Tuesday, January 14, 2014

අවුල් වන්නට පෙර (25)….වාද බයිලා…


මම ඒ වෙනවට විටත් දෙල්කඳ ගංගොඩවිල ලොකු අම්මාගේ නිවසේ පදිංචිව සිටියෙමි. රාජකීය විදුහලට ඇතුල්වු දින සිට වසර 4-5ක් ඇතුළත මගේ හයවැනි නවාතැන් පොළ එතැනය. මට හත්වැනි නවාතැනටත් යන්නට සිදුවන බව කණින් කොනින් ඇසේ. මගේ රස්තියාදුකාර ජීවිතය එයට වග කිව යුතුය. ලොකු අම්මාත් ආච්චීත් මට පණ මෙන් ආදරයේය. මේ තීරණය ගන්නට යන්නේ ඒ නිසාය. සාකච්ඡා මූලික අවදියේය.
මහාචාර්ය්‍ය සුනිල් ආරියරත්නයන් වටිනා ශාස්ත්‍රීය කරුණු ඇතුළත් කර බයිලා කලාව ගැන පුස්තකයක් ලියා පල කල ඇත. එම පොත කියවීමට නොලැබුණත් එහි අඩංගු සමහර කරුණු පුවත්පත්වල පළවිය. බයිලා කලාව ගැන ලියවුණු පොත්පත් ඇස ගැටී නැත. නමුත් මා මේ ලියන්නේ මහාචාර්ය්‍ය තුමා ලියු ශාස්ත්‍රීය කාරණා නොව , මම මගේ ගැටවර යුගයේ දුටු වාද බයිලා කලාව ගැනය.
අදටත් වාද බයිලා සංදර්ශන නැරඹිය හැක. දැන්නම් බොහෝ විට ඇත්තේ රූපවාහිනි මැදිරිවල සිදුවන රූ ගත කිරීම්ය. පොල්කොට හිටවා ඒ මත ලෑලි අතුරා, තහඩුවලින් හෙවිලිකල වේදිකාව මත සියල්ල සිදුවිය. මේවා සංදර්ශන කියනවාට වඩා වාද බයිලා තරඟ යැයි කීම නිවැරදිය. හැමෝම තරඟ වැදුණේ කුසලානයක් ඇතුළු යම් මුදල් ප්‍රමාණයක් සඳහාය. ඒය කීයක්ද කියා කිසිවෙකුත් නොදනී. නුගේගොඩ අවට ගම්වැසියන් මේ වාද බයිලා තරඟ නැරඹීමට දැක්වූයේ පුදුම උනන්දුවකි. මගේ ප්‍රියතම විනෝදාංශයක් වූයේ වාද බයිලා නැරඹීමයි. මේ තරඟ නුගේගොඩ , මහරගම, දෙහිවල ප්‍රදේශවල නිතර සංවිධානය විණි. අපේ කට්ටිය සමහර අවස්ථා වලදී දෙහිවලට පයින් ගොස් නැවත පයින්ම පැමිණෙන්නේ මේ පිස්සුව තදින්ම වැළඳී සිටි නිසා යැයි සිතේ.
වාද බයිලා වේදිකාවේ ඉදිරියෙන්ම විශාල කුසලානය පෙනෙන්නට තබා තිබේ. ඒ හැර අනිකුත් කුසලානද වට කර ඇත.පොල්කොට වේදිකාවේ මැද්දට වන්නට අර්ධ වක්‍රාකාර ලෙස පුටු තබා ඇත්තේ ශිල්පීන් සඳහාය. 12-14 වැනි ගායකයින් ප්‍රමාණයක් මේ වැඩේට හවුල්වේ. ඔවුන්ටත් පිටුපසින් ප්‍රේමදාස කළු ආරච්චි ප්‍රමුඛ වාදක මංඩලයේ තිදෙනා හෝ හතර දෙනාය. මැණ්ඩලින්, වයලින්, බොන්ගෝ වැනි වාදක භාණ්ඩ හතරක් පහක් පමණි. එදා සිටි ජ්‍යේෂ්ඨම වාද බයිලා ශිල්පියා වූයේ මරදානේ රූබන්ය. වොලි බැස්ටියන්, එම්.එස්. ප්‍රනාන්දු වැනි අය වාද බයිලාවලින් ඉවත්වී කෝරස් බයිලා ගායනයට පිවිස තිබුණි. නමුත් එම්.එස් ගේ ගෝලයා රත්මලානේ මිල්ටන් සිල්වා වාද බයිලා පිටියේ කප් ගැසූවෙකි. මරදානේ රූබන්ගේ ප්‍රසිද්ධ ගෝලයා වූයේ තොටළඟ කුසුමපාලය.
එදා බයිලා ගායකයින් බොහෝ විට දෙහිවල, ගල්කිස්ස්, මොරටුව වැනි වෙරළබඩ පෙදෙස්වලින් සහ මරදාන, කොම්පඤ්ඤ වීදිය, තොටළඟ වැනි නාගරික ප්‍රදේශවලින් බිහිවූවන්ය. බොහෝ විට බයිලා කලාව හැර මොවුන්ගේ ප්‍රධාන විනෝදාංශය වූයේ මත්පැන සහ දුම්බීම යැයි කිවහොත් ඒ පරපුරේ උදවිය මා සමග අමනාප නොවෙනු ඇතැයි කියා සිතමි. ඒ ඇත්තමය. පාන්දර තුන හතර වෙනකම් විවෘත වේදිකාවේ ,නොකඩවා නොයෙකුත් මාතෘකා සහ තාල රාග අනුව එ සැණින් පද නිර්මාණය කර ගැයීම ලේසි ඵාසු කටයුත්තක් නොවේ. අඩියක් පුඩියක් නොගසා ඔය වැඩේ කරන්නට නම් ඔහු විශ්වකර්මයෙක් විය යුතුය. මොවුන් අනිකුත් ශිල්පීන් මෙන් කඩවසම් නළු ස්වරූපයක්වත්, දිලිසෙන ඇඳුම් පැළඳුම් වලටත් ලොල්වූ අය නොවීය. ඔවුන් අප ඔබ වැනි ඉතාමත් සාමන්‍ය ජීවිත ගතකළ පහළ මධ්‍යම පාංතිකයන් හෝ ඊටත් පහළින් සිටි උදවියයි. මුන් බොහෝමයක් සුන්දර නිර්ව්‍යාජ මිනිසුන් විය. ඔවුන් ගැන යමක් සඳහන් කිරීම වාද බයිලා පිස්සෙක් වූ මගේ යුතුකම යැයි මම සිතමි.
වොලී බැස්ටියන්ගෙන් පසු වාද බයිලා ගුරු පරපුරු දෙකක් විය. මරදානේ රූබන් ගුරුවූ තොටළඟ කුසුම්පාල, කොම්පඤ්ඤ වීදියේ ආනන්ද තිස්ස වැනි අයත්, එම්.එස්.ගේ ගෝල මිල්ටන් සිල්වා ගුරුවූ, රත්මලානේ ටිඩි ගුණතිලක, මොරටුවේ ඒසිරි, පර්සි වැනි වෙරළබඩ උදවියත් ඒ පරපුරු දෙක විය. සිරිවර්ධන නම් ගුරුට ගෝලවූ කිරිබත්ගොඩ පවුලිස් අමතක නොකළ හැක. ඒසිරි , පර්සි ,වසන්ත මදුරාවල යන අය ආධුනිකයෝ වූහ. මොවුන් සියල්ලම එකෙනෙකට බැඳුණු යහළුවන් රැළක් විය. බයිලා පිටියේ වාද කරගත්තෝ වූහ. නමුත් ඔවුන් අතර සුන්දර වදන් මාලාවක් විය. එකිනෙකා තුළ සුහද ආමන්ත්‍රණයක් විය. අද අපට නැත්තේද එයයි.
රූබන් අයියා ඉතා උස මහත පුද්ගලයෙකි. සුදු සරමත්. සුදු කමිසයත් හැඳ කළු කෝට් එකක් උඩින් පළඳින මොහුගේ මුහුණ මධුවිත නිසාමද නිතරම පිම්බී තිබුණි. මරදානේ චොප්පෙලාගේ මිතුරෝ විය යුතුය. ඇත්තටම රූබන් අයියා මරදානේ හොඳ කකුලකි. මොහුගේ ප්‍රධාන ගෝලයාවූ තොටළඟ කුසුම්පාල අපට සිටි සුපිරි ගණයේ වාද බයිලා ශිල්පියෙකි. මොහු වාද බයිලා කලාව වෙනුවෙන් බොහෝදේ ඉතිරි කරන්නට වෙර දැරුවේය. මොහු වාද බයිලා සංගමයක්ද ආරම්භ කළේය. ඉතාමත් පිරිසිඳුව හැඳ පළඳින මේ ශිල්පියා සුදු සරමත් කමිසයත් සුදු බඳ පටියත් බඳියි. “කොණ්ඩේ බාම්” ගල්වා මැනවින් හිස පීරා සිටියෙය. අපූරුම ශිල්පියා වූයේ කිරිබත්ගොඩ පවුලිස්ය. මොහු හැබෑවටම තට්ටයෙකි. සිහින් සිරුරක් හෙබි පව්ලිස් ඇන්දේ කලිසම සහ කපටි සූට් එකට වඩා සරල, එවැනි සුදු කමිසයකි. පැල්ඳුවේ රබර් සෙරෙප්ප්ය. කිරිබත්ගොඩ තට්ටයා නම්වූ මොහු නැති වාද බයිලා තරඟයක් වැඩක් නැත. මොහුගේ වදන් සහ අංග චලනයන් ඉතාමත් උපහාසාත්මකය. අපේ කට්ටියගේ වීරයා වූයෙ පව්ලිස් උණත් මම ඇලුම් කළේ කුසුම්පාලටය.
වාද බයිලා තරඟයකදී පළමු වටය වෙන් වන්නේ බුදුගුණ ගැයීමේ අවස්ථාවටය. දෙවනුව තම තමන්ගෙ අනිකුත් ආගම් සම්බන්ධවය. මොවුන් අතර ක්‍රිස්තු භක්තිකයින්ද බොහෝ විය. ඉන් අනතුරුව දෙමව්පිය වරුණයි. ඉන් පසුව තම බයිලා ගුරුවරුන් සිහිකොට ගැයෙන ඉතාම සංවේදි වටයයි. වේදිකාවේම එකට ගයනා තම ගුරුන්ටත් කපිරිඤ්ඤා තාලයෙන් ගුණ වැයීමත්, ආසනයෙන් නැගිට ගුරුන් සිටිනා පුටුවට ගොස් නමස්කාර කිරීමත් ඉතා සංවේදිජනකය. ඉන් අනතුරුව අවට ප්‍රදේශයත්, සංවිධායක මඩුල්ලත් අළලා ගායනයේ යෙදී තරඟය අරඹයි. ඒ කාලය තුළ පහළට ගොස් අඩිපුඩු ගසන්නේත්, සිගරට් බොන්නේත්, විහිළු තහළු කරගන්නේත් ගුරු ගෝලයන් එකටමය. ඒ ඔවුන් සියල්ලෝම වැඩිහිටියන් නිසාය. බොරු සෝ නැත. මා අදටත් ඔවුන් සිකරන්නේ නිර්ව්‍යාජ කලාකරුවන් ලෙසය. ඔවුන්ට නොතිබුණේ මුදල් පමණය. හැම හොඳ එකාටම අඩුවෙන්ම ඇත්තේ ඔන්න ඔය සල්ලිය.
බයිලා තාල කිහිපයක්ම විය. අප කවුරුත් දන්නා කපිරිඤ්ඤා වලට අමතරව ආයම්මා, මිඥ්ඥමායි, ආතර් සිංඤෝ, උසි උසී යනුවෙන් තාල බොහෝමයක් විය. හතරකොන, අටකොන, දහසය කොන වැනි භාශාව උරගා බලන තාලද විය. නොයෙකුත් තාල, රාග සහ මාතෘකා මත ඇදීයන වාද බයිලා තරඟත් පාන්දර දෙක තුන වෙන විට අවසන්ය. අපි පයින්ම නිවෙස් කරා ඇදෙන්නෙමු.
පසුවදාට ඩයස් මුදලාලිගේ තේ කඩේ මේස වලට තට්ටු කරමින් අපේ කට්ටියගේ වාද බයිලා තරඟ පැවැත්වේ. සමාජයේ සමහරක් උදවියට නිකම්ම නිකම් බයිලා කාරයන්වූ මේ දක්ෂ ශිල්පීන්ව අපට නම් එසේ නොවීය. අප ඔවුන් අනුගමනය කරමින් විනෝද වූහ. අනිකුත් කලාකරුවන් පවා මොවුන්ට බෙදුවේ අමුතු හැන්දකින්ය. ඒ අපේ එවුන්ගේ නොදන්නා කම විය යුතුය. කොන්ඩ සමන් සහ ජෝරිස් රංජි මේසේ දෙපැත්තේ සිට වාද බයිලාවලින් ගසා ගනී. අපි අත්වැල් අල්ලන්නෝ වෙමු. නැතහොත සක්ක ගසන්නෝය. පසු කාලයකදී මමත් ඔවුන් හා උරෙන් උර ගැටී වාද බයිලා හරඹයේ යෙදුනෙමි. වැඩිහිටි තරුණයෝ අඩිපුඩි ගැසුවත් අපේ වයසේ අයට කිසිදිනෙක නොලැබුනි. අපි හොරෙන් සිගරට් ඉරුවෙමු. ඒ සොඳුරු මතකයන් කෙසේ ලියා අවසන් කරන්නද?
මගේ මේ ගමන් බිමන් සහ දඩාවතේ යෑම ගෙදරට ආරංචි වී අවසන් බව මට හොඳ හැටි වැටහේ. වෙනස් කම් කිහිපයක් සිදුවෙන්නට නියමිතය. මම උසස් පෙළ පංතියට යෑමට සුදානම් විය යුතුය. කොට කලිසමෙන් දිග කලිසමට මාරුවීමට කාලය හරිය. වසර හතරක් එකම පන්තියේ සිටි අයගෙන් වෙන්ව වෙනත් වෙනත් විෂය ධාරාවන්ට ඇතුළත්වීමටත් නියමිතය. අළුත් නවාතැනක් ගැනත් කතාබහය. ඒ අතරතුර රටේ පාලනයේද උඩි යටිකුරුවීමක් නියමිත බව මැතිවරණයට උනන්දුවූ අය කථාවෙති. මම විමසිල්ලෙන් බලා සිටියෙමි.
ප.ළි.
මගේ ආදරණීය බිරිඳ අසන්නේ මගේ කතාව නොලියා වෙනත් වැල් වටාරම් ලියන්නේ ඇයි කියාය. ඒ වටපිටාව නොලියා මගේ කතාව ලිවීමට නොහැකිය. මම ඒ අතීතය රස විඳිමි. ගංගොඩවිලින් පිටව යාමට පෙර ලියා තැබිය යුතු තවත් රසවත් කළා සහ ක්‍රීඩා අංගයන් දෙකක් ඇත. ඒ මගේ කාලයේ සංගීත සංදර්ශන සහ බයිසිකල් රේස්ය. එය අද ලිවීමට ගියහොත් දිග වැඩිවෙනවා නිසැකය. ඊළඟ කොටසින් ඒ ගැන ලියා මම ගංගොඩවිලෙන් පිටව යන්නෙමි.
කැමති නම් මෙයට සවන් දෙන්න..පළවෙනි ක්ලිප් එකේ තියෙන වචණ වලට නිවැරදිව සවන් දෙන්න!!! අපිට අහුලා ගත යුතු දේ බොහෝ ඇත. ඒවා කොයි කාගෙත් බුද්ධි වර්ධනයට ඉවහල් වේ.

No comments:

Post a Comment