Monday, May 19, 2014

අවුල් වන්නට පෙර…(29) කොල්ලුපිටිය , කොළඹ 3

කොල්ලුපිටියේ වාළුකාරාමය අවට පදිංචිව සිටියේ හෝ හිමිකාරිත්වය තිබුණේ මුදල් හදල් ඇති, සමාජ සම්බන්ධතා බහුල මිනිසුන් කොටසක්ය. මේ අතර දේශපාලකයින්ද, ව්‍යාපාරිකයින්ද බොහෝ වූහ. ගාලු පාරෙන් වාලුකාරාම පාරට හැරෙන විටම තිබුණේ ඉතාම කුඩා නිවසකි. මේ පවුලේ උදවිය හා පන්සල අතර සුහද ගනුදෙනුවක් නොවූයේ පාර පළල් කිරීමට පන්සලෙන් කල ඉල්ලීමක් නිසා නිවසෙන් කොටසක් පාරට වෙන්වීමට නියමිතව තිබූ බැවින්ය. ගාලු පාරේ සිට ඩුප්ලිකේෂන් පාර දක්වා වූ අනිකුත් බොහොමයක් නිවාස එතරම් හානියකට ලක්නොවූයේ, එම නිවැසියන් සතුව ඇති පමණට මිදුල් ඉඩකඩ තිබු නිෂාවෙන්ය. කෙසේ නමුත් ඒ වකවානුවේදීම වාලුකාරාම පාර පුළුල් කිරීමකට ලක්විය. ඉහතකී පවුලේ උදවිය නායක හිමියන් සමග අඩදබරයකට ඒමට මැලිවුවත්, එහිමියන් මේ උදවියට පෞද්ගලිකවත් මූල්‍යමය ආධාරයක් කල බැව් මම අසා ඇත්තෙමි. ඩුප්ලිකේෂන් පාරෙන් වාලුකාරාමයට හැරෙන විට දකුණු පසින් පන්සල තෙක්ම දිගටම පැවතියේ කුඩා නිවාස පේළියකි. මේවා පැලපත් නොවූ මුත් අවම පහසුකම් වලින් පමණක් සමන්විත විය. වම් පසින් තිබුණේ තනි තනි ඉඩම්වල තනා තිබු විශාල දෙමහල් නිවාසයන්ය. ඔවුන් ධනවතුන් වූහ. දෙපැත්තේම සිටි කොල්ලෝ කුරුට්ටෝ ක්‍රිකට් ගැසූවෙත්, ටින් පෙරළුවේත් වාලුකාරාම පාර මැද්දේය. මෙම පාර පුළුල් කිරීමට හේතුව වූයේ 1963 සිට අද වෙනතුරුත් ආනන්ද හිමියන් විසින් පවත්වාගෙන පවත්වාගෙන එන වාලුකාරාම ඇසළ පෙරහැර ගමන් මාර්ගයේ ආරම්භයට පහසුවක් පිණිස විය යුතුය.
කුඩා නිවාස 20-25 කින් පමණ සමන්විත මේ ගෙවල් පේළියේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් සියලුම ජාතින්ගෙන් සමන්විත මිනිසුන් පදිංචිවී සිටි අතර පන්සලත් ඔවුනුත් අතර මනා සම්බන්ධතාවයක් පැවතිණි. පන්සල් භූමිය පිරිසිඳු කිරීම පවා ඔවුන් හෝ අප කවුරුන් අතින් ස්වෙච්ඡාවෙන් සිදුවූවත්, බෝ මළුව හා ආවාස ගෙය ඉදිරිපිට අතුගෑමත් ආනන්ද නායක හාමුදුරුවන් තමන්ටම පවරාගත් රාජකාරියක් විය.දිනපතාම හිමිදිරි උදෑසනත්, හැන්දැවරුවේත් ශාරීරික ව්‍යායාමයක් සේ සලකා මෙය සිදුකළා විය යුතුය. ඒක් රටාවකට මිදුල ඇමදීම බොහෝ සිත්ගන්නා සුළුය. මහා පාන්දර අවදිවෙන මෙහිමියන් ස්නානය කර දිනපතාම හිස සහ රැවුල බෑම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ සඳහා කදිම දැලි පිහි කීපයක් ඔහු සතු විය. පිරිසිඳුවත්, ප්‍රියමනාපවත් ආවාස ගෙය ඉදිරිපිට තබා තිබූ ලෑලි බංකුවේ වාඩිවී සිටීම පුරුද්දක් විය. ගාලුපාර අවට සහ වාලුකාරාම පාරේ මිනිසුන්ද, පාසල් සිසුන්ද තර්ස්ටන් පාර පැත්තට ගොස් හයිලෙවල් පාරට සම්බන්ධවීමට පයින් ඇවිදයන්නේ පන්සල් භූමිය හරහාය. බොහෝ මිනිසුන්ට උදෑසන මේ ප්‍රියමනාප මෙන්ම ගාම්භීර මිනිසා සමග වචනයක් හා දෙඩීම සතුටට කාරණයක් විය. වාළුකාරාමය අවට ජීවත්වූ බොහෝමයක් දුප්පත් හෝ පොහොසත් පවුල්වල දරුවන් රාජකීය විදුහලේ සිසුවන් විය. ඒ නිසා සියල්ලන්ම මගේ මිතුරන් විය. පන්සලක නැවතී සිට ඉගෙනුම ලැබූ එකම රාජකීයයා මම විය යුතුය. ගෙවල් පේළියෙන් පැමිණ පාසල් යන ළමයින් උදේට නායක හාමුදුරුවන් ළඟට විත් වැඳ ආචාර කරන්නේ අන් කිසිවක් නිසා නොව, ඒ වෙනුවෙන්ම ළඟ තබා ගෙන තිබූ ශත පනහක්, විසිපහක් ලබා ගැනීමට බව එතුමා දැන සිටියේය. පන්සල් පිං කැටවල ඒ වෙනුවෙන් ඇති පදම් මාරු කාසිවිය.
මිදුල අතුගා ,මල් පහන් පූජා කර, බුඳුන් නමදින ආනන්ද හාමුදුරුවන් ඉන්පසු උදෑසන ආහාරයද ගෙන නොයෙකුත් රාජකාරීවල යෙදේ. මුළු පන්සල් භූමියත්, පාරේ මදක් දුරකට යන තෙක්ම හමන හඳුන්කූරු සුවඳත් මට අදටත් ගෙන එන්නේ මිහිරි මතක සටහන්ය. මමද අර කොලු රැළ සමගම පාසැල් ගියෙමි. මා කිවු පරිදි ගෙවල් පේළියේ සිටි බොහොමයක් කොලුවන් රාජකීයයන් වූ අතර කෙල්ලන් කොල්ලුපිටිය, බම්බලපිටිය කාන්තා පාසල්වල සිසුවියන් විය. උදය වරුවේම පන්සල තුළ ඇත්තේ විශාල ගාලගෝට්ටියකි. කැම්පස් යාමට සැරසෙන හාමුදුරුවරුන්ද, අනිකුත් අයද එක පිම්මට වැසිකිළි කැසිකිළි කටයුතු වලටත්, උදේ ආහාරය ගැනීමටත් පෝලිම් ගැසීය. හීල් දානය රැගෙන විත් සිටිනා අයවේ නම් ඒ චාරිත්‍රත් පැවැත් විය යුතුය. පැවිදි ජීවිතය තුළ මේ සියල්ලක්ම ඉවසා වදාරා සිටිය යුතුවේ. ලෙහෙසි පහසු කටයුත්තක නොවන්නේ අධ්‍යාපනයේ යෙදෙන හිමිවරුන්ටය. ඒව පසුව සාකච්ඡා කල යුතුවේ. වැසිකිළි හය හතක් සහ නෑම සඳහා හිරගෙදර වැනි වතුර ටැංකියක්ද විය. දාන ශාලාවද එකවර 15-20 අසුන් ගැනීමට හැකි ලෙස සකසා තිබුණි. මේ සියලු වැඩ කටයුතු මැද නායක හිමියන්ද සිංහයෙක් සේ විමසිල්ලෙන් බලා සිටී. කුස්සියට ගොස් විශාල තේ ජොග්ගුව හැදීමටත්, ඒ අතරතුර තවත් වැඩක් ඇත්නම් එයට උදව් වීමටත් කඩියෙක් සේ යුහුසුළු විය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අපේ භාෂාවෙන් පුදුම පොරක් විය.
ඩුප්ලිකේෂන් පාරේ සිට වාළුකාරාමය පාරට හැරුණු තැනම තිබුණේ විශාල නාන බාල්දි 15-20 සහිත, අවට මිනිසුන්ට පැමිණ මුදල් ගෙවා ස්නානය කරගැනීමටත්, රෙදි සෝදා ගැනීමටත් තිබු ස්ථානයක්ය. මේ නාන බාල්දිය යැයි හැඳින්වූ තැන් ගැන බොහෝමයක් දෙනා නොදන්නවා යැයි මම සිතමි. නාන බාල්දි කොළඹ නගරයට පමණක් සීමාවූ සංකල්පයක්දැයි මට සිතේ. මෙවැනි ස්ථානයන් අන් කවර නගරයකවත් මම දැක නැත. කොම්පඤ්ඤවීදියේ මෙවැනි තැනක් තිබූ බව දැක ඇතත් මරදානේද එවන් තැනක් තිබූ බවත් අසා තිබුණි. මේ ස්ථානයන් පෞද්ගලික හිමිකරුවන් විසින් මුදල් අය කර ගැනීමෙන් පවත්වා ගිය තැන්ය. එක දිගට එකිනෙකට යාබදව සිමෙන්තියෙන් බැඳ තිබූ විශාල ටැංකි පේළි කිහිපයක් වේ. මේ ටැංකිවලට නිතරම විශාල වතුර පොම්ප මගින් ජලය පුරවනු ලබයි.මගේ මතකය නිවැරදි නම් එක් වතුර ටැන්කියක් ශත පනහක් හෝ ශත හැත්තා පහක් පමණ විය. එක් ටැංකියකින් ඇති පදමට නාගැනීමටත්, රෙදි සෝදා ගැනීමටත් ප්‍රමාණවත් විය. සමහරුන් තම කුඩා දරුවන් නාවා පිරිසිඳු කර ගත්තේත් එකම නාන බාල්දියකින්ය. වතුර හිසට වත්කර ගැනීම සඳහ කුඩා බාල්දි හෝ කම්බියක් ගැට ගැසූ විශාල ටින් තබා තිබුණා මතකය. ගැහැනුන් සඳහා කොටසක් වෙන්විය. මෙවැනි ස්ථාන මරදාන, කොම්පඤ්ඤවීදිය අවට තිබුණේ ඇයිදැයි සිතා ගත හැකි මුත් කොල්ලුපිටියේ මෙවැනි ස්ථානයක පවත්වා ගෙන ගියේ, වාලුකාරාම පාර පදිංචිව සිටි ගෙවල් පේළියේ මිනිසුන් ඉලක්ක කර ගෙන දැයි කීමට නොදනිමි. නමුත් ඔවුන් වෙනුවෙන් වැසිකිළි පද්ධතියක් සහ නාන කාමර පේළියක් එම පාරේම අයිනේ විය. ඒ කෙසේ වෙතත් මේ නාන බාල්දිය උදය වරුවේත්, හැන්දෑවේත් මිනිසුන්ගෙන් පිරී ඉතිරී තිබුණි. මේවා දියසෙවෙල, පාසි බැඳීමෙන් තොරව ඉතා පිරිසිඳුව පවත්වාගෙන යාමට සේවකයෙක් හෝ දෙදෙනෙක් විය.
මේ ප්‍රදේශය එවකට බොහෝ ප්‍රසිද්ධ දේශපාලකයින් පදිංච්වී සිටි යුගයකි. ඔවුන් බොහෝ දෙනෙකු අද ජීවතුන් අතර නැත. මේ බොහෝ දෙනා පන්සලේ ක්‍රියාකාරී දායකයින් නොවූවත්, මාසිකව හෝ යම්කිසි කාල සීමාවක් තුල නොවරදවා දානයක් පිරීනැමීය. බොහෝදෙනා පිසින ලද ආහාර වෙනුවට මුදල් පරිත්‍යාගයක් කිරීමට පුරුදුවී සිටියහ. නියමිත දිනයට දිනකට හෝ දෙකකට පෙර දානය මතක් කරදීමට යෑම පන්සලේ රාජකාරිය විය. මේ කටයුත්ත ප්‍රේමදාස හෝ බන්දුට පැවරී තිබුනි. මමත් ඔවුන් සමග පසුපසින් යෑමට කැමැත්තක් දැක්වූයේ සිගරට් බාග ගැසීමටත්, රවුමක් ගසා අවට තොරතුරු බලා ගැනීමටත්ය.
එවකට දේශපාලන ප්‍රබලයෙක්වූ රොනී ද මැල් මහතාගේ බගතලේ පාරේ නිවසින් සෑම මාසයකට වරක්ම ප්‍රණීත පිසූ අහාර, රසකැවිලි, පිටිකිරි සිට හකුරු මුල දක්වා සියල්ල සම්පාදනය කෙරුණි. දන්තාලේප, සබන් වැනි දේද මසුරු නැතිව සපයන ලදි. 15-20ට සෑහෙන මේ දාන වේල රැගෙන ඒමට දෙතුන් දෙනෙක්වත් එම නිවසට යායුතුය. ඔවුන් කිසි විටෙකත් පන්සලට පැමිණියේ නැත. විශේෂ අවස්ථාවකටවත් ආවාදැයි මතක නැත. පාසැල් නිවාඩු දිනයක නම් මමත් ඔය වැඩයට හවුල්වුණෙමි. කඩදාසි කවරවල සහ වෙනත් ආකාරයෙන් ඔතා තිබූ භාණ්ඩ පමණක් ඔසවාගෙන ඒමට මම සැමවිටම උත්සාහ කරේ, පාසල් මිතුරන් රාශියක් සිටින්නේත් ඔය අවට පාරවල් වල නිසා, ඔවුන්ගේ කතාබහට ලක්වේවි යන ලැජ්ජාව නිසාමය. අනික් එවුන් නම් පන්සලේම රාජකාරිවල යෙදුණු නිසා ප්‍රශ්නයක් නොවීය. වියළි භාණ්ඩ වලින් එකක් හෝ දෙකක් පන්සලට ගෙන ඒමට පෙර යටිමඩි ගසා ගත යුතුබව ප්‍රේමදාසත් බන්දුත් මට පැවසීය. මේවා පසුව මුදල් කර ගත හැකි බවත්, ඒවා සිගරට් බීමට වියදම් කරන බවත් දැන ගත්තෙමි. අන්තිම අමාරු අඩියක සිටීනම් දේවාලයේ පඬුරු ගැලවීමටත් මැලි නොවිය. බත්ගෙන ඒම සඳහා බාල්දියක් වැනි කදිම භාජනයක් තිබූ අතර වෑංජන සඳහා එකිනෙකට සම්බන්ධ කල හැකි ටිෆින් කැරියර්ස් වැනි විශාල මෙවලම් කිහිපයක්ද විය. මේ මොනවා ලැබුණත් පනසලේ අර්ක්කැමියාවූ කරෝලිස් අයියාට දිනපතාම තවත් බත් හැළියක් සහ හොදි මාළු පිනි උයා පිහා තබන්නට සිදුවූයේ පන්සලෙන් කන්නට සිටි අය බොහෝවූ නිසාය. ඉතිරිය රෑ කෑමටය.
රොනී ද මැල් බිරිඳ මල්ලිකා ද මැල් මහත්මිය ඉතා උවමනාවෙන් කුස්සියේ සේවිකාවන් සමග මේවා පිළියෙල කර බාරදෙන අයුරු කිහිප විටක්ම මම දැක ඇත්තෙමි. එම පවුලේ යම්කිසි ආබාධයකට ගොඳුරුවූ දරුවෙක් සිටි බවත් මතකය. රොනී ද මැල් මහතාත් සරමකින් සැරසී ,කණ්ණාඩි කුට්ටමේ පැත්තක් මුවග රඳවා කල්පනා කරමින් වත්තේ සක්මන් කරන සැටි අනන්තවත් දැක ඇති අතර, ඔහු වැඩිපුර කතාබහ කල පුද්ගලයෙක් නම් නොවීය.
වාලුකාරාමයේ පදිංචිව සිටි ගිහි පැවිදි උදවියත්, එහෙදී මට හමුවූ පන්සල හා සබඳකම් පැවැත්වූ දේශපාලකයින්, ව්‍යාපාරිකයින් ගැනත් පසුව ලියන්නට බලාපොරොත්තුවෙමි.

Thursday, May 15, 2014

අවුල් වන්නට පෙර (35)…1977 මැතිවරණ

මගේ අටවැනි නවාතැන්පොළට පිවිසීමටත්, ඒ හා බැඳුණු තොරතුරු ලියා තැබීමටත් පෙර, මා පන්සලේ නැවතී සිටි කාලයේ රටේ සිදුවු තවත් එක් පෙරළියක පිළිබඳව ලියා තැබීම සුදුසු යැයි සිතුවෙමි. ඒ 1977 මහා මැතිවරණයයි. පැවති ශ්‍රිලනිප පාලනයට අති දැවැන්ත පරාජයක් හිමිකර දෙමින් එජාපය පාලන බලය ලබාගත්තේ මේ මැතිවරණයේදීය. ශ්‍රීලනිපය ආසන අටකට බස්සවමින් ආසන දහ අටක් දිනාගත් ද්‍ර.එවිපෙ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය හිමිකර ගන්නා ලදී. ෆෙඩරල් පක්ෂයේ නායක එස්.වී. චෙල්වනායගම්ගේ මරණයෙන් පසු යම් යම් ද්‍රවිඩ කංඩායම් එකතුවී අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් මෙම පෙරමුණ ගොඩ නගාගත් බව එදා සාකච්ඡා විය. මේ සිදුවූ මැතිවරණ ප්‍රතිඵලය තුළ රටේ අනාගතය පෙළගැසුණු ආකාරය පිළිබඳ විග්‍රහය දේශපාලන විචාරකයින්ට පවරා මම ඇසූ දේ සහ දුටු දේ ලියා තබන්නෙමි.
පාලන බලය හිමිකර ගත් පක්ෂයේ ආධාරකරුවන් විසින් පරාජිත විරුද්ධ පාක්ෂිකයින්ට ඒ තරම් අඩන්තේට්ටම් , මැර ප්‍රහාර එල්ල කෙරූ මෙවන් අවස්ථාවක් ගැන ශ්‍රීලාංකීය දේශපාලන ඉතිහාසය තුළ ඉන් පෙර හෝ ඉන් පසුවත් මම අසා නැත. ඒ තරම් අවිචාරවත් සමයක්වී නම්, ඒ 1983 කළු ජූලිය නම්වූ අප්‍රසන්න, මෘග, ම්ලෙච්ඡයන් නීතිය අතට ගත් සමය යැයි හැඳින්විය හැකිය. 1989 පිළිබඳව ලිවීම පසුවට තබාගතිමි. මේ යුග තුනේදීම සිදුවූ ඒ අවාසනාවන්ත තත්වයන් ඇසින් දැකීමට තරම් මිනිසුන් වීම පූරුවේ කල එක් එක්තරා පාප කර්මයක් යැයි මගේ සමකාලීනයෙක් මෑතකදී මා හා පැවසීය. සත්තකින්ම එය ඇත්ත යැයි මමත් සිතන්නෙමි.
1977 පශ්චාත් මැතිවරණ අපරාධයන් සඳහා එක් හේතුවක් වූයේ 1972 ව්‍යවස්ථා සංශෝධනයත් සමගම වසර දෙකකට මැතිවරණය කල් දැමීමට සිරිමාවෝ රජය ගත් තීරණය මත විරුද්ධ පාක්ෂිකයන් තුළ ඇතිව තිබූ තෙරපුම සහ ක්‍රෝධය යැයි මම අනුමාන කරන්නෙමි. මැතිවරණ ප්‍රචණ්ඩත්වයන් සාධාරණීකරණය කිරීමට එය හේතුවක් නොවිය යුතුය. මෙම ව්‍යවස්ථාව යටතේ පැවැත්වූ එකම සහ අවසාන මැතිවරණය මෙයවේ. පොලිසියට සතියක් නිවාඩු දෙනවා යැයි මැතිවරණ වේදිකාවල ජේආර් ජයවර්ධන පොරොන්දු විය. ඇට රාත්තල් අටක පොරොන්දුවද අඩක් කුසගින්නේ සිටි ජනතාවට වැදගත් විය.
අද බොහෝ දෙනෙකුට අමතකව ඇතත් 1977 මැතිවරණයෙන් පසු උතුරු පළාතේද යම් ප්‍රචණ්ඩත්වයක් ඇතිවිය. රාජ්‍ය මර්දනය යාපනයටද මුදා හැරිණි. එහිදී දෙමළ ජනයා දෙසීයකට අධික ප්‍රමාණයක් මිය ගිය බවද කියවිණි. මේ සිද්ධියට අදාළ නොයෙකුත් කතා ප්‍රචාරයවූ අතර මට ඒ පිළිබඳ මතකය අවුල්ය. කාලීනව වර්ධනයවූ දෙමළ ජාතිවාදී ගැටලුවලට මෙම සිද්ධියත් පදමට ලුණු ඇඹුල් සපයන්නට ඇතැයි සිතාගත හැක. මේවා ගැන ගැඹුරින් විග්‍රහ කිරීමට තරම් මගේ දැනුම ප්‍රමාණවත් නොවේ. කෙසේ හෝ වේවා මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු යුඇන්පී නොවූ බොහෝ ආධාරකරුවන්ගේ උන් හිටි තැන් පවා අහිමි විය. ජීවිත අහිමි විය. ගම්බිම් අත හැර පලා ගියෝය. ජේආර් ජයවර්ධන මොන පොරොන්දුව අමතක කළත් එක් පොරොන්දුවක් ටක්කෙටම ඉටු කළේය. පොලිසියට සතියක් නිවාඩු දෙනවා යැයි කියු නිසා පොලිසිය නිදි වැදුණේය.
අපි ඡන්ද ප්‍රතිඵල ඇහුවේ පන්සලේ ගුවන් විදුලි යන්ත්‍රයෙන්ය. එන්න එන්නම ඡන්ද ප්‍රතිඵල නිවේදනය කිරීම පරක්කු වෙන්නට විය. නායක හාමුදුරුවෝ කිවේ පරාජය ගැන මුලින් දන්නා බවත්, දැන්නම් වැඩේ හොඳටම ජූනියස් බාස්ට ගිහින් බවත්ය. සමහරක් නරක ආරංචි නිසා බොහෝ අය සිතුවේ ශ්‍රීලනිප බල කණුවක්වූ නායක හිමියන්ට කරදර විය හැකිද යන්නය. මම එදත් බය නැහැ, අදත් බය නැහැ යැයි කියු මේ යෝධ පුරුෂයා, ප්‍රතිඵල අසන්නට අවදි කරන්න යැයි කියා නිදන්නට ගියේය. මට අදත් හොඳහැටි මතක පළමුවන ප්‍රතිඵලය නිකුත්වුණේ සම්මන්තුරේ ආසනයේය (සුධීකගේ බ්ලොගයේ තවත් කවුරුන් හෝ මේ බව සඳහන් කර තිබුණී). කේවල ආසන ක්‍රමයට පැවැත්වූ අවසාන මැතිවරණය මෙය විය.
මට වඩාත් සමීපවු මැතිවරණ ප්‍රතිඵල වූයේ, මා නැවතී සිටි බටහිර කොළඹ ආසනයත්, කෝට්ටේ, මහරගම, අවිස්සාවේල්ල සහ ඇහැලියගොඩ ආසණයන්ය. අපේ ගම් පළාතත්, තාත්තාගේ සමසමාජ මිතුරන් තරඟකල ආසනයන් වුයේ ඔය පළාත්ය. බටහිර කොළඹ ජේආර් ජයවර්ධන ජයග්‍රහණය කළේ අති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින්ය. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ පැරදෙන නිසාම දැමු අපේක්ෂකයෙක්වූ ලාල් සල්ගාදු නම් කෙනෙකි. බටහිර කොළඹ එදාත් අදත් යුඇන්පී බලකොටුවකි. මගේ උපන් බිමවූ දෙල්කඳ අයිතිව තිබුණේ කෝට්ටේ ආසනයටය. මේ මැතිවරණ කොට්ඨාසය මහරගම නමින් තවත් කොටසකට වෙන්වූ බැවින්, එදා කෝට්ටේ කොටා නමින් හැඳින්වූ හිටපු කතානායක ස්ටැන්ලි තිලකරත්න මහරගමින් ඉදිරිපත් විය. කෝට්ටේ ආසනයට ඉදිරිපත් වූයේ 1977 මැතිවරණයට කලින් යුඇන්පී ප්‍රබලයෙක්වූ ජිනදාස නියතපාලය. මොහු දේශපාලනයේ අවාසනාවන්තම මිනිසා කරමින් යුඇන්පියේ ආනන්ද තිස්ස ද අල්විස් කෝට්ටේ අසුන ජයගත් අතර, එම ආසනයෙන් කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ කෙරූ අපේ ගමේ මිනිහා, තාත්තාගේ හිතවතා කේ.පි.සිරිවර්ධන ඉතා අඩු ඡන්ද ප්‍රමාණයක් ලැබීය. අති දැවන්ත දේශපාලන චරිතයක්වූ කතානායක ස්ටැන්ලි තිලකරත්නව මහරගමින් පැරදවූයේ යුඇන්පියේ ප්‍රේමරත්න ගුණසේකර නම්වූ නවකයාය. මොහු සිනමාශාලා සේවකයෙක් ලෙස රැකියාව කෙරුවෙක් බව මිනිසුන් පැවසීය. ජනතා කලකිරීම වටහා ගැනීමට හොඳම නිදසුනක් මෙය විය යුතුය. අවිස්සාවේල්ල ආසනයට මහජන එක්සත් පෙරමුණෙන් තරඟ කල දිනේශ් ගුණවර්ධන පරාජය කරමින් යුඇන්පියේ එම්.ඩී.ප්‍රේමරත්න නම් නවකය ජය ලැබීය. තාත්තාගේ මිතුරා සමසමාජයේ චන්ද්‍රා කුමාරගේ අන්ත පරාජයක් ලැබීය. ඇහැලියගොඩින් වාසුදේව නානායක්කාර පරදමින් කුලරත්න නම් කෙනෙකු ජය ගන්නා ලදි. අපේ තාත්තාගෙත්, නායක හිමියන්ගේත් දේශපාලන අදහස් හා එහි නායකයින් 1977 ජනතා කැමැත්ත මත දේශපාලන භූමියෙන් අතුගා දමන්නට විය. මමද තදින් කම්පාවුණෙමි. වාසනාවකට මේ දෙදෙනාගෙන් කිසිවෙක් මැර තර්ජනයන්ට ගොඳුරු නොවීය.
මෙම මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේදි ආර්.ප්‍රේමදාස අගමැති ලෙස පැවැත්වූ කථාවේදි “වලව්වක උපන් අවජාතක කුමාරයෙකුට වඩා. පිටකොටුවේ එළවළු බක්කියක උපන් ප්‍රේමදාස …..”යැයි කතාවක් පැවැත්විය. මට හරියටම එහි වචන මතක නැත. ඒ මැතිවරණ වේදිකාවේ ප්‍රේමදාසට එල්ලවු ප්‍රහාරයට,අනුර බණ්ඩාරනායක වෙත දුන් ප්‍රතිප්‍රහාරයක් විය. නමුත් මේ කථාවේ එම කොටස බොහෝ දෙනා පිළිකෙව් කරන්නට යෙදුණි. ඉදින් පසු අගමැති ප්‍රේමදාස ඔහුගේ කතා ශෛලිය වෙනස් කෙරූ බව මගේ මතකයයි.
අපේ තාත්තා, 1960 ගණන්වල සිට පැවත්වූ ඡන්දයන්හී ප්‍රතිඵල ,පුවත්පත් වලින් කපා අලවා තැබු වටිනා එකතුවක් විය. තාත්තා නැවැත්වූ 1977 මැතිවරණයේ සිට පුතා වැඩ පටන් ගත්තේය. මට ඕවා කට පාඩම් විය. එතැන් සිට 2000 මැද භාගයක් වෙන තෙක් පැවැත්වූ සියලු ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු, ජනාධිපතිවරණ සියල්ලකම ප්‍රතිඵල (ආසන මට්ටමින් පවා)ලොකු සීආර් පොත්වල අකුරෙන් ලියා තබා ඇත (ප්‍රධාන පක්ෂවල නාමයෝජනා ලැයිස්තුද ඇතුළත්ය ).මා වරක් සමසමාජ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට ගියේ යම් තොරතුරු රැස් කිරීමකටය. ඒත් එක් මැතිවරණයක් සඳහා සංධානගතව ඉදිරිපත්වූ සමසමාජ අපේක්ෂයන් කවුදැයි සොයාගැනීමටය. ඒද මගේ මේ එකතුවට අවශ්‍ය නිසාවු බැවින්ය. එහිදී මට හමුවූ එවකට සමසමාජයේ ප්‍රධාන ලේකම්වූ විමලසිරි ද මැල් මහතා, මා සතු මේ තොරතුරු ගැන පුදුමයට පත්විය. ඒ සියලුම පොත්පත් සහ තොරතුරු සමසමාජ ප්‍රධාන කාර්යාලයේ පුස්තකාලයට පරිත්‍යාග කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටියේය. නමුත් ඒවා නොදිසිටීමට තරම් මම මසුරු වුණෙමි. දුන්නා නම් ඒවා අදටත් සුරක්ෂිතව පවතී. මෑතකදී මට දැනගන්නට ලැබුණේ සියල්ලක්ම පුස් කා තෙත බරිතවී ඇති බවය. මීට වසර ගණනාවකට පෙර තිබූ තැන්වලම තිබෙන්නට දමා තිබූ නිසා මේ සිදුවී ඇතැයි සිතේ. මේ සමගම විනාශවූ තවත් ඉතාමත් වටිනා (මූල්‍ය නොවේ )යම් යම් එකතුවක් මා සතුව තිබුනි. නැතිවූ දේවල් ගැන මට දැන් කිසිම උනන්දුවක්ද නැත. ඒ ගැන ලියන්නට ගියොත් කතාව දිග වැඩිය.
මැතිවරණ සහ එහි ප්‍රතිඵල විස්තරයන් ගැන මට ඇත්තේ පුදුම පිස්සුවකි. මට ඡන්ද අහන්නට ඇත්තේද එවැනි පිස්සුවකි. මම පසුගිය බස්නාහිර/දකුණ ඡන්දයද මුල සිට අග දක්වාම නොකඩවා සවන් දුන්නෙමි. මේවා ගොන් වැඩය. නමුත් සමහරක් ගොන් වැඩවලට මම තවමත් ආසා කරන්නෙමි. මේ පිස්සුව නිසාම මම අද අන්තර්ජාලයෙන් ලැබුනු තොරතුරු පහත අකාරයට සකස්කර ලියා තබන්නෙමි. මගේ පිස්සුව කියවා ඔබත් පිස්සෙක් වෙන්න.
මට වෙච්ච දේට පෙර 1977දී රටට වෙච්ච දේ ලියවුනේ ඔන්න ඔහොමය!!
එදා සිටි සහ අද සිටිනා දේශපාලකයින් පිලිබඳ ඔබම සංසන්දනය කර බලන්න!!!!
1977 ආසණ මට්ටමින් ලැබු ප්‍රථිපල:
UNP…….140
TULF…… 18
SLFP…….08
CWC……..01 (Thondaman Sr)
OTHERS…..01 (R.P.Wijesiri)
ජයග්‍රහණය ලැබු යුඇන්පී සමහරක් (මොවුන් බොහෝ දෙනා නවකයින් විය )
R.Premadaasa ….. MDH JAYAWARDHANA … RENUKA HERATH … AMARA PIYASEELI ….
M.H.MOHOMED.. GAMANI JAYASURIYA .. RUPA KARUNATHILAKA … JAYAWICKRAMA PERERA…
S.DE.S.JAYASINGHE .. TYRONNE FERNANDO … RONNIE DE MEL … DB WELAGEDHARA….
WIJAYAPALA MENDIS…. BAKEER MARKER … MONTEGUE JAYAWICKRAMA… GM PREMACHANDHRA….
JOSEPH MICHAEL … ALICK ALUWIHARE …. RANJITH ATHAPATTU… ELB HURULLE…
SARATHCHANDHRA RAJAKARUNA … ACS HAMEED… PMB CYRIL…. AMS ADHIKARI….
RANIL WIKRAMASINGHE …. EL SENANAYAKA… P DAYARATHNA …. HGP NELSON…
CYRIL MATHEW .. DB WIJETHUNGA… HERALD HERATH… PERCY SAMARAWEERA…
WEERASINGHA MALLIMAARCHCHI … GAMINI DISANAYAKA … FESTUS PERERA … WLM LOKUBANDARA ….
NISSANKA WIJERATHNA … WIMALA KANNANGARA … GAMINI ATHUKORALA … NANDA MATHEW ….
LALITH ATHULATHMUDALI … GD MAHINDASOMA … VINCENT PERERA … ARIYARATHNA JAYATHILAKA .
පරාජය ලැබු ශ්‍රීලනිප සමහරක් (මොවුන් බොහෝ දෙනා ජ්‍යේෂ්ඨයින් විය )
AHM FOWZIE …. THAMARA ILANGARATHNA … MAHINDA RAJAPAKSA…
CV GUNARATHNA… RATHNASIRI WICKRAMANAYAKA… BASIL RAJAPAKSA…
VIJAYA KUMARANATUNGA … MANGALA MUNASINGHA… KB RATHNAYAKA…
LAKSHMAN JAYAKODI… TB TENNAKOON …. HB SEMASINHA…
JRP SOORIYAPPERUMA … ANURUDDA RATWATTA … JAGATH BALASURIYA…
SKK SURIYARACHCHI… DHIMU JAYARATHNA … RATHNA DESHAPRIYA SENANAYAKA…
FELIX DIAS BANDARANAYAKA … HECTOR KOBBAKADUWA…. DHARMASIRI SENANAYAKA…
TB ILLANGARATHNA…. ARIYA BULEGODA..
පරාජය ලැබු වාමාංශික නායකයින් සමහරක් (මොවුන්ගෙන් බොහෝ දෙනා පාර්ලිමේන්තුවට පත්කරගතව තිබු අය බව මගේ විශ්වාසයයි )
PIETER KEUNEMEN … NM PERERA …. SA WICKRAMASINHA … COLVIN R DE SILVA….
BENARD SOYZA … WIMALASIRI DE MEL … CHOLMONDELEY GUNAWARDHANA…. BY THUDAWE…
VIVIEN GUNAWARDHANA…. BATTY WEERAKOON…. MG MENDIS… DEW GUNASEKARA…
LESLI GUNAWARDANA…. ANIL MUNASINGHA… EALIAN NANAYAKKARA … TB SUBASINGHA….
NANDA ELLAWALA…. ATHAWUDHA SENEVIRATHNA …. SARATH MUTHTHETUWEGAMA.
****
රෙජිනෝල්ඩ් කුරේ….ඡන්ද 54යි…බේරුවල ආසණය…ස්වාධීන
එස්. බී. දිසානායක…ඡන්ද 400යි…වලපනේ ???? කොමියුනිස්ට් පක්ෂය

Wednesday, May 7, 2014

අවුල් වෙන්නට පෙර (39)වුනාට බම්බලපිටිය (01)


මගේ පාසැල් කාලය කිසිසේත්ම එක්තරා ඉලක්කයක් කර ගමන් ගත් නිරවුල් මාර්ගයක් නොවීය. ඒ සඳහා බලපෑ නොයෙකුත් බාහිර සහ අභ්‍යන්තර සාධක බොහෝමයකි. අභ්‍යන්තර සාධක යැයි කිව්වේ, මා විසින්ම මට එරෙහිව නගාගත් බාධකයන්ය. ඒ මගේ දුර්වලකම්ය. මේ කාලයේ කොහේ හෝ අවස්ථාවක මම තවත් අකරතැබ්බයකට මුහුණ දුන්නෙමි. මගේ පාසැල් මිතුරෙකුවූ හේමමාල්ගේ ,වටිනා කැමරාවක් අළුත් වැඩියා කරනා තැනකට භාර දීමට මම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණෙමි. එම ස්ථානය පිහිටා තිබුණේ මා නැවති සිටි ගල්කිස්ස නිවස අසලමය. මොනයම් හේතුවක් මත හෝ එම කැමරාව ඔවුන් අතින් අස්ථාන ගත විය. මට කට උත්තර නැතිවිය. ටික දිනකින් මෙම කුඩා ව්‍යාපාරික ස්ථානයද වසා දමන ලදි. මගේ මිතුරාට මුහුණ දීම ඉතාමත් දුෂ්කර කාරියක් විය. හේමමාල් කිහිප විටක් ඒ පිළිබඳව විමසා සිටි බැවින් ඔහුව මඟ හැරීම අනිවාර්ය විය. කොහොමත් පාසලින් කට්ටි පැනීමට ඇල්මක් දැක්වූ මම, මේ කාරණයත් තවත් පිටිවහලක් කර ගන්නට ඇතැයි සිතමි. ටික කාලයකින් පසු හේමමාල් ඒ ගැන විමසීම පලක් නොවනු ඇතැයි සිතන්නට ඇත්තේ මා ගැන වරද සිතින් නොවේ යැයි අදටත් සිතමි. මීට කලකට පෙරත් අඩෝ ඒ.එන්. යැයි පණිවිඩයක්ද එවා තිබිණි. ඒවා එහෙමය. ඒ මිත්‍රයා අද එක්සත් ජාතින්ගේ සංවිධානයේ වගකිව යුතු තනතුරක් හොබවන මහාචාර්ය හේමමාල් ජයවර්ධනය. වෛද්‍යවරයෙක්ද වන “ජාවා”, පාසැල් කාලයේ දක්ෂ රගර් ක්‍රීඩකයෙක් මෙන්ම, හොඳ ඡායාරූප ශිල්පියෙක්ද විය.
අප පාසැල පිහිටියේ එවකට අධ්‍යාපන ත්‍රිකෝණය යැයි කියූ භූමි ප්‍රදේශය තුළය. රීඩ් මාවතත්, රේස්කෝස් ඇවනිව් සහ රාජකීය පාරත් වටකරගත් මේ ත්‍රිකෝණය තුළ කොළඹ විවියත්, තර්ස්ටන් විදුහලත්, රාජකීය විදුහලත් හැර අන් ගොඩනැගිල්ලක් තිබුණේ නැත. රාජකීය විදුහලේ සිට මෙම වටිනා ආයතන තුන හරහා යම් අයුරකින් හෝ රහසින් පිටව යෑමට ස්ථානයන් සොයා ගැනීමට අප දක්ෂයින් වූවා සේම, ඒ මිල කල නොහැකි ඉගෙනුම කඩාකප්පල් කරගැනීමට තරම් මෝඩයන්ද වූහ. අප විදුහලේ ප්‍රධාන ගේට්ටුවෙන්, පාසැල් කාලය තුළම වුවද අවසර ඇතිව පිටව යාමට ක්‍රමවේදයක්ද විය. ඒ සඳහා ශිෂ්‍ය වාර්තා පොත හරහා මව්පියන්ගේ අත්සනින්, පාසැල් අවසන් වීමට පෙර පිටත්ව යෑම සඳහා අවසර ඉල්ලා සිටිය හැකිය. ඉන් පසුව අංශ ප්‍රධාණී ගුරුතුමාවූ ඉයුස්ටස් මහතා අනුමත කර අත්සන් තැබූ පසු, අති උත්තම හනීෆා නම්වූ ආරක්ශක නිළධාරියාගේ සියුම් පරීක්ෂාවෙන් පසු ගේට්ටුවෙන් පිටව යා හැක. මේ මිනිසුන් එදා අපට හිසරදයක් වුවත් ඉතා සොඳුරු මිනිසුන් නොවේදැයි අද හිතේ. හනීපා ඉංග්‍රීසියෙන් මිස කතා නොකරයි. තද නිල් පැහැ කලිසමත්, ලා නිල් පැහැ කමිසයත්, තද නිල් පැහැ ටයි පටියත් පලඳා සීරුවෙන් සිටී. කළු සපත්තු යුගල දීප්තිමත්ය, විදුහල්පතිතුමාගෙන් ගැලවුනත් හනීෆාගෙන් බේරිමක් නැත. නමුත් බිග් මැච්දාට ආදී සිසුන් සමග කුණු ඩෝප්ය. පහුවදා ආපහු පරණ හනීපාය. මම ඔහුට ගරු කරන්නෙමි. ඔවුන් සොඳුරු මිනිසුන්ය.
තාත්තාගේ අත්සන යෙදීම ඉතා අපහසුය. වේලාසනින් පිටවීම සඳහා මම ඉතා පහසුවෙන් අපේ අම්මාගේ සරල අත්සන යොදා ඉල්ලීම කරන්නෙමි. ඉයුස්ටස් මහතා වෙත මුලින් මුලින් මේ කටයුත්ත සඳහා ගියත්, පසුව එම ගමන අතහැර දැම්මේ , අපි පොඩි ඉයුස්ටස් නමින් හැඳින්වූ අපේ පංතියේ මිතුරා, ඉයුස්ටස් සර්ටත් වඩා හොඳින් ඔහුගේ අත්සන ගසා දීමට හපනෙක්වූ බැවිනි. අති උත්තම හනීෆාටවත් මෙය වෙනස් යැයි හඳුනාගත නොහැක. මේ පොඩි ඉයුස්ටස් අද ජනාධිපති නීතිඥවරයෙකි.
මේ කොයි යම් ආකාරයෙන් හෝ පාසැලෙන් පිටවී යන අප කිහිප දෙනා, තර්ස්ටන් එක ඉදිරිපිට රහීමා හෝටලය අසලදී මුණ ගැසෙන්නෙමු. එතැනින් ප්ලේන් ගෝදම්බ රොටි සහ කෑලි නැති මස් හොදිත්, ප්ලේන්ටි භාගවලිනුත් සංතර්පනයවී, දුම්වැටි කිහිපයක්ද රැගෙන ඉබාගාතේ ඇවිදින්නෙමු. තර්ස්ටන්, පෙම්බ්‍රොක් කොල්ලෝද කිහිප දෙනෙක් එක්වේ. සමහර විට අප එවකට සුජාතා විදුහල තිබු පාරෙන් ගොස් ඩුප්ලිකේෂන් පාර හරහා බම්බලපිටිය, වැල්ලවත්ත පැත්තටත්, එසේ නැතිනම් වාළුකාරාමය පිටිපස මහානාමය අසල තිබු කුඩා කඩයේ ගංජා නානා හමුවීමෙන් පසු මහජන පුස්තකාලය, විහාරමහා දේවී උද්‍යානය පසුකර ඒ අවටත් සැරි සරසන්නෙමු. මේ කිසිම ගමනක අරමුණක් නොවීය. නමුත් සැබෑ මිනිසුන් හමුවිය.
ඩුප්ලිකේෂන් පාර ඒ කාලයේ ඉතා සන්සුන් ප්‍රදේශයක් විය. පාර දෙපස විශාල ගස්ද, හිස් බිම් පෙදෙස්ද අරුමයක් නොවේ. අදත් මට අමතක කල නොහැකි එක් තැනක් ඇතනම් ඒ බම්බලපිටිය සහ කොල්ලුපිටිය අතරවූ විශාල මාර ගස් යට සෙවණේ එක් රැස්වෙන , බයිසිකල්වලින් කාර්යාලවලට කෑම බෙදන මිනිසුන් එක්වෙන ස්ථානයයි.
කොළඹ නාගරික ප්‍රදේශවල රජයේ කාර්යාලයන්හී රැකියාවේ නිරතවු බොහෝ අයගේ දහවල් ආහාරය තම නිවසින් පිඟානකට බෙදා ,තව පිඟානකින් ආවරණය කර සුදු රෙද්දකින් එය තදකර බැඳ ලේබලයක් ගසා උදෑසන දහය වනවිට සුදානම් කර තබයි. නගර අවට ප්‍රදේශවල නිවෙස්වලින් මේවා එකතුකර ගන්නා බයිසිකල්කරුවන් තම ලී රාමු පෙට්ටියේ ඒවා සුරැකිව එකලස් කරගනී. මෙය එකල ඉතා ජනප්‍රිය ක්‍රමවේදයක් විය. අද මෙන් කඩවල්වලින් කෑමට මිනිසුන් හුරු පුරුදු නොවීය. නුගේගොඩ, දෙහිවල වැනි පළාත්වලින් පවා මේ බයිසිකල්කරුවන් කෑම එකතුකර ගැනීමට පුරුදුවී සිටියහ. මෙය ක්‍රමවත් සේවා සැපයීම් ජාලයක් විය. බොහෝ කාලයකට පෙර අපේ තාත්තාටද දෙල්කඳ අප නිවසේ සිට කොළඹ කොටුවට දහවල් කෑම සැපයූවේ ඔය අයුරින්ය. අවට පෙදෙස්වලින් කෑම පිඟන් එකතුකර ගන්නා මොවුන් ඩුප්ලිකේෂන් පාරේ මේ ගහ යටට එකතුවේ. මෙවැනිම ස්ථානයක් කොළඹ එම්පයර් සිනමා ශාලාව අසලද තිබූ බව මතකය. කෑම පිඟානේ ඇති ලේබලය අනුව, කාර්යාල පිහිටා ඇති ඒ ඒ මාර්ගයන්ට අනුව නැවත මේවා බෙදාගන්න මොවුන් දහවල් කෑම පැයට පෙර ඒ ඒ කන්තෝරුවලට මේවා නිවැරදිව භාර දේ. අතපසුවීම් හෝ කෑම මාරුවීම් ඉතාම අවමවූ මේ ක්‍රමය ඉතා විශ්වාසනීයවූ ක්‍රමයක් විය.
ඒ මිනිසුන්ගේ කඩිසර ක්‍රියාකලාපය දෙසද ඔහේ බලාගෙන සිටිනා අපි, බුලර්ස් රෝඩ් එක හරහා බම්බලපිටියට පැමිණීම එක් චර්යාවකි. බම්බලපිටිය හන්දිය නම් අපූරු තැනකි. කොළඹ නගරයේ ඕනෑම දිශාවකට ගමන් ගන්නා බස් ,හන්දියේ නැවතුම් කිහිපයක නවත්වනු ලැබේ. බොරැල්ල, කිරිබත්ගොඩ, කඩවත දෙසට ගමන් ගන්නා බස් නැවැත්වූයේ බුලර්ස් පාරේ මුල් හරියට වෙන්නටය. තහඩු බස් හෝල්ට් දෙකත්, ඒ කාලයේ සිටම තිබූ පත්තර කඩයත් එදා අයට මතක ඇතැයි සිතමි. මුස්ලිම් පල්ලියක්ද එතනම තිබූ බවත් මතකය. ඔය බස් නැවතුම පිටුපස තිබූ කුඩා නිවාස දෙක තුනකින් එකක පදිංචිව සිටියේ අප පාසැලේ මිතුරු නලීන් ෆොන්සේකාගේ පවුලේ අයය. නලීන්ගේ නිවස අසලටවී කයිය ගැසීමද පුරුද්දක් විය. පසු කාලයකදී නලීන් ෆොන්සේකා, චන්ද්‍රිකා කුමාරතුංග යුගයේ ඉතාමත් ආන්දෝලනයට ලක්වූ ප්‍රබල කැසිනෝ ව්‍යාපාරිකයෙක් විය. පසුව මොහු රටින් පිටව ගිය බවද අසන්නට ලැබුණි.
ගාලු පාරින් බුලර්ස් පාරට හැරෙන විට එක් කොනක තිබුණේ කිරි මංඩලයයි. පාරෙන් අනිත් පැත්තටවූ කොනේ තිබුණේ ඒ කාලයේ කවුරුත් දන්නා ELASTO බෝඩ් එකයි. මේ ඉලාස්ටෝ පුවරුව දිලිසෙන සහ සුළඟට ලෙලදෙන කුඩා ඇලුමිනියම් තහඩුවලින් නිර්මාණය කර තිබුණි. මිල්ක්බෝඩ් එක අපගේ තවත් නැවතුම් පොළක් විය. එකල මෙම මිල්ක්බෝඩ් සංකල්පය බොහෝ නගරවල ව්‍යාප්තව පැවතියේය. කල්කිරි සහ එදිනම පාවිච්චියට කිරි වර්ග මේවායේ විකිණීමට තිබුණි. කඩදාසි ඇසුරුම්වල බහාලු අයිස්ක්‍රීම්, කජු, රටකජු, පැකට්, කැන්ඩොස් චොකලට්ද පොඩි වීදුරු කබඩ්වල පෙනෙන්නට තිබුණි. තැඹිලි කරත්තයක්ද ඒ අසල විය. වසන්ති චතුරාණි නම් ඒ ප්‍රවීණ රංග ශිල්පිනිය පසු කාලයක විවාහවූයේ ඒ අසලම නිවසේ ධනවත් තරුණයෙක් සමගිනි. වීදුරු බෝතල්වල අසුරා, ඇලුමිනියම් වැනි අතින් ගලවා දැමිය හැකි ආවරණයකින් එදිනෙදා කිරි වෙළඳපොළට නිකුත් විය. වැනිලා, චොක්ලට් සහ ප්ලේන් වශයෙන් මේවා නිපදවූයේ ජාතික කිරි මංඩලය විසින්ය. පාසැල් ළමුන් අතර ඉතා ජනප්‍රිය බීමක් විය. කල්කිරි යනු ගෙදර ගෙන ගොස් උණු කිරීමෙන් පසු බීමට ගන්නා කිරි වර්ගයකි.(එසේ නොකර බීමේ ආදිනව අපේ මාතලන් දනී). අප පාසල තුළම මිල්ක්බෝඩ් එකක් විය. අප කුඩා කාලයේ පංතියට කිරි බෙදීම කළේ අපේ හේමන්ත හේරත්ය. ඒ නිසාම ඔහු කිරි හේරත් විය. පසුව කිරා විය. වෛද්‍යවරයෙක්වන මොහු දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස අගනා සේවයක් නිහඬව කරමින් සිටී.
බම්බලපිටිය නගරය සහ අවට පරිසරය සහ අත්දැකීම් මෙසේ ලියා නිම කල නොහැකිය. බම්බලපිටිය හන්දියේ අනිකුත් ස්ථාන ගැන පසුවට ලියන්නෙමි. ලයන් හවුස්, මේ ෆෙයාර් හෝටල් දෙක ඉදිරිපසින්වූ පෙට්‍රල් ෂෙඩ් එක තවමත් තිබේදැයි මම නොදන්නෙමි. එකල අප ලයන්හවුස් තේ කඩය අසල නිතර ගැවසෙන්නෙමු. තරුණයෙක් ලෙස මම පසුකාලයක බම්බලපිටියේ පදිංචිව සිටියෙමි. හැන්දෑවට ඔතැනට බොහෝ රසවතුන් එක්වේ. එතැනදී හමුවූ එක් බර්ගර් ජාතික වයසක මහතකු පැවසූයේ, BILL FORBES නම් 1960-1970 දශකයේ ලෝකයේ ඉතාම ප්‍රසිද්දවූ බටහිර ගායකයා , ශ්‍රීලාංකිකයෙක් බවත්, ඔහු මුලින්ම සේවය කළේ බම්බලපිටියේ පෙට්‍රල් ෂෙඩ් එකේ අත් උදව්කරුවෙකු ලෙස බවත්ය. මම බොහෝ කාලයක් යනතුරු මෙය විශ්වාස නොකළෙමි. නමුත් එය ඇත්තක්ය. වයස 17දී 1955 වසරේ එංගලන්තයට පැමිණ ඇති BILL FORBES ගේ සමකාලීනයන් අතර CLIFF RICHARDS ද සිටිනා බව අසා ඇත්තෙමි. ශාන්ත පීටර්ස් විදුහලේ ආදී සිසුවෙක්වු මොහු ගැන තොරතුරු සෙවීමට කාලය හරස්වේ. ඒ යුගයේ ගීත ඇසීමට ප්‍රිය උදවිය මේ ගැන යමක් දන්නවා විය හැක. ඒ කෙසේ වෙතත් බම්බලපිටිය එසේ මෙසේ තැනක් නොවේ. ඒ ගැන ලියන්නට තව බොහෝමයක් දේ ඇත.
ප.ළි…. මගේ හිතවත්ම පාසැල් මිතුරෙක්වූ ශ්‍රීනාත් ප්‍රේමරත්නගේ ආදරණීය බිරිඳ පිළිකා රෝගයට ගොඳුරුව අප හැර ගොස් ඇති බව දැනගන්නට ලැබුණි. මගේ පාසැල් මිතුරන් මෙය කියවනවානම්, මේ ඔවුන්ගේ දැන ගැනීම සඳහාය. අප ඇයට නිවන් සුව පතමු!!!