වැලිගම පළාතේ ඔවුන් සතුව තරු තුනේ හෝටලයක් ඇති බවත්, අවන්හල් සේවකයින් සඳහා පුරප්පාඩු ඇති බවත්, මා ලබන වැටුපට වඩා ගෙවීමක් කර බඳවා ගැනීමට හැකි බවත් පැවසීය. දින දෙකකින් ඔවුන් වැලිගම බලා පිටත්ව යන බැවින්, හැකිනම් ඔවුන් හා සමග එක්වෙන ලෙසත් ආරාධාන කළෝය. කිසිවක් වැඩිපුර සිතන්නට කාලයක් නොවීය. මුහුකුරා ගිය අවබෝධයක් නොමැති කමත්, වැටුප ගැන ඇතිවූ ආශාවත් නිසා, මම එහි යන්නට තීරණය කළෙමි. අද මෙන් ජංගම දුරකථන පහසුකම් නොවූ බැවින්, ඒ මොහොතේම තීරණයක් අපේක්ෂා කල මොවුන්ට මම කැමති යැයි ප්‍රකාශ කෙරුවෙමි. නියමිත දින එම ආයතනයේ ප්‍රධානියෙක් සහ රියැදුරු සමග පොරෝලිස් මාමාගේ නිවස ඉදිරියට පැමිණි වාහනයේ ගොඩවී, මම වැලිගම බලා පිටත්ව ගියෙමි. සියල්ලන්ටම සමුදුන් මම ජීවිතයේ තවත් කඩ ඉමක් කරා ගමන් කළේ චකිතයෙන් යුතුවය. ඔවුන් කීවේ, දින තුනක කාලයක් ඔවුන් කංඩායමක් අප අවන්හලත් තවත් ස්ථාන කිහිපයක් නිරීක්ෂණයෙන් පසු තිදෙනෙක් තෝරාගත් බවත්, ඒ අතරින් මමත් එකෙක් බවය. මට වටිනාකමක් ලැබී ඇත. නිහතමානී ආඩම්බරයක් මෙන්ම කුතුහලයක්ද විය. අනිත් දෙදෙනා ගොඩවූයේ බේරුවලින් සහ බෙන්තොටින්ය.
මගේ දෙවැනි රැකියා ස්ථානය වූයේ Weligama Bay Beach Hotelයයි. ඒය පාලනය කළේ නම් Mercantile Hotel Management ආයතනයයි. නමුත් එහි අයිතිය Letherette Ceylon සමාගමටයි. එහි හිමිකරුවූයේ ලාල් විජේසේන නම් ,රොස්මිඩ් පෙදෙසේ සිටි මහත්මයෙකුට බවත් දැනගතිමි. ඔහුද එදා මා හා කතා කල අය අතර විය.මෙම හෝටලය පිහිටියේ වැලිගම නගරයට ආසන්නයේය. එය තරු තුනේ හෝටලයක් විය. ගාල්ල සිට පැමිණෙන විට කුෂ්ඨරාජගල විහාරය පසුකර යනවිට ,වැලිගම නගරයට නුදුරින් කප්පරතොට කුඩා පාලම අසලින් දකුණට හැරුණු විට ඒ මුහුදු තීරයේ මේ හෝටලය හමුවේ.
පළමු රාත්‍රිය හෝටල් කාමරයක ගතකළ පසු දෙවැනි දිනයේ සිට කප්පරතොට අසල නිවසක ලැගුම් ගන්නට සුදානම් කර තිබිණි. මෙහි නැවතී සිටියේ පිටින් පැමිණි හෝටලයේ සේවකයින් කිහිප දෙනෙක්ය. ජීවිතයෙන් අඩකටත් වඩා නිවසින් පිට ජීවත්වූ මට මෙය අමුත්තක් නොවීය. නිවස හිමිවූයේ කරුණාවන්ත වැඩිමහල් කාන්තාවකටය. රාජකාරී වේලාවෙන් පිට කෑම බීම නිවසින් සැපයූ අතර, මාසික කුලිය කීයදැයි මතකයේ නොමැත. එකල දකුණු පළාතට පැමීනෙන සංචාරකයින් සඳහා විශාල හෝටල් ලෙස තිබුණේ Benthota Beach Hotel, Lihiniya Surf, Koggala Beach Hotel, Horizon වැනි තරු තුනේ, හතරේ Hotels සහ Motels, Inns & Guest Houses පමණි. ඊට අමතරව Weligama Bay Beach Hotel පවත්වා ගෙන ගිය අතර මෙහි කාමර 160ක් පමණ තිබූ බව මතකය. පසු කලෙක අහුන්ගල්ලට Triton නම් විශාල හෝටල් සංකීර්ණය පිවිසියේය.
හික්කඩුව, බෙන්තොට ගැවසීමට පැමිණෙන සංචාරකයින්ට වැලිගමට පැමිණීමට කිසිම හේතුවක් නොවිය. එම හෝටලයට පැමිණියේ යාල අභය භූමිය නැරඹීමට පැමිණෙන ධනවත් සංචාරකයින්, දිනකට හෝ දෙකකට නවාතැන් ගැනීම (transit) සඳහා පමණය. යාල, තිස්ස, මාතර වැනි ප්‍රදේශයන්හී පහසුකම් සහිත හෝටල් නොතිබූ බැවින්, වැලිගම හෝටලයට සංචාරයකින් කංඩායම් වශයෙම් ලබාදීම, සංචාරක සමාගම් මගින් සිදුවිය. එම නිසාම මෙම හෝටලය එතරම් කාර්ය බහුල ස්ථානයක් නොවීය. නාගරික ජීවන රටාවටත්, කාර්ය බහුලත්වයටත් හුරුවී තිබූ මට, මෙම ස්ථානය එතරම් ගෝචර නොවීය. අනිත් කාරණය වූයේ සේවකයන් අතරවූ කල්ලිවාදයයි. කොළඹ, නුවර, සහ දකුණ වශයෙන් ඔවුන් වෙන් වෙන්ව එකතුවීමට පුරුදුව සිටියෝය. අනිත් හේතුව හෝටලය සහ ගැමියන් අතර මන සබඳතාවයක් නොවීමයි. ඒයට හේතුවූයේ හෝටලය විසින් වෙරළ තීරුවේ යම් කොටසක්, හෝටලය සතු කර ගෙන, ගැමියන්ට එහි වෙළඳාම තහනම් කිරීමත්ය. ගැමියන් පිටින් ආ අපට සැලකුවේත්, අපත් හෝටලයේ අයිතුකරුවන් යන පටු චින්තනයෙන්ය. එම නිසා සුළු සුළු ගැටුම්ද නොතිබුණා නොවේ. අදටත් සමාජීය කල්ලිවාදය පිළිකෙව් කරනා මා වැන්නන්ට, මෙය එතරම් සුදුසු පරිසරයක් නොවූ බව කිව යුතු නොවේ. මගේ විෂය ක්ෂේත්රය තුළ අධ්‍යයනයන් කිරීමටද මා තදබල ඇල්මක් දැක්වීය. එය ස්වයං අධ්‍යාපන රටාවක් විය. සේවා කාලය තුළ ඇති කාර්ය බහුලත්වයටත් මම අදටත් කැමැත්තෙමි. සේවා මුරය ඇඟට පතට නොදැනී අවසාන කර ගැනීමට මෙය ඉවහල්වේ. මේ පුරුදු නිසාම පසුකාලීනව බොහෝ රෙකමදාරුවන්, උසස්වීම් සහ අප ක්ෂේත්රයේ කෙනෙකුට නොලැබෙනා අවස්ථා උදාවිය. ගන්නා පඩියට මගේ ශ්‍රමය හැකි පමණින් යෙදවීම මම අගය කෙරුවෙක්මි. අනිකා කරන්නේ කුමක්දැයි මට අදාළ නැත. කල්ලිවාදය බැහැර කිරීමට මා දැක්වූ උනන්දුව නිසා සේවා ස්ථානයේත්, සමාජයේ ඕනෑම තලයක මිනිසුන් හා ඇසුරු කිරීමටත් , ඔවුන් හා සුහද ගනුදෙනුවක් පවත්වා ගෙන යාමටත් මට අවස්ථාව උදාවිය. මම කංඩායම් ක්‍රීඩකයෙක් විය. මේ නිසාම මම ප්‍රාණවත් සමාජ සත්වයෙක් වීමටත්, ඇති පදම් අත්දැකීම් ලබන්නටත් අවස්තවාක් උදාකරගත්තෙමි. එය මැනවින් ප්‍රගුණ කළයුතු අංගයක් බව ලියා තබන්නෙමි.
මම වඩාත් ප්‍රිය කළේ හැන්දාවරුවට සේවය කර මධ්‍යම රාත්‍රියේ සමාජ ජීවිතයටත්, උදය වරුවේ නිදාගැනීමටත්ය. ගල්කිස්සේ මෙන් නොව වැලිගමදි රාත්‍රී 11-12න් පසු සේවය අහවර කර අරක්කු බෝතලයක් හොයාගන්නටවත් තැනක් නැත. බොහෝ සගයන් ගංජා සුරුට්ටුවකින් රාත්‍රිය ගත කරන්නට පුරුදුවී සිටියහ. මමද ඔවුන් හා එක්වුණෙමි. ඒ තරුණ කාලයේ තිබු එක් එක් නරක පුරුදු යැයි මම සිතමි. නිවාඩු දිනයන්හී නම් අපි ඇති තරම් විනෝද වූයෙමු. වැලිගම සිටි කෙටි කාලය තුළදී පවා මම කුෂ්ඨරාජගල නැරඹීමටවත්, විහාරයටවත් ගොඩවී නැත. ඒ වෙනුවට අප කාලය ගත කළේ ගාල්ල කොටුව, මාතර කොටුව හෝ වැලිගම මුහුදු තීරයේය. ඒ ගැන පසුතැවීමක් නැත. ඒ වයසේදී ජීවිතය ගෙවුණේ එලෙසය.
වැලිගමදී මට අමතක කල නොහැකිම දර්ශනය වන්නේ නම් මුහුදු තීරය අසලම තිබු දූපතත්, මහපාරට ආසන්නව තිබු Weligama Bay Inn එකත්, ඒ මැදිව තිබූ තිබූ මුහුදු තීරයත්ය. ධීවර යාත්‍රා කිහිපයක්ද නවතා තිබූ මේ තීරයේ අප එළිවෙන ජාමය වෙන තුරු කමින් බොමින් , ගී ගයමින් කාලය ගත කෙරුවෝය. ගාල්ල කොටුවත්, මාතර කොටුවත් අවට හෝටල් සේවකයන්ගේ සොඳුරු පාරාදීසය විය. වැලිගම මුහුදේ තිබු ඒ දූපත Count de Maunay Island නම් විය. එය දැන් තැප්‍රොබේන් අයිලන්ඩ් නම්වේ. මහපාරේ එක් පසක සොඳුරු බිම්කඩකවූ Weligama Bay Inn එක ලංකා හෝටල් සංස්ථාව සතුවිය. මෙම ඉතා මනරම් ස්ථානය පසුව පෞද්ගලික සමාගමකට පවරාදුන් බව මතක්වේ. ගාමිණි රංජන් ජයවර්ධන නමින් දිවයින පුවත්පතට 'තානායම් පල්ලාගේ සටහන්' නමින් රසවත් ලිපි ලියු ලේඛකයාද බේ ඉන් ආයතනයේ සේවය කල බව අසා ඇත. ඒ කොයි යුගයේද කියා මතක නැත. ඔහු බේ ඉන් එක ගැන ලියූ ලිපි මමද කියවා ඇත්තෙමි. ගාල්ලට ගොස් කා බී ප්‍රීතිවී එන අපට සල්ගාදු හෝටලයේ ආප්ප සංග්රහයද අමතක කල නොහැකිය.
තැප්‍රොබේන් දූපත තුළට යෑමට තදබල ආශාවක් තිබූ මුත්, එය සපුරා ගැනීමට නොහැකි වූයේ, එහි පෞද්ගලික හිමිකාරිත්වය සුද්දෙක් සතුව තිබූ නිසාය. ඔහුගේ රූපය මතක මුත් නම මතකයේ නැත. බාදිය වේලාවට පයින් ඇවිද යා හැකි වුවත්, වඩදිය විටදී යාමට නම් බෝට්ටුවක් අවශ්‍යමවේ. මෙහි මැනවින් ඉදිකර තිබු විශාල බංගලාවක් ඉතා කදිමට නඩත්තු කළේය. විශාල ගස් කොළන් වලින් වටවූ මෙම නිවස පාරට පෙනුණේ නැත. මෙහි නොයෙකුත් ක්‍රියාකාරකම් සිදුවූ බව නම් දනිමි. මෙහි අතීත කතාව ලියා මගේ ලිපිය දීර්ඝ කරනවාට වඩා මෙම
විකිපීඩියා සටහන කියවා මූලික අදහසක් ලබාගත හැක .
වැලිගමදී තරම් මාළු කෑමට ලැබුණු ගමක් තව ඇත්තේද මතක නැත. හැම වේලකටම මාළුය. ඉඳහිට මසුත් ලැබේ. බෝඩිමේ ඇන්ටී වැලිගමට හුරු නොයෙකුත් මාදිලියේ මාළු වට්ටෝරු පිසීමට රුසියෙකි. වෙන පළාත්වල උදවිය මෙයට මෙතරම් දක්ෂ නොවේ යැයි මම සිතමි. ඉන් මා වඩාත් සිත්ගත්තේ බලමාළු පොල් මැල්ලුමය. සුදුලුුනු, ඉඟුරු යහමින් යොදා පොල් සමගින්, කොස් මලවනවා සේ ඇය මෙය සාදයි, ඉතා ප්‍රණීත ආහාරයකි. වැලිගම මුහුදු තීරයේ බූවල්ලන්ද (Octopus) බහුලය. සංචාරකයින් වෙරළට පැමිණෙනා ධීවරයන්ගෙන් මිලදී ගෙන, හෝටලයට රැගෙන විත් සාදවා ගනී. බූවල්ලන් ශුද්ධ පවිත්‍ර කිරීම එතරම් පහසු නැත. මම බූවල්ලන් ප්‍රථම වතාවට රස බැලුවේ වැලිගමදීය.
මට වැලිගමදී හමුවු අපූරු හෝටල් සේවක සගයන් දෙදෙනෙකු විය. එකෙක් මහනුවරය. ඔහුගේ පියාගේ නිල නිවාසය තිබුණේ නුවර Wace Park එකේ ඇතුළේ බව මට මතකයේ තිබේ. ඔවුන් වැදගත් මිනිසුන් විය. මගේ මිතුරා පසු කාලයකදී අප රටට පැමිණි මාරාන්තික මත් රකුසා නිසා අන්ත දුගියෙක්, පාදඩයෙක් ලෙස ජීවිතය ගතකෙරූ බව මම දුටුවෙමි. වැලිගමදී අප පිනවූ ගිටාර් වාදකයා, මියුරු ගායකයා ඔහු විය. අනිකා ගාල්ල නගරයේ ප්‍රසිද්ධ තොග සහ සීල්ලර ව්‍යාපාරිකයෙක්ගේ පුත්‍ර රත්නය විය. එකල හෝටල් ක්ෂේත්රයට, මෙවැනි සල්ලිකාරයින්ගේ දරුවන්ද, හුදෙක් විනෝදයම පතා සේවයට පැමිණි බව මම කලින් ලියා ඇත්තෙමි. ඔහුද මා කියනා මේ මත් රකුසාට බිලිවී, පසුකාලයකදී රාජකීය විදුහලේ කැන්ටිමේ සුළු සේවකයකු ලෙස කාලය ගත කෙරූ බව මම දනිමි. මේ විෂය ගැන සමාජ, අධ්‍යාපනික වටිනාකමින් යුතු ලිපියක් පසුව ලිවීමට මගේ කතාව තුළ ඉඩ ඇති බව මම දන්නෙමි.