Wednesday, April 30, 2014

අවුල් වන්නට පෙර (38)…..පොරෝලිස් මාමා


පහත්ගම සිට පාසැල් යන කාලයේ අප බැහැදැකීමට ගල්කිස්සේ පදිංචිව සිටි අපගේ ඥාතීන් පිරිසක් පැමිණියෝය. සැපදුක් විමසීමෙන් පසු ඔවුන් කියා තිබුණේ මට ගල්කිස්සේ ඔවුන්ගේ නිවසේ නැවතී සිට පාසැල් යා හැකි බවය. දින කිහිපයකට පසු අම්මා සමගින් මම ගල්කිස්සේ නවතින්නට ගියෙමි. මෙය මගේ ජීවිතයේ එක් කඩ ඉමක් සලකුණුවූ ස්ථානයක්වූ අතරම පාසල් කාලය පුරාවට මගේ දසවෙනි සහ අවසාන නවාතැන් පොළද විය. අප පවුලේම කෙනෙක් ලෙස කුඩාකල සිට හැදී වැඩී තිබු ටේච්චී නම් වියපත් ගැහැනියවද මේ කාලයේ රැකබලා ගත්තේ මේ නිවසේ අප ඥාතීන්ය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ක්‍රීඩාපිටිය ඉදිරිපිටම ගාලු පාරට මුහුණලා පිහිටි මේ නිවස හිමි අප ඥාතීන් යමක් කමක් තිබූ ධනවත් පවුලක් විය. මේ පවුලේ ගෘහ මූලිකයාවූ පොරෝලිස් මාමා එවකටත් වයස 60-70ක් පමණවූ උස මහත දඩබ්බර පුද්ගලයෙක් විය. නමුත් මෑතක සිට අංශභාග රෝගයට ගොදුරුවී එක් අතක් සහ එක් පාදයක් අප්‍රාණිකව තිබුණත්, අනිත් අතින් නිවස ඉදිරිපිට කෙටි තාප්පය අල්ලාගෙන උස් පහත් වෙමින් ව්‍යායාම කරයි. යම් තාක් දුරට හෝ අඬු පඬු ගසා සිටින්නේ ඔය ව්‍යායාමවලින් බව කියමින්, කොහෙද ඩෝ උඹලා හරි කම්මැලියෝ යැයි අපිටත් බැණ වදී. අඩෝ, පඩෝ වචන පොරෙලිස් මාමාගේ ශබ්දකෝෂයේ ඉදිරියෙන්ම තිබූ වචනය. මොහුගේ වැඩිමහල් සොහොයුරා පාමංකඩ ජේමිස් සිල්වා නම්වූ ඒ කාලයේ ප්‍රසිද්ධ චණ්ඩියෙකි. පොරෝලිස් මාමා ඒ යුගයේ කොළඹ කොටුවේ සිටි ප්‍රසිද්ධ මැණික් බිස්නස් කාරයෙකි. ඒ කාලයේ නම් ඇන්දේ පලයකාට් කොටු සරමත් කලු කෝට් එකත් කළු පැහැති මහත රෙදි වැනි පටියක්ය. මේ කියන කාලයේ නම් සාලයේ හාන්සි පුටුවටවී කාලය ගෙවා දමයි. ඇස් පෙණීමද ඉතා දුර්වල වුවත් ,තනියම අතපත ගාගෙන ඇවිදින්නට හුරුය. මිදුලට බහිනවා නම් පමණක් කවුරුන් හෝ ළඟින් සිටිය යුතුය. වැඩිය අතපත ගානවාට කැමති නැත. මට පුළුවන් ඩෝ..පැත්තකට වෙයන් යැයි අහගන්නට හැකිය.
වැඩිමහල් පුතුන් දෙදෙනෙක් සහ දූවරු දෙදෙනෙක් සිටී පොරෝලිස් මාමාගේ බිරිඳ මියගියේ බොහෝ කාලයකට පෙරය. එකල ඔවුන් පදිංචිව සිටියේ දළුගම ටයර් සංස්ථාව අසල බව මම දනිමි. වයසට ගියත් ඒ කාලේ කොටුවේ කෙරූ චණ්ඩිකම් අදටත් හුරුය. ඕනෑම ජගතෙකුට කියන්නට තියෙනදේ මුහුණටම කියා දමයි. කටහඬද ගොරෝසුය. මොහු හමුවී කතාබහේ යෙදීමට නොයෙකුත් මාදිලියේ උදවිය පැමිණේ. ඒ බොහෝමයක් කොටුවේ, පිටකොටුවේ ඒ වනවිටත් එක් එක් ව්‍යාපාරයන්හී යෙදුණු අයය. සමහරුන් නම් ලෝක අංකූරයින් බව කතාබහෙන් වැටහේ. ගෙට ගොඩවෙන මිනිසුන් ..ආ මුදලාලි කොහොමද යැයි කියු සැනින්ම, දෑස් නොපෙනෙනා පොරෝලිස් මාමා, මේ බොහෝ දෙනෙක්ව කට හඬින්ම හඳුනාගනී. මොකක් හෝ කට කැඩිච්ච් වචාල කතාවකින්ම පිළිතුරුදී වාඩිවෙයන් යැයි කියයි. “අඩෝ.. මේ කොලු පියදාස නේද? උඹ අදත් දඩයක් දාන්නද ආවෙ” හෝ “මන්සූර් නානා නේද…දැන් උඹ ඇසිලින්ගේ රෙද්ද අස්සේ රිංගන් නැද්ද..කොහෙද උඹලා කිව්වට හැදෙන්නෙ නැහැනේ” වැනි කතා කාටත් හුරුය. ඒ පොරෝලිස් මාමාගේ හැටිය. ඔහුගේ පරණ ගෝලයින්, මිත්‍රයින්, ඇමතීමට ජංගි උස්මාන්, අබිං ජෝන් , මවුත් ඕගන් යැයි අන්වර්ථ නාම රාශියක් විය. ඔවුන් ගිය පසු එසේ කියන්නේ ඇයිදැයි කියා හිනාවෙමින් කෙටි පැහැදිලි කිරීමක්ද කරයි. විශ්වාස කල නොහැකි ගණයේ කෙනෙක් පැමිණියහොත් ගෙදර කාගේ හෝ නමක් කියා අඬ ගසා “ඇහ ගහගෙන හිටපන්…මූ ලෝක වෙදා…මොකක් හරි සරම අස්සේ ගහගෙන යයි” කියන්නේ ඒ මිනිහාටත් ඇසෙන්නය. නමුත් ඒ මිනිසුන්ද මෙයාගේ හැටි දන්නා නිසා සිනහවෙමින් දොඩමළුවේ. පොරෝලිස් මාමා නොම්බර එකේ ජොලි පොරකි. හැම තත්පරයක්ම විනෝදජනකය. රස්තියාදු භාෂාවෙන්ම කථාකරයි. අඩෝ කියනා වචනය නිතරම පාවිච්චි කළේය. ඉංග්‍රීසි භාෂාවද හොඳින් දන්නා මොහු ඒ කාලයේ හාබර් එකට ගොඩ බසිනා නැව්වල සුද්දන්ට මැණික් විකුණූ බවද කියයි.
එවකටත් දිනකට සිගරට් 10-15 වඩා බීමට පුරුදුවී සිටි මොහුගේ බ්‍රෑන්ඩ් එක නෙවිකට් විය. එක අතක් අප්‍රාණික නිසා ගිනිපෙට්ටියට වඩා ලයිටරය පාවිච්චි කිරීමට හුරුවී සිටියේය. නෙවිකට් නැති දවසට බ්‍රිස්ටල් වැනි ෆිල්ටර් සහිත සිගරට් එකක් ලැබී පත්තුකර ගතහොත්, අවසානයේ ෆිල්ටරයද පිච්චී කටත් පුච්චාගන්නේ නෙවිකට් එකේ පුරුද්දට අන්තිම අග්ගිස්සටම සිගරට් එක උරණා බැවින්ය. එවෙලෙට කුණුහරුප වැළකි. සිගරට් ගෙනාපු එකාත්, ළඟ වාඩිවී හිටිය එකාත් දෙදෙනාම වැරදිය. ළඟ හිටිය එකාට බණින්නේ “අඩෝ තොට කියන්න බැරිද **තෝ” කියාය. ඒ සැනින්ම ” මොනවා කරන්නද ඩෝ..මම දැන් පොට්ටයා වෙලානේ ” කියා මහා හයියෙන් හිනාවේ. පැකට් එකෙන් සිගරට් එකක් අරන් දෙන්න යැයි කීවිට එකක් අරන් දී එකක් මම ඉස්සු හැම අවස්ථාවකම ඔහුට හසුවී ඇත. ඇඟිලි තුඩින් පැකට් එක අතගා “උඹ එකකට කෙළියා නේ..අඩෝ මම කොටුවේ බිස්නස් කරපු එකෙක් හරිද…හා හා බීල මැරියන් “කියා කට වහ ගනී. ඇස් නොපෙනී ගියේ වයසට නොව, ඒ කාලයේ ඇති පදම් ගංජා බිවු නිසා යැයි කියා තොපි නම් කටේ තියන්න එපා යැයි අවවාදයක්ද දෙයි. නමුත් ඔය කොටුවේ සිට පැමිණෙන ගෝල බාලයින් එක්ක ඉඳහිට ගංජා උගුරක් දෙකක් ඇද බලා ගත්ත අතේ බලා ඉන්න එකත් අතහැරියේ නැත. මොහු නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙණ දඩබ්බරයෙකි. වරක් මොහුගෙන් ගත් මුදලක් ආපසු නොදී විටින් විට කට්ටි පැනපු එකෙක් ගෙදර පැමිණි විටෙක , අතින් අල්ලා ළඟට කිට්ටුකරගෙන ඔළුවෙන් ඇන්නේ අර මිනිහාට බිම වැටෙන්නමය. අංශභාගය වැළඳී සිටියත් මොහු ශක්තිමත් මිනිසෙක් විය.
ගල්කිස්සේ මේ නිවස ඉතා සුන්දර ස්ථානයක් වූයේ එහි පැමිණෙන මිනිසුන් හා පොරෝලිස් මාමාගේ සංවාද නිසාමය. අක්කලාගේ යෙහෙලියන්ද අයියලාගේ මිතුරන්ද නිතර ගැවසේ. නිතරම විනෝදජනක සිදුවීම්ය. එවකට ඉතා ප්‍රසිද්ධ සංගීත කංඩායමක්වූ මවුන්ට් චයිම්ස් කංඩායමේ ඩයස් සොහොයුරන්ද නිතර ගැවසේ. මටම හරියන තැනක්ය. එම කංඩායමේ සිටි ලාල් නම් ගායකයෙක් අපූරු ගීත කිහිපයක් පටිගත කළේය. ඉන් එකක මුල් පදවැල් මට තවමත් මතකය. ” බොසා ගියා ෆයිල් වහමු- ඩාලින් අපි අයිස් ගහමු…එන්න මගේ ස්ටෙනෝ කුමාරි” නම් ගීතය සොයා ගැනීමට අපහසුය. එකල ස්ටෙනෝග්‍රැෆර්ස්ලා වැඩිපුර හිටියේ කෙල්ලන්ය. සෙන් තෝමස් ග්‍රවුන්ඩ් එක හැන්දෑවරුවේ අපේ වැනිය. එකල තාප්ප වලින් කොටුකර තිබුණේද නැත. සිංහල,දෙමළ,මැලේ, බර්ගර් ඔය කවුරුත් තරුණයෝ හැන්දෑවට සෙට් වෙන්නේ මේ නිවස ඉදිරිපිට තාප්පය උඩටය. රෑ බෝ වෙනකම් මේ කරච්චලය ඇදී යන්නේ නම් ,බිත්ති අල්ලාගෙන එළියට එන්නේ පොරෝලිස් මාමාය. “අඩෝ..ඔය බයිලා නවත්තලා ගෙවල්ව්ලට පලයල්ලා” යැයි කිවු සැණින් සියල්ල අහවරවේ.
පොරෝලිස් මාමා ගැන නම් ලියන්නට ගියොත් ලියා අවසන් කල නොහැකි කතා රාශියකි.ඒ කාලයේ කොළඹ කොටුවේ සිදුවූ චණ්ඩිකම්,එක් එක් මගෝඩි වැඩ, ගුටි බැට හුවමාරු, පොලිස් කතා, නැව්වල සුද්දන්ගේ කතා ආදී බොහෝය. මට වඩා මේ කතා රසකර කියන්නට දන්නේත් මතකයේ ඇත්තේත් අපේ ලොකු නංගීටය. ඇයද බොහෝ කාලයක් මෙහේ නැවතී සිටියාය. ඒවා අහන් ඉන්නට ප්‍රියවන්නේ පොරෝලිස් මාමා කතා කෙරූ භාෂා ශෛලිය නිසා විය යුතුය.
ඒ කෙසේ වෙතත් මම දැන් ගල්කිස්සේ සිට පාසැල් බසයෙන් යන්නෙමි එන්නෙමි. ඒ ගෙදර සියළුමදෙනා මට හිතවත්ය. අපේ ටේච්චිත් එම නිවසේම සිටි බැවින් ඇයද මා ගැන උවමනාවෙන් සලකා බලයි. ටේච්චී කුඩා කාලයේ සිටම යම්තාක් දුරට මානසික මට්ටමින් අඩු ගැහැනියක් වුවත්, පියකරු සිනහවකින් හෙබි රූමත් වියපත් තැනැත්තියකි. පොරෝලිස් මාමාගේ පොඩි පොඩි අත් උදව් කරන්නේත් ඇයයි. මොවුන් දෙදෙනා ඉතා කුළුපගය. අප නිවසේ සිටිනා කාලයට වඩා ටේච්චී දැන් වෙනස්ය. ඇයගේ සුදු කොණ්ඩය කොටට කපා ඇත. නොයෙකුත් මෝස්තරයේ දිග ගවුම්ද අඳී. ඇයව අමතන්නේ ටේච්චී කියා නොව ටේලා කියාය. ඒ ඇයගේ ටේලින් නෝනා නම් මුල් නම කෙටි කිරීමකි. පොරෝලිස් මාමා කාටත් හොරෙන් ටේච්චීට බ්‍රැන්ඩි වීදුරුවක් දෙනබවත් මම දනිමි. පොරෝලිස් මමාගේ හාන්සි පුටුවේ එහා පැත්තේ බ්‍රැන්ඩි බෝතලයක් විය. කෑමට පෙර ෂොට් එකක් ගැනීම මොහුගේ පුරුද්ද විය. ටේච්චීට බ්‍රැන්ඩි ෂොට් එක වැඩිවුනදාට බොරු සිංදු කියමින් ඩානස් කරන්නීය. අපි අත්පුඩි ගසන්නෙමු. මොහු බෙහෙත් බීමටද අකැමතිය. මළ බද්ධය වැනි වැසිකිළි යාමේ අපහසු තත්වයක් ඇතැයි කියූවිට ,කඩෙන් යම්කිසි බෙහෙතක් ගෙනත් දෙන්න දැයි මම වරක් විමසුවෙමි. වැසිකිළි ගියවිට පොල්තෙල් ටිකක් කෝප්පෙකට දාගෙන විත් ඔහුගේ දබරඟිල්ලේ ගාන්න යැයිද..එවිට ඔය බඩු ලූස් වෙනවා යැයි හිනාවෙවී කුප්ප කතාද කියයි.
අපේ අම්මා මාසයකට වතාවක් පමණ ගල්කිස්සේ පැමිණියාය. ඒ මා බැලීමටත් ,පොරෝලිස් මාමාගෙන් උදව්වක් ලැබෙන බවත් දන්නා නිසා බව මම දනිමි. අපේ අනිකුත් ඥාතීන් මෙන්ම මේ ගෙදර සියලු දෙනාත් අපේ අම්මා හෙවත් “දයා පුංචීට” පණ මෙන් ආදරේය. මෙහි සිටි අක්කලා දෙදෙනා කේක් සෑදීම, විශේෂ ආහාර සෑදීම, ඇඳුම්, පැළඳුම් මැසීම, මැක්‍රම්, එම්බ්‍රොයිඩර්, කොණ්ඩා කැපීම, බියුටි කල්චර් වැනි මේ සියල්ලක්ම මැනවින් ඉගෙනගත් අයය. අපේ ලොකු නංගීත් පසු කාලයක මෙහි නැවතුණේ ඔය නිසාමය. අම්මා පැමිණි දිනයට නොයෙකුත් කෑම සාදා, පොඩි පොඩි ඇඳුම් මසා දී මලු පුරවාදීම මොවුන්ගෙ විනෝදාංශය මෙන් විය. පොරෝලිස් මාමා හොඳ වචනයෙන්ද නරක වචනයෙන්ද මිශ්‍රවූ ඔහුට ආවේණික භාෂාවෙන්, අපේ තාත්තා විනාශකළ දේපොළ සහ මුදල් ගැන ලුණු ඇඹුල් ඇතිව දේශන පවත්වයි. ඕවා දැන් වැඩක් නැතැයි අර අක්කලා කියු පසු, අම්මාට ළඟට එන්නට කියා ඉනේ ගසා ගෙන සිටිනා මුදල් පසුම්බිය දෙයි. “අඩෝ දයා…උඹ දැනගනින්..මගේ ඇස් දෙක හොඳට පේනවා..මම බොරුව දාන්නේ. ඕකෙන් දෙසීයක් තුන්සීයක් ගනින්. වැඩිය ගත්තොත් උඹේ අත කඩනවා” යැයි කියා මහ හයියෙන් සිනහවෙයි. අම්මා රුපියල් දෙසීයක් ගෙන ගාන කියයි. පොරෝලිස් මාමා ඇඟිලි තුඩින් අතගා තව සීයක් අම්මා අත තබයි. ඒ කාලයේ රුපියල් තුන් සීයද ලොකු මුදලකි.
මම ලියන්නට සිතාසිටියේ ඔය කාලයෙදීම මා කරක් ගැසු ඒ කාලයේ බම්බලපිටිය හා වැල්ලවත්ත ගැනය. නමුත් ලියවුනේ පොරෝලිස් මාමා පිලිබඳවය. සෙස්ස පසුවට බලමු!!

No comments:

Post a Comment