Saturday, January 25, 2014

අවුල් වන්නට පෙර (27) සංගීතේ රසේ වෙලී…..


ලයිව් ෂෝ” කියන්නේ කණ පැලෙන්න අහන්නට සලස්වන සංගීත ඝෝෂාවත්, ශිල්පීන්ගේ හූ තැබීමත්, වේදිකාව උඩි යටිකුරු වෙන දැඟලීමත්, නළඟනගේ රැඟුම්ද ඇතුළත් විකාර රූපි තත්වයක් බව දැන ගත්තේ පසුගිය දශක කිහිපයකට පෙර සිටය. මා කියන්නට උත්සාහ කරන 70-80 යුගයේ “ලයිව් ෂෝ” යැයි කියා දෙයක් තිබුණේ නැත. සංගීත සංදර්ශනයක් නැත්නම් අපේ භාෂාවෙන් “සංගීතයක්” කියා කිව්වේ ගායක ගායිකාවියන්, නිවේදකයන් සහ වාදක මංඩලයක් එකතුවී කාටත් දොරවල් විවෘතවු සංගීත සන්ද්‍යාවන්ටය. මෙවැනි සංදර්ශන උත්සව සමයන්ට අමතරව නොයෙක් නොයෙක් හේතුන් මත පැවත්වුණි. ඒ යුගයේ මේවා සංවිධානය වුණේ ගමේ තරුණ සමාජ හෝ ඒ වෙනුවෙන්ම එකතුවූ අයගේ මූලිකත්වයෙන්ය. මේ හැම සිදුවන්නේ ගමේ මිනිස්සුන්ගේ එකඟත්වත්වයෙන් සහ උදව් පදව් තුළින්ය. එක් එක් ගායක ගායිකාවන්ට ගෙවීම් සිදුවූයේ , ඒ ඒ ශිල්පීන් ගෙන්වීමට මූල්‍ය අනුග්‍රාහිකත්වය දැරු අවට ව්‍යාපාරික ගොන්න නිසා විය යුතුය. මෙවැන්නක් සංවිධානය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. නුගේගොඩ, මහරගම, කොහුවල, කළුබෝවිල, ඇඹුල්දෙණිය මේවාට ප්‍රසිද්දවූ අප අවට ගම් පළාත්ය. මිරිහාන පොලීසිය අනුග්‍රාහයෙන්ද මෙවැනි දේ සිදුවිය. යම් තරමකට හෝ මහජන සම්බන්ධතා පවත්වා ගැනීමට පොලීසිය කල්පනාකාරී විය.
1970-1980 යුගයේ සිංහල සංගීත සංදර්ශන වේදිකාව තුළ අතිශයින්ම ජනප්‍රිය වාදක කංඩායම වූයේ ජයතිස්ස හෙට්ටිආරච්චි ප්‍රමුඛ සත්සර වාදක මංඩලයයි. මෙහි දක්ෂ වාදක ශිල්පීන් රැසක් විය. පැට්‍රික් දෙණිපිටිය කොම්බෝ, සියැක් යනු තවත් එවැනිම වාදක කංඩායම් දෙකකි. අර්නස්ට් සොයිසා, සරත් අල්විස්, ස්‍රීකාන්ත් දසනායක, සුසිල් පෙරේරා, උපාලි කන්නගර එවැනි මතක හිටිනා චරිතයන්ය. තවත් එවැන්නෝ බොහෝමය. ඉතාමත් චාම් වේදිකාවක් සහ සංගීත භාණ්ඩ කිහිපයකින් පොල් කොට වේදිකාව සැරසිනි. ලීඩ්, බේස්, රිදම් ගිටාර්ස්, විදුලි ඕගණය, ඩ්‍රම් සෙට් එක යන දේවලට මෙය සීමා විය. පැට්‍රික් දෙණිපිටිය නම් දක්ෂ සංගීත සංයෝජකයා , හවායියන් ගිටාරයේ අති දක්ෂයෙක් නිසා, ඔහුගේ කංඩායාම ඇති තැනක එයද අපි දුටුවෙමු. බේස් ඩ්‍රම් එක නම් වූ මහා බෙරයේ ප්‍රේක්ෂකයාට පෙනෙන පැත්තේ තම වාදක මණ්ඩලයේ නම පෙනෙන්න්ට ලියා තිබුණි. වේදිකාවට ශිල්පීන් ගොඩවූයේත් එක්තරා අනු පිළිවෙළකට යැයි කිවහොත් එය වැරදි නොවේ. එය සාමාන්‍ය ගීතවලින් පටන් ගෙන බයිලාවලින් අවසන්වෙන ඉසව්වක් කර ඇදී ගියේය. වේදිකාව ඉදිරිපිට නටා විනෝදවීමට යුහුසුළුවූ අපට වඩ වයසින් වැඩි තරුණයෝද බොහෝ වූහ.
සියැක් වාදක මංඩලය බොහෝ දුරට වාදනය මෙහෙය වූයේ ජාතික ලොතරැයි මංඩලය විසින් පැවැත්වූ සංගීත සැඳෑවන් සඳහාය. මෙය ලොතරැයි දිනුම් ඇදීම හා සමගාමීව පැවැත්වුණි. ඒ කාලයේ ලොතරැයි මුල් දිනුම වූයේ මෝටර් රථයකි. ලොතරැයි පතේ එම දිනුමට අදාළ මෝටර් රථයේ දළ රූප සටහනක් මෙන්ම, වර්ගයත්, අනිකුත් විස්තරත් මුද්‍රණය කර තිබුණී. මට මේ ගැන එතරම් මතකයක් තිබෙන්නේ, අපේ බන්දුල අයියා සතුව, ජාතික ලොතරැයි මණ්ඩලයේ ආරම්භයේ සිටම 70-80 දශකය දක්වාම නිකුත් කරන ලද සෑම ලොතරැයි පතකම එක ටිකට්පතක් ඔහු එකතු කිරීමට පුරුදුවූ සිටි නිසාමය. sweep ticket” (https://www.facebook.com/OldeCeylon/photos_stream)
සංදර්ශන වේදිකාවේ තවත් වැදගත් කොටසක් ඉටුකරේ නිවේදකයින්ය. මට හොඳින්ම මතක ඇති ගුණසේකර කේ පතිරණ, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, නෙල්සන් අබේකෝන් මේ යුගයට අයිතිවේ. නෙල්සන් අබේකෝන් වේදිකා නිවේදනය වෙනත් ඉසව්වකට ගෙන ගිය නිවේදකයෙක් විය. සංදර්ශන සඳහා ඇලවෙන ප්‍රචාරක දැන්වීම් තුළ නිවේදකයා කවුද යන්න ලොකු අකුරින් සඳහන් වී තිබුණි. හේමසිරි හල්පිට, තිලක් කුමාර රත්නායක පසුකාලයකදි ජනප්‍රිය සංගීත සංදර්ශන නිවේදකයින් වූ බව සඳහන් කිරීම වටී.
වාදක මණ්ඩලය හඳුන්වා දීමත්, සංවිධායකයින්ට ස්තූතිය පලකිරීමත් සමගම වේදිකාවට කැඳවන්නේ අවට ගම්වාසී ආධුනික ගායන ශිල්පීන්ය. මොවුන්ට අතහිත දීමත්, ප්‍රසිද්ධ ගායකයින් පැමිණෙන තෙක් ප්‍රේක්ෂකයාට යමක් ඇසීමට සැලැස්වීමත් මෙහි මූලික අභිප්‍රාය වන්නට ඇත. ඉන් පසු නැගී එන නවක ශිල්පීන්ගෙන් පසු අනිකුත් ගායක ගායිකාවියන් වේදිකාව ආක්‍රමණය කිරීමට පටන් ගනී. සිසිර-ඉන්ද්‍රානි සේනාරත්න, සනත්-මල්කාන්ති නන්දසිරි, ලක්ෂ්මන් රුද්‍රිගු- රූපා ඉන්දුමති, අබේවර්ධන බාලසූරිය- නිරන්ජලා සරෝජනි වේදිකාවේ ගී ගැයු යුවලයන් විය. ධර්මදාස වල්පොල වේදිකාවේ ගී ගැයූ නැති නිසා පසු කාලයකදී ලතා වල්පොල තනිවම ගී ගැයු බව මතකය. පළමුව ගායකයා විසින් ගීත දෙකක් හෝ තුනක්ද, දෙවනුව ගායිකාව ගීයක් හෝ දෙකක්ද, ඉන්පසු යුග ගීයක් ගැයීමද සිරිතක් ලෙසින් පැවිතිනි. මිල්ටන් මල්ලවාරච්චි, ප්‍රියා සූර්යසේන, වික්ටර් රත්නායක, හරූන් ලන්ත්‍රා, පුන්සිරි සොයිසා වැනි ගායකයින් නැති සංගීත සංදර්ශන නොතිබුණා විය හැක. ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල, සුජාතා අත්තනායක, චන්ද්‍රිකා සිරිවර්ධන, නැතුවම බැරි ගායිකාවන් විය. සී.ටී.ප්‍රනාන්දු ගායකයා , මා ඉතාමත්ම කුඩා අවධියේදි එක්වරක් වේදිකාවේදි දුටුවා මිස ඉන් පසු දැක නැත.
ඉන්ද්‍රානි පෙරේරා ප්‍රමුඛ ත්‍රී සිස්ටර්ස් වේග රිද්මයට හුරු පොප් ගීත කලාවක් බිහි කිරීමට දායක වූවන්ය. ඇය ගී ගැයීමෙන් පසු ක්ලැරන්ස් විජේවර්ධන, එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ්, ක්‍රිස්ටෝපර් පෝල්, මොහිදීන් බේග්, ඒ.එම්.යු.රාජ්, ෂෙල්ටන් පෙරේරා, ෆ්‍රෙඩි සිල්වා වැනි එදා වේදිකාව බැබළවූ පරපුර නොසිටියේනම් සංගීත සන්දර්ශන කලාව ඒ වන විටම මියැදී යාමට ඉඩ තිබුණි. ජෝතිත්, මිල්ටන් පෙරේරාත් ගීගැයුවේ බොහෝ විට එකම අවස්ථාවක පළමුව හෝ ඉන් පසුවය. අනංග වාදය නම්වූ ඔවුන් දෙදෙනා ගැයු ගීත දෙක නිසා විය හැකිය. ඔවුන් සබැඳි මිතුරෝ වූහ. ඒ වන විටත් ඇන්ජලින් හෝ ලතා වේදිකාව අසල සිටියානම් , මිල්ටන් හෝ ජෝති සමග යුග ගීයක් ගැයීමටද නිවේදකයා ආරාධනය කර සිටී.
මිල්ටන් මල්ලවාරච්චි ඉතාමත් නිහඬ පුද්ගලයෙක්වූ අතර, එක් අතකින් මයික් එක රඳවාගෙන එක එල්ලේම නරඹන්නන් දෙස බලාගෙනම ගීත තුන හතරක් ගයා වේදිකාවෙන් පිටව යයි. ජෝති එසේ නැත. ඔහු නරඹන්නා කුල්මත් කිරීමට වචන කිහිපයක් කතාකිරීමත් අපට මහත් සැනසීමක් විය. ක්ලැරන්ස් වේදිකාවට එන්නේ ඔහුගේ ගිටාරයත් රැගෙනය. මේ වනවිට රාත්‍රී එක දෙක පසුවූවත් පැමිණ සිටින ජන ගඟ නම් ආපසු ගෙවල් බලා යන්නට සුදානමක් නැත්තේ , තවමත් ඇම් ඇස් අයියලා වේදිකාවට ගොඩ බැස නැති නිසා විය යුතුය. දැන් පැමිණෙන්නේ හොඳම කාලයයි.
එම්.එස් ප්‍රනාන්දු, ඇන්ටන් ජෝන්ස්, පෝල් ප්‍රනාන්දු, වෝල්ටර් ප්‍රනාන්දු, ඒ.ඊ.මනෝහරන්, ඩෙස්මන්ඩ් සිල්වා, ඩෙස්මන්ඩ් රුද්‍රිගු, මැක්සි ලෙනාඩ්, මැක්ස්වල් මෙන්ඩිස්, නිහාල් නෙල්සන් කැතක් නැතිව ඉතුරු වැඩ කොටස එළිවෙන ජාමය තෙක් ගෙනියන්නට වග බලා ගනී. මේ අතර තුර සුසිල් පෙරේරා නම් දක්ෂ ඩ්‍රම් වාදකයා පැය කාලක පමණ ඒකල ඩ්‍රම්ස් වාදනයක් ඉදිරිපත් කිරීමටත් වග බලාගනී. මොහු විශාරද සුජාතා අත්තනායකගේ මලනුවන්ය.
බයිලා චක්‍රවර්තී එම් එස් ප්‍රනාන්දු වේදිකාවට ගොඩවෙන්නේ ඔහුගේ අතිජාත මිත්‍රයා මෙන්ම වේදිකා ප්‍රසංගවල අත්වැලවු සෙබා සමගය. සෙබා නොහොත් සෙබස්ටියන් ට්‍රම්පට් වාදකයෙකි. ඔහු වාදනය කරන්නේ එම් එස්ට පමණය. සෙබා නැත්නම් එම් එස් හිටියත් වැඩක් නැහැ යැයි කියූ වැඩිහිටියෝද සිටියෝය. දෙදෙනාම සිටින්නේ හොඳට පදම්වී බැවු දන්නෝ දනිති. එදා වේදිකාවේ සිටියවුන් එසේ පදම්වු සැබෑ දක්ෂයින්ය. දාහක් දෙනාගේ අත් පොළසන් මැද සෙභාව වේදිකාවට හඳුන්වා දෙන එම් එස් බෝල බෝල මැටිවලින් පටන් ගෙන අවසන් කරන්නේ නිවේදකයා විසින් අතින්ද ඇදගෙන විත් තව එකක් ගැයීමට පෙරැත්ත කිරීමෙනුත් පසුවය. ඇන්ටන් ජෝන්ස් තවත් සුවිශේෂ චරිතයක්ය. වාදක මණ්ඩලයේ සියල්ලන්ම සහ නිවේදකයාවත් හිටිවන බයිලා රැසකින් නැවත හඳුන්වාදී ඔහු වේදිකාවෙන් සමු ගනී. පෝල් ප්‍රනාන්දු වේදිකාවේ ඒ කොනටත් මේ කොනටත් ගායනා කරමින් ඇවිදින්නේ ඔහුටම ආවේණික රංග ශෛලියකිනි. මැක්ස්වල් මෙන්ඩිස් වේදිකාවට ගොඩවෙන්නේ ආම්පන්න ගොඩක් සහිතවය. මම බොහොම බයවුණා ගීතය ගයන විට මිනී ඔළුවක් පෙට්ටියක් තුළින් එළියට ඇදෙන්නේ කවුරුත් නොසිතූ වෙලාවකය. මේ එක් එක් ශිල්පියාගේ ඔවුන්ට ආවේණික ශෛලීන් ගැන ලියන්නට ගියොත් එය දීර්ඝ පුස්තකයක් වනවා නොඅනුමානය.
ඒ.ඊ.මනෝහරන් ද්‍රවිඩ සම්භවයක් ඇති, ලාංකීය සංගීත වේදිකාව ඉදිරියට තල්ලු කල රසවතෙකි. මොහු එකල ඉතාම ජනප්‍රිය ශිල්පියෙක් විය. සූරියකුමාර් මුත්තලඝා, කලාවතී පසු කාලයක වේදීකාවට ගොඩවිය. ෆ්‍රෙඩී සිල්වා- කලාවතී යුගයත් අමතක කරනු නොහැකිය. තව කියාගන්නට උවමනා සහ අමතක වූවන්ද බොහෝය. මේ සියල්ලක් අතරේම වේදිකාව පිනවු තවත් අංගයන් රාශියක් විය.
1970 -1980 සංගීත සන්දර්ශන වේදිකාව තුළ වාදක මණ්ඩලයට විටින් විට සුළු විවේක කාලයන් ලබාදේ. ඒ කාලය තුළ වේදිකාවෙන් පිටුපසත් වේදිකාව මතත් බොහෝ අපූරු දේ සිදුවිය. ඉන් අප වැඩිපුරම දුටුවේ වේදිකාව මත සිදුවූ දෑය. මෙවැනි අවස්ථා සඳහා සංවිධායකයින්ට අපූරු සම්පත් රාශියක් හිමිව තිබුණි. කුමුදිනි ෆයර් ලිම්බෝ ඉන් එක් විශේෂාංගයකි. ඇය ඉතා දක්ෂ නළඟනකි. බිකිනියක් වැනි ඉතාම කෙටි ඇඳුමකින් සැරසී, හරස් අතට සවි කර තිබු දණ්ඩකට ගිනි දල්වා ඒ යටින් දෙපා ඈත්කර රිංගා ඒමේ දර්ශනය අපට මහත් ආස්වාදයක් ගෙන දුන්නකි. රත්නසිරි මාවද ඇදගෙන වේදිකාව අසලට රිංගාගන්නේ ඒ අවස්ථාව මැනවින් ග්‍රහණය කරගන්නටය. දක්ෂ නැටුම් ශිල්පියෙක්වූ රෝලන්ඩ් පෙරේරා මෙවන් නැටුම් සංවිධායකයෙක් විය.
නවනන්දන විජේසිංහ, ෆ්‍රෙඩී සිල්වා ගීත ගායනයට අමතරව නොයෙකුත් විකට රංගනයන්හී යෙදුණි. කාට කාටත් අමතකවී ඇති නවනන්දන විජේසිංහ දක්ෂ නළුවෙක් මෙන්ම ගායනා හැකියාවක්ද තිබූ අයෙක්ද බව මතකය. මංගල ප්‍රේමදාස තවත් විශේෂ චරිතයකි. කුරුල්ලන්, සතුන්, වාහන ආදියෙන් පිටකරනා ශබ්දයන් මොහුට ඒ ලෙසින්ම කර පෙන්වීමේ හැකියාව තිබුණි. ඒ නැරඹීම සඳහාම පිරිසක් පැමිණෙති. මොවුන් ඒ යුගයෙන් පසු කොහේ ජීවත්වනවා දැයි දන්නේ නැත. මුවන් පැලැස්ස ආශ්‍රිතව විනාඩි කිහිපයක වැඩ සටහනට විජේරත්න වරකාගොඩ, රත්නාවලි කැකුණවෙල, ගැමුණු විජේසූරිය සහභාගි විය. විනෝද සමයද සංගීත වේදිකාවට ආලෝකයක් ගෙන දුන් බවත් කිව යුතුමය. සැමුවෙල් රුද්‍රිගු, බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස් වැනි මහා කලාකරුවෝ අතරේ ධර්ම ශ්‍රී මුණසිංහයන්ද විටින් විට සහභාගි විය. විස්ලින් නිහාල් නම්වූ නිහාල් ජයවර්ධන විස්ලින් කරනා අවස්ථාවන්ද මේ ගොන්නේම අංගයක් බැව් සිහිපත් වේ.
සංගීත සංදර්ශන නැරඹීමත් 70-80 දශකයේ ජීවත්වූ මිනිස්සුන්ගේ ප්‍රධාන විනෝදාංශයක් විය. මේවා ගැන ලිවිය යුතු දේ පර්යේෂණ ග්‍රන්ථයක් ලෙස හෝ එළිදැක්වීම ,උවමනාවක් සහ වගකීමක් ඇති කෙනෙකුගේ අතට පත්කරවීම නම් මේ යුගය හදාරන කෙනෙකුට පසු කාලයකදී හෝ ප්‍රයෝජනයක් විය හැක.
ප.ළි.
අසමි දකිමි සොයමි බ්ලොගය ලියන විචාරක මහතාද මෙවැනි ලිපියක් බොහෝ කලකට පෙර ලියා ඇති බව දුටුවෙමි. http://jangun.wordpress.com/2012/04/

No comments:

Post a Comment