Sunday, June 15, 2014

අවුල් වන්නට පෙර..(42)..පළමු රැකියාව..La Langousterie

මම පාසැලෙන් ඉවත්වූයේ උසස් පෙළ විභාගය පෙනි පෙනී යැයි කීවොත් නිවැරදිය. රැකියාවක් සොයා ගැනීමට තිබු උනන්දුවත්, පාසැල් යෑම හුදෙක් පාසැල යාමක් මිස ඉගෙනුම සඳහා යන ගමනක් නොවීමත් නිසා එම තීරණයට එළඹෙන්නට ඇත. මට පාසැල් ගමන එපාවන්නට එක් හේතුවක් වන්නට ඇත්තේත් ස්ථිරවම එක් තැනක නැවතී සිටින්නට නොහැකිවීමත් නිසා විය හැක. හයවෙනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා කාලය තුළ නවාතැන් පොළවල් දහයකට මාරුවීම එසේ මෙසේ පීඩනයක්ද නොවේ. ඔබ අළුත් අළුත් පරිසරයන්ට ,වාතාවරණයන්ට හුරුවිය යුතුය. ඒ සියල්ලක්ම ඔබගේ ජීවිතයට නැවුම් අත්දැකීම් එකතුකළත්, ඒ වයසට දෙමව්පියන්ගෙන් ඈත්වී එම තත්වයන්ට මුහුණ දීමට පහසු නැත. කෙසේ වෙතත් මේවා නිදහසට කරුණු නොවේ. මීට වඩා කටුක අත්දැකීම් තුළින් සාර්ථකව පාසැල් අධ්‍යාපනය නිම කෙරුවෝද බොහෝය. නමුත් මා රැකියාවක් කිරීමට යෑම නිසා අප පවුලේ බාල සාමාජිකයින්ට නම් යම් තාක් දුරට හෝ සාර්ථක අධ්‍යාපනයක් ලබන්නට විශාල උපකාරයක් විය. මම මිතුරන්ටද නොදන්වා, පාසලටද නොදන්වා රැකියාව තෝර ගත්තෙමි.
“බාහිරින් අප ලබාගන්නා දැනුම් සම්භාරය වැඩිවන්නට, වැඩිවන්නට ඒ හා සමානව සිතට මදි බවද දැනෙන්නට පටන් ගනී. පිරුණු සිතක් ලැබෙන්නේ නැත. මේ සියල්ල සිතින් බැහැර කර සිත හිස් කරද්දි සිත පිරුණු බව දැනේ. පිරුණු සිතක කිසිවක් නැත.” (අසම්මත විචාරය..ජයතිස්ස කුමාරගේ)
මේ වනවිට අප පවුලේ වාසස්ථානයද සාමාජිකයින්ගේ වැඩකටයුතුද යම් යම් වෙනස්වීම් වලට භාජනය වෙමින් පැවතුණි. සියල්ලෝම හංවැල්ලට සමු දී නැවත අපේ උපන් ගමවූ දෙල්කඳ ඉරිදාපොළ ඉදිරිපසම තිබු ලොකුඅම්මාගේ නිවසේ පදිංචියට පැමිණ තිබුණි. බොහෝ පැරණි නිවසක්වූ මෙහි එක් පසකින්වූ කාමරයේ, ලොකු අම්මාත්, දියණියත් නැවතුණු අතර, ඇල්පින් බාප්පා පැමිණියේ සතියකට හෝ දෙකකට වරකි. අම්මාත්, තාත්තාත්, ආච්චීත්, අන් අයත් අනිත් කුඩා කොටසේ පදිංචිවූහ. මෙසේ දෙල්කඳට නැවත පැමිණීමට තීරණය කර තිබුණේ අම්මා සහ ආච්චීගේ මූලිකත්වයෙනි. තව දුරටත් හංවැල්ලේ සිට දරුවන්ගේ අධ්‍යාපනය අයාලේ යෑමට ඉඩ නොදීමට ඔවුන් සිතුවා විය හැක. එයට හේතුවන්නට ඇත්තේ ලොකු මල්ලි ඉගෙනීම අතහැර දැමීමත්, ලොකු නංගීද අධ්‍යාපනයට වඩා ගෙදර වැඩවලට දැක්වූ උනන්දුව නිසාත් විය හැකිය. මමත් හිතුමතේටම පාසැලින් ඉවත්වී රැකියාවකට උනන්දුවක් දක්වනවා යැයි අම්මා කිසිවිටෙකත් නොසිතන්නට ඇත. සියල්ල සිදුවන්නේ හොඳට යැයි මම අදත් තරයේ විශ්වාස කරන්නෙමි. එන දෙයකට මුහුණ දෙනවා හැර අප කිසිවෙකුටවත් ඉන් පලා යා නොහැක.
තාත්තා අවිස්සාවේල්ලේ සිට රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයට මාරුවීමක් සාදාගෙන තිබුණි. රක්ෂණ සංස්ථාවේ කොටුවේ පිහිටි ප්‍රධාන කාර්යාලය, කොම්පඤ්ඤවීදිය වීදියේ අලුතෙන් ඉදිකෙරූ ‘රක්ෂණ මන්දිරයට’ රැගෙන ආවේ ඔය යුගයේය. එකල හැටියට එය විශාල ගොඩනැගිල්ලක් විය. ලලිත් ඇතුලත්මුදලි මහතා වෙළඳ ඇමති ලෙස සේවය කල යුගයේ සිදුවූ මෙහෙවරක් යැයි සිතමි. රක්ෂණ සංස්ථාව ඒ යුගයේ විශාල පිබිදීමක් ඇතිවූ යුගයක් යැයි තාත්තා කියනවා අසා තිබේ. නමුත් ඉන්පසු තවත් රක්ෂණ සමාගම් බිහිවෙන්නටද පටන් ගනී. රක්ෂණයේ පුරෝගාමියා සහ සක්‍රීය දායකයා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නම්වූ ඒ යෝධ ආයතනය විය. අද එම ආයතනය කොතරම් දුරට මා කියූ සක්‍රීය දායකත්වය සපයනවා දැයි කියා මම නොදනිමි.
පවුලේ හතරවැනියාවූ මල්ලි පන්නිපිටියේ ධර්මපාල විදුහලටත්, ඊළඟ නංගි සහ මල්ලි ගංගොඩවිල ඩී.එස්.ජයසිංහ විදුහලටත් ඇතුළත් කෙරිණි. මේ විදුහල ගංගොඩවිල වනාත පාරේ පිහිටා තිබු ගමේ කුඩා කනිටු පාසලය. පසු කාලයක නංගී ශිෂ්‍යත්වය සමත්වී නුගේගොඩ අනුලා විදුහලටත්, එම පාසලේම ශිල්ප හැදෑරූ පුංචිම මල්ලී, මගේ පළමු පාසලවූ ශාන්ත ජෝන් විදුහලටත් ඇතුළත් විය. සුළු මානසික ආබාධයකින් පෙළුණු මද්දුම නැගණිය නැවත පාසැල් ගියේම නැත. නිවසට එහා වැටේ විසූ ජෝරිස් එදිරිසිංහ පවුලේ උදවිය හා ඇය බොහෝ හිතවත්ව ළමා කාලය ගත කළාය. ගෙදර දොරේ වැඩ කටයුතු ගැනත් ඇයට සාමාන්‍ය දැනුමක් ඇය සතුය. මා නැවතී සිටි පොරෝලිස් මාමාගේ ගෙදර දියණියන්ගේ ඇවටීල නිසා ,එවකටත් පාසැල් ගමන අතහැර තිබූ ලොකු නංගීද ගල්කිස්සේ නැවතීමට පැමිණියාය. එහි පැමිණීම නිසාම, ඒ අක්කලාගේ මග පෙන්වීම මත කේක්,ස්වීට්ස්, ඕනෑම කෑමක්, මැහුම් ගෙතුම්, මැක්‍රමේ, මල් සෑදීම වැනි බොහෝ දේ ගැන ලොකු හුරුවක් ලැබීය. ලොකු නංගි ඉතා කඩිසර යුවතියක් වන්නට ඇත්තේ ගල්කිස්සේ අක්කලාට පින්සිදු වන්නටය. ලොකු මල්ලි දෙල්කඳ අවටම තාත්තාගේ මිතුරෙකු ළඟ වෙල්ඩින් වැඩ කටයුතු පිළිබඳ අත් උදව් කරුවෙකු ලෙස සුළු වැටුපකුත්, ආධුනිකයෙකු ලෙස දැනුමකුත් ලබා ගත්තේය. ආච්චී පෙර ලෙසම අපත් සමගය. ලොකුඅම්මාටද දියණියටද දැන් පාළුවක් නැත. ඇය ඉගෙනුම ලැබුවේ නුගේගොඩ සමුද්‍රාදේවී විදුහලේය. තාත්තා වැඩය. නමුත් මාසේ ආන්තිමට ගෙදරට ගෙන එන මුදලක් නම් නැති බව අසා ඇත්තෙමි. තාත්තා සමග මගේ ඇති ඇයි හොඳැයිය සෙමින් සෙමින් දුරස්වෙන බව මට දැනේ. අම්මා සුපුරුදු පරිදිම දුෂ්කර ජීවන අරගලයේය. මම රැකියාවක් වෙනුවෙන් පළමුවෙනි අඩිතාලම දමා ඇත්තෙමි. අම්මාගේ පැත්තෙන් සිතා බැලූවිට එය මට මහත් අස්වැසිල්ලකි. නමුත් මගේ පාසැල් ගමන නැවතීම සම්බන්ධව ඇය කුමන ප්‍රතිචාරයක් දැක්වූවාදැයි මට නිශ්චිත මතකයක් නැත. ඒ ඇයගේ ප්‍රතිචාරයන් ගැන මම ඒ අවසථාවේ වැඩි උනන්දුවක් දක්වන්නට නැති නිසා විය යුතු යැයි සිතමි.
මගේ පළමු රැකියාව ආධුනික ආපනශාලා සේවක නම්විය. ඒ ගල්කිස්ස මුහුදු වෙරළටත් , රේල්පාරටත් මැදිව තිබු La Langousterie නම් ආපනශාලාවේය. මුහුදු වෙරළේම එවන් විශාල බිම් කඩක් අයිතිව තිබීම මල් මසුරන් විය යුතුය. මෙය ආපන ශාලාවක් වුවත් කාමර සහ අනිකුත් පහසුකම් තිබුණේ රේල්පාරේ ගොඩබිම දෙසට විශාල භූමි ප්‍රදේශයේය.Hotel එක සහ Restaurant එක වෙන වෙනම පවත්වාගෙන යෑමට එහි අයිතිකරුවන් උනන්දුවක් දැක්විය. හෝටලය නම් ඒ දිනවල ප්‍රසිද්ධව තිබුණේ SALTAIRE BEACH RESORT නැත්නම් MT.LAVINIA CABANAS නමිනි. මෙහි කබානා මාදිලියේ නැවතීමේ පහසුකම් ඒ භූමියේ තැනින් තැන පිහිටුවා තිබිණි. සාමාන්‍ය කාමරයකට වඩා කබානාවක ගාස්තු අධිකය. ඒවා කාමරවලට වඩා නිදහස් පරිසරයක තනා තිබේ. අවශ්‍ය සියලු පහසුකම්වලින්ද අඩු පාඩුවක් නැත. විදේශීය සංචාරකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ බවට මෙම ස්ථානය නාමගත කර තිබිණි. මෙම ව්‍යාපාරයේ අයිතිකරුවන් වූයේ එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් එම විෂය සම්බන්ධවත් උගතෙක් බුද්ධිමතෙක් වූ ශිරාන් දැරණියගල පවුලටය. මොවුන් ප්‍රභූ වලව්කාර පවුලක් යැයි පැරැන්නෝ කියති. මොහු විවාහවී සිටි මීරියම් නම්වූ බෙල්ජියම් ජාතික කාන්තාව මෙම හෝටලය සහ ආපන ශාලාව ඉතාමත් ක්‍රමවත් ලෙස පවත්වාගෙන ගියාය. ඇය ඉතාම විනීත සහ නීතිගරුක කාන්තාවක් විය. මගේ ප්‍රථම රැකියාව මෙතැනින් ආරම්භ කිරීම මට බොහෝ අත්දැකීම ගෙන දෙන්නක් විය. මෙම හෝටලයේ කබානා මාදිලියේ කාමර පහසුකම් දැන් නැතිව ඇතැයි මම සිතන්නෙමි. ඒ අය විසින්ම HOTEL RIVIRAS නමින් පවත්වාගෙන යන්නේ මේ හෝටලයයි.
මට රැකියාව කරන්නට ලැබුණු LA LANGOUSTERI නම් අවන්හල අදත් එලෙසම පවත්වාගෙන යන බව මම දනිමි. මුහුද දෙසට බිත්ති ආවරණය නොකර විවෘතව තනාතිබු මෙම ස්ථානය එකල විදෙස් රටවල් අතරත් ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ එකක් විය. ඉස්සන්, කකුළුවන්, දැල්ලන්, අළුත් මාළු, බෙල්ලන්, පොකිරිස්සන් අතරින් වැඩි ඉල්ලුමක් තිබුණේ ඉතාමත් මිල අධික ආහාර විශේෂයක්වූ පොකිරිස්සන්ටය. LANGOUST කියන්නේත් පොකිරිස්සන්ටය. අවන්හල නම්කර ඇත්තේ මේ නමින්මය. LANGOUST,CRAYFISH,SCAMPI එක් එක් පොකිරිස්සන් විශේෂයන්ය.LOBSTER කීවිට කවුරුත් දනී. වැල්ලවත්තේ ‘වාඩිය’ අවන්හල මුදල් ඇති නාගරිකයන්ගේ ප්‍රියතම ස්ථානයවූ අතර LA LANGOUSTERIE එක විදේශීය සංචාරකයන්ගේ ප්‍රියතම බොජුන් හලක් විය. කොළඹ කොටුවේ ‘පරණ පාස්පෝට් කන්තෝරුව’ අසලත් ANGLERS CLUB නමින් මෙවැනි අවන්හලක් තිබු බව මතකය. එය කොළඹට පැමිණෙනා විදේශීය නාවිකයින්ට හොඳ පුරුදු තැනක් බවත් මතකය.
1990 මුල් කාලය වනතෙක් ශ්‍රීලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉතා ඉහළ අඩියක පැවතීය. ලංකාවට පැමිණි සංචාරකයින් අතරින් ජර්මන් ජාතිකයින් මුල් තැන ගනී. ප්‍රංශ, බ්‍රිතාන්‍ය, ඉතාලි, ඇමරිකන් ජාතීන්ගෙන්ද අඩුවක් නොවීය. නැගෙනහිර යුරෝපීය ජාතීන් දක්නට සිටියේම නැත. චීනෙක් හිටියා නම් හිටියේ දත් සාප්පුවක,මරදානේ රෙදි කඩයක හෝ චීන අවන්හලක කුස්සියක පමණි. ඔවුන්ද පරම්පරාවෙන් පැවත ආ ලංකාචීනුන්ය. ජර්මන් ජාතික සංචාරකයින් මුදල් වියදම් කිරීමට අති ශූරයෝය. කෑමට, බීමට,විනෝදවීමට මොවුන් තරම් නොමසුරු ජාතියක් මම යුරෝපයේ දැක නැත. ඉතාලි ජාතික සංචාරකයින්ද යම් තාක් දුරකට එසේ හැසිරුණෝය. ජර්මන් ජාතිකයින් ලොකු ටිප්ස් දීමටද නොමසුරෝ වෙති. එකල සංචාරක ව්‍යාපාරයට ආශ්‍රිත රැකියා කිරීමට, ලංකාවේ ධනවත් පවුල්වල දරුවන් පවා මහත් උනන්දුවක් දැක්වීය. හෝටල් ක්ෂේත්‍රය තුළ එවැන්නෝ බොහෝ වූහ. ඒ කර්මාන්තය තුළ විනෝදය, ප්‍රේමය, ලිංගික අවශ්‍යතාවයන් සඳහා ඉඩකඩ සපයා ගැනීමට පාරාදීසයක්වූ නිසා බැව් කවුරුත් දනී. විදේශිකයින් හා මිත්‍රවී ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ හෝටල් සේවක සේවකාවියන් බොහෝ දෙනෙක් ඒ ඒ රටවලටම ගොස් විවාහවී එහිම පදිංචිවිය. සමහර විදේශිකයෝ ඒ අයුරින්ම දේපල මිලදී ගෙන මෙහිම පදිංචිවූහ. තාවකාලික ලිංගික ඇසුරු කිරීම් සඳහාද නොයෙකුත් ආකරයේ මාවත් සේවකයින් හට විවෘතව තිබුණි. මේ ගැන ලිවිය යුතුදේ බොහෝ ඇතත් අද ලිපියෙන් කීමට නොහැකිවේ.
මම රැකියාවක් කිරීමට පටන්ගෙන ඇත්තේ 1980 ජූනි මාසයේ 2වැනි දින යැයි මගේ සහතික පත් කියා සිටී. ඒ අදට වසර 34කට පෙර දිනකය. ඔබ පුදුමයට පත් නොවන්න, මගේ පළමු මාසික වේතනය රුපියල් අසූවකි. එයිනුත් අතට ලැබුණේ රුපියල් 72ක් සහ ශත ගණනකි. රුපියල් හතයි ගණනක් අර්ථ සාධක අරමුදලට බැර කරනා බව දැන ගත්තෙමි. හෝටල් කර්මාන්තයේ සේවකයින්ට ලැබෙනා වැටුප අන් කර්මාන්ත සේවකයින්ට වඩා සාපේක්ෂව ඉතා අඩුය. එයට හේතුව වන්නේ තම ගනුදෙනු කරුවන්ගෙන් අය කරගන්නා සේවාගාස්තුව මාසයකට වතාවක් සේවකයින් අතර බෙදා දීමයි. මෙය ක්‍රමවත් ගනුදෙනුවක් විය. තම ගනුදෙනු කරුවන් වියදම් කරනා සෑම රුපියල් සීයකට තව රුපියල් දහයක් සේවා ගාස්තු ලෙස අය කර ගනී. මාසයකට වරක් බෙදෙනා මේ මුදල එක් සේවකයෙක් වෙනුවෙන් අගනා මුදලක් විය. හෝටල් සේවකයින් පඩි දිනයට වඩා උනන්දුවෙන් සිටින්නේ සේවා ගාස්තු හෙවත් සර්විස් චාජ් ගෙවන දවසටය. ආපනාශාලා සේවකයින්ට නම් මේ දින දෙක ගැන එතරම් උනන්දුවක් නැත්තේ, ඔවුන්ට දිනපතා ලැබෙනා තුටු පඬුරුද අධික අගයක් ගත් නිසා බැවින් යැයි අපි දනිමු. හෝටල් සේවකයින් අතර යහමින් මුදල් හදල් ගැවසිණි. ඒනිසාම ඔවුන් අතරින් බොහෝමයක්ම අතිශය විනෝදකාමී පුද්ගලයින් කොටසක් විය. ඒ ජීවිතය ගැන ලිවිය යුතුදේ බොහෝ ඇත. ඒවා පසු කොටස්වල ලියා තබන්නට ඉටා ගත්තෙමි.
මේ සියල්ලටම වඩා වැදගත් වූයේ , අපේ අම්මාගේ දෛනික අරගලයේ තිබු බොහෝ දුෂ්කරතාවලින් ඇය ගලවා ගැනීමට, ලොකු පුතා නම්වූ මහා ගැලවුම් කරුවාගේ ආගමනයයි. මම එය මැනවින් ඉටු කිරීමට පටන් ගත්තෙමි.
ප.ලි….පසුගිය සති එකහමාරකට අධික කාලයක් මම නොයෙකුත් වැඩවලට මිඩංගු විය. බ්ලොග් කියවීම තබා මේල් කියවීමටවත් කාලයක් නොවීය. ඊට අමතරව පාදයේ ශල්‍ය කර්මයකට රෝහල් ගත විය. ඒ හරියටම පසුගිය වසර 34පුරා මා කෙරූ රැකියාවල ප්‍රතිඵලය බැව් දොස්තරවරුන් පවසති. දැන් ඉන්නේ ගෙදර ඇඳේ නිසා, ඇවිද ගන්නට බැරිවුනත් බ්ලොග් කියවීමට හැකිය.

No comments:

Post a Comment