Friday, October 5, 2012

අවුල් වන්නට පෙර..(9)….ලොකු අම්මා……

   මගේ ජීවිතය යනු කුඩා පොතක් නම්, එහි මුල් කවරය අම්මාය. එය සදාකල් ඇයට හිමි ස්ථානයමය. නිමක් නොමැති සාගරය මැද, රුවල් බිඳී ගිය නෞකාවක්, නියමුවාටද නොදැණීම ගල් පරවල හසුවී විනාශවෙන්නට ගිය මොහොතක, ඇය සුක්කානම තම දෑතට තද කර අල්ලා වෙරල කරා රැගෙන ආවාය. චණ්ඩ මාරුතයද, නොහික්මුනු ජල කඳද, අව්වද වැස්සද, මේ සියල්ලම උපේක්ෂාවෙන් ඉවසා දරා අප සියල්ලන්ම නිරුපද්‍රිතව ගොඩබිම කරා රැගෙන ආවේ අපේ අම්මාය.
   මම මෙතෙක් ඇය ගැන වැඩි දෙයක් ලියා නොමැත.හිත තුල තෙරපි තෙරපී, කැකෑරි කැකෑරී තිබෙන ඒ සෙනෙහස, ආදරය, ගෞරවය සහ වේදනාව තව තවත් පිරී ඉතිරී වාන් දමනා තෙක් මම ඇය ගැන දැනට නොලියමි. එය අකුරු කරවිය යුත්තේ තව දුරටත් තෙරපා තබා ගත නොහැකිවූ විටකදීය. ඇය මට පමනක් නොව අප සණුහරේටම ආලෝකය දුන් පූර්ණ චන්ද්‍රයාය.
   මගේ ජීවිත පොතේ ලියවී ඇති සෑම වචණයකම හරය, සත්‍යය සහ ඇමුණුම මගේ ආදරණීය බිරිඳ අරකීය. අරකී නොවුයේ නම්, මේ පොතේ ඉතිරිවන්නට තිබුනේ හිස් කඩදාසි පමණය. මම ඇය ගැනත් පසුව ලියන්නෙමි. ඉරා දැමිය නොහැකි පිටු ඇත්නම් ඒ සියල්ලකගේම හිමිකාරියන් වන්නේ ගැහැණුන්ය. අම්මා, ආච්චි, ඉන්ද්‍රක්කා, ලොකු අම්මා, අරකී,අරකීගේ ආදරණීය අම්මා (සෝමා ඇන්ටී මගේ ජීවිතයේ අනිත් අම්මාය) සහ අපේ දියණිය මින් ප්‍රධාණය. තාත්තා මගේ කතා පොතේ පිටුපස කවරය පමණය. ඔහුගෙන් අප ලද්දේ යහපත් ගතිගුණ පමණි. අන් සියල්ලක්ගේම හිමිකාරිය අම්මාය. ඒ  මිල කල නොහැකි මැණික අම්මාය.
   අම්මාගේ පවුලේ වැඩිමහලා වූ ලොකු අම්මා, මා ඉපදෙන්නටත් පෙර සිටම විවාහවී පදිංචිව සිටියේ මිනුවන්ගොඩ, වඩුමුල්ල නම් ග්‍රාමීය ප්‍රදේශයේය. ඉතාමත්ම නිහඬ මිනිසෙක් වූ මහප්පා සේවය කලේ කොළඹ කොටුවේ මහ තැපැල් කන්තෝරුවේ හෙවත් G.P.O. එකේය. ලොකු අම්මාට අයත්ව තිබූ ගංගොඩවිල නිවස කුලියට පවරා ඔවුන් වඩුමුල්ලේ පදිංචිව සිටියේ මහප්පාගේ දෙමව්පියන්ද වතුපිටි ආදියේද සියළුම වගකීම් ඔවුන්ට පැවරී තිබූ නිසා විය යුතුය.
   වඩුමුල්ල, දෙවලපොල කඩ මංඩියේ තිබු පොල් අතු බස් නැවතුමෙන් බැස, එතැනම ඇති කුඩා බොරළු මාරගයේ කෙලවරටම යනවිට මහප්පාගේ පැරණි නිවස හමුවේ. මේ කුඩා මාර්ගය දෙපස තිබුනේ පොඩි පොඩි පොල්වතුත්, කුඹුරු කිහිපයක් සහ විශාල නිවාසය. පොල් වත්තක් මැද තැනූ අලංකාර පල්ලියක්ද විය. මෙහි ගම් වැසියෝ ආර්ථික අතින් අඩුපාඩු ඇති උන් නොවේ යැයි කියන්නේ අවට තිබු සියළුම ගෙවල් දොරවල් ප්‍රමාණයෙන්ද විශාල, පෙනුමෙන්ද නවීන පන්නයේ ඒවා වූ බැවින්ය. ලොකු අම්මලාගේ නිවස පමනක් පෞරාණික පෙණුමෙන් යුත් හාන්සි පුටු, කවිච්චි, පෙට්ටගම් ආදියෙන් සමන්විත ගම්මුළාදෑණියකුගේ ගෙදරක් වගේ යැයි කිව හැකිය. මොවුන් සතු පොල් ඉඩම් සහ කුඹුරුද බොහෝය.
    කුඩා කාලයේදී වසර අවසාන පාසල් නිවාඩුවට මගේ එක් අනිවාර්ය නවාතැන් පොලක් වන්නේ ලොකු අම්මාගේ ගෙදරය. නව වසරේ පාසල් පොත් ලැයිස්තුවේ සෑම අංගයක්ම මා වෙනුවෙන් මේ දෙදෙනා මිලදී ගැනීමද පුරුද්දක් විය. වෙනත් කවුරුන් හෝ එයට සහභාගී වුවහොත් ඔවුන්ගේ අමනාපයටද හේතුවිය. දරුවන් නොසිටී මොවුන් ඉතා නිහඬ ජීවිතයක් ගතකල බව එකලද මට වැටහිනි. ඔවුන් දෙදෙනා නිදා ගත්තේද නිදන කාමර දෙකකය. මට මේවා නුහුරුය.
    ලොකු අම්මාත්, මහප්පාගේ වියපත් දෙමව්පියනුත්, ඔහුගේ මල්ලි කෙනෙකුත් හැර වත්තක් මැද්දට වූ විශාල නිවසේ අන් කිසිවෙක් නොවූ අතර, වතු පිටි වැඩ සහ කුඹුරු වැඩ කිරීමට නම මහප්පාගේ මල්ලීගේ වයසේ තරුණයෙක් වත්තේ කුඩා නිවසක පදිංචිවී සිටියා මතකය. ගොනු බැඳි කරත්තයේ පොල් පටවා, මෝලට රැගෙන යනවිට මොහුගෙන් මටද සංචාරයක් සඳහා ආරාධනා ලැබේ.
    මටද වයස අවුරුදු නවයක් හෝ දහයක් ඉක්මවූ පසු ලොකුඅම්මාගේ පවුලේ පලමුවැන්නා ලෙස පුතෙක් බිහිවිය. ඉන් අවුරුද්දකට හෝ දෙකකට පසු දියණියක්ද ලැබුණාය. මම නැන්දලාගේ ගෙදරින් නික්ම මහගෙදරට පැනයන්නේත්, ලොකුඅම්මා ඇයගේ සිඟිති දියණිය පමනක් සමග අපේ ගෙදරට පැන එන්නේත් මේ කාලයේදිය.
   ගෙදර එකම කාලගෝට්ටියකි. මගේ ප්‍රශ්ණය, ප්‍රශ්ණයක්ම නොවී දිනකට හෝ දෙකකට මාතෘකාවක්ද නොවීය. මට Lady Chatterley’s Lover කෘතියේ චැටර්ලී ආර්යාව සහ උයන්පල්ලා සිහිවන්නේ අපේ ලොකුඅම්මාගේ කතාව නිසාය. ඇය තම කුඩා දියණියද කැටිව අප ගෙදර පැමින ඇත්තේ ඔවුන්ගේ වතු පිටි බලාගත් ,කරත්තය දැක්කූ (ආච්චී තරහ පිට කලේ මේ වචණයෙනි )අර සේවකයා සමගය. සුදු කමිසය සහ සරමින් සැරසුනු මොහු ඉතා කඩවසම් හැඩි දැඩි මිනිසෙක් විය. අපේ තාත්තා තරම් නම් කඩවසම් නැත. මගේ විවාහයෙන් පසු අරකී පවා ඔහුව හැඳින්වූයේ ලයනල් රිචී නමින්ය. කොන්ඩය පීරුවේ එලෙසය. කෙසේ වෙතත් ගෙදරට පැමිනීමට ආච්චී අවසර නුදුන් නිසා ඔහු එවෙලේ කොහේ ගියා දැයි මම නොදණිමි.
   වැඩිහිටියන්ගේ හඬාවැලපීම්ද, පොඩි උන්ගේ හඬා වැටීම් සහ හිනාවන්ද, ඒ අතර තුර ආච්චීගේ බැන වැදීම්ද සියල්ලම අතරින් ගෙදරට ගොඩ වැදුනේ, මගේ ප්‍රශ්ණය විසඳීමට ගොස් සිටි තාත්තාය. ගෙදර වටපිටාව සහමුලින්ම වෙනස් වූයේ තාත්තාගේ නොමසුරු සිනහවත්, මදිපාඩුව පිරිමසා ගැනීමට රැගෙන විත් තිබු කුඩා බෝතලයෙන් වීදුරුවක් දෙකක් කටට හලා ගැනීමෙනුත් පසුවය. දැන් මතුවන්නේ සිනහව මුසු කතාබහය. මම තාත්තාට තවමත් ආදරේ ඔහුගේ ඔය ගතිගුණය  නිසාමය. ඔහු සරළය.
   මේ සුවිශාල අර්බුදය නිරවුල් කරදීම තමාටම පවරාගත් තාත්තා, සියල්ලක්ම සන්සුන් කර සිනහ කතාවලින් පසු කාබී නින්දට වැටුනේ පසුවදා මහප්පා හමුවීමට යායුතු යැයි කියා තීරණය කරමින්ය. පසුවදා අප නිවසට මොරිස් මයිනර් වර්ගයේ කුඩා රථයකින් මහප්පාගේ අයියාත් ඔහුගේ රියදුරාත් පැමිණියේ තර්ජනාංගුලියද ඔසවාගෙනය. බියවැද්දීමට, තර්ජනයට කිසිදිනෙක හිස නොනමන තාත්තා, කටවහගෙන ඉඳගනින් ඩෝ යැයි ඔවුන්ට අණකලේ අවට සිටින්නේ පොඩි එවුන් යැයිද මතක් කර දෙමින්ය. සෝමපාල නම්වූ මහප්පාගේ අයියා, මහප්පා මෙන් සුරා සූදුවෙන් තොර උපාසකයෙකු නොවීය. මොහුද අපේ තාත්තා මෙන් කෑමටද බීමටද රුසියෙකි. මොහු තාත්තා ගැනද හොඳින් දණී. 
     කුඩාවුන් සහ සෝමපාලගේ රියදුරා මෙම කථාබහට සවන්දීම නුසුදුසු යැයි තීරණය කල තාත්තා අපිවද ලෑස්තිකර ඉන්ද්‍රක්කා සමග සෝමපාලගේ වාහනයෙන් අවිස්සාවේල්ල නගරයට පිටත්කර යවා පැයකින් පමන පසු නැවත එන ලෙස දැන්වීය. රියදුරාට කණට කර යමක් පවසා මුදල් දුන්නේ අපට රසකැවිලිද, තාත්තාට අවශ්‍යදේ ගෙන්වා ගැනීමටය.
    ඉන්පසු සියළු සාකච්ඡා, සංග්‍රහවලින් පසු ඔවුන් පිටත්ව ගිය අතර, තාත්තා පසුදිනම මහප්පා හමුවීමට වඩුමුල්ල බලා පිටත්විය. තනිවම නොයන ලෙසටත්, අම්මගේ මල්ලීවද මගින් හමුවන්නටත් යෝජනා වූ නමුත් ඔහුට අවශ්‍ය වූයේ තනිවම යාමටය. තාත්තාගේ සාකච්ඡාවේ ප්‍රතිඵලය වී තිබුනේ මහප්පා නැවත එක්වීමකට තදබල අකැමැත්ත ප්‍රකාශ කිරීම සහ පුතා ඇයගේ භාරයට ලබා නොදීමත්ය. ලොකු අම්මා පැමිණියේ අතදරු දියණිය සමගය. මහප්පා පසුව විවාහයක් කරගෙන ඒ පුතන්ඩියගේ දරුවන් සමග අදටත් සතුටින් ජීවිතය ගත කරනා බව මම දණිමි. මට ඔවුන් හමුවූයේ බොහෝ කාලයකට පමන පසු එක් වරක් පමණි. ලොකුඅම්මා එතැනින් පසු ඔහුව දැක තිබුනේ එකම එක් වරක් උසාවියේදීය. තාත්තා නම් පසු කාලයේදීත් කොළඹ පැමිනිවිට මහප්පා හමුවීමට එකට යනබව මම දන්නෙමි.
    පවුල් ජීවිතය යනු මැනවින් තුලණය කරගත යුතු අති ප්‍රභල සම්බන්ධතාවයකි. අසතුටින් හෝ අසහනයෙන් එය නාමිකව පවත්වා ගෙන යාම මම නම් කිසිවිටෙක අනුමත කරන්නේ නැත. මෙවැනි සිදුවීම් එදාද සිදුවිය. අද බොහෝය. නමුත් සිදුවන ආකාරය ගැන නම් පැහැදීමක් නැත. අසතුටින් එක්ව සිටිනවාට වඩා සතුටින් වෙන්වී යාම වඩා වටී. නමුත් ලොකුඅම්මා වෙන්වී ආ ක්‍රමය තාත්තා කිසිවිටෙකත් අනුමත නොකලේය. ඔහු සැමවිටම පැවසූයේ එය සාකච්ඡාවකින් පසු සිදුවිය යුතු වෙන්වීමක් මිස, කෙනෙකුන් තනිකර පලායෑමක් සිදුනොවිය යුතු බවය. මෙය සත්‍යයකි. මහප්පාගෙන් නොලැබෙන දේ, ඇය තම ප්‍රේමවන්තයාගෙන් ලබාගත්තා විය යුතුය. නමුත් වෙන්වී යෑමේදී මහප්පාට සිදුවූ අසාධාරණය කිසිවිටෙක අමතක කල නොහැකිය.
        මේ සිදුවීම්වලින් පසුවත් කාලයක් යනතුරු ලොකු අම්මගේ හව්හරණයට සිටියේ අප පවුලේ අය පමණය. නමුත් බොහෝ කාලයකට පසුව අනිකුත් නෑදෑයින්ගෙන් තාත්තාට බොහෝ දොස් එල්ලවිය. ඒ මහප්පා හමුවී එදා සාකච්ඡාවට ගිය දින ලොකුඅම්මාගේ වටිනා රන් ආභරණ ඔහුගෙන් රැගෙන නොපැමිණීම නිසාය. මහප්පා ඒ සියළු දේ තාත්තාට බාර දී ඇත. තාත්තාගේ පිලිතුර වී තිබුනේ, මා පැමිනියේ නැවත මේ පවුල එකතු කිරීමට හැකියාවක් ඇත්දැයි විමසා බැලීමට මිස භෞතික සම්පත් එකතු කිරීමකට නොවන බවය. ඔහු අමතක නොකර විමසා බලා රැගෙන ආ එක් දෙයක් විය. ඒ අර සිඟිති දියණියගේ උප්පැන්න සහතිකයය. රන් ආභරණ සම්බන්ධ දෝෂාරෝපණයට තාත්තාගේ කදිම පිලිතුරක් විය. ඒ ඔහුට මුදල් තිබූ දිනෙක ඒවා සාදා දෙන බවටය. හැබැයි තාත්තාට කවදාවත් එතරම් මුදලක් තිබුනේද නැත. අප ජීවිත ගැටගසා ගත්තේත් බොහොම අසීරුවෙන්ය.
     ලොකු අම්මා සහ ඇයගේ ආදරණීය උයන්පල්ලාගේ ජීවිත කතාව සතුටින් සාමයෙන් ඒ දියණියද මුණුබුරන් සමගද ගෙවීයයි. ලොකු අම්මා යමක් කමක් දැණ උගත්තියක්ය. ඔහු අකුරු සාස්තරයක්වත් නොදන්නා ඇල්පින් සිඤ්ඤෝ විය. මේ නම් සැබෑ සොඳුරු ප්‍රේමයමය. ඔහු අපේ ආදරණීය ඇල්පින් බාප්පාය. බාප්පා නොකියා මහප්පා කියන්නට අපගේ දිව හුරු නොවූවේ ඇයිදැයි අදටත් මම නොදණිමි.මණුස්සකමට වඩා කෙනෙකුගේ බලයටත් මුදලටත් ගරු කිරීමේ වෘෂභ සංකල්පය එදා මෙන් අදත් පවතී. අපේ දියණියට ඔහු ආදරණීය සීයාය. ජීවිතය ගැන බොහෝ දේ අපි දියණියට කියා දී ඇත.
මගේ කථාව ලියන්නට ගොස් ලියන්නේ තවත් කථාය. මේවා නොලියා මගේ කථාව සම්පූර්ණ කල නොහැක. මට සමාවෙන්න. ඔබ දිගටම කියවන්න.

No comments:

Post a Comment