Saturday, September 29, 2012

අවුල් වන්නට පෙර(8)….ප්‍රථම නවාතැන

   ප්‍රියයන්ගෙන් වෙන්ව ජීවත් වීමට සිදුව ඇත. කෙසේ හෝ මම දැන් සිටින්නේ ගංගොඩවිල අප සතුව තිබූ නිවසින් ඉඩම් දෙකක් තුනක් මෙහාට වෙන්නට වූ නැන්දලාගේ ගෙදරය. ආනන්ද අයියාගේ කාමරයේම එක් ඇඳක් මට අයිති විය. පොත්පත්ද, ඇඳුම් පැළදුම්ද අම්මා විසින් නිසිලෙස අසුරා තබා පසුවදා උදේ පාසල් බස් රථයටත් ගොඩකර ඔවුන් පිටත්ව ගිය බවක්වත් මට මතකයේ නැත. එක දෙයක්නම් මතකය. ඒ මම නොහැඬු බවය.
    නැන්දලාගේ ගෙදර නියමිත කාලසටහනකට වැඩකරන තැනක්ය. දරුවන් හතර දෙනෙකුන් යුත් ඒ පවුලේ සියල්ලන්ම මට වඩා බොහෝ වැඩිමහල්ය. උසස් පෙළ හදාරමින් සිටියේ පවුලේ බාලයා වූ සර්ධා අක්කාය. වැඩිමහලා වූ බන්ධුල අයියා, නොයෙකුත් නව නිර්මාණයන් අත්හදා බලන්නෙකි. වරක් පිදුරු වලින් කඩදාසී නිශ්පාදනයක්ද, අලවන ගම් වර්ගයක්ද, අයිස් කෝපි, නෙල්ලි යුෂ වැනි දේ බෝතල් කිරීමද වැනි නිමක් නැති වැඩ රාශියක් වත්තේ මඩුවක් තුල සිදුවිය. මේවා සියල්ලක්ම පර්යේෂණ මට්ටමේම අඩාල වු නිශ්පාදනයන්ය. ගෙදර කවුරුවත් මේවාට උදවු නොවන නිසා අකමැත්තෙන් වුවද මට සහභාගි වෙන්නට විය.
   නිතරම පොත පත කියවන මොහු දක්ෂ ගුවන්විදුලි යන්ත්‍ර කාර්මිකයෙක්ද විය. ග්‍රැමෆෝනයක්ද, බොහෝම පැරණි ගී තැටි රාශියක්ද ,රේඩියෝ සඟරාව, සෝවියට් දේශය ඇතුලු බොහෝ පොත්පත් රාශියක් සහිත අල්මාරියක්ද මොහුගේ කාමරයේ විය. ගුවන්විදුලි සංස්ථාව විසින් මාසික සඟරාවක් ලෙස ප්‍රකාශ කෙරුනු රේඩියෝ සඟරාවත්, සෝවියට් දේශයත් මම ඉතා උනන්දුවෙන් කියවීමට පුරුදු වුනෙමි. සෝවියට් දේශය , කඩදාසි සහ මුද්‍රණ තාක්ෂණය අතින් ගත් කල ඉතා ඉහල මට්ටමක පැවතිනි. අද Hello සහ OK වැනි සඟරාවක් හා සමාණය. යම් තරමකට හෝ පොත්පත් කියවීමට මා හුරුවූයේ බන්ධුල අයියාගෙන් යැයි කිව යුතුමය. ඔහු හොඳ පොත පත තෝරාදී කියවන්නට යෝජණා කලත් මා කැමති වූයේ ලී මඩුවේත්, අල්ලපු වතුවලත් කවුරුත් හා එක්ව සෙල්ලම් කිරීමටය.
   පාසැල් ඇරී පැමිණ දහවල් කෑමෙන් පසු සෙල්ලමට සීමිත කාලයක් ලැබුනි. නැන්දලාගේ නිවසේ පලවෙනි කාමරය බුදු කාමරය විය. හැන්දැවේ හය වෙනවිට ඇඟ පත සෝදා පිරිසිඳු ඇඳුමෙන් සැරසී ගෙදර සියල්ලෝම එකට වාඩිවී බුදුන් වැඳීමේ අගනා චාරිත්‍රය සිදුකරන අතර, උදය, දවල්, සවස බුද්ධ පූජාව තැබීමද අනිවාර්ය අංගයක් විය. 1989 දී පවුලේ බාල පුතා වූ ආනන්ද අයියා සම්බන්ධව සිදුවූ කුරිරු සිදුවීමත් නිසා බොහෝ ලෙස මානසික කඩා වැටීමකට ලක් වූ නැන්දා , තමන් සතු සමහරක් දේපලද පන්සල්වලට පූජාකර, ඉන් බොහෝ කලකට පසු මිය පරලොව ගියාය. ඒ සිදුවීම මම පසුව ලියන්නෙමි.
   කාලසටහනකට වැඩ කිරීමත්, අධීක්ෂණයක් යටතේ ජීවත් වෙන්නට සිදුවීමත් එතරම් රුචි නොවීය. මෙතනදී මම වැරදි බව මම දනිමි. නමුත් මට මේවා නියමාකාරයෙන් වටහාදීමට කිසිවෙක් නොවීය. මමත් තවත් පාසැල් මිතුරන් දෙදෙනෙකුත් පාසල් බසය මගහැර, පාසලෙන් පසු පිට්ටනියටවී ටික වේලාවක් සෙල්ලම් කර ටවුන්හෝල් එක ලඟින් බසයට ගොඩවීමට පුරුද්දක් කර ගතිමු. ටවුන්හෝල් දක්වා යන ගමන කෞතුකාගාරය මැදින් ඇති අතුරු පාරෙන් යන අප, ඒ වයසේදී කිසිවිටකත් නොකල යුතු වැරද්දක් නිසා මහත් අපහසුතාවයකට පත්විය.
        එකල කෞතුකාගාරය අසල ටොෆී, කඩල, සිගරට් ආදිය විකුණනා වෙලෙන්දන්ගෙන් අඩුවක් නොවීය. මොවුන්ගෙන් සිගරට් මිලදී ගැනීමට තහංචියක් නොතිබූ නිසාත්, විකිනීමට ඔවුන් මැලිකමක්ද නොදැක්විය. කුඩා එවුන් කඩයට යවා සිගරට් ගෙන්වා ගන්නා වැඩිහිටියන් එකල විය. එය නරක පුරුද්දක් විය. අප තිදෙනාද සිගරට් මිලදී ගෙන විහාරමහාදේවී උද්‍යානයේ ගසක් උඩ තිබූ අට්ටාලය උඩට නැග මෙලෝ හසරක් නැතිව දුම් උරන්නෙමු. දිනක් වැදගත් පෙනුමෙන් යුතු මහත්මයෙක් අට්ටාලයට නගින පඩිපෙල පාමුලට විත් වහාම බිමට බසින්නට අණ කලේය. පැයකට අධික කාලයක් ඔහුගේ දේශණයටත්, ගෝරනාඩුවත් ඇහුම්කන් දුන් අප තිදෙනාගෙන් දෙදෙනෙකු හඬන්නට පටන්ගත් නිසා නැවත විහාරමහාදේවී උද්‍යානයට පැමින අසුවුවහොත් පොලීසියට භාරදෙන පවසා යන්නට පැවසුවේය. එවකට ප්‍රසිද්ධ නාරි සහ ප්‍රසව වෛද්‍යවරයෙක්ගේ පුතෙක් වූ ප්‍රසන්න අද නවසීලන්තයේද, පංතියේ කිරි බෝතල් බෙදීමේ රාජකාරිය පැවරී තිබු නිසා කිරා යැයි ඇමතූ හේරත්ද විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක තනතුරක් හොබවන කිරා නම් වෛද්‍යවරයා, එදායින් පසු අදටත් දුම්පානයෙන් තොර අතර, මටනම් කොතෙක් උත්සාහ කලත් ඒ නරක පුරුද්දට තිත තබන්නට බැරි විය. අදටත් පාර තොටේදි කුඩාවුන් සිගරට් බොනවා දුටුවිට ඒ සිද්ධිය මතකයට නැගේ.
   මේ පලහිලව්ව නිසා එදා ගෙදර එන්නට බොහෝ පරක්කු විය. විත්තිකරු එනතෙක් විනිශ්චය මංඩලය නොඉවසිල්ලෙන් බලා සිටී. චෝදනාව ප්‍රමාදවී රපෝර්තු කිරීමය. බරපතලම චෝදනාව වාර්තාවීමට කිසිම ඉඩක් නැත. දෝෂාරෝපණ රාශියකට මුහුණ දී එකම දිනයේදී දෙවරක් හඬාවැටෙන්නට සිදුවූ නිසාත් දින කිහිපයක් ගතකරේ ඉමහත් කණස්සලෙනි. මේ සිදුවීම අප තිදෙනාගෙන් කිසිවෙක් පාසලේදීවත් නැවත කතා නොවුයේ , ඒ වැදගත් මහතාට පින් සිදුවන්නට ඇතිවූ තිගැස්සීම නිසාම විය යුතුය.
   දිනක් හැන්දෑවේ සෙල්ලම් කරමින් සිටි මට නැන්දාගේ “ගෙදර එන්නේ නැද්දයි” යන හඬ ඇසුනේ ඉඩම් දෙක තුනක් එහාට වන්නට  අප සිටි දිශාවටය. ඒ හඬින්ම මට දැනුනේ නැන්දා තදින් කෝපවී ඇති බවත්, තවත් චෝදනා පත්‍රයකට මුහුණ දෙන්නට වෙන බවත්ය. මම ගෙදර නොයෑමට තීරණය කලෙමි. හැඳ සිටි කොට කලිසමත්, කමිසයත් හැර සෙරෙප්පු දෙකක්වත්, අන් කිසිම දෙයක්වත් නොමැතිව ඒ අසලම ඇති අටේ කණුව බස් නැවතුම දෙසට පියමන් කලේ මමම දැයි මට තවමත් අවිශ්වාසය.
   මා සතු කිසිවක් නැත. ඉතිරිව තිබුනේ ඉහල තල්දූවේ ගෙදරට යෑමේ අධිෂ්ඨාණය පමනී. කොළඹ- අවිස්සවේල්ල 122 බසයක් පැමිනෙන තුරු එඩ්වින් ස්ටුඩියෝ එකට මුවාවී සිටි මා බසය නැවතූ සැණින් ඉදිරිපස දොරටුවෙන් දඩිබිඩියේ ගොඩවූයේ බසයෙන් බසිනා මගියෙක්ගෙන් හොඳ බැනුමක්ද අසමින්ය. වාසනාවකට හෝ අවාසනාවකට මට බැන වැදුනු මගියා, විජේරාමේ පදිංචිව සිටි අපේ මාමා කෙනෙක්ය. ඔහු මා හඳුනාගත්තේ බසය පනගන්වා ඉදිරියට ඇදීමෙන් පසුව බව මට පෙනුනි.
   ඔබ දන්නා පරිදිම එකල පෞද්ගලික බස් සේවයක් නොතිබූ අතර, ලංගම බස්වල පිටුපසටවී සිටිනා කොන්දොස්තර මහතා පස්සෙන් පන්න පන්නා ටිකට් ගන්නැයි, ටිකට් ගන්නැයි හඬා වැටෙන්නේවත්, අණ කරන්නේත් නැත. ඉදිරියෙන් ගොඩවනා මගියා පිටුපසට පැමිණ ටිකට් ගන්නා තුරු, කොන්දොස්තර මහතා ඔහුගේ ලෝකයේ කල්පනාවක නිමග්නව සිටිනවා හැර කිසිම කරදරයක් නැත. ඉල්ලුවොත් ටිකට් එකක් දීමත්, නැවැත්වූ බසය යලි ධාවනයට බෙල් එක ගැසීමත්, සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට කොලයක කුරුටු ගෑමත් ඔහුගේ රාජකාරිය විය. “ඇතුල්වීම පිටුපස දොරටුවෙන් පමණි” යන දැන්වීම පැමිණියේ බොහෝ කලකට පසුය. 
    කොහොමින් කොහොම හරි අවිස්සාවේල්ලට පැමිණි බසයෙන් පිටවූ මා, තාත්තාගේ කන්තෝරුවට ගොස් ඔහු හමුවීම සහමුලින්ම අමතක කරදමා ඉහල තල්දූවට පයින්ම ගෑටුවෙමි. අවට සිරි නරඹමින්ද, ත්‍රාසය, බිය, ශෝකය ,කුතුහලය ආදී නන්වැදෑරුම් රසයන් ගෙන් යුත් මනසකින් යුතුව ගෙදරට ගොඩවූ පමනින් සියල්ලන්ම පුදුමයට පත්වූ අතර, ආච්චී දුවවිත් මා සිපගන්නට විය. කවුරුන් සමග මා පැමින ඇත්දැයි විමසිල්ලෙන් බැලූ අම්මා එකවරම හඬා වැටෙන්නට විය. ඔවුන් යමක් තේරුම් ගන්නට ඇත. සිපගැනීම්, හඬාවැටීම්, පාපොච්ඡාරණ සියල්ලම අවසන, රාජකාරී නිමවී පැමිණෙන තාත්තාට මුහුණ දිය යුතුය. කිසිදා ගුටියක් නොකා ඇති මා, එදාද තාත්තාගෙන් ගුටි නොකෑවා පමනක් නොව ඔහුගේ ආදරයටත් පාත්‍ර විය. ඔහු මා සනසාලන්නට විය. ගහෙන් වැටුනු එකාට ගොනා ඇණීමේ කලාව තාත්තාට කිසිදා ගෝචර නොවීය.
     මේවන විට අප පවුලේ හයවැනි දරුවා ලෙස ඉතා පියකරු නැඟණියක්ද එකතුවී සිටී. ගෙදර ආර්ථිකය එතරම්ම යහපත් නොවන බව රාත්‍රී ආහාර වේලෙන්ම වටහා ගැනීමට හැකිවිය. පසුව ආච්චීද ඒ බව මට කියාදුන්නේ අම්මාගේ මාල, කරාබුද උගසට තබා ඇති බවත්, ඇය පලඳන්නේ ආච්චීගේ කරාබු යුවලක් බවත් කියාය. 
                  මේ වනවිට නැන්දලාද කලබලවී ඇතිබව සහසුදක්සේ මම දනිමි. එදා සිකුරාදා රාත්‍රියක් නිසා තාත්තා පසුවදා පාන්දරින්ම ගංගොඩවිල බලා පිටත්වූයේ, එකල දුරකථන භාවිතාවක් නොවු නිසා තත්වය සාකච්ඡා කිරීමටය. ඒ වෙන විට මට බැන වැදුනු බස් මගියා මේ විස්තරය නැන්දාට පවසා ඇති බව මට වැටහුනත්, ඒ බව දෙමව්පියනට නොකීවෙමි.
    මම නැන්දලාගේ ගෙදරින් පැන ආවේ මගේ නොදැණුවත්කමත්, මානසික අපහසුතාවයත් නිසාය. පසුදින තවත් කෙනෙක් ගෙදරින් පැන ඇවිත් නැවතුනේ අපේ ගෙදරමය. එයත් අපහසුතාවයක් නිසා විය යුතුය. නමුත් නොදැණුවත්කමක් නිසා නම් නොවේ යැයි හිතමි. ඒ අපේ ලොකු අම්මාය. මල ජංජාලයකි. මම නැවත ලියමි.

No comments:

Post a Comment