Saturday, December 28, 2013

මගේ ලැප්ටොප් එක ඩෝප්!!!!!

මගේ ලැප්ටොප් එක ඩෝප්!!!!!

නත්තල් දවස්වලට පස්සේ මගේ ලැප්ටොප් එකේ කීබෝඩ් එක මගේ අතේ තිබුනු වීදුරුව උදුරලා අරන් බිව්වා. තාම ඩෝප් බහින්නේ නැහැ. දැන් ඉස්පිරිතාලේ. අනුන්ගේ එකකින් කොටන්නේ. ටිකට් කපනකම් මුකුත් කරන්න බැහැ. එතකම් නිහඬ වෙන්නම්.
සියලු දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

Saturday, December 21, 2013

අවුල් වන්නට පෙර..(22)…මාළු, මස්, සිගරට් සහ ගංජා…


මහ රෑ දෙගොඩ හරියේ සිට උදෑසන දක්වා ඉරිදා පොළේ හැඩරුව මම ඔබට කිව්වෙමි. මෙතැන් සිට ඉරිදාපොළ අවට මුළු ප්‍රදේශයම ඇවිස්සුණු කඩි ගුලක් වැනිය. ඊළඟට පැමිණෙන්නේ මාළු වෙළෙන්දන්ය. ඒබරං මුදලාලිගේ මාළු ලෑල්ලට අලගු තියන්නටවත් හැකිවෙන්නට මාළු ගෙනාවානම් ගෙනාවේ ඇක්මන් මුදලාලි පමණි. මුළු පොළටම මාළු ලෑලි හතරක් විය. ඒබරං මුදාලාලි ව්‍යාපාරයේ තෝරෙක් නම් අනිත් අය සාලයෝ, හුරුල්ලෝ බඳු විය. විශාල ලොරියක් පුරවා මාලුද, අයිස්ද, වැලිද පුරවා රැගෙන එන ඒබරං මුදලාලිගේ තොග බෑමටත් ලෑල්ලේ ඇසිරීමටත් ගෝලයෝ පස් හයදෙනෙක්ම් සිටියහ. හාල්මැස්සාගේ සිට ඉස්සා, කකුළුවා, තෝරා තලපතා දක්වා ඕනෑම වර්ගයක් මෙහි විය. ඒබරං මුදලාලි කොතරම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ද කිවහොත් දෙහිවල, ගල්කිස්ස වැනි මුහුදුබඩ පැති වලින් පවා ධනවතුන් එන්නේ ඉරිදා පොළේ මේ මාළු ලෑල්ලටය. රත්තරන් සුරයක් පැළඳ, දැල් බැනියමකින් උඩුකය සරසා සිටි මොහු ලීයෙන් තැනු විශාල මුදල් පෙට්ටිය භාරව සිටියේය. කටේ උඩු ඇන්දේ රත්තරන් දතක්ද විය. එවැනි දත් පැලඳවූ තවත් අයෙක් අප ගමේ විසීය. ඒ රෙජා ආච්චීගේ පුත ලාල් අයියා විය. රත්තරන් දත් පැළඳීම, මේ කාලයේ කටට කරාබු දමනවා වැනි මෝස්තරයක් විය. ලාල් අයියා වඩාත් ප්‍රකට වූයේ සරුංගල් සෑදීමටය. ඉංග්‍රීසි කොඩියේ ආකාරයට ඇලවූ කොම්බුවාත්, ඇස් පිනවන වර්ණයෙන් සැරසූ මොනර සරුංගලයත්, යාර ගණන් දිග වලිගයක් සහිත නයා සරුංගලයත් මොහුගේ ප්‍රියතම අංගයන් විය. කාට නොලැබුණත් මට ඉන් එකක් ලැබෙන්නේ, රෙජා ආච්චිලාගේ කටුක ජීවිතවලට අපේ දෙමව්පියන් ඇති හැකි කාලයේ හොඳින් සලකා හැටි නිසා බැව් ලාල් අයියා මට කිහිප වරක් පවසා ඇත.
ගමේ හැමෝගේම ආදරයත් ගෞරවයත් දිනා සිටී ඒබරං මුදලාලිගේ ප්‍රධාන ගෝලයා වූයේ මාළු ආනන්ද නම් අප ගම් වැසි තරුණයාය. ආනන්දගේ මූලිකම රාජකාරිය වූයේ ලොකු මාළු සිල්ලරට කැපීම පමණය. තළන්නේ පොඩිකරන්නේ නැතුව රාත්තලක් හෝ රාත්තල් භාගයක් එක පෙත්තටම කපා තරාදියට දැමුවොත් එය සීයට අනූනවයක්ම නිවැරදිය. බැලන්ස් තරාදිය නම් දෙපැත්තෙන්ම පෙනෙන කටු කැරකවෙන තරාදිය, මිලදීගන්නා අයට පෙනෙන්නට එල්ලා ඇති බැවින් මාළු ආනන්දගේ මේ වික්‍රමය බලන්නට කොල්ලෝ කුරුට්ටෝ රැස්වී සිටී. ආනන්දට පෙම් බැඳි කෙල්ලෝද බොහෝ වූහ. දැන් කාලයේ කියනා විදිහට නම් මාළු ආනන්ද ස්මාර්ට් බුවෙක් විය.
වෙල් මාළු විකුණන උදවිය සිටින්නේ හබරල කොළ මත මසුන් අසුරා පොළවේ තබා ගෙන විකුනමින්ය. ඉරටුවල හෝ වෙනත් වැල්වලින් එකට අමුණා ඇති මේ මාළු වැල් වෙළඳාම් කරන්නේත් ඔය අවටින් පැමිණෙන දුප්පත් මිනිසුන්ය. ඌරු මස් වෙළෙන්දෝ දෙදෙනාත් ඉරිදා පොළේ ජනප්‍රිය දසුන්ය. එතනම එහා පැත්තෙන් මඤ්ඤොක්කා වෙළෙන්දාද වාඩිලා ගන්නට වග බලා ගනී. අඩුවකට ඇත්තේ මේ දෙදෙනාම එකතුකරන පානීය ප්‍රවාහය පමණි. අවශ්‍ය අයට වනාත පාරේදී සුදු පාටින්ම ඒවා නිරතුරුවම බලා සිටිය බව එකල වැඩිහිටියෝ නොදැන සිටියා නොවේ. ගාත් පිටින්ම ලෑලි මත තබා ඒ මත ඌරු ලේ අතුල්ලමින් සුදු හමක් ඇති ඌරා රතු සමක් ඇති ඌරෙක් කිරීමද දෙනෙතට රසකාරයක් වැනිය. මස් කැපිමේදී තරාදියට දැමීමට පෙර කටු කැබැල්ලක් හෝ අතුනුබහන් ටිකක් හොරෙන්ම රිංගවීමටත් එය හබරල කොළයේ ඔතා දීමටත් සමත් ගෝලයෝද ඔවුන් අතර වූහ. වංචාවෙන් තොර වෙළදාමක් එදත් නැත . අදත් නැත. නමුත් එදාට වඩා සාපේක්ෂව අද වැඩිය. මාළු ඒබරං විශාල ධනවතෙක් වූයේ මේ කපටිකම් වංචාවල් වලට ඔහු යොමුවූයේ අඩුවෙන් නිසා විය යුතුය. වැලි නැති මාළු ගන්නට නම් වැලි නැති මුහුදකට යා යුතුය. අපිට කොහෙද මාළු…අපි යනවද මුහුදු.
ගමේ බොහෝ අයගේ පුරුද්දක් වූයේ උදය වරුවේ මේ සියල්ලක්ම සූදානම් වෙන තෙක් පොළ සිරි නැරඹීමය. යමක් කමක් ඇති උදවිය නම් උදෑසනින්ම බඩු මිලදී ගැනීමට කැමතිය. දහවල් වනවිට අව් රශ්මියෙන් බැටකන එළවළු පළතුරුවලට වඩා උදය වරුවේ ඒවා ඉතා නැවුම්ය. මාලුන්ට නම් අයිස් ඇත. දහවල් වෙනවිට වෙලන්දන් විසින් මේ මිල කෙමෙන් කෙමෙන් පහළට දමන්නේ හැකි පමණින් තොග අවසන්කර හිස් අතින් ගෙදර යෑමටය. නැතිනම් හවස් වරුවේද ලොරි කුලියකට යටත් වීමට සිදුවේ. අපේ ආදරණීය සිරියාවති ලොකු අම්මානම් පොළේ යන්නේ පොළ වහන වෙලාව ආසන්නයේය. ඒ අපි ගෙවු දරිද්‍රතාවයේ මග සටහන්ය. ඉතාම සියුම් පිහියකින් පමණක්, තළන්නේ පොඩිකරන්නේ නැතුව හරියටම රාත්තල කපා තරාදියට දා ගත හැකි අධ්‍යාත්මක සිතුවිලි බොහෝය. මාළු ආනන්ද සතුව තිබූ ඒ මන්නය ,මම අධ්‍යාත්මක පිහියක් කරගත්තා දැයි මට නිතරම සිතේ. මම කිසිවිටෙකත් ෂයිලොක් කෙනෙක් නොවුයේ , කිසිදෙයකින්ම රාත්තලම ඉල්ලු මිනිසෙක් නිසා නොව, රාත්තල හරියටම බෙදූ මිනිසෙක් නිසා විය යුතුය.
පෙට්ටියක් බයිසිකලයේ බැඳගත් පුෂ්පා අයිස්ක්‍රීම් වෙළෙන්දාද, වෙරළු, අඹ අච්චාරු වෙළෙන්දියන්ද සිටින්නේ පොළ පිටිපස්සට වෙන්න පරණ පාර වන්නටය. නාවින්නේ චන්ද්‍රා පපඩම් වෙළෙන්දාද හොඳ ආකර්ශණයකි. කුඩා භූමිතෙල් ලිපක් මේසයක් මත තබා මිනිස්සුන්ට පෙනෙන්නට බදින පපඩම්, කුඩා බැලුම් බෝලයක් තරමටම පිම්ඹෙන්නේ මොන ආශ්චර්ය්‍යකින් දැයි අදටත් මට නොතේරේ. හොඳින් පිම්බුණු පපඩම්, කොළ නොමැති හෝ ඇති කුඩා අත්තක එල්ලා තබා ප්‍රදර්ශනයට තබන්නේත් නත්තල් ගසක තෑගි එල්ලුවා මෙනි. තෙල් බෙහෙත් වෙළෙන්දාද. මැජික් පෙට්ටියෙන් නොයෙකුත් දේ පෙන්වන පිචර්මෑන්ද පොළට එන්නේ මාස දෙකකට වරක් වගේය. ඒ එකම බොරුව නිතරම කරොත් ගම්මුන්ගෙන් බේරුමක් නැති නිසා විය හැකිය.
මෝටර් රථවලින් පැමිණෙන පිරිස ඉතා අවම වූවත්, අපේ ජම්බුගස්මුල්ලේ සෝමාවති ලොකු අම්මා එන්නේ ඔවුන්ට හිමිව තිබු ඕපල් රෙකාඩ් කාර් එකේය. බොහෝ දුරට ඒය පදවන් එන්නේ ලයනල් අයියා හෝ දයානන්ද අයියාය. දයානන්ද අයියා නම් පසුකාලීනව ජ’පුරේ සිටි ගණිත මහාචාර්ය්‍යවරයෙක්ය. මොහො ඉතා නිහඬ මිනිසෙක් විය. සතියටම ඇති තරමින් බඩු මිලදීගෙන ,ආච්චීටත් මටත් අන් අයටත් යමක් මිලදී ගන්නට අමතක නොකරන ඇය , ඇයගේ නැගණියවූ දුල්ලාවති නැන්දාට වඩා සිනහමුසුව ජීවත්වූ කෙනෙක් විය. මේ සියල්ලක්ම පසුකාලවලදීත් අප පවුලට උදව් උපකාර කර ඇත. ඒවා පසුවට ලියන්නෙමි.
දුල්ලාවති නැන්දා පදිංචිව සිටියේ හරියටම පොළ ඉස්සරහම තිබූ නිවසවූ මගේ පළමු නවාතැනේය. පොළට පැමිණෙන බයිසිකල්කරුවන්ට ඒව නවතා තබන්නට සිදුවූයේ නැන්දාගේ ගෙදර තාප්පය යාබද කුඩා බිම්කඩේය. එය නිවැසියන්ටද මහත් කරදරයක් විය. මේ හැම කරදරයක්ම ඉරිදාපොළ වෙනුවෙන් ඉවසා දරා ගැනීමට සියලු ගම් වැසියෝ කාරුණික වූහ. බයිසිකල් බලාගත්තේ කල්‍යාණරත්න නම්වූ එක් කකුලක් පෝලියෝ රෝගයට ගොදුරුවූ, නොන්ඩි ගසමින් ඇවිදින වැඩිමහල් තරුණයෙක්ය. නැන්දාගේ බිම්කඩට පින් සිදුවන්නට සෑම ඉරිදාවකම පාපැදිකරුවන්ගෙන් ඔහු යම්කිසි මුදලක් උපයා ගනී. එය ඔහුගේ එකම ආදායම් මාර්ගයවූ අතර සතියේ වියදමට එය සෑහෙන්නේ එතරම් බයිසිකල් ප්‍රමාණයක් පොළට පැමිණෙන නිසා විය යුතුය.
කාලය මෙසේ ගෙවී යන අතරේ අපේ කුළුබඩු පැකට් ව්‍යාපාරයේ මුදලාලිද හෙමින් හෙමින් සාර්ථක දියුණුවක් ලබමින් පවතී. පසුකලෙක රියෝනි ප්‍රඩක්ට්ස් නමින් ඔහුගේ ව්‍යාපාරය යම් සාර්ථකත්වයක් අත්කර ගත් අතර පාපැදියේ ගොසින් බඩු බෙදීමත්, එම පාපැදියේම පෙට්ටියේ පටවා අවශ්‍ය කළමනා රැගෙන ඒමත් , ඒ කුඩා නිවසේම පදිංචිවී සිටීමත් අත හැරියේ නැත. රියෝනි මුදලාලිගේ ඊළඟ අත්හදා බැලීම වූයේ රුලං සහ තල අළුවා හැදීමේ කටයුත්තයි. ජෝරිස්ලාගේ වත්තේම විශාල තාච්චිවල මේ රසකැවිලි හැදුවේ මේ කුඩා මිනිසා සහ බඩදරු බිරින්දෑය. මහරගම ගුණසිරි බුල්ටෝ හැදෙන්නේත් මේ කාලපරිච්ඡේදය තුළමය. අපේ රියෝනි මුදලාලි සිනහවෙවී කියන්නේ මහරගම බුල්ටෝ නම්, ඉරිදා පොළේ රුලං කෑලී කියාය. මමද කාටත් හොරෙන් ඉරිදාපොලේ වෙළෙන්දෙක් වූයේ ,ජෝරිස්ලා සමග රුලං වෙළෙන්දෙක් වීම නිසා යැයි කීමට මැලි නොවෙමි. අවට පදිංචිව සිටි පාසැල් මිතුරන්ගේ දෙමාපියන්, ඥාතීන් පොළට පැමිණීම නිසා ඔවුන්ට මුහුණ නොපෙන්වීමටත් වග බලා ගත්තෙමි. උඩහමුල්ල ඩිපෝව අසල පදිංචිව සිටි හර්ෂ සූරියාරච්චිගේ අම්මාගෙනුත් දෙල්කඳ සිට පාසැල් පැමිණි කිරි හේරත්ගේ ඥාතින්ගෙන් බේරි සිටිය විය යුතු විය. මේ අය මා හඳුනන්නේ මම ඔවුන්ගේ ගෙවල්වල ගොස් ඇති බැවින්ය. ඒවා පසුවට ලියන්නෙමි.
පොළ අසල තේ කඩ දෙකම උදේ 9-10 සිට වෙලන්දුන්ගෙන් පිරී ඉතිරී යයි. වරින්වර තේ බීමත්, බීඩි සිගරට්, බුලත් විටට පැමිනීමත් වෙලෙන්දන්ගේ සිරිත විය. විටින් විට රත්නසිරි ලාච්චුවෙන් මාටියා ගහනා රුපියලේ කාසි සාක්කුවේ ඔබා ගැනීමත් මගේ රාජකාරිය නිසා ඒ ගැනද කල්පනාවෙන් සිටිය යුතුමය. නැත්නම් අපේ චිත්‍රපටි බැලීමත්, සංගීත සංදර්ශන කෙරුවාවත් හබක්ය. රත්නසිරිගේ පියාටත්, තේ හදන ජයසේනටත් ඇස්වසා මේ හැම දෙයක්ම කරගැනීම අපි දෙදෙනාටම වීර ක්‍රියාවක්ම විය.
ඒ කාලයේ සිගරට් වර්ග කිහිපයක්ම විය. Four Aces(ෆෝරේස් )සහ බ්‍රිස්ටල් ෆිල්ටර් සහිතය. Three Roses(තීරෝස් ) සහ Capstan Navy Cut (නයිකට් ) ෆිල්ටර් නොමැති ඒවා විය. ස්පෝර්ට්ස්මන් කියා තවත් වර්ගයක් තිබුනි.මට මතක හැටියට බ්‍රිස්ටල් එකක් ශත 13කි. පාන් රාත්තලක් ශත 35කි. පාන් කාලක් ගන්නේ නම් ශත 9කි. ප්ලේන්ටියේ ගාන මතක නැත. මේ සිගරට් ඉතා වෛවර්ණ පැකට් වල අසුරා තිබුණත් බොහෝ අය මිලදී ගත්තේ එකක් දෙකක් හෝ පහක්ය. මේ හිස් පැකට් කඩවල්වලට ගොස් එකතු කර හිත්ගන්නා සුළු නිර්මාණ කෙරූ බවත් මතකය. ස්පෝර්ට්ස්මන් පැකට් වල සිටි එම නමක් නැති ක්‍රීඩකයාගේ රුව සියුම්ව කපා ඒ පැකට්ටුවම රේසින් කාර් එකක් (ලැම්බොගිනි ) කරේත් අපමය . මෙම සිගරට් පැකට් කඩා සිල්ලරට විකිණීම සඳහා බහා තැබීමට ප්ලාස්ටික් කෝප්ප වැනි භාජනයක් සැපයූවේ සිගරට් ඒජන්සි වලින්ය. පෝරේස් කොළපාට බඳුනකද, තීරෝස් රතු පාට එකකද, බ්‍රිස්ටල් සුදු බඳුනකද, නයිකට් දැමීමට නිල් පාට ප්ලාස්ටික් බඳුන්ද විය. සිගරට් තොග වශයෙන් කඩවල් වලට සැපයූවේ ආකර්ෂණීය පෙට්ටිවලින් සැරසූ බයිසිකල් පදවාගෙන ආ සේවකයන්ය. සිල්ලර කඩවලට සිගරට් සපයා එවෙලේම මුදල්ද රැගෙන ගොස් ඒජන්සියට භාරදීම එකල සිරිත විය. මොවුන් අත විශාල මුදලක් තිබෙන නිසාම අතුරු පාරවල් වලදී මුදල් පැහැර ගැනීම් වලට ලක්වෙන නිසා මේ ක්‍රමය සෙමින් සෙමින් වෑන්වලි බෙදා හැරිමේ ක්‍රියවලියකට පරිවර්තනය විය. අප පළාතටම සිටි එකම සිගරට් ඒජන්සි කරුවා වූයේ නුගේගොඩ ගුණවර්ධනය. ඇස්වාට්ටුවේ අරුණදිසිද, අතුරුගිරියේ ගුණසේකරද එවන් අය බව මතකය. සිගරට් ඒජන්සියක් ලබාගැනීම එසේ මෙසේ කාරියක් නොවේ. ඒ සඳහා මුදල්ද විශ්වාසයද ,සිලෝන් ටුබැකෝ එකට ඔප්පු කල විය යුතුව තිබුණි. ඒ එදාය.
අද නම් කතාව දිගය. නමුත් ශෘතියට අනුව ගැයිය යුතුය. මා මේ ප්ලාස්ටික් සිගරට් බඳුන් ගැන කිව්වේ එක කාරණයක් නිසාමය. ඉරිදාපොළ වැඩ කටයුතු අවසන් වෙත්ම තේ කඩද වසා දමනු ලැබේ. වලං වෙළෙන්දන් දෙදෙනා රත්නසිරි හමුවීමට එන්නේ මීට මොහොතකට පෙරය. ඒ සිගරට් බඳුන්වල අඩියේ ඉතිරිවෙන සිගරට් වලින් හැලෙනා දුම්කොළ හෙවත් සිගරට් කුඩු ඉල්ලා ගැනීමටයි. ඔවුන් අප දෙන්නාගේ හිතවතුන් වෙන්නේ මේ නොමිලයේ සිදුවන ගනුදෙනුව හරහාය. මේවා ගෙනයන්නේ කිනම් අවශ්‍යතාවයකට දැයි අපි විමසිලිමත් වූයෙමු. ඒ විමසිලිමත් වීමේ ප්‍රතිඵලය වූයේ, ජීවිතයේ ප්‍රථම වතාවට මටත් රත්නේටත් ගංජා සුරුට්ටුවක් ඉරීමේ අත්දැකීමද ලබාදීමය. මොවුන් ගංජා ඔතන්නේ සුදුපාට සව් කඩදාසියකට මේ සිගරට් කුඩුද එකතු කරමින්ය. ඉන්පසු එය ඉතා තද කළු පැහැති කාප්පය නම්වූ දුම්කොලයෙන් තදවෙනසේ එක් හැඩයකට ඔතා ගැනීමට සමතුන්ය. අබ්‍යාවාකාශයට යන රොකට්වල හැඩය ගත්තේ මේ රොකට් වලින්ද නොදනිමි. හැබැයි දෙකම රොකට් බව වැටහුණේ ඒ මුළු රැයම වමනය දැමීමත්, හිස කැරකැවීමත්, නින්ද නොයන රාත්‍රියක් වූ නිසාමය. මා මේ ලියන්නේ මගේ අත්දැකීම් විනා අන් කවරක්වත් නොවේ.
මාගම් තෙන්නකෝන් නම්වූ, ඒ නිර්ව්‍යාජ ලේඛකයා සහ මාධ්‍යවේදියා පිළිබඳ ඔහුගේ පුත් සඳුන් තෙන්නකෝන් ලියු රසවත් පොතකද මෙවන් ගංජා ඉරීමක් ගැන සඳහන් වේ. පොතේ නම මතක නැත. මාගම් විත්ති කියා යාන්තමට කිව හැක.

Monday, December 16, 2013

අවුල් වන්නට පෙර…(21)..ඉරිදා පොළේ-තතු එකලේ….


මා මේ ලියන්නේ මතු බුදුවීමට පෙරුම් පිරූ බෝධිසත්වයෙකුගේ කථා පුවතක් නොවේ. එදිනෙදා සමාජයේදි ඔබ හමුවෙන තවත් සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය ගොඩ නැගී ආ මාවතයි. ඒ නිසා මෙහි හොඳ-නරක, සුදු-කළු, යහපත්-අයහපත් පුරුදු සහ ගති පැවතුම්ද පුද්ගල චරිතද පිළිබඳව ලියා තැබීමට සිදුවේ. මේ ලියන්නේ දුටු දේ සහ අත්විඳි දේ පමණය. හොඳ දෙයක් ඇත්නම් ළඟ තබා ගැනීමත් නරක දෙයක් ඇත්නම් ඉවතට දැමීමත් ඔබගේ අයිතිය වේ. යහපත් සංවාදයක් සහ සාකාච්ඡාවක් තුළින් ඉදිරියට යාම දියුණු සමාජයක දැකිය හැකි ධනාත්මක ලකුණක් බව සිතමි.
පොසොන් කූඩු ව්‍යාපෘතිය තුළින්, කුඩාකල ඇසුරු කල මිතුරන්ටත් වඩා එහාගිය තවත් මිතුරු ඇසුරකට මංපෙත් විවර විය. ඔවුන් නම් අප ගම ඇතුළට වන්නට පදිංචිවී සිටි සම වයසේ උන්ය. ශෝභන, ඡන්න, අජිත් ඇතුළු කිහිප දෙනෙක් ඔය කංඩායමේ සිටියහ. තවත් එක් විශේෂිත කොල්ලෙක් වූයේ මට වඩා වසරක් වැඩිමහල් රත්නසිරිය. මොහුගේ පියා ඉරිදාපොළ අසලම කොස් ගහ යට තේකඩය හිමි ඇඩ්ඩින් මුදලාලිය. අයියා මෝටර් එතීමේ දක්ෂයෙක්වූ මෝටර් රංජිය. මොවුන්ගේ මුල් ගම බොරලැස්ගමුවය. මීට වසර කිහිපයකට පෙර අපේ මහගෙදර තාත්තා සහ මාමා එකතුවී කාටත් හොරා විකුණ දමා තිබුණේ ගේ ඉදිරිපිට ඔය තේ කඩේ මුදලාලිටය.ඔවුන් පදිංචිව සිටියේ, අදත් මට මහගෙදර යැයි කියවෙන අපට අයිතිව තිබුණු එම නිවසේය.
රත්නසිරි නොම්බර එකේ විනෝදකාමියෙක් විය. නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ ඉගෙනුම ලැබු ඔහු පාසල් ගියාටත් වඩා නොගිය දවස් වැඩි බව අපි කවුරුත් දන්නෙමු. කාලයක් යන තුරුම ඔහු මගේ ප්‍රියතම මිතුරා විය. මම ඔහුට ඉංග්‍රීසි පාඩම්ද කියා දුන්නෙමි. තම පියාගේ තේ කඩයේ මුදල් කූඩුවේ බොහෝ විට වැඩ කරනා රත්නේ, මට ඒ අසලම නිතර ගැවසෙන්නට යැයි කියන්නේ කීයක් හෝ තාත්තාගේ ලාච්චුවෙන් අතයට ගසා මට සාක්කුවේ දමා ගැනීමටත් ඒ මුදල් අපට චිත්‍රපටි බලන්නට වියදම් කිරීමටත් බව මම නොදැන සිටියා නොවේ. ඔය වයසේ ඕවා නොකෙරුවේ කවුදැයි නොකීවාට බොහෝ අය එහෙමය. මම කැමත්තෙන්ම කියන්නේ මා දුටු එකල වටපිටාවයේ සත්‍යමයමය.
බොහෝ මහන්සියෙන් හරි හම්බ කරනදේ විනාශ කරන්නේ ඒවා නිකම්ම උකුලට ලැබුණ එවුන්ය. මගේ තාත්තා එවැන්නෙකි. මට සිදුවුණේ අහිමිවූ දේ නැවත ගොඩ නගන්නටය. මම යමක් ජයගත්තෙක්මි.ඒ තවකෙකු පරයා යාමට නොව, නැගිට සිටීමට පමණි. සබඳ අපි කඳු නොවෙමු. කපුගේ ගැයුවෝ ඔය සත්‍යයමය. මම ඒ ගැන පසුව ලියන්නෙමි. ඔබ නිවැරදිව හිතා බැලුවොත් ලෝකයේ බොහෝ විට වඩාත්ම සාර්ථක මිනිසුන් වන්නේ අළු මතින් ගොඩ නැගුණු එවුන්ය.ආදර්ශයන් බොහෝය (මේ ගැන පසුව ලියමි ). මේ සඳහා ලංකාවේ නිදසුන් බොහෝය. කෙසේ වුවත් අපි මිය යා යුතුවන්නේ කිසිවෙකුටත් වරදක් නොකෙරූ මිනිසුන් ලෙසය. මම යම් තාක් දුරකට හෝ එය එසේ නොවන්නට වග බලා ගත්තෙක්මි. මා කරගත් වරද නම් මම කවුදැයි හඳුනා නොගැනීමය. මේ නම් ඉතා ගැඹුරු මාතෘකාවක්ය. දැනට ඒ ගැන නොසිතමු.
එදා පටන්ම ඇඩ්ඩින් මුදලාලිගේ කඩයට එන අයට කියවීමට දිනමිණ පුවත්පත මේසයක් උඩ තබා තිබුණි. අල්ලපු තේ කඩය වූ ඩයස් බඩා මුදලාලිගේ කඩයේ තිබුණේ ඇත්ත පත්තරේ පමණක් විය. ඔහු තද කොමියුනිස්ට් පාක්ෂිකයෙක් විය. මේ තේ කඩවල ලාච්චුවලට හරි හමන් මුදලක් වැටෙන්නේ ඉරිදා පොළ දවසට පමණය. පොළේ වෙළෙන්දන් උදේ දහවල් ආහාරය ගන්නේ මේ කඩ දෙකෙන් බැවින් එදාට කඩ දෙකේම හැදෙන්නේ ඉස්පැසල් කෑම වර්ගය. චිකන් නම් මසුරන්ය. හැදුණේ නම් නැති නැති ගානය. මිරිසට හැදු තලපත් මාළු සමග පරිප්පු සමග පාන් කෑමට වෙළෙන්දෝ බොහෝ විට ඇලුම් කළහ. මේ කියන්නේ මම රත්නසිරිගේ අග්‍ර ශ්‍රාවකයෙක් වී සිටි නිසාමය.
මා පදිංචිවී සිටි නිවසට යාබ්දව තිබු ලීමඩුවේ ඩේලිනිව්ස් පුවත්පත් තිබුණේ එහි අයිතිකාර ලයනල් අයියාට කියවීම සඳහාය. ගෝලයා පේමානන්ද ඩේලිනිව්ස් ක්‍රීඩා පිටුව බැරි බැරි ගානේ හෝ කියවන්නෙක් විය. මම ඔහුට එය පරිවර්තනය කර දීමට සිටි එකම එකා විය. ඩේලිනිවුස් ක්‍රීඩා පිටුව තරම් ක්‍රීඩා තොරතුරු ගෙන ආ වෙනත් පුවත්පතක් නොතිබූ තරම් විය. මිහිර, සතුට වැනි පුවත්පත් අවට ගෙවල් වලින් ලැබෙන සතිපතා බෝනස් විය. සරසවිය ජෝරිස් පවුලේ සතියේ පුවත්පත ,අනිකුත් ගෙවල්වල අතින් අත මාරුවෙන තොරතුරු ගොන්නේ රසවතා විය. බුදුසරණ පත්තරේ අකැමත්තෙන් හෝ කියවීමට දුල්ලාවති නැන්දා බල කරන්නට යෙදුණි. අලිබබා, බටකොළ ආච්චීලාගේ ලෝකයෙන් මිදුණු මගේ ලෝකයේ ගාමිණි ෆොන්සේකලා, ඔස්වල්ඩ් ජයසිංහලා, ඇන්තනි සී පෙරේරලා, රොබින්ලා,ඇලෙක්සැන්ඩ්‍රලා, බන්දු මුණසිංහලා රජ කරන්නට විය. මාලනීලා, සුමනලා, ස්වීණතාලා, ජෙනිටාලා සිහින මවන්නන් විය. ඔය කිව්වේ සිනමාව ගැනය. සංගීතය ගැන පසුව කියන්නෙමි. මේ නොයෙකුත් විෂයන් අළලා තිබූ පුවත්පත්, තැනින් තැනට මාරුවී, ඒ ගෙවල්වලට ගොඩ වැදී කියවීමේ පුරුද්ද, මගේ කියවීමේ ආශාවට මෙන්ම මිනිසුන් හඳුනාගැනීමේ හැකියාවටත් මහඟු පිටිවහලක් විය.
දෙල්කඳ ඉරිදා පොළට සිකුරාදා රාත්‍රියේ සිටම පැමිණෙන වෙළෙන්දන් කොටසක් විය. ඒ මැටි වළන් සහ මුට්ටි,මැටි කළගෙඩි පුරවාගත් බරබාග දෙකකි. සතිය පුරාම නොයෙකුත් ප්‍රදේශයන්හී සති පොළවල්හී වෙළඳාමේ නියැලෙන මේ සුන්දර මිනිසුන් සිකුරාදා සිට පොළ ඇතුළේම එක් මුල්ලක වාඩිලා ගනී. පොළ අයිතුකරුවාගේ ඥාතියාවු සෝමපාල අයියාගේ නිවස තිබුණේත් පොළ භූමියේය. වලං වෙළොන්දෝ වාඩි ගහන්නේ ඔය අසලමය. කරත්තය යටින් එල්ලෙන ලණු දැලේ, ඉවුම් පිහුම් අඩුම කුඩුමද, ලන්තැරුම් භූමිතෙල්ද සුරක්ෂිතව රැගෙන එන මොවුන් උයා පිහා ගත්තේද එතැනමය. මේ මිනිසුන්ට කවදාවත් අමතක නොවුණු එක් දෙයක් විය. ඒ තම ජීවිතය ගැටගස්සා ගැනීමට හුස්ම රැලක්වූ ඒ ආදරණීය සත්වයාගේ මූලික ගිලගැනීමවූ පිදුරු මිටි කිහිපයය. එයට නිතරම කරත්තයේ ඉඩ කඩ සලසා තිබුණි. ඔවුන් සතුන්ගෙන් වැඩගත්තා මිස, ඒ සතුන් වන්දනා නොකළ යථාර්ථවාදී මිනිසුන්ය. මම එවුන්ට හිස නමා ආචාර කරමි. බොරු වන්දනා, බොරු කාරයින්ගේ ජීවන මාර්ගයන්ය. මේ සොඳුරු මිනිසුන් එසේ නොවේය.
අවට මිනිසුන් වලං මුට්ටි,කළ මිලදී ගැනීමට සෙනසුරාදා දිනය යොදාගත්තේ මිලදී ගන්නා අනිකුත් බඩුමුට්ටු සමග මේවාද ඔසවාගෙන යන්නට අපහසු නිසා විය යුතුය. මේ වෙළඳුන්ගේ පහසුව පිණිස පොළ ඇතුළේම කුඩා වැසිකිළි දෙකක් සහ වතුර පයිප්පයක්ද විය. හයිලෙවල් පාරේම නගර සභා වතුර පයිප්පයක්ම තිබූ නමුත් මෙහි පිත්තල කරාමයක් නොවීය. ඇරීම සහ වැහීම සිදුවුණේ යකඩයෙන් නිමවූ ඉතා කුඩා ලීවර ක්‍රම වේදයකිනි. පිත්තල කරාම සහිත පාරට සවි නොකළේ ඒවා ගලවාගෙන ගොස් විකුණා ගන්නා උදවිය එදාත් හිටිය නිසා විය යුතුය. ඒ අපි දෙපයින් සිට ගන්නා මිනිසුන් නිසාමය. සතුන් සතුන් වන්නේත් ,අපි මිනිසුන් වන්නේත් කෙසේද යැයි අසා ඇති මුත් , නැවත සිනහා වෙනවා හැර හඬන්නට කඳුළු නැත.
මගේ මේ කතාව වෙනත් ඉසව්වකට ගෙන යෑමේ උවමනාව තදින්ම තිබුණත් දෙල්කඳ හා අවට පරිසරයත් ඒ හා බැඳුණු සොඳුරු මතකවලින් ගැලවී යාමට මට සිත් නොදේ. තව දුරටත් මේ හා බැඳීසිටීමට මට අවනත නොවූ මගේ චෛතිසිකය මට බල කරයි. ඒ කාටවත් වැදගත් නොවෙන මගේ කථාවේ ලොකුම සාක්ෂිකාරයා මම නිසාම විය යුතුය. එය කොතරම් දුරට ඔබට ගෝචර වේ දැයි මම නොදනිමි.
සෙනසුරාදා රාත්‍රිය වෙනවිට පොල් පුරවාගත් කරත්ත පහ හයක්ද හයිලෙවල් පාරට මුහුණලා නවාතැන් ගෙන වෙළඳාමට සූදානම්ය. පොල් වෙළඳාමද සෙනසුරාදා සිට පටන් ගනී. කරත්ත හයක් හෝ හතක් නොවරදාම පැමිණේ. ඒ අසලින් ගමන් ගන්නා අයට පොල් මෝලක සුවඳ හඳුනාගැනීම අපහසු නොවේ. මොවුන් පොල්පී හෝ පැලපොල් කියනා අපි කවුරුත් කැමති ඒ රසවතාද විකුණාගන්නේ, පොල් යනු පොල් විතරක් නොවේ යන සත්‍යයද මතක් කර දෙමින්ය. සමහර කරත්තවල සෙවිල්ලට සුදුසු පොල් අතුද , කරත්තයට උඩින් පටවා ගෙන විත් මුදලට විකුණු බව මතක් කර තැබීම සුදුසය. හනසු, පොල්මල්ද ඉඳ හිට විකිණීමට ඇති බව මම දැක ඇත්තෙමි.
ඉරිදා පාන්දර තුන හතරේ පටන් හයිලෙවල් පාරට මුහුණලා පදිංචිවී සිටිනා අයට නම් නිදාගැනීමට ඇති එකම බාධාව වන්නේ ලොරි දෙක තුනකින් පැමිණ එක් එක් වෙළඳුන්ගේ එළවළු, පලතුරු ගෝනි ගොඩ බෑමේදි ඇතිවන මහ ඝෝෂාකාරී කට හඬවල්ය. එක් ලොරියක කුඩා වෙළඳුන් 15-20ගේ පමණ වෙළඳ ද්‍රව්‍ය රැගෙන එයි. මේවා එක් එක් සිල්ලර වෙළෙන්දාට අයිති බඩු මුට්ටුය. මේවා එක එකාට අනන්‍ය සලකුණු වලින් වෙන් කරවා ගත හැකිය. බඩු බාන උදවිය මේවා පොළේ ස්ථානගත විය යුතු තැන් මැනවින් දත්තෝ වෙති. මේ ක්‍රියාවලියෙන් පසු නියමිත වෙළෙන්දෝ පොළට පැමිණෙන්නේ පාන්දර පහට හයට පමණය. ඔය අතරතුර ගෝනියක් හිල්කර බණ්ඩක්කා අහුරක්, මිරිස් අහුරක් හොරකම් කරපු උදවියත් නොසිටියාමම නොවේ. නමුත් මහා පරිමාණයේ හොරකම් සොරකම් සිදුවූයේ නැත. එයට ප්‍රධාන හේතුව වූයේ සිකුරාදා, සෙනසුරාදා සිට ගැවසෙන පොල් සහ වලං කරත්තකරුවන් අවට ගැවසීම බව අපි දනිමු. මේ ග්‍රාමීය ක්‍රියාපටිපාටියන් වලින් බැහැරව නව ජීවන රටාවන් විවෘත හෝ සංවෘත ලෙසින් බිහිවුනා මිස ඒ කිසිවක් අපේ බඩ වියත ඉල්ලා සිටි දේවල් නොවේ. අපි බලා සිටිමු. ඉරිදාපොළේ සෙනසුරාදා රාත්‍රිය මිස ඉරිදා වරුව මම කිව්වේ නැත.
මේ කොටස මෙතනින් ලියා අවසන් කරමි. ලියා තැබිය යුතු දේ බොහෝය. දැනට නවතමි. මට වෙහෙස නැත. ඔබ වෙහෙසට පත් කිරීම යුතු නොවේ.

Wednesday, December 11, 2013

අවුල් වන්නට පෙර…(20)…මහා පොසොන් පහන් කූඩු රාජයා..


දෙල්කඳ ඉරිදාපොළ මගේ ජීවිතයට ඉතා සමීප ස්ථානයක් වන්නේ මා එම ප්‍රදේශයේම ඉපදුණු කෙනෙක් නිසාම නොවේ. අප හැන්දෑවට ක්‍රිකට් ගසන්නේත්, රස්තියාදුවේ කේන්ද්‍රස්ථානය වන්නේත් ,ඉරිදා හැර අන් සියලු දිනයකම කල් ගෙවන්නේත් පොළ මැද්දේත් නිසාමය. මේ කාල වකවානුව තුළ ඉරිදාපොළ තරුණ සමාජය නම් සංවිධානයක් බිහිවන්නේ අපට වඩා වැඩිමහල් අවට තරුණයින්ගේ මූලිකත්වයෙනි. එය ඉලක්ක වූයේ වෙසක් හෝ පොසොන් මාසයට යම්කිසි ප්‍රදර්ශනාත්මක වැඩ කොටසක් ඉටුකිරීමටය. මෙහි මූලිකත්වය ගත්තේ ජෝරිස් පවුලේ වැඩිමල් සොයුරන්, අපේ ආනන්දසිරි අයියා, ඕලෝන් තිලකේ, කැටයම් හෙන් රි, මෝටර් රංජි. චන්ද්‍රපාල, සරත්චන්ද්‍ර, කොණ්ඩ සමන් වැනි තරුණයින්ය. මොවුන් වැඩිදුර පාසල් නොගිය වුන් වුවත් නොයෙකුත් විෂයන්හී ඉතාමත් දක්ෂ කාර්මිකයින් මෙන්ම, අති ශූර සංවිධායකයින් විය. අපි දෙවැනි පෙළ ක්‍රීඩකයෝ වූයෙමු. ගම් වැසියන්ගේ නොමසුරු ආධාරයත්, පොළ අසලම කුඩා තේ කඩයක් පවත්වාගෙන ගිය ඩයස් (බඩා) මුදලාලිගේ බනිස්, තේ පැන් සහ ඉඳහිට සිගරට් සංග්‍රහයත් මේ සංවිධානයේ කොඳු නාරටිය විය. මාතර පැත්තේ සිට පැමිණ එහි පදිංචිව සිටි මේ සොඳුරු මිනිසා ඉන් ටික කාලයකට පසුව මිය ගිය අතර අවිවාහක මෙන්ම තනිව කඩයේම ජීවත්වූ ඔහුගේ අවමංගල්‍ය කටයුතු සියලු චාරිත්‍ර සහිතව සිදුකිරීමට අපේ කට්ටිය වගබලා ගත්තෝය. මම සමාජයේ අත්පොත් තබන්නේ ඔවුන් ඇසුරේය. ඒ පාඩම් කිසි දිනෙක වැරදුණේ නැත. අද නාගරික දරුවාට නැත්තේද මෙවන් සොඳුරු වටපිටාවන්ය.
පොසොන් සමය අළලා මිහින්තලා පර්වතයේ විශාල අනුරුවක් නිර්මාණය විය. එවැන්නක් ඒ පැත්ත පළාතේ ඉන්පෙර සිදුවී තිබුණේ නැත. සියල්ලක්ම යන්ත්‍රාසාරයෙන් ක්‍රියාත්මක කිරීමද විශේෂත්වයක් විය. මිහිඳු හිමියන් කඳු මුදුනට වැඩීම, මුවා පසුපස හඹායන තිස්ස, එකල මැජික් මෙන් විය. වඩාත්ම වැදගත් කාරනයනම් මේ සියල්ලකගේම නිමැවුම් කරුවෝ අවට ඉලන්දාරින්ම වීමය.
අදටත් ඉතා ප්‍රසිද්ධ රත්මලාන වෙසක් පහන් කූඩුව ප්‍රදර්ශනය ඇරඹෙන්නේත් මේ කාලයේමය. අද මෙන් මේවා නැරඹීමට මුදල් අය කිරීමක් නොවීය. සියල්ලක්ම සිදුවූයේ ප්‍රදේශවාසීන්ගේ මුදල් ආධාර වලින් පමණය. රත්මලාන වෙසක් උළෙලට සැරසෙද්දී, ඉරිදාපොළ පොසොන් උළෙලට කූඩුවකින් සරසන්නට කතිකාවිය. මෙය අති සාර්ථක ලෙස වසර 4-5ක් එක දිගටම පවත්වාගෙන යෑමට ගංගොඩවිල තරුණයෝ සමත්වූහ. ජෝරිස් පවුලේ දක්ෂ වඩු කාර්මිකයින්ගේ දෑත්වලින් නිමවු මහ කූඩුවේ සැකිල්ල සහ අනිකුත් කූඩුත් කැටයම් වලින් සැරසුවේ හෙන් රි කුරේ නම්වූ දක්ෂ කැටයම් ශිල්පියාය. මෙවැනි දැවැන්ත නිර්මාණයක් කිරීමේදී බොහෝ කාලයක් සහ මහන්සියක් දරන්නට වෙන්නේ කැටයම් කපා අවසන් කිරීමටත්, ඒවා රන් සහ රිදී පැහැති කුඩු වර්ග වලින් නොයෙකුත් මාදිලියේ හැඩ ගැස්වීම්වලට ලක් කිරීමටත්ය. මහ කූඩුවේ බඳ සැරසීම සඳහා බුදුරුව හෝ සිදුහත් රුව සහිත කැටයම් කැපුවේ හෙන් රිගේ දෑතින්ය. පරිවාර කූඩු සීයකට වඩා තිබෙන නිසා මේවායේ කැටයම් චිත්‍රයට නගා කැපිය යුතු ආකාරය සටහන් කර දෙන හෙන් රි, ඉතිරිය කරගෙන යාමට පවරන්නේ දෙවැනි පෙළ සාමාජිකයින් වූ අපටය.
දෙවැනි පෙළවූ අපිට පැවැරී තිබු රාජකාරී අතරින් විශේෂිත වූයේ ආධාර එකතු කිරීමට යෑමය. මීට අමතරව වඩුවැඩ, යාන්ත්‍රික වැඩ නොහැකි නිසා ලිය කියවිලි වැඩත්, භාණ්ඩාගාරික ආනන්දසිරි අයියාට ගනුදෙනු ලියා තැබීම වැනි රාජකාරි වැඩවලට උදව් දීමටත් මට සිදුවිය. මුදල් ආධාර එකතු කිරීමට යෑම සිදුවන්නේ හැන්දාවරුවේ සිට රාත්‍රී කාලය දක්වා යාමයේය. ගෙදර ගෘහමූලිකයා වූ පිරිමින් ගෙදර ඉන්නේ හැන්දාවරුවේ නිසාත්, සමාජසේවා වැඩකටයුතු වලදී පිරිමින් දක්වන ආධාරය ගැහැනුන්ට වඩා බොහෝ වැඩි බවත් මම දැනගත්තේ ඔය ආධාර එකතු කිරීම් වලදීය. තවත් අපි කොලුවන් ඉගෙනගත් දෙයක් වන්නේ මේ සියල්ලෙන් පසු නිදහසේ උඩහමුල්ල කනත්තට ගොඩවී සිගරට් ඉරීමේ කලාවයි. එයින් නම් නැතිවූ දෙයක් මිස ඇතිවූ දෙයක් නැත.
රත්තනපිටිය, එගොඩවත්ත, පැඟිරිවත්ත, ගම්සභාහන්දිය, කට්ටිය හංදිය, ඇඹුල්දෙණිය, නාවින්න අපේ ආධාර එකතු කිරීමේ සීමාවන් විය.කංඩායම් දෙකක් දෙපැත්තට පිටත්වේ. ආරාධිත අමුත්තන් නොහොත් කූඩුව ප්‍රදර්ශනයට විවෘත කරන්න පැමිණෙන අයගේ නම් ලැයිස්තුවක් සපයා ඇති බැවින් එම ගෙවල් වලට නොයා යුතුය. ස්ටැන්ලි තිලකරත්න, ජිනදාස නියතපාල, කේ.පි.සිරිවර්ධන යන පළාතේ දේශපාලකයින්ගේත්, අවට ධනවත් මුදලාලිලගේ නිවෙස් දන්නා නිසා ඒවා එතරම් ගැටලු නොවේ. අනිත් අවවාදය වූයේ ආර්ථික දුෂ්කරතා ඇතැයි සිතන නිවෙස් වලට ගොස් කරදර නොකරන ලෙසත්ය. නිවෙස්වලට ගොස් ඔවුන්ට පැමිණි කාරණය පහදා දී ආධාරයක් ලබා ගැනීමට නම් ඔබ මුඛරි විය යුතුය. සාර්ථකව පැහැදිලි කර දිය යුතුය. ප්‍රියමනාප විය යුතුය. ආධාරය අඩු වැඩිවන්නේ ඔබේ දක්ෂතාවය මතය. ගැහැණු ළමයි සිටිනා නිවෙස්වලට ගොස් වැඩ දැමීමට ගොස් අනාගන්නා උදවියද සිටී. ඒ කෙසේ වෙතත් මොන කංඩායමේ සිටියත් කතා පැවත්වීමේ වැඩිබර වැටෙන්නේ මා වෙතය. බොහෝ කලාකරුවන් ජීවත්වූ අප පළාතේ මිල්ටන් මල්ලවාරච්චි සිටියේ ඇඹුල්දෙනියේ ජය මාවතේය. අපගේ එකෙක් මිල්ටන්ගේ තදබල රසිකයෙක්ය. ඔහු රත්නසිරි නම් විය. මම ඔහු ගැන පසුව ලියමි.මේ සුප්‍රසිද්ධ ගායකයා හා දොඩමුළුවීමට මුගේ ඇති කැමැත්තට අපි ඉඩ ලබා දුන්නෙමු. ඉරිදාපොළට කූඩුවක් ගහනවා ආධාරයක් ගන්නැයි ආවේ කියු විට, ඉරිදාපොළට කූඩුවක් ගහන එක පොළේ අයිතිකාරයා කරයිනේ මල්ලී යැයි කියා, සාක්කුවට අතදමා යම්කිසි මුදලක් සිනහ මුසු මුහුණින් පිරිනමා දොර වසා ගත්තේ ඔහු සහ තවත් ප්‍රසිද්ධ පිරිසක් අඩි පුඩි ගසමින් සිටිය යුතු නිසා විය යුතුය. ඔය සිදුවීමෙන් වසර තිහකට පමණ පසු, දැන් මා සිටිනා පළාතේ සංවිධානය කල මිල්ටන් මල්ලවාරච්චි සමරු උපහාර උළෙලකදී මට සමරු කථනය කිරීමට සිද්ධවීමත් දෛවයමය විය යුතුය. එය වටිනා කතාවක් බව මගේ යහළුවෝ පැවසීය.
පොසොන් කූඩුවේ යාන්ත්‍රික වැඩ කටයුතු මෝටර් රංජි සහ රැවුල් අංකල්ගේ (අවාසනාවන්ත සිදුවීමකින් පිහි ඇණුමකට ලක්වී මිය ගියේය )සහභාගිත්වයෙන් සිදුවූ අතර පළමුවෙනි වරට නිර්මාණය කෙරුණේ පටාචාරා කතා වස්තුවේ පිළිබිඹුවක්ය. එම කතා පුවතට අදාළව සියලු නිර්මාණ මොවුන්ගේ දෑත්වලින් සැකසුණු අතර පටාචාරාගේ කුඩා දරුවා වෙනුවෙන් පමණක් විශාල රබර් බෝනික්කෙක් යොදා ගැනිණි. මහ කූඩුව පාමුල වටා කුඩා පොකුණක් නිර්මාණයවූ අතර, එහි සජීවි තාරාවන් සහ පැටවුන් නිදහසේ පාවෙමින් සිටියහ. මුන් දෙස නිතර ඇස ගසා සිටීම අපටත් වඩා වයසින් බාල කංඩායමේ රාජකාරිය විය. කතා පුවතට අදාළව නරඹන්නන්ට දැකිය හැකි සේ තුඹසක් සාදා නයෙක්ද ප්‍රදර්ශනය විය. උකුස්සා හෝ රාජාලියෙක් අතින් සාදා ,මහ කූඩුව සමග කැරකවීමට සකසා තිබුණි. මෙම කූඩුව රත්මලානේ වෙසක් කූඩුවටවත් දෙවෙනි නොවූ බව මගේ විශ්වාසයයි.
ගමේ තරුණයින්ගේ සාමුහික ක්‍රියාදාමයක ප්‍රතිඵල කොතරම් සාර්ථකවූවා දැයි කියනවා නම් රත්නපුර, ඇහැලියගොඩ පළාත්වලින් පවා බස් ,වෑන් ,ලොරි වලින් කූඩුව නැරඹීමට මිනිසුන් පැමිණියහ. පැමිණෙන්නන් ආධාර කරන්නේ ඊළඟ වසරටත් තවත් නිර්මාණයකට ආයාචනා කරමිනි. මේ ආධාර නිසා ඔළුව නරක් කරගත්තේ පිට පළාතකින් කූඩුව වෙනුවෙන් කවි කීමට පැමිණි හාදයාය. රබානත් අතින්ගෙන කවි කියු ඒ මිනිසා කූඩුවට ලැබෙන ආධාරවලින් සියයට ප්‍රමාණයක කොමිස් මුදලක් ඉල්ලා සිටියේය. නැවත ඉන් පසු වසර සඳහා මොහුව වද්දා නොගත් බව අපි දනිමු. කවි කෝකිල නමින් මෑතක් වෙනකම් කූඩු තොරන් වල කවි කිව්වේ මෙයාය. කවි කෝකිල පස්සේ කිව්වේ නම් කවිද කුණුහරුපද යන්න දන්නෝ දනී. මමද ජීවිතයේ ප්‍රථම වරට යකඩ කටකින් යමක් කීවේ නරඹන්නන් යම් කිසි දුරකට අඩුවු මහ රාත්‍රියක කාගේ හෝ අඩුවක් පුරවන්නටය. ඒ දිනවල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයන් මෙම කූඩුව මිලදී ගැනීමට ලංසු තැබූ බවත් කවුරුත් දනී. ඒ ඇසළ පොහොයට සම්පූර්ණ කූඩුවම ගලවා ගෙන ගොස් තමන්ගේ ප්‍රදේශයට ගෙන ගොස් සවි කර ගැනීමටය. මේ සඳහා රත්නපුර සහ ඇහැලියගොඩ මුදලාලිලා අතර තරඟයක් විය. නමුත් ඒ ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට තරුණයින් සමත් විය. ඇස්වහ, කටවහ වැදී තවත් දුරටත් තම කටයුතු කරගැනීමට බැරිවේ යැයි මතයක් තිබි නිසා ප්‍රදර්ශනය හමාර වූ පසු යාන්ත්‍රික කොටස් පමණක් ඉතිරි කරගෙන අන් සියල්ලම පුළුස්සා දැමීමේ චාරිත්‍රයක් විය. ඉරිදා පොළ බිම්කඩ මැද ඉතාමත් කැපවීමකින් සාදා නිමකර ,දහසක් මිනිසුන්ගේ ඇස් පිනවූ මේ මහා කූඩු රාජයා පැයකින් දෙකකින් අළු ගොඩාක් බවට පත්වීම දැක බලා ගැනීමටත් අසල් වැසියන් රොක්වේ. එකල නම් අප මේ දෙස බලා හඬා වැටීද ඇත්තෙමු. මේ නම් මිනිස් ජීවිතයේම පැති කඩක් නොවේද යැයි මට දැන් හිතේ. ඉන්පසුව පිරිත් සහ ධර්මානුශාසනාවක් පවත්වා කාර්මික ශිල්පීන්ටත්, සංවිධායකයින්ටත් අසල්වැසියන්ටත් සෙත් පැතීම සිදුවේ.
ඒ පොසොන් කූඩුවත් සමගම මරණාධාර කටයුතු, සොහොන් ඉදිකිරීම් වැනි ප්‍රදේශයේ සමාජසේවා වැඩකටයුතු වලට අප බෙහෙවින් දායක විය. ඒ අසලම නිවසක සිටි සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිතුමාද එකල අපට වඩා වසරක් හෝ දෙක පමණ් වැඩිහිටි තරුණයෙක්වූ නමුත් මේ වැඩ වලට දායකත්වයක් නොදැක්වීය. සමාජය හා බද්ධවී එකිනෙකා වෙනුවෙන් සහයෝගයෙන් වැඩකිරීමේ ඉතා වැදගත් සමාජීය පාඩම මම මුලින්ම ඉගෙනගත්තේ දෙල්කඳ ගංගොඩවිල තරුණ සමාජය හා එක්වීමෙන්ය. අද නාගරීක තරුණයාට මෙවැනි සමාජ අත්දැකීම් ලබාගැනීමට ඇති ඉඩකඩ බොහෝ දුරට සීමාවී ඇති බව පෙනේ. ග්‍රාමීය තත්වයනම් එතරම් නරක නැති බව මම අසා ඇත. මේ තුළින් හොඳ මෙන්ම නරක සමාජ සම්බන්ධතාද ඇතිවීම වැළැක්විය නොහැක. අප වයසේ බොහෝ දෙනෙක් සිගරට් බීමට පුරුදුවූයේ මේ මලගෙවල්වල නිදිමැරීමත්, කූඩුවේ වැඩ කටයුතුවලට නිදහස් කර හැර තැබීමත් නිසා යැයි කිව හැක. මීට ඉහතදී සිරස රූපවහිනියෙන් එක් පුද්ගලයෙක් හා සාකච්ඡාවක් පැවත්වීය. අඳුරු කර පෙන්වූ ඔහුහේ රූපය පැවසූ හැටියට වසර තිහක කාලයක් සිට මත්ද්‍රව්‍ය වලට පුරුදුවී සිටින්නෙක්ය. ඔහු ඉතා උවමනාවෙන් කියා සිටියේත්, මල ගෙවල් වල නිදිමැරීමට යන පාසල් යන තරුණයන් බොහෝ විට තම සිගරට් හෝ මත්ද්‍රව්‍ය පාවිච්චියේ පළමු පාඩම ලබාගන්නේ එතැතින් බවය. එය බොහෝ දුරට ඇත්තය. විමසිලිමත්වීම බොහෝ වටිනේය. (එය නැරඹියම යුතු සාකාච්ඡාවක්ය. අවාසනාවකට එම ලින්ක් එක මා අතින් මැකී ඇත. )

Wednesday, December 4, 2013

අවුල් වන්නට පෙර (19)….රාජකීය තැඹිලි..


රාජකීය විදුහලට ඇතුල්වූදා සිට ගෙවීගිය වසර කිහිපය ඇතුළත එතැනින් මෙතැනටත්, මෙතනින් එතනටත් නවාතැන් මාරු කරමින් ගතකළ මගේ ජීවිතය තවත් සංධිස්ථානයකට ගොඩවී ඇත. ඒ මම කවදාත් ප්‍රියකළ දෙල්කඳ, ගංගොඩවිල ප්‍රදේශයට නැවත පැමීනීමත් සමගය. දැන් මා නැවතී සිටින්නේ දෙල්කඳ අපට උරුමව තිබූ නිවසට යාබදව ඇති ලොකු අම්මාගේ නිවසටය. තවමත් එම නිවසේ කොටසක් කොමියුනිස්ට් පක්ෂයේ කෝට්ටේ ආසනයේ ප්‍රධාන කාර්යාලය වේ. අනිත් කොටසේ ලොකු අම්මාත්, දියණියත්, ආච්චීත්, මාත් පදිංචි විය. පොඩි අයියා නම්වූ රොමානිස් හාමි නිවසේ ඉස්තෝප්පුවේ පැදුරක් එලා රාත්‍රිය ගත කරන්නේය.
මා කුඩාකල සිටම ළඟින්ම ඇසුරුකළ අය අතරින් එහා වත්තේ විසූ ජෝරිස් එදිරිසිංහ පවුලේ අය විශේෂිත වූහ. පිරිමි ළමුන් හතරක් සහ ගැහැණු දරුවෝ දෙදෙනෙකු වූහ. ඒ කිසිවෙක් අධ්‍යාපනය සඳහා උනන්දුවක් දැක්වූ අය නොවේ. මගේ වයසේවූ ආනන්දද පාසැල් ගමන් අතහැර ඇත. මට වඩා වයසින් බාලවූ මහින්ද පමණක් ගංගොඩවිල රේවත විදුහලේ පාසැල් ගමන අතහැර නැත. මොවුන් එම ප්‍රදේශයේ විසු දක්ෂ වඩු කාර්මිකයන් වූ අතර පියාගේ වියෝවෙන් පසු වැඩිමල් පිරිමි දරුවන් තිදෙනාම වඩු මඩුවේ වැඩ දිගටම කරගෙන යන බව පෙනේ. රූබන් අයියා යයි මුළු ගමම හඳුනන මොවුන්ගේ පියා මිය ගියේද අධික බීමත් කම නිසාමය.
පාසැල් යෑම පිළිබඳ මගේ තිබූ අවධානය දිනෙන් දින බිඳ වැටී ගියේ මේ කාලයේදී යැයි කිව්වොත් එය නිවැරදිය. පාඩම් වැඩ අතපසු කිරීමත්, යන්නන් වාලේ පාසැල් යාමත් හැර මගේ ප්‍රියතම කාලය ගතකරේ ජෝරිස්ලාගේ වඩුමඩුව තුළය. වඩුමඩුව තිබුණේ අප කුඩාකල හැංගිමුත්තම් කෙරූ ලී මඩුවට යාබදවය. ලී මඩුව පවත්වාගෙන ගියේත් ජෝරිස්ලාගේ ඉඩමේම වෙනත් ව්‍යාපාරිකයෙක් විසින්ය. ජෝරිස් පවුලේ සොයුරන් සමග එකතුවී යතු ගෑම, ලී ඉරීමට සහයෝගය දීම, ලී කුඩු ,යතුකුඩු, පිළිස්සීම වැනි වැඩවලින් කාලය කාදැමීමත්, හැන්දාවරුවේ දාම් ඇදීමත්, ඕමි ගැසීමටත් පුරුදුවී සිටි මා කළුවර වැටන විට ගෙදරට ගොඩවීමටත් පුරුදුවී උන්නෙමි. රාජකීය විදුහලේදීත් ප්‍රාග්වෘත්තීය විෂයට වඩු වැඩ වෙනුවට මැටිවැඩ කෙරූ මා, වඩුමඩුවේ කාලය ගෙවීමට උනන්දු වූයේ කුඩා කල සිටම මිතුරු ඇසුරට ලොල්වු නිසා විය යුතුය.
උසස්පෙළ හැදැරීමට යාම සදහා ඇති විභාගය සමත්වීමට උනන්දුවක්ද නොවීය. ආච්චීද, ලොකු අම්මාද කොතරම් අවවාද කළත්, තරවටු කළත් කිසිම දෙයක් මායිම් නොකළ මුත්, යම්කිසි අවවාදයකට අනුශාසනාවකට කන් දුන්නානම්, ඒ මා මුලින්ම නැවතී සිටි ගෙදර නැන්දාගේ බාලපුතාවූ ආනන්දසිරි අයියාට පමණි. ඔහු ඈතින් සිට හෝ එනවා දුටුවොත් වඩුමඩුවී පිටිපස්සෙන් පැනගොස් ගෙදරට ගොඩවී සිටියා මිස එයිනුත් නිසි ප්‍රයෝජනයක් ලැබුවේම නැත. අප පවුලට පසු කාලයකදී බොහෝ උදව් පදව් කර ඇති , සුරාසූදුවෙන්ද තොර මේ උතුම් මිනිසාව 1988 දී කුරිරු ලෙස ඝාතනය කර දමන ලදි. එය වෙනමම ලිවිය යුතු පරිච්ඡේදයක්ය. පාසැල අවසන්වූ පසුත් ක්‍රීඩා පිටියටවී ක්‍රිකට් ගැසීම හෝ නවරඟහලේ සවස තුනට පැවත්වෙන නාට්‍යයක් ඇත්නම් නොමිලයේම එයද නරඹා යෑමේ පුරුද්දක්ද විය. නාට්‍ය නැරඹීම සඳහා පාසල් කාලයෙන් පසු රැඳී සිටිමද පහසු කාර්‍යයක් නොවීය. ඒ සමහර ගුරුවරුන් පාසල් වේලාවෙන් පසුත් නොයෙකුත් වැඩ වෙනුවෙන් ඒ අවට ගැවසීමය. ක්‍රීඩපිටියේ නම් ළමයින් ක්‍රීඩා කටයුතු සඳහා රැඳී සිටිනා නිසා ප්‍රශ්නයක් නොවීය. ජීවිතයේ පසු කාලයකදී නාට්‍ය නැරඹීම මගේ ප්‍රධාන විනෝදාංශයද විය.
අම්මා දෙල්කඳ පැමිණෙන්නේ මාසයකට වරක් හෝ දෙවරක් පමණි. ආච්චී, ලොකු අම්මාගේ තනියට ඇය සමග පදිංචිවී සිටියත් විශ්‍රාම වැටුප දෙන්නේ අම්මා අතටය. ලොකු අම්මා මේ ගැන කිසිදිනෙක උරන නොවූ අතර, අපගේ පවුලේ ප්‍රශ්න ගැන සොයා බැලුවේ අම්මාත්, ඇයත් අතර තිබූ සහෝදර බැම්ම මෙපමණැයි කියා කිව නොහැකි නිසා විය යුතුය. ආච්චී තම විශ්‍රාම වැටුපෙන් කීයක් හෝ ඉතිරිකර ගත්තා නම් ඒ ඇයගේ බුලත්, දුම්කොළ වියදමට පමණය. අම්මා දෙල්කඳට පැමිණ නෑ හිතවතුන්ගේ ගෙවල්වලටත් ගොඩවී ඔවුන්ටත් උදව් පදව් කර ලැබෙන ප්‍රතිඋපකාරයක්ද රැගෙන හැන්දා වරුවේම පහත්ගම බලා පිටත් වෙයි. ඇයට දැන් දැන් මා ගැන විමසිලිමත් වීමට කාලයක් නොමැති සේය. තවත් දරුවන් හයදෙනෙක් නඩත්තු කිරීම ලෙහෙසි පහසු වැඩක්ද නොවේ. මේ කාලය තුළ මා ගෙදරින් බොහෝ දුරට සිතින් ඈත්වී සිටියාදෝ යැයි හැඟීමක් මට දැන් දැනේ.
මේ සියලු සිදුවීම් මැද්දේ මම ජීවිතයේ තවත් කඩඉමක්වූ උසස් පෙළ හැදෑරීම සඳහාවූ විභාගයට මුහුණ දුන්නෙමි. ඒ සඳහා කිසිම පෙර සූදානමක් නොවූ අතරම, මතකයේ ඇත්තේ විභාගය ලිව්වා යැයි කියන්න පමණය. එයින් පසු ප්‍රතිඵල නිකුත්වන කාලය අතරතුර මගේ ජීවිතය ඉතාමත් නරක ලෙස රස්තියාදුවේ ගත කිරීමට පෙළඹවිය. දැන් ඒ සිදුවීම් සිහිකිරීමේදි නම් අපූරු අත්දැකීම් ලෙස සිතුනත් පාසැල් වියේ සිසුවෙක් එවන් ක්‍රියාවන්ට පෙළඹීම කිසිසේත්ම සුදුසු නොවේ.
වඩු මඩුවේ මිත්‍රයින්ගේ වෘත්තීය දක්ෂතාවය නිසාම ඔවුන් ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමේදි වහලවල් ගැසීම, දොර, ජනෙල්, උළුවහු තැබීම වැනි රාජකාරී වලටත් අතගසා තිබුණී. මේ කාලයේ පාසැල් යාමක් නොතිබූ නිසාත්, ගෙදර නොගොස් දෙල්කඳටවී සිටීමට දැක්වූ කැමැත්ත නිසාත් කාටත් හොරෙන් මමද වඩු කාර්මීක සොහොයුරන් සමග අත් උදව්වට ගියෙමි. ඉනිමං අල්ලා සිටීම, වහල උඩ සිටිනා අයට ඇණ, රීප්ප සැපයීම වැනි ප්‍රාථමික වැඩ කටයුතු කරදීම මට පැවරිණි. හැන්දෑවට කීයක් හෝ අතමිට මෙලවීමටත් ජෝරිස් වැඩිමහල් සොහොයුරෝ පසුබට නොවීය. මේ මුදල් කඩචෝරු කෑමට වියදම් කළා මිසක් අන් දෙයක් නොකෙරුණි. වරක් ආච්චීට බුලත් රැගෙන ගොස් දුන්විට ඇය ඒවා ගේ අසලම කාණුවට විසිකර මට පහරක් දෙකක් ගැසූ බවද මතකය. මගේ මුදල් මටම සඟවා තබා ගැනීමට සිදුවිය. මා ඉගෙනගත් වඩු වැඩක්ද නොවීය.
කුඩාකල සිටම දන්නා තවත් කොලුවෙක් වූයේ සුනිල්ය. මොහු පහේ හයේ පංතියේම සිට පාසල් ගමන අතහැර දැමූ එකෙක් විය. ඔහු දැන් අත් කරත්තයක තැඹිලි, පොල්, කොස් පටවාගෙන ගම අවට ප්‍රදේශවල විකුණමින් ජීවිත සටනට උරදෙමින් සිටී. කාලය කොතරම් දුරට මිනිසුන්ට ජීවිත අත්දැකීම් ලබා දෙනවා දැයි සිතෙන්නේ මට මා ගැන සිහිපත් වෙන විටය. ඒ නිසා ඊළඟ ඡේදය සටහන් කර තබමි.
මා කියවමින් සිටින අසම්මත විචාරය නම් ග්‍රන්ථයේ ප්‍රස්තාවනාව ලියා ඇති සී.එච්.කේ.ගුරුදෙනිය මහතා එම පොතේ කතෘ ජයතිස්ස කුමාරගේ මයා ගැන මෙසේ කියයි.
” ත්‍රාසය, භීතිය, හාස්‍ය, කුතුහලය මෙන්ම සංවේදිජනක හැඟීම්වලින්ද ගහණ වූ තම භාවපූර්ණ ජීවිත අත්දැකීම් අව්‍යාජව ගෙන හැර දක්වනුයේ ඔහු තුළ සිටින්නාවූ අව්‍යාජ මිනිසා පාඨක හදවතට වඩාත් සමීප කරවමිනි. ළමාවියේ සිටම ඔහු ලබා ඇති බොහෝ අත්දැකීම් කතුවරයා ඉතා සමීපව ඇසුරු කළ අයෙකුට හැරෙන්නට බහුතර පාඨකයාට තම ජීවිත අත්දැකීම් හා සැසඳීමේදී බොහෝ විට අභව්‍ය සිදුවීම් හා ප්‍රබන්ධ ලෙසද හැඟී යා හැක. කුඩා කල සිටම ඔහු ලද ඉතා සියුම් අත්දැකීම් පිළිබඳ පවතින ධාරණයද විස්මය දනවන සුළුය. මෙයට හේතුව කතුවරයා තුළ පවතින සංවේදී භාවය හා වත්මනෙහි පොත පතට පමණක් සීමාවී ඇති සම්මා සතිය හෙවත් නිවැරදි සිහිය කුඩා කල සිටම ඔහු තුළ පිටා තිබීම යැයි මට හැඟේ”
මා හට මෙවැනි උතුම් ගතිගුණ නොමැති වුවත් ඒ උපුටා දැක්වීම අඩු වැඩි වශයෙන් මගේ ජීවිත කතාවටද අදාළ නිසා ලියා තැබුවෙමි.
මම සුනිල්ගේ අත් උදව්කරු වුයෙමි. අපේ නෑදෑ නිවෙස් පසුකර ඈතට ගියාට පසුවත් ගමෙන් ඈතට වෙන බව හැඟුණ විටත්, ඔහුට මහන්සිවූ විට කරත්තය තල්ලු කිරීමටත්, තැඹිලි තැඹිලි යැයි කෑ ගැසීමත් අලුත් අත්දැකීමක් එක්කල බවනම් ඇත්තය. නමුත් මගේ මේ දඩබ්බර ක්‍රියාපටිපාටියන් අවට පදිංචිවී සිටී නෑදෑයින්ට ආරංචිවීම නම් එතරම් සතුටුදායක නොවීය. නැන්දාකෙනෙක් මට කේන්තියෙන් කිව්වේ මේ අපේ රෝයල් කොලෙජ් තැඹිලි වෙළෙන්දා කියාය. මේ නිසාම අම්මාට නිතර නිතරම දෙල්කඳ බඩගෑමටත්, තම ලොකු පුතු මෙවන් තත්වයකට පත්වීමත් හිත රිඳුම් දෙන කාරණයක් වෙන්නට ඇත. නමුත් මේ කිසිවකට සවන් නොදී මගේ දඩබ්බර ජීවිතය ගෙවීයන්නට මම ඉඩහැර ඇත්තෙමි. මේ විඳින්නේ වයසට ගෝචර නොවූ වල්බූරු නිදහසක් යැයි ඒ කාලයේ නොසිතෙන්නට ඇත. රාජකීය තැඹිලි කාරයෙක් වීමෙන් මා උගත් ව්‍යාපාරික ඥානයක් නැත. එය දැන්නම් සොඳුරු අත්දැකීමක්මය.
දෙල්කඳ ගංගොඩවිල වනාත පාර නුදුරේමවූ ජෝරිස්ලාගේ වඩුමඩුවද තිබු ඉඩම ඉතා විශාලය. මේ ඔවුන්ගේ දේපලය. මේ ඉඩමේ කවුරුත් පදිංචිව නොසිටී කුඩා නිවසක්ද විය. මෙහි පදිංචියට තරුණ යුවලක් පැමිණියෝය. ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය වූයේ මිරිස්. කහ, තුනපහ, තේකොළ, කෝපි වැනි ද්‍රව්‍ය කුඩාම කුඩා පැකට් ලෙස සකසා කාඩ්බෝඩ් පත්‍රිකාවලට සවිකර සිල්ලර කඩවලට සැපයීමය. දැන් ඔබ දකිනා Sachet සංකල්පය හා සමානය. එකල ජනතාවගේ ආර්ථික තත්වය කොතරම් දැයි කිවහොත් මිනිසුන් බොහෝ විට මිලදී ගන්නේ එක වේලකට දෙකට ප්‍රමාණවත් මෙවැනි කුඩා පැකට්ය. මේ ගැන මතක අය සිටිනවා යැයි මම දනිමි. අප නැවත ගමන් කරන්නේ එවන් යුගයකට දැයි වරෙක මට සිතේ. කුඩා පොලිතින් පැකට් තුළට තේ හැන්දක් හෝ දෙක තුනක් දමා ඉටිපන්දමෙන් පුච්චා සීල් කිරීමත්, නිම කරනා පැකට් ප්‍රමාණයට අනුව ගෙවීම් සිදුකිරීමත් විය. මමත් ජෝරිස් පවුලේ ගැහැණු දරුවනුත්, වඩු වැඩ නැති දිනයන්හීදි අනිකුත් එවුනුත් මේ වැඩේට සහභාගි විය. පාරේ රස්තියාදුවක් නැති නිසාත්, නැදෑයින්ගේ දෝෂාරෝපණයක් නැති නිසාත් ආච්චීත් ලොකු අම්මාත් නිහඬ පිළිවෙතක් අනුගමනය කළහ.
මේ අතරතුර සිදුවු දෑ බොහෝ ඇත. ඒවා පසුව ලියන්නෙමි. විභාග ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට මට සිදුවී ඇති බව දැන ගතිමි. මම සතුටුවූවාද නැද්ද යන්න ගැන මට මතකයක් නැත.
ප.ලි………..අද නම් අක්ෂර ගැටලු ඇත්නම් බෙල්ලෙන් අල්ලා ගත යුතුවන්නේ මගේ නොව…අප හිතවත් සුබස ගෙනි.
වැඩ කටයුතු කිහිපයක් නිසා බ්ලොග් ලිවීමටත් වඩා කැමති කියවීම අතපසු විය. සමාවන්න. නැවත ඔබලාගේ රසවත් සටහන් කියවීමට හෙට සිට පිවිසෙන්නෙමි.