සැන් ජෝස් පතලේ මැනුවෙල් මල්ලීට,
මම සුමනසිරි.මල්ලියේ උඹලා කට්ටිය බේරා ගත්ත බව දැනගත්තාම,මම සුමන සමන් දෙවියන්ට දණගහලා, පහනක් පත්තු කරලා ඉස්තුති කලේ ඔය දුක හොඳට දන්නා නිසයි.
පතල් වැඩේ අමාරුව දන්නේ පතලේ ඉන්න එකානේ බං.උඹලාට තරම් මහ ලොකු තේරුම් නැති උනත්,මම වැඩ කෙරුවේත් පතලක අඩීයෙම තමයි.මැනුවෙල් උඹලා එක අතකට හරි වාසනාවන්තයි.ඒ වගේම හරි ධෛර්යමත්.මම මිනිරන් පතල් අස්සේ ඉන්න කාලෙක පස් කඩන් වැටිලා, ගුනපාලයි,අබරන් මාමායි මලා.මම ඒවා ඇස් දෙකට දැක්කා.තුනුරුවන් සරනෙන් පලංචියක එල්ලිලා,නොන්ඩි ගගහ එලියට ආවා.එදා ඉදන් මම නොන්ඩි සුමනේ උනා.අපරාදේ කියන්න බැහැ ගුනවතී එදා ඉදන්ම තාමත් මාව බලාකියා ගන්නවා.ආනන්ද පුතාට කොච්චර කීවත් ඌ ගත්ත තීරනය හරි.බැහැමයි කිව්වා පතල් යන්න.
මොනවා උනත් මැනුවෙල් මල්ලියේ,දැන් ගුනවතීත් හරි අඩපනයි.ආනන්ද පුතා නම්,සිල්වා උන්නැහෙගේ අත් උදව්වට යනවා.
ඉතින් මැනුවෙල්,හොලිවුඩ් යන ගමන්වත් මේ පැත්තෙන් යන්න පුලුවන් උනොත් ගොඩවැදිලා යන්න වරෙන්.අපේ ගුනවතී ,සාරන උයන කොට තාමත් කොස් ඇට ටිකක් දානවා.උඹලටත් බත් ටිකක් කාලා යතැහැකි.උඹලා තිස්තුන් දෙනාට ,තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේම පිහිටයි.
මීට
කවදත් හිතැති
බෝගල පතලේ
සුමනසිරි.
Aru