Monday, January 20, 2014

අවුල් වන්නට පෙර ..(26)…බයිසිකල් රේස්..


“කරුණාකර පාරෙන් ඉඩ දෙන්න. ඉදිරියෙන් එන වාහනය පාරෙන් ඉවත් කරන්න. ඔව්..තව ස්වල්ප මොහොතකින් ඔබ ඉදිරියට ඇදෙන්නේ කහවත්තේ ගුරුගේ මැණික් සංවිධානය කරන දීපචාරිකා මහා බයිසිකල් ධාවන තරඟයයි. කරුණාකර පාරෙන් ඉඩ දෙන්න “
ඒ දිනවල මෙවැනි නිවේදන නොඇසුණු කෙනෙක් හයිලෙවල් පාර අසබඩ පදිංචිවී සිටියා නම් , ඒ ශ්‍රවණාබාධිත පුරවැසියෙක් විය යුතුය. හයිලෙවල් පාරත් බයිසිකල් ධාවන තරඟත් අතර තිබුණේ ළබැඳි සම්බන්ධයකි.
මෙවැනි ධාවන තරඟ වසරකට කිහිප වතාවක් දක්නට ලැබේ. බොහෝමයක් සිංහල අවුරුදු කාලයට සංවිධානය කරන අතර ඉන් නොකඩවාම පැවැත්වූයේ කළුබෝවිල ලකී ක්‍රීඩා සමාජය මෙහෙයවූ බයිසිකල් ධාවන තරඟය සහ බක්මහ උළෙලය. එය අවසන් වන්නේ මහා සංගීත සංදර්ශනයකින්ය. අනිකුත් ධාවන තරඟ වාර්ෂිකව පැවත්වූ දැවැන්ත ව්‍යායාමයන්ය. ලේක් හවුස් ආයතනය, ජාතික ලොතරැයි මංඩලය, ගුරුගේ මැණික් මින් ප්‍රධාන ඉසව් මෙහෙය විය. ලංකාවේ පළමුවෙනි බයිසිකල් ධාවන තරඟය පවත්වා ඇත්තේ 1950 වසරේ යැයි අසා තිබේ. ලේක් හවුස් ආයතනය විසින් ජනතා සවාරිය, ලංකා සවාරිය වැනි දේ සංවිධානය කෙරුණි. පුවත් පත් මූලික කරගෙන සයිකල් සවාරි පැවැත්වීම එදා දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි.
ඇන්තනි සිමන්ස් ධාවන ශූරයා මේ වනවිට තරඟ පිටියෙන් ඉවත්වෙමින් සිටියේය. හයවරක් ලංකා ශූරයෙක්වූ මොරිස් කුමාරවේල් එවකට සිටි දක්ෂතමයා වූ අතර බොනිපස් පෙරේරා වැඩ පෙන්වන කාලයද විය. A.M.සුමනවීර,G.H.හෙන්ඩර්සන්, A.A.සුගතපාල ලෙස්ලි රූපසිංහ බයිසිකල් තරඟ පිටිය ආක්‍රමණය කරමින් සිටි අති දක්ෂයින් වූවා මෙන්ම N.කරුණාරත්න,B.J.සුමනසේකර,L.H.සරත්, කමල් පාලිත පසුකාලීනව පිටියට පැමිණි තරඟකරුවෝය. කාන්තා ඉසව්වද ඒ හා තරමටම ජනප්‍රිය මුත් පැදීමට ඇති දුර ප්‍රමාණයෙන් අඩුවිය. වසන්තා කහපොළ ආරච්චි, ඇලෝමා සිල්වා, P.L.රංජනි, කුමාරිහාමි දිසානායක වැනි සයිකල් සූරියන් මහත් ජනප්‍රිය විය. මේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොස්, දෙල්, බත්, පොලොස් වලින් ගොඩ නැගුණු පරපුරක් මිස උත්තේජක, විටමින් වලින් යැපුණු මිනිසුන් හෝ ගැහැනුන් නොවීය. මෙවැනි බොහෝ අය ගැන ලියන්නට බොහෝ දේ ඇති මුත්, මේවා කාලයේ වැලි තලාවෙන් වැසීයාම අභාග්‍යයකි. ත්‍රිවිධ හමුදාවත් පොලීසියත් පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝමයක් අපට දායාද කර දුනි. ඉන් යුද හමුදාවත්, ගුවන් හමුදාවත් ප්‍රධාන තැනක් ගතී.
මේ අය අතරින් මා වඩාත්ම සිත්ගත් ක්‍රීඩකයා වූයේ රත්නපුරේ සුමනවීරය. ක්‍රීඩිකාව වූයේ පාදුක්කේ වසන්තා කහපොළ ආරච්චිය. කහවත්ත, රත්නපුර, ඇහැලියගොඩ ප්‍රසිද්ධ වූයේ මැණික් වලට පමණක් නොවේ. අපිට ඒ අවටින් ආ ඇන්තනි සිමන්ස්, සුමනවීර, සුගතපාල වැනි ක්‍රීඩකයින් මැණික්වලටත් වඩා වටිනා බව එදා මෙන්ම අදත් කිව යුතුව ඇත. සුමනවීරගේ ක්‍රීඩා ජීවිතයට රත්නපුරේ ලොකු කුඩා සියලුම ව්‍යාපාරිකයින්ගෙන් ලැබුණේ පුදුම සහයෝගයකි. ඒ බව එකල ඕනෑම කෙනෙක් දැනගෙන සිටියා මෙන්ම, කාර් වෑන් පුරවාගත් අය තරඟ පිටුපසින් කෑගසමින් ආවේත් ඒ ගැම්මටය. මොහු තරඟ දාහකට ආසන්න ප්‍රමාණයකට තරඟ වැදී ඇති අතර ඉන් හත්සීයකට වඩා පළවැනි දෙවැනි හෝ තෙවැනි ස්ථානයන් ලබා ගෙන ඇත. ඉන් තරඟ පන්සීයකට ආසන්න ප්‍රමාණයකින් පළවෙනි තැන ගෙන තිබේ. රත්නපුරයේ සිට කොලොන්නාව තෙල් සංස්ථාවට වැඩට ආවේත් ගියේත් බයිසිකලයෙනි. පුදුම නොවන්න. මේ සත්‍යයයි. ඔහු මන්නාරම සිට රත්නපුරට බොහෝ වතාවක් බයිසිකල් පැද ඇති බව මම අසා ඇත්තෙමි. හැතැප්ම 250ක් පමණ , එකල ඒ දුෂ්කර මාර්ගය, උදේ 5.30ට අරඹා හවස 6.00ට අවසන් කරන බවත් මම අසා ඇති තවත් කතාවක්ය. අද මම ලෝක පූජිත පාපැදි ශූර බ්‍රැඩ්ලි විගින්ස්ට ඇල්මක් ඇත්ද ,ඊට වඩා බොහෝ සේ A.M.සුමනවීර නම්වූ අපේ මිනිසාට ඇළුම් කලෙමි.
ඒ කාලයේ රේස් තිබුණේ ස්ටෑන්ඩර්ඩ් බයිසිකල් වලින් පමණි. දැන් මෙන් රේසින් වර්ගයේ ඒවා තිබුණේ නැත. බොහොමයක් තරඟ අවසන් වූයේ ගෝල්ෆේස් පිටිය අසලින් හෝ ලේක් හවුස් ආයතනය ඉදිරිපිටින්ය. මේ තරඟ සඳහා ලේක් හවුස් ආයතනය, ගුරුගේ මැණික්, පොහොර සංස්ථාව බෙහෙවින් දායක විය. ලේක් හවුස් ඉන් ප්‍රදානය. මේ දුප්පත් මිනිසාගේ දුප්පත් ක්‍රීඩාවක් විය. බොහෝ සයිකල් කරුවෝ අතින් වියදම් කරගෙන මේවාට සහභාගී වී ලැබෙන ත්‍යාගයද ,කුසලානයද උස්සාගෙන ආපසු ගෙදර යති. අපි කොල්ලෝ කට්ටිය තරඟ අවසානය හෙවත් “ෆිනිෂ්” එක බලන්නට දැක්වූයේ තදබල පෙරැත්තයකි. බසයේ නැගී ලේක් හවුස් හෝ ගෝල්ෆේස් අසලට වේලාසනින්ම යන්නේ ඔය උණ නිසාමය. හරි තැනක් අල්ලා ගැනීම එතරම් ලෙහෙසි පහසු නොවීය. වරින් වර ගුවන් විදුලියෙන් විස්තර ප්‍රචාරය කරන ලදි. හෙන්ඩර්සන් සයිකලයෙන් ඇද වැටුණු බවත්, සුමනවීරගේ ටයර් එකේ පැච් එකක් බවත්, බොනිපස් දැන් ඉදිරියෙන් සිටිනා බවත් කියන්නේ ගුවන් විදුලියයි. මේ වේලාවට තරඟය අවසන් විය හැකි බව අපි ගණනය කර ගන්නෙමු.
හෙන්ඩර්සන් සහ බොනී sprint එකට දක්ෂය. සුමනවීර සමග කඳු පැදීමට සමතෙක් නොවීය. එක් ප්‍රධාන තරඟයකදී අවසානය පෙනි පෙනී බොනිපස් සහ හෙන්ඩර්සන් කඟවේණුන් මෙන් ඉදිරියට ඇදුනෝය. අවාසනාවකට හෙන්ඩර්සන්ගේ පාපැදියේ ඉදිරි රෝදය ගැලවී විසිවුනි. බිම ඇද වැටුණු හෙන්ඩර්සන් බයිසිකලයත් කරගසාගෙන අවසන් සීමාව කරා ඇදුණේ පිටුපසින් ආ සුමනවීරට දෙවැනි තැන හිමිකරදෙමිනි. වාසනාවකට අනිකුත් තරඟ කරුවන් සිටියේ බොහෝ ඈතින්ය. හෙන්ඩර්සන් තුන්වැන්නා විය. තරඟය නිම කිරීමට ආසන්නයේදී පාපැදිය අඩපන වුවත්, තරඟකරු පාපැදිය සහිතවම තරඟ නිමාවේ මායිම් රේඛාව පසුකල යුතු බව මම පළමුව දැන ගත්තේ එදාය. එය ඉතා සංවේදි දසුනක් යැයි කිව යුතු නැත. බයිසිකල් ධාවන තරඟ වලදී ෆිනිෂ් එක ආසන්නයේ සිට නැරඹීමේදි ඇතිවන තිගැස්ම සහ අතපය හසුරුවා ගැනීමට නොහැකිවීම, ඔබත් දිනක අත්විඳ රසවිඳිය යුතුය. සුමනේ එක් තරඟයක් නිමකෙරුවේ දෙවැනියාවූ හෙන්ඩර්සන්ට වඩා පැයකුත් විනාඩි තිස් පහකට කලින් බවත් මට මතකය. තවත් තරඟයකදී සුමනවීර ලේක් හවුසිය අසලින් නිමා කරන විට තවත් තරඟ කරුවන් පිරිසක් තවමත් කොග්ගල පසුකර නැති බවත් ගුවන් විදුලියෙන් පැවසුවේ ප්‍රේමසර ඈපාසිංහයන්ය. බොනිෆස්, සුමනවීර සහ හෙන්ඩර්සන් යුගය ශ්‍රීලංකාවේ පාපැදි තරඟ ඉතිහාසයේ මා දුටු ස්වර්ණමය යුගයයි.
පාරෙන් අයින්වෙන්න යැයි හඬ ඈතින් ඇසෙන විට මම, ජෝරිස් ආනන්ද, රත්නේ ඇතුළු පිරිවර බාල්දිද, හිස් නෙස්ප්‍රේ ටින්ද පුරවාගෙන මග දෙපසට වී සිටින්නෙමු. ඒ ධාවකයින්ට වතුර ගැසීමටය. ප්ලාස්ටික් බෑග් එදා නොතිබු නිසා ඒවාට වතුර පුරවා, දමා ගැසීමක් නොවීය. වරක් අපූරු මෙන්ම බිහිසුණු වැඩක් සිද්ධවූයේ අපේ මිත්‍ර ජෝරිස් ආනන්දට පිංසිදුවෙන්නටය. මහා බයිසිකල් තරඟය වේගයෙන් කොළඹ දෙසට යාමට නියමිතය. ජෝරිස් ආනන්ද පාර අයිනේ උලාකමින් සිටි ගවයෙකුගේ නැට්ට කැරකුවේ හිතා මතා නම් නොවේය. ගවයා පාර මැද්දට පැන්නේ, ඉතා වේගයෙන් පොකුර පිටින් එන සයිකල් කරුවන් දෙසටමය. එකම ජංජාලයකි. තරඟකරුවෝ දහ පහළොස් දෙනෙක් එක ගුලියට පර මැද ඇද වැටිලාය. හරකා සතර අතේ දුවයි. ජෝරිස් ආනන්ද පේන තෙක් මානයක නැත. දවස් දෙකක් උණ ගැනී ගෙදරටමවී සිටියේ බයවුණු භයවිල්ලට යැයි වැඩිහිටියෝ කියන්නට ගති. තැළුණු සහ ඇදවැටුණු බයිසිකල් මොහොතකට ප්‍රමාද විය. බේරුණු උදවිය ෆිනිෂ් එක සොයා කොළඹ දෙසට හමා යන්නට විය. සම්පූර්ණ දෝෂාරෝපණය අහිංසක හරකාටය. නැට්ට කැරකවපු බව දන්නේ මමත් ආනන්දත් පමණි. අද රත්නේත්, ජෝරිස් ආනන්දත් ජීවතුන් අතර නැත.
බයිසිකල් ධාවන තරඟ වර්තමානයේ පවත්වන්නේ කෙසේද කොහේද කියා මම නොදනිමි. සුමනවීරගේ දියණියන් දෙදෙනා නම් අන්තර් ජාතික තරඟයන්ට සහභාගිවී ජයග්‍රහණ රැගෙන ආ ඇති බවත් පුවත්වලින් දැක ඇත්තෙමි. එවැනි දක්ෂයින්ටත් තවමත් රැකියා අවස්ථාවක් නැති බව කනගාටුවට කරුණකි. පුතුන් දෙදෙනාද සයිකල් ශූරයන් බව අසා ඇත්තෙමි. බොනිපස් පෙරේරා පසුකාලයකදි අපේ කළමනාකරු ලෙස ජපානයේ සංචාරයකට සහභාගිවූ නමුත් ඔහු සහ තවත් දක්ෂ ක්‍රීඩකයින් කීප පලක් නැවත පැමිණියේ නැත. මොරිස් කුමාරවේල් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් පසුකාලයකදී අභාවප්‍රාප්ත විය. සුමනවීර තවමත් නිරෝගී ජීවිතයක් ගත කරන බව මිතුරෙක් පැවසීය. ඇන්තනි සිමන්ස්ද එසේම යැයි අසා ඇත්තෙමි. ඔහු පාපැදි සවාරි ඉතිහාසය ගැන ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් පොතක් ලියා ඇති බව කිව්වේ ,තවත් මම වැනිම බයිසිකල් රේස් පිස්සෙකි.
අදත් මම මේ සටහන ලියන්නට ගත්තේ සංගීත සංදර්ශන සහ බයිසිකල් රේස් ගැන ලියන්නට සිතාගෙන වුණත් අවසානයේ බයිසිකල් රේස් වලටම සීමා විය. ඒ කියන්නේ සංගීත සංදර්ශන ගැන ලියන්න වෙන්නේ වෙන දවසකය. දෛවය කියන්නේ මේකට විය යුතුය. මා උපන් ගමෙන් පිටව වෙනත් තැනක් ගැන සහ වෙනත් සිදුවීම් රාශියක් ගැන ලිවීමට උවමනා වුණත් මට තවමත් දෙල්කඳින් පිටව යෑමට බැරිව ඇත. මගේ ජීවිතයේ මතක හිටින සිදුවීම් වැඩියෙන්ම ඇත්තේ මේ භූමියේ විය යුතුය. ඊළඟ ලිපියෙන් පසුව වත් මම මගේ ගමනේ අනිකුත් ඉසව් කරා පිය නගන්නෙමි .

No comments:

Post a Comment