දෙල්කඳ ඉරිදාපොළ මගේ ජීවිතයට ඉතා සමීප ස්ථානයක් වන්නේ මා එම ප්‍රදේශයේම ඉපදුණු කෙනෙක් නිසාම නොවේ. අප හැන්දෑවට ක්‍රිකට් ගසන්නේත්, රස්තියාදුවේ කේන්ද්‍රස්ථානය වන්නේත් ,ඉරිදා හැර අන් සියලු දිනයකම කල් ගෙවන්නේත් පොළ මැද්දේත් නිසාමය. මේ කාල වකවානුව තුළ ඉරිදාපොළ තරුණ සමාජය නම් සංවිධානයක් බිහිවන්නේ අපට වඩා වැඩිමහල් අවට තරුණයින්ගේ මූලිකත්වයෙනි. එය ඉලක්ක වූයේ වෙසක් හෝ පොසොන් මාසයට යම්කිසි ප්‍රදර්ශනාත්මක වැඩ කොටසක් ඉටුකිරීමටය. මෙහි මූලිකත්වය ගත්තේ ජෝරිස් පවුලේ වැඩිමල් සොයුරන්, අපේ ආනන්දසිරි අයියා, ඕලෝන් තිලකේ, කැටයම් හෙන් රි, මෝටර් රංජි. චන්ද්‍රපාල, සරත්චන්ද්‍ර, කොණ්ඩ සමන් වැනි තරුණයින්ය. මොවුන් වැඩිදුර පාසල් නොගිය වුන් වුවත් නොයෙකුත් විෂයන්හී ඉතාමත් දක්ෂ කාර්මිකයින් මෙන්ම, අති ශූර සංවිධායකයින් විය. අපි දෙවැනි පෙළ ක්‍රීඩකයෝ වූයෙමු. ගම් වැසියන්ගේ නොමසුරු ආධාරයත්, පොළ අසලම කුඩා තේ කඩයක් පවත්වාගෙන ගිය ඩයස් (බඩා) මුදලාලිගේ බනිස්, තේ පැන් සහ ඉඳහිට සිගරට් සංග්‍රහයත් මේ සංවිධානයේ කොඳු නාරටිය විය. මාතර පැත්තේ සිට පැමිණ එහි පදිංචිව සිටි මේ සොඳුරු මිනිසා ඉන් ටික කාලයකට පසුව මිය ගිය අතර අවිවාහක මෙන්ම තනිව කඩයේම ජීවත්වූ ඔහුගේ අවමංගල්‍ය කටයුතු සියලු චාරිත්‍ර සහිතව සිදුකිරීමට අපේ කට්ටිය වගබලා ගත්තෝය. මම සමාජයේ අත්පොත් තබන්නේ ඔවුන් ඇසුරේය. ඒ පාඩම් කිසි දිනෙක වැරදුණේ නැත. අද නාගරික දරුවාට නැත්තේද මෙවන් සොඳුරු වටපිටාවන්ය.
පොසොන් සමය අළලා මිහින්තලා පර්වතයේ විශාල අනුරුවක් නිර්මාණය විය. එවැන්නක් ඒ පැත්ත පළාතේ ඉන්පෙර සිදුවී තිබුණේ නැත. සියල්ලක්ම යන්ත්‍රාසාරයෙන් ක්‍රියාත්මක කිරීමද විශේෂත්වයක් විය. මිහිඳු හිමියන් කඳු මුදුනට වැඩීම, මුවා පසුපස හඹායන තිස්ස, එකල මැජික් මෙන් විය. වඩාත්ම වැදගත් කාරනයනම් මේ සියල්ලකගේම නිමැවුම් කරුවෝ අවට ඉලන්දාරින්ම වීමය.
අදටත් ඉතා ප්‍රසිද්ධ රත්මලාන වෙසක් පහන් කූඩුව ප්‍රදර්ශනය ඇරඹෙන්නේත් මේ කාලයේමය. අද මෙන් මේවා නැරඹීමට මුදල් අය කිරීමක් නොවීය. සියල්ලක්ම සිදුවූයේ ප්‍රදේශවාසීන්ගේ මුදල් ආධාර වලින් පමණය. රත්මලාන වෙසක් උළෙලට සැරසෙද්දී, ඉරිදාපොළ පොසොන් උළෙලට කූඩුවකින් සරසන්නට කතිකාවිය. මෙය අති සාර්ථක ලෙස වසර 4-5ක් එක දිගටම පවත්වාගෙන යෑමට ගංගොඩවිල තරුණයෝ සමත්වූහ. ජෝරිස් පවුලේ දක්ෂ වඩු කාර්මිකයින්ගේ දෑත්වලින් නිමවු මහ කූඩුවේ සැකිල්ල සහ අනිකුත් කූඩුත් කැටයම් වලින් සැරසුවේ හෙන් රි කුරේ නම්වූ දක්ෂ කැටයම් ශිල්පියාය. මෙවැනි දැවැන්ත නිර්මාණයක් කිරීමේදී බොහෝ කාලයක් සහ මහන්සියක් දරන්නට වෙන්නේ කැටයම් කපා අවසන් කිරීමටත්, ඒවා රන් සහ රිදී පැහැති කුඩු වර්ග වලින් නොයෙකුත් මාදිලියේ හැඩ ගැස්වීම්වලට ලක් කිරීමටත්ය. මහ කූඩුවේ බඳ සැරසීම සඳහා බුදුරුව හෝ සිදුහත් රුව සහිත කැටයම් කැපුවේ හෙන් රිගේ දෑතින්ය. පරිවාර කූඩු සීයකට වඩා තිබෙන නිසා මේවායේ කැටයම් චිත්‍රයට නගා කැපිය යුතු ආකාරය සටහන් කර දෙන හෙන් රි, ඉතිරිය කරගෙන යාමට පවරන්නේ දෙවැනි පෙළ සාමාජිකයින් වූ අපටය.
දෙවැනි පෙළවූ අපිට පැවැරී තිබු රාජකාරී අතරින් විශේෂිත වූයේ ආධාර එකතු කිරීමට යෑමය. මීට අමතරව වඩුවැඩ, යාන්ත්‍රික වැඩ නොහැකි නිසා ලිය කියවිලි වැඩත්, භාණ්ඩාගාරික ආනන්දසිරි අයියාට ගනුදෙනු ලියා තැබීම වැනි රාජකාරි වැඩවලට උදව් දීමටත් මට සිදුවිය. මුදල් ආධාර එකතු කිරීමට යෑම සිදුවන්නේ හැන්දාවරුවේ සිට රාත්‍රී කාලය දක්වා යාමයේය. ගෙදර ගෘහමූලිකයා වූ පිරිමින් ගෙදර ඉන්නේ හැන්දාවරුවේ නිසාත්, සමාජසේවා වැඩකටයුතු වලදී පිරිමින් දක්වන ආධාරය ගැහැනුන්ට වඩා බොහෝ වැඩි බවත් මම දැනගත්තේ ඔය ආධාර එකතු කිරීම් වලදීය. තවත් අපි කොලුවන් ඉගෙනගත් දෙයක් වන්නේ මේ සියල්ලෙන් පසු නිදහසේ උඩහමුල්ල කනත්තට ගොඩවී සිගරට් ඉරීමේ කලාවයි. එයින් නම් නැතිවූ දෙයක් මිස ඇතිවූ දෙයක් නැත.
රත්තනපිටිය, එගොඩවත්ත, පැඟිරිවත්ත, ගම්සභාහන්දිය, කට්ටිය හංදිය, ඇඹුල්දෙණිය, නාවින්න අපේ ආධාර එකතු කිරීමේ සීමාවන් විය.කංඩායම් දෙකක් දෙපැත්තට පිටත්වේ. ආරාධිත අමුත්තන් නොහොත් කූඩුව ප්‍රදර්ශනයට විවෘත කරන්න පැමිණෙන අයගේ නම් ලැයිස්තුවක් සපයා ඇති බැවින් එම ගෙවල් වලට නොයා යුතුය. ස්ටැන්ලි තිලකරත්න, ජිනදාස නියතපාල, කේ.පි.සිරිවර්ධන යන පළාතේ දේශපාලකයින්ගේත්, අවට ධනවත් මුදලාලිලගේ නිවෙස් දන්නා නිසා ඒවා එතරම් ගැටලු නොවේ. අනිත් අවවාදය වූයේ ආර්ථික දුෂ්කරතා ඇතැයි සිතන නිවෙස් වලට ගොස් කරදර නොකරන ලෙසත්ය. නිවෙස්වලට ගොස් ඔවුන්ට පැමිණි කාරණය පහදා දී ආධාරයක් ලබා ගැනීමට නම් ඔබ මුඛරි විය යුතුය. සාර්ථකව පැහැදිලි කර දිය යුතුය. ප්‍රියමනාප විය යුතුය. ආධාරය අඩු වැඩිවන්නේ ඔබේ දක්ෂතාවය මතය. ගැහැණු ළමයි සිටිනා නිවෙස්වලට ගොස් වැඩ දැමීමට ගොස් අනාගන්නා උදවියද සිටී. ඒ කෙසේ වෙතත් මොන කංඩායමේ සිටියත් කතා පැවත්වීමේ වැඩිබර වැටෙන්නේ මා වෙතය. බොහෝ කලාකරුවන් ජීවත්වූ අප පළාතේ මිල්ටන් මල්ලවාරච්චි සිටියේ ඇඹුල්දෙනියේ ජය මාවතේය. අපගේ එකෙක් මිල්ටන්ගේ තදබල රසිකයෙක්ය. ඔහු රත්නසිරි නම් විය. මම ඔහු ගැන පසුව ලියමි.මේ සුප්‍රසිද්ධ ගායකයා හා දොඩමුළුවීමට මුගේ ඇති කැමැත්තට අපි ඉඩ ලබා දුන්නෙමු. ඉරිදාපොළට කූඩුවක් ගහනවා ආධාරයක් ගන්නැයි ආවේ කියු විට, ඉරිදාපොළට කූඩුවක් ගහන එක පොළේ අයිතිකාරයා කරයිනේ මල්ලී යැයි කියා, සාක්කුවට අතදමා යම්කිසි මුදලක් සිනහ මුසු මුහුණින් පිරිනමා දොර වසා ගත්තේ ඔහු සහ තවත් ප්‍රසිද්ධ පිරිසක් අඩි පුඩි ගසමින් සිටිය යුතු නිසා විය යුතුය. ඔය සිදුවීමෙන් වසර තිහකට පමණ පසු, දැන් මා සිටිනා පළාතේ සංවිධානය කල මිල්ටන් මල්ලවාරච්චි සමරු උපහාර උළෙලකදී මට සමරු කථනය කිරීමට සිද්ධවීමත් දෛවයමය විය යුතුය. එය වටිනා කතාවක් බව මගේ යහළුවෝ පැවසීය.
පොසොන් කූඩුවේ යාන්ත්‍රික වැඩ කටයුතු මෝටර් රංජි සහ රැවුල් අංකල්ගේ (අවාසනාවන්ත සිදුවීමකින් පිහි ඇණුමකට ලක්වී මිය ගියේය )සහභාගිත්වයෙන් සිදුවූ අතර පළමුවෙනි වරට නිර්මාණය කෙරුණේ පටාචාරා කතා වස්තුවේ පිළිබිඹුවක්ය. එම කතා පුවතට අදාළව සියලු නිර්මාණ මොවුන්ගේ දෑත්වලින් සැකසුණු අතර පටාචාරාගේ කුඩා දරුවා වෙනුවෙන් පමණක් විශාල රබර් බෝනික්කෙක් යොදා ගැනිණි. මහ කූඩුව පාමුල වටා කුඩා පොකුණක් නිර්මාණයවූ අතර, එහි සජීවි තාරාවන් සහ පැටවුන් නිදහසේ පාවෙමින් සිටියහ. මුන් දෙස නිතර ඇස ගසා සිටීම අපටත් වඩා වයසින් බාල කංඩායමේ රාජකාරිය විය. කතා පුවතට අදාළව නරඹන්නන්ට දැකිය හැකි සේ තුඹසක් සාදා නයෙක්ද ප්‍රදර්ශනය විය. උකුස්සා හෝ රාජාලියෙක් අතින් සාදා ,මහ කූඩුව සමග කැරකවීමට සකසා තිබුණි. මෙම කූඩුව රත්මලානේ වෙසක් කූඩුවටවත් දෙවෙනි නොවූ බව මගේ විශ්වාසයයි.
ගමේ තරුණයින්ගේ සාමුහික ක්‍රියාදාමයක ප්‍රතිඵල කොතරම් සාර්ථකවූවා දැයි කියනවා නම් රත්නපුර, ඇහැලියගොඩ පළාත්වලින් පවා බස් ,වෑන් ,ලොරි වලින් කූඩුව නැරඹීමට මිනිසුන් පැමිණියහ. පැමිණෙන්නන් ආධාර කරන්නේ ඊළඟ වසරටත් තවත් නිර්මාණයකට ආයාචනා කරමිනි. මේ ආධාර නිසා ඔළුව නරක් කරගත්තේ පිට පළාතකින් කූඩුව වෙනුවෙන් කවි කීමට පැමිණි හාදයාය. රබානත් අතින්ගෙන කවි කියු ඒ මිනිසා කූඩුවට ලැබෙන ආධාරවලින් සියයට ප්‍රමාණයක කොමිස් මුදලක් ඉල්ලා සිටියේය. නැවත ඉන් පසු වසර සඳහා මොහුව වද්දා නොගත් බව අපි දනිමු. කවි කෝකිල නමින් මෑතක් වෙනකම් කූඩු තොරන් වල කවි කිව්වේ මෙයාය. කවි කෝකිල පස්සේ කිව්වේ නම් කවිද කුණුහරුපද යන්න දන්නෝ දනී. මමද ජීවිතයේ ප්‍රථම වරට යකඩ කටකින් යමක් කීවේ නරඹන්නන් යම් කිසි දුරකට අඩුවු මහ රාත්‍රියක කාගේ හෝ අඩුවක් පුරවන්නටය. ඒ දිනවල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයන් මෙම කූඩුව මිලදී ගැනීමට ලංසු තැබූ බවත් කවුරුත් දනී. ඒ ඇසළ පොහොයට සම්පූර්ණ කූඩුවම ගලවා ගෙන ගොස් තමන්ගේ ප්‍රදේශයට ගෙන ගොස් සවි කර ගැනීමටය. මේ සඳහා රත්නපුර සහ ඇහැලියගොඩ මුදලාලිලා අතර තරඟයක් විය. නමුත් ඒ ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට තරුණයින් සමත් විය. ඇස්වහ, කටවහ වැදී තවත් දුරටත් තම කටයුතු කරගැනීමට බැරිවේ යැයි මතයක් තිබි නිසා ප්‍රදර්ශනය හමාර වූ පසු යාන්ත්‍රික කොටස් පමණක් ඉතිරි කරගෙන අන් සියල්ලම පුළුස්සා දැමීමේ චාරිත්‍රයක් විය. ඉරිදා පොළ බිම්කඩ මැද ඉතාමත් කැපවීමකින් සාදා නිමකර ,දහසක් මිනිසුන්ගේ ඇස් පිනවූ මේ මහා කූඩු රාජයා පැයකින් දෙකකින් අළු ගොඩාක් බවට පත්වීම දැක බලා ගැනීමටත් අසල් වැසියන් රොක්වේ. එකල නම් අප මේ දෙස බලා හඬා වැටීද ඇත්තෙමු. මේ නම් මිනිස් ජීවිතයේම පැති කඩක් නොවේද යැයි මට දැන් හිතේ. ඉන්පසුව පිරිත් සහ ධර්මානුශාසනාවක් පවත්වා කාර්මික ශිල්පීන්ටත්, සංවිධායකයින්ටත් අසල්වැසියන්ටත් සෙත් පැතීම සිදුවේ.
ඒ පොසොන් කූඩුවත් සමගම මරණාධාර කටයුතු, සොහොන් ඉදිකිරීම් වැනි ප්‍රදේශයේ සමාජසේවා වැඩකටයුතු වලට අප බෙහෙවින් දායක විය. ඒ අසලම නිවසක සිටි සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිතුමාද එකල අපට වඩා වසරක් හෝ දෙක පමණ් වැඩිහිටි තරුණයෙක්වූ නමුත් මේ වැඩ වලට දායකත්වයක් නොදැක්වීය. සමාජය හා බද්ධවී එකිනෙකා වෙනුවෙන් සහයෝගයෙන් වැඩකිරීමේ ඉතා වැදගත් සමාජීය පාඩම මම මුලින්ම ඉගෙනගත්තේ දෙල්කඳ ගංගොඩවිල තරුණ සමාජය හා එක්වීමෙන්ය. අද නාගරීක තරුණයාට මෙවැනි සමාජ අත්දැකීම් ලබාගැනීමට ඇති ඉඩකඩ බොහෝ දුරට සීමාවී ඇති බව පෙනේ. ග්‍රාමීය තත්වයනම් එතරම් නරක නැති බව මම අසා ඇත. මේ තුළින් හොඳ මෙන්ම නරක සමාජ සම්බන්ධතාද ඇතිවීම වැළැක්විය නොහැක. අප වයසේ බොහෝ දෙනෙක් සිගරට් බීමට පුරුදුවූයේ මේ මලගෙවල්වල නිදිමැරීමත්, කූඩුවේ වැඩ කටයුතුවලට නිදහස් කර හැර තැබීමත් නිසා යැයි කිව හැක. මීට ඉහතදී සිරස රූපවහිනියෙන් එක් පුද්ගලයෙක් හා සාකච්ඡාවක් පැවත්වීය. අඳුරු කර පෙන්වූ ඔහුහේ රූපය පැවසූ හැටියට වසර තිහක කාලයක් සිට මත්ද්‍රව්‍ය වලට පුරුදුවී සිටින්නෙක්ය. ඔහු ඉතා උවමනාවෙන් කියා සිටියේත්, මල ගෙවල් වල නිදිමැරීමට යන පාසල් යන තරුණයන් බොහෝ විට තම සිගරට් හෝ මත්ද්‍රව්‍ය පාවිච්චියේ පළමු පාඩම ලබාගන්නේ එතැතින් බවය. එය බොහෝ දුරට ඇත්තය. විමසිලිමත්වීම බොහෝ වටිනේය. (එය නැරඹියම යුතු සාකාච්ඡාවක්ය. අවාසනාවකට එම ලින්ක් එක මා අතින් මැකී ඇත. )
No comments:
Post a Comment