Thursday, July 31, 2014

Mee හරක් සහ My හරක්

ආදරනීය කියවන්නෙනි.......මේ අපහසුතාවය මට වටහාගත හැකිය. මට සමාවෙන්න... කොමෙන්ට් කිරීමේ අපහසුවක් ඇතත්...වර්ඩ්ප්‍රෙස් අඩවියට පැමිණ කියවන්න. කමෙන්ට් නොකලාට ..කියවා යමක් ලබාගන්නවා නම් ඒ මට සෑහේ!!!!!!!http://arugeadaviya.wordpress.com/

Tuesday, July 22, 2014

අවුල් වන්නට පෙර (46)... වැලිගමයි...මමයි.

ගල්කිස්සේ සේවය කරනා කාලය තුළ, අප අවන්හලට පැමිණි ශ්‍රීලාංකික අමුත්තන් සිටියා නම්, ඒ අතළොස්සක් පමණි. ඒ සමහරක් පවා සිංහලයන් වුවත් ඔවුන් කතා කරන්නට හුරුව තිබුණේ ඉංග්‍රීසියෙන් පමණි. මව් භාෂාවෙන් කතා කිරීමට එකල ධනවතුන් මැලිකමක් දැක්වීය. ඒ ඇයි දැයි කියා මම නොදනිමි. 1981 මුල් යුගයේ එක අවස්ථාවක පිට පිටම දින දෙක තුනක්, අප අවන්හලට පැමිණි ශ්‍රීලාංකිකයින් කිහිප දෙනෙක් මා හා කුළුපග විය. ඔවුන් සියල්ල නිරීක්ෂණය කරනා වගත් පැහැදිලි විය. තුන්වැනි දිනයේ ඔවුන්ගේ අවශ්‍යතාවය මට තේරුම් ගියේය

වැලිගම පළාතේ ඔවුන් සතුව තරු තුනේ හෝටලයක් ඇති බවත්, අවන්හල් සේවකයින් සඳහා පුරප්පාඩු ඇති බවත්, මා ලබන වැටුපට වඩා ගෙවීමක් කර බඳවා ගැනීමට හැකි බවත් පැවසීය. දින දෙකකින් ඔවුන් වැලිගම බලා පිටත්ව යන බැවින්, හැකිනම් ඔවුන් හා සමග එක්වෙන ලෙසත් ආරාධාන කළෝය. කිසිවක් වැඩිපුර සිතන්නට කාලයක් නොවීය. මුහුකුරා ගිය අවබෝධයක් නොමැති කමත්, වැටුප ගැන ඇතිවූ ආශාවත් නිසා, මම එහි යන්නට තීරණය කළෙමි. අද මෙන් ජංගම දුරකථන පහසුකම් නොවූ බැවින්, ඒ මොහොතේම තීරණයක් අපේක්ෂා කල මොවුන්ට මම කැමති යැයි ප්‍රකාශ කෙරුවෙමි. නියමිත දින එම ආයතනයේ ප්‍රධානියෙක් සහ රියැදුරු සමග පොරෝලිස් මාමාගේ නිවස ඉදිරියට පැමිණි වාහනයේ ගොඩවී, මම වැලිගම බලා පිටත්ව ගියෙමි. සියල්ලන්ටම සමුදුන් මම ජීවිතයේ තවත් කඩ ඉමක් කරා ගමන් කළේ චකිතයෙන් යුතුවය. ඔවුන් කීවේ, දින තුනක කාලයක් ඔවුන් කංඩායමක් අප අවන්හලත් තවත් ස්ථාන කිහිපයක් නිරීක්ෂණයෙන් පසු තිදෙනෙක් තෝරාගත් බවත්, ඒ අතරින් මමත් එකෙක් බවය. මට වටිනාකමක් ලැබී ඇත. නිහතමානී ආඩම්බරයක් මෙන්ම කුතුහලයක්ද විය. අනිත් දෙදෙනා ගොඩවූයේ බේරුවලින් සහ බෙන්තොටින්ය.

මගේ දෙවැනි රැකියා ස්ථානය වූයේ Weligama Bay Beach Hotelයයි. ඒය පාලනය කළේ නම් Mercantile Hotel Management ආයතනයයි. නමුත් එහි අයිතිය  Letherette Ceylon සමාගමටයි. එහි හිමිකරුවූයේ ලාල් විජේසේන නම් ,රොස්මිඩ් පෙදෙසේ සිටි මහත්මයෙකුට බවත් දැනගතිමි. ඔහුද එදා මා හා කතා කල අය අතර විය.මෙම හෝටලය පිහිටියේ වැලිගම නගරයට ආසන්නයේය. එය තරු තුනේ හෝටලයක් විය. ගාල්ල සිට පැමිණෙන විට කුෂ්ඨරාජගල විහාරය පසුකර යනවිට ,වැලිගම නගරයට නුදුරින් කප්පරතොට කුඩා පාලම අසලින් දකුණට හැරුණු විට ඒ මුහුදු තීරයේ මේ හෝටලය හමුවේ.

පළමු රාත්‍රිය හෝටල් කාමරයක ගතකළ පසු දෙවැනි දිනයේ සිට කප්පරතොට අසල නිවසක ලැගුම් ගන්නට සුදානම් කර තිබිණි. මෙහි නැවතී සිටියේ පිටින් පැමිණි හෝටලයේ සේවකයින් කිහිප දෙනෙක්ය. ජීවිතයෙන් අඩකටත් වඩා නිවසින් පිට ජීවත්වූ මට මෙය අමුත්තක් නොවීය. නිවස හිමිවූයේ කරුණාවන්ත වැඩිමහල් කාන්තාවකටය. රාජකාරී වේලාවෙන් පිට කෑම බීම නිවසින් සැපයූ අතර, මාසික කුලිය කීයදැයි මතකයේ නොමැත. එකල දකුණු පළාතට පැමීනෙන සංචාරකයින් සඳහා විශාල හෝටල් ලෙස තිබුණේ Benthota Beach Hotel, Lihiniya Surf, Koggala Beach Hotel, Horizon වැනි තරු තුනේ, හතරේ Hotels සහ Motels, Inns & Guest Houses පමණි. ඊට අමතරව Weligama Bay Beach Hotel  පවත්වා ගෙන ගිය අතර මෙහි කාමර 160ක් පමණ තිබූ බව මතකය. පසු කලෙක අහුන්ගල්ලට Triton නම් විශාල හෝටල් සංකීර්ණය පිවිසියේය.

හික්කඩුව, බෙන්තොට ගැවසීමට පැමිණෙන සංචාරකයින්ට වැලිගමට පැමිණීමට කිසිම හේතුවක් නොවිය. එම හෝටලයට පැමිණියේ යාල අභය භූමිය නැරඹීමට පැමිණෙන ධනවත් සංචාරකයින්, දිනකට හෝ දෙකකට නවාතැන් ගැනීම (transit) සඳහා පමණය. යාල, තිස්ස, මාතර වැනි ප්‍රදේශයන්හී පහසුකම් සහිත හෝටල් නොතිබූ බැවින්, වැලිගම හෝටලයට සංචාරයකින් කංඩායම් වශයෙම් ලබාදීම, සංචාරක සමාගම් මගින් සිදුවිය.  එම නිසාම මෙම හෝටලය එතරම් කාර්ය බහුල ස්ථානයක් නොවීය. නාගරික ජීවන රටාවටත්, කාර්ය බහුලත්වයටත් හුරුවී තිබූ මට, මෙම ස්ථානය එතරම් ගෝචර නොවීය. අනිත් කාරණය වූයේ සේවකයන් අතරවූ කල්ලිවාදයයි. කොළඹ, නුවර, සහ දකුණ වශයෙන් ඔවුන් වෙන් වෙන්ව එකතුවීමට පුරුදුව සිටියෝය. අනිත් හේතුව හෝටලය සහ ගැමියන් අතර මන සබඳතාවයක් නොවීමයි. ඒයට හේතුවූයේ හෝටලය විසින් වෙරළ තීරුවේ යම් කොටසක්, හෝටලය සතු කර ගෙන, ගැමියන්ට එහි වෙළඳාම තහනම් කිරීමත්ය. ගැමියන් පිටින් ආ අපට සැලකුවේත්, අපත් හෝටලයේ අයිතුකරුවන් යන පටු චින්තනයෙන්ය. එම නිසා සුළු සුළු ගැටුම්ද නොතිබුණා නොවේ.  අදටත් සමාජීය කල්ලිවාදය පිළිකෙව් කරනා මා වැන්නන්ට, මෙය එතරම් සුදුසු පරිසරයක් නොවූ බව කිව යුතු නොවේ. මගේ විෂය ක්ෂේත්‍රය තුළ අධ්‍යයනයන් කිරීමටද මා තදබල ඇල්මක් දැක්වීය. එය ස්වයං අධ්‍යාපන රටාවක් විය. සේවා කාලය තුළ ඇති කාර්ය බහුලත්වයටත් මම අදටත් කැමැත්තෙමි. සේවා මුරය ඇඟට පතට නොදැනී අවසාන කර ගැනීමට මෙය ඉවහල්වේ. මේ පුරුදු නිසාම පසුකාලීනව බොහෝ රෙකමදාරුවන්, උසස්වීම් සහ අප ක්ෂේත්‍රයේ කෙනෙකුට නොලැබෙනා අවස්ථා උදාවිය. ගන්නා පඩියට මගේ ශ්‍රමය හැකි පමණින් යෙදවීම මම අගය කෙරුවෙක්මි. අනිකා කරන්නේ කුමක්දැයි මට අදාළ නැත. කල්ලිවාදය බැහැර කිරීමට මා දැක්වූ උනන්දුව නිසා සේවා ස්ථානයේත්, සමාජයේ ඕනෑම තලයක මිනිසුන් හා ඇසුරු කිරීමටත් , ඔවුන් හා සුහද ගනුදෙනුවක් පවත්වා ගෙන යාමටත් මට අවස්ථාව උදාවිය. මම කංඩායම් ක්‍රීඩකයෙක් විය. මේ නිසාම මම ප්‍රාණවත් සමාජ සත්වයෙක් වීමටත්, ඇති පදම්  අත්දැකීම් ලබන්නටත් අවස්තවාක් උදාකරගත්තෙමි. එය මැනවින් ප්‍රගුණ කළයුතු අංගයක් බව ලියා තබන්නෙමි.

මම වඩාත් ප්‍රිය කළේ හැන්දාවරුවට සේවය කර මධ්‍යම රාත්‍රියේ සමාජ ජීවිතයටත්, උදය වරුවේ නිදාගැනීමටත්ය. ගල්කිස්සේ මෙන් නොව වැලිගමදි රාත්‍රී 11-12න් පසු සේවය අහවර කර අරක්කු බෝතලයක් හොයාගන්නටවත් තැනක් නැත. බොහෝ සගයන් ගංජා සුරුට්ටුවකින් රාත්‍රිය ගත කරන්නට පුරුදුවී සිටියහ. මමද ඔවුන් හා එක්වුණෙමි. ඒ තරුණ කාලයේ තිබු එක් එක් නරක පුරුදු යැයි මම සිතමි. නිවාඩු දිනයන්හී නම් අපි ඇති තරම් විනෝද වූයෙමු. වැලිගම සිටි කෙටි කාලය තුළදී පවා මම කුෂ්ඨරාජගල නැරඹීමටවත්, විහාරයටවත් ගොඩවී නැත. ඒ වෙනුවට අප කාලය ගත කළේ ගාල්ල කොටුව, මාතර කොටුව හෝ වැලිගම මුහුදු තීරයේය. ඒ ගැන පසුතැවීමක් නැත. ඒ වයසේදී ජීවිතය ගෙවුණේ එලෙසය.

වැලිගමදී මට අමතක කල නොහැකිම දර්ශනය වන්නේ නම් මුහුදු තීරය අසලම තිබු දූපතත්, මහපාරට ආසන්නව තිබු Weligama Bay Inn එකත්, ඒ මැදිව තිබූ තිබූ මුහුදු තීරයත්ය. ධීවර යාත්‍රා කිහිපයක්ද නවතා තිබූ මේ තීරයේ අප එළිවෙන ජාමය වෙන තුරු කමින් බොමින් , ගී ගයමින් කාලය ගත කෙරුවෝය. ගාල්ල කොටුවත්, මාතර කොටුවත් අවට හෝටල් සේවකයන්ගේ සොඳුරු පාරාදීසය විය. වැලිගම මුහුදේ තිබු ඒ දූපත  Count de Maunay Island නම් විය. එය දැන් තැප්‍රොබේන් අයිලන්ඩ් නම්වේ.  මහපාරේ එක් පසක සොඳුරු බිම්කඩකවූ Weligama Bay Inn එක ලංකා හෝටල් සංස්ථාව සතුවිය. මෙම ඉතා මනරම් ස්ථානය පසුව පෞද්ගලික සමාගමකට පවරාදුන් බව මතක්වේ.  ගාමිණි රංජන් ජයවර්ධන නමින් දිවයින පුවත්පතට 'තානායම් පල්ලාගේ සටහන්' නමින්  රසවත් ලිපි ලියු ලේඛකයාද බේ ඉන් ආයතනයේ සේවය කල බව අසා ඇත. ඒ කොයි යුගයේද කියා මතක නැත. ඔහු බේ ඉන් එක ගැන ලියූ ලිපි මමද කියවා ඇත්තෙමි. ගාල්ලට ගොස් කා බී ප්‍රීතිවී එන අපට සල්ගාදු හෝටලයේ ආප්ප සංග්‍රහයද අමතක කල නොහැකිය.

තැප්‍රොබේන් දූපත තුළට යෑමට තදබල ආශාවක් තිබූ මුත්, එය සපුරා ගැනීමට නොහැකි වූයේ, එහි පෞද්ගලික හිමිකාරිත්වය සුද්දෙක් සතුව තිබූ නිසාය. ඔහුගේ රූපය මතක මුත් නම මතකයේ නැත. බාදිය වේලාවට පයින් ඇවිද යා හැකි වුවත්, වඩදිය විටදී යාමට නම් බෝට්ටුවක් අවශ්‍යමවේ. මෙහි මැනවින් ඉදිකර තිබු විශාල බංගලාවක් ඉතා කදිමට නඩත්තු කළේය. විශාල ගස් කොළන් වලින් වටවූ මෙම නිවස පාරට පෙනුණේ නැත. මෙහි නොයෙකුත් ක්‍රියාකාරකම් සිදුවූ බව නම් දනිමි. මෙහි අතීත කතාව ලියා මගේ ලිපිය දීර්ඝ කරනවාට වඩා මෙම

විකිපීඩියා සටහන කියවා මූලික අදහසක් ලබාගත හැක .

වැලිගමදී තරම් මාළු කෑමට ලැබුණු ගමක් තව ඇත්තේද මතක නැත. හැම වේලකටම මාළුය. ඉඳහිට මසුත් ලැබේ. බෝඩිමේ ඇන්ටී වැලිගමට හුරු නොයෙකුත් මාදිලියේ මාළු වට්ටෝරු පිසීමට රුසියෙකි. වෙන පළාත්වල උදවිය මෙයට මෙතරම් දක්ෂ නොවේ යැයි මම සිතමි. ඉන් මා වඩාත් සිත්ගත්තේ බලමාළු පොල් මැල්ලුමය. සුදුලුුනු, ඉඟුරු යහමින් යොදා පොල් සමගින්, කොස් මලවනවා සේ ඇය මෙය සාදයි, ඉතා ප්‍රණීත ආහාරයකි. වැලිගම මුහුදු තීරයේ බූවල්ලන්ද (Octopus) බහුලය. සංචාරකයින් වෙරළට පැමිණෙනා ධීවරයන්ගෙන් මිලදී ගෙන, හෝටලයට රැගෙන විත් සාදවා ගනී. බූවල්ලන් ශුද්ධ පවිත්‍ර කිරීම එතරම් පහසු නැත. මම බූවල්ලන් ප්‍රථම වතාවට රස බැලුවේ වැලිගමදීය.

මට වැලිගමදී හමුවු අපූරු හෝටල් සේවක සගයන් දෙදෙනෙකු විය. එකෙක් මහනුවරය. ඔහුගේ පියාගේ නිල නිවාසය තිබුණේ නුවර Wace Park එකේ ඇතුළේ බව මට මතකයේ තිබේ. ඔවුන් වැදගත් මිනිසුන් විය. මගේ මිතුරා පසු කාලයකදී අප රටට පැමිණි මාරාන්තික මත් රකුසා නිසා අන්ත දුගියෙක්, පාදඩයෙක් ලෙස ජීවිතය ගතකෙරූ බව මම දුටුවෙමි. වැලිගමදී අප පිනවූ ගිටාර් වාදකයා, මියුරු ගායකයා ඔහු විය. අනිකා ගාල්ල නගරයේ ප්‍රසිද්ධ තොග සහ සීල්ලර ව්‍යාපාරිකයෙක්ගේ පුත්‍ර රත්නය විය. එකල හෝටල් ක්ෂේත්‍රයට, මෙවැනි සල්ලිකාරයින්ගේ දරුවන්ද, හුදෙක් විනෝදයම පතා සේවයට පැමිණි බව මම කලින් ලියා ඇත්තෙමි. ඔහුද මා කියනා මේ මත් රකුසාට බිලිවී, පසුකාලයකදී රාජකීය විදුහලේ කැන්ටිමේ සුළු සේවකයකු ලෙස කාලය ගත කෙරූ බව මම දනිමි. මේ විෂය ගැන සමාජ, අධ්‍යාපනික වටිනාකමින් යුතු ලිපියක් පසුව ලිවීමට මගේ කතාව තුළ ඉඩ ඇති බව මම දන්නෙමි.

මේ කාලය තුළ සිදුවුදේ තවත් බොහෝ ඇත. මම තවත් රැකියාවක් සඳහා නැවත කොළඹ පැමිණීම, 1982 ජනමත විචාරණය ආදී දේ ගැන පසුව ලියන්නෙමි.     



Friday, July 4, 2014

අවුල් වන්නට පෙර..(45) රණසිංහ අන්කල්..

ඉන්ටවල් ඉවරය! දැන් ඔළුවෙන් හිටගන්නා වෙලාවය!!!! :D


ගල්කිස්සේ මා සේවය කල කාලය පුරාවටම , නොයෙකුත් ජාතින් සහ නොයෙකුත් ආකරයේ මිනිසුන් ,ගැහැනුන් මුණ ගැසුණි. ඒ අතර නොයෙකුත් රටවලින් පැමිණ හඳුනාගත් විදේශිකයන් රාශියක් සහ ලිපි හුවමාරුද බොහෝ විය. ඉන් සමහරක් පසු කාලයන්හී මට නැවත හමුවී ඇත. එවන් අපූරු තරුණ යුවලක් මට මුණ ගැසුණේ ගල්කිස්ස වෙරළේදීය. සේවා මුරයේ ලැබෙන කුඩා සිගරට් විවේකයේදී වෙරළටවී සිටිනා විට මේ යුවළ මා අසලට පැමිණ සිගරට් එකක් තිබෙනවා නම් දෙන්න යැයි ඉල්ලා සිටියෝය. එසේ යමක් ඉල්ලා සිටින බටහිර මිනිසුන් මා දැක තිබුණේ නැත. මම දුම් වැටි දෙකක්ද මොවුන්ට ලබාදී කතාවට වැටුණෙමි.

අවුරුදු තිහක් පමණැති ජර්මන් ජාතිකයන්වූ මොවුන් දෙදෙනා, ලොව වටා සංචාරයක් යන අය බවත්, ඔවුන් පැමිණි කැරවෑන් රථය පාකිස්ථානයේදී ගිනිබත්වූ බවත්, ගමන් බල පත්‍රය සහ යම්කිසි මුදලක් සහිතව ඔවුන්ට ශ්‍රීලංකාවට ගොඩ බැසීමට හැකිවූ බවත් කීහ. දින දෙක තුනක් සිට නැවතී ඉන්නේ කුඩා කාමරයක බවත්, අත තිබූ මුදල් අවසන් බැවින් කෑම, බීම, නවාතැන් පවා ප්‍රශ්නයක් බව පැවසීය. තව දින කිහිපයකින් ජර්මන් තානාපති කාර්යාලය හරහා තම රටින් මුදල් ගෙන්වා ගැනීමට සුදානම් බවත් පැවසීය. එකල ඉතා සුළු සංචාරකයන් පිරිසක් අතර මිසක් අන් අය ළඟ AMERICAN EXPRESS, DINERS CLUB CARD වැනි ගෙවීම් පහසුකම් නොවීය.  TRAVELLERS CHEQUES (THOMAS COOK)භාවිතය බහුල විය. අද මෙන් එදා VISA. MASTER CARD වැනි ක්‍රම වේදයක් නොවීය. මොවුන් හිපියන් හෝ එවැනි වර්ගයේ සංචාරකයින් බව නොපෙනේ. එවැන්නන් හඳුනාගත හැකිය. මොවුන් දෙදෙනා අවන්හලට රැගෙන විත්, කෑමෙන් , බීමෙන් සංග්‍රහකර. මගේ පඩිපතින් කපාගන්නා ආකරයේ වැඩ පිළිවෙළක්ද යොදා , ඔවුන් අතට සුළු මුදලක්ද, සිගරට් පැකැට්ටුවක්ද දී, පසුදින මා නිවාඩු නිසා හමුවෙන ලෙස දන්වා සමුදුන්නෙමි

ගල්කිස්සේ පොරෝලිස් මාමාගේ ගෙදර උදවීයටත් මේ බව දන්වා, ඔවුන් දෙදෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක් සුදානම් කළේය. පොරෝලිස් මාමා කිව්වේ "උඹ ගෙනාවොත් ගේන්නේ හිඟන්නන් "බවය. ඇත්තටම එතනට එන්නේ ධනවත් සංචාරකයින්ය. ඒ මැණික් භාණ්ඩ මිලදී ගන්නට මිස කන්න බොන්න නොවේය. කෙසේ වෙතත් නියමිත පරිදි සතුටින් කා, බී, ප්‍රීතිවී විසිර ගියෝය. නැවතත් දින දෙකක්, තුනක් යනතුරු මට ඔවුන් මුණ නොගැසුණි. මම හිතුවේ මුන් නම් නියම පොලු කාරයන් බවය. නමුත් එය එසේ නොවීය. ඔවුන් මා සේවය කල අවන්හලට පැමිණියේ මටත්, පොරෝලිස් මාමගේ ගෙදර අයටත් තෑගී බෝගධ රැගෙන ඉතා සතුටින්ය. මධ්‍යම රාත්‍රිය වන තෙක් ඇති පදමට කා බී විනෝදවී, සියලු ගනුදෙනුද පියවා ඔවුන් අප හෝටලයේම නවාතැන් ගති. ඒ ජර්මන් යුවළ ඉන් පසුවත් ලංකාවෙන් පිටව යන තුරු මා හා සමීප සම්බන්ධතාවයක් පැවැත්වීය. වරින් වර ලංකාවට පැමිණි ඔවුන්ගේ මිතුරන් අත මට තෑගී බෝගධ එවූ බව මතකය. පසු කාලයකදි ඔවුන් දෙදෙනාද, ඉන් පසු වරක් ඇය පමණක්ද ලංකාවට පැමිණියේ, මා නිසාම බව ඇය මට පවසා ඇත. ලිපි ගනුදෙනු හුවමාරුවට මා දැක්වූ අලසකම නිසාම, මේ ගනුදෙනු සම්බන්ධතා පසු කාලයකදි මග හැරුණි. මෙවැනි අය අතහැරූ අවස්ථා කිහිපයක් විය. මට පිටරටකට යෑමටවත්, මේවා ගැන උනන්දුවක්වත් නොවීය. මා ජීවිතය රස වින්දෙමි. ඒ නිසාම අද මම සියලු දේ නොව හොඳම දේ රස විඳින්නෙමි.

ඉතාමත් තරුණ වියේදීම රැකියාවකට යාමත්, ඇති පදමට මුදල් ගැවසීමත් නිසා ,මුදල් පිළිබඳ නිසි අගයක්, වැටහීමක් නොතිබුණා යැයි සිතමි. මෙයට මූලික හේතුවක් විය හැක්කේ මගේ රැකියාවේ ස්වභාවය විය යුතුය. මාසයකට වරක් ලැබෙනා වේතනයක් පමණක් වූවා නම් එය සීරුමාරුවෙන් පරිහරණය කරගැනීමට ඕනෑම කෙනෙක් පෙළෙඹේ. අපට දිනපතාම ඇතිතරමට කාසි මුදල් ලැබෙන නිසා, නිතරම හිතුවේ ඒ මුදල එදාට වියදම් කර දමා, මාසිකව ලැබෙන වේතනයෙන් අනිකුත් වැඩ කරන්නටය. හෝටල් සහ අවන්හල් සේවකයන් බොහෝ දෙනෙක් එයට හුරුවී තිබුණි. මට කෑමට වියදමක් නැත. නැවතීමේ පහසුකම් සඳහා ගෙවිය යුතු නැත. පොරෝලිස් මාමාට දිනකට දෙකකකට වරක් නෙවිකට් පැකට් එකක් අරන් දුන්නා මිස, ඒ ගෙදරට මගෙන් විය යුතු අන් කිසිවක් නොවීය. මුදල් හා සම්බන්ධව මට තිබුණේ අවම වැටහීමක් පමණි.

මම හැකි පමණින් අම්මා අතට මුදල් දීමට මැලි නොවූයෙමි. ගෙදර යන්නේ මාසයකට වරක් පමණක් නිසාත්, අම්මා ගල්කිස්සට පැමිණෙන්නේ මාසයකට වරක් හෝ දෙවරක් නිසාත්, අත ඇති මුදල් සියල්ලම මම ඇය අත තැබුවෙමි. මගේ හෙට වියදමට ඩොලර් හෝ රුපියල් නැවත ලැබෙන බව නියතය. ඒ ගැන වැඩිය සිතිය යුතු නොවීය. ඒ කෙසේ වෙතත් ගෙදර උදවිය දැන් තරමක් දුරට ,තම හැකි පමණින් වැඩ කටයුතු කරගෙන යනු ලැබේ. සහෝදර සහෝදරියන් පාසැල් ගමනේය. ලොකු මල්ලි වැල්ඩින් වැඩ පුරුදුවෙන්නට යයි. ලොකු නංගි මා සමග පොරෝලිස් මාමාගේ ගෙදර නැවතී සිටී. ආච්චි. අම්මා, රොමානිස් නොහොත් පොඩි අයියා ඇතුළු කට්ටිය දෙල්කඳ ලොකු අම්මාගේ නිවසේ එක් පැත්තක්ක වාසය කරති. තාත්තා රක්ෂණ සංස්ථාවේ කොළඹ ශාඛාවේ වැඩය. තාත්තාගේ මිතුරු ඇසුරත්, බීමත් පොඩ්ඩකින්වත් අඩු නැති බව නම් බොහෝ කලක් යන තුරු මම දුටුවෙමි.

අප පදිංචිව සිටි ඉරිදාපොළ ඉදිරිපිට මේ කුඩා නිවස, බොහෝ පැරණි නිවසක්ය. අපේ අයත් තම පහසුකම් සපයාගත්තෙත් නොයෙකුත් අපහසුතා මැදින්ය. තාත්තා, ඒ මදිවාට තව යහළුවන් දෙදෙනෙක්ද ගෙදරට වඩම්මවා ගෙන ඇත. මේ එයාගේ පැරණි මිතුරන්ය. ඊට අමතරව තව කෙනෙක් අම්මාගෙන් උදේට රුපියල් පහක් හෝ දහයක් හෝ දහයක් දඩයක් දා ගනී. ඒ චාල්ස් අංකල්ය. ඒ අයටත් අපේ අම්මා උදව් කළේ වෙන මොහොකටවත් නොව, ඔවුන් අපටද කල උදව් පදව් අම්මාට මතක ඇති නිසාය. අද මේ තත්පරයේ අම්මාට කතා කල විගසම ඇය කිව්වේ, මට බෙහෙත් ගන්නට මුදල් නැති දිනෙක චාල්ස් අංකල් මාව මහරගම ඩොක්ටර් සිල්වා ගාවට එක්කන් ගිය කතාවක්ය. මට ලියන්න කතා ගොඩය. අපේ අම්මා මැණිකක්ය. දැනුත් කතා කරමින් සිනා වෙන්නීය. මේ තාත්තාගේ මිතුරන් ජීවිතයේ අසරණ අඩියක ගත කල බව ඇත්තය. අපේ තාත්තා ඊට වඩා අසරණය. නමුත් අපේ තාත්තාට වඩා අම්මා දුකට පිහිට විය. අපේ අම්මා නැතිබැරි එකා වෙනුවෙන් පිහිට වුණේ තාත්තා මෙන් බත් පතටත් එහා ගිය අති පාරිශුද්ධ මානුෂිකත්වයකින්ය. මම ඒ ගැන පසුව ලියමි.ඔවුන් සොඳුරු මිනිසුන් බව ඇත්තය. නමුත් අප ජීවත්වීමේ අඩුපාඩු ගැන සිතිය යුතුය. තාත්තා තම බත් පත අනිකෙකුට දී නිදාගන්නා මිනිසෙක් වුවත්, එය ජීවිතයේ පුරුද්දක් ලෙස කරගෙන යෑම අප වන් දිළින්දන්ට යෝග්‍ය නොවේ. නමුත් අප නිවසේ සිදුවූයේද එයමය. නමුත් ඒ අතීත ය ගැන පසුතැවිලි වෙනවාට හෝ හඬා වැටෙනවාට වඩා ඒ ගැන ලියා තැබීම වරදක් නොවේ.

මම ඔය කිවූ දෙදෙනාගෙන් එක් අයෙක් නම් සොඳුරු මිනිසෙක් යැයි කීමට නොහැකිවුවත් , ඔහු නිසා මා එක් ජීවන කඩ ඉමක් පසු කෙරුවෙමි. ඒ ධර්මපාල අංකල් නම්වූ මිනිසා නිසාය. ඔහු අන්කල් කෙනෙක් වූවත් ධර්මපාල කමක් නොවීය. ඔබ මගේ කතාව මුල සිට කියෙව්වුවානම් . අපේ ආච්චිගෙ අගස්ති මාලය උගස් තියා අපට මුදල් ගෙන එනවා යැයි කියා වසර ගණනක් වසන්වී සිටියේ මොහුය. අපේ ආච්චී මොහුව නැවතත් පිලිගත් සැටි මම පසුව කියමි.  ඒ අන් කිසිවක් නිසා නොව, රණසිංහ අංකල් නම්වූ අනිකා ගැන ලිවිය යුතු දේ බොහෝ නිසාය. තාත්තාට රණේත්, රණේට, බෑඩ් (BAD )යනුත් අතිජාත බොක්කවල්ම වූ නිසාය. අපි ඒ බැව් කුඩා කල සිට දන්නෙමු. ඔවුන් රක්ෂණයේ පුරෝගාමින්ය.BAD(බෑඩ්) නම් අපේ තාත්තා නම්වූ සුහදවන්තයාගේ මුල් අකුරුය. බෑඩ් නොහොත් බී.ඒ.ඩී. පෙරේරා කිව්වොත් එදා රක්ෂණ සංස්ථාවේ සහෝදර සේවක අයිතීන් වෙනුවෙන් ජීවිත පරදුවට තබා වෘත්තීය අරගලයන්හී යෙදුණ මිනිසෙක් විය. රණසිංහ අන්කල් ඊට නොදෙවෙනිය. රංජිත් යහම්පත්, මිල්ටන් ගුණපාල වැනි අයද එතැන සිටි බව කිව යුතුය. පසුව රන්ජිත් අන්කල් ඒට්කන් ස්පෙන්ස් ආයතනයේ රක්ෂණ ව්‍යාපාරය ඇරඹීමේ මූලිකයා විය. මිල්ටන් ගුණපාල , විජය කුමාරණතුංග සමග ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇරඹීමේ පුරෝගාමිකයෙක් විය. මේවා දිග වැඩි කථාය. අපේ අම්මා නම් කිව්වේ BADලා, රණසිංහලා කසාද බඳිනවාට වඩා දේශපාලනය හෝ බෝතලය, ජීවිතය කරගත්තා නම් හොඳ බවය. සහතික ඇත්තය. රණසිංහ අන්කල් නම් කිසිදාක විවාහවී සිටියේ නැත. ඔහුගේ විවාහය බෝතලය සමග විය.

රණසිංහ අන්කල් ප්‍රමාණික උගතෙකි. බුද්ධිමතෙකි. පාලි,සංස්කෘත, හින්දි, දෙමළ, සිංහල, ඉංග්‍රීසි භාෂා ගැන ඔහුට තිබුණේ විශිෂ්ට දැනුමකි. බෞද්ධ දර්ශනය පිළිබඳ පෘථුල දැනුමක් විය. දහම් පාසල් අධ්‍යාපනය සහ එහි හරයන් ගැන විභාග ඉහළින් සමත් වූ අයෙක් විය. මොහු මෙතරම් නිහඬත්වයට සහ බීමත්කමට ආදරය කළේ ඇයි දැයි මම නොදනිමි. ඔහු කතා කළේ අඩුවෙන්ය. සවන්දීමට ප්‍රිය කළේය. ඉඳහිට හෝ කියන්නේ, කෙනෙකුට නැවත නැවතත් සිතිය යුතු දේ අඩංගු වාක්‍යයක් හෝ දෙකක් පමණි. ඔය ආදරණීය මිනිසා නිදාගත්තේ අපේ අර කුඩා නිවසේ ඉස්තෝප්පුවේ පැදුරක් එළාගෙන එක් කොණකය. ධර්මපාල අංකල් තව කොණකය. රොමානිස් නොහොත් පොඩි අයියා නම් වයෝවෘද්ධයා ඊට හපන්ය. (ඔහුව කුඩා කල පාරක අත හැර දමා තිබියදි, අපේ සීයා විසින් හදාවඩා ගත් කෙනෙක් නිසා අම්මා කතා කරේත් පොඩි අයියා කියාය. හොරෙන් ගංජා බිවු බව මම හොඳින් දනී) ඔහු තව පැත්තකය.

අපේ අම්මාගේ මිතුරියක් විය. ඇය වීරරත්න ඇන්ටි නම්, ඉතා කෙසඟ සිරිරුක් හෙබි කට සැර ධනවත් කාන්තාවකි. ඇය අපේ අම්මාට බොහෝ ලෙසින් ආදරය කළේ අම්මාගේ තිබු ලෙන්ගතු මනුස්සකමට විය යුතුය. අපේ ගෙදරට නිතර පැමිණෙනා ඇය තාත්තාට නිතර දොස් පවරන්නේ , වෙන කිසිවක් නිසා නොව තාත්තාගේ අනවශ්‍ය වියදම් නිසාමය. ඇය නිතර අප නිවසට පැමිණියේ ඇයගේ දරුවන් ඇයට සවන් නොදෙනා නිසා බව අප දනිමු. ස්වාමියා ඇය අත හැර ගොසින්ය. දරුවන් අයාලේය. ඒ මසුරුකමේ පීඩාවන්ය. අප ඉස්තෝප්පුවේ නිදාගන්නා රණේ සහ ධර්මේ දකිනා ,ඇය කියන්නේ "මිසිස් පෙරේරා...හොඳ පුන් කලස් දෙකක්නේ ගේ ඉස්සරහින් තියන් ඉන්නේ...මුන් පන්නන්න "කියාය. අපේ අම්මා කට කොනකින් සිනහා වුණා මිස, කවදාවත් ඔවුන්ට හිත රිදෙනා වචනයක් කීවා නොවේ. ඒ අපේ අම්මාගේ හැටිය. ඇය නැති බැරි එකාගේ දුක මැනවින්ම හඳුනාගත් ගැහැනියක්ය. මේ කතා දීර්ඝව ලිවිය යුතු ඇත.

මෙවැනි මිනිසුන් නැති ලෝකය අද්භූතය.. මා යෞවනයේ අත් වින්දේ සැබෑ මිනිසුන්ගේ ලෝකයයි..එවැනි මිනිසුන් අහිමිවූ ලෝකය තුළ දකින්නට ඇත්තේ පුස්සන්ය. සැබැවින්ම පුස්සන්ය.

Tuesday, June 24, 2014

පොඩි විවේකයක් මචංස්ලා...

නැව් කාරයින්,සංචාරකයින්,මිතුරන්,සංගීතය, මධුවිත ආදී එකී නොකීදේ අතරින් මගේ ජීවිතය ගලාගෙන ගියේය. නමුත් මට මේ කිසිම දෙයක් තුල අමතක කල නොහැකි එක් කුඩා කංඩායමක් විය. ඒ මගේ ආදරනීය අම්මා, ආච්චී, ලොකු අම්මා,සහෝදර සහෝදරියන් ඇතුළු පවුල් සංස්ථාවයි. ඔය කාලය තුල මම ඔවුන් වෙනුවෙන් උපරිම දායකත්වය සැපයුවෙමි. මගේ කතාවේ ඒ කොටස් මම මග හරිනවා නොව, ඒ හැම තුලට පිවිසීමට පෙර, ඒ හා බැඳුනු වටපිටාව ලියා තබනවා යැයි සිතා ගත්තෙමි. මගේ පෞද්ගලික ජීවිත කතාව පමනක් ලියා තැබීමෙන් කිසිවෙකුටත් සුගතියක් නොවේ. ඒ නිසාම මම ඒ හා බැඳුණු සමාජ, ආර්ථික , සංස්කෘතික වටපිටාවන් මේ ගොනුවට එකතුකර තැබීමට යුහුසුළු වන්නෙමි. එසේ නොවුනා නම්, මේ කථා පෙළ කොටස් විස්සක් විසිපහකින් අවසන් කල හැකිව තිබිණි. එය නීරස අකුරු ගැලපීමක් වෙන්නට ඉඩ තිබුණි. මතක අවදිකරන්නෙක් ලෙස, ඒ කතා පුවත නීරස වූවා නම්, මටත්, කියවන නුඹලාටත් මෙය තව අඬෝවැඩියාවකක් වනු නො අනුමානය. මේ මාගල් කතා පෙල මා ලියන්නේ ඔබ දැණුවත් කරන්නටත්, මගේ තෘප්තිය හා හෘද්ධ සාක්ෂිය , ඉතා විවෘතවූ මනසකින් සාකච්ඡා මේසකයට කැඳවා ගැනීමේ අරමුණින්ය. ඒ නිසාම මා ලද අත්දැකීම්, මගේ පවුලේ කතාවකටත් වඩා, සමාජයේ, රටේ , ලෝකයේ කතාවක් ලෙස ඉදිරියට ඇදේ. ඔබේම පහසුව සඳහා, ඔබේ විවේචන අවැසි වේ. මට වෙනස් විය හැක. නමුත් මගේ කතාව සහ මා දුටු අත්දැකීම් වෙනස් කරලිය නොහැක. මේ තුල යක්ෂයින්ද, සුරඟණ සුරඟණාවියන්ද, ඒ කුලයන් දෙකටම අයිති නොවූ නුඹ මා වැනි පෘථග්ජන මිනිසුන්, ගැහැණුන්ද බොහෝය. මම සෙමින් සෙමින් මගේ කතාවත් මේ තුල ගලාගෙන යන්නට ඉඩහැර ඇති බව මට විශ්වාසය.

ගලාගෙන යන ගඟකින් ඇතිවන පාරසරික සමතුලිතථාවයන් , එක තැන පල්වෙන මඩ ගොහොරුවකට වඩා බොහෝ වටිනාබව මම අත්දැකීමෙන් දණිමි. ඒ මිනිසාටත්, සතාටත්, එහිම වෙසෙනා මසුන්ටත් වඩ වඩාත් වාසි ලබාදේ. මා දකිනා ජීවිත යථාර්තයද එයම වේ. දැළක්, පිත්තක්, වළක් ගොඩ දමා මසුන් මරන්නන්ට වඩාත් වැදගත් වන්නේ ලොකු මසුන් හෝ ඇම ගිලිනවුන්ය. මම ඔය කොටස් දෙකෙන්ම බේරී ජීවිතය නම්වූ ගංගාවේ පීනා යන දංඩියෙක් වෙමි. එය ඉතා පහසුය. දංඩියෙක් දෙස බලා සිටින්න. ඇත්තටම ඌ අසුවන්නට ඇති ඉඩ අවමය. ඒ ඌගේ ඇති නිදහස් චලන රටා නිසාමය. ලොකු ලොකු මසුන් දැල් තුලට පීනා යද්දී, අනිකුන් කුස ගින්නට හෝ ඇමට හසුවෙද්දී මම  කාටවත් අවැසි නොවන දන්ඩියෙක් සේ පිහිණුවෙමි. නමුත් මම හැම අතකටම අසුවන හඳ තිත්තයෙක්වත්, ටැංකි සරසන සාරි ගප්පියෙක්වත්, මඩම ජීවිතය කරගත් මඩකරියෙක්වත් නොවන්නට වග බලා ගත්තෙමි. තෝරුන්, මෝරුන් මෙන්ම, සාරි ගප්පින් වැනි හැඩ වැඩ අති මසුන්ද මා දුටු ජීවන සත්‍යය වටහා ගන්නේ නම් , මගේ කතාවට නුඹලා තවත් නව අර්ථ දැක්වීම් එකතු කරනු නිසැකය. තවත් වටයකින් මේ කථාව පටන් ගත යුතුය. මේ ලියන්නේ ඒ කතාව නැවත ලියන්නට පෙර අවශ්‍ය කුඩා විවේකයකට ඉඩක් ලබාගැනීමටය. මොහොතකට සමුගනිමි.

මට වරක් හමුවූ ගාමිණි ෆොන්සේකා නම් ඒ මහා මිනිසා , දේශපාලනය සහ සිනමාව තුල ඇති නොවිය යුතුවූ ගැටුම් විග්‍රහය කලේ මෙසේය. මම ගාමිණි ෆොන්සේකා නම් රංගධරයාට තදින් ඇළුම් කලත්. ඒ තුලින් බිහිවූ දේශපාලකයාට එසේ ලොල් නොවීය. එදා ගාමිණි සමග , අගය නිම කල නොහැකි මැණිකක්වූ සුමණා නෙල්ලම්පිටිය කල අගනා සාකාච්ඡාවක් මෙලෙස දිග අරින්නෙමි. එදා පැවැත්වූ මේ සාකච්ඡාව අදට හෙටට එදාට ගලපාගන්න. මම නැවත ලබන සතියේ ලියන්නෙමි. අදහස් පලකරන්න.



ප.ලි......අද නම් අකුරු වැරදි බොහෝය. මා නිවැරදි කරනා සුබස අද හොඳටම ඩෝප්ය. නැගිටවාගන්නට නොහැකිය. මමද ඩෝප් වන්නට තීරනය කලෙමි.

Thursday, June 19, 2014

අවුල් වන්නට පෙර (44)...පොලිස් කැස්බෑවෝ

බාලගිරි දෝෂය අද නොවේ හෙට යැයි සිතමින් කල් ගත්තෙමි. ඒ වැඩ කටයුතු බහුල වීම නිසාමය. කෙසේ හෝ අද මේ කොටස ලියමි.

ගල්කිස්සේ සේවය කරනා කාලය තුළ බොහෝ රාත්‍රී යාමයන් අප ගෙවා දැමුවේ මුහුදු වෙරළේ හෝ රාත්‍රියට හිස්වන අප සේවා ස්ථානයේ මේස පුටු අතරය. මේ සෑම රාත්‍රියක්ම මධුවිතින් ඇති පදම් සප්පායම් වීමට මුදලුත්, තරුණ ජවයත් පිරී ඉතිරී ගොස් තිබුණි. සිය දහස් ගණනින් වෙරළ පුරා සිටි සංචාරකයින්, වෙළෙන්දන්, බීච් බෝයිස්ලා, රස්තියාදුවෙන්නන් රාත්‍රී හත,අට වෙනවිට විසිරී ගොස් අවසන්ය. නැවත අවන්හල් පිරෙන්නට ගන්නේ මේ වේලාවෙන් පසුවය. නොකඩවා ඇදී එන සුදු සංචාරකයන් නිසා අප කාර්ය බහුල වෙන්නෙමු.

ඒ යුගයේ මාසයකට වරක් හෝ දෙවරක් විදේශීය නාවුක හමුදාවන්ට අයත් නැව් කොළඹ වාරයට සේන්දුවේ. 'නැවක් බැහැලා' යැයි පොදු ව්‍යවාහරයේ තිබූ යෙදුම විය. මේවා බොහොමයක් යුරෝපීය රටවල් වල නාවුක හමුදාවන් මුහුදු සංචාරයන් අතරතුර දිනකට හෝ දෙකකට ගොඩ බැසීමේ ක්‍රම වේදයක් විය. සමහර නෞකාවන්හී පන්සීයකට අධික නැවියන් සිටි බව අසා ඇත්තෙමි. කොළඹට නැවක් පැමිණිවිට වඩාත්ම කාර්ය බහුලවන්නේ ගල්කිස්සය. මේ නෞකාවන් දින දෙක තුනකට වඩා නැංගුරම්ලා සිටින්නේද නැත. මහ සයුරේ සති මාස ගණන් ගමනේ යෙදෙනා නැවියන් සහ එහි කාර්ය මංඩලය නැවෙන් එළියට බහින්නේ කූඩුවෙන් එළියට පියාඹන කුරුල්ලන් සහ කිරිල්ලියන් මෙනි. කොළඹ අවට ප්‍රදේශයන්හී නම් ඒ ඒ රටවල නාවික හමුදා නිල ඇඳුමෙන්ම සැරසුණු නැවියන් දහවල් කාලයේ හතර අතේ ඇවිදිනු පෙනේ. ගොඩබිම සිටිනා කෙටි කාලය තුළ උපරිම සතුටක් භුක්ති විඳීමට ඔවුන් වගබලා ගනී. දිනකින් හෝ දෙකකින් නැවත පිටවෙන නිසා ඈත පළාත්වලට නොයනා මොවුන් බොහෝ විට ගල්කිස්ස ඔවුන්ගේ සතුටු පාරාදීසය කරගනී. අවට ප්‍රදේශවල ටැක්සි රියදුරන්, ගණිකාවන්, තැරැව්කරුවන් මෙන්ම කුඩා සංචාරක නවාතැන් හිමිකරුවන්ද, අවන්හල්ද කඩිමුඩියේ වැඩට බසී. මේ දිනවලට නම් මාසයක දෙකකට අපි උපයනා දේ දවසින් දෙකෙන් උපයා ගන්නේ ඔවුන්ගෙන් ලැබෙනා සංතෝසම් නිසාය. හෝටල් පිරෙනවාට එහි සේවකයන් කැමතිය. එවිට අපට ලැබෙනා සර්විස් චාජ් එකත් වැඩිය.

නැවියන්ගේ ජීවන රටාව ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ගණන් බැලීමකින් තොරව හිතුමතේ අතපය දිගහැර වියදම් කරනා මොවුන්, සියලු සැප සතුට එකවර ලබාගන්නේ, ලෝකය හෙට දින කඩා වැටේවී යැයි පහළවූ බියකින් දැයි සිතේ. එහි ඇති වරදක් නැතැයි නැවත සිතෙන්නේ ඔවුන්ගේ ඒකාකාරී මුහුදු ජීවිතය ගැන සිතා  බැලූ විටය. මොවුන් බීමතින් කලහකාරී ලෙස හැසිරෙන අවස්ථා නැත්තේද නොවේ. නැවෙන් බැස කුඩා කංඩායම් කංඩායම් ලෙස වීදි බසිනා, මොවුන් තුලා මා දුටු සුවිශේෂී ලක්ෂණයක් විය. එනම් ඒ ඒ කංඩායමේ එකෙක් හෝ දෙදෙනෙක් බීමත්ව නොසිටීමට වගබලා ගැනීමයි. සමහර විට ඔවුන් බීමට පුරුදු නොවූ අය විය යුතුය. ඒසේ නොමැතිනම් ඒ ඔවුන් සංවිධානය වෙන ආකාරය විය යුතුය. මන්ද යත් පළමු දිනයේ නොබී සිටිවුන් දෙවෙනි දවසේදී ඔසවාගෙන යන තෙක් බොන බැව් දැක ඇති නිසාය. එදාට නොබී ඉන්නේ පෙරදා කරටි කැඩෙන්නට බිව් එකෙක් හෝ දෙදෙනෙකි. ඒ කුඩා කංඩායමම මෙහෙයවන්නේ නොබී ඉන්නා එකා හෝ දෙදෙනාය. බීමත්ව හැසිරෙනා ඔවුන් රැකබලා ගන්නේත්, පාලනය කරන්නෙත් ඔවුන්ය. ඒ හඬට බීමත්වුන් අවනතය. ඒ නැවියන්ගේ සිරිතක්දැයි මම නොදනිමි.

මධ්‍යම රාත්‍රිය වන විට බාර් එක හිස්වූ අවස්ථාද මම දැක ඇත්තෙමි. එවැනි අවස්ථාවල ඉල්ලුමට සැපයුම මදවූ විට, කෑමෙන් පසු කෝපි සමග එක් වරක් කුඩා වීදුරුවකින් බීමට ගන්නා නොයෙකුත් Liqueur වර්ග පවා බෝතල් ගණනින් හිස් කර දමති. සාමන්‍යයෙන් මේවා සපයනු ලබන්නේ මිලි 15-20 වැනි කුඩා වීදුරුවලය. මොවුන් සීයේ ෂොට්ස් හෝ බෝතල් ගණන් මේසයට ගෙන්වා ගන්නේ කෙසේ හෝ මත්වීමටය. Liqueur යනු මත්පැන් වර්ගයක් වුවත් පැණි රස සහ එක් එක් පලතුරු රසයන් අඩංගු නිසා මේවා මත්වීමට බොන වර්ගයක් නොවේ. එය අහාර දිරවීම පහසු කිරීමට ගන්නා මත්පැන්ය. ඩෝප්වී කර පිටින් යන්නෝ බොහෝය. ඒ වෙනුවෙන් ටැක්සි කරුවෝද, පමණට මත්වූවන් වෙනුවෙන් පිම්පියන්ද දුම් රිය පාර අයිනේ බලාසිටී. මේ නැවියන්ට අමතරව,මගී ප්‍රවාන නෞකාවලින්ද ධනවත් සංචාරකයින් කොළඹට පැමිණියෝය. පසු කාලයක මා දන්න මිතුරන් කිහිප දෙනෙක්ද මෙවන් විදේශීය වල සේවයට බැඳුණි. මට ඒ සඳහා කැමැත්තක් නොවීය.

මධ්‍යම රාත්‍රීයේ මුහුදත්, වෙරළත් ,සේවය නිමවූ අපත් සන්සුන්ය. දෙතුන් සීයකට කන්න බොන්න දුන් අප සේවකයන්ගේ කන බොන වාරය පටන් ගන්නේ මින් පසුවය. බොහෝ හෝටල් සේවකයන්ගේ ජීවන රටාව ඔය ආකරයේය. ගල්කිස්සේ වෙරළේ සුද්දන් වෙනුවෙන් තනා තිබූ පොල් අතු මඩුවල අප, බෝතල් සහ කෑමද ගෙන ගොස් සෙට් වෙන්නෙමු. වෙරළ පාළුය. හඳ නැති දිනෙක නම් දැඩි කළුවරය. ඉඳහිට තැනක හෝ දෙතැනක කම්සැප ලබමින් මුහුදේ නාමින් සිටිනා තරුණ සුදු ජෝඩුද නැත්තේ නොවේ. නිහඬ රාත්‍රියක,පාළු මුහුදු වෙරළේ , කවුරුන් හෝ ඇස නොගැටෙනා මායිමක ,චමත්කාර ලෙස ප්‍රේමයෙන් අනුරාගයෙන් වෙලී රති ක්‍රීඩාවේ යෙදීම ඔවුන්ට නැවුම් අත් දැකීමක් විය යුතුය. නැවුම් අත්දැකීම ලබන්නට අකැමත්තෝ සිටීද? අප ඔවුනට කිසි විටෙකත් බාධා නොකළෙමු.

මහා රාත්‍රියේ බැටන් පොලු දෙකක්ද අතැතිව රාත්‍රී මුර සංචාරයේ යෙදෙනා පොලිස් රාලහාමිලා දෙදෙනෙක්ද ඉඳහිට ගැවසේ. අප කුඩා පොල් අතු මඩුවක බොමින් කමින් කාලය ගතකරනා එක් රාත්‍රියක , මොවුන් දෙදෙනෙක් අප පසුකර වෙරළේ දෙහිවල දෙසට ඇවිද යනු අප දුටුවෙමු. ඔවුන් අප දුටුවේ නැත. මගේ මිතුරෙක් ඇස ගැටුණේ මුහුදේ සිට වෙරළට ඇදෙනා කැස්බෑවෙකුගේ දසුනකි. අප නිහඬව බලා සිටියෙමු. දනි පනි ගා කැස්බෑවා දෙසට ඇදුණු රාලහාමිලා, වෙහෙස දරා කැස්බෑවා අනිත් පිට පෙරළා ගත් බව දැක්කෙමි. අනිත් පිට පෙරළු විට කැස්බෑවුන් තම ඉදිරි පාද දෙකෙන් තම බඩවතට ගසා ගනිමින් හැකි ඉක්මනින් නැවත හරිපිට පෙරළෙන්නට උත්සාහ දරති. විශාල ශබ්දයක් ඇතිකරමින් දඟලන කැස්බෑවාට රාළහාමි බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කරයි. මෙය ඉවසා බලා සිටීමට බැරි තැන අප එතනට ඇදුණේ 'මොකද රාළහාමි..කරදරයක්ද' යැයි අසමිනි. අප දුටු මොවුන් දෙදෙනා කලබලයට පත්වී ' නෑ ඕයි මූව මුහුදට තල්ලු කරන්න උදව් වෙනැයි' කියා සිටී. ආ ඕක සුළු වැඩක් යැයි කියු අප කැස්බෑවාව මුහුදට තල්ලු කර දැමුවෙමු. මිනිස්සුන්ව බලාගන්නවාට වගේම අපිට දැන් කැස්බෑවොත් බලාගන්න වෙලා අයිසේ...යැයි මජර හිනාවක්ද දමා, බොන්නට දෙයක් නැත්දැයි අසා අප සමග අඩියක් ගසන්නට හවුල්වී පිටත්ව ගියේ, කැස්බෑ සංරක්ෂණය පිළිබඳ වැදගත් උපදෙස් මාලාවක්ද දෙසා බෑමෙන් පසුවය. සිනහවෙන්නටවත්, නැවත ප්‍රශ්න කිරීමකටවත් ගොසින්, කැස්බෑවට තැලූ බැටන් පොල්ලෙන්ම අපත් තලා ගත යුතු නැති නිසා නිහඬව සිටියෙමු. කෙසේ හෝ වේවා, වසර සීයකට වඩා ජීවත් වෙනවා යැයි කියන කැස්බෑවෙක් සයුරට අහිමිවීම වැලක්වූයේ අපේ මැදිහත්වීමෙන්ය.

ගල්කිස්ස හෝටලය ළඟ සිටි ආතර් අයියා එවකට රටම දන්නා පුද්ගලයෙකි. ඔහුගේ රැකියාව ටුවරිස්ට් ගයිඩ් සහ ඩ්‍රයිවර් වැඩේය. ඒ ඔහුගේම රථයෙන්ය. මොහු ඉතා සුන්දර විනෝදකාමියෙක් විය. තමාගේ රැකියාව පිළිබඳවද අති දක්ෂයෙක් බැව් එදා සිටි අයට මතකය. වසරක් පාසා ලංකාවට එන සමහරක් විදේශිකයින් ආතර් අයියාගේ සේවය ලබාගැනීම අනිවාර්ය පුරුද්දක් කරගෙන තිබුණි. සරමත් ,කමිසයත් ඊට උඩින් කෝට් එකත් ඇන්ද මේ මැදිවියේ මිනිසාට ගල්කිස්සේ කවුරුත් සැලකූහ. ආතර් අයියා චණ්ඩියෙක්, පාතාලයෙක් නොවු අතර ගල්කිස්සේ මුල් පදිංචි කරුවෙක් විය. ඔහුට සැලකුවේ ඔහු ගල්කිස්සට ආභරණයක් වූ නිසා විය යුතුය. බයිලා චක්‍රවර්ති එම්.එස්.ප්‍රනාන්දුගේ මිතුරෙක් වූ ආතර් අයියා වෙනුවෙන් ඔහු ගී පබැඳිය. ආතර් අයියාගේ බිරිඳවූ ප්‍රේමක්කා ගැනද ගී ගැයුවේය. ඇයට 'ප්‍රේමා බතික්' නමින් සංචාරකයන් වෙනුවෙන් පවත්වා ගෙන ගිය බතික් සහ වෙස් මුහුණු කඩයක්ද විය. එම්.එස්.'ප්‍රේමක්කාගේ බතික් කඩේ' ගීතය ඇය වෙනුවෙන්ය. ආතර් අයියාගේ දරුවන්ගෙන් සමහරක් ගල්කිස්සට පැමිණි විදේශිකයන් හා විවාහවී ඒ රටවලට පදිංචියට ගිය බවත් මතකය.

https://www.youtube.com/watch?v=w-zs3iTj9uU

මේ 1981 වසරයි. ජේ.ආර්.ජයවර්ධන පාලනය විසින් ශ්‍රීලංකාවට තවත් අලුත් ගැලවිජ්ජාවක් හඳුන්වා දුන්නේය. ඒ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයයි. දිස්ත්‍රික් ඇමතිවරුන් පත්කලේ මේ ඡන්ද ක්‍රමය හරහාය. මේ අත්හදා බැලීමේ ගුණ අගුණ ගැන යමක් ලියා තැබීමට මට මතකයක් නැත. මේ ක්‍රම වේදය එක් වාරයකට පමණක් සීමා විය. කෙසේ වෙතත් මේ ඡන්ද කාලය තුල ශ්‍රීලංකාවට නැවත මැකිය නොහැකි කළු පැල්ලමක්, අපකීර්තියක් නම් එකතු විය. අති දුර්ලභ පුස්තකයන් රාශියක් ගබඩා කර තිබූ ජාතික සම්පතක්වූ යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කෙරුණි. යාපනය දිස්ත්‍රික්කය එජාපය පරදින බව දැනගෙන, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක්වූ යාපනය පුස්තකාලයට ගිනි තැබුවේ කොළඹින් ගිය ආණ්ඩුවේ මැරයන් බව කවුරුත් දැන සිටියෝය. ඒ කළු පැල්ලම ශ්‍රීලංකා ඉතිහාසයට තව තවත් නපුරු කාලයක් එකතු කිරීමට මූලික විය. අපි ගිනි නිවනවාට වඩා ගිනි තැබීමට දක්ෂයෝ වෙමු. ගිනි තබන්නට උපදෙස් දුන්නෝ අද ජීවතුන් අතර නැති නමුත් ඒ ගිනි තවමත් සංවේදී ජනතා හදවත් තුල නිවී හමාරවී නැත. අප කිසිදිනෙක පාඩම් ඉගෙනගන්නා මිනිසුන් නොවේ. අද අළුත්ගමදී ගිනි තියපන් යැයි අණ දුන්නෝ හෙට මියැදෙනු ඇත. නමුත් මතු දිනෙක හෝ අප පරම්පරාවන් සිහළුන්, දෙමළුන්, මුසොල්මානුවන් ලෙස අත්වැල් බැඳ ගත යුතුව තිබේ. පමාවීම පසුතැවිල්ලට හේතුවේ. අප ප්‍රමාද වැඩිය.

Monday, June 16, 2014

අවුල් වන්නට පෙර (43)..ගල්කිස්සේ මුහුදු වෙරළේ….

දෙහිවල හන්දියේ සිට ගල්කිස්ස දෙසට පැමිණෙන විට ඇති අප්‍රමාණවූ අතුරු පාරවල් ඔස්සේ ගල්කිස්සේ මුහුදු තීරයට ඇවිද යා හැක. දකුණු වෙරළ තීරයේ උණවටුන, කිරින්ද,හික්කඩුව, බෙන්තොට ,වැල්ලවත්තටත් වඩා ගල්කිස්ස ජනප්‍රියව පැවතිණි. සංචාරක අත්පොත්හී, දෙහිවල-ගල්කිස්ස අතර මුහුදු තීරය හැඳින්වූයේ Golden Mile ලෙසිනි. බේරුවල- බෙන්තොටත් මුහුදුතීරයත් මෙසේ හැඳින්වූ බව මතකය. විදේශීය සංචාරකයින් විසින් මගනොහරිනා ගල්කිස්ස වෙරළ, කොළඹට ආසන්න නිසාම දේශීය සංචාරකයින්ගෙන්ද අඩුවක් නොවීය. ගල්කිස්ස සංචාරකයින්ගේ පාරාදීසයක් විය. එහි තිබු සෑම අතුරු පාරක්ම මුහුදු වෙරළට ආසන්න බොහෝ නිවාස සංචාරක නවාතැන් ලෙස පවත්වා ගෙන ගියෝය. ප්‍රසිද්ධම සහ විශාලතම හෝටලය වුණේ මවුන්ට්-ලැවිනියා බීච් හෝටලයයි. අනිත් කුඩා හෝටල් බොහොමයක් කාමර 20-50 සමන්විත කුඩා හෝටල සහ නවාතැන් පොළවල් විය. මේ වෙරළ තීරය තුළ දහස් ගණනින් විදේශීය සංචාරකයින් ගැවසුණා පමණක් නොව, ඉරිදාට දේශීය අමුත්තන්ගෙන්ද අඩුවක් නැත. ‘ගල්කිස්සේ මුහුදු වෙරළේ-ඉරිදාට ගිහිල්ලා බලන්න’ යැයි, ඇන්ටන් ජෝන්ස්-ෆ්‍රෙඩි සිල්වා ගී ගැයුවේත් ඒ නිසාවෙන්ම විය යුතු යැයි මම සිතමි.
ලංකාවේ සංචාරක කර්මාන්තයට වඩාත් ගැලපෙන්නේ, සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත තරු හෝටල් කිහිපයක් සහ ඒ ආශ්‍රිත පෙදෙස්වල පවත්වාගෙන යන කුඩා Bed And Breakfast(B And B) නවාතැන් පොළවල් වැඩි ප්‍රමාණයකින් සමන්විත ක්‍රමයක් බව මගේ පෞද්ගලික අදහසයි. B and B සංකල්පය ක්‍රමවත්ව නියාමනය කිරීම සහ නීතිරීති පද්ධතියක් තුළ විධිමත් කල යුතුබව කිවයුතු නොවේ. එවැනි ක්‍රමයක් තුළ සංචාරකයා රට තුළට ගෙන එන මුදල, ඔවුන් ගැවසෙනා ග්‍රාමිය ප්‍රදේශයන්හී ආර්ථිකය තුළ සංසරණය වීම තුළින් ඒ ප්‍රදේශය පෝෂණයවීම අනිවාර්යවේ. රාත්‍රිය තම නවාතැනේ ගතකරන අමුත්තන්, උදේ ආහාරයෙන් පසු ඒ අවට සැරිසැරීමත්, තමන් කැමැති අවන්හල් සොයා යෑමත් තුළ ග්‍රාමීය සංස්කෘතිය, චර්යාවන් සහ ජනතාව සමග මානුෂීය හුවමාරුවන් ඉබේම සිදුවීම යහපත් ලක්ෂණයක් විය හැකිය. හෝටල් සමාගම් සහ හෝටල් හිමියන් බොහෝ දුරට බලාපොරොත්තුවන්නේ තම හෝටලයට පැමිණෙන සංචාරකයාගේ සියලුම අවශ්‍යතාවයන් සපුරා ඒ වෙනුවෙන් අයවිය යුතු මුදල් එකම බිලක් යටතට එකතු කර ගැනීමය. ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය හා ඒ මුදල් මුසුවීම අවමවේ.B And B නවාතැන්හී අවන්හල් පවත්වා ගෙන යෑමට ඉඩ නොදී, අවන්හල් සඳහා වෙනම බලපත්‍රයක් තිබීම අනිවාර්ය කළයුතු වේ. මෙවැනි ලිපියකින් මෙය සාකච්ඡා කිරීමට ඇති ඉඩ අවමය. මා කිවු ක්‍රමවේදය යෝජනා කර ලංකාවට පැමිණ නිවාඩුවක් ගතකර ආපසු පැමිණි බොහෝ සුද්දන් ,අපේ ජනජීවිතයත්, සෞන්දර්යයත්, මානුෂික සම්බන්ධතාත්, ආගන්තුක සත්කාරයත් ගැන කියන්නේ ඉතාමත්ම සතුටිනි. ඒය අපගේද නෙතට සතුටු කඳුළු එකතු කරයි. රටට පැමිණ හෝටලයක සිට සියල්ලෙන් සන්තර්පනයවී නැවත පිටවන්නා රටට ඉතිරිකර යන්නේ මුදල් පමණි. මා දකිනා සංචාරක කර්මාන්තය ඉන් ඔබ්බට ගිය සංග්‍රහශීලී පැවැත්මක්ය.ඒ හරහා සංචාරක කර්මාන්තයේ මෙන්ම සමාජය, රට ගැනද සුබදායී පණිවිඩයක් ලෝකයට සන්නිවේදනය කරගත හැකිය. මේ සඳහා ඒ ඒ කොටස් නිවැරදිව දැනුවත් කල යුතුවේ. මේ මගේ පෞද්ගලික අදහස්වේ.
ගල්කිස්ස මහා හෝටලය ලෙස ගම්වැසියන් හැඳින්වූ Mount-Lavinia Beach Hotelයට දීර්ඝ ඉතිහාසයක් ඇත. එය ආරම්භ කර ඇත්තේ 1800 මුල් යුගයේ යැයි කියවේ. ඒ හා සම්බන්ධ රසවත් ප්‍රේම වෘතාන්තයක් ලියැවී තිබේ. ඒය කියවා බැලීම වටී. මේ හෝටලයේ අතීතයේ සිට පාවිච්චියට ගත් දර ලිප්, අතින් රෙදි සේදීමේ කාමර වැනි දේ 1980 කාලයේත් තිබුණ බව මම දැක ඇත්තෙමි. නුවර Queens සහ ගෝල්ෆේස් හෝටලේයේද එවැනිම තැන් තිබූ බව වරක් දුටුවෙමි. ගල්කිස්ස මහා හෝටලයේ ලිට්ල් හට් රාත්‍රී සමාජ ශාලාව, කොළඹ තරු හෝටල්වල තිබු රාත්‍රී සමාජ ශාලාවන්ටත් වඩා ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔබ මේ හෝටලයට ගොඩවී ඇත්නම් එහි ඇති පෞරාණික ප්‍රෞඩත්වය මැනවින් දැක ඇතැයි මම සිතමි. Little Hut සමාජ ශාලාව තුළ නොයෙලින් හොන්ටර්, ඩෙස්මන්ඩ් ඩි සිල්වා වැනි අය ගී ගැයූහ. ඔබරෝයි හෝටලයේ Supper Club, ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ Cat’s Eye, හොලිඩේ ඉන් හෝටලයේ Al Hambra සහ ගෝල්ෆේස් හෝටලයේ Mascarilla වැනි රාත්‍රී සමාජශාලා හා එක පෙළට ලිට්ල්හට් ඉදිරියෙන් සිටිය බව හොඳින් මතකය. මහා හෝටලයේ පබිලිස් අයියා එකල තරමක් ප්‍රසිද්ධය. ඔහු සතු ප්‍රායෝගික දැනුම පොත පතින් උගත් සූපවේදියෙක් තරමටත් වඩා වටී. මේ සියල්ල ගැන ලියා තබන්නට මතකයක් ඇතත්, දැනට ඒ දේවල් අතපසු කිරීමට සිදුවේ.
ගල්කිස්ස වෙරළ තීරය පුරාම පොල් අතු මඩු පේළියක් එක දිගට ඉදිකර තිබුණි. මේවායේ විදේශිකයිනට හිරු එළිය තැපීමේදි අවශ්‍ය දිගෑදෙන පුටු, රිජිෆෝම් පෙට්ටිවල අඩුක්කර ගත් සිසිල්බීම බෝතල් වැනි අඩුම කුඩුම සැපයීමට සුදානම්ව තිබේ. මේවා පවත්වාගෙන ගියේ අවට ගම්වැසියන් විසින්මය. රේල් පාරට නුදුරින් තැඹිලි කරත්තද, වෙරළේ අන්නාසි බේසම්ද, සිප්පි කටු ආභරණ, සැහැල්ලු බතික් ඇඳුම් වෙළෙන්දන්ද අඩුවක් නොවීය. වෙරළ සුදු ගැහැනුන්, මිනිසුන්ගෙන් ඉර බසිනා තෙක් පිරී ඉතිරි පැවතුණෝය.
මා කලින් කීවා සේම මේ වනවිට මම ක්ෂේත්‍රයට ආධුනිකයෙක්මි. La Langousterie කළමනාකරුවූ ජයමාන්න, පීටර් පෙරේරා යන මහත්වරුන්ට අමතරව මෙහි පැරණිම සේවකයෙක් වූයේ නානායක්කාර අංකල්ය. පිටකෝට්ටේ කොටුබැම්ම පාරේ පදිංචිව සිටි මොහුගේ පුත්‍රයා ජූලියන්ද බාර්මන් කෙනෙක් ලෙස මෙහි සේවයේ යෙදුණේය. මම අංකල් යටතේ සේවය උගත්තෙමි. ගුණවර්ධන, පාලිත පෙරේරා, සාලිය වැනි අය මට තවමත් මතකය. නානා අංකල් ඉතාම ක්‍රමවත් සහ නීතිගරුක සේවකයෙක් විය. ඔහු ඉගැන්වූ දෑ මම තදින් සිතට ගත්තෙමි. වැඩිපුර කතා බහක් නැති මොහු මට තමන්ගේ දරුවෙකුට මෙන්ම සැලකීය. අනිකුත් උදවිය මොහුගේ කීමට එතරම් අවනත නොවුයේ, මොහු තුළ තිබූ පැරණි සම්ප්‍රදායික ගති පැවතුම් නිසා විය යුතුය. ඔහුගේ පුත්‍රයා ජූලියන් පවා පියාට ගෞරව කළත් වැඩියෙන් අවනත වූයේ නැත. මම සති දෙක තුනක් තුළ මේ කර්මාන්තය තුළ සේවකයෙකු සතුව තිබිය යුතු මූලික අවශ්‍යතා මැනවින් වටහා ගත්තෙමි. හැන්දක්, ගෑරුප්පුවක් නිවැරදිව පාවිච්චි කිරීම මුල්වරට ඉගෙනගත්තේ ඔතනින්ය. ටික කලකින් මමත් අන් අය හා කරට කර වැඩ කිරීමට සමත් වුණෙමි.
අප අවන්හල් සේවකයින් වූයෙමු. හෝටලයක් හෝ විශේෂයෙන් අවන්හලක් පවත්වාගෙන යෑමේදි පාරිභෝගිකයින් පිනවීමේ වැදගත්ම සහ ඒත් නොපෙනෙනා වැඩ කොටස සිදුකරන්නේ මුළුතැන්ගෙය හෙවත් kitchen staff එකය. රැකියාවක් හා කර්මාන්තයක් ලෙස ගත්කල මෙය තනිකරම, සාමුහික කංඩායම් ක්‍රියාවලියකි. බඩ පිරුණු සැණින් අප කාටත් කුස්සිය අමතකය. පාරිභෝගිකයින් මල් පුදන්නේ කෑම බීම ගෙනවිත් මේසයට පුදනා අප වැන්නන්ටය. අප මල්මාලා පැළඳ ගන්නෙමු. නමුත් ගල් වරුසාවන්ට මුවා වෙන්නෙමු. මල් වෙනුවට ගල් ලැබුණොත්, ඒ ගල් වදින්නේ කුස්සියේ සේවකයන්ටය. එහි වරදක් නැත. මනුෂ්‍ය වර්ගයා අන් සියල්ලටම වඩා ඉක්මනින් පැමිණිලි කරන්නට පෙළඹෙන්නේ, මිලදී ගන්නා හෝ නොමිලයේ ලැබෙනා අහාර ගැනය. මම කොතැනක කෑමකට ගියත් පළමුවෙන්ම ස්තූති කරන්නේ ඒ භෝජනය පිසු දෑත්වලටය. වේටර්වරයාට සංතෝසමක් පිරිනැමුවත්, අහාර පිසින්නන් වෙනුවෙන්ද යමක් පිරිනැමීමට කිසිදිනෙක අමතක නොකරන්නෙමි. මේ ගැන වෙනම කතා කල යුතුය. මෙවැනි චාරිත්‍රයක් මා අතින් සිදුවන්නේ, හෝටලයක අභ්‍යන්තර ක්‍රියාවලිය මැනවින් දන්නා කෙනෙක් නිසා මිස, අන් හේතුවක් නිසා නොවේ. ඔබ ඒ ගැන සිතිය යුතු නැත.
මේ අවන්හලේ ප්‍රධාන සූපවේදිව සිටි විජේවර්ධන හැරෙන්නට අන් අය විෂය සම්බන්ධව ලිඛිත දැනුමක් තිබු අය නොවේ. විධායක සූපවේදියා හෙවත් Executive Chef සිදුකරන්නේ පරිපාලනමය රාජකාරියක් සහ අධීක්ෂණයක් පමණි. මෙය මනාව පවත්වාගෙන යා හැක්කේ ඔහු සතු මිනිස් සම්පත නිසාමය. නමුත් සමහර අයට මේ ගැන වගේ වගක් නැත. අධික උණුසුම සහ කාලය සමග කරනා මේ සටන ලේසි පහසු කටයුත්තක් නොවේ. ලිඛිත දැනුමක් නොතිබුණත් දන්නා දේ පිළිවෙළට සහ වෙලාවට කිරීමට අර මිනිසුන් කඩිසර සහ කාර්යශීලී වූහ. මේ ක්‍රියාපටිපාටියන් ගැන පසුවට හෝ ලියා තබමි. ප්‍රෙමරත්න, තිලකරතන, වේලු, සුගතදාස, මොහොදීන් ඇතුළු ඒ සගයින් අමතක නොවන රසවතුන්ය. මම ඔවුන් හා ඇති පදමට කෑවෙමි. බිව්වෙමි. නැටුවෙමි. මගේ අන් සගයන්ද එසේම විය. අප අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කෙරුවෙමු. ඒ අතරතුර හැකි සෑම විටකදීම, මගේ ප්‍රියතම විෂයවූ අහාර පිසීම ගැන ඔවුන්ගෙන් උගත්තෙමි. අපට ලැබෙන දිනපතා ටිප්ස් මුදල්, ඔවුන්ගේද බීම සහ සිගරට් වෙනුවෙන් වියදම් කෙරුවෙමු. ඔවුන් ලොක්කන්ට හොරෙන් අපට අවශ්‍ය ඉස්තරම් කටගැස්ම සපයන්නේ ඒ ගනුදෙනුවේම කොටසක් ලෙසය. නානා අන්කල් නම් කිව්වේ, අරූ අලුත් සංස්කෘතියක් අරඹා ඇති බවත්, මුදල් පරිස්සම් කරගන්නා ලෙසත්ය. එහෙම දේවල් සිදුවෙනවා අඩුවුවත්, මම ඉන් සතුටක් ලැබුවෙමි.
බෙදා හදාගෙන කෑමේ අගය වැටහෙන්නේ, ඔබට තවකෙකු බෙදන විට මිසක, තමන් බෙදාගෙන තමන් බදාගෙන බුදින විට නොවේ. ලැබෙන දෙයක් බෙදාගන්නා හැටි ඉගැන්නුවේ මගේ දෙමාපියන්ය. එය ප්‍රගුණ කළේ මගේ බිරිඳගේ දෙමව්පියන් පෙන්වූ ආදර්ශයන්ගෙනි. අපද අපේ දරුවාට මේ කියා දුන්නෙමු. ඇයද බෙදා හදා ගන්නියක්වීම ආඩම්බරයකි. ඇයද මවක්වූ දිනෙක, ඔවුන්ගේ දරුවන්ද එසේ වේවී යැයි අප ප්‍රාර්ථනා කරන්නෙමු.
පාලිත, ජූලියන්, ගුණේ අප කංඩායමේ ප්‍රමුඛයන් විය. පාලිත එවකට ප්‍රසිද්ධම හෝටලයක්වූ Pegasus Reef Hotel එකෙන් ආපු කෙනෙක්ය. ඔහුගේ අයියා තිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූප වේදියෙක් විය. මල්ලි උදය ගුවන් විදුලියේ ඉංග්‍රීසි නිවේදකයෙක්ව සිටි බවත් මතකය. පාලිත උපතින්ම විනෝදකාමියෙක් යැයි කීවොත් නිවැරදිය. ජූලියන්ද ඊට නොදෙවෙනිය. කොට ගුණේ බොනවාද නානවාදැයි කියා දන්නේ ඌ පමණය. පාලිත පසු කලෙක ඕමානයේ ගල්ෆ් හෝටලයේ ආහාර සහ බීම කළමනාකරු (Food and Beverage Manager) ලෙස සේවය කල අතර දැන් එම රටේම සොහාර් හෝටලයේ Sales and Marketing Director ලෙස කටයුතු කරනා බව දැනගත්තෙමි. ඔහුගේ ඉස්සරහ එක් දතක කොටසක් අඩුවූයේ කොට ගුණේට පින්සිදු වන්නටය.
සේවා මුරය අවසන් වන්නේ රාත්‍රී 12 පසුවීය. මුදල් හදල් ගනුදෙනු අවසන්වූ පසු කැෂියර්ස්ලාද, මැනේජර තුමාද, සුපර්වයිසර් තුමාලාද ගෙවල් බලා පිටත්වෙති. ඉතිරිවන්නේ අප කිහිපදෙනා සහ කුස්සියේ සේවකයින්ය. රජ මගුල්ය. බාර් එකෙන් ඇති පදමටම සප්පායම් විය නොහැක. ඒවා යම්තාක් දුරට ලේඛනගත විය යුතුය. ගල්කිස්ස හංදියේ එළිවෙනකම් වුවත්, හෝටල් සේවකයින් වෙනුවෙන් හොර ස්පොට් විය. හන්දියේම නයිට් කඩයක්ද විය. අමතක කල නොහැකි එක් චරිතයක් වූයේ, ගල්කිස්ස හන්දියේ මහජන පුස්තකාලය ඉදිරිපිට තිබු පුංචි රෑ කඩේ හිමිකරු පබිලිස් අයියාය. වියපත් පුද්ගලයෙක්වූ පබිලිස් අන්කල් හොඳ බොන්නෙකි. කඩේ ආප්ප හදන කොලුවාත්, කෑම බෙදන එකාටත් අමතරව ඉන්නේ පබිලිස් පමණය. පබිලිස් අන්කල් ලබ්බෙකි. අපි බෝතලයක් දෙකක් බොනකම් මේ මනුස්සයාද අපිත් සමගම බොයි. කියන්නේ අමු කුණුහරුපය. ආප්ප කොල්ලාත්, පබිලිස් අයියාට හොරෙන් ඩෝප්ය. පබිලිස් අයියා ඊට කලින් ඩෝප්වී පුටුවේම ගොරවයි. බෝතල් තියෙන ලෑලි කබඩ් එකේ යතුර පබිලිස්ගේ ඉනේය. පාන්දර බස් එනකම් බොන අපි මදි පාඩු කබඩ් හැර සප්පායම් වෙමු. පබිලිස්ට පොල්ලෙන් ගැහුවත් නැගිටින පාටක් නැත. පාලිතලා සහ කට්ටිය පාන්දර බසයේම ගෙවල් බලා යන නිසා මම ඒ කෙටි දුර පොරෝලිස් මාමාගේ ගෙදරට ඇවිදින්නෙමි. කඩයේ අන්තිම ලෑල්ල වසා දමන්නේත් අපිමය. පහුවදා රෑට මුදල් පියවන්නෙමු. ඒ වේලාවට ගෙදර අයව කූද්දන්නට නොහැකිය. පොරෝලිස් මාමා අවධිවුවහොත් අම්බානකට ගුටි කෑමට සිදුවේ. මමත් ටේච්චීත් අතර රහස් ගිවිසුමක් විය. මුදල් වටිනාකමක් නොහඳුනනා ටේච්චීට මම මුදල් පොරොන්දුව මත පිටිපස්සා දොර හෙමින් ඇර ගන්නට යොදා ගත්තෙමි. ඔය කාලය ගැන ලිවිය යුතුදේ තව බොහෝය.
ලංකාවේ බොහෝ නගර හෝ ගම්වටා ගීත සාහිත්‍යයට එකතුවූ ගී බොහෝය. ඒවා බොහොමයක් ශාස්ත්‍රීය හෝ අරුත් පිරි ගීත බැව් මම දනිමි. නමුත් ගල්කිස්ස, මොරටුව ගැන ඇත්තේ වේග රිද්ම ගීත පමණක්ද යැයි සිතේ. එය එසේනම් එයට හේතුව වන්නට ඇත්තේ ගල්කිස්ස හා ආශ්‍රිතවූ ජීවන රටාව විය යුතුය. අපි ඒවාට බයිලා යැයි කියමු. ඉන් කාටවත් අමතක නොවන ගීයක් වන්නේ ඇන්ටන් ජෝන්ස්/ෆ්‍රෙඩි සිල්වා ගැයූ’ගල්කිස්සේ මුහුදු වෙරළේ-ඉරිදට ගිහිල්ලා බලන්න’ ගීතයයි. ඒ හා අවට ගැන සහ චරිතයන් ගැන බයිලා සක්විති එම්.එස්.ප්‍රනාන්දු මහතා නොහොත් ඇම්. ඇස්.අයියා බයිලා ගැයුවේය. ‘ගල්කිස්සේ හෝටලේ ළඟ ආතර් අයියා’, ‘ප්‍රේමක්කගේ බතික් කඩේ’ ඉන් සමහරක්ය. මේ එදා ජීවත්ව හුන් චරිතයන්ය. ඒවා පසුවට ලියමි.

https://www.youtube.com/watch?v=pNxvzSugkkc

Sunday, June 15, 2014

අවුල් වන්නට පෙර..(42)..පළමු රැකියාව..La Langousterie

මම පාසැලෙන් ඉවත්වූයේ උසස් පෙළ විභාගය පෙනි පෙනී යැයි කීවොත් නිවැරදිය. රැකියාවක් සොයා ගැනීමට තිබු උනන්දුවත්, පාසැල් යෑම හුදෙක් පාසැල යාමක් මිස ඉගෙනුම සඳහා යන ගමනක් නොවීමත් නිසා එම තීරණයට එළඹෙන්නට ඇත. මට පාසැල් ගමන එපාවන්නට එක් හේතුවක් වන්නට ඇත්තේත් ස්ථිරවම එක් තැනක නැවතී සිටින්නට නොහැකිවීමත් නිසා විය හැක. හයවෙනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා කාලය තුළ නවාතැන් පොළවල් දහයකට මාරුවීම එසේ මෙසේ පීඩනයක්ද නොවේ. ඔබ අළුත් අළුත් පරිසරයන්ට ,වාතාවරණයන්ට හුරුවිය යුතුය. ඒ සියල්ලක්ම ඔබගේ ජීවිතයට නැවුම් අත්දැකීම් එකතුකළත්, ඒ වයසට දෙමව්පියන්ගෙන් ඈත්වී එම තත්වයන්ට මුහුණ දීමට පහසු නැත. කෙසේ වෙතත් මේවා නිදහසට කරුණු නොවේ. මීට වඩා කටුක අත්දැකීම් තුළින් සාර්ථකව පාසැල් අධ්‍යාපනය නිම කෙරුවෝද බොහෝය. නමුත් මා රැකියාවක් කිරීමට යෑම නිසා අප පවුලේ බාල සාමාජිකයින්ට නම් යම් තාක් දුරට හෝ සාර්ථක අධ්‍යාපනයක් ලබන්නට විශාල උපකාරයක් විය. මම මිතුරන්ටද නොදන්වා, පාසලටද නොදන්වා රැකියාව තෝර ගත්තෙමි.
“බාහිරින් අප ලබාගන්නා දැනුම් සම්භාරය වැඩිවන්නට, වැඩිවන්නට ඒ හා සමානව සිතට මදි බවද දැනෙන්නට පටන් ගනී. පිරුණු සිතක් ලැබෙන්නේ නැත. මේ සියල්ල සිතින් බැහැර කර සිත හිස් කරද්දි සිත පිරුණු බව දැනේ. පිරුණු සිතක කිසිවක් නැත.” (අසම්මත විචාරය..ජයතිස්ස කුමාරගේ)
මේ වනවිට අප පවුලේ වාසස්ථානයද සාමාජිකයින්ගේ වැඩකටයුතුද යම් යම් වෙනස්වීම් වලට භාජනය වෙමින් පැවතුණි. සියල්ලෝම හංවැල්ලට සමු දී නැවත අපේ උපන් ගමවූ දෙල්කඳ ඉරිදාපොළ ඉදිරිපසම තිබු ලොකුඅම්මාගේ නිවසේ පදිංචියට පැමිණ තිබුණි. බොහෝ පැරණි නිවසක්වූ මෙහි එක් පසකින්වූ කාමරයේ, ලොකු අම්මාත්, දියණියත් නැවතුණු අතර, ඇල්පින් බාප්පා පැමිණියේ සතියකට හෝ දෙකකට වරකි. අම්මාත්, තාත්තාත්, ආච්චීත්, අන් අයත් අනිත් කුඩා කොටසේ පදිංචිවූහ. මෙසේ දෙල්කඳට නැවත පැමිණීමට තීරණය කර තිබුණේ අම්මා සහ ආච්චීගේ මූලිකත්වයෙනි. තව දුරටත් හංවැල්ලේ සිට දරුවන්ගේ අධ්‍යාපනය අයාලේ යෑමට ඉඩ නොදීමට ඔවුන් සිතුවා විය හැක. එයට හේතුවන්නට ඇත්තේ ලොකු මල්ලි ඉගෙනීම අතහැර දැමීමත්, ලොකු නංගීද අධ්‍යාපනයට වඩා ගෙදර වැඩවලට දැක්වූ උනන්දුව නිසාත් විය හැකිය. මමත් හිතුමතේටම පාසැලින් ඉවත්වී රැකියාවකට උනන්දුවක් දක්වනවා යැයි අම්මා කිසිවිටෙකත් නොසිතන්නට ඇත. සියල්ල සිදුවන්නේ හොඳට යැයි මම අදත් තරයේ විශ්වාස කරන්නෙමි. එන දෙයකට මුහුණ දෙනවා හැර අප කිසිවෙකුටවත් ඉන් පලා යා නොහැක.
තාත්තා අවිස්සාවේල්ලේ සිට රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයට මාරුවීමක් සාදාගෙන තිබුණි. රක්ෂණ සංස්ථාවේ කොටුවේ පිහිටි ප්‍රධාන කාර්යාලය, කොම්පඤ්ඤවීදිය වීදියේ අලුතෙන් ඉදිකෙරූ ‘රක්ෂණ මන්දිරයට’ රැගෙන ආවේ ඔය යුගයේය. එකල හැටියට එය විශාල ගොඩනැගිල්ලක් විය. ලලිත් ඇතුලත්මුදලි මහතා වෙළඳ ඇමති ලෙස සේවය කල යුගයේ සිදුවූ මෙහෙවරක් යැයි සිතමි. රක්ෂණ සංස්ථාව ඒ යුගයේ විශාල පිබිදීමක් ඇතිවූ යුගයක් යැයි තාත්තා කියනවා අසා තිබේ. නමුත් ඉන්පසු තවත් රක්ෂණ සමාගම් බිහිවෙන්නටද පටන් ගනී. රක්ෂණයේ පුරෝගාමියා සහ සක්‍රීය දායකයා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නම්වූ ඒ යෝධ ආයතනය විය. අද එම ආයතනය කොතරම් දුරට මා කියූ සක්‍රීය දායකත්වය සපයනවා දැයි කියා මම නොදනිමි.
පවුලේ හතරවැනියාවූ මල්ලි පන්නිපිටියේ ධර්මපාල විදුහලටත්, ඊළඟ නංගි සහ මල්ලි ගංගොඩවිල ඩී.එස්.ජයසිංහ විදුහලටත් ඇතුළත් කෙරිණි. මේ විදුහල ගංගොඩවිල වනාත පාරේ පිහිටා තිබු ගමේ කුඩා කනිටු පාසලය. පසු කාලයක නංගී ශිෂ්‍යත්වය සමත්වී නුගේගොඩ අනුලා විදුහලටත්, එම පාසලේම ශිල්ප හැදෑරූ පුංචිම මල්ලී, මගේ පළමු පාසලවූ ශාන්ත ජෝන් විදුහලටත් ඇතුළත් විය. සුළු මානසික ආබාධයකින් පෙළුණු මද්දුම නැගණිය නැවත පාසැල් ගියේම නැත. නිවසට එහා වැටේ විසූ ජෝරිස් එදිරිසිංහ පවුලේ උදවිය හා ඇය බොහෝ හිතවත්ව ළමා කාලය ගත කළාය. ගෙදර දොරේ වැඩ කටයුතු ගැනත් ඇයට සාමාන්‍ය දැනුමක් ඇය සතුය. මා නැවතී සිටි පොරෝලිස් මාමාගේ ගෙදර දියණියන්ගේ ඇවටීල නිසා ,එවකටත් පාසැල් ගමන අතහැර තිබූ ලොකු නංගීද ගල්කිස්සේ නැවතීමට පැමිණියාය. එහි පැමිණීම නිසාම, ඒ අක්කලාගේ මග පෙන්වීම මත කේක්,ස්වීට්ස්, ඕනෑම කෑමක්, මැහුම් ගෙතුම්, මැක්‍රමේ, මල් සෑදීම වැනි බොහෝ දේ ගැන ලොකු හුරුවක් ලැබීය. ලොකු නංගි ඉතා කඩිසර යුවතියක් වන්නට ඇත්තේ ගල්කිස්සේ අක්කලාට පින්සිදු වන්නටය. ලොකු මල්ලි දෙල්කඳ අවටම තාත්තාගේ මිතුරෙකු ළඟ වෙල්ඩින් වැඩ කටයුතු පිළිබඳ අත් උදව් කරුවෙකු ලෙස සුළු වැටුපකුත්, ආධුනිකයෙකු ලෙස දැනුමකුත් ලබා ගත්තේය. ආච්චී පෙර ලෙසම අපත් සමගය. ලොකුඅම්මාටද දියණියටද දැන් පාළුවක් නැත. ඇය ඉගෙනුම ලැබුවේ නුගේගොඩ සමුද්‍රාදේවී විදුහලේය. තාත්තා වැඩය. නමුත් මාසේ ආන්තිමට ගෙදරට ගෙන එන මුදලක් නම් නැති බව අසා ඇත්තෙමි. තාත්තා සමග මගේ ඇති ඇයි හොඳැයිය සෙමින් සෙමින් දුරස්වෙන බව මට දැනේ. අම්මා සුපුරුදු පරිදිම දුෂ්කර ජීවන අරගලයේය. මම රැකියාවක් වෙනුවෙන් පළමුවෙනි අඩිතාලම දමා ඇත්තෙමි. අම්මාගේ පැත්තෙන් සිතා බැලූවිට එය මට මහත් අස්වැසිල්ලකි. නමුත් මගේ පාසැල් ගමන නැවතීම සම්බන්ධව ඇය කුමන ප්‍රතිචාරයක් දැක්වූවාදැයි මට නිශ්චිත මතකයක් නැත. ඒ ඇයගේ ප්‍රතිචාරයන් ගැන මම ඒ අවසථාවේ වැඩි උනන්දුවක් දක්වන්නට නැති නිසා විය යුතු යැයි සිතමි.
මගේ පළමු රැකියාව ආධුනික ආපනශාලා සේවක නම්විය. ඒ ගල්කිස්ස මුහුදු වෙරළටත් , රේල්පාරටත් මැදිව තිබු La Langousterie නම් ආපනශාලාවේය. මුහුදු වෙරළේම එවන් විශාල බිම් කඩක් අයිතිව තිබීම මල් මසුරන් විය යුතුය. මෙය ආපන ශාලාවක් වුවත් කාමර සහ අනිකුත් පහසුකම් තිබුණේ රේල්පාරේ ගොඩබිම දෙසට විශාල භූමි ප්‍රදේශයේය.Hotel එක සහ Restaurant එක වෙන වෙනම පවත්වාගෙන යෑමට එහි අයිතිකරුවන් උනන්දුවක් දැක්විය. හෝටලය නම් ඒ දිනවල ප්‍රසිද්ධව තිබුණේ SALTAIRE BEACH RESORT නැත්නම් MT.LAVINIA CABANAS නමිනි. මෙහි කබානා මාදිලියේ නැවතීමේ පහසුකම් ඒ භූමියේ තැනින් තැන පිහිටුවා තිබිණි. සාමාන්‍ය කාමරයකට වඩා කබානාවක ගාස්තු අධිකය. ඒවා කාමරවලට වඩා නිදහස් පරිසරයක තනා තිබේ. අවශ්‍ය සියලු පහසුකම්වලින්ද අඩු පාඩුවක් නැත. විදේශීය සංචාරකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ බවට මෙම ස්ථානය නාමගත කර තිබිණි. මෙම ව්‍යාපාරයේ අයිතිකරුවන් වූයේ එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් එම විෂය සම්බන්ධවත් උගතෙක් බුද්ධිමතෙක් වූ ශිරාන් දැරණියගල පවුලටය. මොවුන් ප්‍රභූ වලව්කාර පවුලක් යැයි පැරැන්නෝ කියති. මොහු විවාහවී සිටි මීරියම් නම්වූ බෙල්ජියම් ජාතික කාන්තාව මෙම හෝටලය සහ ආපන ශාලාව ඉතාමත් ක්‍රමවත් ලෙස පවත්වාගෙන ගියාය. ඇය ඉතාම විනීත සහ නීතිගරුක කාන්තාවක් විය. මගේ ප්‍රථම රැකියාව මෙතැනින් ආරම්භ කිරීම මට බොහෝ අත්දැකීම ගෙන දෙන්නක් විය. මෙම හෝටලයේ කබානා මාදිලියේ කාමර පහසුකම් දැන් නැතිව ඇතැයි මම සිතන්නෙමි. ඒ අය විසින්ම HOTEL RIVIRAS නමින් පවත්වාගෙන යන්නේ මේ හෝටලයයි.
මට රැකියාව කරන්නට ලැබුණු LA LANGOUSTERI නම් අවන්හල අදත් එලෙසම පවත්වාගෙන යන බව මම දනිමි. මුහුද දෙසට බිත්ති ආවරණය නොකර විවෘතව තනාතිබු මෙම ස්ථානය එකල විදෙස් රටවල් අතරත් ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ එකක් විය. ඉස්සන්, කකුළුවන්, දැල්ලන්, අළුත් මාළු, බෙල්ලන්, පොකිරිස්සන් අතරින් වැඩි ඉල්ලුමක් තිබුණේ ඉතාමත් මිල අධික ආහාර විශේෂයක්වූ පොකිරිස්සන්ටය. LANGOUST කියන්නේත් පොකිරිස්සන්ටය. අවන්හල නම්කර ඇත්තේ මේ නමින්මය. LANGOUST,CRAYFISH,SCAMPI එක් එක් පොකිරිස්සන් විශේෂයන්ය.LOBSTER කීවිට කවුරුත් දනී. වැල්ලවත්තේ ‘වාඩිය’ අවන්හල මුදල් ඇති නාගරිකයන්ගේ ප්‍රියතම ස්ථානයවූ අතර LA LANGOUSTERIE එක විදේශීය සංචාරකයන්ගේ ප්‍රියතම බොජුන් හලක් විය. කොළඹ කොටුවේ ‘පරණ පාස්පෝට් කන්තෝරුව’ අසලත් ANGLERS CLUB නමින් මෙවැනි අවන්හලක් තිබු බව මතකය. එය කොළඹට පැමිණෙනා විදේශීය නාවිකයින්ට හොඳ පුරුදු තැනක් බවත් මතකය.
1990 මුල් කාලය වනතෙක් ශ්‍රීලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉතා ඉහළ අඩියක පැවතීය. ලංකාවට පැමිණි සංචාරකයින් අතරින් ජර්මන් ජාතිකයින් මුල් තැන ගනී. ප්‍රංශ, බ්‍රිතාන්‍ය, ඉතාලි, ඇමරිකන් ජාතීන්ගෙන්ද අඩුවක් නොවීය. නැගෙනහිර යුරෝපීය ජාතීන් දක්නට සිටියේම නැත. චීනෙක් හිටියා නම් හිටියේ දත් සාප්පුවක,මරදානේ රෙදි කඩයක හෝ චීන අවන්හලක කුස්සියක පමණි. ඔවුන්ද පරම්පරාවෙන් පැවත ආ ලංකාචීනුන්ය. ජර්මන් ජාතික සංචාරකයින් මුදල් වියදම් කිරීමට අති ශූරයෝය. කෑමට, බීමට,විනෝදවීමට මොවුන් තරම් නොමසුරු ජාතියක් මම යුරෝපයේ දැක නැත. ඉතාලි ජාතික සංචාරකයින්ද යම් තාක් දුරකට එසේ හැසිරුණෝය. ජර්මන් ජාතිකයින් ලොකු ටිප්ස් දීමටද නොමසුරෝ වෙති. එකල සංචාරක ව්‍යාපාරයට ආශ්‍රිත රැකියා කිරීමට, ලංකාවේ ධනවත් පවුල්වල දරුවන් පවා මහත් උනන්දුවක් දැක්වීය. හෝටල් ක්ෂේත්‍රය තුළ එවැන්නෝ බොහෝ වූහ. ඒ කර්මාන්තය තුළ විනෝදය, ප්‍රේමය, ලිංගික අවශ්‍යතාවයන් සඳහා ඉඩකඩ සපයා ගැනීමට පාරාදීසයක්වූ නිසා බැව් කවුරුත් දනී. විදේශිකයින් හා මිත්‍රවී ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ හෝටල් සේවක සේවකාවියන් බොහෝ දෙනෙක් ඒ ඒ රටවලටම ගොස් විවාහවී එහිම පදිංචිවිය. සමහර විදේශිකයෝ ඒ අයුරින්ම දේපල මිලදී ගෙන මෙහිම පදිංචිවූහ. තාවකාලික ලිංගික ඇසුරු කිරීම් සඳහාද නොයෙකුත් ආකරයේ මාවත් සේවකයින් හට විවෘතව තිබුණි. මේ ගැන ලිවිය යුතුදේ බොහෝ ඇතත් අද ලිපියෙන් කීමට නොහැකිවේ.
මම රැකියාවක් කිරීමට පටන්ගෙන ඇත්තේ 1980 ජූනි මාසයේ 2වැනි දින යැයි මගේ සහතික පත් කියා සිටී. ඒ අදට වසර 34කට පෙර දිනකය. ඔබ පුදුමයට පත් නොවන්න, මගේ පළමු මාසික වේතනය රුපියල් අසූවකි. එයිනුත් අතට ලැබුණේ රුපියල් 72ක් සහ ශත ගණනකි. රුපියල් හතයි ගණනක් අර්ථ සාධක අරමුදලට බැර කරනා බව දැන ගත්තෙමි. හෝටල් කර්මාන්තයේ සේවකයින්ට ලැබෙනා වැටුප අන් කර්මාන්ත සේවකයින්ට වඩා සාපේක්ෂව ඉතා අඩුය. එයට හේතුව වන්නේ තම ගනුදෙනු කරුවන්ගෙන් අය කරගන්නා සේවාගාස්තුව මාසයකට වතාවක් සේවකයින් අතර බෙදා දීමයි. මෙය ක්‍රමවත් ගනුදෙනුවක් විය. තම ගනුදෙනු කරුවන් වියදම් කරනා සෑම රුපියල් සීයකට තව රුපියල් දහයක් සේවා ගාස්තු ලෙස අය කර ගනී. මාසයකට වරක් බෙදෙනා මේ මුදල එක් සේවකයෙක් වෙනුවෙන් අගනා මුදලක් විය. හෝටල් සේවකයින් පඩි දිනයට වඩා උනන්දුවෙන් සිටින්නේ සේවා ගාස්තු හෙවත් සර්විස් චාජ් ගෙවන දවසටය. ආපනාශාලා සේවකයින්ට නම් මේ දින දෙක ගැන එතරම් උනන්දුවක් නැත්තේ, ඔවුන්ට දිනපතා ලැබෙනා තුටු පඬුරුද අධික අගයක් ගත් නිසා බැවින් යැයි අපි දනිමු. හෝටල් සේවකයින් අතර යහමින් මුදල් හදල් ගැවසිණි. ඒනිසාම ඔවුන් අතරින් බොහෝමයක්ම අතිශය විනෝදකාමී පුද්ගලයින් කොටසක් විය. ඒ ජීවිතය ගැන ලිවිය යුතුදේ බොහෝ ඇත. ඒවා පසු කොටස්වල ලියා තබන්නට ඉටා ගත්තෙමි.
මේ සියල්ලටම වඩා වැදගත් වූයේ , අපේ අම්මාගේ දෛනික අරගලයේ තිබු බොහෝ දුෂ්කරතාවලින් ඇය ගලවා ගැනීමට, ලොකු පුතා නම්වූ මහා ගැලවුම් කරුවාගේ ආගමනයයි. මම එය මැනවින් ඉටු කිරීමට පටන් ගත්තෙමි.
ප.ලි….පසුගිය සති එකහමාරකට අධික කාලයක් මම නොයෙකුත් වැඩවලට මිඩංගු විය. බ්ලොග් කියවීම තබා මේල් කියවීමටවත් කාලයක් නොවීය. ඊට අමතරව පාදයේ ශල්‍ය කර්මයකට රෝහල් ගත විය. ඒ හරියටම පසුගිය වසර 34පුරා මා කෙරූ රැකියාවල ප්‍රතිඵලය බැව් දොස්තරවරුන් පවසති. දැන් ඉන්නේ ගෙදර ඇඳේ නිසා, ඇවිද ගන්නට බැරිවුනත් බ්ලොග් කියවීමට හැකිය.

Saturday, June 14, 2014

අවුල් වන්නට පෙර..(41)…ඉගෙනීම හෝ පිටවීම

අධ්‍යාපනය ලැබීම සඳහා පාසැල් යාම තව දුරටත් ප්‍රයෝජනයක් නැති යැයි, මා නැවතී සිටි ගෙදර පොරෝලිස් මාමාද පැවසීය. මා පාසැල් යන්නේ ඉගෙනුමට නොවන බව ඔහුට වැටහෙන්නට ඇත. රැකියාවක් සොයාගත යුතු යැයි මම සිතන්නට පටන් ගතිමි. පුවත්පත්හී පළවූ ඇබෑර්තු සඳහා ඉල්ලුම් කිරීමටත් සිතාගත්තෙමි. අප පාසැලේ ආදී සිසුවන් බොහෝ දෙනෙක් සමාගම් හිමිකරුවන් හෝ ඒවායේ වගකිවයුතු නිලයන් දරන්නන් බැවින්, කොළඹ අවට ආයතනවල රැකියා ඇබෑර්තු ඇතිවූවිට, උසස් පෙළ අවසන් කරන්නට ආසන්නයේ සිටිනා අප පාසැල් සිසුන් බඳවාගන්නා ක්‍රියාපටිපාටියක් පාසැල හා එක්ව පවත්වාගෙන ගිය බව මතකය. අපේ උද්භිද විද්‍යා ගුරුවරුයවූ මාලති ප්‍රනාන්දු මහත්මිය මෙවන් රැකියාවක් සඳහා මට සම්මුඛ පරීක්ෂණයක් සුදානම් කිරීමට උනන්දුවිය. ඒ හයිඩ්පාක් අසල පිහිටි එකල සමර්විල් ගෲප්ස් නම්වූ ආයතනයයි.
මේ සඳහා අවශ්‍ය විදුහල්පති සහතිකය ලබාගැනීමට නම් විෂයභාර ගුරුවරුන් අත්සන් තැබිය යුතු විය. සත්ව විද්‍යාව ඉගැන්වූ ඒ රූමත් ගුරුතුමිය මෙහි අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළේ මා බරපතල වරදක් කර ඇතැයි පවසමිනි. ඒ කාලයේ ගැහැනුන් බුරිය පෙනෙන්නට සාරිය ඇඳීම විලාසිතාවක් කරගෙන තිබුණි. කවුදෝ සිසුවෙක් විසින් ඇයගේ නිවසේ ලිපිනයට ලිපියක් යවා ඇත. ඒ සාරිය අස්සෙන් පෙනෙන බුරිය සහ අවට ප්‍රදේශය වර්ණනාවකට ලක්කරමින් බවත්, එහි යටින් මගේ නම ලියා ඇති බවත්ය. දැන් වැරදිකරු මමය. එවැනි වැඩක් කෙරූ කෙනෙක් තමන්ගේ නම ඊට යටින් ලියා යවනවාදැයි සිතීමට පවා ඇයට අවශ්‍ය නොවී ඇති හැඩය. මේ බව මාලති ප්‍රනාන්දු ගුරුතුමියද ඇයට පහදාදීමට ඉදිරිපත් විය. ඇය එම ගුරුවරියට කියා සිටියේ, එවැනි ලිපියක් ඇයට ලැබුණා නම් කියවාබලා විසිකරනවා හැර, අනවශ්‍ය ලෙස කලබල නොවනා බවයි. කෙසේ හෝ දින දෙක තුනකට පසු ඇගේ අත්සන ලබාදීමෙන් පසු මට විදුහල්පති සහතිකය ලැබිණි. නමුත් සම්මුඛ පරීක්ෂණයෙන් මා අසමත් විය. තව දුරටත් පාසැල් යාමට තීරණය විණි.
එම පාසැල් කාලයත් පෙර පුරුදු රස්තියාදුවම විනා කිසිම යහපතක් නොවීය. අප කංඩායම බම්බලපිටිය පැත්තට නොයා ඉන්නා දවසට, කොල්ලුපිටිය වාළුකාරාමය පිටුපස තිබු නානාගේ කඩයට රිංගා ප්ලේන්ටියක් බී, නානා විකුණන ගංජා මිටියක්ද ගෙන, ඔහුටම කියා ඔතා ගන්නටත් පුරුදුවී සිටියහ. මෙය දිනපතා සිදුවූ කරියක් නම් නොවීය. එතැනින් ගමන් ආරම්භ කර කොල්ලුපිටිය පැත්තෙන් ඇස්වාට්ටුව දෙසට ඇවිද යන්නෙමු. එවකට මහජන පුස්තකාලය පිහිටා තිබුණේ ශ්‍රාවස්ථිය අසල, අද කොළඹ නගාරාධිපති නිල නිවාසයේයි. පුස්තකාලයට රිංගා පැයක් දෙකක් පත්තර කියවීමද සිදුවුණි. කාලයකට පසුව මහජන පුස්තකාලය නව ගොඩනැගිල්ලට මාරුවිය.
වික්ටෝරියා පාක් එකේ කරක් ගැසීමත් කට්ටි පනිනා පාසැල් සිසුන්ගේ පුරුද්දක් විය. පෙම්වතුන් මෙන්ම හොරෙන් හමුවන ජෝඩුද ඒ කාලයේ විහාරමහා දේවි උද්‍යානයේ විශාල ගස් යට උකුළු මුකුළු කරමින්ද, තවත්දේ කරමින්ද ප්‍රේමයේ රස උරා බොමින් කල් ගත කරති. ගස්වලට මුවාවී ඒවා රසවිඳිමින් ස්වයං වින්දනයේ යෙදෙනා පිරිමින්ද මේ උද්‍යානයට අමුත්තක් නොවීය.
එතැනින් වෛද්‍ය සිසු නේවාසිකාගාරයක්වූ බ්ලොම් එක හරහා පුංචි බොරැල්ලටත්, එතනින් මරදාන දක්වාත් ඔහේ ඇවිදගෙන යෑම විඩාවක් නොවීය. මගේ පංතියේ මිතුරෙක්වූ ශ්‍රීනාත් ප්‍රේමරත්න පදිංචිව සිටියේ මරදාන ඩොනල්ඩ්ස් ස්ටුඩියෝව ඉදිරිපසට වෙන්නට ඇති නිවසකය. ඇට්ලස් හෝල් නම්වූ පොත් ප්‍රකාශන ආයතනයද ඒ අසලම විය. ඒ පැතිවල වඩාත් රස්තියාදුවුණේ ආනන්ද, නාලන්ද සිසුන්ය. ආනන්දයේ සිසුන්ද සමහර අවස්ථාවල අප හා එක්වේ. ආනන්දය අසලම ජීවත්වූ නිසා ශ්‍රීනාත්ගේ ආනන්ද මිතුරන්ද රාශියක් විය. මට ශ්‍රීනාත්ලාගේ ගෙදර හොඳට හුරු පුරුදුය. මම විටින් විට එහි ගොස් කාබී නැවතී ඇති තැනක්ය. ශ්‍රීනාත්ගේ මවගේ ඉල්ලීමකට අනුව පානදුරේ අරියධම්ම හිමිගේ සීල ව්‍යාපාරයකටද සහභාගි විය. ඒ මගේ පළවෙනි සිල් සම්මාදම බැව් මතකයේ තිබේ. ඉන් පසුව දෙවරක් මා දැන් සිටිනා රටේදි සිල් ගත්තා හැරෙන්න වෙන මතකයක් නම් නැත. පානදුරේ අරියධම්ම බෝධිපූජා වැඩසටහන් එකල දිවයින පුරාම ඉතා ජනප්‍රිය වැඩ සටහනක් විය. වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගයත්, අරියධම්ම හිමියන්ගේ “බ” වැඩසටහනත් අති මහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. ඒ කාලයේ අරියධම්ම හිමියන්ගේ බයන්න කියා කීවේ විහිළුවටය. මෙසේ කියා ශ්‍රීනාත්ගේ අම්මාගෙන් බැණුම් ඇසූ අවස්ථාවන්ද විය. ඒ කෙසේ වෙතත් පුංචි බොරැල්ල පසුකර මරදාන හරහා ,ඩීන්ස් පාරේ තිබු මගේ පන්තියේ මිතුරෙක්වූ අජිත් කුමාරලාගේ හෝටලයෙන් සමහර දිනයක නොමිලේම බත් වේලක්ද ගිල දමා ගල්කිස්ස බලා පිටත්වේ.
පාසැල් කාලය තුල අමතක නොවන ක්‍රීඩා තරඟ දෙකක් විය. ඒ රෝයල්-තෝමියන් බිග් මැච් එකත්, රොයල්- ට්‍රිනිටි බ්‍රැඩ්බි ශීල්ඩ් තරඟාවලියන් වේ. රාජකීය-ශාන්ත තෝමස් සියවැනි ක්‍රිකට් තරඟය නැරඹීමට ගියේ පාසැල් සිසුවෙකුව සිටි අවධියේය. හැම වසරේම ක්‍රීඩා තරඟයට පෙරදින පාසැලේ සිට ක්‍රිකට් කංඩායමේ නායකයාගේ නිවසට වාහන, බයිසිකල් සහ පයින් ගමන්ගන්නා සතුටු පෙරහැරක්ය. “බිග් මැච් පැරේඩ්” කියා කිව්වේ මෙය විය යුතුය. නායකයාගේ නිවසින් තේ පැන් සංග්‍රයක් ලැබේ. බිග්මැච් දිනයන්හී ලොරි භාගයක් හෝ පපරා බෑන්ඩ් එකක් සෙට් කරගැනීමට මුදල් නැත. අපේ ගමන පයින්ය. දින දෙකකට සීමාවූ බිග්මැච් එක, දින තුනක් වූයේ ඔය කාලයේ බැව් යාන්තමට මතකය.
“හැට් කලෙක්ෂන්” යැයි හැඳින්වූ, පාසැල අවට නිවෙස්වලට තට්ටුකර මුදලක් කඩාගත්තේ බෝතලයක් දෙකක් මිලදී ගන්නත් දවල් කෑමටත් බව කිවයුතු නොවේ. සල්ලි එකතුකරන්නේ පොත්පත් ගන්න නොවන බව දෙන අයත් දනී. වරක් නොදැනුවත් කමින්, එකල විදුහල්පති තුමාවූ එල්.ඩී.එච්.පීරිස් මහතාගේ ග්‍රීන්පාත් නිවසටත් ගොසින් යාන්තම් ගැලවී ආවේ විදුහල්පති තුමාත් බිග්මැච් තෘප්තිය ලබන්නට ගොස් බැවිනි. පාසැල් ගුරු මංඩලයේ සහ සේවක මංඩලයේ බහුතරයක්ද තරඟය නැරඹීමට පැමිණේ. මින් අමතක කල නොහැකි චරිතයක් නම් කඩළේය. අනිකා, රසායනාගාර භාරව සිටි සේවකයෙක්වූ ඩැනී අයියාය. කඩලේ ගැන මාතලන්ද ලිපියක් ලියා ඇතිමුත්, මා යමක් නොලිව්වොත් මගේ කතාවට කරනා අඩුපාඩුවක් වේ.
කඩලේගේ නියම නම කුමක්දැයි මම නොදන්නෙමි. ඔහු නැවතී සිටියේ පාසැල් නේවාසිකාගාරයේම කොටසකය. මොහු ද්‍රවිඩයෙකි. මොහු පාසැලේ ආදී සිසුවෙක් බවත් මම අසා ඇත්තෙමි. මොහුගේ ආදායම් මාර්ගය වූයේ කඩල, වඩේ වෙළඳාමයි. බොහෝවිට පාසැල තුළ පමණි. පාසැල් විවේක කාලයේදී වීදුරු පෙට්ටිය පුරවාගෙන ගොඩනැගිල්ලක් අයිනටවී කඩලේ වෙළඳාමේය. මේ වටා සිසුන් මීමැස්සන් මෙන් පිරී ඇත. කඩලේගෙන් යමක් සොරාගැනීමට ඉතාමත් පහසුවුවත් අප එසේ නොකිරීමට වග බලා ගත්තෙමු. ඔහුට උදව් කිරීමටත් පසුබට නොවූ සිසුන් විය. කඩලේ අද සල්ලි නැහැයි කීවිට ඔහු ඇඹරුණේද නැත. ඉහළ ප්‍රමිතියකින් සහ රසවත් කෑම වර්ගවලින් පිරුණු පාසැල් කැන්ටිමට මෙන්ම කඩලේටද ඉහළ ඉල්ලුමක් විය. කඩලේට නොතිබුණේ මුදල්ය. නමුත් මනුස්සකම ඕනෑවටත් වඩා හිමිව තිබුණි
සුදු සරමත්, කමිසයත් හැඳි මේ කාලවර්ණ හැඩිදැඩි උතුම් සුන්දර මිනිසා අවිවාහකයෙක්ද නැද්ද කියා කීමට මම නොදන්නෙමි. හැන්දෑවට පොඩි අඩියක් පුඩියක් ගසා පාසැල් ක්‍රීඩාංගනයට පැමිණෙන මොහු අවිනීත ලෙස හැසිරෙන්නෙක්ද නොවේ. තරඟ නැරඹීමට ගොස් කරටි කඩාගෙන ඉන්නා අවස්ථා නැත්තේ නොවේ. භාෂා තුනම චතුරව හැසිරිවිය හැකි කඩලේට ආදරය නොකෙරූ කෙනෙක් නොවීය. ඔහු මගේ ලෝකයේ වීරයෙක් විය. බිග්මැච් දිනයට රාජ්‍ය නායකයාගේ සිට කුඩාම සිසුවා සමග කඩලේ විනෝදෙන්ය. රටේ ප්‍රබලයින් සමග එකට වාඩිවී අඩියක්ද ගසයි. කඩලේට අප පාසැලත්, කඩලේ අප පාසලටත් සම්පතක්ම විය. මේ සොඳුරු මිනිසා මිය ගියාට පසුවත්, ඔහු වෙනුවෙන් ස්මාරකයක් තැනීමටද කතිකාවක් තිබූ මුත්, කුමක් වූවාදැයි නොදනිමි.
ඩැනී අයියාද සුදු සරම සහ කමිසය හැඳි”ටොප් ක්ලාස් පොරක්” විය. ඔහු පදිංචිව සිටියේ කොල්ලුපිටියේය. අපේ සියලුම රසායණාගාරයන් භාරව සිටි ජ්‍යේෂ්ඨයා ඔහුය. ගුරුවරුන් මෙන්ම සිසුන් සමගත් ඉතාමත් සුහදශීලී ජීවිතයක් ගතකළ ඩැනී අයියා හොඳ විනෝදකාමියෙක් විය. ඔහුගෙන් “දඩයක්” දාගත් අවස්ථාද තිබේ.
බ්‍රැඩ්භි පලිහ වෙනුවෙන් පැවැත්වෙන රාජකීය-ත්‍රිත්ව වාර්ෂික තරඟාවලියද අප අමතක නොකරනා තවත් ඉසව්වක්ය. තරඟ දෙකකින් පසු පලිහ පිරිනමනු ලැබේ. එක් තරඟයක් මහනුවරත්, අනික කොළඹත් පැවැත්වේ. අප වැඩි උනන්දුවක් දක්වන්නේ මහනුවර තරඟය නැරඹීමට යාමටයි. එදින උදෑසනින් “රෝයල් එක්ස්ප්‍රස්” යැයි කියා දුම් රියක් කොටුවෙන් නුවර බලා පිටත්වේ. දැන් නම් ඒවා තියෙනවාද කියා නොදන්නෙමි. රාජකීය කොඩිවලින් දුම් රිය පිරී ඉතිරී ඇත. පපරා බෑන්ඩ්ස්ද ඇතුළත්ය. මහනුවර නගරයේ දහවල සැරිසරා, හැන්දෑවේ තරඟය නරඹා ආපසු කොළඹ එන්නේ නැත. මත්පැනින්ද, දුමෙන්ද සංතර්පණය වී කඩවල්වලින් කා, පදික වේදිකාවේ ගොඩනැගිල්ලක් අයිනටවී නිදාගන්නෙමු.
ඒ කෙසේ වෙතත් මගේ පාසල් කාලය නිමාකිරීමට කාලය පැමිණ ඇත. Disce Aut Discede යනු රාජකීය විදුහලේ උදෘත පාඨයයි. ලතින් භාෂාවෙන් එය ඉංග්‍රීසියට පෙරළූ විට Learn Or Depart යැයි කියවේ. මම පිටවුණෙමි. මා අයදුම් කල රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට කැඳවා ඇත. ඒත් ගල්කිස්සේමය.
මගේ ආදරණීය පාසැල් මිතුරන් හා සම්බන්ධ චරිත හා රසකතා ලිව්වා මදිය. විවේක ඇති විටක ඒවා කොහේ හෝ ලියා තබන්නෙමි. මේ බ්ලොගය කියවා දුරකථනයෙන් මා අමතා දිරිමත් කරන සහ තවත් කරුණු ගැන සාකච්ඡා කරන මගේ පාසැල් මිතුරු ඒ.එම්. රණසිංහට හදබැති ගෞරවය ලියා තබන්නෙමි. අදහසකින් හෝ මා දිරිමත් කරවන ඔබටත්, කියවන සැමටත් මගේ ගෞරවය!!

Friday, June 13, 2014

අවුල්වන්නට පෙර (40)….SEE YOU AGAIN බම්බලපිටිය

බම්බලපිටිය හංදිය ආශ්‍රිත ප්‍රදේශය කොළඹ අවට පාසැල් සිසුන්ගේ ප්‍රියතම ස්ථානයක් වන්නට ඇත්තේ ඒ අවට තිබූ බොහෝ බාලිකා පාසැල් නිසා විය යුතුය. ලින්ඩ්සේ බාලිකා, විශාඛා, සේන්ට් පෝල්ස් මිලාගිරිය, මුස්ලිම් බාලිකා, හෝලි ෆැමිලි ඉන් කිහිපයකි. මගේනම් වැඩි කැමැත්තක් තිබුණේ මිලාගිරිය මානවිකාවන්ටය. ඒ ඔවුන්ගේ යුනිෆෝම් එක නිසාද යැයි සැකය. ඔය අවට පිරිමි පාසැල් තිබුණේ අතලොස්සකි. රාජකීය, තර්ස්ටන්, සේන්ට් පීටර්ස් ඉන් සමහරක්ය. සෙන්ට් පීටර්ස් සිසුන් බම්බලපිටියට උරුම කරුවන් මෙන් විය. මේ විදුහලේ සිසුන් බොහෝමයක් බම්බලපිටිය, වැල්ලවත්ත ආශ්‍රිත පදිංචිකරුවන්ය. බම්බලපිටිය තට්ටුනිවාස වාසීන්ගේ දරුවන් බොහෝමයක් සේන්ට් පීටර්ස් කොළුවන්ය. “බම්බා ෆ්ලැට්ස්”වාසීන් බම්බලපිටියේ වැඩකාරයින් යැයි අපි දන්නා නිසා ඔය පැත්තේ වැඩිය දඟලන්නට ගියේද නැත.
මේ පිරිමි පාසැල්වල සිටි රස්තියාදුකාරයන් බොහෝවිට බම්බලපිටියට එක්වේ. ලයන්හවුස් නම් ආපනශාලාව දීර්ඝ ඉතිහාසයක් ඇති ස්ථානයක් යැයි මම සිතමි. මෙහි ඉදිරිපස තිබු වීදුරු ආවරණය තීන්ත ආලේප කර තිබු නිසා සිගරට් බොන කොල්ලන්ට යම් ආරක්ෂිත කලාපයක් බඳුය. ලයන්හවුස් තේ එක තරම් රසවත් තේ එකක් අවට අනිකුත් හෝටල්වල නොතිබුණු බව සාමාන්‍ය මතය විය. එය අයිතිව තිබුණේ සිංහල ව්‍යාපාරිකයෙකුටය. කිරිබත්, ලුණුමිරිස්, ඉඳිආප්ප, කිරිමාලු, අලහොදි, බනිස්,මාළුපාන්, පාන් වීදුරු සෝකේස්වල පෙනෙන්නට තිබුණි. සේවය සැපයීමට සිටියේ ඈත පළාත්වලින් පැමිණි, සුදු සරම්, කමිස හැඳි මැදිවියේ මිනිසුන්ය.
ලයන්හවුස් එකට යාබදව තිබු මේෆෙයාර් ආපනශාලාව මුස්ලිම් හෝටලයක් විය. බුරියානි, තක්කාලි, ලූණුපෙති,සලාද කොළ මත වැඩවිසූ රෝස්ට් කුකුළන්,බැදපු තෝර මාළු පෙති,වටලප්පන් දිහා හොරෙන් බලමින් ප්ලේන්ටියක් ගහනවා හැර තරුණ පාසැල් සිසුන්ට වෙන කළහැකි දෙයක් නොවීය. ඕනෑම වුණොත් බඩ පුරවාගන්නට සරස්වති ලොජ් නම්වූ සයිවර් කඩය සැම විටම විවෘතය. මා ඇතුළු කංඩායමේ යමක් කමක් ඇති කොලුවන් කිහිප දෙනෙක් ගැවසුනි. තෝසේ දෙකක් දැමු කෙහෙල් කොළය උතුරා යන තරමට සාම්බාරුව ඉල්ලා ගන්නටත්, ඒ සාම්බාරුව බාල්දියේ අඩියෙන්ම ගෙන බෙදන ලෙස කාරුණිකව ඉලා සිටීමටත් ලැජ්ජා නොවීය. හැන්ද පතුලටම යවා බෙදනා විට වට්ටක්කා කෑලී, වම්බටු කෑලි, මුරුංගා පොතුවලින් අඩුවක් නොවේ. උලුඳු වඩයක්, අල බෝණ්ඩාවක් ගන්න පුළුවන් වුණොත් බෝනස්ය. අත දමා හොරෙන් ගන්නට හැකි තැනක තිබුණොත් තෝසේ දෙකට යට කරගන්නා වඩය කාටවත් නොපෙනේ. එසේ යට කරගන්නා වඩය හෝ අලබෝලය අතින් තදකර මට්ටම් කෙරූවිට හොයනවා බොරුය. මේ මොන සෙල්ලම් දැම්මත් මුදල් නැති දිනයක කාබී කාටත් හොරෙන් මාරුවන අවස්ථාද නොතිබුණාම නොවේ. මෙවැනි අවස්ථාවලදි, පළමුවෙන්ම පිටවී යාමේ අවස්ථාව මට හිමිවුණේ, කිහිපවරක් අවසානයා ලෙස පිටවෙන්නට ගොස් අනාගත් බැවින්ය. ඒ අනාගත් කිසිම අවස්ථාවක වීදුරු සේදීමටවත්, කෙහෙල් කොළ බාල්දි අස්කිරීමටවත් සිදුනොවුයේ ,මොකක් හෝ කියා අනුකම්පාව ලබාගත් නිසා මිස වීරකමකට නොවේ.
බම්බලපිටියේ බුලර්ස් පාරට එක්වරම මුහුණලා පිහිටියේ ප්‍රසිද්ධ සිටි ඩිස්පෙන්සරි ගොඩනැගිල්ලයි. විශාල වීදුරු බොතල්වල නොයෙකුත් වර්ණයේ දියරයන් පුරවා පෙනෙන්නට තබා තිබුණි.අද මැජස්ටික් සිටි නොහොත් MC යැයි කියනා විශාල භූමියේ එදා තිබුණේ පහසුකම් සහිත ප්‍රධානතම සිනමා ශාලාවක්වූ මැජස්ටික් සිනමා ශාලාවය. එවැනිම පහසුකම් ඇති අනිකුත් ඒවා වූයේ සැවොයි-වැල්ලවත්ත, රීගල්-ලේක් හවුස් සහ ලිබර්ටි-කොල්ලුපිටිය පමණි. මේ ගොඩනැගිලි අතරින් වයින් ස්ටෝර්ස් එකක් තිබුණා මතකය. ඒ කාලයේ පාර අතුගාන ද්‍රවිඩ ජාතික වැඩිහිටි කාන්තාවන්, ඔතනින් කාලේ, බාගේ බෝතල් ගෙන කටේ තියාගෙන ඇදලා අරින හැටිත් අමතක නොවේ.
මැජස්ටික් සිනමාහල පිහිටා තිබුණේ විශාල බිම්කඩකය. කෙටි තාප්පය දෙපසින්ම මෙයට ඇතුළුවිය හැක. සිනමාහල තුළට පිවිසීමට සිටිනාවුන් පාරට පෙනෙනා නිසා නවක පෙම්වතුන්ද, හොර කපල්ස්ද, පාසල් සිසුන්ද පරිස්සම් විය යුතුය. ඒ කාලයේ උදේ 10.30 දර්ශන වාරය පවත්වාගෙන යන්නට ඇත්තේ මේ කංඩායම් ඉලක්ක කරගෙන යැයි මට සිතේ. මැජස්ටික් සිනමාහල පිටුපස එම ඉඩමේම පරණ වලව්වක් වැනි විශාල නිවසක් විය. මේ නිවසේ පදිංචිය සහ අයිතිය තිබුණේ අපේ පාසැල් මිතුරෙකුවූ මිගාරගේ පවුලටය. පාසැල් වේලාවෙන් පසුව නම් අප එහිගොස් තේ බීමටත් පුරුදුව සිටියහ. ඔවුන් සංග්‍රහශීලි මිනිසුන් විය. රූමත් සහෝදරියන් දෙතුන් දෙනෙක්ද මිගාරගේ පවුලේ වූහ. අප ඒ පිළිබඳ කිසිවිටෙකත් ව්මසිලිමත් නොවීය.
බම්බලපිටිය හන්දියේම තිබු අමතක නොවන තැනක් නම් බම්බලපිටිය මාකට් බිල්ඩිමය. නගර මධ්‍යයේ පිහිටි මෙම ස්ථානය කොළඹ මහ නගර සභාව විසින් ක්‍රමවත්ව නඩත්තු නොකළ නිසා මස්, මාළු කුණු ගඳෙන්ද අඩුවක් නොවීය. එළවළු, පලතුරු, බිත්තර, මස්, මාළු කඩ රාශියක් ඒ තුළ තිබිණි. මේ ගොඩනැගිල්ල පිටුපස තිබු පැරණි විශාල නිවසේ සිටියේ පසුව මා හඳුනාගත් මිතුරියකගේ ඥාතීන්ය. මාකට් එකට මෙහායින් තිබුණේ, එකල පාරේ නිතර දැකිය හැකි දසුනක්වූ භූමිතෙල් කරත්ත සහ ගවයින් ගාල් කරතැබූ කරත්ත ගාලය. ඒ යුගයේ කොළඹ අවට පවා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්වූ භූමිතෙල් ඕනෑම සිල්ලර කඩයකින් තෙල් කරාඬියෙන් මැන බෝතලය, භාගය සහ කාල වශයෙන් මිලදී ගැනීමට ඉඩකඩ තිබුණි. ගොන් බැඳි කරත්තයට සවිකෙරූ රතු පැහැති ටැන්කියෙන් සිල්ලර කඩවලට භූමිතෙල් බෙදුවේ තොග මිලටය. සීනුවක් ගසමින් මොවුන් වීදි සැරිසරති. යහමින් මුදල් ඇති අයනම් ගැළුමක් දෙකක් එකවර මොහුගෙන් පුරවාගනී. මේ සේවකයන් බොහෝදෙනා ද්‍රවිඩ ජාතිකයින් විය. බම්බලපිටියේ මේ භූමිතෙල් ව්‍යාපාරය අයිතිව තිබුණේ මගේ පන්තියේ මිතුරු සුරාජ් ඇන්තනීස් පවුලටය. ඒ නිසාම සුරාජ්ට අප කිව්වේ භූමිතෙල් කියාය. තවත් මෙවැනි ව්‍යාපාරිකයින් කොළඹ විසූහ. පොල්තෙල් බෙදුවේ කහ පැහැති ටැංකි බැඳගත් ගොන් කරත්තයකින් බවත් මතකය. මාකට් බිල්බිම අසලම එක් කොනක දැල් ගැසු කුඩා කඩයක් තිබුණි. සිගරට්,බීඩි,බුලත්විට, සබන්, නිල් පැකට් වැනි එදිනෙදා අවශ්‍යතාවයන් මේ අහිංසක ද්‍රවිඩයා වෙළඳාම් කෙරුවේය. ජාතිආලයෙන් මඤ්ඤංවූ කාළකණ්ණීන් විසින් 1983දී මේ කඩය විනාශ කරලීමට තරම් සැහැසි විය. බම්බලපිටියෙන් රටට දායකවූ තවත් ව්‍යාපාරයක් නම් ඇල්බට් එදිරිසිංහ ඇස් කණ්ණාඩි ව්‍යාපාරයයි. ඇල්බට් එදිරිසිංහ මහතා බොහෝ කාලයකට පසුව දේවමිත්ත නමින් පැවිදිවියට පත්ව නිහඬ ජීවිතයක් ගෙනගිය අතර මෑතකදි අපවත්විය. ඒ අසලම වූයේ පොලිසිය සහ තැපැල් කන්තෝරුවයි. පොලිස් නිල නිවාස පිහිටියේ ඊට පිටිපසිනි.
බම්බලපිටියට සෙනඟ එක්වෙන තවත් තැනක් නම් කදිරේෂන් කෝවිල හෙවත් වැල්ලවත්ත කෝවිලයි. බම්බලපිටියේ පිහිටා තිබුණත් මෙය වැල්ලවත්ත කෝවිල ලෙස හඳුන්වයි. මේ අසල අශෝක ලොජ් සහ තවත් තෝසේ කඩයක් විය. බම්බලපිටිය හන්දිය පැත්තට වෙන්න තිබුණේ කදිරවේල් කෝවිල බව මතකයේ තිබේ. මේ කෝවිල් දෙක අසල පිච්චමල් මාලා, කපුරු, පොල්තෙල් වෙළඳාම ජයටම කෙරුණි. කුඩා බංකුවක් මත වාඩිවී කෙසෙල් කොළයක් මත තබාගත් සුවඳ හමන පිච්චමල් වලින් මල්මාලා ගොතන ඒ ද්‍රවිඩ ජාතිකයන්ගේ දසුන කිසිදින අමතක කල නොහැකිය. ඒ අසල අපි ඔහේ ගැවසෙන්නෙමු. මේ මල් වර්ග මාතලේ වැනි පළාත්වලින් මෙතැනට සැපයූ බවත් මම අසා ඇත්තෙමි. කොළඹ ජින්තුපිටියේ කෝවිලේ සිට බම්බලපිටිය කෝවිලට පැමිණෙන වාර්ෂික වේල් පෙරහැරද අමතක කල නොහැකිය. ඒ කාලයට කොළ පිටින් උක්ගස්, කඳු ගසා විකුණන මිනිසුන්ද මිහිරි අතීත මතකයන් අවුස්සා දමයි. මේ ප්‍රදේශයේ ප්‍රසිද්ධම සහ කලබලකාරීම ස්ථානය වූයේ බම්බලපිටිය ෆ්ලැට්ස් ආසන්නයේය. ඒ අසලම ලේඛා ස්ටුඩියෝ නමින් ප්‍රසිද්ධ ඡායාරූප ශාලාවක්ද පිහිටා තිබුනි.සියලුම කාන්තා පාසල්වල සිසුවියන් සහ අවට කොල්ලන්ගෙන්ද දහවල් 1.30-2.00 වනවිට අවට පිරී ඉතිරීයයි. හැම තැනම රස්තියාදුවී, ෆ්ලැට් එක ඉදිරිපිට බස් නැවතුමේත් කාලය කාදැමීම එදිනෙදා අංගයක් විය.
ඒ අසලම ගාලු පාරට මුහුණලා පරණ බෝතල් පත්තර එකතුකරනා කඩයක්දවිය. එය අමතක නොවන්නේ ඔතනින් ගුටිනොකා බේරුණ එක් සිද්ධියක් සිතේ ඇති බැවිනි. පරණ බෝතල් දැල් ගෝනිවල අසුරා ගොඩගසා තිබෙන්නේ ලොරිවල පටවා කොළඹ යැවීමට කියා අපි දන්නෙමු. දිනක් ඔය කඩය අසල පිස්සුවක් නටන්නට ගොස් ඔය ගෝනි කන්දක් බිමට කඩා වැටුණේ මහා ශබ්දයක්ද නගමිනි. වැඩේ වැරදුණු බව දැනගත් අපි හිස හැරුණු අතේ දිව යන්නට වුණෙමු. වාසනාවකට අප කිසිවෙක් අසුවුණේ නැත. මම දිවගොස් නැවතුණේ මුහුදු වෙරළේ බව තවමත් මතකයේ තිබේ. කෝච්චියට යටනොවී බේරුනේ පූරුවේ පිනකට යැයි සිතමි.
බම්බලපිටිය ගැන කියනා විට සිරිසඳ හෝටලය ගැනත් නොලියා බැරිය. නමුත් ඒ අත්දැකීම් මා විඳින්නේ තරුණයෙක් ලෙස නැවත බම්බලපිටියට පදිංචියටම පැමිණි පසුවය. ඒ කාලය නම් මගේ ජීවිතයේ අමිහිරිම අත්දැකීම් ලැබු කාල පරිච්ඡේදයක් වේ. ඒ ගැන පසුව ලියමි. SEE YOU AGAIN බම්බලපිටිය කියා මාතෘකාවක් යෙදුවේ ඒ නිසා බව ඔබට වැටහෙනු ඇතැයි සිතමි. නොලියවුණු තැන් සහ අමතකවූ සිද්ධීන්ද බොහෝය. මතකදේ පවා නොලියා සිටින්නේ මාගලක් වෙනු දැකීමට අකැමති නිසා යැයි සඳහන් කරමි. ඩික්මන් පාර, කින්රෝස් ක්ලබ් එක, වජිර පාර, ඒ අවට පිහිටා තිබු ඩෝබි මඩුව, ඒ යුගයේ ලොන්ඩරි, වජිරාරාමය වැනි අවට පරිසරය ගැන ලියන්නට ගියොත් ගොඩ ඒමක් නැත. චීන හෝටල් ගැනද ලියන්නට අමතක විය. ටොලරම්ස්, ලක්ෂ්මිස්, බුලියන් එක්ස්චේන්ජ්, බෙයාර්ෆූට්, නවාවි, උණු උණු ගෝදම්බ රොටි කරත්තය, සයිකල් කඩය ගැන ලිව්වේම නැත.
කෙසේ හෝ වේවා, බුලර්ස් පාර අසලින් පටන්ගෙන වැල්ලවත්ත හැමිල්ටන් ඇල අසලින් අවසන්වෙන බම්බලපිටිය කොළඹ 4 ගැන මෙසේ ලියා තැබුවෙමි. මේ ඇල අයිනෙන් තිබූ වැලි පාරේ දිගටම ගියවිට වැල්ලවත්ත රෙදිමෝල අයිනෙන් හයිලෙවල් පාරට පිවිසිය හැක. මගේ ජීවිතය යනු පුස්තකයක් නම් එහි පිටු බොහෝමයක්ම මේ බම්බලපිටිය නම්වූ සුන්දර පුරවරයට අයිතිවේ.
ප.ලි.
යොදාගත් වැඩ කටයුතු නිසා ඔබගේ බ්ලොග් කියවීමත්, පිලිතුරු ලබාදීමත් දින දෙක තුනකට මදක් අතපසු විය හැක.

Monday, May 19, 2014

අවුල් වන්නට පෙර…(29) කොල්ලුපිටිය , කොළඹ 3

කොල්ලුපිටියේ වාළුකාරාමය අවට පදිංචිව සිටියේ හෝ හිමිකාරිත්වය තිබුණේ මුදල් හදල් ඇති, සමාජ සම්බන්ධතා බහුල මිනිසුන් කොටසක්ය. මේ අතර දේශපාලකයින්ද, ව්‍යාපාරිකයින්ද බොහෝ වූහ. ගාලු පාරෙන් වාලුකාරාම පාරට හැරෙන විටම තිබුණේ ඉතාම කුඩා නිවසකි. මේ පවුලේ උදවිය හා පන්සල අතර සුහද ගනුදෙනුවක් නොවූයේ පාර පළල් කිරීමට පන්සලෙන් කල ඉල්ලීමක් නිසා නිවසෙන් කොටසක් පාරට වෙන්වීමට නියමිතව තිබූ බැවින්ය. ගාලු පාරේ සිට ඩුප්ලිකේෂන් පාර දක්වා වූ අනිකුත් බොහොමයක් නිවාස එතරම් හානියකට ලක්නොවූයේ, එම නිවැසියන් සතුව ඇති පමණට මිදුල් ඉඩකඩ තිබු නිෂාවෙන්ය. කෙසේ නමුත් ඒ වකවානුවේදීම වාලුකාරාම පාර පුළුල් කිරීමකට ලක්විය. ඉහතකී පවුලේ උදවිය නායක හිමියන් සමග අඩදබරයකට ඒමට මැලිවුවත්, එහිමියන් මේ උදවියට පෞද්ගලිකවත් මූල්‍යමය ආධාරයක් කල බැව් මම අසා ඇත්තෙමි. ඩුප්ලිකේෂන් පාරෙන් වාලුකාරාමයට හැරෙන විට දකුණු පසින් පන්සල තෙක්ම දිගටම පැවතියේ කුඩා නිවාස පේළියකි. මේවා පැලපත් නොවූ මුත් අවම පහසුකම් වලින් පමණක් සමන්විත විය. වම් පසින් තිබුණේ තනි තනි ඉඩම්වල තනා තිබු විශාල දෙමහල් නිවාසයන්ය. ඔවුන් ධනවතුන් වූහ. දෙපැත්තේම සිටි කොල්ලෝ කුරුට්ටෝ ක්‍රිකට් ගැසූවෙත්, ටින් පෙරළුවේත් වාලුකාරාම පාර මැද්දේය. මෙම පාර පුළුල් කිරීමට හේතුව වූයේ 1963 සිට අද වෙනතුරුත් ආනන්ද හිමියන් විසින් පවත්වාගෙන පවත්වාගෙන එන වාලුකාරාම ඇසළ පෙරහැර ගමන් මාර්ගයේ ආරම්භයට පහසුවක් පිණිස විය යුතුය.
කුඩා නිවාස 20-25 කින් පමණ සමන්විත මේ ගෙවල් පේළියේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් සියලුම ජාතින්ගෙන් සමන්විත මිනිසුන් පදිංචිවී සිටි අතර පන්සලත් ඔවුනුත් අතර මනා සම්බන්ධතාවයක් පැවතිණි. පන්සල් භූමිය පිරිසිඳු කිරීම පවා ඔවුන් හෝ අප කවුරුන් අතින් ස්වෙච්ඡාවෙන් සිදුවූවත්, බෝ මළුව හා ආවාස ගෙය ඉදිරිපිට අතුගෑමත් ආනන්ද නායක හාමුදුරුවන් තමන්ටම පවරාගත් රාජකාරියක් විය.දිනපතාම හිමිදිරි උදෑසනත්, හැන්දැවරුවේත් ශාරීරික ව්‍යායාමයක් සේ සලකා මෙය සිදුකළා විය යුතුය. ඒක් රටාවකට මිදුල ඇමදීම බොහෝ සිත්ගන්නා සුළුය. මහා පාන්දර අවදිවෙන මෙහිමියන් ස්නානය කර දිනපතාම හිස සහ රැවුල බෑම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ සඳහා කදිම දැලි පිහි කීපයක් ඔහු සතු විය. පිරිසිඳුවත්, ප්‍රියමනාපවත් ආවාස ගෙය ඉදිරිපිට තබා තිබූ ලෑලි බංකුවේ වාඩිවී සිටීම පුරුද්දක් විය. ගාලුපාර අවට සහ වාලුකාරාම පාරේ මිනිසුන්ද, පාසල් සිසුන්ද තර්ස්ටන් පාර පැත්තට ගොස් හයිලෙවල් පාරට සම්බන්ධවීමට පයින් ඇවිදයන්නේ පන්සල් භූමිය හරහාය. බොහෝ මිනිසුන්ට උදෑසන මේ ප්‍රියමනාප මෙන්ම ගාම්භීර මිනිසා සමග වචනයක් හා දෙඩීම සතුටට කාරණයක් විය. වාළුකාරාමය අවට ජීවත්වූ බොහෝමයක් දුප්පත් හෝ පොහොසත් පවුල්වල දරුවන් රාජකීය විදුහලේ සිසුවන් විය. ඒ නිසා සියල්ලන්ම මගේ මිතුරන් විය. පන්සලක නැවතී සිට ඉගෙනුම ලැබූ එකම රාජකීයයා මම විය යුතුය. ගෙවල් පේළියෙන් පැමිණ පාසල් යන ළමයින් උදේට නායක හාමුදුරුවන් ළඟට විත් වැඳ ආචාර කරන්නේ අන් කිසිවක් නිසා නොව, ඒ වෙනුවෙන්ම ළඟ තබා ගෙන තිබූ ශත පනහක්, විසිපහක් ලබා ගැනීමට බව එතුමා දැන සිටියේය. පන්සල් පිං කැටවල ඒ වෙනුවෙන් ඇති පදම් මාරු කාසිවිය.
මිදුල අතුගා ,මල් පහන් පූජා කර, බුඳුන් නමදින ආනන්ද හාමුදුරුවන් ඉන්පසු උදෑසන ආහාරයද ගෙන නොයෙකුත් රාජකාරීවල යෙදේ. මුළු පන්සල් භූමියත්, පාරේ මදක් දුරකට යන තෙක්ම හමන හඳුන්කූරු සුවඳත් මට අදටත් ගෙන එන්නේ මිහිරි මතක සටහන්ය. මමද අර කොලු රැළ සමගම පාසැල් ගියෙමි. මා කිවු පරිදි ගෙවල් පේළියේ සිටි බොහොමයක් කොලුවන් රාජකීයයන් වූ අතර කෙල්ලන් කොල්ලුපිටිය, බම්බලපිටිය කාන්තා පාසල්වල සිසුවියන් විය. උදය වරුවේම පන්සල තුළ ඇත්තේ විශාල ගාලගෝට්ටියකි. කැම්පස් යාමට සැරසෙන හාමුදුරුවරුන්ද, අනිකුත් අයද එක පිම්මට වැසිකිළි කැසිකිළි කටයුතු වලටත්, උදේ ආහාරය ගැනීමටත් පෝලිම් ගැසීය. හීල් දානය රැගෙන විත් සිටිනා අයවේ නම් ඒ චාරිත්‍රත් පැවැත් විය යුතුය. පැවිදි ජීවිතය තුළ මේ සියල්ලක්ම ඉවසා වදාරා සිටිය යුතුවේ. ලෙහෙසි පහසු කටයුත්තක නොවන්නේ අධ්‍යාපනයේ යෙදෙන හිමිවරුන්ටය. ඒව පසුව සාකච්ඡා කල යුතුවේ. වැසිකිළි හය හතක් සහ නෑම සඳහා හිරගෙදර වැනි වතුර ටැංකියක්ද විය. දාන ශාලාවද එකවර 15-20 අසුන් ගැනීමට හැකි ලෙස සකසා තිබුණි. මේ සියලු වැඩ කටයුතු මැද නායක හිමියන්ද සිංහයෙක් සේ විමසිල්ලෙන් බලා සිටී. කුස්සියට ගොස් විශාල තේ ජොග්ගුව හැදීමටත්, ඒ අතරතුර තවත් වැඩක් ඇත්නම් එයට උදව් වීමටත් කඩියෙක් සේ යුහුසුළු විය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අපේ භාෂාවෙන් පුදුම පොරක් විය.
ඩුප්ලිකේෂන් පාරේ සිට වාළුකාරාමය පාරට හැරුණු තැනම තිබුණේ විශාල නාන බාල්දි 15-20 සහිත, අවට මිනිසුන්ට පැමිණ මුදල් ගෙවා ස්නානය කරගැනීමටත්, රෙදි සෝදා ගැනීමටත් තිබු ස්ථානයක්ය. මේ නාන බාල්දිය යැයි හැඳින්වූ තැන් ගැන බොහෝමයක් දෙනා නොදන්නවා යැයි මම සිතමි. නාන බාල්දි කොළඹ නගරයට පමණක් සීමාවූ සංකල්පයක්දැයි මට සිතේ. මෙවැනි ස්ථානයන් අන් කවර නගරයකවත් මම දැක නැත. කොම්පඤ්ඤවීදියේ මෙවැනි තැනක් තිබූ බව දැක ඇතත් මරදානේද එවන් තැනක් තිබූ බවත් අසා තිබුණි. මේ ස්ථානයන් පෞද්ගලික හිමිකරුවන් විසින් මුදල් අය කර ගැනීමෙන් පවත්වා ගිය තැන්ය. එක දිගට එකිනෙකට යාබදව සිමෙන්තියෙන් බැඳ තිබූ විශාල ටැංකි පේළි කිහිපයක් වේ. මේ ටැංකිවලට නිතරම විශාල වතුර පොම්ප මගින් ජලය පුරවනු ලබයි.මගේ මතකය නිවැරදි නම් එක් වතුර ටැන්කියක් ශත පනහක් හෝ ශත හැත්තා පහක් පමණ විය. එක් ටැංකියකින් ඇති පදමට නාගැනීමටත්, රෙදි සෝදා ගැනීමටත් ප්‍රමාණවත් විය. සමහරුන් තම කුඩා දරුවන් නාවා පිරිසිඳු කර ගත්තේත් එකම නාන බාල්දියකින්ය. වතුර හිසට වත්කර ගැනීම සඳහ කුඩා බාල්දි හෝ කම්බියක් ගැට ගැසූ විශාල ටින් තබා තිබුණා මතකය. ගැහැනුන් සඳහා කොටසක් වෙන්විය. මෙවැනි ස්ථාන මරදාන, කොම්පඤ්ඤවීදිය අවට තිබුණේ ඇයිදැයි සිතා ගත හැකි මුත් කොල්ලුපිටියේ මෙවැනි ස්ථානයක පවත්වා ගෙන ගියේ, වාලුකාරාම පාර පදිංචිව සිටි ගෙවල් පේළියේ මිනිසුන් ඉලක්ක කර ගෙන දැයි කීමට නොදනිමි. නමුත් ඔවුන් වෙනුවෙන් වැසිකිළි පද්ධතියක් සහ නාන කාමර පේළියක් එම පාරේම අයිනේ විය. ඒ කෙසේ වෙතත් මේ නාන බාල්දිය උදය වරුවේත්, හැන්දෑවේත් මිනිසුන්ගෙන් පිරී ඉතිරී තිබුණි. මේවා දියසෙවෙල, පාසි බැඳීමෙන් තොරව ඉතා පිරිසිඳුව පවත්වාගෙන යාමට සේවකයෙක් හෝ දෙදෙනෙක් විය.
මේ ප්‍රදේශය එවකට බොහෝ ප්‍රසිද්ධ දේශපාලකයින් පදිංච්වී සිටි යුගයකි. ඔවුන් බොහෝ දෙනෙකු අද ජීවතුන් අතර නැත. මේ බොහෝ දෙනා පන්සලේ ක්‍රියාකාරී දායකයින් නොවූවත්, මාසිකව හෝ යම්කිසි කාල සීමාවක් තුල නොවරදවා දානයක් පිරීනැමීය. බොහෝදෙනා පිසින ලද ආහාර වෙනුවට මුදල් පරිත්‍යාගයක් කිරීමට පුරුදුවී සිටියහ. නියමිත දිනයට දිනකට හෝ දෙකකට පෙර දානය මතක් කරදීමට යෑම පන්සලේ රාජකාරිය විය. මේ කටයුත්ත ප්‍රේමදාස හෝ බන්දුට පැවරී තිබුනි. මමත් ඔවුන් සමග පසුපසින් යෑමට කැමැත්තක් දැක්වූයේ සිගරට් බාග ගැසීමටත්, රවුමක් ගසා අවට තොරතුරු බලා ගැනීමටත්ය.
එවකට දේශපාලන ප්‍රබලයෙක්වූ රොනී ද මැල් මහතාගේ බගතලේ පාරේ නිවසින් සෑම මාසයකට වරක්ම ප්‍රණීත පිසූ අහාර, රසකැවිලි, පිටිකිරි සිට හකුරු මුල දක්වා සියල්ල සම්පාදනය කෙරුණි. දන්තාලේප, සබන් වැනි දේද මසුරු නැතිව සපයන ලදි. 15-20ට සෑහෙන මේ දාන වේල රැගෙන ඒමට දෙතුන් දෙනෙක්වත් එම නිවසට යායුතුය. ඔවුන් කිසි විටෙකත් පන්සලට පැමිණියේ නැත. විශේෂ අවස්ථාවකටවත් ආවාදැයි මතක නැත. පාසැල් නිවාඩු දිනයක නම් මමත් ඔය වැඩයට හවුල්වුණෙමි. කඩදාසි කවරවල සහ වෙනත් ආකාරයෙන් ඔතා තිබූ භාණ්ඩ පමණක් ඔසවාගෙන ඒමට මම සැමවිටම උත්සාහ කරේ, පාසල් මිතුරන් රාශියක් සිටින්නේත් ඔය අවට පාරවල් වල නිසා, ඔවුන්ගේ කතාබහට ලක්වේවි යන ලැජ්ජාව නිසාමය. අනික් එවුන් නම් පන්සලේම රාජකාරිවල යෙදුණු නිසා ප්‍රශ්නයක් නොවීය. වියළි භාණ්ඩ වලින් එකක් හෝ දෙකක් පන්සලට ගෙන ඒමට පෙර යටිමඩි ගසා ගත යුතුබව ප්‍රේමදාසත් බන්දුත් මට පැවසීය. මේවා පසුව මුදල් කර ගත හැකි බවත්, ඒවා සිගරට් බීමට වියදම් කරන බවත් දැන ගත්තෙමි. අන්තිම අමාරු අඩියක සිටීනම් දේවාලයේ පඬුරු ගැලවීමටත් මැලි නොවිය. බත්ගෙන ඒම සඳහා බාල්දියක් වැනි කදිම භාජනයක් තිබූ අතර වෑංජන සඳහා එකිනෙකට සම්බන්ධ කල හැකි ටිෆින් කැරියර්ස් වැනි විශාල මෙවලම් කිහිපයක්ද විය. මේ මොනවා ලැබුණත් පනසලේ අර්ක්කැමියාවූ කරෝලිස් අයියාට දිනපතාම තවත් බත් හැළියක් සහ හොදි මාළු පිනි උයා පිහා තබන්නට සිදුවූයේ පන්සලෙන් කන්නට සිටි අය බොහෝවූ නිසාය. ඉතිරිය රෑ කෑමටය.
රොනී ද මැල් බිරිඳ මල්ලිකා ද මැල් මහත්මිය ඉතා උවමනාවෙන් කුස්සියේ සේවිකාවන් සමග මේවා පිළියෙල කර බාරදෙන අයුරු කිහිප විටක්ම මම දැක ඇත්තෙමි. එම පවුලේ යම්කිසි ආබාධයකට ගොඳුරුවූ දරුවෙක් සිටි බවත් මතකය. රොනී ද මැල් මහතාත් සරමකින් සැරසී ,කණ්ණාඩි කුට්ටමේ පැත්තක් මුවග රඳවා කල්පනා කරමින් වත්තේ සක්මන් කරන සැටි අනන්තවත් දැක ඇති අතර, ඔහු වැඩිපුර කතාබහ කල පුද්ගලයෙක් නම් නොවීය.
වාලුකාරාමයේ පදිංචිව සිටි ගිහි පැවිදි උදවියත්, එහෙදී මට හමුවූ පන්සල හා සබඳකම් පැවැත්වූ දේශපාලකයින්, ව්‍යාපාරිකයින් ගැනත් පසුව ලියන්නට බලාපොරොත්තුවෙමි.

Thursday, May 15, 2014

අවුල් වන්නට පෙර (35)…1977 මැතිවරණ

මගේ අටවැනි නවාතැන්පොළට පිවිසීමටත්, ඒ හා බැඳුණු තොරතුරු ලියා තැබීමටත් පෙර, මා පන්සලේ නැවතී සිටි කාලයේ රටේ සිදුවු තවත් එක් පෙරළියක පිළිබඳව ලියා තැබීම සුදුසු යැයි සිතුවෙමි. ඒ 1977 මහා මැතිවරණයයි. පැවති ශ්‍රිලනිප පාලනයට අති දැවැන්ත පරාජයක් හිමිකර දෙමින් එජාපය පාලන බලය ලබාගත්තේ මේ මැතිවරණයේදීය. ශ්‍රීලනිපය ආසන අටකට බස්සවමින් ආසන දහ අටක් දිනාගත් ද්‍ර.එවිපෙ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය හිමිකර ගන්නා ලදී. ෆෙඩරල් පක්ෂයේ නායක එස්.වී. චෙල්වනායගම්ගේ මරණයෙන් පසු යම් යම් ද්‍රවිඩ කංඩායම් එකතුවී අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් මෙම පෙරමුණ ගොඩ නගාගත් බව එදා සාකච්ඡා විය. මේ සිදුවූ මැතිවරණ ප්‍රතිඵලය තුළ රටේ අනාගතය පෙළගැසුණු ආකාරය පිළිබඳ විග්‍රහය දේශපාලන විචාරකයින්ට පවරා මම ඇසූ දේ සහ දුටු දේ ලියා තබන්නෙමි.
පාලන බලය හිමිකර ගත් පක්ෂයේ ආධාරකරුවන් විසින් පරාජිත විරුද්ධ පාක්ෂිකයින්ට ඒ තරම් අඩන්තේට්ටම් , මැර ප්‍රහාර එල්ල කෙරූ මෙවන් අවස්ථාවක් ගැන ශ්‍රීලාංකීය දේශපාලන ඉතිහාසය තුළ ඉන් පෙර හෝ ඉන් පසුවත් මම අසා නැත. ඒ තරම් අවිචාරවත් සමයක්වී නම්, ඒ 1983 කළු ජූලිය නම්වූ අප්‍රසන්න, මෘග, ම්ලෙච්ඡයන් නීතිය අතට ගත් සමය යැයි හැඳින්විය හැකිය. 1989 පිළිබඳව ලිවීම පසුවට තබාගතිමි. මේ යුග තුනේදීම සිදුවූ ඒ අවාසනාවන්ත තත්වයන් ඇසින් දැකීමට තරම් මිනිසුන් වීම පූරුවේ කල එක් එක්තරා පාප කර්මයක් යැයි මගේ සමකාලීනයෙක් මෑතකදී මා හා පැවසීය. සත්තකින්ම එය ඇත්ත යැයි මමත් සිතන්නෙමි.
1977 පශ්චාත් මැතිවරණ අපරාධයන් සඳහා එක් හේතුවක් වූයේ 1972 ව්‍යවස්ථා සංශෝධනයත් සමගම වසර දෙකකට මැතිවරණය කල් දැමීමට සිරිමාවෝ රජය ගත් තීරණය මත විරුද්ධ පාක්ෂිකයන් තුළ ඇතිව තිබූ තෙරපුම සහ ක්‍රෝධය යැයි මම අනුමාන කරන්නෙමි. මැතිවරණ ප්‍රචණ්ඩත්වයන් සාධාරණීකරණය කිරීමට එය හේතුවක් නොවිය යුතුය. මෙම ව්‍යවස්ථාව යටතේ පැවැත්වූ එකම සහ අවසාන මැතිවරණය මෙයවේ. පොලිසියට සතියක් නිවාඩු දෙනවා යැයි මැතිවරණ වේදිකාවල ජේආර් ජයවර්ධන පොරොන්දු විය. ඇට රාත්තල් අටක පොරොන්දුවද අඩක් කුසගින්නේ සිටි ජනතාවට වැදගත් විය.
අද බොහෝ දෙනෙකුට අමතකව ඇතත් 1977 මැතිවරණයෙන් පසු උතුරු පළාතේද යම් ප්‍රචණ්ඩත්වයක් ඇතිවිය. රාජ්‍ය මර්දනය යාපනයටද මුදා හැරිණි. එහිදී දෙමළ ජනයා දෙසීයකට අධික ප්‍රමාණයක් මිය ගිය බවද කියවිණි. මේ සිද්ධියට අදාළ නොයෙකුත් කතා ප්‍රචාරයවූ අතර මට ඒ පිළිබඳ මතකය අවුල්ය. කාලීනව වර්ධනයවූ දෙමළ ජාතිවාදී ගැටලුවලට මෙම සිද්ධියත් පදමට ලුණු ඇඹුල් සපයන්නට ඇතැයි සිතාගත හැක. මේවා ගැන ගැඹුරින් විග්‍රහ කිරීමට තරම් මගේ දැනුම ප්‍රමාණවත් නොවේ. කෙසේ හෝ වේවා මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු යුඇන්පී නොවූ බොහෝ ආධාරකරුවන්ගේ උන් හිටි තැන් පවා අහිමි විය. ජීවිත අහිමි විය. ගම්බිම් අත හැර පලා ගියෝය. ජේආර් ජයවර්ධන මොන පොරොන්දුව අමතක කළත් එක් පොරොන්දුවක් ටක්කෙටම ඉටු කළේය. පොලිසියට සතියක් නිවාඩු දෙනවා යැයි කියු නිසා පොලිසිය නිදි වැදුණේය.
අපි ඡන්ද ප්‍රතිඵල ඇහුවේ පන්සලේ ගුවන් විදුලි යන්ත්‍රයෙන්ය. එන්න එන්නම ඡන්ද ප්‍රතිඵල නිවේදනය කිරීම පරක්කු වෙන්නට විය. නායක හාමුදුරුවෝ කිවේ පරාජය ගැන මුලින් දන්නා බවත්, දැන්නම් වැඩේ හොඳටම ජූනියස් බාස්ට ගිහින් බවත්ය. සමහරක් නරක ආරංචි නිසා බොහෝ අය සිතුවේ ශ්‍රීලනිප බල කණුවක්වූ නායක හිමියන්ට කරදර විය හැකිද යන්නය. මම එදත් බය නැහැ, අදත් බය නැහැ යැයි කියු මේ යෝධ පුරුෂයා, ප්‍රතිඵල අසන්නට අවදි කරන්න යැයි කියා නිදන්නට ගියේය. මට අදත් හොඳහැටි මතක පළමුවන ප්‍රතිඵලය නිකුත්වුණේ සම්මන්තුරේ ආසනයේය (සුධීකගේ බ්ලොගයේ තවත් කවුරුන් හෝ මේ බව සඳහන් කර තිබුණී). කේවල ආසන ක්‍රමයට පැවැත්වූ අවසාන මැතිවරණය මෙය විය.
මට වඩාත් සමීපවු මැතිවරණ ප්‍රතිඵල වූයේ, මා නැවතී සිටි බටහිර කොළඹ ආසනයත්, කෝට්ටේ, මහරගම, අවිස්සාවේල්ල සහ ඇහැලියගොඩ ආසණයන්ය. අපේ ගම් පළාතත්, තාත්තාගේ සමසමාජ මිතුරන් තරඟකල ආසනයන් වුයේ ඔය පළාත්ය. බටහිර කොළඹ ජේආර් ජයවර්ධන ජයග්‍රහණය කළේ අති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින්ය. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ පැරදෙන නිසාම දැමු අපේක්ෂකයෙක්වූ ලාල් සල්ගාදු නම් කෙනෙකි. බටහිර කොළඹ එදාත් අදත් යුඇන්පී බලකොටුවකි. මගේ උපන් බිමවූ දෙල්කඳ අයිතිව තිබුණේ කෝට්ටේ ආසනයටය. මේ මැතිවරණ කොට්ඨාසය මහරගම නමින් තවත් කොටසකට වෙන්වූ බැවින්, එදා කෝට්ටේ කොටා නමින් හැඳින්වූ හිටපු කතානායක ස්ටැන්ලි තිලකරත්න මහරගමින් ඉදිරිපත් විය. කෝට්ටේ ආසනයට ඉදිරිපත් වූයේ 1977 මැතිවරණයට කලින් යුඇන්පී ප්‍රබලයෙක්වූ ජිනදාස නියතපාලය. මොහු දේශපාලනයේ අවාසනාවන්තම මිනිසා කරමින් යුඇන්පියේ ආනන්ද තිස්ස ද අල්විස් කෝට්ටේ අසුන ජයගත් අතර, එම ආසනයෙන් කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ කෙරූ අපේ ගමේ මිනිහා, තාත්තාගේ හිතවතා කේ.පි.සිරිවර්ධන ඉතා අඩු ඡන්ද ප්‍රමාණයක් ලැබීය. අති දැවන්ත දේශපාලන චරිතයක්වූ කතානායක ස්ටැන්ලි තිලකරත්නව මහරගමින් පැරදවූයේ යුඇන්පියේ ප්‍රේමරත්න ගුණසේකර නම්වූ නවකයාය. මොහු සිනමාශාලා සේවකයෙක් ලෙස රැකියාව කෙරුවෙක් බව මිනිසුන් පැවසීය. ජනතා කලකිරීම වටහා ගැනීමට හොඳම නිදසුනක් මෙය විය යුතුය. අවිස්සාවේල්ල ආසනයට මහජන එක්සත් පෙරමුණෙන් තරඟ කල දිනේශ් ගුණවර්ධන පරාජය කරමින් යුඇන්පියේ එම්.ඩී.ප්‍රේමරත්න නම් නවකය ජය ලැබීය. තාත්තාගේ මිතුරා සමසමාජයේ චන්ද්‍රා කුමාරගේ අන්ත පරාජයක් ලැබීය. ඇහැලියගොඩින් වාසුදේව නානායක්කාර පරදමින් කුලරත්න නම් කෙනෙකු ජය ගන්නා ලදි. අපේ තාත්තාගෙත්, නායක හිමියන්ගේත් දේශපාලන අදහස් හා එහි නායකයින් 1977 ජනතා කැමැත්ත මත දේශපාලන භූමියෙන් අතුගා දමන්නට විය. මමද තදින් කම්පාවුණෙමි. වාසනාවකට මේ දෙදෙනාගෙන් කිසිවෙක් මැර තර්ජනයන්ට ගොඳුරු නොවීය.
මෙම මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේදි ආර්.ප්‍රේමදාස අගමැති ලෙස පැවැත්වූ කථාවේදි “වලව්වක උපන් අවජාතක කුමාරයෙකුට වඩා. පිටකොටුවේ එළවළු බක්කියක උපන් ප්‍රේමදාස …..”යැයි කතාවක් පැවැත්විය. මට හරියටම එහි වචන මතක නැත. ඒ මැතිවරණ වේදිකාවේ ප්‍රේමදාසට එල්ලවු ප්‍රහාරයට,අනුර බණ්ඩාරනායක වෙත දුන් ප්‍රතිප්‍රහාරයක් විය. නමුත් මේ කථාවේ එම කොටස බොහෝ දෙනා පිළිකෙව් කරන්නට යෙදුණි. ඉදින් පසු අගමැති ප්‍රේමදාස ඔහුගේ කතා ශෛලිය වෙනස් කෙරූ බව මගේ මතකයයි.
අපේ තාත්තා, 1960 ගණන්වල සිට පැවත්වූ ඡන්දයන්හී ප්‍රතිඵල ,පුවත්පත් වලින් කපා අලවා තැබු වටිනා එකතුවක් විය. තාත්තා නැවැත්වූ 1977 මැතිවරණයේ සිට පුතා වැඩ පටන් ගත්තේය. මට ඕවා කට පාඩම් විය. එතැන් සිට 2000 මැද භාගයක් වෙන තෙක් පැවැත්වූ සියලු ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු, ජනාධිපතිවරණ සියල්ලකම ප්‍රතිඵල (ආසන මට්ටමින් පවා)ලොකු සීආර් පොත්වල අකුරෙන් ලියා තබා ඇත (ප්‍රධාන පක්ෂවල නාමයෝජනා ලැයිස්තුද ඇතුළත්ය ).මා වරක් සමසමාජ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට ගියේ යම් තොරතුරු රැස් කිරීමකටය. ඒත් එක් මැතිවරණයක් සඳහා සංධානගතව ඉදිරිපත්වූ සමසමාජ අපේක්ෂයන් කවුදැයි සොයාගැනීමටය. ඒද මගේ මේ එකතුවට අවශ්‍ය නිසාවු බැවින්ය. එහිදී මට හමුවූ එවකට සමසමාජයේ ප්‍රධාන ලේකම්වූ විමලසිරි ද මැල් මහතා, මා සතු මේ තොරතුරු ගැන පුදුමයට පත්විය. ඒ සියලුම පොත්පත් සහ තොරතුරු සමසමාජ ප්‍රධාන කාර්යාලයේ පුස්තකාලයට පරිත්‍යාග කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටියේය. නමුත් ඒවා නොදිසිටීමට තරම් මම මසුරු වුණෙමි. දුන්නා නම් ඒවා අදටත් සුරක්ෂිතව පවතී. මෑතකදී මට දැනගන්නට ලැබුණේ සියල්ලක්ම පුස් කා තෙත බරිතවී ඇති බවය. මීට වසර ගණනාවකට පෙර තිබූ තැන්වලම තිබෙන්නට දමා තිබූ නිසා මේ සිදුවී ඇතැයි සිතේ. මේ සමගම විනාශවූ තවත් ඉතාමත් වටිනා (මූල්‍ය නොවේ )යම් යම් එකතුවක් මා සතුව තිබුනි. නැතිවූ දේවල් ගැන මට දැන් කිසිම උනන්දුවක්ද නැත. ඒ ගැන ලියන්නට ගියොත් කතාව දිග වැඩිය.
මැතිවරණ සහ එහි ප්‍රතිඵල විස්තරයන් ගැන මට ඇත්තේ පුදුම පිස්සුවකි. මට ඡන්ද අහන්නට ඇත්තේද එවැනි පිස්සුවකි. මම පසුගිය බස්නාහිර/දකුණ ඡන්දයද මුල සිට අග දක්වාම නොකඩවා සවන් දුන්නෙමි. මේවා ගොන් වැඩය. නමුත් සමහරක් ගොන් වැඩවලට මම තවමත් ආසා කරන්නෙමි. මේ පිස්සුව නිසාම මම අද අන්තර්ජාලයෙන් ලැබුනු තොරතුරු පහත අකාරයට සකස්කර ලියා තබන්නෙමි. මගේ පිස්සුව කියවා ඔබත් පිස්සෙක් වෙන්න.
මට වෙච්ච දේට පෙර 1977දී රටට වෙච්ච දේ ලියවුනේ ඔන්න ඔහොමය!!
එදා සිටි සහ අද සිටිනා දේශපාලකයින් පිලිබඳ ඔබම සංසන්දනය කර බලන්න!!!!
1977 ආසණ මට්ටමින් ලැබු ප්‍රථිපල:
UNP…….140
TULF…… 18
SLFP…….08
CWC……..01 (Thondaman Sr)
OTHERS…..01 (R.P.Wijesiri)
ජයග්‍රහණය ලැබු යුඇන්පී සමහරක් (මොවුන් බොහෝ දෙනා නවකයින් විය )
R.Premadaasa ….. MDH JAYAWARDHANA … RENUKA HERATH … AMARA PIYASEELI ….
M.H.MOHOMED.. GAMANI JAYASURIYA .. RUPA KARUNATHILAKA … JAYAWICKRAMA PERERA…
S.DE.S.JAYASINGHE .. TYRONNE FERNANDO … RONNIE DE MEL … DB WELAGEDHARA….
WIJAYAPALA MENDIS…. BAKEER MARKER … MONTEGUE JAYAWICKRAMA… GM PREMACHANDHRA….
JOSEPH MICHAEL … ALICK ALUWIHARE …. RANJITH ATHAPATTU… ELB HURULLE…
SARATHCHANDHRA RAJAKARUNA … ACS HAMEED… PMB CYRIL…. AMS ADHIKARI….
RANIL WIKRAMASINGHE …. EL SENANAYAKA… P DAYARATHNA …. HGP NELSON…
CYRIL MATHEW .. DB WIJETHUNGA… HERALD HERATH… PERCY SAMARAWEERA…
WEERASINGHA MALLIMAARCHCHI … GAMINI DISANAYAKA … FESTUS PERERA … WLM LOKUBANDARA ….
NISSANKA WIJERATHNA … WIMALA KANNANGARA … GAMINI ATHUKORALA … NANDA MATHEW ….
LALITH ATHULATHMUDALI … GD MAHINDASOMA … VINCENT PERERA … ARIYARATHNA JAYATHILAKA .
පරාජය ලැබු ශ්‍රීලනිප සමහරක් (මොවුන් බොහෝ දෙනා ජ්‍යේෂ්ඨයින් විය )
AHM FOWZIE …. THAMARA ILANGARATHNA … MAHINDA RAJAPAKSA…
CV GUNARATHNA… RATHNASIRI WICKRAMANAYAKA… BASIL RAJAPAKSA…
VIJAYA KUMARANATUNGA … MANGALA MUNASINGHA… KB RATHNAYAKA…
LAKSHMAN JAYAKODI… TB TENNAKOON …. HB SEMASINHA…
JRP SOORIYAPPERUMA … ANURUDDA RATWATTA … JAGATH BALASURIYA…
SKK SURIYARACHCHI… DHIMU JAYARATHNA … RATHNA DESHAPRIYA SENANAYAKA…
FELIX DIAS BANDARANAYAKA … HECTOR KOBBAKADUWA…. DHARMASIRI SENANAYAKA…
TB ILLANGARATHNA…. ARIYA BULEGODA..
පරාජය ලැබු වාමාංශික නායකයින් සමහරක් (මොවුන්ගෙන් බොහෝ දෙනා පාර්ලිමේන්තුවට පත්කරගතව තිබු අය බව මගේ විශ්වාසයයි )
PIETER KEUNEMEN … NM PERERA …. SA WICKRAMASINHA … COLVIN R DE SILVA….
BENARD SOYZA … WIMALASIRI DE MEL … CHOLMONDELEY GUNAWARDHANA…. BY THUDAWE…
VIVIEN GUNAWARDHANA…. BATTY WEERAKOON…. MG MENDIS… DEW GUNASEKARA…
LESLI GUNAWARDANA…. ANIL MUNASINGHA… EALIAN NANAYAKKARA … TB SUBASINGHA….
NANDA ELLAWALA…. ATHAWUDHA SENEVIRATHNA …. SARATH MUTHTHETUWEGAMA.
****
රෙජිනෝල්ඩ් කුරේ….ඡන්ද 54යි…බේරුවල ආසණය…ස්වාධීන
එස්. බී. දිසානායක…ඡන්ද 400යි…වලපනේ ???? කොමියුනිස්ට් පක්ෂය

Wednesday, May 7, 2014

අවුල් වෙන්නට පෙර (39)වුනාට බම්බලපිටිය (01)


මගේ පාසැල් කාලය කිසිසේත්ම එක්තරා ඉලක්කයක් කර ගමන් ගත් නිරවුල් මාර්ගයක් නොවීය. ඒ සඳහා බලපෑ නොයෙකුත් බාහිර සහ අභ්‍යන්තර සාධක බොහෝමයකි. අභ්‍යන්තර සාධක යැයි කිව්වේ, මා විසින්ම මට එරෙහිව නගාගත් බාධකයන්ය. ඒ මගේ දුර්වලකම්ය. මේ කාලයේ කොහේ හෝ අවස්ථාවක මම තවත් අකරතැබ්බයකට මුහුණ දුන්නෙමි. මගේ පාසැල් මිතුරෙකුවූ හේමමාල්ගේ ,වටිනා කැමරාවක් අළුත් වැඩියා කරනා තැනකට භාර දීමට මම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණෙමි. එම ස්ථානය පිහිටා තිබුණේ මා නැවති සිටි ගල්කිස්ස නිවස අසලමය. මොනයම් හේතුවක් මත හෝ එම කැමරාව ඔවුන් අතින් අස්ථාන ගත විය. මට කට උත්තර නැතිවිය. ටික දිනකින් මෙම කුඩා ව්‍යාපාරික ස්ථානයද වසා දමන ලදි. මගේ මිතුරාට මුහුණ දීම ඉතාමත් දුෂ්කර කාරියක් විය. හේමමාල් කිහිප විටක් ඒ පිළිබඳව විමසා සිටි බැවින් ඔහුව මඟ හැරීම අනිවාර්ය විය. කොහොමත් පාසලින් කට්ටි පැනීමට ඇල්මක් දැක්වූ මම, මේ කාරණයත් තවත් පිටිවහලක් කර ගන්නට ඇතැයි සිතමි. ටික කාලයකින් පසු හේමමාල් ඒ ගැන විමසීම පලක් නොවනු ඇතැයි සිතන්නට ඇත්තේ මා ගැන වරද සිතින් නොවේ යැයි අදටත් සිතමි. මීට කලකට පෙරත් අඩෝ ඒ.එන්. යැයි පණිවිඩයක්ද එවා තිබිණි. ඒවා එහෙමය. ඒ මිත්‍රයා අද එක්සත් ජාතින්ගේ සංවිධානයේ වගකිව යුතු තනතුරක් හොබවන මහාචාර්ය හේමමාල් ජයවර්ධනය. වෛද්‍යවරයෙක්ද වන “ජාවා”, පාසැල් කාලයේ දක්ෂ රගර් ක්‍රීඩකයෙක් මෙන්ම, හොඳ ඡායාරූප ශිල්පියෙක්ද විය.
අප පාසැල පිහිටියේ එවකට අධ්‍යාපන ත්‍රිකෝණය යැයි කියූ භූමි ප්‍රදේශය තුළය. රීඩ් මාවතත්, රේස්කෝස් ඇවනිව් සහ රාජකීය පාරත් වටකරගත් මේ ත්‍රිකෝණය තුළ කොළඹ විවියත්, තර්ස්ටන් විදුහලත්, රාජකීය විදුහලත් හැර අන් ගොඩනැගිල්ලක් තිබුණේ නැත. රාජකීය විදුහලේ සිට මෙම වටිනා ආයතන තුන හරහා යම් අයුරකින් හෝ රහසින් පිටව යෑමට ස්ථානයන් සොයා ගැනීමට අප දක්ෂයින් වූවා සේම, ඒ මිල කල නොහැකි ඉගෙනුම කඩාකප්පල් කරගැනීමට තරම් මෝඩයන්ද වූහ. අප විදුහලේ ප්‍රධාන ගේට්ටුවෙන්, පාසැල් කාලය තුළම වුවද අවසර ඇතිව පිටව යාමට ක්‍රමවේදයක්ද විය. ඒ සඳහා ශිෂ්‍ය වාර්තා පොත හරහා මව්පියන්ගේ අත්සනින්, පාසැල් අවසන් වීමට පෙර පිටත්ව යෑම සඳහා අවසර ඉල්ලා සිටිය හැකිය. ඉන් පසුව අංශ ප්‍රධාණී ගුරුතුමාවූ ඉයුස්ටස් මහතා අනුමත කර අත්සන් තැබූ පසු, අති උත්තම හනීෆා නම්වූ ආරක්ශක නිළධාරියාගේ සියුම් පරීක්ෂාවෙන් පසු ගේට්ටුවෙන් පිටව යා හැක. මේ මිනිසුන් එදා අපට හිසරදයක් වුවත් ඉතා සොඳුරු මිනිසුන් නොවේදැයි අද හිතේ. හනීපා ඉංග්‍රීසියෙන් මිස කතා නොකරයි. තද නිල් පැහැ කලිසමත්, ලා නිල් පැහැ කමිසයත්, තද නිල් පැහැ ටයි පටියත් පලඳා සීරුවෙන් සිටී. කළු සපත්තු යුගල දීප්තිමත්ය, විදුහල්පතිතුමාගෙන් ගැලවුනත් හනීෆාගෙන් බේරිමක් නැත. නමුත් බිග් මැච්දාට ආදී සිසුන් සමග කුණු ඩෝප්ය. පහුවදා ආපහු පරණ හනීපාය. මම ඔහුට ගරු කරන්නෙමි. ඔවුන් සොඳුරු මිනිසුන්ය.
තාත්තාගේ අත්සන යෙදීම ඉතා අපහසුය. වේලාසනින් පිටවීම සඳහා මම ඉතා පහසුවෙන් අපේ අම්මාගේ සරල අත්සන යොදා ඉල්ලීම කරන්නෙමි. ඉයුස්ටස් මහතා වෙත මුලින් මුලින් මේ කටයුත්ත සඳහා ගියත්, පසුව එම ගමන අතහැර දැම්මේ , අපි පොඩි ඉයුස්ටස් නමින් හැඳින්වූ අපේ පංතියේ මිතුරා, ඉයුස්ටස් සර්ටත් වඩා හොඳින් ඔහුගේ අත්සන ගසා දීමට හපනෙක්වූ බැවිනි. අති උත්තම හනීෆාටවත් මෙය වෙනස් යැයි හඳුනාගත නොහැක. මේ පොඩි ඉයුස්ටස් අද ජනාධිපති නීතිඥවරයෙකි.
මේ කොයි යම් ආකාරයෙන් හෝ පාසැලෙන් පිටවී යන අප කිහිප දෙනා, තර්ස්ටන් එක ඉදිරිපිට රහීමා හෝටලය අසලදී මුණ ගැසෙන්නෙමු. එතැනින් ප්ලේන් ගෝදම්බ රොටි සහ කෑලි නැති මස් හොදිත්, ප්ලේන්ටි භාගවලිනුත් සංතර්පනයවී, දුම්වැටි කිහිපයක්ද රැගෙන ඉබාගාතේ ඇවිදින්නෙමු. තර්ස්ටන්, පෙම්බ්‍රොක් කොල්ලෝද කිහිප දෙනෙක් එක්වේ. සමහර විට අප එවකට සුජාතා විදුහල තිබු පාරෙන් ගොස් ඩුප්ලිකේෂන් පාර හරහා බම්බලපිටිය, වැල්ලවත්ත පැත්තටත්, එසේ නැතිනම් වාළුකාරාමය පිටිපස මහානාමය අසල තිබු කුඩා කඩයේ ගංජා නානා හමුවීමෙන් පසු මහජන පුස්තකාලය, විහාරමහා දේවී උද්‍යානය පසුකර ඒ අවටත් සැරි සරසන්නෙමු. මේ කිසිම ගමනක අරමුණක් නොවීය. නමුත් සැබෑ මිනිසුන් හමුවිය.
ඩුප්ලිකේෂන් පාර ඒ කාලයේ ඉතා සන්සුන් ප්‍රදේශයක් විය. පාර දෙපස විශාල ගස්ද, හිස් බිම් පෙදෙස්ද අරුමයක් නොවේ. අදත් මට අමතක කල නොහැකි එක් තැනක් ඇතනම් ඒ බම්බලපිටිය සහ කොල්ලුපිටිය අතරවූ විශාල මාර ගස් යට සෙවණේ එක් රැස්වෙන , බයිසිකල්වලින් කාර්යාලවලට කෑම බෙදන මිනිසුන් එක්වෙන ස්ථානයයි.
කොළඹ නාගරික ප්‍රදේශවල රජයේ කාර්යාලයන්හී රැකියාවේ නිරතවු බොහෝ අයගේ දහවල් ආහාරය තම නිවසින් පිඟානකට බෙදා ,තව පිඟානකින් ආවරණය කර සුදු රෙද්දකින් එය තදකර බැඳ ලේබලයක් ගසා උදෑසන දහය වනවිට සුදානම් කර තබයි. නගර අවට ප්‍රදේශවල නිවෙස්වලින් මේවා එකතුකර ගන්නා බයිසිකල්කරුවන් තම ලී රාමු පෙට්ටියේ ඒවා සුරැකිව එකලස් කරගනී. මෙය එකල ඉතා ජනප්‍රිය ක්‍රමවේදයක් විය. අද මෙන් කඩවල්වලින් කෑමට මිනිසුන් හුරු පුරුදු නොවීය. නුගේගොඩ, දෙහිවල වැනි පළාත්වලින් පවා මේ බයිසිකල්කරුවන් කෑම එකතුකර ගැනීමට පුරුදුවී සිටියහ. මෙය ක්‍රමවත් සේවා සැපයීම් ජාලයක් විය. බොහෝ කාලයකට පෙර අපේ තාත්තාටද දෙල්කඳ අප නිවසේ සිට කොළඹ කොටුවට දහවල් කෑම සැපයූවේ ඔය අයුරින්ය. අවට පෙදෙස්වලින් කෑම පිඟන් එකතුකර ගන්නා මොවුන් ඩුප්ලිකේෂන් පාරේ මේ ගහ යටට එකතුවේ. මෙවැනිම ස්ථානයක් කොළඹ එම්පයර් සිනමා ශාලාව අසලද තිබූ බව මතකය. කෑම පිඟානේ ඇති ලේබලය අනුව, කාර්යාල පිහිටා ඇති ඒ ඒ මාර්ගයන්ට අනුව නැවත මේවා බෙදාගන්න මොවුන් දහවල් කෑම පැයට පෙර ඒ ඒ කන්තෝරුවලට මේවා නිවැරදිව භාර දේ. අතපසුවීම් හෝ කෑම මාරුවීම් ඉතාම අවමවූ මේ ක්‍රමය ඉතා විශ්වාසනීයවූ ක්‍රමයක් විය.
ඒ මිනිසුන්ගේ කඩිසර ක්‍රියාකලාපය දෙසද ඔහේ බලාගෙන සිටිනා අපි, බුලර්ස් රෝඩ් එක හරහා බම්බලපිටියට පැමිණීම එක් චර්යාවකි. බම්බලපිටිය හන්දිය නම් අපූරු තැනකි. කොළඹ නගරයේ ඕනෑම දිශාවකට ගමන් ගන්නා බස් ,හන්දියේ නැවතුම් කිහිපයක නවත්වනු ලැබේ. බොරැල්ල, කිරිබත්ගොඩ, කඩවත දෙසට ගමන් ගන්නා බස් නැවැත්වූයේ බුලර්ස් පාරේ මුල් හරියට වෙන්නටය. තහඩු බස් හෝල්ට් දෙකත්, ඒ කාලයේ සිටම තිබූ පත්තර කඩයත් එදා අයට මතක ඇතැයි සිතමි. මුස්ලිම් පල්ලියක්ද එතනම තිබූ බවත් මතකය. ඔය බස් නැවතුම පිටුපස තිබූ කුඩා නිවාස දෙක තුනකින් එකක පදිංචිව සිටියේ අප පාසැලේ මිතුරු නලීන් ෆොන්සේකාගේ පවුලේ අයය. නලීන්ගේ නිවස අසලටවී කයිය ගැසීමද පුරුද්දක් විය. පසු කාලයකදී නලීන් ෆොන්සේකා, චන්ද්‍රිකා කුමාරතුංග යුගයේ ඉතාමත් ආන්දෝලනයට ලක්වූ ප්‍රබල කැසිනෝ ව්‍යාපාරිකයෙක් විය. පසුව මොහු රටින් පිටව ගිය බවද අසන්නට ලැබුණි.
ගාලු පාරින් බුලර්ස් පාරට හැරෙන විට එක් කොනක තිබුණේ කිරි මංඩලයයි. පාරෙන් අනිත් පැත්තටවූ කොනේ තිබුණේ ඒ කාලයේ කවුරුත් දන්නා ELASTO බෝඩ් එකයි. මේ ඉලාස්ටෝ පුවරුව දිලිසෙන සහ සුළඟට ලෙලදෙන කුඩා ඇලුමිනියම් තහඩුවලින් නිර්මාණය කර තිබුණි. මිල්ක්බෝඩ් එක අපගේ තවත් නැවතුම් පොළක් විය. එකල මෙම මිල්ක්බෝඩ් සංකල්පය බොහෝ නගරවල ව්‍යාප්තව පැවතියේය. කල්කිරි සහ එදිනම පාවිච්චියට කිරි වර්ග මේවායේ විකිණීමට තිබුණි. කඩදාසි ඇසුරුම්වල බහාලු අයිස්ක්‍රීම්, කජු, රටකජු, පැකට්, කැන්ඩොස් චොකලට්ද පොඩි වීදුරු කබඩ්වල පෙනෙන්නට තිබුණි. තැඹිලි කරත්තයක්ද ඒ අසල විය. වසන්ති චතුරාණි නම් ඒ ප්‍රවීණ රංග ශිල්පිනිය පසු කාලයක විවාහවූයේ ඒ අසලම නිවසේ ධනවත් තරුණයෙක් සමගිනි. වීදුරු බෝතල්වල අසුරා, ඇලුමිනියම් වැනි අතින් ගලවා දැමිය හැකි ආවරණයකින් එදිනෙදා කිරි වෙළඳපොළට නිකුත් විය. වැනිලා, චොක්ලට් සහ ප්ලේන් වශයෙන් මේවා නිපදවූයේ ජාතික කිරි මංඩලය විසින්ය. පාසැල් ළමුන් අතර ඉතා ජනප්‍රිය බීමක් විය. කල්කිරි යනු ගෙදර ගෙන ගොස් උණු කිරීමෙන් පසු බීමට ගන්නා කිරි වර්ගයකි.(එසේ නොකර බීමේ ආදිනව අපේ මාතලන් දනී). අප පාසල තුළම මිල්ක්බෝඩ් එකක් විය. අප කුඩා කාලයේ පංතියට කිරි බෙදීම කළේ අපේ හේමන්ත හේරත්ය. ඒ නිසාම ඔහු කිරි හේරත් විය. පසුව කිරා විය. වෛද්‍යවරයෙක්වන මොහු දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස අගනා සේවයක් නිහඬව කරමින් සිටී.
බම්බලපිටිය නගරය සහ අවට පරිසරය සහ අත්දැකීම් මෙසේ ලියා නිම කල නොහැකිය. බම්බලපිටිය හන්දියේ අනිකුත් ස්ථාන ගැන පසුවට ලියන්නෙමි. ලයන් හවුස්, මේ ෆෙයාර් හෝටල් දෙක ඉදිරිපසින්වූ පෙට්‍රල් ෂෙඩ් එක තවමත් තිබේදැයි මම නොදන්නෙමි. එකල අප ලයන්හවුස් තේ කඩය අසල නිතර ගැවසෙන්නෙමු. තරුණයෙක් ලෙස මම පසුකාලයක බම්බලපිටියේ පදිංචිව සිටියෙමි. හැන්දෑවට ඔතැනට බොහෝ රසවතුන් එක්වේ. එතැනදී හමුවූ එක් බර්ගර් ජාතික වයසක මහතකු පැවසූයේ, BILL FORBES නම් 1960-1970 දශකයේ ලෝකයේ ඉතාම ප්‍රසිද්දවූ බටහිර ගායකයා , ශ්‍රීලාංකිකයෙක් බවත්, ඔහු මුලින්ම සේවය කළේ බම්බලපිටියේ පෙට්‍රල් ෂෙඩ් එකේ අත් උදව්කරුවෙකු ලෙස බවත්ය. මම බොහෝ කාලයක් යනතුරු මෙය විශ්වාස නොකළෙමි. නමුත් එය ඇත්තක්ය. වයස 17දී 1955 වසරේ එංගලන්තයට පැමිණ ඇති BILL FORBES ගේ සමකාලීනයන් අතර CLIFF RICHARDS ද සිටිනා බව අසා ඇත්තෙමි. ශාන්ත පීටර්ස් විදුහලේ ආදී සිසුවෙක්වු මොහු ගැන තොරතුරු සෙවීමට කාලය හරස්වේ. ඒ යුගයේ ගීත ඇසීමට ප්‍රිය උදවිය මේ ගැන යමක් දන්නවා විය හැක. ඒ කෙසේ වෙතත් බම්බලපිටිය එසේ මෙසේ තැනක් නොවේ. ඒ ගැන ලියන්නට තව බොහෝමයක් දේ ඇත.
ප.ළි…. මගේ හිතවත්ම පාසැල් මිතුරෙක්වූ ශ්‍රීනාත් ප්‍රේමරත්නගේ ආදරණීය බිරිඳ පිළිකා රෝගයට ගොඳුරුව අප හැර ගොස් ඇති බව දැනගන්නට ලැබුණි. මගේ පාසැල් මිතුරන් මෙය කියවනවානම්, මේ ඔවුන්ගේ දැන ගැනීම සඳහාය. අප ඇයට නිවන් සුව පතමු!!!