කෙනෙකුගේ ජීවිතය වෙනස්වන්නට ගතවන්නේ කුඩා කාලයකි. කුඩා සිදුවීමකි. එය කෙසේ සිදුවෙනවා දැයි සිතාගැනීමටත් අපහසුය.
මගේ ජීවිතේ මහා කුනාටුවක පෙර නිමිති පහලවන බැව් මට දැනගන්නට පටන් ගන්නේ ගෙදර තුල ඇතිවූ කතාබස් තුලින්මය. තාත්තා දැන් පදිංචිවී සිටින්නේ ඉහළ තල්දූවේය. රැකියාව අවිස්සාවේල්ල නගරයේය. රාජකීය විදුහලේ ඉගෙණීම ආරම්භකර ටික කාලයක් ගතවන විට පවුලේ සියල්ලන්ම ඉහල තල්දූවට සංක්‍රමණය විය යුතු යැයි තාත්තාගේ අදහසවී ඇත. ඒ පලාතේ සිට කොළඹ පාසැල් ඒම පහසු කටයුත්තක් නොවන නිසා මා කොහේ හෝ නැවතිය යුතුය. මෙය ආච්චීටනම් ඉවසුම් නොදෙන වැඩක් බව දැනගතිමි. කෙසේ හෝ එක් පාසැල් නිවාඩු කාලයකදී ගෙවල් කුලියටදී ඉහල තල්දූවට යෑමට සියල්ලන්ටම සිදුවිය. මේ වනවිට අප පවුලේ හතරවැනියා වූ මල්ලීට පැපොල රෝගය වැලඳුණි. එයින් පසු පස්වැනියා වූ මුලින් කියු අහිංසකාවියටද රෝගය බෝවී තිබුනි.
අන් අයටද රෝගය බෝවීම වැලැක්වීම සඳහා ඔවුන්ගෙන් වෙන්කර තැබුවද, නංගී රෝගාතුරවීම මට බොහෝ රිදුම් දෙන්නක් විය.මම එදාත් අදත් හෙටටත් ඇයට බෙහෙවින්ම ආදරය කරන්නෙමි. මට කාටත් හොරෙන් ඇය හුරතල් කිරීමටත්, වඩා ගැනීමටත් අවශ්‍ය විය. එය එලෙසින්ම සිදුවිය. මටද පැපොල රෝගය වැලඳුණි. මේ නිසා ගෙවල් හැරයාම තව කාලයකට දිග් ගැසුනි. අසනීප තත්වයන් මත මෙය කල්දැමුවා මිස, කෙසේ හෝ අප යායුතු බව ඒකාන්තය.
ඊලඟ පාසැල් නිවාඩුවේ ලොරි දෙකකින් බඩු පටවාගත් අප ඉහල තල්දූවේ පදිංචියට යාමට පිටත්වුනි. මෙය අප සියලු දෙනාගේම ජීවිතවලට තාත්තා විසින් බලෙන් පැටවූ අභාග්‍යයක් යැයි මම සිතමි. මෙයට ක්‍රියාවෙන් විරෝධය පෑවේ ගෙදර හුරතලයට හැදුනු බළල් පැටවා පමණි. යන්නට සුදානම්වී වැඩ කටයුතු අහවර වූ එක් සැණින් මූ අතුරුදහන් විය. කොහේ ගියා දැයි දන්නේ ඌම පමණි. පිටත්වීමට මොහොතකට පෙර පවා, නෑදෑයින් සහ අසල්වැසියන්ගෙන් තාත්තාට ලැබුනේ සුභ පැතුම් නොව දෝස්මුරයන්ය. ඔවුන් අපගේ පවුලේ අයට මහත් ලෙන්ගතුවූ නිසාමය. මගේ සම වයසේ කුඩා මිතුරෙකු ලොරියට ගලකින් ගැසූ බවද මතකය. මට අවශ්‍යවූයේ බඩු පැටවූ ලොරියේ පිටුපස ගමන් කිරීමටය. අම්මාගේ බලවත් අකැමැත්තෙන් වුවද ඒ අවශ්‍යතාවය ඉටුවූ අතර අප ඉහල තල්දූවේ පදිංචියට පිටමන් විය. කවදාවත් කේන්ති ගොස් සිටුනු දැක නොමැති ආච්චී පෙන්වූ සැර පරුෂ ස්වභාවය අදටත් මතකය. එය සාධාරණය. මේ අතහැර යන්නේ ඔවුන් උපන්, හදුනු වැඩුනු ගෙවල් දොරවල් සහ ගම්බිම්ය. මේ නම් සිදුවන්නේ වෙන කිසිම දෙයක් නොව තාත්තාගේ තවත් තකතීරු වැඩ පිලිවෙලක එක් අංගයක් බව පසුව වටහා ගතිමි. ටික කාලයකට පසුව අම්මාගේ මල්ලීද සමග එක්වී මෙතරම් වටිනා දේපල කුණුකොල්ලට විකුණා අහවර කරේය. තාත්තාගේ මව් පාර්ශවයෙන් හිමිව තිබු වැල්ලවත්තේ පාමංකඩ ඉතා සුවිසල් නිවසකටද එම ආනිසංසයම සිදුකල බව මේ නාස්තිකාර පුත්‍රයාගේ තාත්තා මට කියා ඇත. ඔවුන් ගැන මම පසුව ලියමි. මොනවා සිදුවූවත් අපේ තාත්තා ඉතා අවංක, සුන්දර මනුස්සයෙක් බව නම් නොකියා සිටිය නොහැක.
අප පදිංචියට ගිය ඉහල තල්දූව නිවස පිහිටියේ මහපාරට යාබදව තරමක් උස් බිම් කඩකය. ඉදිරියෙන් වෙල් යායද, ටික දුරක් ඇවිද ගිය විට පිටුපසින් සීතාවක ගඟද, එක් අතකින් මහ පාරට යටින් ගලා යන කුඩා ඇලද, අනික් පසින් කඩ දෙක තුනකින් සමන්විත කඩමංඩියද විය. අර්ධ නාගරීක ජීවිතයකට හුරුවී සිටි අපට මෙය නැවුම් අත්දැකීමක් විය. පාසල් නිවාඩු කාලය නිසාත්, ඉක්මනින්ම මිතුරු ඇසුරට එක්වීමේ සහජ දක්ෂතාවයත් නිසා මට සම වයසේ මිතුරන්ගෙන් ඒ ප්‍රදේශයේද හිඟයක් නොවීය. ඔවුන්ගේ මුහුණු මතකයේ ඇතිමුත් නමින් මතකය ඇත්තේ, අප අසලම නිවසක වාසය කල ඇලෝසියස් නම් ලංගමයේ සේවය කල බස් කොන්දොස්තර මහතාගේ පුත් ලාල් පමණය.
සොල්දර තට්ටුවක්, කාමර තුනක් සහ විශාල කුස්සියකින් සමන්විත මේ නිවස ප්‍රමාණයෙන් අපේ මුල් නිවස හා සමාණය. නමුත් මේ කිසිවක් කාටවත් සතුටක් ගෙන නොදුන්නේ පැමිණි මොහොතේ සිට ආච්චී දැක්වූ ප්‍රතිචාර නිසාමය. ඇය වාඩිගත් තැනම වාඩිවී සිටියේ ඇයගේ රණ් ආභරණ බහා තිබූ කුඩා පෙට්ටියද ලංකර ගෙන තදබල කෝපයෙනි. තාත්තාගේ ගංගොඩවිල යහළුවන් බඩු පටවා ගැනීමට උදව් වුවා සේම මෙහෙන් බඩු බාගැනීමට තාත්තාගේ අවට යහළුවන් කංඩායමක්ද පැමින සිටී. ඔවුන් ගොවිතැන් බතක් කරන, කුලී වැඩක් කර මුදලක් සොයාගන්නා ග්‍රාමීය මිනිසුන්ය. අපේ තාත්තාගේ මිතුරු ඇසුරේ සීමා මායිම් නොවීය. ආච්චී පැවසුයේ එක් දෙයක් විතරමය. ඔය ලෑස්ති කරගෙන ඉන්නේ තවත් බේබද්දෝ රැලක් යන වග පමණි. එය ඔවුනට නෑසුනා විය හැක. නමුත් ඇය නිවැරදිය.
ඉහල තල්දූවට පැමිනෙන ගමනේදී තාත්තා අවිස්සාවේල්ලෙන් බැස්සේ තවත් අඩුම කුඩුම මිලදී ගැනීමට විය යුතුය. ඒ උදව්වට පැමිණි යහළුවන්ට සංග්‍රාහ කිරීමට බව පෙනේ. නැවත ඔහු පැමිණෙන තෙක් උදව්වට පැමිණි අයත් අසල්වැසීයෝත් අපට මහත් ඇළුම් කලේ අපේ අම්මාගේ නිවුනු ගති පැවතුම් නිසාත්, අප කොළඹ උදවිය නිසාත් බව හිතමි. කෙසේ නමුත් ගම්වල අය ආගන්තුක සංග්‍රහයට බොහෝ උනන්දු අය බව කවුරුත් දන්නා කරුණකි. එක් කාමරයක් අගුළු දමා තිබු නිසා එය ඇරගැනීමට අම්මාට යතුරක් නොතිබූ නිසා ඉදිරිපත් වූයේ තාත්තාගේ අලුත් යහළුවෙක්ය. ඒ කාමරයට යතුරක් ඔහු සතුව තිබුණි. දොර ඇරුනු සැනින් මා දුටුවේ පැත්තකට කර තිබූ හිස් බෝතල් සහ සිගරට් කොට සහිත භාජනත් සමගින් පිරි ඩෙඟා මඩුවකි. ආච්චී දැක්කොත් කෑගසාවි යැයි කියා අම්මා ඉක්මණින් එය අගුළු දැමුවේ තාත්තාටම අස්කරන්නට ඉඩහරිමින්මය.
ඉහල තල්දූව හෙවත් තැඹිලියාන මනරම් ග්‍රාමයකි. කඩ මංඩිය සමන්විත වූයේ කුඩා තේ කඩ දෙකකින් සහ එක පුටුවක් සහිත බාබර් සාප්පුවෙන්ය. බස් නවත්තන්නෙත් ඔතනමය. හුලං විස්කෝතු, විස්කිරිඤ්ඤා,සව්බොරවා පිරවු විශාල වීදුරු බෝතල්ද,එල්ලූ කෙසෙල් කැණ්ද, හැලප, වන්ඩු ආප්ප තිබූ සෝකේස්ද, අඟුරු දැමූ තේ බොයිලේරුවද කඩ දෙකේම දක්නට ලැබුන පොදු දසුන්ය. ඒ කඩ දෙක මැදින් ඇති කුඩා පටු වැලි පාරේ ඇතුලට යනවිට තැනින් තැන පිහිටා තිබූ ගෙවල් කීපයකට පසු හමුවන්නේ ඒ සුන්දර සීතාවක ගංගාවයි. ගමේ මිනිසුන් නෑමට ,රෙදි සෝදා ගැනීමට භාවිතා කලේ සීතාවක ගඟය.
ගඟේ රෙදි සේදීම අම්මාටත්, ඉන්ද්‍රක්කාටත් හුරු නැති නිසාත්, තාත්තාගේ සුදු කමිස කලිසම් බොර පැහැ ගැන්වෙන නිසාත් එම රෙදි පමනක් ටික දුරක් යනවිට හමුවන හේනේ මාමා සහ රෙදි නැන්දාගේ ගෙදරට ගෙන යා යුතුය. මම මේ ගමනට ඉතා කැමතිය. මගදී හමුවන එක් පංසලක් ඇත. එවකටත් මේ පංසල සමග ගම්මුන්ගේ එතරම් ඇසුරක් තිබී නැත. බංඩාරණායක මහතා ඝාතණ නඩුවේ වැරදිකරුවෙක්වූ තල්දූවේ සෝමාරාම නම් පැවිද්දා වාසය කර ඇත්තේ මෙහි යැයි පැවසේ. අපේ අම්මාද බොහෝ විට කැමති දෙයක් නම් අසල්වැසි ඇසුරය. ඇය ඉතාමත්ම ප්‍රිය මනාප ගැහැණියක්ම නිසා කවුරුත් ඇයගේ පැමිණීම අපේක්ෂා කරයි. රෙදි නැන්දාගේ නිවස අසල ඉතාමත්ම දැකුම්කළුය. ගෙට එහායින් ඇති වතුර පීල්ල, අප වැනි නගරයෙන් පැමිනිවුන්ට නම් මැජික් එකක්ම විය. සෝද වේලා ගෙනගිය සමහරක් රෙදි මැද දීමට ගතවන කාලය මගේ ප්‍රියතම කාලය විය. රෙදි නැන්දා ඒ සඳහා පමනටත් වඩා කාලයක් මිඩංගු කරන්නේ, තේ බිබී අම්මා සමග දොඩමළුවී කාලය ගත කිරීමටත්, මට ඇති පදම් සෙල්ලම් කිරීමට කාලය ලබා දිය යුතු බැවින්දෝ යැයි අදටත් මම සිතමි.
පාසැල් නිවාඩු කාලය නිසාත්, මගේ සහෝදර සහෝදරියන් මට වඩා කුඩා වූවන් නිසාත් මට අලුත් යාළුවෝ සමග මාළු ඇල්ලීම, ගඩා ගෙඩි කැඩීම, ගස් බඩ ගෑම හැර අන් කිසිම රාජකාරියක් නොවීය. මට මේ දේවල් එතරම් නුහුරු වූවත් මගේ මිතුරන් ප්‍රවීණයන් නිසාත් පසු කාලයකදී මගේ ප්‍රියතම විනෝදාංශය මසුන් ඇල්ලීම විය. කුඩා දිය පාරවල් දෙපැත්තෙන් අහුරා දැමීම, වලවල් ඉසීම, බිලී පිත්ත, කුඩා දැල් එලීම වැනිදේ ඉගෙනගන්නට ලැබුනේ ඒ සොඳුරු මිතුරු ඇසුරේය.
මේ කාලය තුලදී සතියකට වරක් හෝ දෙවරක් පමණ තාත්තා සමග ඔහුගේ රාජකාරී ස්ථානයට ගොස් කාලය කා දැමීමටත් මට සිදුවිය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අවිස්සාවේල්ලේ ශාඛාව පිහිටියේ නගරයට නුදුරින්ම රත්නපුර පාරට මායිම්ව විශාල නිවසක් බඳු ගොඩනැගිල්ලකය. එයට වම් පසින් කුඩා ඇල පාරක්ද ගලා බසී. සේවක සේවිකාවන් දහ දොලොස් දෙනෙකු පමණක් සේවය කල මේ ස්ථානයේ, රාජකීය විදුහලේ සහ මගේ ඉගෙනුම් කටයුතු සම්බන්ධ ප්‍රශ්ණ වලට උත්තර දිදී සිටිනවා හැර කරන්නට යමක් තිබුනේ නම්, ඒ ඔවුන්ගේ හුරතලයට බඳුන් වීමත්, නිතර දෙවේලේ ලැබෙන කඩචෝරු සප්පායම් වීමත්ය. වැඩ අහවර වෙන්නට පැය දෙක තුනකට පමන පෙර සිට මේ මිතුරන් එකා දෙකා තුන්දෙනා බැගින් විටින් විට නගරය දෙසට ගොස් පැමිනෙන්නේ කුමන රාජකාරියකට දැයි පසුව මම තේරුම් ගතිමි. මේ හැම කංඩායම් ගමනකම තාත්තා අනිවාර්‍ය සාමාජිකයෙක් විය. මම ඔහුගේ කාර්යල මිතුරියන් හා තනිවිමි.
පාසල් නිවාඩුව ඉවර වෙන්නට ආසන්නය. තීරණය කර තිබූ පරිදි ,නැවත පාසල් යාම සඳහා ගංගොඩවිල නැන්දා කෙනෙකුගේ ගෙදර නැවතී සිටිය යුතුය. මෙය මට ඉතාමත්ම රිඳුම් දෙන කාරණයක් විය. මෙවැනි වයසකදී දෙමව්පියන්ගෙන් ඈත්ව ජීවත්වීම මට ඉතාමත්ම අපහසු කාර්යයක් විය. මෙය කියවන තරුණ දෙමව්පියන් සහ දෙමව්පියන් වීමට සිටිනා අය නම් වටහාගත යුතු එක් විශේෂිත කරුණක් විය යුත්තේ, තම දරුවන් මෙවන් වයස් වලදී ඔබෙන් ඈත්කර නොතබා ගැනීමය. කුමන රජ සම්පත් ලැබුනත්, කවර රාජකීය අධ්‍යාපනයක් ලැබුවත් දරුවන්ට දෙමව්පිය ඇසුරේ වැඩීම තරම් අන් දෙයක් ලොව නැත. එය එසේ නොකිරීමට ඔබ වග බලා ගත යුතුය.
මගේ පාසල් කාලය තුල මා ලැබූ සුන්දර අත්දැකීම්වලට වඩා අසුන්දර දෑ බොහෝය. මගේ පංතියේ මිතුරන්ද බොහෝ දෙනෙක් මව්පිය ඇසුරෙන් මිදී, කොහේ හෝ නැවතී පාසල් ගිය බව සැබෑය. නමුත් මෙය මට වාවා ගත නොහැකි දෙයක් විය. කුඩා කල සිටම මා සංවේදී දරුවෙක් වී යැයි මම සිතමි. මෙතැන් පටන් මගේ පාසල් ජීවිතය රුවල් බිඳී ගිය නෞකාවක් වගේ යැයි කියන්නේ අතිශයෝක්තියකින් නොවේ. බොහෝ දේ කීමට ඇත. දැනටද නීරස මේ කතාව තවත් නීරස කිරීම සුදුසු නොවේ. මට කවුරුන්වත් විත්තිකරුවන් කිරීමට උවමනා නැත. මම මේ කතාවේ කොටස් කරුවෙක් පමනි. මම පසුව ලියන්නෙමි.
No comments:
Post a Comment