මා සමග නවවැණි පංතිය දක්වා එකට ඉගෙණගත් සිසුන් කංඩායම අධ්‍යාපණයේ අති දක්ෂයන් විය. අප විසින් දැක්වූ දස්කම් අතරින් ඉහලින්ම කැපී පෙණුනේ හත්වැණි වසරේ ශිෂ්‍යත්ව විභාගයයි. එය ශ්‍රීලංකා අධ්‍යාපණ ඉතිහාසයේ වාර්තාවක්ද විය හැක. අප තිස්පස් දෙනාට අමතරව වෙනත් හේතු මත තවත් හය හත් දෙනකු පංතියට ඇතුල්විය. අප තිස්පස් දෙනාම හත වසරේ ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත්ව තිබුණෝය. කිසිම පාසැලක එකම පංතියේ සිසුන් තිස්පස් දෙනෙක් දිවයිනේ තරඟ විභාගයකින් සමත්වීම ඉන් පසු කිසිම දිනක මා අසා නැත. ඔබ දන්නවානම් සඳහන් කිරීම වටී. අප පංතිය භාර ගුරුවරයා වූයේ ඉලේපෙරුම ආරච්චි නම්වූ ජාතික ඇඳුමෙන් සැරසී සිටි ඉතා කුඩා සිරුරක් හිමි වැදගත් උතුම් ගුරු පියාණන්ය. ඔහු අද ජීවතුන් අතර නැත. මේ සිසුන් තිස්පස් දෙනා අතරද කිහිප විටක්ම, මාසික පරීක්ෂණ, වාර විභාග වැනි අවස්ථාවන්හීදි මමද පළවෙනි, දෙවෙනි, තුන්වෙනි තැන්වලට පැමිණ දස්කම් දක්වා ඇත.***********නැවත හමුවෙමු***********
ප.ලි……මම දැන් ෆිටේ ෆිට්ය. නොසිතුවාටත් වඩා ඉක්මණින් සාමාන්‍ය තත්වයට පත්විය. VARICOSE VEINS ඉවත් කිරීමේ ශල්‍යකර්මයට මීට වසර තිහකට උඩදීත් මා මුහුණදී ඇත. එකල තිබූ වෛද්‍ය පහසුකම් තුල මෙවැනි ශල්‍යකර්මයකින් පසු පාදය, තැනින් තැන කපා කෙටූ, ලේ ගලන මස් කඩයක ස්වරූපයක් ඉසිලිය. දැන් වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු මට්ටමක පවතී. අඟලක් පමණ කුඩා ප්‍රමාණයක් කපා දමා ඒ තුලින් ඇතුල් කරණ ලේසර් මගින් මෙය සිදුකරයි. මෙය දැන් කුඩා කැපුම් සිදුරකට සහ දවසකට දෙකකට සීමාවූ වේදණාවකට පමනක් අයිති වැඩක් වී හමාරය. සිහි නැතිකරණා විටනම් මට මොහිදීන් බෙග් මහතාට සිදුවූ දෙය සිහිපත් විය. ඔහුව නැවත සිහි ගැන්වීමට පුළුවන් වූවා නම් තවමත් ගී ගයණු ඇත. මට නම් මගේ ගීතය ගයා අවසන් කිරීමට හැකිවී ඇත.