මගේ ජීවිතය ගැන ලිවීමේදී, නිරතුරුවම එගොඩටත් මෙගොඩටත් එහා මෙහා යාමට සිදුවනු ඇත. මන්දයත් මුළු පාසැල් කාලය පුරාම මම එක් තැනක සිට පාසල් ගිය දරුවකු නොවීය. ඔබ විශ්වාස කරාවීදැයි මම නොදණිමි. හයවැනි පංතියේ සිට පාසලෙන් අස්වන කාලය දක්වා මම නවාතැන්පලවල් එකොලහක නැවතී සිට ඇත. ඔබ නම් පාසල් නොගොස් ගෙදරට වී සිටිනවා ඇත. මේ සියළුම තැන් එකිනෙකට වෙනස් වටපිටාවන්ය. එකිනෙකට වෙනස් මිණිසුන්ය. එකිනෙකට වෙනස් ආර්ථික පසුබිම්ය. එකිනෙකට වෙනස් මිනිස් ගතිපැවතුම්ය. මගේ පසුකාලීන ජීවන චර්යාවන්ට මේ අත්දැකීම් බොහෝසේ ඉවහල්වී ඇත. මට ඕනෑම සමාජයක ඒ ඒ ක්‍රමයන් තුලට සමාජගත වීමට ගතවන්නේ ඉතාම සුළු කාලයකි. මම නිහඬ නිරීක්ෂකයෙක්මි. මට මිණිසුන්ගේ චර්යා රටාවන්, හැඟීම් හැඳිණ ගැනීමට ඉක්මන් ඉවක් ඇතැයි සිතන්නෙමි. නමුත් මට පෞද්ගලිකව කෙනෙකුගෙන් සිදුවන වරදක් හෝ බොරුවක් , මම තේරුම් ගත්තා යැයි ඔවුන්ට කියනවා තබා හැඟවීමටවත් උත්සාහ නොගනිමි. මම එවන් දෙයක් නොදන්නා සේ හැසිරෙන්නේ ,ඔවුන් අපහසුතාවයට පත්වෙනවා දකින්නට අවැසි නැති නිසාමය. අදටත් මම එසේමය. මම සෙමින් සෙමින් ඔවුන්ගෙන් ඉවත්වීමට වග බලා ගන්නෙමි. නමුත් යුක්තිය සහ අයුක්තිය යන සාධකයේදී එය පහදා දීමත්, හරි දේ වෙනුවෙන් පෙනී සිටීමටත් මම පසුබට නොවෙමි.
මා වඩාත්ම ආදරය කල සත්වෝද්‍යානය සහ ඒ අවට පරිසරයට සමුදී පැමිණ අවසන්ය. සත්වෝද්‍යානය ඒ කාලයේදී මගේ ජීවිතයේ එක් කොටසක් වැනිය. මට ඇතිවු දුක්ඛ දෝමනස්සයන් පීඩාවන් මගහරවා ගත්තේ අරමුනක් නැතිව සත්තුවත්තේ එහාටත් මෙහාටත් ඔහේ ඉබාගාතේ ඇවිදිමින්ය. සතුන් දෙස බලාසිටීම සමහර මිනිසුන් දෙස බලා සිටීනවාට වඩා සොම්නසකි.
මා වඩාත් සිත්ගත්තේ සතුන්ට කෑම බීම ලබා දෙන වේලාවන්ය. ඒ වේලාවට එතැන එකම ගාලගෝට්ටියකි. විශාල සතුන්ගේ ගෝරනාඩුවත්, කුරුල්ලන්ගේ කිචිබිචියත්, සමහර සතුන්ගේ අසාසිටීමට නොහැකි අඳෝනාවත්, සේවකයින්ගේ කඩිමුඩියත් එකම එක රස ගුලාවකි. විශාල සහ රෞද්‍ර සතුන්ගේ සෑම කූඩුවක් තුලම තවත් එක් කුඩා වෙන් කිරීමක් ඇත. එය තවත් කුඩා කූඩුවක් වැනිය. කෑම වේලාවේදී එම කුඩා කූඩුවට කෑම දමනා සේවකයින් සතුන් එහි ඇතුල්වූ පසු එය අගුළු දමා මහා කුඩූව ශුද්ධ පවිත්‍ර කරති. ඉන්පසු ඉන් ඉවතට ගොස් සතුන්ට මහා කූඩුවට එන්නට ඉඩ හැර කුඩා කූඩුව පිරිසිඳු කරයි. මමත් සමහරක් කූඩු තුලට රිංගා උදව්කර ඇත.
නොයෙකුත් වර්ගයේ කෑම රැගත් විල් බැරැක්කද, කුඩා කරත්තද, මස් ගාතයන් වැනි දෑ රැගෙනයාමට කුඩා වෑන්ද, කොස් අතු, කිතුල් අතු ආදීය පටවා ගත් ලොරිද විය. එවැනි විශාල මස් ගාතයන් සත්තුවත්තේ තාප්පයෙන් එහාට පැන ඇවිදගෙන සමහරුන්ගේ ගෙවල් වලට ගිය කතාත් දන්නෝ දනිති. කුඩා දරුවකු සිංහයින් හෝ කොටින් සිටිනා ගැඹුරු වලකට වැටුනු කතාවක් අසා ඇත. ඇත්ත නැත්ත නොදණිමි. මේ වනවිට ඒ ලෝක ප්‍රසිද්ධ සත්වෝද්‍යානය ගැන අසන්නට ඇත්තේ දුක්බර කතා පුවතකි. පාලකයින් නිදිවදින ඕනෑම රටක , කූඩුකරපු එව්වෝ දුක් විඳින බව සත්‍යයකි. මේ අපිද ඊට අයත්ය. උන්ට හැකිනම් අපවද කූඩු කරනු ඇත.
මා මුලින්ම ලිව්වා සේ ඒ එගොඩය. මම දැන් මෙගොඩ ගැන ලියන්නෙමි. ඉහල තල්දූවේ අපේ ගෙදර එතරම් ප්‍රගතියක් පෙනෙන්නට නැත. එහාටත් මෙහාටත් පැද්දෙමින්, රළු සුළඟටත්, කඨෝර රැළි ප්‍රහාරයටත් හසුවී ඇති අපේ නෞකාවේ සුක්කානම දැන් සෙමින් සෙමින් අම්මා අතට පැවරී ඇති සැටිය. තාත්තා කරන්නේ වැඩට යාමත්, හැන්දෑවට ගෙදර ඒමත් පමණය. අපේ ගෙදර සිටිනා ඉන්ද්‍රක්කා, මේ වනවිට විවාහ පත්වන වයසට ආසන්න යුවතියකි. ගමේ රස්තියාදුවට පුරුදුවු එක් තරුනයෙක් නිතර අප නිවස අසලින් යෑමටත්, බයිසිකලය ගසකට හේත්තුකර ගේ අසල බෝක්කුව උඩටවී සිටීම ටික දවසක සිට පුරුද්දක්වී ඇති බවත් ඉන්ද්‍රක්කාද ඉඟිබිඟි නර්ථනයේ යෙදෙන බවත් අම්මාගේ ඇසට හසුවී ඇත. විජේපාල නම්වූ මේ තරුණයා ගමේ කුඩා කුඩා සොරකම් වලටත්, රැකියාවක් නොමැති නිසා රස්තියාදුවටත් හුරුවූ එකෙක් බව ගමම දණී. මෙය නොරිස්සූ අම්මා සියල්ලන්ගේම අවසරය මත ඉන්ද්‍රක්කාව ඥාති නිවසක නැවැත්වීමට තීරණය කලාය. ඒ සත්වෝද්‍යානයේ සේවය කල පෙරේරා අංකල්ගේ සහ නන්දක්කාගේ ගෙදරය. නන්දක්කා නම්වූ ඥාතියා ඉන්ද්‍රක්කාට වඩා ටිකක් වැඩිමහල් වුවත් දෙදෙනා යෙහෙළියන් මෙන් විය.
අප සමග එකට හැදී වැඩුනු අපේ කැත කුණුද අත ගෑ අපෙන් වෙන්ව දෙහිවල පදිංචියට ගියාය. එය අපට මහත් වේදනා ගෙන දෙන්නක් වූවත්, ඇගේ ජීවිතයේ කඩඉම් සළකුනක් වූවා නොඅනුමානය. ඉවුම්,පිහුම්,මැහුම්,ගෙතුම් ගැන මනා අවබෝධයක් තිබූ ඇය බොහෝ කාලයක් ඔවුන් සමගම දෙහිවලින් පානදුර දිබ්බැද්ද ප්‍රදේශයටත් ගොස් කාලය ගත කලේ මහත් සතුටිනි. පසු කාලයකදී අප දෙමව්පියන් සහ ලොකු අම්මා මැදිහත්වී ඇල්පින් බාප්පාගේ මිතුරකුවූ නන්දසේන අයියාට ඇය විවාහ කර දුනි. ආදරණීය පුතුන් දෙදෙනෙකුට මවක්වූ ඇය බොහෝ කලකට පසුව අවසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තාය. මම එය පසුව ලියන්නෙමි.
ඉන්ද්‍රක්කාගේ මවවූ ටේච්චීද ජීවත්වුයේ අප සමගය. ඇය උපතින්ම මන්ද මානසික තත්වයක පසුවී ඇති බව මම ලියා ඇත්තෙමි. එයද සියුම් ආබාධයක් පමණි. ඒ හැරෙන්නට ඇය ඉතාමත්ම නීරෝගීය. අපගේ ආර්ථික තත්වයත් අනිකුත් අපහසුතාවයනුත් තේරුම් ගත් අම්මාගේ තවත් ඥාතී මාමා කෙනෙකුවූ පොරෝලිස් මාමා ඉදිරිපත්ව, ඔහුගේ දරුවන් හා සමග ජීවත්වීමට ටේච්චීව එක්කන් යන ලදි. මේ මහඟු අවස්ථාව ටේච්චීට ලැබීම ගැන අදත් මට ඇත්තේ ඉමහත් සතුටකි. ඔවුන්ගේ ඒ විශාල නිවස තිබුනේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ ක්‍රීඩාංගනයට ඉදිරිපසින් ගාලු පාර අද්දරය. පොරෝලිස් මාමා මැණික් සහ ස්වර්ණාභරන ව්‍යාපාරිකයෙක් විය. සෑහෙන ධනයක් සතුවිය. ඔහුගේ සහෝදරයෙක් වූයේ වැල්ලවත්ත රෙදිමෝල අසල පදිංචිව සිටි එකල ප්‍රසිද්ධ චන්ඩියෙක් සහ චීනාඩි කාරයෙක්වූ ජේමිස් සිල්වාය. මමද කාලයක් ගල්කිස්සේ සිට පාසැල් ගියෙමි. මම රැකියාවක් කර අපටම කියා නිවසක් සාදා ගත්පසු ටේච්චීව නැවතත් අප තුරුලටම ගත්තේය. එයද පසුව ලියන්නෙමි.
අප පවුලේ සිටි ඉතාම සමීපයන් දෙදෙනෙක් දැන් අප සමග නැත. පිටස්තරයකුට සිටින්නේ එදා සිටම අප සමග සිටි පොඩි අයියා නොහොත් රොමානිස් නම් වැඩිමහල් පුද්ගලයාත්ය. පිටස්තරයෙක් යැයි කීම නොවටී. තාත්තාගේ යහළුවන්ද නැත. අම්මා ගෙදර පාලනය යම්කිසි තාක් දුරට අතට ගත් පසු, ඇතිවූ සිදුවීම් පවුලේ නඩත්තුව සඳහා මහත් පිටිවහලක් විය. අම්මා මාසයකට හෝ සති දෙකකට වරක් නුගේගොඩ පැමිණේ. එක් වරක් පැමිණෙන්නේ ආච්චීගේ විශ්‍රාම වැටුප එකතු කර ගැනීමටය. අනිකුත් අවස්ථාවන් වලදී ඇයගේ මිතුරියන්ගේ ගෙවල්වලත් අපගේ ඥාතීන්ගේ නිවෙස්වලත් උදය වරුව ගෙවා දමා ගෙදරට අවශ්‍ය බඩුමුට්ටුද එකතු කරගෙන හැන්දෑවේ තල්දූව බලා පිටත්ව යයි. මොවුන් බොහෝමයක් අම්මාට හැකි අයුරින් උදව් කලෝය. ඒ අපේ අම්මාගේ ඇති නිර්ව්‍යාජ නිර්ලෝභී උතුම් ගතිගුණවලට යැයි මට හඬනගා පැවසිය හැක. ඇය නමේ පමණටත් වඩා දයාන්විත ගැහැණියක් වූවාය. අදටත් එසේමය. බොහෝ අය ඇය ඇමතුවේ දයා, දයක්කා හෝ දයා පුංචී යන ආදණීය ඇමතුම් වලින්ය. දයාලාට මොනවා නැතිවුනත් ළමයින්ගෙන් නම් අඩුවක් නැතැයි සමහරුන් ඔලොක්කුවට කියන කතා අසා මම ලැජ්ජාවට පත්වී ඇතත් අම්මා ඒවා පයිසයකට ගනන් ගත්තේ නැත. ඇයගේ තටු අතරේ අප හොවා අප උනුසුම් කරනවා හැර අන් කිසිවක් ඇයට තඹ දොයිතුවකට මායිම් නොවීය. වචණයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය දිරිය ගැහැණියක්ම විය. ලොවට උතුම් අපේ උතුම් ආදරණීය අම්මාම විය. ඇය නොසිටින්නට අප දරුවන් හත්දෙනාත්, අපගේ ආදරණීය තාත්තාත් කොහේ කොතනක සිටී දැයි කීමට කවුරුත් අපොහොසත් වනු ඇත.
එදා එක් එක් අයගේ කතාවලින් ලැජ්ජාවට පත්වූ මා, අද මහා ආඩම්බරයකින්…..උසින්ද මහතින්ද අඩුවක් නොවූ, ගුණ සුවඳින්ද බිඳක්වත් අඩුනොවූ ඒ සහෝදර සහෝදරියන් හයදෙනා සහ ඔවුන්ගේ පවුල්ද දරු දැරියන්ද පිරිවරාගෙන සිටින්නේ රටක් රාජ්‍යයක් ලැබුනාටත් වඩා සතුටින්ය. මම ඔවුන්ගේ ලොකු පුතාය.. ලොකු අයියාය..ලොකු තාත්තාය…ලොකු මාමාය. මම රජෙක්මි. මට අන් කිසි දෙයක් අවැසි නැත. මමත්, මගේ බිරිඳත්, අපේ දරුවාත් ඔවුන්ව රකින්නේ අපගේ පණ හා සමානවය. මගේ එක සහෝදරයෙකු මීට වසර දහයකට පමණ පෙර ඔහුගේ පලවෙනි දරුවා නම් කෙරුවේ මගේ නමිනි. ඒ මට ගෞරවයක් ලෙස යැයි ඔහු කියයි. අප සියල්ලම ඔහුට හිනැහුනේ ඔබ අවුරුදු හතලිහක් පමණ පිටුපස්සට ගොස් දරුවාටා පැරණි නමක් තැබුවා කියාය. අපේ තාත්තා වසර පනහකටත් පමණ පෙර මට තැබූ නිරංජන් යන නම එතරම්ම කැතක් නැත.
ප.ලි…….මගේ එක් නැගනියකගේ වැඩිමහල් දියණිය විද්‍යා අංශයෙන් ඔලිම්පියාඩ් නියෝජනය කිරීම සඳහා නොබෝ දිනකින් අන් සිසුන් සමග පිලිපීනය බලා පිටත්ව යෑමට නියමිතය. ඇය මාතර සුජාතා විදුහලේ බව කියන්නේ එම පාසලටද ගෞරවයක් වශයෙනි. අපි ඇයට සුභ පතමු!!!!!!!!
No comments:
Post a Comment