ශාන්ත ජෝන් විදුහලේ මා සමග එකම පංතියේ සිටි යහළුවන් කීප දෙනෙක් තවමත් මතකය.උදයානන්ද පෙරේරා,ශිරාජ් පෙරේරා,ගාමිණි ඇල්විටිගල[සෝමදාස ඇල්විටිගලයන්ගේ පුතා],ෆොන්සේකා[නුගේගොඩ සමරකෝන් ස්ටුඩියෝ අසල තිබු බේක් හවුස් ආයතනයේ පුතෙක්]පොන්නයියා,නන්ද[එවකට පුවත් පත් මගින් පවා විශාල සාකච්ඡවකට ලක්වූ ගිනි පෑගීම සම්බන්ධව කපුමහත්වරුන්ගේ පාර්ශවයට නායකත්වය දුන් මුතුකුඩ කපු මහත්තයාගේ පුතා]පෝලියෝ රෝගය නිසා එක් පාදයක් ඉතා සිහින්ව තිබු මිත්‍රයෙක් ඉන් සමහරක්ය.මේ නම් සඳහන් කලේ ඔවුන් ගැන දන්නා කෙනෙක් ඇතොත් කමෙන්ට් කිරීම පිනිසය.පොන්නයියා යනු නුගේගොඩ හන්දියේ සපත්තු සහ කුඩ අලුත්වැඩියා කල අහිංසක දෙමල මනුස්සයකුගේ පුතෙක්ය.පාසල නිමවු සැනින් පොන්නයියා කෙලින්ම දුවගෙන යන්නේ තාත්තා සපත්තු හදන තැන කුඩය යටටය.තාත්තා කෙනෙකුගේ සෙනෙහස කොපමනදැයි කියා නිමකල නොහැක.1983න් පසු නුගේගොඩ සහ ඒ අවට පදිංචිව සිටි අහිංසක දෙමල ජාතිකයින්ට සිදුවූයේ කුමක් දැයි දන්නේ දුටුගැමුණු පරපුරේ යැයි කියාගන්නා අපේ සිංහලේ මහා අප්පුච්චලා පමණි.ලැජ්ජය.හිරිකිතය.කකුල සිහින් මිත්‍රයා බොහෝ කාලයකට පසුව අන්ත දුක්ඛිත ජීවිතයක් ගතකරනවා නුගේගොඩ හංදියේදීම මා දැක ඇත. පාසැල නිමවී ගෙදර යාමට මා වඩාත්ම කැමැත්තක් දැක්වූයේ පයින්මය.ඉන්ද්‍රක්කාවත් කැමති කරගන්නා මම එසේ ඇවිදගෙන යන්නේ පාරේ වැටී ඇති බස් ටිකට් එකතු කර ගැනීමටය.ජිල්බෝල ගැසීමේදී මේවා හුවමාරු භාණ්ඩ විය.නුගේගොඩ සිට දෙල්කඳ දක්වා පයින් යෑමේදී එදා හමුවූ විශේෂ ස්ථාන කිහිපයක් සඳහන් කිරීම වටී.උඩරට ටී හවුස්,දොස්තර බර්නාඩ් සොයිසාගේ ක්ලිනික් එක,යමුනා මෝටර්ස්,හතේ කණුව මස් කඩේ.බෝ ගහ,ගම්සභා හන්දිය,ලැවීනියා සිනමාහල ඉන් සමහරකි. පාසැල් යාමත්,සරුංගල් ඇරීමත්,ජිල්බෝල ගැසීමටත් අමතරව තවත් එක රාජකාරියක් මටත් ගෙදර අයටත් පැවරී තිබුනා මතකය.ඒ 1970 මහා ඡන්දය ලංව තිබූ කාලය නිසා නිල්පාට කොඩි සහ රැළි කැපීමත්,විශාල අත ලකුණක් නිල් පාටින් පාට කිරීමත්ය.තාත්තා මේවා දේවකාරියක් සේ සැලකූ දේවල්ය.එකල පැවතියේ ආසණ ක්‍රමයට පාර්ලිමේන්තුවට තේරී පත්වීමය.කෝට්ටේ ආසණය ඡන්ද ව්‍යාපාරය තුල ඉතා වැදගත් මැතිවරණ කොට්ඨාශයක් විය.ඒ කාලයේ දේශපාලණ පක්ෂ හැට කෝටියක් නොතිබුන අතර අප ප්‍රදේශයේ ශ්‍රිලනිප නියෝජණය කලේ පසුව කථානායකවරයෙක්වූ ස්ටැන්ලි තිලකරත්න මහතාය.යුඇන්පී ප්‍රභලයා වූයේ ජිනදාස නියතපාල මහතාය.කොමියුනිස්ට් පක්ෂයේ වැඩ කටයුතු භාරව සිටියේ කේ.පී.සිරිවර්ධන මහතාය.මොවුන් සියල්ලන්ම අවට ප්‍රදේශවාසීන්ය.වැදගත් හා නිහතමාණී මිනිසුන් විය. ස්ටැන්ලි තිලකරත්න මහතා ඔහුව හඳුන්වාගනු ලැබුවේ දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නැති මිනිහා කියාය.ගැහැණුන්ට හරි හිනාය.ඔහු ඉතා මිටිය.ජිනදාස නියතපාල මහතා සද්දන්ත පුරුෂයෙකි.ඒ කථා කෙසේ වෙතත් මැතිවරණයෙන් ස්ටැන්ලි තිලකරත්න මහතා ඉහලින් ජයගත්තේය.මමද ඒ සඳහා දායක වූවෙක්මි.කොඩි සැරසිලිවලට අමතරව අපේ ගේ ඉදිරිපිට මොහුව පිලිගන්නා අවස්ථාවලදී බුලත් අත දීම මට පැවරුණු තවත් රාජකාරියක්ය.ඔහු නිවසට ඇතුල්වු පසු ඉස්කෝලේ වැඩ ගැන අසන සරළ ප්‍රශ්ණ කිහිපයකට උත්තර බැඳීමටත් සිදුවිය.තාත්තා සහ සුසිල් ප්‍රේම්ජයන්තගේ පියා කරුණාපාල අයියා තද ශ්‍රීලංකා කාරයින්ය.පොඩිබාසුන්නහේ යන ධනවතාත් සෝමා තලගල යන අය තද යුඇන්පී කාරයින්ය.මේ හැම දෙනාම හොඳ මිතුරන්ය. මා හුරුබුහුටි ලමයෙක් නිසාත් ඉගෙණීමට දක්ෂ නිසාත් අවට අන් අය අතරින් කැපී පෙනෙන්නෙක් විය.පාසැල් නිමවීමෙන් පසු අපට ඇති තරම් සෙල්ලම් කරන්නට ඉඩකඩ බොහෝ තිබුනි.අප නිවසට යාබදව විශාල ලී මඩුවක් විය.මඩුවක් නොව එය ලී කොටන්.බාල්ක,පරාල,රීප්ප ඇතුළු සියළුම දැව විකුනන විශාල වෙළඳ භූමියකි.කොල්ලන් කැමතිවූයේ ටින් පෙරලීම,රිම් පැදීම වැනි ක්‍රීඩාවන් වූවත් අවට සිටි අක්කලාගේ උවමනාව මත හැංගිමුත්තම් සෙල්ලමට හැන්දෑ වරුවම වෙන්විය.ඒ අවට මට වඩා වැඩිමහල් අක්කලා රාශියක් වූහ.අද මෙන් කලිසම්,කොට කලිසම් නොව,ගවුම් අඳින්නට ඔවුන් පුරුදුවී සිටියෝය.කොල්ලන්ගේ ගෙදර ඇඳුම සරම විය.මම නිතරම කොට කලිසම් ඇන්දත් සිංහල අවුරුද්දට සරමක් ලැබෙන නිසා සරමත් හොඳට පුරුදුය.ඔය හැංගිමුත්තම් කෙලියේදී බොහොමයක් අක්කලා හැංගෙන්නට තෝරාගන්නේ මාවමය.ලී මඩුවේ අඳුරු අහුමුළුවල දෙදෙනා දෙදෙනා පමනක් හැංගීමට අක්කලා වග බලා ගතී.ඇටෙන් පොත්තෙන් පනින වයසේ මම වැනි එකෙකුට,ඒ වයසේදී දකින්නට නොලැබෙනදේ දකින්නටත්, ස්පර්ශ කිරීමට නොලැබෙන දේ ස්පර්ශ කිරීමට ලැබුනේත් ඔය අක්කලාටත්,හැංගිමුත්තම් කෙලියටත්,විශාල ලී මඩුවටත් පින්සිද්ධ වෙන්නටය.මේ අක්කලා දැන් වියපත්ය.සමහරුන්ගේ දරුවන්ටත් දරුවන්ය. අරකීනම් කියන්නේ අරූ තව මොනවා ලියයිද දන්නේ නැහැ කියාය.මා තුල රහස් නැත.තිබෙනවානම් තිබෙන්නේ තව කවුරුන් හෝ තව කාටවත් කියන්නට එපා යැයි කියු දේවල් පමණි.මා එවැනි දේ අරකීටවත් නොකියන්නට වග බලා ගනී.විවෘතවීම තුලින් ජීවිතයට සිදුවිය හැකි අවාසි බොහෝය.නමුත් මේවා සුන්දර මතකයන්ය.මිහිර රස විඳිය හැක. අධ්‍යාපණයෙන් පමනක් නොව අරවගේ අංශයන්ගෙන්ද දැන් මා තරමක් දුරට සන්නද්ධය.නමුත් සිදුවීම් සිද්ධවන්නේ අප නොසිතූ පරදිය. අද මෙන් නොව එදා ජනප්‍රිය පාසල් සඳහා පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය අති ධාවනකාරී නොවීය.එයද වාර අවසාණ විභාගයක් වැනි විය.මමද එහි කොටස්කරුවෙක් වුනෙමි.ප්‍රතිඵල පැමිනීමෙන් පසු දක්නට ලැබුනේ දිවයිනේ හොඳම ශිෂ්‍යයින් තිස්පස් දෙනා අතරින් එකෙකු වී කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කර ගන්නා ගොන්නේ මමද සිටිනා බවය.ඊට වඩා අඩුවෙන් ලකුණු ලැබූ ලමයින් ආනන්ද විද්‍යාලයටත් අන් පාසල්වලටත් ඇතුල් කරගන්නා ලදී.අප පාසලින් රාජකීය විදුහලට සමත්වූයේ අනුර ගුණසේකර නම් අවටම පදිංචිවී සිටි මිතුරෙකි.ගාමිණි ඇල්විටිගල ආනනදයට ඇතුල්වූවා මතකය.මෙතැනින් පසු මගේ ජීවිතයේ බොහොදේ ඉතා විශාල වෙනසකට භාජනය විය.තාත්තා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අවිස්සාවේල්ලේ ශාඛාවට මාරුවිය.දෙමව්පියන්ගෙන් වෙන්වී ජීවත්වීම ඉතාම අමිහිරිය.වේදණාකාරීය.එය එසේ නොකල යුතුය.අපි නැවත හමුවෙමු.
No comments:
Post a Comment