Wednesday, January 8, 2014

අවුල් වන්නට පෙර (24)……යු.ඩි.රත්නසිරි


මගේ ජීවිතයේ බොහෝ විනෝදකාමි හෙවත් ජොලිබර වැඩ කටයුතු බොහෝමයකට මුල පිරුවේ මා මිත්‍ර යු. ඩි. රත්නසිරි නොහොත් රත්නේ සමගය. පසුකාලීනව ඔහු හා සමග තිබු සියලු සම්බන්ධකම් ගිලිහී ගියේ මට දෙල්කඳින් බැහැරව නැවතීසිට පාසැල් යාමට සිදුවූ නිසාය. ඇවිද්ද පය බ්ලොග් සටහන ලියන අපේ සුධීක, මගේ පසුගිය ලිපියට දැක්වූ අදහස අනුව රත්නේ ජීවිතයෙන් සමුගෙන ගොස් අවසන්ය. ඔහු කියන තෙක් මම ඒ ගැන නොදැන සිටියෙමි. ජීවිතයේ හැටි එසේමය. මතක පමණක් ඉතිරිකර නැවත යා යුතුමය. ආදරණීය රත්නේ….මම ඔබට නිවන් සුව පතමි.
1970-1980 දශකය තුළ සිංහල චිත්‍රපටි 300ට ආසන්න ප්‍රමාණයක් ප්‍රේක්ෂකයා වෙත තිළිණ කර තිබේ. මමත් රත්නේත් චිත්‍රපටි නරඹන යුගයේදීත් නිතර නිතර අළුත් සිනමාපට මුදාහැරිණි. මින් බොහොමයක් කොල්ලා-කෙල්ල, දුෂ්ටයා, විහිළු, ෆයිට්, සිංදු අඩංගු වාණිජ රැල්ලේ චිත්‍රපට විය. රත්නේ මහත් ඇල්මක් දැක්වූයේ මෙවැනි නිර්මාණ නැරඹීම සඳහා පමණය. මේ අතර තුර වරින්වර කලාත්මක සිනමා කෘති බිහිවූ අතර, මෙවන් වෙනස් ආකාරයේ චිත්‍රපට රස විඳීමටත්, එම චිත්‍රපට මොනවා දැයි හඳුනා ගැනීමටත් ඒදා පටන්ම මට පුංචි ඉවක් තිබිණි. ඒයට හේතුව වන්න ඇත්තේ රාජකීය විදුහලේ නවරඟහල විය යුතු යැයි මම සිතමි.
සමස්ත ලංකා පාසැල් නාට්‍යය තරඟ පැවත්වූයේ නවරඟහලේ නිසා පාසැල් අහවරවී එක දිගටම මෙම නාට්‍යය නැරඹීම අප පුරුද්දක් කරගෙන සිටියෙමු. මා මිත්‍ර මහනාම රණසිංහ මතක් කරදුන් පරිදි මේ තරඟ විනිශ්චය කිරීමට පැමිණියේ මහගම සේකර, හෙන් රි ජයසේන, ආචාර්ය ප්‍රේමදාස උඩුගම වැනි බොහෝ ඇසූ පිරූ තැන් ඇති උදවියය. මොවුන්ගේ දේශන, සාකච්ඡා මට වෙනස් ආකරයේ නිර්මාණ හඳුනාගැනීම සඳහා ඉවහල් වන්නට ඇත. මේ යුගය සියලු කළා කටයුතුවල ස්වර්ණමය යුගය යැයි මට හැඟේ. පසු කාලයකදී නාට්‍ය නැරඹීම අතහැරිය නොහැකි පුරුද්දක් බවට පත්විය. ඒ නම් අමරබන්දු රූපසිංහ නම් ඒ ශ්‍රේෂ්ඨ වැඩිහිටි මාධ්‍යවේදියාගේ ඇසුර නිසා යැයි සිතමි. සමාජය තුළින් මා ලැබූ දැනුම එකතු කරගත්තේ, කාලයෙන් කාලයට ඇසුරු කිරීමට ලැබුණු ඔවැනි පුද්ගල චරිත හරහා බව නම් නිසැකය.
අප ගම් ප්‍රදේශය අවට සිනමාහල් පහක් විය. මින් ලැවීනියා සිනමාහල ඉංග්‍රීසි චිත්‍රපට හෝ නැවත ප්‍රදර්ශනය කෙරෙන සිංහල චිත්‍රපට සඳහා වෙන්විය. චිත්‍රපට බෙදාහැරියේ සිනමාස් සහ සිලෝන් තියටර්ස් ආයතන දෙකෙන් පමණක් බැව් මතකය. මෙය සියයට සියයක් නිවැරදි දැයි මම නොදනිමි. සිනමාස් සමාගමේ චිත්‍රපට, නුගේගොඩ කුයින්ලන් සහ මහරගම අනුෂා සිනමාහල් වලත්, සිලෝන් තියටර්ස් චිත්‍රපට නුගේගොඩ මෙට්‍රෝ සහ මහරගම නැෂනල් සිනමාහල් වලත් ප්‍රදර්ශනය කෙරිණි. දෙමළ චිත්‍රපට පාමංකඩ ඊරෝස් සිනමාහලේදි නැරඹිය හැක. පසුකාලීනව 1983 මූසල ජූලියේදී ඊරොස් ඇතුළු සිනමාහල් කිහිපයක් මුග්ධ මිනිසුන්ගේ අතින් ගිනිබත් කෙරිණි. බොහෝ සිනමාහල්වල ගැලරියේ ආසන මකුනු රජ දහන් විය. ගැලරියට යනවා නම් කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන යන්නේ සීට් එක උඩින් තබා වාඩිවි මකුණන්ගෙන් බේරිමටය. එසේ නොමැතිනම් ආසනය උඩ යටි පතුලෙන් ඉඳගෙන චිත්‍රපට නැරඹූ අවස්ථාද තිබේ.ඒ තුල නොයෙක් අකටයුතුකම් සිදුනොවුනාද නොවේ. ගැලරි සංස්කෘතිය ගැන වෙනමම ලිවිය යුතුය. කෙසේ වෙතත් මේ මිහිරි මතකයන්ය.
රත්නසිරිලාගේ තේ කඩයට හේත්තුකර ,චිත්‍රපට දැන්වීම් ඇලවීමට ලෑලි පුවරු දෙකක් විය. අවට සිනමා ශාලා දෙකකින් මේවා සපයා තිබු අතර මේ වෙනුවෙන් මාසයකට වරක් හෝ දෙවරක් අදාළ සිනමාහලේදී දෙදෙනෙකුට නොමිලයේ චිත්‍රපට නැරඹීමේ පහසුව සලසා තිබුණි. ළැලී පුවරු දෙක රැක බලා ගැනීම අපගේ රාජකාරියකි. එකල පුවත්පත්වල චිත්‍රපට දැන්වීම් එකම පිටුවක පලකිරීමත්, මිනිසුන් ඒවා කියවා බැලීමත් ජනප්‍රිය අංගයක් විය. මෙම දැන්වීම්වල අදාළ චිත්‍රපටියේ නමට යටින් වරහන් තුළ “පාස් සහ පහසුකම් අත් හිටුවා ඇත” යනුවෙන් වදන් පේළියක් ලියවී තිබුණා, මගේ යුගයේ අයට මතක ඇති යැයි සිතමි. ඒ සිනමා පටය ප්‍රදර්ශනයට නිකුත්කර සති දෙක තුනක් වෙන තෙක් පමණය. එවිට රත්නේගේ අර මා මුලින් කියු පාස් පාවිච්චි කර නොමිලේ චිත්‍රපට නැරඹිය නොහැක. සිනමාහල් පිරී ඉතිරී යන්නේ මුල් සති දෙක තුන අතර බැවින් පාස් සහ පහසුකම් අත්හිටවනු ලැබේ. පහසුකම් යනු හමුදාවට සහ පොලිසීයට චිත්‍රපට නැරඹීම සඳහා ලබා දී තිබු සහනයක් යැයි යාන්තමට මතකය. අපේ විචාරක තුමා මේ ගැන දැනුවත්ව ඇතැයි මම සිතමි.
චිත්‍රපටයේ පළමු දිනයේ දර්ශනය නැරඹීම සඳහා තිබුණේ ගුටිබැට, රණ්ඩු සරුවල් දක්වා දිවෙන තදබදයකි. ශත 55 ගැලරියේත්, 1.10 දෙවැනි පංතියේත් ටිකට් පෝලිම් හැසිරවීමට පොලිසිය කැඳවූ අවස්ථාත් නැතුවා නොවේ. සිනමාහල් සේවකයෙක් ඔබගේ මිතුරෙක් නම් එය විශේෂ වරප්‍රසාදයක් විය. පළවෙනි දර්ශනය නැරඹීමේ පිස්සුව රත්නසිරීට තදින්ම වැළඳී තිබුණි. අපි දෙදෙනා “අළුත් පිචැර් එකේ ෆස්ට් සෝ” එක නැරඹූ අවස්ථා බොහෝය. වේලාසනින් ගොස් පෝලිමටවී ඉන්නේ මමය. රත්නසිරිගේ මුදල් නිසා මට මගේ ශ්‍රමය මුදාහැරීමට සිදුවේ. චිත්‍රපටයක් බලන්නට තියෙනවානම් පැයක් දෙකක් පෝලිමේ සිටීම මට එතරම් ගැටලුවක් නොවීය.
මේ කාලය වනවිට සිංහල සිනමාවේ ජනප්‍රිය තරුවූ වූ ආනන්ද ජයරත්න, ජීවරානි කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි, අනුලා කරුණාතිලක වැනි අය සිනමාවට සමුදෙන යුගය. ගාමිණි ෆොන්සේකා රජ කරන යුගයත් විජය කුමාරණතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර ස්ථාපිත වෙමින් තිබූ කාලයත් කීවාට වරදක් නැත. ඔස්වල්ඩ් ජයසිංහ, සුදේශ් ගුණරත්න, බැප්ටිස්ට් ප්‍රනාන්දු, සේනාධීර රූපසිංහ, රෝයි ද සිල්වා වැනි අයද ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වූහ. මාලනි ෆොන්සේකා එදාත් රැජිනම විය. ගීතා කුමාරසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, සෝනියා දිසා, ජෙනිටා සමරසිංහ,අනෝජා වීරසිංහ කරළියට පැමිණෙන කාලයය. නීටා ප්‍රනාන්දු, ස්වර්ණා කහවිට, සුමනා අමරසිංහ, ශ්‍රියානි අමරසේනද හරි ප්‍රසිද්ධය. දුෂ්ටයින් රාශියකි. ඩොමී ජයවර්ධන, අශෝක පොන්නම්පෙරුම, පියදාස ගුණසේකර, එච්.ඩි.කුලතුංග, පියදාස විජේකෝන් වැනි අය ඒ ගොන්නේය. සටන් නළුවන් සිනමාවට දුන් දායාදය අදත් කිසිවෙක් සැලකිල්ලට නොගනී. රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, රෙක්ස් කොඩිප්පිලි ප්‍රධාන පෙළේ සටන් නළුවෝය. විලසන් කරූද සිනමාවට අවතීර්ණ විය. ඔහු කිරුලපන වැසියෙකි.
සිංහල සිනමාව ඒ තරම් දුරක් ඔසවා තබන්නට දායකවූ තවත් රංගන ශිල්පීන් කොටසක් විය. ඔවුන් හැඳින්වූයේ විකට නළුවන් ලෙසය. ඒ යෙදුම කොතරම් සාධරණ දැයි මට නොවැටහේ. හියුගෝ ප්‍රනාන්දු, දොන් සිරිසේන, ඩී.ආර්.නානායක්කාර, බි.එස්.පෙරේරා, ඇන්තනි සී පෙරේරා, ජෝ අබේවික්‍රම ඉන් ප්‍රමුඛයෝය. ප්‍රෙඩි සිල්වා ජනප්‍රිය වෙමින් සිටියේය. ක්‍රිස්ටි ලෙනාඩ්, එල්.එම්.පෙරේරා යුගය අවසන් වෙමින් පැවති අවධියය. ලිලියන් එදිරිසිංහ, පර්ල් වාසුදේවී, දෙනවක හාමිනේ, ශාන්ති ලේකා චිත්‍රපටවලට නැතුවම බැරි විය. මාක් සමරනායක, ඩේවිඩ් ධර්මකීර්ති, වින්සන්ට් වාස් වැඩිහිටි චරිත රඟ පෑ ප්‍රවීණයන් විය. මේ අතර සමාජශාලා නළඟනන්ගේ චරිතයකුත් චිත්‍රපටයට රිංගවීමට අධ්‍යක්ෂකවරයා වග බලා ගනී. හෙලන් කුමාරි, ෆරීනා ලායි එවැනි සුරූපි නිලියන්ය. ඒ පැද්දිලි, නැළවිලි රත්නසිරිලාගේ අපේ ලෝකය පද්දන්නට මෙන්ම නලවන්නටද බොහෝ ඉවහල් විය. මට අමතක නම් බොහෝය.
ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙණිපිටිය, අමරසිරි කලන්සූරිය,රවීන්ද්‍ර රන්දෙනිය,ස්වර්ණා මල්ලවාරච්චි,අනෝජා වීරසිංහ දෙනවක හාමිනේ වැනි ප්‍රවීණයන් වෙනම කුලකයකට දමා වෙනම්ම කතා කල යුතුය. මේ කොටසට අයත් තව බොහෝ අය ඇත. ඒවා ගැන ලියන්නට ගියොත් මගේ කතාව පසෙක දමා වෙනම ලිපි පෙළක් ලිවිය යුතු වෙනවා නිසැකය. සිංහල සිනමා වංශ කතාව බොහෝ රසවත්ය. මේ සම්බන්ධව ඒ.ඩි.රංජිත් කුමාරයන්ගේ පුත් නුවන් නයනජිත් ලියූ සාරගර්භ පුස්තකය මට පරිත්‍යාග කළේ මගේ ආදරණීය රංගන ශිල්පී මස්සිනා නිමල් පල්ලෙවත්තය. ඒ තවත් කතාකළ යුතුම පුද්ගල චරිතයකි. අවාසනාවකට මගෙන් මේ වටිනා පොත ඉල්ලාගත් හාදයා මට එය නැවත ලබා නොදුන්නේ පට්ටපල් බොරුවක්ද ඇද බාමිනි.
ගාමිණි-මාලිනි, ඔස්වල්ඩ්-ශ්‍රියානි, රෝයි-සුමනා, විජය-ගීතා, රවීන්ද්‍ර-නීටා වශයෙන්වූ ඒ ඒ සතුටු සාගරවල කිමිදුණු අපෙ කොල්ලන්ගේ සහ කෙල්ලන්ගේ ලෝකයේ කප් ගැසූ චිත්‍රපටි රාශියකි. තුෂාරා , හතර දෙනාම ශූරයෝ, ඇතුළු සමහරක් චිත්‍රපට නැරඹූ වාර ගණන මතකවත් නොමැත. හුලවාලී, දෑස නිසා, දුහුළු මලක්, බඹරු ඇවිත්, අහස් ගව්ව වැනි සිනමා නිර්මාණ ගැන කතා කල යුතුමය. අභිමාන්, ගීත්, සංජීර් වැනි වසරකටත් වඩා නොකඩවා ප්‍රදර්ශනය වූ හින්දි චිත්‍රපට එක පැත්තකින්ය. චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, සංගීත නිර්මාපකයින්, පසුබිම් ගායක ගායිකාවන්, කැමරා ශිල්පීන්, ඒවායේ තිබු අමතක කල නොහැකි ගීත කෙසේ ලියා අවසන් කරමි දැයි මට නොවැටහේ. බැරිය…කිසිසේත්ම බැරිය. කුඩා බ්ලොග් සටහන්කින් මගේ කාලයේ සිනමාව ගැන ලියා අවසන් කල නොහැකි නිසාත්, මගේ කතාව වෙනම පැත්තකට ගලාගෙන යන නිසාත් චිත්‍රපට කතාව අවසන් කරමි.
මගේ මිත්‍රයා රත්නසිරි මේ හැම කෙනෙකුටම වඩා ආදරය කළේ විල්සන් කරූටය. කරූට වඩා ටිකක් මිටි වුවත් රූපය ඔහු හා සමානය. රත්නේ විල්සන් කරූ අනුගමනය කරමින් රැවුලද කොණ්ඩයද වැවීය. පසු කාලයකදී චිත්‍රපට දෙක තුනක සුළු චරිත රඟපෑමට අවස්ථාව හිමිවූ බවත් අසා ඇත්තෙමි. මා කලින් කියූ පරිදිම රත්නේ, වෙනස් ආකාරයේ කලාත්මක චිත්‍රපටයක් බලන්නට කිසිසේත්ම කැමති වූයේ නැත. චිත්‍රපට තෝරන්නේ මම වුණත් බලන්නේ අපි දෙදෙනාමය. ෆයිට්, සින්දු, විහිළු නැති චිත්‍රපටයක් බලන්නට ගියොත් ටික වේලාවකින් මූ බොරුවට නිදාගන්නේය. ඒ උගෙ අකමැත්ත පළකිරීම සඳහාය. එදාට ඉන්ටවල් එකට අයිස් චොක්, බීම, සිගරට් මුකුත් නැත. විවේක කාලයටවත් නැගිටින්නේ නම් නැත. ගෙදර එනකම් බැණුම්ය. ගහන්න පුළුවන් නම් ගහන සයිස්ය.
බොහෝ විට රාත්‍රී 9.30 දර්ශනය අවසන් වෙන්නේ රෑ 12ත් පසුවී නිසා ගෙදර එන්නේ පයින්මය. මේ වෙනකොට ළඟ පාත බේකරිවල රෝස්පාන් වඩිය පුළුස්සා අවසන් වෙන වේලාවය. රත්නේට අමතරව සමහරක් විට අපි කට්ටිය පිටින්ම චිත්‍රපට බැලීමට යාමත් සිදුවේ. එදාට නම් රෝස්පාන් රසවත් වෙන්නේ අවට ගසකින් කඩාගන්නා කලටි පොලුත් එක්කමය. සිගරට් ඇදිල්ලද ගජරාමෙට සිදුවේ. මේ මොනවා කළත් සිනමාශාලාවෙන් ගන්නා ටිකට් එකේ ඉතිරි කොටස ළඟ තබා ගැනීම තම තමන්ගේ වගකීමවේ. හිටපු ගමන් මගදී පොලිසියෙන් ප්‍රශ්න කෙරුවොත් එය පෙන්විය යුතුය. එසේ නොතිබුණොත් වෙන්නේ, එළිවෙනකම් මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයේ රාජකාරී කටයුතුවල යෙදීමටය. මිරිහාන පොලිස් ක්‍රීඩංගණය විශාලය. වරින් වර මෙහි තුතිතිරි ගැලවීම කල යුතුය. පොලිසිය විසින් සිදුකර ගත යුතු දේවල් අප පිට පැවරෙන්නේ ටිකට් එකේ ඉතිරි කොටස නැතිකර ගත් දවස් වලටය. විශාල ෆ්ලෑස් ලයිට් දමා ආලෝකමත් කරන ක්‍රීඩා පිටියට ඒ කාලයට අප වැන්නවුන් අල්ලා ගෙන දමන්නේ තුත්තිරි ගැලවීමටය. ඒ කාලයේ නම් බනිස් ගෙඩියක්, ප්ලේන්ටියක් දීමට තරම්වත් පොලිසියට මුදල් තිබුණි. සමහරවිට ඒවාත් අවට බේකරි කාරයින්ගෙන් ලබා ගන්නා ඒවා විය යුතුය. එදාත් අදත් පොලිසිය හිතන් ඉන්නේ ඔවුන් අපේ ස්වාමීන් කියාය. නමුත් ඒ තුත්තිරි මතකය වහකදුරු මෙන් තිත්ත නැති බවත් කිව යුතුය.

No comments:

Post a Comment