Wednesday, April 30, 2014

අවුල් වන්නට පෙර (38)…..පොරෝලිස් මාමා


පහත්ගම සිට පාසැල් යන කාලයේ අප බැහැදැකීමට ගල්කිස්සේ පදිංචිව සිටි අපගේ ඥාතීන් පිරිසක් පැමිණියෝය. සැපදුක් විමසීමෙන් පසු ඔවුන් කියා තිබුණේ මට ගල්කිස්සේ ඔවුන්ගේ නිවසේ නැවතී සිට පාසැල් යා හැකි බවය. දින කිහිපයකට පසු අම්මා සමගින් මම ගල්කිස්සේ නවතින්නට ගියෙමි. මෙය මගේ ජීවිතයේ එක් කඩ ඉමක් සලකුණුවූ ස්ථානයක්වූ අතරම පාසල් කාලය පුරාවට මගේ දසවෙනි සහ අවසාන නවාතැන් පොළද විය. අප පවුලේම කෙනෙක් ලෙස කුඩාකල සිට හැදී වැඩී තිබු ටේච්චී නම් වියපත් ගැහැනියවද මේ කාලයේ රැකබලා ගත්තේ මේ නිවසේ අප ඥාතීන්ය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ක්‍රීඩාපිටිය ඉදිරිපිටම ගාලු පාරට මුහුණලා පිහිටි මේ නිවස හිමි අප ඥාතීන් යමක් කමක් තිබූ ධනවත් පවුලක් විය. මේ පවුලේ ගෘහ මූලිකයාවූ පොරෝලිස් මාමා එවකටත් වයස 60-70ක් පමණවූ උස මහත දඩබ්බර පුද්ගලයෙක් විය. නමුත් මෑතක සිට අංශභාග රෝගයට ගොදුරුවී එක් අතක් සහ එක් පාදයක් අප්‍රාණිකව තිබුණත්, අනිත් අතින් නිවස ඉදිරිපිට කෙටි තාප්පය අල්ලාගෙන උස් පහත් වෙමින් ව්‍යායාම කරයි. යම් තාක් දුරට හෝ අඬු පඬු ගසා සිටින්නේ ඔය ව්‍යායාමවලින් බව කියමින්, කොහෙද ඩෝ උඹලා හරි කම්මැලියෝ යැයි අපිටත් බැණ වදී. අඩෝ, පඩෝ වචන පොරෙලිස් මාමාගේ ශබ්දකෝෂයේ ඉදිරියෙන්ම තිබූ වචනය. මොහුගේ වැඩිමහල් සොහොයුරා පාමංකඩ ජේමිස් සිල්වා නම්වූ ඒ කාලයේ ප්‍රසිද්ධ චණ්ඩියෙකි. පොරෝලිස් මාමා ඒ යුගයේ කොළඹ කොටුවේ සිටි ප්‍රසිද්ධ මැණික් බිස්නස් කාරයෙකි. ඒ කාලයේ නම් ඇන්දේ පලයකාට් කොටු සරමත් කලු කෝට් එකත් කළු පැහැති මහත රෙදි වැනි පටියක්ය. මේ කියන කාලයේ නම් සාලයේ හාන්සි පුටුවටවී කාලය ගෙවා දමයි. ඇස් පෙණීමද ඉතා දුර්වල වුවත් ,තනියම අතපත ගාගෙන ඇවිදින්නට හුරුය. මිදුලට බහිනවා නම් පමණක් කවුරුන් හෝ ළඟින් සිටිය යුතුය. වැඩිය අතපත ගානවාට කැමති නැත. මට පුළුවන් ඩෝ..පැත්තකට වෙයන් යැයි අහගන්නට හැකිය.
වැඩිමහල් පුතුන් දෙදෙනෙක් සහ දූවරු දෙදෙනෙක් සිටී පොරෝලිස් මාමාගේ බිරිඳ මියගියේ බොහෝ කාලයකට පෙරය. එකල ඔවුන් පදිංචිව සිටියේ දළුගම ටයර් සංස්ථාව අසල බව මම දනිමි. වයසට ගියත් ඒ කාලේ කොටුවේ කෙරූ චණ්ඩිකම් අදටත් හුරුය. ඕනෑම ජගතෙකුට කියන්නට තියෙනදේ මුහුණටම කියා දමයි. කටහඬද ගොරෝසුය. මොහු හමුවී කතාබහේ යෙදීමට නොයෙකුත් මාදිලියේ උදවිය පැමිණේ. ඒ බොහෝමයක් කොටුවේ, පිටකොටුවේ ඒ වනවිටත් එක් එක් ව්‍යාපාරයන්හී යෙදුණු අයය. සමහරුන් නම් ලෝක අංකූරයින් බව කතාබහෙන් වැටහේ. ගෙට ගොඩවෙන මිනිසුන් ..ආ මුදලාලි කොහොමද යැයි කියු සැනින්ම, දෑස් නොපෙනෙනා පොරෝලිස් මාමා, මේ බොහෝ දෙනෙක්ව කට හඬින්ම හඳුනාගනී. මොකක් හෝ කට කැඩිච්ච් වචාල කතාවකින්ම පිළිතුරුදී වාඩිවෙයන් යැයි කියයි. “අඩෝ.. මේ කොලු පියදාස නේද? උඹ අදත් දඩයක් දාන්නද ආවෙ” හෝ “මන්සූර් නානා නේද…දැන් උඹ ඇසිලින්ගේ රෙද්ද අස්සේ රිංගන් නැද්ද..කොහෙද උඹලා කිව්වට හැදෙන්නෙ නැහැනේ” වැනි කතා කාටත් හුරුය. ඒ පොරෝලිස් මාමාගේ හැටිය. ඔහුගේ පරණ ගෝලයින්, මිත්‍රයින්, ඇමතීමට ජංගි උස්මාන්, අබිං ජෝන් , මවුත් ඕගන් යැයි අන්වර්ථ නාම රාශියක් විය. ඔවුන් ගිය පසු එසේ කියන්නේ ඇයිදැයි කියා හිනාවෙමින් කෙටි පැහැදිලි කිරීමක්ද කරයි. විශ්වාස කල නොහැකි ගණයේ කෙනෙක් පැමිණියහොත් ගෙදර කාගේ හෝ නමක් කියා අඬ ගසා “ඇහ ගහගෙන හිටපන්…මූ ලෝක වෙදා…මොකක් හරි සරම අස්සේ ගහගෙන යයි” කියන්නේ ඒ මිනිහාටත් ඇසෙන්නය. නමුත් ඒ මිනිසුන්ද මෙයාගේ හැටි දන්නා නිසා සිනහවෙමින් දොඩමළුවේ. පොරෝලිස් මාමා නොම්බර එකේ ජොලි පොරකි. හැම තත්පරයක්ම විනෝදජනකය. රස්තියාදු භාෂාවෙන්ම කථාකරයි. අඩෝ කියනා වචනය නිතරම පාවිච්චි කළේය. ඉංග්‍රීසි භාෂාවද හොඳින් දන්නා මොහු ඒ කාලයේ හාබර් එකට ගොඩ බසිනා නැව්වල සුද්දන්ට මැණික් විකුණූ බවද කියයි.
එවකටත් දිනකට සිගරට් 10-15 වඩා බීමට පුරුදුවී සිටි මොහුගේ බ්‍රෑන්ඩ් එක නෙවිකට් විය. එක අතක් අප්‍රාණික නිසා ගිනිපෙට්ටියට වඩා ලයිටරය පාවිච්චි කිරීමට හුරුවී සිටියේය. නෙවිකට් නැති දවසට බ්‍රිස්ටල් වැනි ෆිල්ටර් සහිත සිගරට් එකක් ලැබී පත්තුකර ගතහොත්, අවසානයේ ෆිල්ටරයද පිච්චී කටත් පුච්චාගන්නේ නෙවිකට් එකේ පුරුද්දට අන්තිම අග්ගිස්සටම සිගරට් එක උරණා බැවින්ය. එවෙලෙට කුණුහරුප වැළකි. සිගරට් ගෙනාපු එකාත්, ළඟ වාඩිවී හිටිය එකාත් දෙදෙනාම වැරදිය. ළඟ හිටිය එකාට බණින්නේ “අඩෝ තොට කියන්න බැරිද **තෝ” කියාය. ඒ සැනින්ම ” මොනවා කරන්නද ඩෝ..මම දැන් පොට්ටයා වෙලානේ ” කියා මහා හයියෙන් හිනාවේ. පැකට් එකෙන් සිගරට් එකක් අරන් දෙන්න යැයි කීවිට එකක් අරන් දී එකක් මම ඉස්සු හැම අවස්ථාවකම ඔහුට හසුවී ඇත. ඇඟිලි තුඩින් පැකට් එක අතගා “උඹ එකකට කෙළියා නේ..අඩෝ මම කොටුවේ බිස්නස් කරපු එකෙක් හරිද…හා හා බීල මැරියන් “කියා කට වහ ගනී. ඇස් නොපෙනී ගියේ වයසට නොව, ඒ කාලයේ ඇති පදම් ගංජා බිවු නිසා යැයි කියා තොපි නම් කටේ තියන්න එපා යැයි අවවාදයක්ද දෙයි. නමුත් ඔය කොටුවේ සිට පැමිණෙන ගෝල බාලයින් එක්ක ඉඳහිට ගංජා උගුරක් දෙකක් ඇද බලා ගත්ත අතේ බලා ඉන්න එකත් අතහැරියේ නැත. මොහු නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙණ දඩබ්බරයෙකි. වරක් මොහුගෙන් ගත් මුදලක් ආපසු නොදී විටින් විට කට්ටි පැනපු එකෙක් ගෙදර පැමිණි විටෙක , අතින් අල්ලා ළඟට කිට්ටුකරගෙන ඔළුවෙන් ඇන්නේ අර මිනිහාට බිම වැටෙන්නමය. අංශභාගය වැළඳී සිටියත් මොහු ශක්තිමත් මිනිසෙක් විය.
ගල්කිස්සේ මේ නිවස ඉතා සුන්දර ස්ථානයක් වූයේ එහි පැමිණෙන මිනිසුන් හා පොරෝලිස් මාමාගේ සංවාද නිසාමය. අක්කලාගේ යෙහෙලියන්ද අයියලාගේ මිතුරන්ද නිතර ගැවසේ. නිතරම විනෝදජනක සිදුවීම්ය. එවකට ඉතා ප්‍රසිද්ධ සංගීත කංඩායමක්වූ මවුන්ට් චයිම්ස් කංඩායමේ ඩයස් සොහොයුරන්ද නිතර ගැවසේ. මටම හරියන තැනක්ය. එම කංඩායමේ සිටි ලාල් නම් ගායකයෙක් අපූරු ගීත කිහිපයක් පටිගත කළේය. ඉන් එකක මුල් පදවැල් මට තවමත් මතකය. ” බොසා ගියා ෆයිල් වහමු- ඩාලින් අපි අයිස් ගහමු…එන්න මගේ ස්ටෙනෝ කුමාරි” නම් ගීතය සොයා ගැනීමට අපහසුය. එකල ස්ටෙනෝග්‍රැෆර්ස්ලා වැඩිපුර හිටියේ කෙල්ලන්ය. සෙන් තෝමස් ග්‍රවුන්ඩ් එක හැන්දෑවරුවේ අපේ වැනිය. එකල තාප්ප වලින් කොටුකර තිබුණේද නැත. සිංහල,දෙමළ,මැලේ, බර්ගර් ඔය කවුරුත් තරුණයෝ හැන්දෑවට සෙට් වෙන්නේ මේ නිවස ඉදිරිපිට තාප්පය උඩටය. රෑ බෝ වෙනකම් මේ කරච්චලය ඇදී යන්නේ නම් ,බිත්ති අල්ලාගෙන එළියට එන්නේ පොරෝලිස් මාමාය. “අඩෝ..ඔය බයිලා නවත්තලා ගෙවල්ව්ලට පලයල්ලා” යැයි කිවු සැණින් සියල්ල අහවරවේ.
පොරෝලිස් මාමා ගැන නම් ලියන්නට ගියොත් ලියා අවසන් කල නොහැකි කතා රාශියකි.ඒ කාලයේ කොළඹ කොටුවේ සිදුවූ චණ්ඩිකම්,එක් එක් මගෝඩි වැඩ, ගුටි බැට හුවමාරු, පොලිස් කතා, නැව්වල සුද්දන්ගේ කතා ආදී බොහෝය. මට වඩා මේ කතා රසකර කියන්නට දන්නේත් මතකයේ ඇත්තේත් අපේ ලොකු නංගීටය. ඇයද බොහෝ කාලයක් මෙහේ නැවතී සිටියාය. ඒවා අහන් ඉන්නට ප්‍රියවන්නේ පොරෝලිස් මාමා කතා කෙරූ භාෂා ශෛලිය නිසා විය යුතුය.
ඒ කෙසේ වෙතත් මම දැන් ගල්කිස්සේ සිට පාසැල් බසයෙන් යන්නෙමි එන්නෙමි. ඒ ගෙදර සියළුමදෙනා මට හිතවත්ය. අපේ ටේච්චිත් එම නිවසේම සිටි බැවින් ඇයද මා ගැන උවමනාවෙන් සලකා බලයි. ටේච්චී කුඩා කාලයේ සිටම යම්තාක් දුරට මානසික මට්ටමින් අඩු ගැහැනියක් වුවත්, පියකරු සිනහවකින් හෙබි රූමත් වියපත් තැනැත්තියකි. පොරෝලිස් මාමාගේ පොඩි පොඩි අත් උදව් කරන්නේත් ඇයයි. මොවුන් දෙදෙනා ඉතා කුළුපගය. අප නිවසේ සිටිනා කාලයට වඩා ටේච්චී දැන් වෙනස්ය. ඇයගේ සුදු කොණ්ඩය කොටට කපා ඇත. නොයෙකුත් මෝස්තරයේ දිග ගවුම්ද අඳී. ඇයව අමතන්නේ ටේච්චී කියා නොව ටේලා කියාය. ඒ ඇයගේ ටේලින් නෝනා නම් මුල් නම කෙටි කිරීමකි. පොරෝලිස් මාමා කාටත් හොරෙන් ටේච්චීට බ්‍රැන්ඩි වීදුරුවක් දෙනබවත් මම දනිමි. පොරෝලිස් මමාගේ හාන්සි පුටුවේ එහා පැත්තේ බ්‍රැන්ඩි බෝතලයක් විය. කෑමට පෙර ෂොට් එකක් ගැනීම මොහුගේ පුරුද්ද විය. ටේච්චීට බ්‍රැන්ඩි ෂොට් එක වැඩිවුනදාට බොරු සිංදු කියමින් ඩානස් කරන්නීය. අපි අත්පුඩි ගසන්නෙමු. මොහු බෙහෙත් බීමටද අකැමතිය. මළ බද්ධය වැනි වැසිකිළි යාමේ අපහසු තත්වයක් ඇතැයි කියූවිට ,කඩෙන් යම්කිසි බෙහෙතක් ගෙනත් දෙන්න දැයි මම වරක් විමසුවෙමි. වැසිකිළි ගියවිට පොල්තෙල් ටිකක් කෝප්පෙකට දාගෙන විත් ඔහුගේ දබරඟිල්ලේ ගාන්න යැයිද..එවිට ඔය බඩු ලූස් වෙනවා යැයි හිනාවෙවී කුප්ප කතාද කියයි.
අපේ අම්මා මාසයකට වතාවක් පමණ ගල්කිස්සේ පැමිණියාය. ඒ මා බැලීමටත් ,පොරෝලිස් මාමාගෙන් උදව්වක් ලැබෙන බවත් දන්නා නිසා බව මම දනිමි. අපේ අනිකුත් ඥාතීන් මෙන්ම මේ ගෙදර සියලු දෙනාත් අපේ අම්මා හෙවත් “දයා පුංචීට” පණ මෙන් ආදරේය. මෙහි සිටි අක්කලා දෙදෙනා කේක් සෑදීම, විශේෂ ආහාර සෑදීම, ඇඳුම්, පැළඳුම් මැසීම, මැක්‍රම්, එම්බ්‍රොයිඩර්, කොණ්ඩා කැපීම, බියුටි කල්චර් වැනි මේ සියල්ලක්ම මැනවින් ඉගෙනගත් අයය. අපේ ලොකු නංගීත් පසු කාලයක මෙහි නැවතුණේ ඔය නිසාමය. අම්මා පැමිණි දිනයට නොයෙකුත් කෑම සාදා, පොඩි පොඩි ඇඳුම් මසා දී මලු පුරවාදීම මොවුන්ගෙ විනෝදාංශය මෙන් විය. පොරෝලිස් මාමා හොඳ වචනයෙන්ද නරක වචනයෙන්ද මිශ්‍රවූ ඔහුට ආවේණික භාෂාවෙන්, අපේ තාත්තා විනාශකළ දේපොළ සහ මුදල් ගැන ලුණු ඇඹුල් ඇතිව දේශන පවත්වයි. ඕවා දැන් වැඩක් නැතැයි අර අක්කලා කියු පසු, අම්මාට ළඟට එන්නට කියා ඉනේ ගසා ගෙන සිටිනා මුදල් පසුම්බිය දෙයි. “අඩෝ දයා…උඹ දැනගනින්..මගේ ඇස් දෙක හොඳට පේනවා..මම බොරුව දාන්නේ. ඕකෙන් දෙසීයක් තුන්සීයක් ගනින්. වැඩිය ගත්තොත් උඹේ අත කඩනවා” යැයි කියා මහ හයියෙන් සිනහවෙයි. අම්මා රුපියල් දෙසීයක් ගෙන ගාන කියයි. පොරෝලිස් මාමා ඇඟිලි තුඩින් අතගා තව සීයක් අම්මා අත තබයි. ඒ කාලයේ රුපියල් තුන් සීයද ලොකු මුදලකි.
මම ලියන්නට සිතාසිටියේ ඔය කාලයෙදීම මා කරක් ගැසු ඒ කාලයේ බම්බලපිටිය හා වැල්ලවත්ත ගැනය. නමුත් ලියවුනේ පොරෝලිස් මාමා පිලිබඳවය. සෙස්ස පසුවට බලමු!!

Wednesday, April 16, 2014

අවුල් වන්නට පෙර ..(36)….කොස්ගස්හන්දිය ….


මේ කාල වකවානුව අතර මම නැවත වෙනස්වීම් දෙකකට මුහුණ දුන්නෙමි. ඉන් පළමුවැන්න මගේ නවාතැන් පොළයි. මේ මගේ අටවැනි නවාතැනයි. දෙවැන්න, ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට සිදුවූනිසා අලුතෙන් ලැබූ පන්ති මාරුවයි. නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේදී පස්වැනි පන්තිය තෙක් මා ඉගෙනුම ලැබුවේ එකම සිසුන් පිරිසක් සමගය. රාජකීය විදුහලේත් හයවසරේ සිට ජාපොසපෙ දක්වා ඉගෙනුම ලැබුවේ එකම කංඩායමක් සමගිනි. දැන් තවත් අළුත් පිරිසක් සමග අළුත් අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවන කාලය පැමිණ තිබේ.
මුලින් කතා කරගත් පරිදිම මම සෝමපාල අයියා හමුවීමට තර්ස්ටන් පාරේ රහීමා හෝටලය අසලට පැමිණියෙමි. පාසල් පොත්පත්ද, ඇඳුම් කිහිපයක්ද බෑගයකට දමා ගත් මා ගෙදර අයටත් සමුදී, නවතින්නට යන්නේ කුමන ආකාරයේ තැනකටද යන දෙගිඩියාවෙන් යුතුව ඔහුව හමුවුණි. අළුත් නවාතැන් පොළ ,කොළඹ කොස්ගස් හන්දියේ ජනාකීර්ණ ප්‍රදේශයක පේළි ගෙවල් සමූහයක දෙවෙනි හෝ තුන්වෙනි නිවසයි. මෙය පිහිටියේ නයින්හාට්ස් නමින් එවකට පවත්වාගෙන ගිය ඡායාරූපාගාරය ඉදිරියෙන් පිහිටි පාරේය. මට මතක හැටියට මේ අව්වල් සාවියා නම්වූ කලබලකාරී අතුරු මාවතය.
ජීවිතයේ පළමු වතාවට මෙවැනි පරිසරයක නැවතී සිටීමට පැමිණීම අළුත් අත්දැකීමක් නිසාම බොහෝ දිනක් යනතුරු කුතුහලයෙන් හා තිගැස්සීමෙන් සිටියා නේදැයි මට දැනුත් සිහිවේ. අව්වල් සාවියා පාරෙන් වමට හැරුණු විට තිබු කුඩා ඉඩම් තීරුවක මේ නිවාස දහය පහළොව එකිනෙකට යාබදව පිහිටා තිබුණි. මේවා මුඩුක්කු නිවාස යැයි වර්ගීකරණය කිරීමට නොහැක්කේ, මා නැවතී සිටි නිවස ඉතා කුඩා කාමර දෙකකින් හා පොඩි ඉස්තෝප්පුවකින්ද සමන්විතවූ නිසාය. එහි පදිංචිව සිටි ගැබ්බර තරුණ කාන්තාවට මා හඳුන්වා දුන් සෝමපාල අයියා, කෑම බීම ඒ අක්කා ලබාදෙන බව පවසා යන්නට පිටත්විය. ඉස්සරහින් තිබු කුඩා කාමරයේ කලාල පැදුරක්, කොට්ටයක් සහ කුඩා මේසයක්ද, කබල් පුටුවක්ද විය. වෙන දෙයක් වුණාවේ යන සිතුවිල්ලෙන් සිටි මා, ලැබුණු රාත්‍රී බත්පතද කෑමෙන් පසු, පිඟාන සෝදා තැබීමට බැලූවිට දැන ගන්නට ලැබුණේ, ජල සහ වැසිකිළි පහසුකම් ඒ සියලුම නිවාස සඳහා එක් පොදු ස්ථානයක පිහිටා ඇති බවය.
පසුදා පාසල් යාමට ඇති බැවින් නින්දට වැටුණු මා අවදිව තිබුණේ පාන්දර හතර හමාරට පහට පමණ වන්නට ඇතිය. ඒ වන විටත් නගරය උණුසුම්ය. ගෙවල් පේළියත් අවධියෙන්ය. එතරම් උදෑසන අවදිවන්නේ වැසිකිළි ,කැසිකිළි පහසුකම් සපුරාගතව ඇත්තේ පෝලිම් ක්‍රමයට බැවින්ය. එම නිවෙස්වල පදිංචිකරුවන් වූයේ අවට කර්මාන්තශාලාවන්හී සේවය කල කම්කරුවන් සහ පදික වේදිකාවේ බඩු කරගැසීම හෝ සුළු සුළු වෙළඳාමේ යෙදුණු උදවියයි. උදෑසන හය වෙනවිට පළාතම එකම ගාලගෝට්ටියකි. පාසල් යන වයසේ ළමුන් සිටියත් රාජකීය විදුහලට යන එකෙක් නම් නොපෙනුණි.
මා පාසැල් යන්නට සුදානම්වෙන විට ඇය නින්දේය. තේ කෝප්පයක් සාදාගැනීමට ඔතන කලබලයක් නොකර වහාම දොරද වසා තබා පිටත්ව ගියෙමි. ගෙදරින් රැගෙන ආ මුදලින් ඒ අසලම තිබු “පලතුරු බීම, ෆලූඩා සහ ස්පැසල් ටී” නම් කඩයකින් ස්පැසල් ටී එකක් බිව්වෙමි. මෙය නම් ස්පැසල්ම ටී එකක් විය. එහි තිබුණේ අමුතුම රසයකි. එකල එම කඩය මේ තේ එක නිසාම ප්‍රසිද්ධ තැනකි. ලොකු වීදුරුවකට වැනිලා හෝ යම් රසකාරකයක් එකතුකර සෑදු උණු කිරි වීදුරුවකි. ඇස්වාට්ටුවෙන් බැස පාසලට පයින් ඇවිදගෙන ගියෙමි. පසුව එය පුරුද්දක් විය. උදෑසනම අවධිවෙන්නට සිදුවෙන නිසා රස්තියාදුවීමට කාලය බොහෝය. පසුදාම අත තිබු මුදලින් බස් සීසන් එක මිලදීගත් මම කෙමෙන් කෙමෙන් මෙම කාල සටහනට හුරුවූවෙමි.
පාසැල් ඇරී මට කැමති වේලාවකට ගෙදර ඒමට හැකිය. ඒ පිළිබඳ ඇය විමසන්නේ නැත. ඇය ගතකළේ මහා ගුප්ත ජීවිතයක් නේදැයි මට දැන් සිතේ. මමද බඩගිනිවූ පසු නවාතැනට ඒමට හුරුවුණෙමි. දහවල් බත් පිඟාන මේසය මත විය. ඇඳුම් සෝදා ගැනීමත් , නා ගැනීමත් සිතුවාටත් වඩා අපහසු කාරියක් විය. කොයි වේලාවේ බැලුවත් එතන පෝලිම්ය. මෙහිදී මට සහයට පැමිණියේ මගේ පාසල් මිතුරෙකුවූ විමල් රත්නසිරිය. ඔවුන් පදිංචිව සිටියේ සේදවත්ත කළුපාලම අසල නිවසකය. සති අන්තයේ විමල්ගේ ගෙදර යන මම, ඔවුන්ගේ අම්මා විසින් සාදා දෙන රස බොජුන්ද සප්පායම්වී, කැලණි ගඟට ගොස් නාගෙන රෙදි සෝදාගන්නටත් පුරුදුවී සිටියෙමි. රෙදි වේලාගෙන නැවත පැමිණෙන්නේ ඉරිදා දිනයේදීය. අප පාසල් හැර ගිය පසුවත් මේ මිතුදම පැවතුණි. පසුව ඇමරිකාවේ සිට පැමිණි විමල් සංචාරක ක්ෂේත්‍රයට අදාළ සාර්ථක ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියේය.
කොස්ගස් හන්දියේ සිටී කාලයේ නොවූවත් මම පාසැල් මිතුරන් රාශියකගේ නිවෙස් හී සැරිසරා ඇත. මා සමග ඉගෙනගත් අප කංඩායමේ සමහරක් මිතුරන්ගේ නිවෙස්වල රාත්‍රියද ගතකර තිබේ. මට ඒ සඳහා බොහෝ නිදහස හා ඉඩකඩ තිබුණි. ඔය වයසේදී එතරම් නිදහසක් ලැබෙන්නේ නැත. මට එය ලැබුණු හේතුව ඔබ දනී. හේමමාල් ජයවර්ධන, චම්පාල් කොස්තා, පී.යු.රාමනායක, ප්‍රසන්න ගුලසේකරම්, ජී.ඩබ්.ඇඩම්ස්, ආර්.ඩබ්. උඩවත්ත, හර්ෂ සූරියාරච්චිගේ නිවෙස් මින් සමහරක්ය. මොවුන්ගේ දෙමාපියන්ද මට බොහෝ කාරුණික වූහ. මේ සියල්ලෝම අද වනවිට වගකිව යුතු තනතුරු දරමින් ලංකාවේත් පිටරටත් රැකියාවන්හී යෙදේ. ආර්.ඩබ්.උඩවත්ත මෑතකදී හමුදාවේ මේජර් ජෙනරාල් ධූරයකට උසස් කළබව පුවත්පත් වලින් දුටුවෙමි.
දැන් ලියන්නට ඇත්තේ පාසලේදී සිදුවු වෙනස්වීම්ය. මා තේරී පත්වූයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට බව කලින් ලියා ඇත්තෙමි. දිවයිනේ සතර දිසාවෙන් පැමිණි අප හතළිස් දෙනාගේ කංඩායම, වසර හතරක කාලයක් ඉතාම සහෝදරත්වයෙන් අධ්‍යාපනයේ යෙදුණෝ වෙමු. උසස් පෙළ හැදෑරීමට යෑමේදි අප කංඩායම, ජීව විද්‍යා,හෝ ගණිත විෂයධාරාවන් හැදෑරීමට පන්ති නවයකට හෝ දහයකට බෙදී වෙන්වී ගියෝය. වාණිජ විෂයන් හැදෑරීමටත් තව දෙතුන් දෙනෙක් හෝ වෙන් විය. අප පංතියේ සියල්ලෝම උසස් පෙළ හැදෑරීමට වරම් ලැබීය.
ජීව විද්‍යා පන්ති 4ක් සහ ගණිත පන්ති 4ක් විය. මේ විෂයධාරා දෙක මිශ්‍රව ඉගෙනීමට එක් පංතියක් විය. මම ඇතුළුවූයේ එතරම් දක්ෂයින් සිටි පංතියකට නොවේ. අප පංතිය හැඳින්වූයේ “වල” නමින්ය. වල පන්තියේත් තාර මුඩුක්කුව නමින් සෙට් එකක් විය. මමද එහි ප්‍රධාන සාමාජිකයෙක් විය. මේ කංඩායමේ සිටි බොහෝ දෙනෙක් අපූරු මිතුරන් විය. මොවුන් සියල්ලක්ම කොළඹ අවට නාගරික වැසියන්ගේ දරුවන් වූහ. ශ්‍රීනාත් ප්‍රේමරත්න (පුංචි බොරැල්ල )අජිත් කුමාර (මරදාන )ලලිත් චන්ද්‍රරත්න (කොල්ලුපිටිය )කපිල පීරිස්, අරෝස ජයසිංහ (ගල්කිස්ස ) ධම්මික අගලවත්ත (ජාවත්ත )අප කංඩායමේ ප්‍රබලයන් විය. අප තරම්ම දඩබ්බර වැඩ නොකළත් තවත් සුවිශේෂ චරිත කිහිපයක් අප පන්තියේ විය. කාලිංග ඉන්දතිස්ස, ඉන්දීර උක්වත්ත, නිලූ ෆිලිප්ස්, ජෙරමි බෝලින්ග්, අජිත් දේවසුරේන්ද්‍ර, ඩී.එස්.ගුණරත්න, ජගත් අබේසිරිගුණවර්ධන ඉන් සමහරක් අයවේ. මින් බොහෝමයක් ක්‍රිකට්, රගර්, පාපන්දු,ඔරු පැදීම වැනි ක්‍රීඩාවන්හී ඉහළ දස්කම් දැක්වූවන් විය.
අප පංතිය පිහිටා තිබුණේ රාජකීය විදුහලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ උඩු මහලේ, ක්‍රීඩා පිට්ටනිය පැත්තට වෙන්නටය. අන් කිසිම පංති කාමරයකට නොතිබූ සුවිශේෂ පහසුකමක් මේ පන්තියේ විය. ඒ බැල්කනියකි. ක්‍රීඩා පිට්ටනිය පැත්තට තිබු දොර විවෘත කල විට බැලකනියට පිවිසෙන්නට හැකිය. පිටතින් අගුළු දැමීමටද හැකිය. පන්තියේ උගන්වන ගුරුවරයෙකුටවත් නොපෙනෙන එම කොටසේ බිම වාඩිවී, සමහර විෂයන් උගන්වන කාල පරිච්ඡේදයන් නිකරුණේ ගෙවා දැමීමටත් යම් අවස්ථාවන් අපි කිහිප දෙනෙක් ප්‍රයෝජනයට ගත්තෙමු.
රාජකීය විදුහලේ ඒ වන විට අති දක්ෂ ගුරු මංඩලයක් වූහ. ඔවුන්ගේ කැපවීම සහ දක්ෂතාවය මතම එවකට වෛද්‍ය විදුහලටත්, ඉන්ජිනේරු පීඨයන්ටත් බොහෝ රාජකීයයන් ඇතුළුවූහ. අපේ පන්තියේ සිටිවුන් බොහෝ අය ඉගෙනීමට එතරම් උනන්දුවක් නොදැක්විය. භෞතික විද්‍යාව වෙනුවට කෘෂි විද්‍යාව තෝරා ගැනීමට ඉඩක් ලබා දුන්නේය. මමත් ඇතුළුව තවත් 7-8දෙනෙක් පමණක් මේ අවස්ථාව තෝරා ගන්නට යෙදුණි. කෘෂි විද්‍යා ආචාර්යවරිය වූයේ පේරාදෙණියේ විවියේ සිට පැමිණි ඉතාමත්ම තරුණ ගුරුවරියක්වූ පුෂ්පා අබේසිරිගුණවර්ධන මෙනෙවියයි. මම මේ කංඩායමේ හොඳම සිසුවා විය. නමුත් මේ සියල්ලක්ම කෙමෙන් කෙමෙන් ඇත හැර දමන්නට මම පටන් ගතිමි. උද්භිද විද්‍යා විෂය ඉගන්වූ පී.එච්.නෝනිස් මහතාද අපූරු චරිතයකි. මොවුන් සියල්ලන්ම ගැන ලියන්නට ගියහොත් කාලය හරස්වනු නොඅනුමානය.
කොස්ගස් හන්දියේ නවාතැනේ මා නැවතී සිටියේ මාසයක් හෝ දෙකක් වැනි කාලයක් පමණය. සෝමපාල අයියා එම ගෙදරට පැමිණියේ ඉඳහිට දවසක් දෙකක් පමණි. මේ ඔහුගේ විවාහක බිරිඳ දැයි මට තවමත් සිතාගත නොහැක. මට එය දැනගත්තා යැයි ලැබෙන හොඳක් හෝ නරකක්ද නැත. නමුත් ඇය මගෙන් බෝඩිම් ගාස්තු සහ කෑම ගාස්තු ඉල්ලා සිටියේ මාසයකට එක හමාරකට පසුවය. ගාස්තු කතාවක් මම දැන සිටියේත් නැති නිසා තදබල අපහසුතාවයකට පත්වුණෙමි. මේ පිළිබඳව විමසන්නට සෝමපාල අයියාත් නැත. වරක් දෙවරක් ඇය මගෙන් මුදල් ඉල්ලා සිටි නිසා, ඕන දෙයක් වුණාවේ යැයි සිතා, ඇය නිදි අතරේ මම කාටත් හොරෙන් මගේ අටවැනි නවාතැන් පොළෙන් පලාගියෙමි.

Wednesday, April 9, 2014

අවුල් වන්නට පෙර මේ බල්ලා බැඳ දමනු!!!!


ලියන්නට සිටි දේ පසකට දමා බල්ලෙක් ගැන ලියන්නට වුණේ…ඌ සමග ලගිනා බල්ලන්ට නැගිටීන්නට වෙන්නේ මැක්කෝ සමග නිසාමය. මේ වල් බල්ලා ලගින්නේ කොයි බල්ලා සමගද යන්න බල්ලෝ නොවෙන හැම සතෙක්ම දනී. මුන් ගැන ලියන්න බොහෝදේ ඇතිමුත්, මේ බල්ලා අයිති නිකායක් තිබිය යුතුය. ඒ නිකායේ මහ තැන්, මේවා වෙනුවෙන් ගත යුතු තීරණ සහ ක්‍රමවේද තිබිය යුතුය. එක්කෝ මේ බල්ලාට නිකායක් නැති, තාත්තෙක් නැති අවජාතකයෙක් විය යුතුය. මේ පාහරයාට මස් කටු වැටෙන්නේ කොයි පාත්තරයෙන්ද කියා දන්නා මුත්, උන්ට ගිය රටක අනිත් හැම එකාම බල්ලෝ වී සිටි.
කිසිත් නොලියා අද දුටු දේ ගැන කම්පා වෙමි. නානසාර නම්වූ අවජාතක සුනඛ පුත්‍රයාට, බුද්ධ පුත්‍රයෙක් යැයි කීමට සිදුවීමම අප මහා ගෞතම බුදු රජාණනන් වහන්සේට කරනා විශාලතම අසාදරණය යැයි මම සිතමි.
මෙවැනි බල්ලන්ට කියන්නට ඇත්තේ …තොපි වැනි එවුන් කාලකට වඩා ගැහුවොත් ඩෝප් වෙන වගය. බල්ලන් භාගයක් ගහන්නට පෙර සිතා බැලිය යුතුය. නැත්නම් තොපේ ඩෝප් ඉවසා වදාරා සිටීමට මිනිසුන් අකැමතිය. තොපිට කුණු වෙන්නටම බොන්න දෙන මහ බල්ලෝද මෙය තේරුම් ගත යුතුය. බල්ලෝ ඩෝප් වෙන හැටි පහතින් බලන්න.