Thursday, March 27, 2014

අවුල් වන්නට පෙර (34)….කොහේ යන්නද?


මමත්, අම්මාත් පන්සලෙන් පිටත්වී නිවෙස් බලා යාමට තීරණය කෙරුවෙමු. මගේ පළමු නවාතැනින් පිටත්වීමට සිදුවූයේ මගේ කුඩාකමට සිදුවූ නොදැනුවත්කම නිසාම යැයි මම හිතමි. නමුත් අද මේ පිටත්වන්නේ නොදන්නාකම නිසා නොව වගකීම් අමතක කර හුදු ආත්මාර්ථකාමය නිසාම හුරුවූ රස්තියාදුකාර ජීවිතයට හැඩගැසීම බැවින් යැයි කීමට මම මැලි නොවෙමි. මට වඩා බොහෝ දුෂ්කර ගමන් මාර්ගයන්හී ඇවිදගොස් ජීවිතය ,අධ්‍යාපනය තුළින් ගොඩ නගාගත් ඇත්තෝ බොහෝවූහ. පන්සලේ නේවාසිකව සිටි තරුණ හිමිවරුන් බොහෝමයක් ඊට නිදසුන්ය. දෙමව්පියන්ගෙන් ඈත්ව ජීවත්වන්නට සිදුවීම කිසිසේත්මනිදහසට කාරණයක් නොවේ. මම වගකීම් සහ හුදු වින්දනය අතර අතරමංවූ ගැටවරයෙක් යැයි කීම නිවැරදිවේ. දහසක්දේ හිත තුළ වදයක් වෙන්නට පටන් ගති. සියල්ලක් දෙස උපේක්ෂාවෙන් බලන්නට හුරුපුරුදුවී සිටි අම්මා, මාද කැටුව තර්ස්ටන් පාරේ රහීම හෝටලයට ගොඩවී උණු තේ කෝප්පයක් බොමින් ආගිය තොරතුරු විමසන්නට යෙදුණි. අම්මාගේ තිබු ඒ උපේක්ෂාසීලි යහගුණය අදත් එලෙසම පවති. කුමන කරුණක් හෝ අරභයා දුකක් කනස්සල්ලක් ඇතිවී ඇය හා කතාකළොත්, ඔන්න ඔය කට්ටියම ඇවිත් මෙහේ වැටිලා ඉන්න..පුළුවන් විදිහට කාලා බීලා ඉමු..ඒ ඇයගේ පිළිතුරය. ඇය මෙසේ පවුලේ අනිකුත් අයටත් කියාසිටිනා බව ඔවුන් මට පවසා ඇත. ඇය කවදාත් අප සියල්ලකගේම අයෝමය ශක්තිය විය. ඇය ගැන ලිවීමට නිදසුන් බොහෝමයකි.
වසර එක හමාරකට ආසන්න කාලයක් නිදහසේ පයින් ඇවිදගෙන ගොස් පාසලට ගොඩවීමට තිබු පහසුතම නවාතැන පන්සල විය. මට එය තදින්ම දැනුණේ, පන්සලට යාබදම පාරේ විශාල නිවසක නවාතැන් ගෙන ඉගෙනුම කෙරූ බැසිල් නානායක්කාර ඒ අසලින් නිවෙස් කරා ගමන් කරනු දුටු විටය. මට නවාතැනක් සොයා ගත යුතුය. බස් ගාස්තු වෙනුවෙන් මුදල් තිබිය යුතුය. නවාතැන් පොළ කවර ආකාරයේ විය හැකිද, කොපමණ මුදලක් ගෙවිය යුතුද ආදී වශයෙන් ප්‍රශ්න රාශියක් සිහියට නැගුණේ, අම්මා සමග තේ බොමින් පැවති සතුටු සාමිචිය අතර තුළය.
මේ වනවිටත් තාත්තා රැකියාව කරගෙන යනමුත්, මාසිකව ගෙදර නඩත්තු කිරීමට මහා මුදලක් ඉතිරි නොවන බවත්,තවමත් අපේ මුලු පවුලේම ස්ථිර ආදායම් මාර්ගය ආච්චීගේ විශ්‍රාම වැටුප පමණක් මම දන්නෙමි. තාත්තා තවමත් ණය උගුලෙන් ගොඩවී නැත. අම්මා කිසිවිටෙකවත් තාත්තාගේ දොසක් කියන්නේද නැත. තැන තැන දොස් කිය කියා පසුතැවිලි වීමෙන් පලක් නොවන බවත්, ඒ නිසාම තාත්තා වැරදි හදා ගන්නේ නැති බවත් අම්මා දැරූ අදහස විය. තම පුරුෂයා ගැන නිවැරදිම තක්සේරුව කරන්නේ එම බිරිඳ හැර වෙන කවුරුන්ද? අප පවුලේ උදවිය මේ වනවිට පදිංචිව සිටියේ හංවැල්ල, තුන්නානට නුදුරින් ඊරියගොල්ල ගමේ කුඩා කඩ කාමරයක් බඳු නිවසකය. තාත්තාගේ පියාවු හංවැල්ලේ සීයාද හිටියේ ඒ නුදුරේම වුවත් ඔහුගෙන් රැකවරණයක් පැතීම ,අම්මාට ගෝචර නොවීය. කෙසේ වෙතත් සීයාද ඒ වනවිට පොඩි නැන්දාගේ තොවිල්, බවිල් වලට අනවශ්‍ය ලෙස වියදම් කර බොහෝ මුදල් නාස්තිකර ගෙන තිබුණු අවධියකි. ඒ මදිවාට දීගදෙන වයසද ඉක්මවා යමින් සිටි නැන්දලා දෙදෙනාද තවම ගෙදරය. ඔවුන් මේවා කෙසේ ඉවසා සිටින්නට ඇද්ද..අම්මා මේ ගැනද සිතයි. තාත්තාට වගේ වගක් නැති බව ඇයත් මමත් දනී. අපි දෙදෙනා තවමත් තේ කඩය තුළ කතා බහේය. අම්මාට මේ සියල්ලක්ම කියා ඉවර කල ගත යුතු බව සිතේ. ඒ තම ලොකු පුතන්ඩියාටය. නමුත් ඔහුටද පාරක් ඇති නැති ගානය.
මේ කටුක ජීවන තත්වය අම්මාගේ ඇඳුම් පැළඳුම් තුළින්ද, විඩාබර මුහුණින්ද කදිමට පැහැදිලිවේ. ඇයට තවත් දරාගත නොහැකි විශාල බර පොදියක් ඒ හිස මතම පැටවීම මට කිසිසේත්ම කල හැක්කක් නොවීය. මේ සියල්ලෙන් මිදී කොහේ හෝ පලා යන්නට සිත බලකරයි. මගේ සිත තුළ කැකෑරෙමින් තිබු සිතුවිලි ඇය තේරුම් ගත්තා මෙන් තේ බිලද ගෙවා කඩයෙන් පිටත්වූයේ , ඕවා ගැන ඕනාවට වඩා සිතන්නට උවමනා නැතිබව ඉඟිකරමින් මෙන්ය.
දෛවය යනු කොතරම් පුදුමාකාර දෙයක්දැයි මට විග්‍රහ කල නොහැක. මට එවැනි ඥානයක් නැත. කඩයෙන් පිටව පාරට බහිනාවිට, දුම්වැටියක්ද දල්වාගෙන බැබළෙන මෝටර් රථයකට පිටදී සිටින්නේ ජැන්ඩි පහේ සෝමපාල අයියා බව දැක්කෙමි. එදා ඔහුට පන්සලේ රැකියාව අහිමිවී පිටව ගියාට පසු දැක්කේ මේ මොහොතේය. මම ඔහු වෙත ගොස් කථාකෙරුවෙමි. පන්සලේ සියල්ලන්ටම බැණ වැදුණු සෝමපාල අයියා, අප දෙදෙනාව කාර් එකෙන් පහත්ගමට ගොස් ඇරලවන්නට පොරොන්දු විය. සිදුවූ අකරතැබ්බය ගැන සිතා කලබල නොවන ලෙසත්, ඊළඟ සතියේ දිනක තර්ස්ටන් පාරේ රහීම හෝටලය අසළදීම හමුවෙන ලෙස දන්වා අපව ගෙදර අසලින් ගොඩ බැස්සවිය. ඔහු දැන් සේවය කරන්නේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ රියැදුරු ලෙස යැයි කීවේය. තවමත් ඔහුගේ පෞද්ගලික වැඩ කටයුතු සඳහා හාම්පුතාගේ වාහනය යොදා ගනි. අපව ගෙනත් ඇරලුවේත් එසේය. තවමත් පාඩමක් ඉගෙනගෙන නැති හැටිය. කෙසේ වෙතත් මගේ අටවැනි නවාතැන් පොළ ගැන මට අපැහැදිලි චිත්‍රයක් මැවී පෙනෙන්නට පටන් ගති.
ගෙදර ආර්ථික තත්වය අන්ත අසරණ තත්වයට පත්ව තිබේ. ආච්චීගේ පැන්ෂන් එක මාසයෙන් අඩක්වත් පියවා ගැනීමට නොසෑහෙන බවක් කියවේ. අපේ ගෙදර සිටි ඉන්ද්‍රක්කා ,අම්මාට ලිපියකින් දන්වා තිබුණේ මාසයකට වරක්වත් ඇය නැවතී සිටි නන්දක්කාගේ ගෙදරට ගොඩ වැදෙන ලෙසය. ඉන්ද්‍රක්කාද නන්දක්කා සමග හැකි විටක අම්මාට උදව් කළෝය. නුගේගොඩ, දෙහිවල පැත්තේ නැදෑ ගෙවල්වල රවුමක් ගසන අම්මා ඒ අයගෙන් ලැබෙන දෙයක්ද දරුවන්ගේද, ගෙදර අයගේද බඩ කට පිරවීමට යොදවයි. ඒ වනවිට අප ගම් පළාතේ නිතර නිතර ශ්‍රමදාන සහ සමාජසේවා කටයුතු සංවිධානයවූ යුගයක් විය. ෆිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ ඡන්ද ගබඩාවක් වූ අවිස්සවේල්ල ආසනයෙන් ඔහුගේ පුත් දිනේෂ් ගුණවර්ධනයන්ව යූ,එන්.පියේ එම්.ඩී.ප්‍රේමරත්න විසින් වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් පරදවා තිබුණි. අපේ තාත්තාගේ සමසමාජ සහෝදරයා චන්ද්‍රපාල කුමාරගේ ලබා තිබුණේ ඡන්ද දෙදාහක් හෝ තුන් දාහක් පමණි. තාත්තා එදාත් පරාදය. ඒ කෙසේ වෙතත් යූ.එන්.පී.මන්ත්‍රීගේ ළඟම හිතවතෙක්වූ හසන්ත අයියා අපේ ගම් පියසේ සමාජ සේවා සහ ශ්‍රමදාන කටයුතු වලින් ප්‍රසිද්ධ වූයේ මිනිසුන් හා එක්ව ඔහුගේ ගමන සාදා ගැනීමට විය යුතුය. මේ ශ්‍රමදාන වැඩ කටයුතුවලට අම්මාද දහවල් වරුවේ සහභාගිවන බව මම දැනගත්තෙමි. ඒ අන්කිසි දෙයක් නිසා නොව, එතනින් ලැබෙන හාල්, පරිප්පු වියළි සලාකය ගෙදර ගෙන එන්නට බව රහසක් නොවේ. ගමේ බොහෝ ගැහැනුන් මෙසේ සහභාගි විය. තාත්තාට හොරෙන් මේ වැඩේ සිද්ධ වුණේ තාත්තාගේ දේශපාලන අදහස් හා ගැටෙනා නිසාය. නමුත් හසන්ත අයියා, අපේ තාත්තාට ගෞරවයෙන් සැලකීය. බොහෝ කාලයකට පෙර ගමේ අවුරුදු උත්සව, සමාජ සේවා වැඩ බොහොමයක් කර තිබුණේ තාත්තාගේ මූලිකත්වයෙනි. විශේෂත්වය වන්නේ ඒ වියදම් තනිකරම තාත්තාගේ පෞද්ගලික මුදල්වීමය. ඒ එක් යුගයක් පමණි. තාතාගේ දේශපාලන න්‍යායන්ටත්, සීයගේ පුහු මානයටත් වඩා ගෙදර දරුවන්ගේ බඩගින්න වඩා බලවත් බව අම්මා දන්නා නිසා ඇය මහත් උනන්දුවෙන් මේවාට සහභාගි විය. ඇය කැත්ත උදැල්ලේ වැඩ දැන සිටි ගැහැනියක් නොවීය. නමුත් අන් කෙනෙකුගේ බඩගින්න මැනවින් හඳුනගත් අති උතුම් ගැහැනියක් විය. තාත්තාට දරුවන්ගේ බඩගින්නට වඩා දේශපාලනයත්, මිතුරු ඇසුරත් වඩා වැදගත් වූයේ වැඩට ගෙනියන්නට අම්මා බත් මුලක්ද බැඳ තබා දෙන නිසා විය හැකිය. කෙසේ වෙතත් මම ඔහුට දොස් නොකියමි. ඔහු නරක මිනිහෙක් නොවීය. අපේ අම්මා මේ සියලු දුක්ඛ දෝමනස්සයන් කෙසේ ඉවසා සිටින්නට ඇද්දැයි මගේ බිරිඳ නිතර විමසා සිටියි. මගේ මෑණියන්ගේ හොඳම මිතුරුය වීමට මා බිරිඳ සුදුසුකම් ලැබීම මට ඔටුනු පළඳනවාට වඩා වටිනේය. අදත් ඒ මිතුදම එදාටත් වඩා ප්‍රබලය. අම්මා කියන්නේ ඇය අප පවුලේ වැඩිමහල් දියණිය කියාය. බොහෝ කාලයක් රටින් බැහැරව සිටි නිසා ගමේ බොහෝ අය සිතන්නේ මම ඇයගේ බෑනා ලෙසය. මට මුණ ගැසෙනා සමහරක් තරුණ ගැහැණු දරුවන්ට තව තවත් ඉගෙනගත යුතු දේ බොහෝ ඇති බව මම හිතමි.
අප පවුලේ දෙවැනියාවූ ලොකු මල්ලි පාසැල් වැඩ කටයුතු කෙරෙහී කිසිම උනන්දුවක් නොදක්වන බව අම්මා මට කීවාය. මගේ පාසැල් වැඩ කටයුතුත් එසේම යැයි ඇය හීනෙකින්වත් නොසිතන්නට ඇත. ලොකු මල්ලී හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහලේ ඉගෙනිමින් සිටියේය. පාසැල් යනවා යැයි කියා රස්තියාදුවේ යන බවත්, පොතක් පතක් කියවීමටවත් උනන්දුවක් නැති බවත් ඇය කියා සිටී. නිහඬව අසා සිටිනවා හැර මමත් එසේම යැයි කියා ඇයගේ බලාපොරොත්තු බිඳ දැමිය නොහැකිය. මට වරදකාරී හැඟීම්ද අනිවාර්යයෙන්ම දැනෙන්නට ඇත. ලොකු මල්ලී කාර්මික වැඩවලටත්, බර වැඩ කිරීමටත් බොහෝ කැමැත්තක් දැක්වීය. මා ගෙදර සිටි දිනෙක මොහු ගෙදරින් අතුරුදහන් විය. සොයාගැනීමට කල උත්සාහයේදි දැනගන්නට ලැබුණේ, අප නිවස ඉදිරිපස පිහිටි නිවසේ මල්හාමි මාමා නම්වු අයගේ පුතා සමග එකතුවී රත්නපුර පැත්තේ මැණික් පතලක වැඩට ගොසින් බවය. තවත් අකරතැබ්බයකි. තාත්තා, මල්හාමි මාමා සමග ගොස් ලොකු මල්ලීව ගෙදර රැගෙන ආවේය. කිසිම කලබලයක් නොවීය. අම්මාත්,ආච්චීත් හඬන්නට විය. පසුදා ඔහු නැවත පාසැල් යාමට පටන්ගත් නමුත් එය දින දෙකකට සීමා විය. දහවල් පාසැල් ඇරී ගෙදර ඒම කෙසේ වෙතත් පැමිණියේ රාත්‍රී බෝවී ගෙදරින් සොයන්නටත් පටන් ගත් පසුවය. පසුදා පාසැල් ප්‍රධානීන් හමුවු තාත්තාට දැන ගැනීමට ලැබී තිබුණේ පාසැල් එනවාට වඩා නො එනා ළමයින්ගේ ගොඩේ මල්ලී පළවෙනියා බවය. මේ සියල්ලටම මූලික හේතුව ගෙදර නිසි කළමනාකරණයක් නැති බව ඕනෑම කෙනෙක් වටහා ගන්නා බව නිසැකය. ආර්ථිකය බිඳ වැටුණු තැන අන් සියල්ලක්ම කඩා වැටීම වලක්වාලිය නොහැක. නොයෙකුත් අකටයුතුකම් සිදුවේ. මේ සියල්ලටම තාත්තා වගකිව යුතුය. නමුත් කිසිදිනෙක ඔහු වැරදි සාදා ගත්තේ නැත. වියපත්වූවිට පසුතැවිලි වීමෙන් පලක් නැත. දොස්කීමෙන්ද පලක් නැත. ලොකු මල්ලී කියා සිටියේ ඔහුට මෝටර් රථ අලුත්වැඩියාව පිළිබඳ ඉගෙනගත යුතු බවය. ඊට පසු දින තාත්තා දන්නා අවිස්සාවේල්ලේ ගැරෙජ් බාස් කෙනෙක් හමුවීමට දෙදෙනාම පිටත් විය.
එදා පටන් කාලයක් යනතෙක්ම ඔහු එම ස්ථානයේම නැවතීසිට වැඩ උගත්තේය. පසුකාලීනව මෝටර් රථ කාර්මිකයෙකුට වඩා දක්ෂ වැද්දුම් ශිල්පියෙක් විය. ඒ පිළිබඳ හසළ දැනුමක් ඔහු සතුවිය. අවාසනාවන්ත එක් කුරිරු කාලයකින් පසු ඔහුගේ ජීවිතය අති දරුණු උඩු යටිකුරු වීමකට ලක්විය. ඒ සියල්ලක් නැවත නිවැරදි කර ගැනීමට අප සියල්ලෝම අති මහත් මැදිහත් කිරීමක් සිදුකළ මුත් ඔහුද අපේ තාත්තා මෙන්ම වැරදි හදාගත්තේ නැත. ඒ නිසාම ඔහුගෙන් අප සියල්ලටම සිදුවු බොහෝ අකටයුතුකම් විය. ඒ මිනිස් ජීවිතවල හැටිය.බොහෝ කාලයක් අංක එකේ බේබද්දෙක් ලෙස ජීවත්වූ ලොකු මල්ලි දැනටත් අවිවාහක මුත් මත්පැන් සහ සූදුවෙන් තොර සාමන්‍ය ජීවිතයක්, අප සියල්ලකගේම ආදරය සහ රැකවරණය මැද ගෙවා දමයි.
මේ 2010 වසරේ මම ඔහු ගැන ලියූ බ්ලොග් සටහනකි. නොමළ නුඹට

Monday, March 10, 2014

අවුල් වන්නට පෙර (32)….. කොල්ලුපිටියේ ඇසළ පෙරහැර

අවුල් වන්නට පෙර (32)….. කොල්ලුපිටියේ ඇසළ පෙරහැර

වාලුකාරාමයේ ඇසළ පෙරහැර 1963 වසරේ සිට නොකඩවා පවත්වා ගෙන එන බව කියති. මෙය නිවන්තිඩියේ ආනන්ද නායක හිමියන්ගේ අප්‍රතිහත දහිරියේ ප්‍රතිඵලයක් බව අදටත් කියති. ඒ දින දෙක තුන තුළ පන්සල් භූමිය යුද පිටියක ස්වරූපය ගනී. මෙහි සේනාධිනායකයා ආනන්ද හිමියන්ය. අදටත් මට සිතාගත නොහැකි කරුණක් වන්නේ, මේ සියලු දේ සංවිධානය කර හසුරුවා ගත්තේ කෙසේද යන්නය. අපටවත් පන්සලේ නේවාසික භික්ෂූන්ටවත් වෙන් වෙන් වශයෙන් පැවරූ රාජකාරියක්ද නොවීය. අලි ඇතුන් කිහිප දෙනෙක්ද පන්සල් භූමියේ ගැට ගසා සිටී. පොල් අතුද, කොස් අතුද පටවගත් ට්‍රැක්ටර්ද පැමිණේ. නැටුම් කංඩායම්ද, බෙර වාදකයින්ද, කාවඩි කරුවන්ද, ගිනිබෝල ශිල්පීන්ද, බණ මඩුව සහ අවට අරක්ගෙනය. බුදු මැදුර ඇතුලේද නොයෙක් පිරිස් රැස්ව සිටී. ආනන්ද හිමියන් කාර්යශූර ලෙස සියල්ල මෙහෙයවයි. ඇත් රජකු මෙන් ගාම්භීරවත්, කඩියෙකුසේ යුහුසුළුවත් මේ සියල්ලක්ම කෙරුවේ කෙසේදැයි අදටත් මට පුදුමයකි.
දසනායක කපු මහතාද ඊට නොදෙවෙනිය. උපතිස්ස හාමුදුරුවෝත් පණ්ඩිත හාමුදුරුවෝත් විදුලි කාර්මික වැඩවලවලට දායකවේ. ඒ දින කිහිපය තුළ, පන්සලේ ඉන්නා ප්‍රේමදාසට නම් වැඩ රාශියකි. ඔහු පන්සලේ උදය වරුවේත්, හැන්දෑවරුවේත් දෛනික තේවා මුරය භාරව සිටියා පමණක් නොව අනිකුත් සියලුම වැඩ කොටස්වලට සම්බන්ධවූ, සුදු සරමත්, කමිසයත් ඇඳි තරුණයෙක්ය. මාවනැල්ල ප්‍රදේශයේ නැටුම් හා බෙරවාදන පරම්පරාවකින් පැවති ආ මොහුගේ, පියාද, සොහොයුරන්ද ඇතුළු විශාල කංඩායමක් අනිවාර්යෙන්ම පෙරහැරට සහභාගිවේ. ඒ ආභරණ, ආයිත්තම් පැළඳු පසු, මේ අපිත් සමග හොරෙන් සිගරට් බොන ප්‍රේමදාස දැයි හඳුනාගැනීමටත් නොහැකිය. අපි කවුරුත් ඔහු ගැන ආඩම්බර වූවෙමු. පසු කාලයකදි ඔහු බෙල්ලන්විල රජමහා විහාරයේ තේවා වැඩ කටයුතු භාර ගන්නා ලදි. ඉන්පසු කිහිප විටක්ම මට ප්‍රේමදාසව එහිදි මුණ ගැසුණි. මම,බන්දු,සමන්, ජයවීර අයියා, තිලකේ, වික්‍රම ආදීවූ ගිහි උන්දෑලාට පැවරූ නියමිත රාජකාරීයක් නොතිබූ මුත් අපිද සංවිධාන ලාංජන පැළඳගෙන එහේ මෙහේ ඇවිදින්නෙමු. දායක මංඩලයේ අයද නොයෙකුත් වැඩවලය.
කරෝලිස් අයියා හෙවත් කිලුටු කරෝලිස් පන්සලේ අරක්කැමියා විය. පන්සලේ නැවතී සිටිනා එක් එක් කංඩායම් වෙනුවෙන් කෑම පිසීම ඔහුගේ රාජකාරිය විය. මේ දිනවලට ඔහු ගෝලයින් කිහිප දෙනෙක් රැගෙන එයි. කොහොමත් මල පැනගෙන ඉන්නා කරෝලිස් අයියා, ඒ දවස්වලට යකෙක් මෙන්ය. කොයි වෙලාවෙත් බුලත් කමින් කළු සුරුට්ටු උරණා මොහු හැබෑ කිලුට්ටෙකි. නායක හාමුදුරුවෝ හිටපු ගමන් කරෝලිස්ගේ පිටුපසින් ගොස් වතුර බාල්දියක් ඇඟට ගසා, බණ මඩුවේ කුළුණකට මුවාවී හැංගී බලා සිටී. අමු තිත්ත කුණුහරුපයෙන් කෑගහනා කරෝලිස්, ඒ නායක හාමුදුරුවන්ගේ වැඩක් යැයි දැනගත් විට, නායක හාමුදුරුවෝත් පිස්සු කෙළිනවා යැයි කියා නාගන්නට යයි. එයද කපුටු නෑමකි. මෙය මසකට වරක්වත් සිදුවේ. වෙන කවුරුහරි අතින් මේය සිදුවූවා නම් විසුමක් නැත. කේන්තිය ඉහවහා ගිය දවසක නම් ඇඳුම් මල්ලත් රැගෙන පන්සලෙන් පිටවී යයි. නැවත මාසයකට දෙකකටවත් සොයාගන්නට බැරිය. පසුව ඔහුම නැවත පැමිණ මුකුත්ම සිදු නොවුවාසේ වැඩට බහී.
පන්සලේ සිටි බන්දුද මගේ මිත්‍රයෙකි. කොට කලිසම් අදින ඉදිරියට නෙරා ආ දත් දෙපළක් හිමි, ඉතාම අනර්ඝ මිනිසෙක්වූ බන්දුගේ නිවෙස් පිහිටා තිබුණේ එඬේරමුල්ල, රාණිමඩම ප්‍රදේශයේ කනත්තට ඉදිරියෙන් ඇති පාරේ කෙළවරය. මම බොහෝ වාරයක් එහි ගොස් ඇති අතර, බන්දුගේ නිවෙස් අසල ඩොරීන් නම් ගෑනු ළමයෙක් සමග පොඩි සම්බන්ධයක්ද විය. ඒ බන්දුට පින් සිදුවන්නටය. වරක් මමත්,ඇයත්, බන්දුත්, ඔහුගේ දෙමව්පියනුත් අවට අයත් සමග පිටකොටුවේ වෙසක් බලන්නට ගිය බව අමතක නොවේ. මම ඩොරීන්ගේ අතින් අල්ලන් ගිය බවත් හොඳට මතකය.මට එවිට වයස අවුරුදු 16ක් හෝ 17ක් වූවා විය යුතුය. ඒවා එදා වේල ආදර කතා මිස ඉන් එහාට ගිය දේවල් නොවේ. බන්දු අද කොහේ සිටිනවාදැයි මම නොදනිමි.
ජයවීර අයියාද, ඔහුගේ අයියා විජේද නැවතී සිටියේ පන්සලේය. පාසල් ගියේ තර්ස්ටන් විදුහලටය. පොල්ගහවෙල පළාතේ දුෂ්කර පවුලක ඉපිද, හදිසි අනතුරකින් දෙමව්පියන් වියෝවු පසු නායක හිමියන් පන්සලේ රඳවාගෙන බොහෝ උදව් පදව් කල බව කවුරුත් දනී. ඒ කාලයේදීම ජයවීර අයියාට ඩොක්යාඩ් ආයතනයේ රැකියාවක් සොයාදෙනු ලැබුවේ නායක හිමියන්ය. ඔහුව මට අහම්බයෙන් ඕමානයේදී හමුවී,අපේ ගෙදර ගෙනවිත් සැලකුවෙමි. ජේමිස් ලබ්බා යනු දසනායක කපු මහතාගේ අත් උදව්කරුය. විශාල ලබ්බකට හිමිකම් කියූ ජේමිස් අයියා වැඩිහිටි මිනිසෙකි. ලබ්බ මදිවාට ඇඟට අත තිබ්බොත් කිචිය. ඇඟට අත තිබ්බොත් *කනවා යැයි කියවෙයි. ජේමිස් උඹ අද ගෙදර ගිහින් මොකද කරන්නේ යැයි අසමින්, ජේමිස්ගේ ඉනට අඟිල්ලෙන් ඇනීම නායක හාමුදුරුවන්ගේ සිරිතය. *කනවා යැයි ජේමිස්ට කියවෙයි. නායක හාමුදුරුවෝ ඔවැනි ජොලි වැඩවලට රුසියෙකි. ජයසේන ජයකොඩිගේ පොත්වල එන පන්සලේ සිඤ්ඤප්පු මට මතක් කරන්නේ ජෙමිස් අයියාවය. නමුත් සිඤ්ඤප්පු අයියා මෙන් නොව ජේමිස් ලබ්බා අපතයෙකි. කේලමෙකි. මගේ සිගරට් බීම, රස්තියාදු ගැසීම් නායක හිමියන්ටත්, අර එදා කියූ මෑණියන්ටත් කනට දෙන්නේ ඔය ජේමිස්ය.
පෙරහැර සංවිධානය කර පාරට දැමීමට පෙර නායක හාමුදුරුවන් මෝටර් රථයෙන්, පෙරහැර ගමන් මාර්ගයේ එක් වටයක් ගොස් ඒම සිරිත විය. කුමන හේතුවක් මත එය කරාදැයි මම නොදනිමි. ඉන් පසු මේ දර්ශනීය පෙරහැර ආරම්භවී සියලු වැඩ කටයුතු අවසන් කර නැවත පන්සලට ළඟාවේ. නායක හාමුදුරුවන් පෙරහැරේ ඒ කෙළවරටත් මේ කෙළවරටත් නිරතුරුවම ඇවිදින් වැඩ කටයුතු නිරීක්ෂණය කළේය. සැම විටම තව දෙතුන් දෙනෙක් ඔහු පිටුපසින් යන්නට වගබලා ගනී. නැටුම් කංඩායමක ගැහැණු ළමයින්ට අතදමා අනවශ්‍ය ගොබ්බ වැඩක් කෙරූ කොල්ලුපිටියේ මදාවියෙකුට එක පහරින් හතරගාතෙන් ඇද වැටෙන්නට, ලොකු හාමුදුරුවෝ සලකපු හැටි මට අදත් මතකය. නිවන්තිඩියේ ආනන්ද හිමියන් යනු යෝධ පුරුෂයෙකි. ගරු කටයුතු සංඝ නායකයෙකි.
කොල්ලුපිටිය අවට තරුණයින් හැම විටම පෙරහැරේ අවසාන අංගයවූ කාවඩි නැටුමට එකතුවී නටමින් ගමන් කරති. අපත් බොහෝ විට කැමතිවූයේ කාවඩි වාදනයත් සමග ඒ අංගයටය. නමුත් මට නිතරම යන්නට සිදුවූයේ වේවැල් නැටුම් කංඩායමත් සමගය. වේවැල් නැටුම් පෙරහැරවල් සඳහා එකතුවීමේ ඉතිහාසය මම නොදනිමි. මා මේ කියනා 1977-78 යුගයේ නම් එය පෙරහැර සම්ප්‍රදායන්ට එකතුවූ අළුත් අංගයක් යැයි මතකය. මෙය සංවිධානය කළේ වනාතමුල්ලේ සර්දානන්ද නම් තරුණයෙකි. ඔහු දක්ෂ පිනුම් කරුවෙකි. වනාතේ සර්දයියා කිව්වාම ඒ දවස්වල නොදන්නා කෙනෙක් නැත. ඔහුගේ අක්කාගේ පුතා නිහාල්ද මෙම කංඩායමේ සාමාජිකයෙක් විය. නිහාල්ලාගේ පවුලේ අයද පන්සලට නිතර පැමිණි උදවියය. ඔවුන් පැමිණියේ අර මෑණියන්ගෙන් සාස්තර ඇසීමට බැව් මතකය. නිහාල් මගේ මිතුරෙක් වූයේ එලෙසින්ය. මේ අය සමග වනාතමුල්ලේ යෑමට ඒමට මමත් ප්‍රිය කළෙමි. වනාතේ ජීවිත ගැන මටත් අත්දැකීම් බොහෝමයක් ඇත. ඒ අතරතුර වනාතේ මට වඩා වැඩිමහල් කෙල්ලක් සමග තවත් පුංචි යමක් කමක් ඇතිවිය. ඇයද මේ කංඩායම සමග පැමිණෙයි. පෙරහැර පවත්වා අවසන්වූ එක් රාත්‍රියක, ඒ කෙල්ලව කාටත් හොරෙන් පන්සල පල්ලෙහා ළිඳ පැත්තට අරන් ගියේ, වාළුකාරාමය පාරේම හිටි තවත් ජයවීර නම්වූ කෙනෙක්ය. ඔහු යුද හමුදාවේ සේවය කෙරූ තරුණ සාජන්ට් කෙනෙක් බැව් මතකය. ගැටවරයෙක්වූ මම ලැජ්ජාවටත්, දුකටත් පත්වුණා මිස වෙන කුමක් කරන්නද? ඇය පසුව කිසිත් නොවූ ලෙස මට සමීපවීමට උත්සාහකළත් මට ඇය අප්‍රසන්න විය.
තවත් රසවත් සිදුවීම් වෙන්නේ “පොන්න ඩාන්ස්” කංඩායම ගැවසෙන තැන්වලය. (පෞද්ගලිකව මම මේ මිනිසුන්ට පොන්න යන වචනය භාවිතා කිරීමට කැමති නැත. නමුත් ඒ නැටුමට කිව්වේ පොන්න ඩාන්ස් කියාය.) පෙරහැර අවසන්වී ඔවුන්ට ඇඳුම් මාරුකර ගැනීමටත්, පසුවදාවන තෙක් නැවතී සිටීමටත් බණ මඩුව කෙළවරේම කුඩා කාමරයක් සපයා තිබුණී. ඔය අවට තරුණ කොල්ලෝත්, තරුණ හාමුදුරුවරුත් එහා මෙහා ගැවසීම අරුමයක් නොවීය. ඒ ඒ කාලයන්ට තම ලිංගික අවශ්‍යතාවයන් නොයෙකුත් අයුරින් පිරිමසා ගැනීම සාමාන්‍ය නිරෝගී මනුෂ්‍යයන්ගේ හැටිය. ඕවා හරිද වැරදිද කියා කතා කරනවාට වඩා, ඒවා සිදුවූවා යැයි පමණක් ලියා තබමි.
මට පන්සලෙන් පිටව යෑමට මූලිකවූ හේතු සහ පන්සලේ පෙරහැරෙන් පසු පැවැත්වෙන ගම්මඩු උත්සවය ගැනද යමක් ලියා මේ කොටස අවසන් කරන්නට සිතූ මුත් අදත් කතාව දිග වැඩි විය. ඊළඟ වාරයේවත් පන්සල් ස්ටෝරිය ලියා අවසන් කරන්නෙමි.

Wednesday, March 5, 2014

සුනිල විලක් දුටු ඩොනමෝර්

මගේ බ්ලොග් පෝස්ට්වලට අමුතු ආරක අදහස් දක්වන කෙනෙක් හමුවුණි. ඔහු හෝ ඇය, මා ලියු සංගීතේ රසේ වෙලී පෝස්ට් එක හා සම්බන්ධවත් අදහස් පල කර තිබුණි. අද මට හමුවුණේ ඔහු මා විසින් චේ ගුවේරා නමින් ලියු පෝස්ට් එකට දැමු අදහසකි. මෙයද අපූරු නිර්මාණයක් බව මට හැඟේ.
ඔහුට/ඇයට තව දුරටත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තියක් ලැබීම පිණිස…ඔහුගේ අවසරයෙන් තොරවම මම එය මෙහි පළකරමි.
මා ඔබට යෝජනා කරන්නේ ඔබ තව තවත් නිර්මාණකරණයේ යෙදිය යුතු බවය. ඔබට බ්ලොගක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් සියලු උපදෙස් දීමට කැමැත්තෝ මේ බ්ලොග් ලොව තුළ සිටී.
සුනිල විල….ඔබට යමක් ලියා පළකිරීමට අවශ්‍ය නම් (ඔබට බ්ලොගක් නැතිනම් ) මගේ ඉඩකඩ ඔබට විවෘතය. මම ඔබ අගය කරමි.
පාඨකයනි……මෙය කියවා බලන්න. මෙහි අන්තර්ගතය පිළිබඳ ඔබට නොයෙකුත් අදහස් තිබිය හැක. අදහස් දක්වන්න.
මම අවුල් වන්නට පෙර තුළින් නැවත ඔබ හමුවන්නෙමි.
මේ සුනිල විල හා ඩොනමෝර්ය……..
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
සෑම දෙයක්ම සිදුවන්නේ අප නොසිතූ පරිදිය. …
මමද පළි ?…..
මම කරපු කෙහෙල්මලක් නෑ ඕයි…..
දුම් නැවෙන්.. A ක්ලාස් රූම් එකක, සැපත් උනේ කොලොම් තොටට…
ටේල් කෝට්, ටොප් හැට්…..පොහ්..Aristocratic status …….රාජකීය පිළිගැනීම්……හමුදා සැලියුට්….
ඒ විතරද ? locals ලගෙ යටහත් පහත් කම….
එහෙට වඩා පුංචි ආඩම්බර කමක් නොදැනුනා නොවේ…
ඒත්, මගෙ ජවනිකාවට අරූ පිටපත ලියල තිබ්බෙ….මම එන්නත් කලින්…….
වෙන කවුද Labour secretary of state for the colonies..මිසක් ….
මට තිබ්බෙ amendment ටිකකට දාතම දාල යටින් අත්සන් කොරන්ට……අහ්, මෙහේ හාමුලට බර ඉංග්‍රීසියෙන් පොල් ටෝක් ටිකක් දෙන්න…..
ඒත් නුවර Queens එකේදී මම සෝල්බරීට කිව්වා…Universal Sufferage…..මුන්ට මේක බර වැඩියි,,,,තේරෙන එකක් නැහැ කියල..
මෑන්ට එදා ටිකක් වැඩි උන,,,හැබැයි මෙහෙම දෙයක් කිව්ව..
තව අවුරුදු 10-15 කින් විතර මෙව්‍ව දාල යන එකේ,,අපි මොකටද බාල්දි පෙරලන්නෙ,,, අනික HMට උඩින් ගිහින් හිර ගෙවල් වල තපින්නද ……
ඒකත් ඇත්ත……
Democracy….?
මුන් මේකට ***න් හිනාවෙන්නෙ
Majority ? අම්මගෙ රෙද්ද තමයි….
බහුතරය වැඩක් නෑ යකෝ…..සොත්ති උපාලි වගෙ අහිංසක, තණ පිඩැලි අල්ලල ජීවත් වෙච්ච මිනිහෙක්ට ඕන විදියට තිබ්බම ඇති …….
ඒක නෙවෙයි…
තුම්මුල්ලෙ මලයයි,,,බැද්දගානේ මලයයි මට බැනල එවල තිබුන…..
උන්ට අපාගත වෙන්න උනේ මම හින්දලු…..
ප්‍රජතන්තරේ අස්සේ ජිල්මාට් දාළලු උන්ට එහෙ යන්න උනේ,,,,,
මේක ගෙනාපු මමද පළි ?
අඩුම තරමේ චන්ද ඩියුටි ඉවර වෙලා චෙක් එක සාක්කුවේ දාගන්නකොට වත් මාව මතක් වෙනවද ? උඹලට ජොබ් ගෙනාවෙ අපි කියල….
චන්ද නැති කාලෙක වත්,,,,දේශප්‍රිය මහත්තයො,,, පිරිත් ටිකක් කියල දානයක් දෙන්ට….
කතන්දරේ මොකක් උනත්,
මම ඒ අතරේ කුහක සතුටක් ලබනව…..
ඔය වෙස්ට්මිනිස්ටරේ අපි කොලාට…
මේ වැදී රංචුවට මහත්තුරු වෙන්ට
තව අවුරුදු 200ක් වත් යාවි…..
හැබැයි…
වැරදිලා හරි…
අපි මේක උඹලට පුරුදු කරලා නොතිබුණා නම්……
හමුදා කුමන්ත්‍රණ අම්බානක…
කැරළි ?…හෙහ් හෙහ්…එහෙනං තල කැරලි ගානට…..
මිනී ඔළු දාස් ගනං තියෙන සමූහ මිනි වලවල්……
රටට කියන්න ඕන නම උඹලම දා ගනිල්ලා…..
මීට
එලොව සිට තැවෙන….
ඩොනමෝර්