Friday, October 18, 2013

අවුල් වන්නට පෙර (11)…කරදර පොදිබැඳ…………


මගේ මතකය නිවැරදි නම් මේ 1974 හී අවසාන භාගය විය යුතුය. රාජකීය විදුහලට යෑමට පටන් අරන් කෙටි කාලයක් තුලදී මගේ තුන්වැනි නවාතැන් පොල වෙත යෑමට සිදුව තිබේ. හංවැල්ලේ සීයා තාත්තා හමුවීමට ගොස් මට ඔහුගේ නිවසේ සිට පාසැල් යාමට සුදානම් වෙන ලෙස දන්වා ඇත. දින තුනකට හෝ හතරකට පසු පාසල් නිවාඩුව ඇරඹීමත් සමගම අම්මා පැමිණ මගේ අඩුම කුඩුමද රැගෙන ගෙදර බලා පිටත්වුනි. මම්මාටද, කුසුමාටද මෙය හැඬුම් ගෙනදෙන කාරණාවක් වූවත් කලහැකි අන් දෙයක් නොමැත. වඩාත් කළහකාරී හැසිරීමක් දැක්වූයේ මා මිත්‍ර ගාමිණීය. ඔහුට සිටී එකම මිතුරා ඔහුගෙන් වෙන්ව පිටත් වෙන්නට සූදානම්ය. මම්මාටද, කුසුමාටද වැඳ සමුගෙන යන්නට පෙර මම්මා ඇයගේ පසුම්බියෙන් ඇද සුළු මුදලක් මා අත තබා හඬමින් මගේ හිස පිරිමැදීය. මා මේ නිවසට පැමිණි දිනයේත් ඇය මට මෙවන්ම මුදලක් අත තැබූ බව මතකය.
අපගේ ගෙදර ආර්ථික තත්වය වඩාත් ගැටළුකාරී ස්ථානයකට ලඟාවී ඇති බව හොඳින් පෙනේ. තාත්තාගේ වැටුපෙන් කොතරම් මුදලක් ගෙදර වියදමට සම්මාදම් වෙනවා දැයි කිව නොහැක. ඔහු හොඳටම ණයවී ඇති බවත්, ලැබෙන පඩියෙන් ණය සහ පොලී ගෙවනවා හැරෙන්නට ගෙදර වියදමට දීමට ඉතිරියක් නැත. සුදු කලිසමට හා කමිසයට පුරුදුවී සිටි ඔහු දැන් වැඩට අඳින්නේත් අතට අහුවෙන ඕනෑම කලිසමක් සහ කමිසයක් බව පෙනේ. සපත්තු දෙක නම් මල්ලීලා පොලිෂ් කරන බව දැක්කෙමි. විශ්වාසනීය ආදායම් මාර්ගය වූයේ ආච්චීගේ පෙන්ෂන් එක පමණය. කාර්ය්‍යාලයේ වැඩ අවසන්වී තාත්තා ගෙදර එන්නේත් වෙනදාට වඩා පරක්කුවී, මද පමනට සප්පායම් වී වුවත්, ඔහු එනතෙක් අම්මා බත්පත අතට ගන්නේවත් නැත. මේ ආදරය කොතෙක් දැයි කිවහොත් අපේ පවුලේ බඩපිස්සා හෙවත් හත්වැන්නා වූ මල්ලීද, මව්කුස දරා ඉන්නා බව කීවේ ඉන්ද්‍රක්කාය. මේ ප්‍රශ්ණ කරදර කොපමන තිබුනත් අම්මා හෝ තාත්තා මේ වනතෙක් නෑදෑයින්ගෙන් උදව් පදව් ඉල්ලා තිබුනේම නැත.
අප පවුලේ දරුවන් හයදෙනාද, දෙමව්පියෝ සහ ආච්චීද, අපිත් සමග එකටම ජීවත්වූ ඉන්ද්‍රක්කා, ටේච්චි, රොමානිස් හාමි සමග සියල්ල දොලහකි. ලොකු අම්මා සහ දියණියද අප සමගය. රක්ෂණ සංස්ථාවේ සේවය අහිමි කරගත්, පවුල් ජීවිතයද ව්‍යාකූල කරගත් කිසිම රක්ෂණයක් නැතිව අතරමංවූ ධර්මපාල අංකල් නම් තාත්තාගේ යාළුවෙක්ද, ඔය අල්ල පණල්ලේ කඩාපාත් වුනි. මොහු සුරා පාණයෙන් තොර මුත් රේස් සූදුවට පුරුදු වූවෙකි. අඩුවකට තිබුනේ එච්චරය(ආච්චී කිව්වේ එහෙමය.). දැන් සියල්ලෝම පහලොස් දෙනෙකි. අද කාලයේ නම් මෙවැනි පවුලක් නඩත්තු කරන්නට නම් මධ්‍යම ප්‍රමාණයේ කුඩු මුදලාලි කෙනෙක්වත් විය යුතු බව නිකමට මෙන් අතීතය ආවර්ජණය කරන විට හිතට දැණේ.
ලොකු මල්ලී සහ ලොකු නංගීද පාසල් යන්නේ අවිස්සාවේල්ලේ පිහිටි පාසලකටය. පවුලේ හතරවෙනියා වූ මල්ලීද පාසල් යාමට පටන් ගත්තා පමණි. දැන් අනිත් වියදම්වලට අමතරව මොවුන්ගේ බස් ගාස්තුද එක්වී ඇත. ගෙදර තිබූ රත්තරන් බඩු සියල්ලම උගස් කර අවසන් බවත් තවත් ඉතිරිව ඇත්තේ, ආච්චී විසින් කිසිසේත්ම කාටවත් නොදී රැක බලාගත් පරම්පරාවෙන් පැවතෙනා වටිනා මාලයක්ය. මේ සියල්ලක්ම ගැන මට කලහැකි දෙයක් නොතිබුණත් මම මේවා ගැන විමසිලිමත් විමි. මට ගෙදර අය ගැන බොහෝ දුකය. මම බොහෝ කලකට පසු මේ සියල්ල උඩු යටිකුරු කිරීමට සමත්විය.
මේ කාලයේදී සෑම පවුලක සාමාජිකයෙකුටම හාල් පොතක් සහ මුළු පවුලටම සමුපකාර කාඩ් පතක් කියා වටිනා සහණාධාරයක් රජය විසින් සපයාදී තිබුනි. මෙම හාල්පොත නොයෙකුත් හැල හැප්පීම්වලට ලක්වී 1977දී ඇහටවත් නොදැකපු ඇට රාත්තල් අටක් බවට, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමා පරිවර්තනය කලේය. මේවා තුල නොයෙකුත් දේශපාලන කතා ඇතිමුත්, ඒවා අවුස්සන්නට ගියහොත් මතකය අවුල් විය හැක.
සමුපකාර කාඩ් එක කෙසේ වෙතත් හාල්පොත නම් දුප්පත් මිණිස්සුන්ට මහත් අස්වැසිල්ලක් විය. සමුපකාර කාඩ් එක අවතක්සේරු කරා එහෙම නොවේ. හාල්පොතෙන් නොමිලේ සහල් ලබාගැනීමට හැකිවූවා පමනක් නොව, හදිස්සියකට උගස්කර මුදල්ද ලබාගත හැකි මාර්ගයකි. හාල්පොත උගස් තැබීම අවනම්බුවක් ලෙස සමාජය සැලකීය. නමුත් ඊට වඩා අසික්කිත වැඩ ඉහල සමාජයේ අනන්තවත් සිදුවිය. මේවා උගස් ගන්නේ ගමේ සිල්ලර කඩේ මුදලාලි හෝ ගමේ පොලියට දෙන කාන්තාවන්ය. 1970-1977 කාලය තුල රට තුල නොයෙකුත් විපර්යාසයන් සිදුවිය. මේව ජනතාවට ඔරොත්තු නොදෙන තරම් විය. හාල් පොලු, මිරිස් පොලු, පාන් පෝලිම්, රතු සීනි, භූමිතෙල් චීත්ත මුල් තැනගත් මාතෘකා විය. අඟහරුවාදා සහ සිකුරාදා බත් ඉවීමේ තහනමත්,ෆීලික්ස් ඩයස්ගේ කුකුලන්ට ලක්ස්ප්‍රේ කැවීමත් මහත් ආන්දෝලණයකට තුඩු දුන් සිදුවීම්ය. මට මේවා ගැන යම්කිසි මතකයක් ඇතත් විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට නොහැක. සීනි හිඟය දැඩිව බලපෑ අතර හකුරු නිෂ්පාදනය සීඝ්‍රයෙන් ඉහල ගියේය. ලාවුළු වලින් පවා, තේ බීමට සුදුසු හකුරු වර්ගයක් නිපදවා වෙලඳ පොලේ අලෙවියට තිබුන බව මතකය.අල්ලට සීනි ගෙන තේ බිව්වේ ඔය කාලයේය.
කාලය ගෙවී යන අතරම අපේ ගෙදරද එක දෙක තුන වශයෙන් හාල්පොත් සිල්ලර කඩයට උගස්වුණි. උගස් තබන්නා විසින් නැවත බේරාගන්නා තුරු නොමිලයේ ලැබෙන සහල් සිල්ලර මුදලාලීට සමුපකාරයෙන් ලබාගත හැක. ඔවුන් එම හාල්ම තම කඩයේදීම වැඩිමිලට විකුනාගණී. අපටද සිදුවූයේ ඒ අවාසනාවන්ත තත්වයට මුහුණ දීමටය. මාසය මැදදී උගස් තබනා හාල්පොත් බේරා ගන්නට වෙන්නේ ආච්චිගේ විශ්‍රාම වැටුප ලැබෙන මාසේ අන්තිමටමය. එතකන් සිල්ලර කඩෙන් වැඩි මුදලට මිලදී ගත යුතුය. මෙය නොබිඳිය හැකි චක්‍රයක් මෙනි. මෙයින් ගැලවීමට ලෙහෙසිවූයේ නැත. හාල්පොත උගස් තැබීම බොහෝ දුප්පත් පවුල්වල සාමාණ්‍ය චර්යාවක් විය.
මෙය කොතරම් බරපතල තත්වයක් වූවා දැයි කිවහොත්, මාස දෙක තුනකට වතාවක් ග්‍රාමසේවක මහත්වරුන්ට ගෙයින් ගෙට ගොස්, හාල්පොත් ගෘහමූලික සන්තකයේ තිබෙනවාදැයි පරීක්ෂාකිරීමට රජයෙන් නියෝගයක් ලබාදී තිබූ බවද මතකය. අන්සතු හාල්පොත් තමන් භාරයේ තබාගැනීම වරදක් ලෙස හැඳින්වීය. මේ පරීක්ෂාව සිදුවන දවස් කිට්ටුවෙන විට සිල්ලර මුදලාලිගෙන් හෝ පොලී ගෙදරින් මේවා තාවකාලිකව තමන් සතුකර ගැණීමට මිණිසුන් පුරුදුව සිටියහ. පසු කාලයකදී හාල් පොත ඉවත් කර දමන ලදි. හාල් පොත් උගස් කෙරූ ගෙදර අරූත්, හාල් සහණාධාරය කැපූ ජේ.ආර්. ජයවර්ධනගේ ගෙදර මුණුබුරා අම්‍රිත් නිවුන් සොහොයුරනුත් එකම පාසලේ, එකම ශ්‍රේණියේ භාශා දෙකකින් එකම විෂයන් හැදෑරූ විවේක කාලයේ මිතුරන්ද වීම දෛවයේ සරදමක් මිස වෙන අහවල් දෙයක් දැයි විටෙක සිතේ.
මේ අතර තුර නොයෙකුත් සිදුවීම් රාශියක් මැද ලොකුඅම්මාගේ සහකරු නොයෙක් අවස්ථාවන්හීදි ඇය හමුවීමට පැමිනියත් ගෙදරට ගැනීමට අවසර නැතිබව ආච්චී තරයේම දන්වා සිටියාය. අම්මාද තාත්තාද මෙය ආච්චීට පැහැදිලි කර දීමට උත්සාහ ගත්තත් එය සාර්ථක නොවීය. ඔහු පැමිණෙන විට දියණියට කිරිපිටි ආදියත්, අනිකුත් ළමයින්ට රසකැවිලිද ගෙනවිත් ඒවා නිවස අසලදීම ලොකුඅම්මාට බාරදී යන්නට යන්නේය. කුඩා කාලයේදී ඕවා නොතේරුනත් දැන්නම් හිතෙන්නේ ඒ මොන කරුමයක්දැයි කියාය. එකෙක් සමග ජීවිතය ගෙවන්නට බැරිව තව එකෙක් සමග දීග ගියත් එකව ඉන්නට වරම් නැත. ඇල්පින් බාප්පාට හරිහමන් රස්සාවක් තිබුනේ නැත.ඔහුට අකුරු ශාස්ත්‍රයත් බැරිය. ඉන් ටික දොහකට පසු ඔහුට කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ පොල් වත්තක මුරකරු සහ එහි වැඩ කටයුතු බලාගන්නෙකු ලෙස රැකියාවක් ලැබුණි. එහි මැටි ගැසූ කුඩා පොල් අතු පැලක් සහ අවම පහසුකම් සහිත වටපිටාවක් ඇති බව මම දැණගත්තේ තාත්තාද, මමද, අම්මාද ලොකුඅම්මා සමග ඇයගේ දෙවැනි ගමනට කැන්දාගෙන ගිය දවසේය. ඇල්පින් බාප්පා ඔහුට හැකි පමණින් අපට සංග්‍රහ කලේය. තාත්තාට හුරු මචං භාශාවෙන්ම  ඇල්පින් බාප්පා සමග කයියට වැටුනු තාත්තා මදක් සප්පායම් වී තිබුනේ අළුත් මස්සිනා සමගය. දෛවයේ හැටි ඔහොමය. රාජ බිසවක් සේ සිටි ලොකු අම්මා අද කටු මැටි පැල්පතකය. ඕවා එතරම් ගනන් ගතයුතු දේවල් නොවේ යැයි කියු තාත්තා, උන් තුන්දෙනා සතුටින් ඉන්නවා නම් කාටවත් ඇති රුදාව මොකක්දැයි කියා ආච්චීටද දොස් පැවරීය. අදටත් ඔවුන් දියණිය සහ මුණුබුරන් සමග මහා සැප සම්පත් නැති වුවත් අප මෙන්ම සතුටින් ජීවත් වෙති. එය අප පවුලේ සියල්ලන්ටම අස්වැසිල්ලකි.
දැන් අපගේ ගෙදර පහලොස් දෙනාගෙන් දෙදෙනෙකු පිටත්ව ගොස් ඇත. තවකෙක් පිටත්ව ගියේ අපූරු විදිහකටය. ඔහු නම් තාත්තාගේ යාළුවා ධර්මපාල අංකල්ය.
මේ දුක් කරදර දිහා තව දුරටත් බලා සිටීමට නොහැකිවූ තැන, ආච්චිගේ වටිනා මාලය උගස් කිරීමට ඇය තීරණය කලාය. තම පරපුරෙන් පැවත එන එකක් නිසාත්, එය ගමේ තැනකට උගස් කරනවාට වඩා අවිස්සාවේල්ලට හෝ නුගේගොඩට ගොස් ගණුදෙණුවක් කර ගැණීමට ඇයට අවශ්‍යවිය. ගෙදරම කෙනෙක් ලෙස අපිත් සමගම සිටි ධර්මපාල අංකල් මේ සඳහා ඉදිරිපත් විය. තාත්තාට මේ වැඩය පැවරුවහොත් ඔහු අවශ්‍ය මුදලටත් වඩා මුදලක් ලබා ගනීවී යැයි සිතු ආච්චී ධර්මපාල අංකල්ට කීවේ මෙය උගස් තබා අවශ්‍ය මුදල් ප්‍රමාණයද, හොඳ දුම්කොලයක්ද රැගෙන එන ලෙසය. මේ වනවිට ආච්චී, සැර දුම්කොල සමග බුලත් හැපීමට පුරුදුවී සිටයාය. ඒ අන් කිසිවක් නිසා නොව, ඒ කාලයේ සිටම නින්දට පෙර බීමට පුරුදුවී සිටි බ්‍රැන්ඩි වීදුරුවට මුදල් යෙදවීමට නොහැකි නිසාය. සීයා සිටින කාලයේ සිටම වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් නිතර ඇය සතු විය. බෝතලය විවෘත කර එයට කරාබුනැටි තුන හතරක් ඇතුල්කරනා ආච්චි මාසයක් පමණ මෙය පාවිච්චි කරයි.ඊලඟ බෝතලය ගන්නේ අනිත් පැන්ශන් එකටය. බඩේ කැක්කුමට අපටද හැන්දක් පොවයි. වැඩිපුර හුරතල් වුනොත් හැඳි දෙකක්ම ගන්නත් පුළුවන්ය. සමහර වේලාවට තාත්තා, ආච්චීට හොරෙන් මදිපාඩුවට මේකෙන්ද දෙකක් හලාගන්න බව අම්මාද දණී. දැන් ඇයගේ එම අවශ්‍යතාවයද අප නිසාම අමතක කර ඇත. මට ඇය පිලිබඳ ඇත්තේ අති මහත් ගෞරවයකි.
දුම්කොලයද රැගෙන පැමිණෙන්නම් යැයි කියු ධර්මපාල අංකල්ව අපි ආපහු දැක්කේ අවුරුදු හතරකට හෝ පහකට පසුවය. ඔහු ආච්චීව බලන්නට පැමිණියේ ගංගොඩවිලටය. මාලයත් නැත. දුම්කොලත් නැත. ඔහු නැවතත් ගංගොඩවිල ගෙදර ඉස්තෝප්පුවේ තව අවුරුදු ගානක් අප සමගම ජීවත් විය. ඔය අපේ තාත්තාගේ එක යහළුවෙක්ය. තව අයද බොහෝය. නැවත ලියන්නෙමි.

No comments:

Post a Comment