Tuesday, June 24, 2014

පොඩි විවේකයක් මචංස්ලා...

නැව් කාරයින්,සංචාරකයින්,මිතුරන්,සංගීතය, මධුවිත ආදී එකී නොකීදේ අතරින් මගේ ජීවිතය ගලාගෙන ගියේය. නමුත් මට මේ කිසිම දෙයක් තුල අමතක කල නොහැකි එක් කුඩා කංඩායමක් විය. ඒ මගේ ආදරනීය අම්මා, ආච්චී, ලොකු අම්මා,සහෝදර සහෝදරියන් ඇතුළු පවුල් සංස්ථාවයි. ඔය කාලය තුල මම ඔවුන් වෙනුවෙන් උපරිම දායකත්වය සැපයුවෙමි. මගේ කතාවේ ඒ කොටස් මම මග හරිනවා නොව, ඒ හැම තුලට පිවිසීමට පෙර, ඒ හා බැඳුනු වටපිටාව ලියා තබනවා යැයි සිතා ගත්තෙමි. මගේ පෞද්ගලික ජීවිත කතාව පමනක් ලියා තැබීමෙන් කිසිවෙකුටත් සුගතියක් නොවේ. ඒ නිසාම මම ඒ හා බැඳුණු සමාජ, ආර්ථික , සංස්කෘතික වටපිටාවන් මේ ගොනුවට එකතුකර තැබීමට යුහුසුළු වන්නෙමි. එසේ නොවුනා නම්, මේ කථා පෙළ කොටස් විස්සක් විසිපහකින් අවසන් කල හැකිව තිබිණි. එය නීරස අකුරු ගැලපීමක් වෙන්නට ඉඩ තිබුණි. මතක අවදිකරන්නෙක් ලෙස, ඒ කතා පුවත නීරස වූවා නම්, මටත්, කියවන නුඹලාටත් මෙය තව අඬෝවැඩියාවකක් වනු නො අනුමානය. මේ මාගල් කතා පෙල මා ලියන්නේ ඔබ දැණුවත් කරන්නටත්, මගේ තෘප්තිය හා හෘද්ධ සාක්ෂිය , ඉතා විවෘතවූ මනසකින් සාකච්ඡා මේසකයට කැඳවා ගැනීමේ අරමුණින්ය. ඒ නිසාම මා ලද අත්දැකීම්, මගේ පවුලේ කතාවකටත් වඩා, සමාජයේ, රටේ , ලෝකයේ කතාවක් ලෙස ඉදිරියට ඇදේ. ඔබේම පහසුව සඳහා, ඔබේ විවේචන අවැසි වේ. මට වෙනස් විය හැක. නමුත් මගේ කතාව සහ මා දුටු අත්දැකීම් වෙනස් කරලිය නොහැක. මේ තුල යක්ෂයින්ද, සුරඟණ සුරඟණාවියන්ද, ඒ කුලයන් දෙකටම අයිති නොවූ නුඹ මා වැනි පෘථග්ජන මිනිසුන්, ගැහැණුන්ද බොහෝය. මම සෙමින් සෙමින් මගේ කතාවත් මේ තුල ගලාගෙන යන්නට ඉඩහැර ඇති බව මට විශ්වාසය.

ගලාගෙන යන ගඟකින් ඇතිවන පාරසරික සමතුලිතථාවයන් , එක තැන පල්වෙන මඩ ගොහොරුවකට වඩා බොහෝ වටිනාබව මම අත්දැකීමෙන් දණිමි. ඒ මිනිසාටත්, සතාටත්, එහිම වෙසෙනා මසුන්ටත් වඩ වඩාත් වාසි ලබාදේ. මා දකිනා ජීවිත යථාර්තයද එයම වේ. දැළක්, පිත්තක්, වළක් ගොඩ දමා මසුන් මරන්නන්ට වඩාත් වැදගත් වන්නේ ලොකු මසුන් හෝ ඇම ගිලිනවුන්ය. මම ඔය කොටස් දෙකෙන්ම බේරී ජීවිතය නම්වූ ගංගාවේ පීනා යන දංඩියෙක් වෙමි. එය ඉතා පහසුය. දංඩියෙක් දෙස බලා සිටින්න. ඇත්තටම ඌ අසුවන්නට ඇති ඉඩ අවමය. ඒ ඌගේ ඇති නිදහස් චලන රටා නිසාමය. ලොකු ලොකු මසුන් දැල් තුලට පීනා යද්දී, අනිකුන් කුස ගින්නට හෝ ඇමට හසුවෙද්දී මම  කාටවත් අවැසි නොවන දන්ඩියෙක් සේ පිහිණුවෙමි. නමුත් මම හැම අතකටම අසුවන හඳ තිත්තයෙක්වත්, ටැංකි සරසන සාරි ගප්පියෙක්වත්, මඩම ජීවිතය කරගත් මඩකරියෙක්වත් නොවන්නට වග බලා ගත්තෙමි. තෝරුන්, මෝරුන් මෙන්ම, සාරි ගප්පින් වැනි හැඩ වැඩ අති මසුන්ද මා දුටු ජීවන සත්‍යය වටහා ගන්නේ නම් , මගේ කතාවට නුඹලා තවත් නව අර්ථ දැක්වීම් එකතු කරනු නිසැකය. තවත් වටයකින් මේ කථාව පටන් ගත යුතුය. මේ ලියන්නේ ඒ කතාව නැවත ලියන්නට පෙර අවශ්‍ය කුඩා විවේකයකට ඉඩක් ලබාගැනීමටය. මොහොතකට සමුගනිමි.

මට වරක් හමුවූ ගාමිණි ෆොන්සේකා නම් ඒ මහා මිනිසා , දේශපාලනය සහ සිනමාව තුල ඇති නොවිය යුතුවූ ගැටුම් විග්‍රහය කලේ මෙසේය. මම ගාමිණි ෆොන්සේකා නම් රංගධරයාට තදින් ඇළුම් කලත්. ඒ තුලින් බිහිවූ දේශපාලකයාට එසේ ලොල් නොවීය. එදා ගාමිණි සමග , අගය නිම කල නොහැකි මැණිකක්වූ සුමණා නෙල්ලම්පිටිය කල අගනා සාකාච්ඡාවක් මෙලෙස දිග අරින්නෙමි. එදා පැවැත්වූ මේ සාකච්ඡාව අදට හෙටට එදාට ගලපාගන්න. මම නැවත ලබන සතියේ ලියන්නෙමි. අදහස් පලකරන්න.



ප.ලි......අද නම් අකුරු වැරදි බොහෝය. මා නිවැරදි කරනා සුබස අද හොඳටම ඩෝප්ය. නැගිටවාගන්නට නොහැකිය. මමද ඩෝප් වන්නට තීරනය කලෙමි.

Thursday, June 19, 2014

අවුල් වන්නට පෙර (44)...පොලිස් කැස්බෑවෝ

බාලගිරි දෝෂය අද නොවේ හෙට යැයි සිතමින් කල් ගත්තෙමි. ඒ වැඩ කටයුතු බහුල වීම නිසාමය. කෙසේ හෝ අද මේ කොටස ලියමි.

ගල්කිස්සේ සේවය කරනා කාලය තුළ බොහෝ රාත්‍රී යාමයන් අප ගෙවා දැමුවේ මුහුදු වෙරළේ හෝ රාත්‍රියට හිස්වන අප සේවා ස්ථානයේ මේස පුටු අතරය. මේ සෑම රාත්‍රියක්ම මධුවිතින් ඇති පදම් සප්පායම් වීමට මුදලුත්, තරුණ ජවයත් පිරී ඉතිරී ගොස් තිබුණි. සිය දහස් ගණනින් වෙරළ පුරා සිටි සංචාරකයින්, වෙළෙන්දන්, බීච් බෝයිස්ලා, රස්තියාදුවෙන්නන් රාත්‍රී හත,අට වෙනවිට විසිරී ගොස් අවසන්ය. නැවත අවන්හල් පිරෙන්නට ගන්නේ මේ වේලාවෙන් පසුවය. නොකඩවා ඇදී එන සුදු සංචාරකයන් නිසා අප කාර්ය බහුල වෙන්නෙමු.

ඒ යුගයේ මාසයකට වරක් හෝ දෙවරක් විදේශීය නාවුක හමුදාවන්ට අයත් නැව් කොළඹ වාරයට සේන්දුවේ. 'නැවක් බැහැලා' යැයි පොදු ව්‍යවාහරයේ තිබූ යෙදුම විය. මේවා බොහොමයක් යුරෝපීය රටවල් වල නාවුක හමුදාවන් මුහුදු සංචාරයන් අතරතුර දිනකට හෝ දෙකකට ගොඩ බැසීමේ ක්‍රම වේදයක් විය. සමහර නෞකාවන්හී පන්සීයකට අධික නැවියන් සිටි බව අසා ඇත්තෙමි. කොළඹට නැවක් පැමිණිවිට වඩාත්ම කාර්ය බහුලවන්නේ ගල්කිස්සය. මේ නෞකාවන් දින දෙක තුනකට වඩා නැංගුරම්ලා සිටින්නේද නැත. මහ සයුරේ සති මාස ගණන් ගමනේ යෙදෙනා නැවියන් සහ එහි කාර්ය මංඩලය නැවෙන් එළියට බහින්නේ කූඩුවෙන් එළියට පියාඹන කුරුල්ලන් සහ කිරිල්ලියන් මෙනි. කොළඹ අවට ප්‍රදේශයන්හී නම් ඒ ඒ රටවල නාවික හමුදා නිල ඇඳුමෙන්ම සැරසුණු නැවියන් දහවල් කාලයේ හතර අතේ ඇවිදිනු පෙනේ. ගොඩබිම සිටිනා කෙටි කාලය තුළ උපරිම සතුටක් භුක්ති විඳීමට ඔවුන් වගබලා ගනී. දිනකින් හෝ දෙකකින් නැවත පිටවෙන නිසා ඈත පළාත්වලට නොයනා මොවුන් බොහෝ විට ගල්කිස්ස ඔවුන්ගේ සතුටු පාරාදීසය කරගනී. අවට ප්‍රදේශවල ටැක්සි රියදුරන්, ගණිකාවන්, තැරැව්කරුවන් මෙන්ම කුඩා සංචාරක නවාතැන් හිමිකරුවන්ද, අවන්හල්ද කඩිමුඩියේ වැඩට බසී. මේ දිනවලට නම් මාසයක දෙකකට අපි උපයනා දේ දවසින් දෙකෙන් උපයා ගන්නේ ඔවුන්ගෙන් ලැබෙනා සංතෝසම් නිසාය. හෝටල් පිරෙනවාට එහි සේවකයන් කැමතිය. එවිට අපට ලැබෙනා සර්විස් චාජ් එකත් වැඩිය.

නැවියන්ගේ ජීවන රටාව ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ගණන් බැලීමකින් තොරව හිතුමතේ අතපය දිගහැර වියදම් කරනා මොවුන්, සියලු සැප සතුට එකවර ලබාගන්නේ, ලෝකය හෙට දින කඩා වැටේවී යැයි පහළවූ බියකින් දැයි සිතේ. එහි ඇති වරදක් නැතැයි නැවත සිතෙන්නේ ඔවුන්ගේ ඒකාකාරී මුහුදු ජීවිතය ගැන සිතා  බැලූ විටය. මොවුන් බීමතින් කලහකාරී ලෙස හැසිරෙන අවස්ථා නැත්තේද නොවේ. නැවෙන් බැස කුඩා කංඩායම් කංඩායම් ලෙස වීදි බසිනා, මොවුන් තුලා මා දුටු සුවිශේෂී ලක්ෂණයක් විය. එනම් ඒ ඒ කංඩායමේ එකෙක් හෝ දෙදෙනෙක් බීමත්ව නොසිටීමට වගබලා ගැනීමයි. සමහර විට ඔවුන් බීමට පුරුදු නොවූ අය විය යුතුය. ඒසේ නොමැතිනම් ඒ ඔවුන් සංවිධානය වෙන ආකාරය විය යුතුය. මන්ද යත් පළමු දිනයේ නොබී සිටිවුන් දෙවෙනි දවසේදී ඔසවාගෙන යන තෙක් බොන බැව් දැක ඇති නිසාය. එදාට නොබී ඉන්නේ පෙරදා කරටි කැඩෙන්නට බිව් එකෙක් හෝ දෙදෙනෙකි. ඒ කුඩා කංඩායමම මෙහෙයවන්නේ නොබී ඉන්නා එකා හෝ දෙදෙනාය. බීමත්ව හැසිරෙනා ඔවුන් රැකබලා ගන්නේත්, පාලනය කරන්නෙත් ඔවුන්ය. ඒ හඬට බීමත්වුන් අවනතය. ඒ නැවියන්ගේ සිරිතක්දැයි මම නොදනිමි.

මධ්‍යම රාත්‍රිය වන විට බාර් එක හිස්වූ අවස්ථාද මම දැක ඇත්තෙමි. එවැනි අවස්ථාවල ඉල්ලුමට සැපයුම මදවූ විට, කෑමෙන් පසු කෝපි සමග එක් වරක් කුඩා වීදුරුවකින් බීමට ගන්නා නොයෙකුත් Liqueur වර්ග පවා බෝතල් ගණනින් හිස් කර දමති. සාමන්‍යයෙන් මේවා සපයනු ලබන්නේ මිලි 15-20 වැනි කුඩා වීදුරුවලය. මොවුන් සීයේ ෂොට්ස් හෝ බෝතල් ගණන් මේසයට ගෙන්වා ගන්නේ කෙසේ හෝ මත්වීමටය. Liqueur යනු මත්පැන් වර්ගයක් වුවත් පැණි රස සහ එක් එක් පලතුරු රසයන් අඩංගු නිසා මේවා මත්වීමට බොන වර්ගයක් නොවේ. එය අහාර දිරවීම පහසු කිරීමට ගන්නා මත්පැන්ය. ඩෝප්වී කර පිටින් යන්නෝ බොහෝය. ඒ වෙනුවෙන් ටැක්සි කරුවෝද, පමණට මත්වූවන් වෙනුවෙන් පිම්පියන්ද දුම් රිය පාර අයිනේ බලාසිටී. මේ නැවියන්ට අමතරව,මගී ප්‍රවාන නෞකාවලින්ද ධනවත් සංචාරකයින් කොළඹට පැමිණියෝය. පසු කාලයක මා දන්න මිතුරන් කිහිප දෙනෙක්ද මෙවන් විදේශීය වල සේවයට බැඳුණි. මට ඒ සඳහා කැමැත්තක් නොවීය.

මධ්‍යම රාත්‍රීයේ මුහුදත්, වෙරළත් ,සේවය නිමවූ අපත් සන්සුන්ය. දෙතුන් සීයකට කන්න බොන්න දුන් අප සේවකයන්ගේ කන බොන වාරය පටන් ගන්නේ මින් පසුවය. බොහෝ හෝටල් සේවකයන්ගේ ජීවන රටාව ඔය ආකරයේය. ගල්කිස්සේ වෙරළේ සුද්දන් වෙනුවෙන් තනා තිබූ පොල් අතු මඩුවල අප, බෝතල් සහ කෑමද ගෙන ගොස් සෙට් වෙන්නෙමු. වෙරළ පාළුය. හඳ නැති දිනෙක නම් දැඩි කළුවරය. ඉඳහිට තැනක හෝ දෙතැනක කම්සැප ලබමින් මුහුදේ නාමින් සිටිනා තරුණ සුදු ජෝඩුද නැත්තේ නොවේ. නිහඬ රාත්‍රියක,පාළු මුහුදු වෙරළේ , කවුරුන් හෝ ඇස නොගැටෙනා මායිමක ,චමත්කාර ලෙස ප්‍රේමයෙන් අනුරාගයෙන් වෙලී රති ක්‍රීඩාවේ යෙදීම ඔවුන්ට නැවුම් අත් දැකීමක් විය යුතුය. නැවුම් අත්දැකීම ලබන්නට අකැමත්තෝ සිටීද? අප ඔවුනට කිසි විටෙකත් බාධා නොකළෙමු.

මහා රාත්‍රියේ බැටන් පොලු දෙකක්ද අතැතිව රාත්‍රී මුර සංචාරයේ යෙදෙනා පොලිස් රාලහාමිලා දෙදෙනෙක්ද ඉඳහිට ගැවසේ. අප කුඩා පොල් අතු මඩුවක බොමින් කමින් කාලය ගතකරනා එක් රාත්‍රියක , මොවුන් දෙදෙනෙක් අප පසුකර වෙරළේ දෙහිවල දෙසට ඇවිද යනු අප දුටුවෙමු. ඔවුන් අප දුටුවේ නැත. මගේ මිතුරෙක් ඇස ගැටුණේ මුහුදේ සිට වෙරළට ඇදෙනා කැස්බෑවෙකුගේ දසුනකි. අප නිහඬව බලා සිටියෙමු. දනි පනි ගා කැස්බෑවා දෙසට ඇදුණු රාලහාමිලා, වෙහෙස දරා කැස්බෑවා අනිත් පිට පෙරළා ගත් බව දැක්කෙමි. අනිත් පිට පෙරළු විට කැස්බෑවුන් තම ඉදිරි පාද දෙකෙන් තම බඩවතට ගසා ගනිමින් හැකි ඉක්මනින් නැවත හරිපිට පෙරළෙන්නට උත්සාහ දරති. විශාල ශබ්දයක් ඇතිකරමින් දඟලන කැස්බෑවාට රාළහාමි බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කරයි. මෙය ඉවසා බලා සිටීමට බැරි තැන අප එතනට ඇදුණේ 'මොකද රාළහාමි..කරදරයක්ද' යැයි අසමිනි. අප දුටු මොවුන් දෙදෙනා කලබලයට පත්වී ' නෑ ඕයි මූව මුහුදට තල්ලු කරන්න උදව් වෙනැයි' කියා සිටී. ආ ඕක සුළු වැඩක් යැයි කියු අප කැස්බෑවාව මුහුදට තල්ලු කර දැමුවෙමු. මිනිස්සුන්ව බලාගන්නවාට වගේම අපිට දැන් කැස්බෑවොත් බලාගන්න වෙලා අයිසේ...යැයි මජර හිනාවක්ද දමා, බොන්නට දෙයක් නැත්දැයි අසා අප සමග අඩියක් ගසන්නට හවුල්වී පිටත්ව ගියේ, කැස්බෑ සංරක්ෂණය පිළිබඳ වැදගත් උපදෙස් මාලාවක්ද දෙසා බෑමෙන් පසුවය. සිනහවෙන්නටවත්, නැවත ප්‍රශ්න කිරීමකටවත් ගොසින්, කැස්බෑවට තැලූ බැටන් පොල්ලෙන්ම අපත් තලා ගත යුතු නැති නිසා නිහඬව සිටියෙමු. කෙසේ හෝ වේවා, වසර සීයකට වඩා ජීවත් වෙනවා යැයි කියන කැස්බෑවෙක් සයුරට අහිමිවීම වැලක්වූයේ අපේ මැදිහත්වීමෙන්ය.

ගල්කිස්ස හෝටලය ළඟ සිටි ආතර් අයියා එවකට රටම දන්නා පුද්ගලයෙකි. ඔහුගේ රැකියාව ටුවරිස්ට් ගයිඩ් සහ ඩ්‍රයිවර් වැඩේය. ඒ ඔහුගේම රථයෙන්ය. මොහු ඉතා සුන්දර විනෝදකාමියෙක් විය. තමාගේ රැකියාව පිළිබඳවද අති දක්ෂයෙක් බැව් එදා සිටි අයට මතකය. වසරක් පාසා ලංකාවට එන සමහරක් විදේශිකයින් ආතර් අයියාගේ සේවය ලබාගැනීම අනිවාර්ය පුරුද්දක් කරගෙන තිබුණි. සරමත් ,කමිසයත් ඊට උඩින් කෝට් එකත් ඇන්ද මේ මැදිවියේ මිනිසාට ගල්කිස්සේ කවුරුත් සැලකූහ. ආතර් අයියා චණ්ඩියෙක්, පාතාලයෙක් නොවු අතර ගල්කිස්සේ මුල් පදිංචි කරුවෙක් විය. ඔහුට සැලකුවේ ඔහු ගල්කිස්සට ආභරණයක් වූ නිසා විය යුතුය. බයිලා චක්‍රවර්ති එම්.එස්.ප්‍රනාන්දුගේ මිතුරෙක් වූ ආතර් අයියා වෙනුවෙන් ඔහු ගී පබැඳිය. ආතර් අයියාගේ බිරිඳවූ ප්‍රේමක්කා ගැනද ගී ගැයුවේය. ඇයට 'ප්‍රේමා බතික්' නමින් සංචාරකයන් වෙනුවෙන් පවත්වා ගෙන ගිය බතික් සහ වෙස් මුහුණු කඩයක්ද විය. එම්.එස්.'ප්‍රේමක්කාගේ බතික් කඩේ' ගීතය ඇය වෙනුවෙන්ය. ආතර් අයියාගේ දරුවන්ගෙන් සමහරක් ගල්කිස්සට පැමිණි විදේශිකයන් හා විවාහවී ඒ රටවලට පදිංචියට ගිය බවත් මතකය.

https://www.youtube.com/watch?v=w-zs3iTj9uU

මේ 1981 වසරයි. ජේ.ආර්.ජයවර්ධන පාලනය විසින් ශ්‍රීලංකාවට තවත් අලුත් ගැලවිජ්ජාවක් හඳුන්වා දුන්නේය. ඒ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයයි. දිස්ත්‍රික් ඇමතිවරුන් පත්කලේ මේ ඡන්ද ක්‍රමය හරහාය. මේ අත්හදා බැලීමේ ගුණ අගුණ ගැන යමක් ලියා තැබීමට මට මතකයක් නැත. මේ ක්‍රම වේදය එක් වාරයකට පමණක් සීමා විය. කෙසේ වෙතත් මේ ඡන්ද කාලය තුල ශ්‍රීලංකාවට නැවත මැකිය නොහැකි කළු පැල්ලමක්, අපකීර්තියක් නම් එකතු විය. අති දුර්ලභ පුස්තකයන් රාශියක් ගබඩා කර තිබූ ජාතික සම්පතක්වූ යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කෙරුණි. යාපනය දිස්ත්‍රික්කය එජාපය පරදින බව දැනගෙන, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක්වූ යාපනය පුස්තකාලයට ගිනි තැබුවේ කොළඹින් ගිය ආණ්ඩුවේ මැරයන් බව කවුරුත් දැන සිටියෝය. ඒ කළු පැල්ලම ශ්‍රීලංකා ඉතිහාසයට තව තවත් නපුරු කාලයක් එකතු කිරීමට මූලික විය. අපි ගිනි නිවනවාට වඩා ගිනි තැබීමට දක්ෂයෝ වෙමු. ගිනි තබන්නට උපදෙස් දුන්නෝ අද ජීවතුන් අතර නැති නමුත් ඒ ගිනි තවමත් සංවේදී ජනතා හදවත් තුල නිවී හමාරවී නැත. අප කිසිදිනෙක පාඩම් ඉගෙනගන්නා මිනිසුන් නොවේ. අද අළුත්ගමදී ගිනි තියපන් යැයි අණ දුන්නෝ හෙට මියැදෙනු ඇත. නමුත් මතු දිනෙක හෝ අප පරම්පරාවන් සිහළුන්, දෙමළුන්, මුසොල්මානුවන් ලෙස අත්වැල් බැඳ ගත යුතුව තිබේ. පමාවීම පසුතැවිල්ලට හේතුවේ. අප ප්‍රමාද වැඩිය.

Monday, June 16, 2014

අවුල් වන්නට පෙර (43)..ගල්කිස්සේ මුහුදු වෙරළේ….

දෙහිවල හන්දියේ සිට ගල්කිස්ස දෙසට පැමිණෙන විට ඇති අප්‍රමාණවූ අතුරු පාරවල් ඔස්සේ ගල්කිස්සේ මුහුදු තීරයට ඇවිද යා හැක. දකුණු වෙරළ තීරයේ උණවටුන, කිරින්ද,හික්කඩුව, බෙන්තොට ,වැල්ලවත්තටත් වඩා ගල්කිස්ස ජනප්‍රියව පැවතිණි. සංචාරක අත්පොත්හී, දෙහිවල-ගල්කිස්ස අතර මුහුදු තීරය හැඳින්වූයේ Golden Mile ලෙසිනි. බේරුවල- බෙන්තොටත් මුහුදුතීරයත් මෙසේ හැඳින්වූ බව මතකය. විදේශීය සංචාරකයින් විසින් මගනොහරිනා ගල්කිස්ස වෙරළ, කොළඹට ආසන්න නිසාම දේශීය සංචාරකයින්ගෙන්ද අඩුවක් නොවීය. ගල්කිස්ස සංචාරකයින්ගේ පාරාදීසයක් විය. එහි තිබු සෑම අතුරු පාරක්ම මුහුදු වෙරළට ආසන්න බොහෝ නිවාස සංචාරක නවාතැන් ලෙස පවත්වා ගෙන ගියෝය. ප්‍රසිද්ධම සහ විශාලතම හෝටලය වුණේ මවුන්ට්-ලැවිනියා බීච් හෝටලයයි. අනිත් කුඩා හෝටල් බොහොමයක් කාමර 20-50 සමන්විත කුඩා හෝටල සහ නවාතැන් පොළවල් විය. මේ වෙරළ තීරය තුළ දහස් ගණනින් විදේශීය සංචාරකයින් ගැවසුණා පමණක් නොව, ඉරිදාට දේශීය අමුත්තන්ගෙන්ද අඩුවක් නැත. ‘ගල්කිස්සේ මුහුදු වෙරළේ-ඉරිදාට ගිහිල්ලා බලන්න’ යැයි, ඇන්ටන් ජෝන්ස්-ෆ්‍රෙඩි සිල්වා ගී ගැයුවේත් ඒ නිසාවෙන්ම විය යුතු යැයි මම සිතමි.
ලංකාවේ සංචාරක කර්මාන්තයට වඩාත් ගැලපෙන්නේ, සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත තරු හෝටල් කිහිපයක් සහ ඒ ආශ්‍රිත පෙදෙස්වල පවත්වාගෙන යන කුඩා Bed And Breakfast(B And B) නවාතැන් පොළවල් වැඩි ප්‍රමාණයකින් සමන්විත ක්‍රමයක් බව මගේ පෞද්ගලික අදහසයි. B and B සංකල්පය ක්‍රමවත්ව නියාමනය කිරීම සහ නීතිරීති පද්ධතියක් තුළ විධිමත් කල යුතුබව කිවයුතු නොවේ. එවැනි ක්‍රමයක් තුළ සංචාරකයා රට තුළට ගෙන එන මුදල, ඔවුන් ගැවසෙනා ග්‍රාමිය ප්‍රදේශයන්හී ආර්ථිකය තුළ සංසරණය වීම තුළින් ඒ ප්‍රදේශය පෝෂණයවීම අනිවාර්යවේ. රාත්‍රිය තම නවාතැනේ ගතකරන අමුත්තන්, උදේ ආහාරයෙන් පසු ඒ අවට සැරිසැරීමත්, තමන් කැමැති අවන්හල් සොයා යෑමත් තුළ ග්‍රාමීය සංස්කෘතිය, චර්යාවන් සහ ජනතාව සමග මානුෂීය හුවමාරුවන් ඉබේම සිදුවීම යහපත් ලක්ෂණයක් විය හැකිය. හෝටල් සමාගම් සහ හෝටල් හිමියන් බොහෝ දුරට බලාපොරොත්තුවන්නේ තම හෝටලයට පැමිණෙන සංචාරකයාගේ සියලුම අවශ්‍යතාවයන් සපුරා ඒ වෙනුවෙන් අයවිය යුතු මුදල් එකම බිලක් යටතට එකතු කර ගැනීමය. ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය හා ඒ මුදල් මුසුවීම අවමවේ.B And B නවාතැන්හී අවන්හල් පවත්වා ගෙන යෑමට ඉඩ නොදී, අවන්හල් සඳහා වෙනම බලපත්‍රයක් තිබීම අනිවාර්ය කළයුතු වේ. මෙවැනි ලිපියකින් මෙය සාකච්ඡා කිරීමට ඇති ඉඩ අවමය. මා කිවු ක්‍රමවේදය යෝජනා කර ලංකාවට පැමිණ නිවාඩුවක් ගතකර ආපසු පැමිණි බොහෝ සුද්දන් ,අපේ ජනජීවිතයත්, සෞන්දර්යයත්, මානුෂික සම්බන්ධතාත්, ආගන්තුක සත්කාරයත් ගැන කියන්නේ ඉතාමත්ම සතුටිනි. ඒය අපගේද නෙතට සතුටු කඳුළු එකතු කරයි. රටට පැමිණ හෝටලයක සිට සියල්ලෙන් සන්තර්පනයවී නැවත පිටවන්නා රටට ඉතිරිකර යන්නේ මුදල් පමණි. මා දකිනා සංචාරක කර්මාන්තය ඉන් ඔබ්බට ගිය සංග්‍රහශීලී පැවැත්මක්ය.ඒ හරහා සංචාරක කර්මාන්තයේ මෙන්ම සමාජය, රට ගැනද සුබදායී පණිවිඩයක් ලෝකයට සන්නිවේදනය කරගත හැකිය. මේ සඳහා ඒ ඒ කොටස් නිවැරදිව දැනුවත් කල යුතුවේ. මේ මගේ පෞද්ගලික අදහස්වේ.
ගල්කිස්ස මහා හෝටලය ලෙස ගම්වැසියන් හැඳින්වූ Mount-Lavinia Beach Hotelයට දීර්ඝ ඉතිහාසයක් ඇත. එය ආරම්භ කර ඇත්තේ 1800 මුල් යුගයේ යැයි කියවේ. ඒ හා සම්බන්ධ රසවත් ප්‍රේම වෘතාන්තයක් ලියැවී තිබේ. ඒය කියවා බැලීම වටී. මේ හෝටලයේ අතීතයේ සිට පාවිච්චියට ගත් දර ලිප්, අතින් රෙදි සේදීමේ කාමර වැනි දේ 1980 කාලයේත් තිබුණ බව මම දැක ඇත්තෙමි. නුවර Queens සහ ගෝල්ෆේස් හෝටලේයේද එවැනිම තැන් තිබූ බව වරක් දුටුවෙමි. ගල්කිස්ස මහා හෝටලයේ ලිට්ල් හට් රාත්‍රී සමාජ ශාලාව, කොළඹ තරු හෝටල්වල තිබු රාත්‍රී සමාජ ශාලාවන්ටත් වඩා ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔබ මේ හෝටලයට ගොඩවී ඇත්නම් එහි ඇති පෞරාණික ප්‍රෞඩත්වය මැනවින් දැක ඇතැයි මම සිතමි. Little Hut සමාජ ශාලාව තුළ නොයෙලින් හොන්ටර්, ඩෙස්මන්ඩ් ඩි සිල්වා වැනි අය ගී ගැයූහ. ඔබරෝයි හෝටලයේ Supper Club, ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ Cat’s Eye, හොලිඩේ ඉන් හෝටලයේ Al Hambra සහ ගෝල්ෆේස් හෝටලයේ Mascarilla වැනි රාත්‍රී සමාජශාලා හා එක පෙළට ලිට්ල්හට් ඉදිරියෙන් සිටිය බව හොඳින් මතකය. මහා හෝටලයේ පබිලිස් අයියා එකල තරමක් ප්‍රසිද්ධය. ඔහු සතු ප්‍රායෝගික දැනුම පොත පතින් උගත් සූපවේදියෙක් තරමටත් වඩා වටී. මේ සියල්ල ගැන ලියා තබන්නට මතකයක් ඇතත්, දැනට ඒ දේවල් අතපසු කිරීමට සිදුවේ.
ගල්කිස්ස වෙරළ තීරය පුරාම පොල් අතු මඩු පේළියක් එක දිගට ඉදිකර තිබුණි. මේවායේ විදේශිකයිනට හිරු එළිය තැපීමේදි අවශ්‍ය දිගෑදෙන පුටු, රිජිෆෝම් පෙට්ටිවල අඩුක්කර ගත් සිසිල්බීම බෝතල් වැනි අඩුම කුඩුම සැපයීමට සුදානම්ව තිබේ. මේවා පවත්වාගෙන ගියේ අවට ගම්වැසියන් විසින්මය. රේල් පාරට නුදුරින් තැඹිලි කරත්තද, වෙරළේ අන්නාසි බේසම්ද, සිප්පි කටු ආභරණ, සැහැල්ලු බතික් ඇඳුම් වෙළෙන්දන්ද අඩුවක් නොවීය. වෙරළ සුදු ගැහැනුන්, මිනිසුන්ගෙන් ඉර බසිනා තෙක් පිරී ඉතිරි පැවතුණෝය.
මා කලින් කීවා සේම මේ වනවිට මම ක්ෂේත්‍රයට ආධුනිකයෙක්මි. La Langousterie කළමනාකරුවූ ජයමාන්න, පීටර් පෙරේරා යන මහත්වරුන්ට අමතරව මෙහි පැරණිම සේවකයෙක් වූයේ නානායක්කාර අංකල්ය. පිටකෝට්ටේ කොටුබැම්ම පාරේ පදිංචිව සිටි මොහුගේ පුත්‍රයා ජූලියන්ද බාර්මන් කෙනෙක් ලෙස මෙහි සේවයේ යෙදුණේය. මම අංකල් යටතේ සේවය උගත්තෙමි. ගුණවර්ධන, පාලිත පෙරේරා, සාලිය වැනි අය මට තවමත් මතකය. නානා අංකල් ඉතාම ක්‍රමවත් සහ නීතිගරුක සේවකයෙක් විය. ඔහු ඉගැන්වූ දෑ මම තදින් සිතට ගත්තෙමි. වැඩිපුර කතා බහක් නැති මොහු මට තමන්ගේ දරුවෙකුට මෙන්ම සැලකීය. අනිකුත් උදවිය මොහුගේ කීමට එතරම් අවනත නොවුයේ, මොහු තුළ තිබූ පැරණි සම්ප්‍රදායික ගති පැවතුම් නිසා විය යුතුය. ඔහුගේ පුත්‍රයා ජූලියන් පවා පියාට ගෞරව කළත් වැඩියෙන් අවනත වූයේ නැත. මම සති දෙක තුනක් තුළ මේ කර්මාන්තය තුළ සේවකයෙකු සතුව තිබිය යුතු මූලික අවශ්‍යතා මැනවින් වටහා ගත්තෙමි. හැන්දක්, ගෑරුප්පුවක් නිවැරදිව පාවිච්චි කිරීම මුල්වරට ඉගෙනගත්තේ ඔතනින්ය. ටික කලකින් මමත් අන් අය හා කරට කර වැඩ කිරීමට සමත් වුණෙමි.
අප අවන්හල් සේවකයින් වූයෙමු. හෝටලයක් හෝ විශේෂයෙන් අවන්හලක් පවත්වාගෙන යෑමේදි පාරිභෝගිකයින් පිනවීමේ වැදගත්ම සහ ඒත් නොපෙනෙනා වැඩ කොටස සිදුකරන්නේ මුළුතැන්ගෙය හෙවත් kitchen staff එකය. රැකියාවක් හා කර්මාන්තයක් ලෙස ගත්කල මෙය තනිකරම, සාමුහික කංඩායම් ක්‍රියාවලියකි. බඩ පිරුණු සැණින් අප කාටත් කුස්සිය අමතකය. පාරිභෝගිකයින් මල් පුදන්නේ කෑම බීම ගෙනවිත් මේසයට පුදනා අප වැන්නන්ටය. අප මල්මාලා පැළඳ ගන්නෙමු. නමුත් ගල් වරුසාවන්ට මුවා වෙන්නෙමු. මල් වෙනුවට ගල් ලැබුණොත්, ඒ ගල් වදින්නේ කුස්සියේ සේවකයන්ටය. එහි වරදක් නැත. මනුෂ්‍ය වර්ගයා අන් සියල්ලටම වඩා ඉක්මනින් පැමිණිලි කරන්නට පෙළඹෙන්නේ, මිලදී ගන්නා හෝ නොමිලයේ ලැබෙනා අහාර ගැනය. මම කොතැනක කෑමකට ගියත් පළමුවෙන්ම ස්තූති කරන්නේ ඒ භෝජනය පිසු දෑත්වලටය. වේටර්වරයාට සංතෝසමක් පිරිනැමුවත්, අහාර පිසින්නන් වෙනුවෙන්ද යමක් පිරිනැමීමට කිසිදිනෙක අමතක නොකරන්නෙමි. මේ ගැන වෙනම කතා කල යුතුය. මෙවැනි චාරිත්‍රයක් මා අතින් සිදුවන්නේ, හෝටලයක අභ්‍යන්තර ක්‍රියාවලිය මැනවින් දන්නා කෙනෙක් නිසා මිස, අන් හේතුවක් නිසා නොවේ. ඔබ ඒ ගැන සිතිය යුතු නැත.
මේ අවන්හලේ ප්‍රධාන සූපවේදිව සිටි විජේවර්ධන හැරෙන්නට අන් අය විෂය සම්බන්ධව ලිඛිත දැනුමක් තිබු අය නොවේ. විධායක සූපවේදියා හෙවත් Executive Chef සිදුකරන්නේ පරිපාලනමය රාජකාරියක් සහ අධීක්ෂණයක් පමණි. මෙය මනාව පවත්වාගෙන යා හැක්කේ ඔහු සතු මිනිස් සම්පත නිසාමය. නමුත් සමහර අයට මේ ගැන වගේ වගක් නැත. අධික උණුසුම සහ කාලය සමග කරනා මේ සටන ලේසි පහසු කටයුත්තක් නොවේ. ලිඛිත දැනුමක් නොතිබුණත් දන්නා දේ පිළිවෙළට සහ වෙලාවට කිරීමට අර මිනිසුන් කඩිසර සහ කාර්යශීලී වූහ. මේ ක්‍රියාපටිපාටියන් ගැන පසුවට හෝ ලියා තබමි. ප්‍රෙමරත්න, තිලකරතන, වේලු, සුගතදාස, මොහොදීන් ඇතුළු ඒ සගයින් අමතක නොවන රසවතුන්ය. මම ඔවුන් හා ඇති පදමට කෑවෙමි. බිව්වෙමි. නැටුවෙමි. මගේ අන් සගයන්ද එසේම විය. අප අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කෙරුවෙමු. ඒ අතරතුර හැකි සෑම විටකදීම, මගේ ප්‍රියතම විෂයවූ අහාර පිසීම ගැන ඔවුන්ගෙන් උගත්තෙමි. අපට ලැබෙන දිනපතා ටිප්ස් මුදල්, ඔවුන්ගේද බීම සහ සිගරට් වෙනුවෙන් වියදම් කෙරුවෙමු. ඔවුන් ලොක්කන්ට හොරෙන් අපට අවශ්‍ය ඉස්තරම් කටගැස්ම සපයන්නේ ඒ ගනුදෙනුවේම කොටසක් ලෙසය. නානා අන්කල් නම් කිව්වේ, අරූ අලුත් සංස්කෘතියක් අරඹා ඇති බවත්, මුදල් පරිස්සම් කරගන්නා ලෙසත්ය. එහෙම දේවල් සිදුවෙනවා අඩුවුවත්, මම ඉන් සතුටක් ලැබුවෙමි.
බෙදා හදාගෙන කෑමේ අගය වැටහෙන්නේ, ඔබට තවකෙකු බෙදන විට මිසක, තමන් බෙදාගෙන තමන් බදාගෙන බුදින විට නොවේ. ලැබෙන දෙයක් බෙදාගන්නා හැටි ඉගැන්නුවේ මගේ දෙමාපියන්ය. එය ප්‍රගුණ කළේ මගේ බිරිඳගේ දෙමව්පියන් පෙන්වූ ආදර්ශයන්ගෙනි. අපද අපේ දරුවාට මේ කියා දුන්නෙමු. ඇයද බෙදා හදා ගන්නියක්වීම ආඩම්බරයකි. ඇයද මවක්වූ දිනෙක, ඔවුන්ගේ දරුවන්ද එසේ වේවී යැයි අප ප්‍රාර්ථනා කරන්නෙමු.
පාලිත, ජූලියන්, ගුණේ අප කංඩායමේ ප්‍රමුඛයන් විය. පාලිත එවකට ප්‍රසිද්ධම හෝටලයක්වූ Pegasus Reef Hotel එකෙන් ආපු කෙනෙක්ය. ඔහුගේ අයියා තිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූප වේදියෙක් විය. මල්ලි උදය ගුවන් විදුලියේ ඉංග්‍රීසි නිවේදකයෙක්ව සිටි බවත් මතකය. පාලිත උපතින්ම විනෝදකාමියෙක් යැයි කීවොත් නිවැරදිය. ජූලියන්ද ඊට නොදෙවෙනිය. කොට ගුණේ බොනවාද නානවාදැයි කියා දන්නේ ඌ පමණය. පාලිත පසු කලෙක ඕමානයේ ගල්ෆ් හෝටලයේ ආහාර සහ බීම කළමනාකරු (Food and Beverage Manager) ලෙස සේවය කල අතර දැන් එම රටේම සොහාර් හෝටලයේ Sales and Marketing Director ලෙස කටයුතු කරනා බව දැනගත්තෙමි. ඔහුගේ ඉස්සරහ එක් දතක කොටසක් අඩුවූයේ කොට ගුණේට පින්සිදු වන්නටය.
සේවා මුරය අවසන් වන්නේ රාත්‍රී 12 පසුවීය. මුදල් හදල් ගනුදෙනු අවසන්වූ පසු කැෂියර්ස්ලාද, මැනේජර තුමාද, සුපර්වයිසර් තුමාලාද ගෙවල් බලා පිටත්වෙති. ඉතිරිවන්නේ අප කිහිපදෙනා සහ කුස්සියේ සේවකයින්ය. රජ මගුල්ය. බාර් එකෙන් ඇති පදමටම සප්පායම් විය නොහැක. ඒවා යම්තාක් දුරට ලේඛනගත විය යුතුය. ගල්කිස්ස හංදියේ එළිවෙනකම් වුවත්, හෝටල් සේවකයින් වෙනුවෙන් හොර ස්පොට් විය. හන්දියේම නයිට් කඩයක්ද විය. අමතක කල නොහැකි එක් චරිතයක් වූයේ, ගල්කිස්ස හන්දියේ මහජන පුස්තකාලය ඉදිරිපිට තිබු පුංචි රෑ කඩේ හිමිකරු පබිලිස් අයියාය. වියපත් පුද්ගලයෙක්වූ පබිලිස් අන්කල් හොඳ බොන්නෙකි. කඩේ ආප්ප හදන කොලුවාත්, කෑම බෙදන එකාටත් අමතරව ඉන්නේ පබිලිස් පමණය. පබිලිස් අන්කල් ලබ්බෙකි. අපි බෝතලයක් දෙකක් බොනකම් මේ මනුස්සයාද අපිත් සමගම බොයි. කියන්නේ අමු කුණුහරුපය. ආප්ප කොල්ලාත්, පබිලිස් අයියාට හොරෙන් ඩෝප්ය. පබිලිස් අයියා ඊට කලින් ඩෝප්වී පුටුවේම ගොරවයි. බෝතල් තියෙන ලෑලි කබඩ් එකේ යතුර පබිලිස්ගේ ඉනේය. පාන්දර බස් එනකම් බොන අපි මදි පාඩු කබඩ් හැර සප්පායම් වෙමු. පබිලිස්ට පොල්ලෙන් ගැහුවත් නැගිටින පාටක් නැත. පාලිතලා සහ කට්ටිය පාන්දර බසයේම ගෙවල් බලා යන නිසා මම ඒ කෙටි දුර පොරෝලිස් මාමාගේ ගෙදරට ඇවිදින්නෙමි. කඩයේ අන්තිම ලෑල්ල වසා දමන්නේත් අපිමය. පහුවදා රෑට මුදල් පියවන්නෙමු. ඒ වේලාවට ගෙදර අයව කූද්දන්නට නොහැකිය. පොරෝලිස් මාමා අවධිවුවහොත් අම්බානකට ගුටි කෑමට සිදුවේ. මමත් ටේච්චීත් අතර රහස් ගිවිසුමක් විය. මුදල් වටිනාකමක් නොහඳුනනා ටේච්චීට මම මුදල් පොරොන්දුව මත පිටිපස්සා දොර හෙමින් ඇර ගන්නට යොදා ගත්තෙමි. ඔය කාලය ගැන ලිවිය යුතුදේ තව බොහෝය.
ලංකාවේ බොහෝ නගර හෝ ගම්වටා ගීත සාහිත්‍යයට එකතුවූ ගී බොහෝය. ඒවා බොහොමයක් ශාස්ත්‍රීය හෝ අරුත් පිරි ගීත බැව් මම දනිමි. නමුත් ගල්කිස්ස, මොරටුව ගැන ඇත්තේ වේග රිද්ම ගීත පමණක්ද යැයි සිතේ. එය එසේනම් එයට හේතුව වන්නට ඇත්තේ ගල්කිස්ස හා ආශ්‍රිතවූ ජීවන රටාව විය යුතුය. අපි ඒවාට බයිලා යැයි කියමු. ඉන් කාටවත් අමතක නොවන ගීයක් වන්නේ ඇන්ටන් ජෝන්ස්/ෆ්‍රෙඩි සිල්වා ගැයූ’ගල්කිස්සේ මුහුදු වෙරළේ-ඉරිදට ගිහිල්ලා බලන්න’ ගීතයයි. ඒ හා අවට ගැන සහ චරිතයන් ගැන බයිලා සක්විති එම්.එස්.ප්‍රනාන්දු මහතා නොහොත් ඇම්. ඇස්.අයියා බයිලා ගැයුවේය. ‘ගල්කිස්සේ හෝටලේ ළඟ ආතර් අයියා’, ‘ප්‍රේමක්කගේ බතික් කඩේ’ ඉන් සමහරක්ය. මේ එදා ජීවත්ව හුන් චරිතයන්ය. ඒවා පසුවට ලියමි.

https://www.youtube.com/watch?v=pNxvzSugkkc

Sunday, June 15, 2014

අවුල් වන්නට පෙර..(42)..පළමු රැකියාව..La Langousterie

මම පාසැලෙන් ඉවත්වූයේ උසස් පෙළ විභාගය පෙනි පෙනී යැයි කීවොත් නිවැරදිය. රැකියාවක් සොයා ගැනීමට තිබු උනන්දුවත්, පාසැල් යෑම හුදෙක් පාසැල යාමක් මිස ඉගෙනුම සඳහා යන ගමනක් නොවීමත් නිසා එම තීරණයට එළඹෙන්නට ඇත. මට පාසැල් ගමන එපාවන්නට එක් හේතුවක් වන්නට ඇත්තේත් ස්ථිරවම එක් තැනක නැවතී සිටින්නට නොහැකිවීමත් නිසා විය හැක. හයවෙනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා කාලය තුළ නවාතැන් පොළවල් දහයකට මාරුවීම එසේ මෙසේ පීඩනයක්ද නොවේ. ඔබ අළුත් අළුත් පරිසරයන්ට ,වාතාවරණයන්ට හුරුවිය යුතුය. ඒ සියල්ලක්ම ඔබගේ ජීවිතයට නැවුම් අත්දැකීම් එකතුකළත්, ඒ වයසට දෙමව්පියන්ගෙන් ඈත්වී එම තත්වයන්ට මුහුණ දීමට පහසු නැත. කෙසේ වෙතත් මේවා නිදහසට කරුණු නොවේ. මීට වඩා කටුක අත්දැකීම් තුළින් සාර්ථකව පාසැල් අධ්‍යාපනය නිම කෙරුවෝද බොහෝය. නමුත් මා රැකියාවක් කිරීමට යෑම නිසා අප පවුලේ බාල සාමාජිකයින්ට නම් යම් තාක් දුරට හෝ සාර්ථක අධ්‍යාපනයක් ලබන්නට විශාල උපකාරයක් විය. මම මිතුරන්ටද නොදන්වා, පාසලටද නොදන්වා රැකියාව තෝර ගත්තෙමි.
“බාහිරින් අප ලබාගන්නා දැනුම් සම්භාරය වැඩිවන්නට, වැඩිවන්නට ඒ හා සමානව සිතට මදි බවද දැනෙන්නට පටන් ගනී. පිරුණු සිතක් ලැබෙන්නේ නැත. මේ සියල්ල සිතින් බැහැර කර සිත හිස් කරද්දි සිත පිරුණු බව දැනේ. පිරුණු සිතක කිසිවක් නැත.” (අසම්මත විචාරය..ජයතිස්ස කුමාරගේ)
මේ වනවිට අප පවුලේ වාසස්ථානයද සාමාජිකයින්ගේ වැඩකටයුතුද යම් යම් වෙනස්වීම් වලට භාජනය වෙමින් පැවතුණි. සියල්ලෝම හංවැල්ලට සමු දී නැවත අපේ උපන් ගමවූ දෙල්කඳ ඉරිදාපොළ ඉදිරිපසම තිබු ලොකුඅම්මාගේ නිවසේ පදිංචියට පැමිණ තිබුණි. බොහෝ පැරණි නිවසක්වූ මෙහි එක් පසකින්වූ කාමරයේ, ලොකු අම්මාත්, දියණියත් නැවතුණු අතර, ඇල්පින් බාප්පා පැමිණියේ සතියකට හෝ දෙකකට වරකි. අම්මාත්, තාත්තාත්, ආච්චීත්, අන් අයත් අනිත් කුඩා කොටසේ පදිංචිවූහ. මෙසේ දෙල්කඳට නැවත පැමිණීමට තීරණය කර තිබුණේ අම්මා සහ ආච්චීගේ මූලිකත්වයෙනි. තව දුරටත් හංවැල්ලේ සිට දරුවන්ගේ අධ්‍යාපනය අයාලේ යෑමට ඉඩ නොදීමට ඔවුන් සිතුවා විය හැක. එයට හේතුවන්නට ඇත්තේ ලොකු මල්ලි ඉගෙනීම අතහැර දැමීමත්, ලොකු නංගීද අධ්‍යාපනයට වඩා ගෙදර වැඩවලට දැක්වූ උනන්දුව නිසාත් විය හැකිය. මමත් හිතුමතේටම පාසැලින් ඉවත්වී රැකියාවකට උනන්දුවක් දක්වනවා යැයි අම්මා කිසිවිටෙකත් නොසිතන්නට ඇත. සියල්ල සිදුවන්නේ හොඳට යැයි මම අදත් තරයේ විශ්වාස කරන්නෙමි. එන දෙයකට මුහුණ දෙනවා හැර අප කිසිවෙකුටවත් ඉන් පලා යා නොහැක.
තාත්තා අවිස්සාවේල්ලේ සිට රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයට මාරුවීමක් සාදාගෙන තිබුණි. රක්ෂණ සංස්ථාවේ කොටුවේ පිහිටි ප්‍රධාන කාර්යාලය, කොම්පඤ්ඤවීදිය වීදියේ අලුතෙන් ඉදිකෙරූ ‘රක්ෂණ මන්දිරයට’ රැගෙන ආවේ ඔය යුගයේය. එකල හැටියට එය විශාල ගොඩනැගිල්ලක් විය. ලලිත් ඇතුලත්මුදලි මහතා වෙළඳ ඇමති ලෙස සේවය කල යුගයේ සිදුවූ මෙහෙවරක් යැයි සිතමි. රක්ෂණ සංස්ථාව ඒ යුගයේ විශාල පිබිදීමක් ඇතිවූ යුගයක් යැයි තාත්තා කියනවා අසා තිබේ. නමුත් ඉන්පසු තවත් රක්ෂණ සමාගම් බිහිවෙන්නටද පටන් ගනී. රක්ෂණයේ පුරෝගාමියා සහ සක්‍රීය දායකයා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නම්වූ ඒ යෝධ ආයතනය විය. අද එම ආයතනය කොතරම් දුරට මා කියූ සක්‍රීය දායකත්වය සපයනවා දැයි කියා මම නොදනිමි.
පවුලේ හතරවැනියාවූ මල්ලි පන්නිපිටියේ ධර්මපාල විදුහලටත්, ඊළඟ නංගි සහ මල්ලි ගංගොඩවිල ඩී.එස්.ජයසිංහ විදුහලටත් ඇතුළත් කෙරිණි. මේ විදුහල ගංගොඩවිල වනාත පාරේ පිහිටා තිබු ගමේ කුඩා කනිටු පාසලය. පසු කාලයක නංගී ශිෂ්‍යත්වය සමත්වී නුගේගොඩ අනුලා විදුහලටත්, එම පාසලේම ශිල්ප හැදෑරූ පුංචිම මල්ලී, මගේ පළමු පාසලවූ ශාන්ත ජෝන් විදුහලටත් ඇතුළත් විය. සුළු මානසික ආබාධයකින් පෙළුණු මද්දුම නැගණිය නැවත පාසැල් ගියේම නැත. නිවසට එහා වැටේ විසූ ජෝරිස් එදිරිසිංහ පවුලේ උදවිය හා ඇය බොහෝ හිතවත්ව ළමා කාලය ගත කළාය. ගෙදර දොරේ වැඩ කටයුතු ගැනත් ඇයට සාමාන්‍ය දැනුමක් ඇය සතුය. මා නැවතී සිටි පොරෝලිස් මාමාගේ ගෙදර දියණියන්ගේ ඇවටීල නිසා ,එවකටත් පාසැල් ගමන අතහැර තිබූ ලොකු නංගීද ගල්කිස්සේ නැවතීමට පැමිණියාය. එහි පැමිණීම නිසාම, ඒ අක්කලාගේ මග පෙන්වීම මත කේක්,ස්වීට්ස්, ඕනෑම කෑමක්, මැහුම් ගෙතුම්, මැක්‍රමේ, මල් සෑදීම වැනි බොහෝ දේ ගැන ලොකු හුරුවක් ලැබීය. ලොකු නංගි ඉතා කඩිසර යුවතියක් වන්නට ඇත්තේ ගල්කිස්සේ අක්කලාට පින්සිදු වන්නටය. ලොකු මල්ලි දෙල්කඳ අවටම තාත්තාගේ මිතුරෙකු ළඟ වෙල්ඩින් වැඩ කටයුතු පිළිබඳ අත් උදව් කරුවෙකු ලෙස සුළු වැටුපකුත්, ආධුනිකයෙකු ලෙස දැනුමකුත් ලබා ගත්තේය. ආච්චී පෙර ලෙසම අපත් සමගය. ලොකුඅම්මාටද දියණියටද දැන් පාළුවක් නැත. ඇය ඉගෙනුම ලැබුවේ නුගේගොඩ සමුද්‍රාදේවී විදුහලේය. තාත්තා වැඩය. නමුත් මාසේ ආන්තිමට ගෙදරට ගෙන එන මුදලක් නම් නැති බව අසා ඇත්තෙමි. තාත්තා සමග මගේ ඇති ඇයි හොඳැයිය සෙමින් සෙමින් දුරස්වෙන බව මට දැනේ. අම්මා සුපුරුදු පරිදිම දුෂ්කර ජීවන අරගලයේය. මම රැකියාවක් වෙනුවෙන් පළමුවෙනි අඩිතාලම දමා ඇත්තෙමි. අම්මාගේ පැත්තෙන් සිතා බැලූවිට එය මට මහත් අස්වැසිල්ලකි. නමුත් මගේ පාසැල් ගමන නැවතීම සම්බන්ධව ඇය කුමන ප්‍රතිචාරයක් දැක්වූවාදැයි මට නිශ්චිත මතකයක් නැත. ඒ ඇයගේ ප්‍රතිචාරයන් ගැන මම ඒ අවසථාවේ වැඩි උනන්දුවක් දක්වන්නට නැති නිසා විය යුතු යැයි සිතමි.
මගේ පළමු රැකියාව ආධුනික ආපනශාලා සේවක නම්විය. ඒ ගල්කිස්ස මුහුදු වෙරළටත් , රේල්පාරටත් මැදිව තිබු La Langousterie නම් ආපනශාලාවේය. මුහුදු වෙරළේම එවන් විශාල බිම් කඩක් අයිතිව තිබීම මල් මසුරන් විය යුතුය. මෙය ආපන ශාලාවක් වුවත් කාමර සහ අනිකුත් පහසුකම් තිබුණේ රේල්පාරේ ගොඩබිම දෙසට විශාල භූමි ප්‍රදේශයේය.Hotel එක සහ Restaurant එක වෙන වෙනම පවත්වාගෙන යෑමට එහි අයිතිකරුවන් උනන්දුවක් දැක්විය. හෝටලය නම් ඒ දිනවල ප්‍රසිද්ධව තිබුණේ SALTAIRE BEACH RESORT නැත්නම් MT.LAVINIA CABANAS නමිනි. මෙහි කබානා මාදිලියේ නැවතීමේ පහසුකම් ඒ භූමියේ තැනින් තැන පිහිටුවා තිබිණි. සාමාන්‍ය කාමරයකට වඩා කබානාවක ගාස්තු අධිකය. ඒවා කාමරවලට වඩා නිදහස් පරිසරයක තනා තිබේ. අවශ්‍ය සියලු පහසුකම්වලින්ද අඩු පාඩුවක් නැත. විදේශීය සංචාරකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ බවට මෙම ස්ථානය නාමගත කර තිබිණි. මෙම ව්‍යාපාරයේ අයිතිකරුවන් වූයේ එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් එම විෂය සම්බන්ධවත් උගතෙක් බුද්ධිමතෙක් වූ ශිරාන් දැරණියගල පවුලටය. මොවුන් ප්‍රභූ වලව්කාර පවුලක් යැයි පැරැන්නෝ කියති. මොහු විවාහවී සිටි මීරියම් නම්වූ බෙල්ජියම් ජාතික කාන්තාව මෙම හෝටලය සහ ආපන ශාලාව ඉතාමත් ක්‍රමවත් ලෙස පවත්වාගෙන ගියාය. ඇය ඉතාම විනීත සහ නීතිගරුක කාන්තාවක් විය. මගේ ප්‍රථම රැකියාව මෙතැනින් ආරම්භ කිරීම මට බොහෝ අත්දැකීම ගෙන දෙන්නක් විය. මෙම හෝටලයේ කබානා මාදිලියේ කාමර පහසුකම් දැන් නැතිව ඇතැයි මම සිතන්නෙමි. ඒ අය විසින්ම HOTEL RIVIRAS නමින් පවත්වාගෙන යන්නේ මේ හෝටලයයි.
මට රැකියාව කරන්නට ලැබුණු LA LANGOUSTERI නම් අවන්හල අදත් එලෙසම පවත්වාගෙන යන බව මම දනිමි. මුහුද දෙසට බිත්ති ආවරණය නොකර විවෘතව තනාතිබු මෙම ස්ථානය එකල විදෙස් රටවල් අතරත් ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ එකක් විය. ඉස්සන්, කකුළුවන්, දැල්ලන්, අළුත් මාළු, බෙල්ලන්, පොකිරිස්සන් අතරින් වැඩි ඉල්ලුමක් තිබුණේ ඉතාමත් මිල අධික ආහාර විශේෂයක්වූ පොකිරිස්සන්ටය. LANGOUST කියන්නේත් පොකිරිස්සන්ටය. අවන්හල නම්කර ඇත්තේ මේ නමින්මය. LANGOUST,CRAYFISH,SCAMPI එක් එක් පොකිරිස්සන් විශේෂයන්ය.LOBSTER කීවිට කවුරුත් දනී. වැල්ලවත්තේ ‘වාඩිය’ අවන්හල මුදල් ඇති නාගරිකයන්ගේ ප්‍රියතම ස්ථානයවූ අතර LA LANGOUSTERIE එක විදේශීය සංචාරකයන්ගේ ප්‍රියතම බොජුන් හලක් විය. කොළඹ කොටුවේ ‘පරණ පාස්පෝට් කන්තෝරුව’ අසලත් ANGLERS CLUB නමින් මෙවැනි අවන්හලක් තිබු බව මතකය. එය කොළඹට පැමිණෙනා විදේශීය නාවිකයින්ට හොඳ පුරුදු තැනක් බවත් මතකය.
1990 මුල් කාලය වනතෙක් ශ්‍රීලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉතා ඉහළ අඩියක පැවතීය. ලංකාවට පැමිණි සංචාරකයින් අතරින් ජර්මන් ජාතිකයින් මුල් තැන ගනී. ප්‍රංශ, බ්‍රිතාන්‍ය, ඉතාලි, ඇමරිකන් ජාතීන්ගෙන්ද අඩුවක් නොවීය. නැගෙනහිර යුරෝපීය ජාතීන් දක්නට සිටියේම නැත. චීනෙක් හිටියා නම් හිටියේ දත් සාප්පුවක,මරදානේ රෙදි කඩයක හෝ චීන අවන්හලක කුස්සියක පමණි. ඔවුන්ද පරම්පරාවෙන් පැවත ආ ලංකාචීනුන්ය. ජර්මන් ජාතික සංචාරකයින් මුදල් වියදම් කිරීමට අති ශූරයෝය. කෑමට, බීමට,විනෝදවීමට මොවුන් තරම් නොමසුරු ජාතියක් මම යුරෝපයේ දැක නැත. ඉතාලි ජාතික සංචාරකයින්ද යම් තාක් දුරකට එසේ හැසිරුණෝය. ජර්මන් ජාතිකයින් ලොකු ටිප්ස් දීමටද නොමසුරෝ වෙති. එකල සංචාරක ව්‍යාපාරයට ආශ්‍රිත රැකියා කිරීමට, ලංකාවේ ධනවත් පවුල්වල දරුවන් පවා මහත් උනන්දුවක් දැක්වීය. හෝටල් ක්ෂේත්‍රය තුළ එවැන්නෝ බොහෝ වූහ. ඒ කර්මාන්තය තුළ විනෝදය, ප්‍රේමය, ලිංගික අවශ්‍යතාවයන් සඳහා ඉඩකඩ සපයා ගැනීමට පාරාදීසයක්වූ නිසා බැව් කවුරුත් දනී. විදේශිකයින් හා මිත්‍රවී ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ හෝටල් සේවක සේවකාවියන් බොහෝ දෙනෙක් ඒ ඒ රටවලටම ගොස් විවාහවී එහිම පදිංචිවිය. සමහර විදේශිකයෝ ඒ අයුරින්ම දේපල මිලදී ගෙන මෙහිම පදිංචිවූහ. තාවකාලික ලිංගික ඇසුරු කිරීම් සඳහාද නොයෙකුත් ආකරයේ මාවත් සේවකයින් හට විවෘතව තිබුණි. මේ ගැන ලිවිය යුතුදේ බොහෝ ඇතත් අද ලිපියෙන් කීමට නොහැකිවේ.
මම රැකියාවක් කිරීමට පටන්ගෙන ඇත්තේ 1980 ජූනි මාසයේ 2වැනි දින යැයි මගේ සහතික පත් කියා සිටී. ඒ අදට වසර 34කට පෙර දිනකය. ඔබ පුදුමයට පත් නොවන්න, මගේ පළමු මාසික වේතනය රුපියල් අසූවකි. එයිනුත් අතට ලැබුණේ රුපියල් 72ක් සහ ශත ගණනකි. රුපියල් හතයි ගණනක් අර්ථ සාධක අරමුදලට බැර කරනා බව දැන ගත්තෙමි. හෝටල් කර්මාන්තයේ සේවකයින්ට ලැබෙනා වැටුප අන් කර්මාන්ත සේවකයින්ට වඩා සාපේක්ෂව ඉතා අඩුය. එයට හේතුව වන්නේ තම ගනුදෙනු කරුවන්ගෙන් අය කරගන්නා සේවාගාස්තුව මාසයකට වතාවක් සේවකයින් අතර බෙදා දීමයි. මෙය ක්‍රමවත් ගනුදෙනුවක් විය. තම ගනුදෙනු කරුවන් වියදම් කරනා සෑම රුපියල් සීයකට තව රුපියල් දහයක් සේවා ගාස්තු ලෙස අය කර ගනී. මාසයකට වරක් බෙදෙනා මේ මුදල එක් සේවකයෙක් වෙනුවෙන් අගනා මුදලක් විය. හෝටල් සේවකයින් පඩි දිනයට වඩා උනන්දුවෙන් සිටින්නේ සේවා ගාස්තු හෙවත් සර්විස් චාජ් ගෙවන දවසටය. ආපනාශාලා සේවකයින්ට නම් මේ දින දෙක ගැන එතරම් උනන්දුවක් නැත්තේ, ඔවුන්ට දිනපතා ලැබෙනා තුටු පඬුරුද අධික අගයක් ගත් නිසා බැවින් යැයි අපි දනිමු. හෝටල් සේවකයින් අතර යහමින් මුදල් හදල් ගැවසිණි. ඒනිසාම ඔවුන් අතරින් බොහෝමයක්ම අතිශය විනෝදකාමී පුද්ගලයින් කොටසක් විය. ඒ ජීවිතය ගැන ලිවිය යුතුදේ බොහෝ ඇත. ඒවා පසු කොටස්වල ලියා තබන්නට ඉටා ගත්තෙමි.
මේ සියල්ලටම වඩා වැදගත් වූයේ , අපේ අම්මාගේ දෛනික අරගලයේ තිබු බොහෝ දුෂ්කරතාවලින් ඇය ගලවා ගැනීමට, ලොකු පුතා නම්වූ මහා ගැලවුම් කරුවාගේ ආගමනයයි. මම එය මැනවින් ඉටු කිරීමට පටන් ගත්තෙමි.
ප.ලි….පසුගිය සති එකහමාරකට අධික කාලයක් මම නොයෙකුත් වැඩවලට මිඩංගු විය. බ්ලොග් කියවීම තබා මේල් කියවීමටවත් කාලයක් නොවීය. ඊට අමතරව පාදයේ ශල්‍ය කර්මයකට රෝහල් ගත විය. ඒ හරියටම පසුගිය වසර 34පුරා මා කෙරූ රැකියාවල ප්‍රතිඵලය බැව් දොස්තරවරුන් පවසති. දැන් ඉන්නේ ගෙදර ඇඳේ නිසා, ඇවිද ගන්නට බැරිවුනත් බ්ලොග් කියවීමට හැකිය.

Saturday, June 14, 2014

අවුල් වන්නට පෙර..(41)…ඉගෙනීම හෝ පිටවීම

අධ්‍යාපනය ලැබීම සඳහා පාසැල් යාම තව දුරටත් ප්‍රයෝජනයක් නැති යැයි, මා නැවතී සිටි ගෙදර පොරෝලිස් මාමාද පැවසීය. මා පාසැල් යන්නේ ඉගෙනුමට නොවන බව ඔහුට වැටහෙන්නට ඇත. රැකියාවක් සොයාගත යුතු යැයි මම සිතන්නට පටන් ගතිමි. පුවත්පත්හී පළවූ ඇබෑර්තු සඳහා ඉල්ලුම් කිරීමටත් සිතාගත්තෙමි. අප පාසැලේ ආදී සිසුවන් බොහෝ දෙනෙක් සමාගම් හිමිකරුවන් හෝ ඒවායේ වගකිවයුතු නිලයන් දරන්නන් බැවින්, කොළඹ අවට ආයතනවල රැකියා ඇබෑර්තු ඇතිවූවිට, උසස් පෙළ අවසන් කරන්නට ආසන්නයේ සිටිනා අප පාසැල් සිසුන් බඳවාගන්නා ක්‍රියාපටිපාටියක් පාසැල හා එක්ව පවත්වාගෙන ගිය බව මතකය. අපේ උද්භිද විද්‍යා ගුරුවරුයවූ මාලති ප්‍රනාන්දු මහත්මිය මෙවන් රැකියාවක් සඳහා මට සම්මුඛ පරීක්ෂණයක් සුදානම් කිරීමට උනන්දුවිය. ඒ හයිඩ්පාක් අසල පිහිටි එකල සමර්විල් ගෲප්ස් නම්වූ ආයතනයයි.
මේ සඳහා අවශ්‍ය විදුහල්පති සහතිකය ලබාගැනීමට නම් විෂයභාර ගුරුවරුන් අත්සන් තැබිය යුතු විය. සත්ව විද්‍යාව ඉගැන්වූ ඒ රූමත් ගුරුතුමිය මෙහි අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළේ මා බරපතල වරදක් කර ඇතැයි පවසමිනි. ඒ කාලයේ ගැහැනුන් බුරිය පෙනෙන්නට සාරිය ඇඳීම විලාසිතාවක් කරගෙන තිබුණි. කවුදෝ සිසුවෙක් විසින් ඇයගේ නිවසේ ලිපිනයට ලිපියක් යවා ඇත. ඒ සාරිය අස්සෙන් පෙනෙන බුරිය සහ අවට ප්‍රදේශය වර්ණනාවකට ලක්කරමින් බවත්, එහි යටින් මගේ නම ලියා ඇති බවත්ය. දැන් වැරදිකරු මමය. එවැනි වැඩක් කෙරූ කෙනෙක් තමන්ගේ නම ඊට යටින් ලියා යවනවාදැයි සිතීමට පවා ඇයට අවශ්‍ය නොවී ඇති හැඩය. මේ බව මාලති ප්‍රනාන්දු ගුරුතුමියද ඇයට පහදාදීමට ඉදිරිපත් විය. ඇය එම ගුරුවරියට කියා සිටියේ, එවැනි ලිපියක් ඇයට ලැබුණා නම් කියවාබලා විසිකරනවා හැර, අනවශ්‍ය ලෙස කලබල නොවනා බවයි. කෙසේ හෝ දින දෙක තුනකට පසු ඇගේ අත්සන ලබාදීමෙන් පසු මට විදුහල්පති සහතිකය ලැබිණි. නමුත් සම්මුඛ පරීක්ෂණයෙන් මා අසමත් විය. තව දුරටත් පාසැල් යාමට තීරණය විණි.
එම පාසැල් කාලයත් පෙර පුරුදු රස්තියාදුවම විනා කිසිම යහපතක් නොවීය. අප කංඩායම බම්බලපිටිය පැත්තට නොයා ඉන්නා දවසට, කොල්ලුපිටිය වාළුකාරාමය පිටුපස තිබු නානාගේ කඩයට රිංගා ප්ලේන්ටියක් බී, නානා විකුණන ගංජා මිටියක්ද ගෙන, ඔහුටම කියා ඔතා ගන්නටත් පුරුදුවී සිටියහ. මෙය දිනපතා සිදුවූ කරියක් නම් නොවීය. එතැනින් ගමන් ආරම්භ කර කොල්ලුපිටිය පැත්තෙන් ඇස්වාට්ටුව දෙසට ඇවිද යන්නෙමු. එවකට මහජන පුස්තකාලය පිහිටා තිබුණේ ශ්‍රාවස්ථිය අසල, අද කොළඹ නගාරාධිපති නිල නිවාසයේයි. පුස්තකාලයට රිංගා පැයක් දෙකක් පත්තර කියවීමද සිදුවුණි. කාලයකට පසුව මහජන පුස්තකාලය නව ගොඩනැගිල්ලට මාරුවිය.
වික්ටෝරියා පාක් එකේ කරක් ගැසීමත් කට්ටි පනිනා පාසැල් සිසුන්ගේ පුරුද්දක් විය. පෙම්වතුන් මෙන්ම හොරෙන් හමුවන ජෝඩුද ඒ කාලයේ විහාරමහා දේවි උද්‍යානයේ විශාල ගස් යට උකුළු මුකුළු කරමින්ද, තවත්දේ කරමින්ද ප්‍රේමයේ රස උරා බොමින් කල් ගත කරති. ගස්වලට මුවාවී ඒවා රසවිඳිමින් ස්වයං වින්දනයේ යෙදෙනා පිරිමින්ද මේ උද්‍යානයට අමුත්තක් නොවීය.
එතැනින් වෛද්‍ය සිසු නේවාසිකාගාරයක්වූ බ්ලොම් එක හරහා පුංචි බොරැල්ලටත්, එතනින් මරදාන දක්වාත් ඔහේ ඇවිදගෙන යෑම විඩාවක් නොවීය. මගේ පංතියේ මිතුරෙක්වූ ශ්‍රීනාත් ප්‍රේමරත්න පදිංචිව සිටියේ මරදාන ඩොනල්ඩ්ස් ස්ටුඩියෝව ඉදිරිපසට වෙන්නට ඇති නිවසකය. ඇට්ලස් හෝල් නම්වූ පොත් ප්‍රකාශන ආයතනයද ඒ අසලම විය. ඒ පැතිවල වඩාත් රස්තියාදුවුණේ ආනන්ද, නාලන්ද සිසුන්ය. ආනන්දයේ සිසුන්ද සමහර අවස්ථාවල අප හා එක්වේ. ආනන්දය අසලම ජීවත්වූ නිසා ශ්‍රීනාත්ගේ ආනන්ද මිතුරන්ද රාශියක් විය. මට ශ්‍රීනාත්ලාගේ ගෙදර හොඳට හුරු පුරුදුය. මම විටින් විට එහි ගොස් කාබී නැවතී ඇති තැනක්ය. ශ්‍රීනාත්ගේ මවගේ ඉල්ලීමකට අනුව පානදුරේ අරියධම්ම හිමිගේ සීල ව්‍යාපාරයකටද සහභාගි විය. ඒ මගේ පළවෙනි සිල් සම්මාදම බැව් මතකයේ තිබේ. ඉන් පසුව දෙවරක් මා දැන් සිටිනා රටේදි සිල් ගත්තා හැරෙන්න වෙන මතකයක් නම් නැත. පානදුරේ අරියධම්ම බෝධිපූජා වැඩසටහන් එකල දිවයින පුරාම ඉතා ජනප්‍රිය වැඩ සටහනක් විය. වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගයත්, අරියධම්ම හිමියන්ගේ “බ” වැඩසටහනත් අති මහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. ඒ කාලයේ අරියධම්ම හිමියන්ගේ බයන්න කියා කීවේ විහිළුවටය. මෙසේ කියා ශ්‍රීනාත්ගේ අම්මාගෙන් බැණුම් ඇසූ අවස්ථාවන්ද විය. ඒ කෙසේ වෙතත් පුංචි බොරැල්ල පසුකර මරදාන හරහා ,ඩීන්ස් පාරේ තිබු මගේ පන්තියේ මිතුරෙක්වූ අජිත් කුමාරලාගේ හෝටලයෙන් සමහර දිනයක නොමිලේම බත් වේලක්ද ගිල දමා ගල්කිස්ස බලා පිටත්වේ.
පාසැල් කාලය තුල අමතක නොවන ක්‍රීඩා තරඟ දෙකක් විය. ඒ රෝයල්-තෝමියන් බිග් මැච් එකත්, රොයල්- ට්‍රිනිටි බ්‍රැඩ්බි ශීල්ඩ් තරඟාවලියන් වේ. රාජකීය-ශාන්ත තෝමස් සියවැනි ක්‍රිකට් තරඟය නැරඹීමට ගියේ පාසැල් සිසුවෙකුව සිටි අවධියේය. හැම වසරේම ක්‍රීඩා තරඟයට පෙරදින පාසැලේ සිට ක්‍රිකට් කංඩායමේ නායකයාගේ නිවසට වාහන, බයිසිකල් සහ පයින් ගමන්ගන්නා සතුටු පෙරහැරක්ය. “බිග් මැච් පැරේඩ්” කියා කිව්වේ මෙය විය යුතුය. නායකයාගේ නිවසින් තේ පැන් සංග්‍රයක් ලැබේ. බිග්මැච් දිනයන්හී ලොරි භාගයක් හෝ පපරා බෑන්ඩ් එකක් සෙට් කරගැනීමට මුදල් නැත. අපේ ගමන පයින්ය. දින දෙකකට සීමාවූ බිග්මැච් එක, දින තුනක් වූයේ ඔය කාලයේ බැව් යාන්තමට මතකය.
“හැට් කලෙක්ෂන්” යැයි හැඳින්වූ, පාසැල අවට නිවෙස්වලට තට්ටුකර මුදලක් කඩාගත්තේ බෝතලයක් දෙකක් මිලදී ගන්නත් දවල් කෑමටත් බව කිවයුතු නොවේ. සල්ලි එකතුකරන්නේ පොත්පත් ගන්න නොවන බව දෙන අයත් දනී. වරක් නොදැනුවත් කමින්, එකල විදුහල්පති තුමාවූ එල්.ඩී.එච්.පීරිස් මහතාගේ ග්‍රීන්පාත් නිවසටත් ගොසින් යාන්තම් ගැලවී ආවේ විදුහල්පති තුමාත් බිග්මැච් තෘප්තිය ලබන්නට ගොස් බැවිනි. පාසැල් ගුරු මංඩලයේ සහ සේවක මංඩලයේ බහුතරයක්ද තරඟය නැරඹීමට පැමිණේ. මින් අමතක කල නොහැකි චරිතයක් නම් කඩළේය. අනිකා, රසායනාගාර භාරව සිටි සේවකයෙක්වූ ඩැනී අයියාය. කඩලේ ගැන මාතලන්ද ලිපියක් ලියා ඇතිමුත්, මා යමක් නොලිව්වොත් මගේ කතාවට කරනා අඩුපාඩුවක් වේ.
කඩලේගේ නියම නම කුමක්දැයි මම නොදන්නෙමි. ඔහු නැවතී සිටියේ පාසැල් නේවාසිකාගාරයේම කොටසකය. මොහු ද්‍රවිඩයෙකි. මොහු පාසැලේ ආදී සිසුවෙක් බවත් මම අසා ඇත්තෙමි. මොහුගේ ආදායම් මාර්ගය වූයේ කඩල, වඩේ වෙළඳාමයි. බොහෝවිට පාසැල තුළ පමණි. පාසැල් විවේක කාලයේදී වීදුරු පෙට්ටිය පුරවාගෙන ගොඩනැගිල්ලක් අයිනටවී කඩලේ වෙළඳාමේය. මේ වටා සිසුන් මීමැස්සන් මෙන් පිරී ඇත. කඩලේගෙන් යමක් සොරාගැනීමට ඉතාමත් පහසුවුවත් අප එසේ නොකිරීමට වග බලා ගත්තෙමු. ඔහුට උදව් කිරීමටත් පසුබට නොවූ සිසුන් විය. කඩලේ අද සල්ලි නැහැයි කීවිට ඔහු ඇඹරුණේද නැත. ඉහළ ප්‍රමිතියකින් සහ රසවත් කෑම වර්ගවලින් පිරුණු පාසැල් කැන්ටිමට මෙන්ම කඩලේටද ඉහළ ඉල්ලුමක් විය. කඩලේට නොතිබුණේ මුදල්ය. නමුත් මනුස්සකම ඕනෑවටත් වඩා හිමිව තිබුණි
සුදු සරමත්, කමිසයත් හැඳි මේ කාලවර්ණ හැඩිදැඩි උතුම් සුන්දර මිනිසා අවිවාහකයෙක්ද නැද්ද කියා කීමට මම නොදන්නෙමි. හැන්දෑවට පොඩි අඩියක් පුඩියක් ගසා පාසැල් ක්‍රීඩාංගනයට පැමිණෙන මොහු අවිනීත ලෙස හැසිරෙන්නෙක්ද නොවේ. තරඟ නැරඹීමට ගොස් කරටි කඩාගෙන ඉන්නා අවස්ථා නැත්තේ නොවේ. භාෂා තුනම චතුරව හැසිරිවිය හැකි කඩලේට ආදරය නොකෙරූ කෙනෙක් නොවීය. ඔහු මගේ ලෝකයේ වීරයෙක් විය. බිග්මැච් දිනයට රාජ්‍ය නායකයාගේ සිට කුඩාම සිසුවා සමග කඩලේ විනෝදෙන්ය. රටේ ප්‍රබලයින් සමග එකට වාඩිවී අඩියක්ද ගසයි. කඩලේට අප පාසැලත්, කඩලේ අප පාසලටත් සම්පතක්ම විය. මේ සොඳුරු මිනිසා මිය ගියාට පසුවත්, ඔහු වෙනුවෙන් ස්මාරකයක් තැනීමටද කතිකාවක් තිබූ මුත්, කුමක් වූවාදැයි නොදනිමි.
ඩැනී අයියාද සුදු සරම සහ කමිසය හැඳි”ටොප් ක්ලාස් පොරක්” විය. ඔහු පදිංචිව සිටියේ කොල්ලුපිටියේය. අපේ සියලුම රසායණාගාරයන් භාරව සිටි ජ්‍යේෂ්ඨයා ඔහුය. ගුරුවරුන් මෙන්ම සිසුන් සමගත් ඉතාමත් සුහදශීලී ජීවිතයක් ගතකළ ඩැනී අයියා හොඳ විනෝදකාමියෙක් විය. ඔහුගෙන් “දඩයක්” දාගත් අවස්ථාද තිබේ.
බ්‍රැඩ්භි පලිහ වෙනුවෙන් පැවැත්වෙන රාජකීය-ත්‍රිත්ව වාර්ෂික තරඟාවලියද අප අමතක නොකරනා තවත් ඉසව්වක්ය. තරඟ දෙකකින් පසු පලිහ පිරිනමනු ලැබේ. එක් තරඟයක් මහනුවරත්, අනික කොළඹත් පැවැත්වේ. අප වැඩි උනන්දුවක් දක්වන්නේ මහනුවර තරඟය නැරඹීමට යාමටයි. එදින උදෑසනින් “රෝයල් එක්ස්ප්‍රස්” යැයි කියා දුම් රියක් කොටුවෙන් නුවර බලා පිටත්වේ. දැන් නම් ඒවා තියෙනවාද කියා නොදන්නෙමි. රාජකීය කොඩිවලින් දුම් රිය පිරී ඉතිරී ඇත. පපරා බෑන්ඩ්ස්ද ඇතුළත්ය. මහනුවර නගරයේ දහවල සැරිසරා, හැන්දෑවේ තරඟය නරඹා ආපසු කොළඹ එන්නේ නැත. මත්පැනින්ද, දුමෙන්ද සංතර්පණය වී කඩවල්වලින් කා, පදික වේදිකාවේ ගොඩනැගිල්ලක් අයිනටවී නිදාගන්නෙමු.
ඒ කෙසේ වෙතත් මගේ පාසල් කාලය නිමාකිරීමට කාලය පැමිණ ඇත. Disce Aut Discede යනු රාජකීය විදුහලේ උදෘත පාඨයයි. ලතින් භාෂාවෙන් එය ඉංග්‍රීසියට පෙරළූ විට Learn Or Depart යැයි කියවේ. මම පිටවුණෙමි. මා අයදුම් කල රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට කැඳවා ඇත. ඒත් ගල්කිස්සේමය.
මගේ ආදරණීය පාසැල් මිතුරන් හා සම්බන්ධ චරිත හා රසකතා ලිව්වා මදිය. විවේක ඇති විටක ඒවා කොහේ හෝ ලියා තබන්නෙමි. මේ බ්ලොගය කියවා දුරකථනයෙන් මා අමතා දිරිමත් කරන සහ තවත් කරුණු ගැන සාකච්ඡා කරන මගේ පාසැල් මිතුරු ඒ.එම්. රණසිංහට හදබැති ගෞරවය ලියා තබන්නෙමි. අදහසකින් හෝ මා දිරිමත් කරවන ඔබටත්, කියවන සැමටත් මගේ ගෞරවය!!

Friday, June 13, 2014

අවුල්වන්නට පෙර (40)….SEE YOU AGAIN බම්බලපිටිය

බම්බලපිටිය හංදිය ආශ්‍රිත ප්‍රදේශය කොළඹ අවට පාසැල් සිසුන්ගේ ප්‍රියතම ස්ථානයක් වන්නට ඇත්තේ ඒ අවට තිබූ බොහෝ බාලිකා පාසැල් නිසා විය යුතුය. ලින්ඩ්සේ බාලිකා, විශාඛා, සේන්ට් පෝල්ස් මිලාගිරිය, මුස්ලිම් බාලිකා, හෝලි ෆැමිලි ඉන් කිහිපයකි. මගේනම් වැඩි කැමැත්තක් තිබුණේ මිලාගිරිය මානවිකාවන්ටය. ඒ ඔවුන්ගේ යුනිෆෝම් එක නිසාද යැයි සැකය. ඔය අවට පිරිමි පාසැල් තිබුණේ අතලොස්සකි. රාජකීය, තර්ස්ටන්, සේන්ට් පීටර්ස් ඉන් සමහරක්ය. සෙන්ට් පීටර්ස් සිසුන් බම්බලපිටියට උරුම කරුවන් මෙන් විය. මේ විදුහලේ සිසුන් බොහෝමයක් බම්බලපිටිය, වැල්ලවත්ත ආශ්‍රිත පදිංචිකරුවන්ය. බම්බලපිටිය තට්ටුනිවාස වාසීන්ගේ දරුවන් බොහෝමයක් සේන්ට් පීටර්ස් කොළුවන්ය. “බම්බා ෆ්ලැට්ස්”වාසීන් බම්බලපිටියේ වැඩකාරයින් යැයි අපි දන්නා නිසා ඔය පැත්තේ වැඩිය දඟලන්නට ගියේද නැත.
මේ පිරිමි පාසැල්වල සිටි රස්තියාදුකාරයන් බොහෝවිට බම්බලපිටියට එක්වේ. ලයන්හවුස් නම් ආපනශාලාව දීර්ඝ ඉතිහාසයක් ඇති ස්ථානයක් යැයි මම සිතමි. මෙහි ඉදිරිපස තිබු වීදුරු ආවරණය තීන්ත ආලේප කර තිබු නිසා සිගරට් බොන කොල්ලන්ට යම් ආරක්ෂිත කලාපයක් බඳුය. ලයන්හවුස් තේ එක තරම් රසවත් තේ එකක් අවට අනිකුත් හෝටල්වල නොතිබුණු බව සාමාන්‍ය මතය විය. එය අයිතිව තිබුණේ සිංහල ව්‍යාපාරිකයෙකුටය. කිරිබත්, ලුණුමිරිස්, ඉඳිආප්ප, කිරිමාලු, අලහොදි, බනිස්,මාළුපාන්, පාන් වීදුරු සෝකේස්වල පෙනෙන්නට තිබුණි. සේවය සැපයීමට සිටියේ ඈත පළාත්වලින් පැමිණි, සුදු සරම්, කමිස හැඳි මැදිවියේ මිනිසුන්ය.
ලයන්හවුස් එකට යාබදව තිබු මේෆෙයාර් ආපනශාලාව මුස්ලිම් හෝටලයක් විය. බුරියානි, තක්කාලි, ලූණුපෙති,සලාද කොළ මත වැඩවිසූ රෝස්ට් කුකුළන්,බැදපු තෝර මාළු පෙති,වටලප්පන් දිහා හොරෙන් බලමින් ප්ලේන්ටියක් ගහනවා හැර තරුණ පාසැල් සිසුන්ට වෙන කළහැකි දෙයක් නොවීය. ඕනෑම වුණොත් බඩ පුරවාගන්නට සරස්වති ලොජ් නම්වූ සයිවර් කඩය සැම විටම විවෘතය. මා ඇතුළු කංඩායමේ යමක් කමක් ඇති කොලුවන් කිහිප දෙනෙක් ගැවසුනි. තෝසේ දෙකක් දැමු කෙහෙල් කොළය උතුරා යන තරමට සාම්බාරුව ඉල්ලා ගන්නටත්, ඒ සාම්බාරුව බාල්දියේ අඩියෙන්ම ගෙන බෙදන ලෙස කාරුණිකව ඉලා සිටීමටත් ලැජ්ජා නොවීය. හැන්ද පතුලටම යවා බෙදනා විට වට්ටක්කා කෑලී, වම්බටු කෑලි, මුරුංගා පොතුවලින් අඩුවක් නොවේ. උලුඳු වඩයක්, අල බෝණ්ඩාවක් ගන්න පුළුවන් වුණොත් බෝනස්ය. අත දමා හොරෙන් ගන්නට හැකි තැනක තිබුණොත් තෝසේ දෙකට යට කරගන්නා වඩය කාටවත් නොපෙනේ. එසේ යට කරගන්නා වඩය හෝ අලබෝලය අතින් තදකර මට්ටම් කෙරූවිට හොයනවා බොරුය. මේ මොන සෙල්ලම් දැම්මත් මුදල් නැති දිනයක කාබී කාටත් හොරෙන් මාරුවන අවස්ථාද නොතිබුණාම නොවේ. මෙවැනි අවස්ථාවලදි, පළමුවෙන්ම පිටවී යාමේ අවස්ථාව මට හිමිවුණේ, කිහිපවරක් අවසානයා ලෙස පිටවෙන්නට ගොස් අනාගත් බැවින්ය. ඒ අනාගත් කිසිම අවස්ථාවක වීදුරු සේදීමටවත්, කෙහෙල් කොළ බාල්දි අස්කිරීමටවත් සිදුනොවුයේ ,මොකක් හෝ කියා අනුකම්පාව ලබාගත් නිසා මිස වීරකමකට නොවේ.
බම්බලපිටියේ බුලර්ස් පාරට එක්වරම මුහුණලා පිහිටියේ ප්‍රසිද්ධ සිටි ඩිස්පෙන්සරි ගොඩනැගිල්ලයි. විශාල වීදුරු බොතල්වල නොයෙකුත් වර්ණයේ දියරයන් පුරවා පෙනෙන්නට තබා තිබුණි.අද මැජස්ටික් සිටි නොහොත් MC යැයි කියනා විශාල භූමියේ එදා තිබුණේ පහසුකම් සහිත ප්‍රධානතම සිනමා ශාලාවක්වූ මැජස්ටික් සිනමා ශාලාවය. එවැනිම පහසුකම් ඇති අනිකුත් ඒවා වූයේ සැවොයි-වැල්ලවත්ත, රීගල්-ලේක් හවුස් සහ ලිබර්ටි-කොල්ලුපිටිය පමණි. මේ ගොඩනැගිලි අතරින් වයින් ස්ටෝර්ස් එකක් තිබුණා මතකය. ඒ කාලයේ පාර අතුගාන ද්‍රවිඩ ජාතික වැඩිහිටි කාන්තාවන්, ඔතනින් කාලේ, බාගේ බෝතල් ගෙන කටේ තියාගෙන ඇදලා අරින හැටිත් අමතක නොවේ.
මැජස්ටික් සිනමාහල පිහිටා තිබුණේ විශාල බිම්කඩකය. කෙටි තාප්පය දෙපසින්ම මෙයට ඇතුළුවිය හැක. සිනමාහල තුළට පිවිසීමට සිටිනාවුන් පාරට පෙනෙනා නිසා නවක පෙම්වතුන්ද, හොර කපල්ස්ද, පාසල් සිසුන්ද පරිස්සම් විය යුතුය. ඒ කාලයේ උදේ 10.30 දර්ශන වාරය පවත්වාගෙන යන්නට ඇත්තේ මේ කංඩායම් ඉලක්ක කරගෙන යැයි මට සිතේ. මැජස්ටික් සිනමාහල පිටුපස එම ඉඩමේම පරණ වලව්වක් වැනි විශාල නිවසක් විය. මේ නිවසේ පදිංචිය සහ අයිතිය තිබුණේ අපේ පාසැල් මිතුරෙකුවූ මිගාරගේ පවුලටය. පාසැල් වේලාවෙන් පසුව නම් අප එහිගොස් තේ බීමටත් පුරුදුව සිටියහ. ඔවුන් සංග්‍රහශීලි මිනිසුන් විය. රූමත් සහෝදරියන් දෙතුන් දෙනෙක්ද මිගාරගේ පවුලේ වූහ. අප ඒ පිළිබඳ කිසිවිටෙකත් ව්මසිලිමත් නොවීය.
බම්බලපිටිය හන්දියේම තිබු අමතක නොවන තැනක් නම් බම්බලපිටිය මාකට් බිල්ඩිමය. නගර මධ්‍යයේ පිහිටි මෙම ස්ථානය කොළඹ මහ නගර සභාව විසින් ක්‍රමවත්ව නඩත්තු නොකළ නිසා මස්, මාළු කුණු ගඳෙන්ද අඩුවක් නොවීය. එළවළු, පලතුරු, බිත්තර, මස්, මාළු කඩ රාශියක් ඒ තුළ තිබිණි. මේ ගොඩනැගිල්ල පිටුපස තිබු පැරණි විශාල නිවසේ සිටියේ පසුව මා හඳුනාගත් මිතුරියකගේ ඥාතීන්ය. මාකට් එකට මෙහායින් තිබුණේ, එකල පාරේ නිතර දැකිය හැකි දසුනක්වූ භූමිතෙල් කරත්ත සහ ගවයින් ගාල් කරතැබූ කරත්ත ගාලය. ඒ යුගයේ කොළඹ අවට පවා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්වූ භූමිතෙල් ඕනෑම සිල්ලර කඩයකින් තෙල් කරාඬියෙන් මැන බෝතලය, භාගය සහ කාල වශයෙන් මිලදී ගැනීමට ඉඩකඩ තිබුණි. ගොන් බැඳි කරත්තයට සවිකෙරූ රතු පැහැති ටැන්කියෙන් සිල්ලර කඩවලට භූමිතෙල් බෙදුවේ තොග මිලටය. සීනුවක් ගසමින් මොවුන් වීදි සැරිසරති. යහමින් මුදල් ඇති අයනම් ගැළුමක් දෙකක් එකවර මොහුගෙන් පුරවාගනී. මේ සේවකයන් බොහෝදෙනා ද්‍රවිඩ ජාතිකයින් විය. බම්බලපිටියේ මේ භූමිතෙල් ව්‍යාපාරය අයිතිව තිබුණේ මගේ පන්තියේ මිතුරු සුරාජ් ඇන්තනීස් පවුලටය. ඒ නිසාම සුරාජ්ට අප කිව්වේ භූමිතෙල් කියාය. තවත් මෙවැනි ව්‍යාපාරිකයින් කොළඹ විසූහ. පොල්තෙල් බෙදුවේ කහ පැහැති ටැංකි බැඳගත් ගොන් කරත්තයකින් බවත් මතකය. මාකට් බිල්බිම අසලම එක් කොනක දැල් ගැසු කුඩා කඩයක් තිබුණි. සිගරට්,බීඩි,බුලත්විට, සබන්, නිල් පැකට් වැනි එදිනෙදා අවශ්‍යතාවයන් මේ අහිංසක ද්‍රවිඩයා වෙළඳාම් කෙරුවේය. ජාතිආලයෙන් මඤ්ඤංවූ කාළකණ්ණීන් විසින් 1983දී මේ කඩය විනාශ කරලීමට තරම් සැහැසි විය. බම්බලපිටියෙන් රටට දායකවූ තවත් ව්‍යාපාරයක් නම් ඇල්බට් එදිරිසිංහ ඇස් කණ්ණාඩි ව්‍යාපාරයයි. ඇල්බට් එදිරිසිංහ මහතා බොහෝ කාලයකට පසුව දේවමිත්ත නමින් පැවිදිවියට පත්ව නිහඬ ජීවිතයක් ගෙනගිය අතර මෑතකදි අපවත්විය. ඒ අසලම වූයේ පොලිසිය සහ තැපැල් කන්තෝරුවයි. පොලිස් නිල නිවාස පිහිටියේ ඊට පිටිපසිනි.
බම්බලපිටියට සෙනඟ එක්වෙන තවත් තැනක් නම් කදිරේෂන් කෝවිල හෙවත් වැල්ලවත්ත කෝවිලයි. බම්බලපිටියේ පිහිටා තිබුණත් මෙය වැල්ලවත්ත කෝවිල ලෙස හඳුන්වයි. මේ අසල අශෝක ලොජ් සහ තවත් තෝසේ කඩයක් විය. බම්බලපිටිය හන්දිය පැත්තට වෙන්න තිබුණේ කදිරවේල් කෝවිල බව මතකයේ තිබේ. මේ කෝවිල් දෙක අසල පිච්චමල් මාලා, කපුරු, පොල්තෙල් වෙළඳාම ජයටම කෙරුණි. කුඩා බංකුවක් මත වාඩිවී කෙසෙල් කොළයක් මත තබාගත් සුවඳ හමන පිච්චමල් වලින් මල්මාලා ගොතන ඒ ද්‍රවිඩ ජාතිකයන්ගේ දසුන කිසිදින අමතක කල නොහැකිය. ඒ අසල අපි ඔහේ ගැවසෙන්නෙමු. මේ මල් වර්ග මාතලේ වැනි පළාත්වලින් මෙතැනට සැපයූ බවත් මම අසා ඇත්තෙමි. කොළඹ ජින්තුපිටියේ කෝවිලේ සිට බම්බලපිටිය කෝවිලට පැමිණෙන වාර්ෂික වේල් පෙරහැරද අමතක කල නොහැකිය. ඒ කාලයට කොළ පිටින් උක්ගස්, කඳු ගසා විකුණන මිනිසුන්ද මිහිරි අතීත මතකයන් අවුස්සා දමයි. මේ ප්‍රදේශයේ ප්‍රසිද්ධම සහ කලබලකාරීම ස්ථානය වූයේ බම්බලපිටිය ෆ්ලැට්ස් ආසන්නයේය. ඒ අසලම ලේඛා ස්ටුඩියෝ නමින් ප්‍රසිද්ධ ඡායාරූප ශාලාවක්ද පිහිටා තිබුනි.සියලුම කාන්තා පාසල්වල සිසුවියන් සහ අවට කොල්ලන්ගෙන්ද දහවල් 1.30-2.00 වනවිට අවට පිරී ඉතිරීයයි. හැම තැනම රස්තියාදුවී, ෆ්ලැට් එක ඉදිරිපිට බස් නැවතුමේත් කාලය කාදැමීම එදිනෙදා අංගයක් විය.
ඒ අසලම ගාලු පාරට මුහුණලා පරණ බෝතල් පත්තර එකතුකරනා කඩයක්දවිය. එය අමතක නොවන්නේ ඔතනින් ගුටිනොකා බේරුණ එක් සිද්ධියක් සිතේ ඇති බැවිනි. පරණ බෝතල් දැල් ගෝනිවල අසුරා ගොඩගසා තිබෙන්නේ ලොරිවල පටවා කොළඹ යැවීමට කියා අපි දන්නෙමු. දිනක් ඔය කඩය අසල පිස්සුවක් නටන්නට ගොස් ඔය ගෝනි කන්දක් බිමට කඩා වැටුණේ මහා ශබ්දයක්ද නගමිනි. වැඩේ වැරදුණු බව දැනගත් අපි හිස හැරුණු අතේ දිව යන්නට වුණෙමු. වාසනාවකට අප කිසිවෙක් අසුවුණේ නැත. මම දිවගොස් නැවතුණේ මුහුදු වෙරළේ බව තවමත් මතකයේ තිබේ. කෝච්චියට යටනොවී බේරුනේ පූරුවේ පිනකට යැයි සිතමි.
බම්බලපිටිය ගැන කියනා විට සිරිසඳ හෝටලය ගැනත් නොලියා බැරිය. නමුත් ඒ අත්දැකීම් මා විඳින්නේ තරුණයෙක් ලෙස නැවත බම්බලපිටියට පදිංචියටම පැමිණි පසුවය. ඒ කාලය නම් මගේ ජීවිතයේ අමිහිරිම අත්දැකීම් ලැබු කාල පරිච්ඡේදයක් වේ. ඒ ගැන පසුව ලියමි. SEE YOU AGAIN බම්බලපිටිය කියා මාතෘකාවක් යෙදුවේ ඒ නිසා බව ඔබට වැටහෙනු ඇතැයි සිතමි. නොලියවුණු තැන් සහ අමතකවූ සිද්ධීන්ද බොහෝය. මතකදේ පවා නොලියා සිටින්නේ මාගලක් වෙනු දැකීමට අකැමති නිසා යැයි සඳහන් කරමි. ඩික්මන් පාර, කින්රෝස් ක්ලබ් එක, වජිර පාර, ඒ අවට පිහිටා තිබු ඩෝබි මඩුව, ඒ යුගයේ ලොන්ඩරි, වජිරාරාමය වැනි අවට පරිසරය ගැන ලියන්නට ගියොත් ගොඩ ඒමක් නැත. චීන හෝටල් ගැනද ලියන්නට අමතක විය. ටොලරම්ස්, ලක්ෂ්මිස්, බුලියන් එක්ස්චේන්ජ්, බෙයාර්ෆූට්, නවාවි, උණු උණු ගෝදම්බ රොටි කරත්තය, සයිකල් කඩය ගැන ලිව්වේම නැත.
කෙසේ හෝ වේවා, බුලර්ස් පාර අසලින් පටන්ගෙන වැල්ලවත්ත හැමිල්ටන් ඇල අසලින් අවසන්වෙන බම්බලපිටිය කොළඹ 4 ගැන මෙසේ ලියා තැබුවෙමි. මේ ඇල අයිනෙන් තිබූ වැලි පාරේ දිගටම ගියවිට වැල්ලවත්ත රෙදිමෝල අයිනෙන් හයිලෙවල් පාරට පිවිසිය හැක. මගේ ජීවිතය යනු පුස්තකයක් නම් එහි පිටු බොහෝමයක්ම මේ බම්බලපිටිය නම්වූ සුන්දර පුරවරයට අයිතිවේ.
ප.ලි.
යොදාගත් වැඩ කටයුතු නිසා ඔබගේ බ්ලොග් කියවීමත්, පිලිතුරු ලබාදීමත් දින දෙක තුනකට මදක් අතපසු විය හැක.