මම හංවැල්ලේ සිට පාසැල් යන අවධියේ, සුළු ගංවතුර තත්වයකදී පවා යටවෙන පහත්ගම ප්‍රදේශයට කිහිප වතාවක්ම ගංවතුරෙන් පීඩා විඳීමට සිදුවිය. මෙවැනි තත්වයන් තුලදී පහත්ගම ගම් වැසියන්ගේ සියළු දෛනික කටයුතු අඩාලවේ. ඔවුන් මහ පාරට ගමන් කරන එකම පිවිසුම වන මහා පන්සල අසලින් ඇති මාර්ගය තනිකර ජලාශයක් බවට පත්වන්නේ කැළනි ගඟ පිටාරය අවට සියළුම ප්‍රදේශයන්ට තදබල බලපෑමක් ඇතිකරමිනි. මෙය දින ගනන් හෝ සති ගනන් පවතින තත්වයකි. විශාල යකඩ ඔරුවක් භාවිතයට යොදවන්නේ ගම්සභාව විසිනි. අනික් විකල්ප මාර්ගය වන්නේ ඊරියගොල්ල හරහා ගොස් මහ පාරට ප්‍රවිශ්ඨ වීමය.
ඔරු පැදීම කෙසේ වෙතත් ඔරුවේ නැග එහා මෙහා යාම අප කාගෙත් විනෝදාංශය විය. කෙසෙල් කඳන් පාරු සැදීමට නම් කොල්ලෝ දක්ෂයෝය. වැටමාර හෝ ඇල්බීසියා යැයි කියනා ගසේ රිටි උල්කර කෙසෙල් කඳන් කිහිපයක් පසාරු වෙනසේ ඇතුලට යවා පාරු සාදා ගනී. මේවායේ යෑම දුශ්කර වුවත් විනෝදජනකය. නන්දේත්, ගුනේත් මමත් මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ නැවතත් ගංවතුරක් ජීවිතේට නොදකී යැයි විශ්වාසයෙන් යුතුව වෙන්නට ඇත. නමුත් එකල එවැනි අවස්ථා රාශියකට මුහුණ දෙන්නට සිදුවිය. ගංවතුර බැස යාමෙන් පසුව තවත් ප්‍රීතිමත් කාලයක් එලඹේ. ඒ වෙල් සහ අවට වගුරු බිම් වල ඇති කුඩා වලවල් වල ගංවතුර කාලයට පැමිනෙන මසුන් ඒක රාශීවී සිටින නිසා ඔවුන් අල්ලා ගැනීමට ඉතා පහසු වීමය. අප විනෝදයට මාළු මිරිකුවත් මේ දිනවලට අවට පලාත්වලින් පැමිනෙන ගම්වැසියෝ අහාරය සඳහාත් වෙළඳාම පිනිසත් මසුන් ඇල්ලීමට පුරුදුවී සිටියෝය.
සතියකට හෝ දෙකකට වරක් හංවැල්ලේ පොලටත්, විශ්‍රාම වැටුප් දිනයට පාදුක්ක පොලට යෑමත් සීයාගේ පුරුද්ද විය. ඒ යනවිට බොහෝවිට ඔහුත් සමග එහි යෑමට සිදුවේ. පාදුක්කේ ගමන නම් අනිවාර්ය්‍ය විය. බූන්දි, මස්කට්, පුහුල්දෝසී වැනි රසකැවිලිත් බැනියමක්, මේස් කුට්ටමක් හෝ යම්කිසි පාසැල් උපකරනයක් මගේ පැමිනීම වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයන්ය. පාදුක්කේ හෝ හංවැල්ලේ ඇති හොඳම තේ කඩය වෙත යන සීයා වාඩිවෙන්න යැයි කියා ඇති පදමට කන්නට බොන්නට අරන් දෙන්නේ උතුරායන ප්‍රීතියෙන්ය. කෑම බීම අරන් දීමටත් මා වෙනුවෙන් මුදල් වියදම් කිරීමටත් ඔහු කිසිදෙනක මසුරු නොවීය. ආච්චිලා සහ නැන්දලාටත් පල්ලෙහා ගෙදර පොඩි එවුන්ටත් තව මොනවා මොනවා හෝ රසකැවිලි ඔතා ගන්නා අපි ගෙදර එන්නේ රටක් රාජ්‍යයක් දිනූ එවුන් ලෙසය. මට වඩා සීයා ප්‍රීතියෙන්ය. මේ හැම සංග්‍රහයක්ම වෙනුවෙන් මා විසින් ගෙවිය යුතු වන්දියක් වේ. යන එන තොටේ පටන් පොලේද කඩවල්වලද හමුවෙන ඕනෑ එකාටත් එපා එකාටත් සීයා දොඩවන්නේ මා ගැන පුරාජේරුවය. මේවාට උත්තර බැඳීම මහාම මහා කරදරයක් විය. හංවැල්ලේ සීයාට ඒ ගැන වගේ වගක් නැත. ඔහු සමහරක් අයගේ විහිළුවට භාජනය වෙනවා දැයි මට කිහිප වරක් සිතී ඇත. සුරා සූදුවෙන් තොර සීයා සතුටු වූයේ ඔය පුරාජේරු දෙඩුමෙන් විය හැකි යැයි ගෙදර අයගේ මතය විය.
මේ කාල පරිච්ඡේදය තුල අපේ ගෙදරත් මහා විපර්යාසයන් රාශියක් සිදුවී ඇත. අපේ පවුලේ හත්වැනියා සහ අන්තිමයා බාල මල්ලී උපත ලබා ඇත. ඔහු ප්‍රසූථ කිරීමට ආසන්නවූ දිනයක මහා පාන්දර වාහනයක් සොයා ගැනීමට අපහසුවූ නිසා, තාත්තා අම්මාව රෝහලට රැගෙන ගොස් ඇත්තේ, පාරේ යන ලොරියකට අත දමා නවත්වාගෙන එහි ඉදිරිපස අසුනේය. ඒ කාලයේ හැටන්, බගවන්තලාව වැනි ප්‍රදේශවලින් තේ දළු, එලවළු සහ අනිකුත් ද්‍රව්‍ය රැගෙන යන ලොරි කොළඹ යන්නේ තල්දූව අවිස්සාවේල්ල හරහාය. ඒවා මහා පාන්දරම පිටවී කොළඹට විත් බඩු බා, නැවත කොළඹින් බඩුද පටවාගෙන හැටන්, බගවන්තලාව පලාත්වලට හැන්දෑ වරුවේ පිටත් වෙති. මා කියන මේ කාලයේ ඉතාම ප්‍රසිද්ධ භාන්ඩ ප්‍රවාහන ව්‍යාපාර තිබුනේ නම් ,එම්.වයි.හේමචන්ද්‍ර සහ පුත්‍රයෝ ඉන් ප්‍රමුඛයෝ වූහ. ඔවුන් සතු ලොරි විශාල ප්‍රමානයක් විය. අපේ ගෙදර බඩපිස්සාට උපත ලබා දෙන්නට අම්මාව රෝහල් ගෙන ගොස් තිබුනේ මේ ලොරියකය. මේ ලොරියේ රියදුරු තැන වූ පුද්ගලයා සුදු කමිසයෙන් සහ සරමින් සැරසී සිටිනා තාත්තාගේ වයසේ කෙනෙකි. තාත්තා සමග බොහෝසේ ලෙන්ගතුවූ ඔහු , සෑම ගමන් වාරයකදීම එලවළු මල්ලක් ගෙදරටදී , තාත්තා සිටීනම් දොඩමළුවී පොඩි අඩියක් ගසා යන්නටත් පුරුදුවී සිටියා මතකය. මේ එලවළු වැනි දෑ ලොරියේ රියදුරු බැවින් ඔහුට නොමිලේ ලැබෙනවා විය යුතුය.
මේ මොන දේ ලැබුනත් ගෙදර ආර්ථික ප්‍රශ්නවල නම් කිසිම අඩුවක් නැත. අඩුවක් කෙසේ වෙතත් එන්න එන්නම අපි අඩියෙන් අඩිය නොපෙනෙන ප්‍රපාතයකට ඇද වැටෙන බව නම් පැහැදිලිය. ගෙදර තිබු වටිනා බඩු මුට්ටුද පෙනෙන්නට නැත. ඒවා විකුනා දමා ඇතයි සිතනවා හැර වෙන කලයුතු දෙයක් නොමැත. ටික කාලයකට පෙර නුගේගොඩ ප්‍රදේශයේ යමක් කමක් ඇති ධනවත් පවුලක්වූ අප දැන් වෙනත් පලාතකට පැමින විශාල පවුලක් නඩත්තු කිරීමට සැබෑ අරගලයක් කරනා බව සක්සුදක් සේ පැහැදිලිය. තාත්තා ගන්නා පඩියෙන්, අර්ථ සාධක, අර ණය, මේ ණය ආදී වශයෙන් කපාගත් කල ඔහුට ඉතිරිවන්නේ ඉතා සුළු මුදලක් බව දන්නෙමි. අම්මාගේ අම්මා නොහොත් අපේ ආච්චී නොසිටියා නම් අප පවුලට කුමකින් කුමක් සිදුවේ දැයි දන්නේ අම්මාත් තාත්තාත් පමනි.
ගෙවල් කුලී අඩුකර ගැනීම සඳහා පිලියමක් වශයෙන් ගෙවල් මාරු කර, ඒ ආසන්නයේම ඇති කුඩා නිවසකට සංක්‍රමණය වී ඇත. මේ නිවස පිහිටා තිබුනේත් අවිස්සාවේල්ල- දෙහිඕවිට මාර්ගයේමය. කලින් සිටි තැනටත් වඩා තල්දූවට ආසන්නය. ප්‍රමානයෙන් කුඩා වූවත්, පාරට ආසන්නයේ කුඩා උස් බිමක තනා තිබු මේ නිවස අයිතිව තිබුනේ අර්සකුලරත්න නම් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පාරම්පරික පවුලකටය. ඔවුන්ගේ නිවස පිහිටියේ අප නිවසට ඉහලින් එකම වත්තේය. එම පවුලේ සිටියේ වයසක අම්මා සහ පුතුන් දෙදෙනෙකි. ඔවුන් ගෙදර කතාබහ කරන්නේ දෙමළ භාෂාවෙන් වුවත් සිංහල මැනවින් දනී. වැඩිමලා ජෝශප් නම්වූ මානසික දුබලතාවයකින් පෙලුන උස මහත තරුණයෙකි. අනිකා පර්සි නම් වූ බාල තරුණයාය. පොල් ගෙඩියක් අහුලාගන්නවා දැක්කත් පොල්ලක් අතින් ගෙන මහා හයියෙන් කෑගසමින් ජෝශප් රන්ඩුවට එයි. ඒ ඔහුගේ මානසික දුබලතාවය නිසා යැයි පසුව දැණ ගතිමි. රස්තියාදුවට කප් ගැසූ, බීඩි සිගරට් බොමින් කාලය කන නාස්තිකාරයා පර්සිය. මුළු වත්තම හොරු අරන් ගියත් ඌට වැඩක් නැත. මොවුන් ඒ පලාතේ සිටි යමක් කමක් ඇති උදවියය. මේ ඉඩමද අක්කර 8-10ක් පමන විශාලය. දූරියන්, මැංගුස්, ජම්බෝල, කජු, කොස්, දෙල්ද දැවමය වටිනාකමක් සහිත ගස් කොලන්ද රාශියකි. අප කාලයක් පදිංචිවී සිටි මේ නිවස ඉන් බොහෝ කාලයකට පසුව ඉතා මනරම් ආපන ශාලාවක් බවට පරිවර්තනය වී තිබුනේ අදහාගත නොහැකි ලෙසටය. ඒ මම තරුණ අවදියේය. තවමත් එය තිබෙනවාදැයි මම නොදනිමි.
රටේ ආර්ථික තත්වය නරක අතට හැරී ඇති බවත්, මිනිසුන් රජය කෙරෙහී දැක්වූ ප්‍රසාදය කඩා වැටෙන බවත් තාත්තාගේ කතා බහින් වැටහේ. ලඟදී පවත්වන්නට යන නොබැඳි ජාතින්ගේ සමුළුවක් ගැනත් කතාබහය. ඒ ගැන පසුව ලියමි. අප පදිංචිව සිටි නිවසේ , විශාල ඉඩමේ අපට අවශ්‍ය දෙයක් වවා ගැනීමටත්, ඕනෑම දෙයක් භුක්ති විඳීමටත් ඉඩකඩ සලසා තිබුනේ අපේ අම්මාත් නිවස හිමි කාන්තාවත් ඉතාම කුළුපග වීම නිසාය. අම්මා හැකි හැම අවස්තාවකම ඇයගේ සුළු සුළු ආවතේව කටයුතු කරදෙයි. හංවැල්ලේ සිට පැමිනෙන පියරත්න සමග එකතුවී තාත්තා එක පැත්තක් පිරෙන්නට මඤ්ඤොක්කා සහ බතල වගා කරා මතකය. බත් වෙනුවට බතල මඤ්ඤොක්කා, කොස්, බතල අපට පිහිටවූ බව , ගෙදර නොසිටියත් මම දණිමි. ආච්චීටත් කුඩාම අයටත් පමනක් බත් වෙන්වූ කාලයක්ද විය. ආච්චීගේ බත් පත අපටම බෙදා ඇය දුක යනු හඬා වැලපිය යුතු දෙයක් නොව, දරාගත යුතු දෙයක් බව පසක් කරගෙන තිබුනි. ඇය කොහේ හෝ සිට අප දෙස බලා සිටිනා බව මම අදත් විශ්වාස කරමි.
තාත්තාගේ අඩිපුඩි ගැසීමත් බොහෝ දුරට සීමාවී තිබුනි. ඒ නම් අතපය දිග හැර වියදම් කරන්නට මුදලක් ඔහුට නොලැබෙන නිසා විය යුතුය. ඔහු කාර්ය්‍යාලයෙන් බැහැර කරනා පාවිච්චි කල කඩදාසි තොග පිටින් රැගෙන විත් කඩදාසී බෑග් සෑදීමේ වැඩක්ද පටන් ගති. මේව ගෙදර වියදමට අලගු තබන්නටත් මදිවිය. තාත්තාට කියා ඉංග්‍රීසියෙන් ලියුමක් ලියාගන්නට හෝ රක්ෂණ වැඩක් කරගන්නට එන කෙනෙක් , රැගෙන එන්නේ අරක්කු බෝතලයක්ය.වෙන මොනවා ගෙන ආවත් එපා කියන තාත්තා ඒකට නම් කවදාවත් එපා කිව්වේ නැත. නැති කලට ඔහොමය. ඒ ලෝක ස්වභාවයයි.
අප නුගේගොඩ පදිංචිව සිටින කාලයේ සිටම අප සතු ඉතා පෞරාණික ගෘහභාන්ඩ සහ විශාල පෙට්ටගමක් පිරෙන්නට ඉතා වටිනා පිඟන් සහ වීදුරු භාන්ඩ එකතුවක් විය. මේවා අද තිබුනා නම් මිල කල නොහැකි තරම් වටිනා යැයි මට සිතෙන්නේ, අද මා ජීවත්වෙන ප්‍රදේශයේ කෞතුක භාන්ඩ එකතු කරන තැන්වලද මේ හා සමාන භාන්ඩ දක්නට ලැබෙන නිසාය. අප සතුව තිබූ මේ සියල්ලක්ම එකින් එක විකිණී අවසන් විය. මේ අතර අප සියල්ලක්ගේම සිත්ගත් මිලකල නොහැකි අපූරු භාන්ඩයක් විය. ඒ නම් ඉතා වටිනා දැව අරටුවකින් නිර්මාණය කල කිලෝ 25ක් පමන බර ඇති සිංහයෙක්ය. කුළු හරකෙකුව දඩයම් කර එය ඉදිරිපස පාදයකින් පාගාගෙන, ගාම්භීර ලෙස දත් විලිස්සාගෙන ඉදිරිය බලා සිටිනා මේ සිංහයාගේ උල් දත් දෙක ඇත් දළ කොටසකින් නිමවා තිබුනී. අප කුඩා කල මේ සිංහයාගේ පිට උඩ නැග සෙල්ලම් කිරීමට පුරුදුව සිටියා මතකය.
අම්මාගේ පිය උරුමයෙන් ලැබුන මේ ගාම්භීර සිංහයා, එදා අපේ තාත්තාගේ යහළුවකුගේ පුශ් බයිසිකලයේ පිටුපස ඇති බඩු බැඳගෙන යන යකඩ පට්ටම උඩ, ගෝනියකින් වසා උඩුබැලි අතට බැඳ තිබුනේ, සීයාගේ පරම්පරාවේ අවසන් මතක සටහනද අපට අහිමි කරමිනි. සීයා සිටියානම් මේ කිසිවක් මෙලෙස සිදුවන්නේ නැත. එය අවට පදිංචිව සිටි ධනවත් පවුලකට සාමන්‍ය මුදලකට උගස් කර තබා ඇත්තේ නැවත බේරා ගැනීමේ අදහසින් විය යුතුය. පසු කාලයකදීත් එම නිවසේම ඒ ප්‍රතාපවත් සිංහයා ලැගුම් ගෙන සිටියේ නිවසේ රජු මම වෙමි යන ගාම්භීරත්වයෙන්මය. දූවිලි වදිනවාට සැටින් වර්ගයේ රෙදි කඩකින් වසා තිබූ මේ සත්වයා උපහාසයෙන් හෝ අපහාසයෙන් අප දෙස බලා සිටියා යැයි මගේ හිතට තදින් දැනී තිබේ. ඉන් පසු කිසිකලකත් ඔහු අප සතු නොවීය.
නැතිවූ දේවල් ගැන හඬා වැටී පලක් නැත. මේ ගැන අපේ ආච්චී කිව්වේ……බලුවී ඇති ඉඩ කඩක සිංහයින්ට ඉඩ නැති බවත්, ඌ උගේ නම්බුව රැකෙන තැනකට යා යුතු බවත්ය. ආච්චීගේ දෑසින් කඳුළු වැටුනාදැයි මම නොදණිමි. නමුත් ඇය සිතින් හඬන්නට ඇත.
ආච්චී නිවැරදිය… මුදල් නොමැති තැන සිංහයෝත් බලු වෙනවාය. මිනිස් සමාජය හුරුවී ඇත්තේ එලෙසය. පුදුම විය යුතු නැත.
No comments:
Post a Comment