මේ යුගයේ ජාත්‍යන්තර දේශපාලනයේ මතවාදී හැල හැප්පීම් රාශියක් විය. ඒවා ඒ ඒ වශයෙන් ගෙන විග්‍රහ කිරීමට මට මතකයක් නැත. ජාතික දේශපාලනය තුලද පවතින ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටෙමින් පවතින කාලයයි. ඩඩ්ලි සේනානායක මහතාගේ මිය යෑමෙන් පසුව ජේ. ආර්. ජයවර්ධන මහතා විපක්ෂ නායකවීත් බොහෝ කල්ය. ඇමරිකානු සහ රුසියානු බල කඳවුරු වලින් බැහැරවූ නොබැඳි ජාතින්ගේ සමුළුවේ පස්වැනි සැසිවාරය පවත්වන්නට තීරනය වී තිබුනේ සිරිමාවෝ බංඩාරනායක අගමැතිනියගේ සභාපතිත්වයෙන් කොළඹදීය.
මේ සමුළුවට සුදානම්වීම සඳහා කොළඹ නගරය යම්කිසි ප්‍රතිසංස්කරණයකට ලක්විය. අද මෙන් කැරකෙන්නේ නැති රූංපෙති සවි නොකෙරුවාට එදාත් යම්කිසි දුරකට නගරාලංකාර වැඩ කටයුතු සිදුවී ඇත. කැළණි පාලම පසුකර නුවර පාර දෙසට යනවිට ඇති මහා සද්දන්ත කොන්ක්‍රීට් පවුර එදා නිමකර තිබුනේ මොන හේතුවකට දැයි නොදන්නා මුත්, සමහරුන් කියන්නේ කටුනායක සිට පැමිනෙන රාජ්‍ය නායකයින්ට, අවට විසූ පැල්පත්වාසීන් නොපෙනෙන්නට සැදු ආවරනයක් බවය, ඇත්ත නැත්ත නොදනිමි. පසු කාලයක ඉතා දර්ශනීය පෝස්ටර් ඇලවීමටනම් එය මහඟු උපකාරකයක් විය.
මේ සමුළුවට සුදානම් වීම සඳහා නගරවාසී යාචකයින් අල්ලා පිටපලාත්වලට පැටවීමත්, සමහරක් ප්‍රදේශවල පැල්පත් කඩා බිඳ දැමීම නිසා නගරය හැර යන්නට සිදුවූ බවත් අසා ඇත්තෙමි. මේ කිනම් සමුළුවක් හෝ ලංකාවේ පවත්වන ඕනෑම අවස්ථාවක පළමුවෙන්ම පීඩාවට පත්වන ජන කොට්ඨාශයක් වේ නම්, ඒ කොළඹ නගරය සහ අවට පදිංචි අන්ත අසරණ දුගී ජනතාවමය. ඉන්පසු හැම පාලකයාටම ඔවුන් අමතකය. ඒ දිනවල තාප්ප පුරා කළු අකුරින් ඇඳ තිබු විරෝධතා පාඨයන් දෙකක් තවමත් මට මතකය.
කර්නල් ගඩාෆි—–පැල්පත් කඩාපි
ඉඩි අමින් උගන්ඩාවේ—අපෙ මැතිනිට **න්නාවේ
ඉඩි අමින් උගන්ඩාවේ—අපෙ මැතිනිට **න්නාවේ
මොවුන් දෙදෙනාම නොබැඳි සමුළුවට සහභාගිවූ බව මතකය.
1976 අගෝස්තු මාසයේ 16-19 දක්වා බංඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නොබැඳි සමුළුව පවත්වා ඇත. මෙය ශ්‍රීලංකාවේ පැවැත්වූ පළමු ජාත්‍යන්තර සමුළුව යැයි මම විශ්වාස කරමි. මට ඒ පිලිබඳ එතරම් දැනුමක් නැත. මේ රාජ්‍ය සමුළුව සඳහා රාජ්‍ය නායකයින් 86ක් සහභාගීවි ඇත. මාෂල් ටිටෝ, ඉන්දිරා ගාන්ධි, අන්වර් සදාත්, ෆිදෙල් කැස්ත්‍රෝ, මුවම්මර් ගඩාෆි, කෙනෙත් කවුන්ඩා, යසර් අර්ෆත්, අලි භූතෝ මට මතක නම් කිහිපයක්ය. මා දන්නා තරමින් මේ සමුළුවට සහභාගීවූ රාජ්‍ය නායකයින්ගෙන් බොහෝමයක් ලෝක දේශපාලන භූමිකාව තුල ඉතාම පෙරලිකාර චරිතයන්ය. ඒ බොහෝමයක් නම් අදටත් අමරණීයය. සිරිමාවෝ බංඩාරනායක චරිතය නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තුල කැපී පෙනෙන නායිකාවක් විය. අද ඉන්නා දේශපාළුවන් මේ චරිත අධ්‍යයනය කිරීම වටී. ඒ තරම් සාර්ථකව සමුළුව සංවිධානය කිරීමට එවකට සිටි අති දක්ෂ රාජ්‍ය නිලධාරීන් දක්වා ඇති උනන්දුව සහ පරිනතභාවය අද ඉන්නා සමහරක් නපුංසක උසස් නිලධාරීන්ට අත්පොත් විය හැක. ඒ දක්ෂ නිලදරුවන්ගේ නම් ලැයිස්තුවක් මා සතුව ඇතත් ඒවා ලියන්නට ගියොත් ලිපිය මාගලක් වෙනවාය. අවම පහසුකම් යටතේ පවා ඔවුන් පෙන්වා ඇත්තේ පරිපාලන නිපුනත්වය හැර අන් කුමක්ද?
මේ සමුළුව සම්බන්ධව කෙටි වාර්තා වැඩසටහනක් http://www.youtube.com/watch?v=kxJoN7oHFxc මේ තුලින් නැරඹිය හැක. මෙහි කථනය අමරබන්ධු රූපසිංහ නම් ඒ අති දක්ෂ ගුවන් විදුලි මාධ්‍යවේදියාගේය. ඉන් වසර හත අටකට පසුව ඔහු හා සමග ඉතා ලබැඳි ඇසුරකට පත්වීමට තරම් මා වාසනාවන්තයෙක් විය. ඒ ගැන මම පසුව ලියන්නෙමි. මේ සමුළුව සඳහා පාසැල් සිසුන් වශයෙන් අප දැක්වූ දායකත්වය කෙබඳු දැයි මට මෙලෝ මතකයක් නැත. නමුත් අරකී නම් කියන්නේ ඔවුනට කුඩා කිරි පැකට්ටුවක් සහ් ජාතික කොඩියක් අතටදී පාර අයිනේ සිට රාජ්‍ය නායක රථ පෙළපාලියට කොඩි වනන්නට රැගෙන ගිය බවය.
මේ සියළු උත්සව කටයුතුවලින් මාස කිහිපයකට පසුව රටපුරා කැළඹිලි ස්වභාවයක් ඇතිවූ බවත් මතකය. ඒ ශ්‍රීලංකාවේ සිදුවූ පළමු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ඝාතනය වූ පේරාදෙනියේ වීරසූරිය ශිෂ්‍යයා ඝාතනයත සමගය. ඒ 1976 අගභාගයේ යැයි යාන්තම් මතකය.
මම තවමත් සිටින්නේ දෙහිවල ආච්චී සමගය. මා ඔබට කලින් කීවාසේ මා නිතර ගැවසෙන්නේ සත්තුවත්ත හා ඒ අවටය. සත්තුවත්ත ඉදිරිපිට බොහෝ ජංගම වෙළඳුන් ගැවසුනු ස්ථානයකි. අඹ, අන්නාසි, ටොෆි, කඩල වෙළඳුන්ට වඩා මින් ප්‍රධාන තැනක් ගත්තේ සිප්පි කටු මාල, මදටිය ඇට මාල වැනි අරුමෝසම් භාන්ඩ වෙළෙන්දන්ය. මොවුන්ගේ බඩ වියත රැකුනේ විදේශීය සංචාරකයින්ට පිහිට වෙන්නය. කුඩා, තරුණ, මහළු මේ සියළු වෙළෙන්දන් සහ වෙළෙන්දියන් දෙහිවල අවට ප්‍රදේශවාසීන්ය. ඉන් සමහරක් පදිංචිව සිටියේ සත්තුවත්ත අසල මහජන ක්‍රීඩාංගනය ඉදිරිපිට එකල තිබූ කුඩා පැල්පත් නිවාස කිහිපයකය. අනිත් අය පැමිණියේ වෙරළ පැත්තෙන්ය.
වරක් එක් ත්‍රාසජනක සිදුවීමක් විය. මේ වෙළෙන්දන්ට සත්තුවත්ත භූමිය තුලට ඇතුල්වී වෙළදාම කරන්නට ඉඩ ලැබෙන්නේ කලාතුරකිනි. ඒ දන්නා හඳුනන නිලධාරියෙක් හොරෙන් අවසර දුන්නොත් පමණි. වරක් මෙලෙස ඇතුලේ මාල වෙළඳාම් කරමින් සිටි කොළුවෙකු වර්ශාවෙන් බේරීමට යකඩ කූරු වලින් වට කර තිබූ කූඩුවක් යටට මුවාවී ඇත. එලිමහන් ප්‍රදේශයේ යකඩ කූරුවලින් වටකර වහලය ගසා තිබූ මේ ශක්තිමත් සිංහ කූඩුව ඔබට මතක දැයි මම නොදණිමි. යකඩ කූරු අසලටම ගොස් වැස්සෙන් නොතෙමෙන්නට සිටි මේ කොළුවාට සිංහයාගේ තදබල හස්ත ප්‍රහාරයකට ගොඳුරු වන්නට සිදුවිය. නොදැනෙන්නට යකඩ කූරු දෙකක් අතරින් අත දැමු සිංහයා මොහුගේ මුහුණෙන් එක් පැත්තක් සූරා ඇද දමා තිබුනි. කම්මුල පැත්තෙන් පමනක් මස් ගොබයක් එලියට ඇද දමා තිබුනත් ඇස් දෙක බේරීම පූරුවේ වාසනාවකි. ඉන් කාලයකට පසුවත් ඒ දරුණු කැළල් සමග ඔහු සුපුරුදු වෙළඳාමේ යෙදී සිටිනු දැක ඇත්තෙමි.
මට දෙහිවල ආච්චීගේ ගෙදරි යන්නට සිදුවූයේ අපේ ආච්චී මා බැලීමට පැමිණි දිනෙක මට ඇති දුෂ්කරතා පැවසීමෙන් පසු ඇය තම නැඟනිය වූ මැටිල්ඩා ආච්චීට දැක්වූ ප්‍රතිචාරයන් සමගය. මේ සිදුවීමට පෙර දින කෙසෙල් ඇවරියක ප්‍රශ්නයක්ද ඇතිවිය. මේ බව නම් මම අපේ ආච්චීට නොකියා සිටීමට ප්‍රවේශම් විය.දෙහිවල ආච්චීගේ මුණුබුරෙක්, කතෝලික පියතුමෙක් වීමේ අභිලාශයෙන් අධ්‍යාපන සහ පුහුණු කටයුතු කලේ කොහුවල සෙමනේරියේය. මෙය ඉතා සුන්දර නිස්කලංක විශාල ස්ථානයකි. මම කෙසෙල් ඇවරියේ සිද්ධියට පෙරද මැටිල්ඩා ආච්චී සමග මෙහි ගොස් ඇත. වත්තෙන් කපාගත් ඉදුණු පූවාලු කෙසෙල් ඇවරියක් මා අත තැබු ආච්චී මෙය රැගෙන ගොස් තම මුණුබුරාවූ රූපස්ට භාරදෙන ලෙස මට දැන්විය. මා ඇයගෙන් නිවසේ සිට කොහුවල දක්වා යෑමට බස් ගාස්තු විමසූ විට ඇය පැවසූවේ මට පයින් යන ලෙසය. කළුබෝවිල හරහා කොහුවලට ඇවිදගෙන යෑම එතරම්ම මහා දුරක් නොවූවත් මට මෙය හිතට රිදුම් දෙන්නක් විය.එම ගෙදර මෙහෙකරුවූ විමලසේන අත මෙය නොයවා මා පයින් යවන්නේ ඇයි දැයි මට වැටහෙන්නේ නැත.
දුකත්, කේන්තියත්, බඩගින්නත් නිසාම නිවසේ සිට ඇවිද යන අතරතුර මම කෙසෙල් ඇවරිය රස විඳින්නට පටන් ගත්තෙමි. කාටවත් ඕක නොදැණේවී යැයි සිතා ඇවරිය අස්සෙන් වූ ගෙඩියක් දෙකක් කඩා පටන්ගත් මේ සෙල්ලම, සෙමනේරිය අසලට ලංවෙන විට ඇවරි භාගයක් වෙන තරමට අඩුවී තිබුනි. මෙය දැන් ගිහින් දෙන්නට බැරි තරමටම අංජ බජල්ය. දෙවරක් නොසිතා, සෙමනේරියට යන ගමන අමතක කර දමා ආපසු හැරුනු මම කොහුවල කුඩා තැපැල් කන්තෝරුව අසල සිටි යාචකයාට ඉතිරි කෙසෙල් ගෙඩි ටික පූජා කර හෙමින් හෙමින් ගෙදර පැමිණියේය. මැටිල්ඩා ආච්චී දුන් තේ කෝප්පයද බී රෑටත් කෑම කා නිදාගත් මම මගේ හතරවෙනි නවාතැනින් පිටත්ව යන්නේ අපේ ආච්චී පහුවදා පැමිණිය නිසාය. මා කල මගෝඩි වැඩේ නිසා හිතේ ඇත්වූ බය සහ පශ්චත්තාපය මදකට හෝ නැතිව ගියේ, ආච්චීත් ඉන්ද්‍රක්කාත් සමග නොගේගොඩ බලා යන බස් රථයට ගොඩ වූවාටත් පසුවය. ඉන්පසු මට මැටිල්ඩා ආච්චී නැවත හමුවන්නේ මගේ පාසැල් කාලයත් නිමාවී රැකියාවක් කිරීමට පටන් ගත්තාටත් පසුවය.
ජයතිස්ස කුමාරගේ ලියු අසම්මත විචාරය ග්‍රන්ථයේ පෙරවදනේ ඔහු මෙසේ කියා ඇත.
“ජීවිතය ක්‍රමයෙන් වයස්ගත වන විට නිමා කිරීමට හෙටක් නැත. ඇත්තේ මෙනෙහි කිරීමට අතීතයක් පමණි. කෙනෙකු තම අතීතය සතුටින් මෙනෙහි කරන අතර, තවත් කෙනෙකුට අතීතය දෙස හැරී බැලීම පවා වේදනාවකි. තම අතීතය දෙස පිරුණු සිතකින් බලනවුන් තම සිතට එකඟව ජීවත්ව ඇත. ඔවුන්ට සිතද එකඟය. පිරුණු ජීවිතයක් ඔවුන් සතුය. කම්පාවෙන් අතීතය දෙස බලන අයට ජීවිතය හරයක් නොමැති දෙයක් ලෙස පෙනෙන අතර තමන් ජීවිතයට ණය ගැති බව දැනෙන්නේ හුදෙකලාවූ සුසුම්ද තැවීම ද සමගය”
මේ කියමන ඉතා වටිනේය. මෙය මට බොහෝ දුරට සමීපය…ඔබටත් එසේ විය හැක…පහතින් ඇති ගීතය ඔබ සියල්ලක්ම අසා ඇති බව නිසැකය. නමුත් මේ අයුරින් අසා තිබේදැයි බලන්න.
No comments:
Post a Comment