සෑම දෙයක්ම සිදුවන්නේ අප නොසිතූ පරිදිය. හැත්තෑවේ මැතිවරණ ජයග්‍රහණයෙන් ටික කලකට ගෙදර මිදුලේ මල් පෝච්චීවල මල් වෙනුවට කපා ඉතිරිවෙන ලීක්ස් මොටෙයියනුත්, දෙහි ගස යට තක්කලි , මිරිස් පැළ ඉන්ද වෙන්නේත් මේ කාළයේය. මල් පැළයකටවත් වතුර බිඳක් නොදැමූ තාත්තාගේ අතින් මේ සියල්ලක්ම ඉතා උවමනාවෙන්ම සිදුවිය. මේ රජයේ වගා සංග්‍රාමයයි. තමන් විසින් මහත් උනන්දුවෙන් කැපවී පත්කර ගන්නා ලද රජයේ ආයාචනාවට තාත්තාද ඇතුළුව බොහෝ දෙනෙක් කැපවු වගයි. ඒ ප්‍රාර්ථනා දළුලා වැඩෙන තුරු සාත්තු සප්පායම් කිරීම ඔවුන්ගේ අභිලාශය වූවා විය හැක. සිතුදේ නොමවේ නොසිතුදේම වෙය කියන්නට වෙන්නේ මින් පසුවය.
70න් පසු රටේ දේශපාලණ වාතාවරණයද අපේ ගෙදර ආර්ථික වටපිටාවද ඉතා සීඝ්‍ර වෙනසකට බඳුන්වන බව මට වැටහෙන්නට පටන් ගැනිනි. තාත්තාගේ මිතුරන් ගෙදර භෝජන සංග්‍රහ සඳහා පැමිනීම කෙමෙන් කෙමෙන් අඩුවන්නට පටන් ගති. සීයාගේ අභාවයෙන් පසු තාත්තාට ගෙදර වියදම් කළමනාකරණය කර ගැනීම අපහසු වන්නට ඇත. මුදල් පරිපාලණය ඔහුට නුහුරු දෙයක් වෙන්නට ඇත. ඔහුගේ මාසික වේතනය සහමුලින්ම වියදම් කරේ යහළු මිත්‍ර ඇසුරට බවත්, ගෙදර වියදම් සියල්ලක්ම සීයා සිදුකල බවත් පසුකාළයකදී අම්මා මට කියා ඇත. මූල්‍ය කළමනාකරණය අවුල්වූ විට සියළුම දේ කඩා වැටෙනු ඇත. සමාජ, සංස්කෘතික, දේශපලණ ඇතුළු සියළුම කරුනු කාරණා බැඳී ඇත්තේ මුදල් නැමැති යදමින් මිස අන් කවර සාධකයකින්ද යන්න පහදා දිය හැක්කේ මා වැනි කුහුඹුවකු නොව ආර්ථික විද්වතකු පමණි. මූල්‍ය පරිපාලණය බිඳ වැටීම සියළුම පරිහානියන්ගේ මූලය බව මම හිතමි. අද සමාජය අත්දකින්නේ එය විය යුතුය.
මේ වනවිට තාත්තාගේ ගමේ යහළුවන් දෙදෙනෙකු අපේ ගෙදරට අළුත් ආගන්තුකයින් විය. මොවුන් දෙදෙනාම හංවැල්ලේ පදිංචිව සිටි දක්ෂ ගුරුවරුන් දෙදෙනෙක් විය. විමලසේන සහ සුගතපාල නම්වූ මොවුන් හා දුරස්ථ ඥාති සම්බන්ධයක්ද තිබී ඇත. කෙමෙන් කෙමෙන් පසු මේ දෙදෙනා අප නිවසේ රාත්‍රිය ගත කිරීමටත් පුරුදුවිය. තාත්තාගේ පරණ මිතුරන් මෙන් නොව අඩිපුඩි ගැසීමක් නොවූ අතර ඉස්තෝප්පුවේ අඳුරේම ඉතා සෙමින් කතාබහේ යෙදෙනා මොවුන් මට පාඩම්ද කියාදුනි. අපේ තාත්තගේ අඩිපුඩි ගැසීමටද අප්‍රසාදය පල කෙරුනි. රැකියාව අහවරවී ගෙදර පැමිණ අඩියක් ගැසීමට පුරුදුවී සිටි තාත්තා මේ නිසාම දැන් දැන් පිටින්ම සප්පායම්වී ගෙදර එන්නට පුරුදුවී තිබුනි.
මේ වනවිට මා පුවත් පතකින්ද දුටු “චේ ගුවේරා නම් කල්ලියක්” ගැනද කතාබහක් විය. මා මේ ගැන අම්මාගෙන් විමසා ඇත්තේ “චේ ගුවේරා පල්ලිය” පිහිටා ඇත්තේ කොහේද කියා බවද අම්මා තවමත් සිනහාවෙමින් පවසයි.
ඒ කෙසේ වුවද තාත්තා ගෙදර නොසිටී එක් හැන්දෑවක පැමිණි පොලීසිය, සුගතපාල සහ විමලසේන දෙදෙනා අත් අඩංගුවට ගන්නා ලදී. දිනකට පසුව තාත්තාවද කුදලාගෙන ගියේය. මගේ ජීවිතයේ මා පළමුවෙන්ම දුටු ජවිපේ සාමාජිකයින් දෙදෙනා මොවුන්ය. තාත්තා මේ දේවල් හොඳින්ම දැණ සිටියා විය යුතුය. ඔහු කොතරම් ශ්‍රිලනිපයට ලෙන්ගතු පුද්ගලයෙක් වුවද වාමාංශික අදහස් ඉතා ජවයකින් එලියට පනින්නේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් තුලදීය. යහළුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කැපකිරීමට සුදානම් තාත්තා මේ දෙදෙනාගේ ක්‍රියාකලාපයන්ට එරෙහි නොවූවා පමනක් නොවා ඔවුනට සැඟවී සිටීමට ස්ථානයක් ලෙස අප නිවස යොදා ගැනීමට ඉඩ සලසා තිබුනේ එලෙසය. තාත්තා කිසිම දේශපාලණ සම්බන්ධතාවයක් ඔහුගේ වාසියට යොදාගත් මිනිසෙකු නොවේ යැයි කියන්නේ ඔහුට ගෞරවයක් පිනිසය. කෙසේ හෝ හංවැල්ලේ සීයාගේ මැදිහත් වීමෙන් තාතාව නිදහස් කර ගැනීමට හැකි වුවද අවිස්සාවේල්ලට රැකියා මාරුවක් ලැබුනේ මේ නිසා යැයි මට සිතේ. හංවැල්ලේ සීයා යනු තාත්තාගේ පියාය.
නුගේගොඩ සිට තුම්මුල්ලේ පාසලට 1973දී පළමු වරට මා පැමිනියේ තාත්තා සමගය. කවුරුත් දන්නා පරිදි රාජකීය විද්‍යාලය යනු නුගේගොඩ ශාන්ත් ජෝන් විදුහලට වඩා අති විශාල පාසලක්ය. පළමු දිනයේ, රටේ නන් දෙසින් පැමිණි අප තිස්පස් දෙනා සහ දෙමව්පියන් පිළිගැනීමට රාජකීය විදුහලේ නවරඟහලේ පුංචි පහේ උත්සවයක් සංවිධාණය කර තිබුණි. රාජකීය විදුහලේ ප්‍රාථමික අංශය හැඳින්වූයේ රාජකීය කණිෂ්ඨ විද්‍යාලය (ROYAL JUNIOR SCHOOL–RJS)…නමිනි. මෙහි විදුහල්පති වූයේ සුගතපාල මහත්මයාය.රාජකීය විද්‍යාලයේ විදුහල්පති වූයේ එල්.ඩී.එච්.පීරිස් මහතාය. මොවුන් ඉතාම වැදගත්වූත් ගාම්භීර මිනිසුන් විය.පීරිස් මහතා පදිංචිව සිටියේ පාසල අසලම කොල්ලුපිටිය පැත්තට වෙන්න ඔවුන්ගේමවූ ඉතා විශාල නිවසකය.
විදුහල්පති කාමරයේ සිට පරිපාලණ රාජකාරීන් මෙහෙයවනවා මිස සිසුන් හා ගුරුවරුන් පසුපස හඹායාම් දක්නට නොලැබුනි. ඒ සඳහා සුදුසු පුද්ගලයින් අංශ ප්‍රධාණීන් ලෙස පත්කර තිබුණි. මොවුන් කර්නල්, බ්‍රිගේඩියර් විදුහල්පතිවරුන් නොවූහ. එදා ආනන්දයේ විදුහල්පතිව සිටි කර්නල් රාජපක්ෂ වැනි විදුහල්පති පියවරුන් අසලකවත් තැබිය නොහැකි උදවිය අද කර්නල් විදුහල්පතිලාවී සිටිනා බව ආනන්දයේ ආදී සිසුන් සාක්කී දරනවා ඇත. එදා රාජකීය විදුහලේ සිට ගමේ පංසලේ බණ මඩුවේ පැවත්වූ පාසැලක විදුහල්පතිවරයෙක්වත් අද සමහරක් විදුහල්පති වරුන් තරම් අමනයෝ නොවූහ. ඔවුන් අදීන,බුද්ධිමත් දක්ෂ පරිපාලකයෝ බව කියන්නේ අති මහත් ගෞරවයෙනි.
රාජකීය විදුහලේ භූමිය, එහි ගොඩනැගිලි, ගුරුවරුන්, සේවකයින් සහ එහි තිබූ පහසුකම් ගත් කල එය වෙනම රාජධාණියක් යැයි කියන්නේ අතිශයොක්තියකින් නොවේ. නවරඟහලට අමතරව පිහිනුම් තටාකය, ශිෂ්‍ය නේවාසිකාගාරය, කිරිහල, කුඩා කෞතුකාගාරය, හෙදියන් දෙදෙනකුගෙන් සමන්විතවූ සෞඛ්‍ය මධ්‍යාස්ථානය, විශාල පුස්තකාලය ආදී එකී නොකී දෑ බොහෝය. එහි සිටි ගුරුවරුන්ට අමතරව සුවිශේෂි පුද්ගලයින් බොහෝය. ඉන් මා වඩාත් සිත්ගත් පුද්ගලයින් වූයේ කඩලේ සහ ඩැණී අයියාය. තව අය බොහෝය. කඩලේ පිලිබඳව මාතලන් විසින් රසවත් පෝස්ටුවක් කලකට ඉහතදී ලියා තබා ඇත.
පාසලට පැමිනි අප තිස්පස්දෙනා ඇතුලත් කලේ 6G පංතියටය. සියල්ලන්ම රටේ නන්දෙසින් පැමිණි අය වූහ. අම්පාරේ සිට පැමිණි ශාන්ති කුමාර්, එවකටත් අති දක්ෂ නැටුම් ගුරුවරියක්වූ රැජිණි ශෙල්වනායගම්ගේ බාල සොහොයුරාය. හයවැනි පන්තියේ සිට නවවැනි පංතිය දක්වා එකම කංඩායමක් ලෙස ඉගෙණුමේ යෙදීමට අපට අවස්ථාවක් ලැබිණි. ඒ කංඩායමේ සිටියවුන් පැමිණීමේ ලේඛණයේ සඳහන්වූ පරිදිම මුල සිට අගට තවමත් මතකය. අපේ පළමු පංතිභාර ගුරුවරයා වූයේ ලින්ටන් ගුරු මහතාය. ඇත් දළ පාටින් යුත් ජාතික ඇඳුමෙන් සැරසී සිටි ඔහු විවාහයෙන් පසුව යුරෝපීය ඇඳුමට මාරුවිය. අදත් මේ ශ්‍රේෂ්ඨ උත්තමයා ජීවතුන් අතර සිටී. මා මේ බව දැණගත්තේ 6G-9G රාජකීය කංඩායම යනුවෙන් හඳුන්වන කංඩායම විසින් සංවිධාණය කල උත්සවයකදීය.මම මුහුණු පිටුවෙන් ඉවත්වූ පසු මේවා දැණගන්නේ ඊමේල් මාර්ගයෙන්ය. අදට ඇතිය.
*******************************නැවත හමුවෙමු.*************************************
No comments:
Post a Comment