මගේ පස්වෙනි නවාතැන් පොල වූයේ, දුරස්ථ ඥාති සම්බන්ධතාවයක්ද ඇති අම්මාගේ යෙහෙළියක්දවූ එකල මහරගම සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියකගේ ගෙදරය. මහරගම බෙල්ලන්විල පාරේ ඩිපෝව අසලම පිහිටි මෙම නිවසේදි ජීවිතයේ පළමු වරට මටම කියා කාමරයක්ද ලැබිනි. කිසිම අඩුපාඩුවක්ද නැත. පාසැල් යාමට පෙර ඇරැව්වල පාරට හැරෙන තැනම ඇති නිවසින් උදයට එළකිරි බෝතලයක් රැගෙන ඒම පමණක් මට පැවරුනු කාර්ය්‍ය විය. මේ එළකිරි විකුනු නිවස පසුකාලයකදී ජ.වි.පෙ. මහරගම ආසනයේ ප්‍රධාණ කාර්ය්‍යලය විය.
මහරගම හංදිය ඒ කාලයේදී එතරම් දියුනු නගරයක් නොවීය. පමුනුව පාරේ කෑලි රෙදි ව්‍යාපාරය ඇතිවුනේ ඉන් බොහෝ කාලයකට පසුවය. හයිලෙවල් පාරේ කඩ කිහිපයක් හැර අනිත් ස්ථාන ග්‍රාමීය ස්වරූපයක් ඉසිලිය. වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානය වූයේ හයිලෙවල් පාරේ බස් නැවතුම අසල බෝධියත් ඒ කුඩා ක්‍රිඩාංගනයත්ය. එම බෝධිය අසලම කුඩා බුද්ධ රූපයක්ද විය. බුවනෙකබාහු විද්‍යාලයද ඒ අසලම විය. මානසික ආබාධයකින් පෙලුනු ගැහැණියක් අමු නිරුවතින් ඔය බුද්ධ රූපය බදාගෙන කෙරූ අපූරු සිදුවීමක් අවට මිනිසුන් එකතුවී නැවත්වු සැටිත්, මට ඕන විදිහට **ගන්න මුන් ඉඩ දෙන්නේ නැතැයි කියමින් ඇය කෑගසු සැටිත් මට අද මෙන් මතකය. ඇයගේ මානසික තත්වය අවබෝධ කරගත් අය මෙන්ම එම ගැහැණියටත් වඩා මානසික ආබාධයන් ඇතැයි සිතිය හැකි එවුන් ඇයට පහර දීමෙන් සහ අඩම්තේට්ටම් කෙරූ අයුරු බලා සිටීමට පවා අපහසු විය. උන් නම් නියම බෞද්ධයෝය. අදත් මෙවන් කාඩ්බෝඩ් බෞද්ධයින් දැකීමට ලැබීම අප කල පූරුවේ පවකි.
මහරගම නගරයේ කොයි මොහොතේත් ඇත්තේ තද කලබලයකි. අදටත් එය එසේම දැයි මම නොදනිමි. අනුෂා, නැෂනල් සිනමාහල් කරා ඇදීඑන මිනිසුන්ගෙන්ද, හැන්දාවරුවේ නගරසභා පිට්ටනියේ දේශපාලන රැස්වීමක් නම් එතැන ගොඩ ගැසෙන අයගෙන්ද, හෝමාගම, දෙහිවල ආදී නොයෙකුත් දෙසට ඇදෙන බස් සඳහා නැවතී සිටින මගීන්ගෙන්ද අඩුවක් නැත. මම පළමු වතාවට ජේ.ආර්.ජයවර්ධනයන් දැක්කේ මහරගම පැවතී දේශපාලන රැස්වීමකදීය. 1973දී ඩඩ්ලි සේනානායකයන්ද මියයන්නට පෙර එතැනම පැවති රැස්වීමක ඇමතුවා මතකය. ඒ තාත්තා සමග රැස්වීම බලන්නට ආ දිනයකය. 1948 සිට අප රට පාලනය කල රාජ්‍ය නායකයින් අතුරින් මම දැක නැත්තේ D.S.සේනානයක, SWRD බංඩාරනායක සහ සර් ජෝන් කොතලාවල පමණි. ආචාර්ය්‍ය ඩබ්ලිව්.දහනායක දුටුවේ ඔහු දේශපාලනයට සමුදුන් පසු කාලයකදී ගාල්ල ටවුමේදිය. අන් සියල්ලන් ගැනම මතකය පැහැදිලිය.
එහි සිට පාසල් යන කාලය අතරතුර අපේ ගෙදර උදවියට තවත් අකරතැබ්බයකට මුහුන දීමට සිදුවී ඇත. ඔවුන් සියල්ලන්ම නිවසද වසා දමා හංවැල්ලේ නෑදෑ ගමන් ගොස් තිබුනේ දින දෙකකටය. පසුදා නිවසට ඇතුළු වනවිට එහි දොර කඩා තිබූ බවත් ඉතිරිව තිබූ වටිනා අල්මාරි දෙකක් ,මේසයක් සහ තවත් සුළු සුළු භාන්ඩ කිහිපයක්ද හොරු රැගෙන ගොස්ය. මේ නම් හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුනාට දෙවෙනි නැති වැඩකි. මේවා ආච්චිගේ දෙමව්පියන්ගෙන් සිට පැවතෙන පෞරාණික ගෘහභාණ්ඩය. දැන් ඉතිරිව ඇත්තේ පැදුරු කොට්ට, ඇඳුම් පැළදුම් සහ උයන පිහන ආම්පන්න පමනක් යැයි කීවොත් නිවැරදිය. මේ සොරකම සිදුවී ඇත්තේ ගෙවල් අයිතිගෙදර පොඩි පුතා වූ පර්සි නම් රස්තියාදුකාරයා දැණුවත්ව, අපේ ඉන්ද්‍රක්කාට මනමාලකම් පෑ විජේපාල සහ ඔහුගේ මිතුරන්ගේ සහභාගිත්වයෙන්ය. පොලිසියෙන් සිදුවූ හොරු ඇල්ලීමක් නැත. පාඩුව අපිටමය. ආච්චී සහ අම්මා තීරනය කර තිබුනේ ඉහල තල්දූවේ පදිංචිවී සිටීම තව දුරටත් නිශ්ඵල ක්‍රියාවක් බවත්, වෙනත් සුදුසු ස්ථානයක් සොයා ගත යුතු බවත්ය.
ජීවිතය අප නොසිතූ ලෙස එක් එක් දිශාවන්ට ගලාගෙන යයි. එක් සොඳුරු බිම් කඩක නවතින පාටක් පෙනෙන්නටවත් නැති සැටිය. වැරදි කවුරුද, වරද කොතනද යැයි සෙවීමට කාලයක් නැත. ඉන් ලැබෙන ක්ෂනික ප්‍රතිපලයක් නැත. ගමන යා යුතුමය. අපගේ ලොකු අම්මා ඇයගේ දික්කසාදයෙන් පසු දැන් ජීවත්වෙන්නේ කුලියාපිටියේ උඩුබද්දාව පලාතේය. නමුත් ඇය සතුව දෙල්කඳ ගංගොඩවිල නිවසක් ඇත. ඒ අප සතුව තිබු නිවසට යාබදවය. එහි සම අයිතියක් ලොකු අම්මාගේ පළමු විවාහයේ මහප්පාට සතුව තිබු මුත්, ඔහු එහි සම්පූර්ණ අයිතියම ලොකු අම්මාට පවරාදුනි. ඔහු ඉතාමත්ම නිහඬ මහත්මා ගතිගුණ ඇත්තෙක් බව කියා ඇත. ඒ නිහඬ බවම ලොකු අම්මාගේ ජීවිතයට නොතේරෙන ගුප්ත සාංකාවක් ඇතිකරන්නට ඇත. ඒ ගැන කතා කිරීම දැනට අදාල නැත.
මෙම නිවස කුලියට ගෙන තිබුනේ කොමියුනිස්ට් පක්ෂයේ කෝට්ටේ ආසනයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාමටය. එවකට එම පක්ෂයේ කෝට්ටේ ප්‍රධානියා වූයේ පසුව දේශපාලන මංඩල සාමාජිකයෙක්දවූ කේ.පි.සිරිවර්ධන හෙවත් සිරිවර්ධන අයියාය. නගරසභා, පලාත්සභා මිස පාර්ලිමේන්තු වරම් නොලැබූ ඔහුට 1989 කාලයේදි ප්‍රා සංවිධානය හා සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා එල්ලවිය. ඒවා කොතරම් නිවැරදි දැයි නොදනිමි. නිවසේ කොටසක කාර්යාලය පවත්වාගෙන ගිය අතර, එහි නිතර ගැවසෙන සාමාජිකයින් තාත්තාගේ පැරනි මිතුරන් විය. ලොකු අම්මා සහ ඇල්පින් බාප්පාද නිවසේ අනිත් කොටසට පැමිණ පදිංචි වීමට තීරණය කෙරුනු අතර, ඇල්පින් බාප්පා රැකියාව කරන්නේ කුලියාපිටිය පලාතේ නිසා ලොකු අම්මාගේ සහ දියණියගේ තනි නොතනියට ආච්චීත් රොමානිස් හාමිත් පැමිනෙනව නම් හොඳ යැයි කතාවක්ද විය.
අම්මලා පහත්ගම සීයලාගේ නිවසට ඈතින් හයිලෙවල් පාරට වෙන්නට ඉතාම කුඩා නිවසක් කුලියට ගෙන පැමිණියෝය. මේ නිවස කොතරම් කුඩාද කිවහොත් පවුලේ සියල්ලන්ම නිදාගන්නේ එකම කොටසේය. මම මෙහි එක් දිනක්වත් ගතකර නැත්තේ අම්මලා එහි පදිංචිව සිටියේ සුළු කාලයක් නිසාය. ඒ කාලය තරම් දුක්බර කාලයක් තිබුනා දැයි කියා මට මතක් නොවේ. ඇඳුම් පැළදුම් එක් එක් තැන්වල ගොඩ ගසාගෙනය. අල්මාරි සොරුන් රැගෙන ගොසිනි. පාරෙන් මෙහා පැත්තේ ඇති පල්ලමේ නිසා පොඩි ගංවතුරටත් යටවෙන එක නවත්තන්නට බැරිය. අඩුම කුඩුම සී සී කඩය. අම්මා තාත්තාගේ මහ ගෙදරට ගොස් උදව්වක් ගන්නට කැමති නැත. හොඳ වේලාවට අපේ ආච්චීටත් රොමානිස් හාමි නොහොත් පොඩි අයියාටත් ඒ දුක දැරීමට සිදුවූයේ නැත්තේ ලොකු අම්මා දෙල්කඳ පදිංචියට පැමිණි නිසාය.
පාසැල් යන වයසේවූ මල්ලිලා දෙදෙනාගෙන් එක් අයකු හංවැල්ල රාජසිංහ විදුහලටත්, අනිකා පන්නිපිටියේ ධර්මපාල විදුහලටත් ඇතුලත් විය. ලොකු නංගී පහත්ගම රෝමානු කතෝලික කන්‍යාරාමයටත් පාසැල් ගියාය. අපේ පවුලේ හුරතලී නොහොත් සුළු මානසික ආබාධයකින් පෙලෙන නංගී ගමේම තිබු කුඩා පාසලවු මලියදේවයට ඇතුල් කෙරූ නමුත් ඇයට ඉගෙනගැනීමේ හැකියාවක් නොතිබුනි. එහි තිබුනේ පංති පහකි. ඉන් තුනක් මහ පන්සලේ ඉඩමේත් ඉතිරි දෙක පොඩි පන්සලට ආසන්නයේත්ය. උදයට පාසැල් යන ඇය විවේක කාලයේදි ලැබෙන බිස්කට් තුනත් රැගෙන ගෙදර එයි. ඒ අවට විසූ මැම්බර් මහත්තයාගේ පවුලේද මෙවැනි ගැහැණු දරුවෙක් විය. දෙදෙනාම සම වයසේද විය. මේ දෙදෙනා ගැන එම කුඩා පාසැලේ මුල් ගුරුතුමාද අන් අයද හොඳටම දන්නා අතරම ඒ නිදහසද ඔවුන්ට ලබාදී තිබුනි. මෙය දිගු කාලයක් සිදු නොවුනි. අපේ නංගීව නාරාහේන්පිට චිත්‍රා ලේන් හී පැවති මෙවන් ළමුන් සඳහා වූ පාසැලට ඇතුලත් කරන ලදි. එහි පාලකයින් සහ ගුරුවරුන් පවසා ඇත්තේ, එතැන සිටි දරුවන් සමග එකට සිටියහොත්, ඒ ළමුන්ගේ ආභාශය හා ඌරුව ලබා අපේ නංගී තවතවත් මානසික ව්‍යාකූල තාවයන්ට පත්විය හැකි බවත්, එය එතරම් සුදුසු නොවන බවත්ය. ඉන් ඉවත්වූ පසු ඇය වෙන කිසිම පාසලකට ගියේත් නැත. වෙනත් අධ්‍යාපනයක් ලැබුවේද නැත. එකල අද තරම් පහසුකම් නොවීය. අපට වත්කමක්ද නැතිවිය.
ලොකු අම්මාත්, කුඩා දියණියත්, ආච්චීත්, “පොඩි අයියාත්” දැන් දෙල්කඳ අපට හුරු අපට පුරුදු අපේ වට පිටාවේය. ආච්චී අපේ අම්මාවත් අප පවුලේ අන් අයත් එහි දමා දෙල්කඳට පැමිණ ඇත්තේ තදබල අකැමත්තෙන්ය. ඇයට අපේ පවුලෙන් තොර ලෝකයක් නොවීය. පොඩි අයියා නම් පැමිණ ඇත්තේ කැමෙත්තෙන්ය. ඒ ඔහුගේ නොයෙකුත් වැඩ කටයුතු සඳහා ඔහුට හුරු නාගරික වටපිටාව වඩාත් යෝග්‍ය නිසා විය යුතුය. ලෝකය පෙරළුනත් ඔහුට ගනිච්චියක් නොමැත. අවිවාහක ඔහු අපේ ආච්චීට වඩා වයසින් බාලය. බීඩි, සිගරට්, ගංජා බීම හැර අරක්කු බීමක් නැත. බීවොත් කෙලින් ඉන්නටම බැරිය. ඉතාමත්ම පිරිසිඳුවට සිටින්නට බොහෝ කැමති මිනිසෙක්ය. දිනපතා රැවුල බෑමටත්, සුදු කමිසයෙන් සහ සරමින් සැරසී වැස්ලින් පැකට් එකක් කඩා හිසේ ගා ජැන්ඩියට හිස පීරීමත් දෛණික රාජකාරියක් විය. මේ වැස්ලින් පැකට් වලට කියන්නේ “කොන්ඩේ බාම්” කියාය . කුඩා පැකට්ටුවක් ශත පහකට දහයකට වඩා නොවීය. ඉස්සර චන්ඩීන්ද මෙයට බොහෝ කැමතිය. අපේ ආච්චී ඔය පොඩි අයියාට බනින්නේ උඹ මගුලේ යන්නද ඔච්චර හැඩ වෙන්නේ කියාය. ඔහුට ඒවා වගේ වගක් නැත. ඔහු ඉතාම මෝඩ මනුස්සයෙක් විය. වරක් රත්නපුරයේ ගියේ මැණික් ගරන්නෙකුගේ අත් උදව්වටය. මහ රෑක ගෙදර ඇවිත් පෙන්වා තිබෙන්නේ විශාල මැණිකක්ය. කවුරු හෝ කවටකමට ඔතාදී තිබෙන්නේ රේල් පාරේ සිග්නල් කනුවල තියෙන කොල පැහැති විශාල වීදුරු කවරයකි. ඔහු එතරම් මෝඩයෙකි. නමුත් හරිම ආඩම්බරය. ගෙවල් බ්‍රෝකර් වැඩ වලින් උපයා ගන්නා මුදලින් බීඩි, සිගරට්, ගංජා මුදල සරිකර ගන්නා ඔහු මිය යන තෙක්ම සිටියේ අප සමගය.
ටික දවසකින් මමද හයවැනි නවාතැනවූ දෙල්කඳ,ගංගොඩවිල ලොකු අම්මාගේ ගෙදරට ගොඩ වැදුනෙමි.
No comments:
Post a Comment