Saturday, February 1, 2014

අවුල් වන්නට පෙර..(28) වාළුකාරාමය


මගේ සංගීත සංදර්ශන නැරඹීමත්, වාද බයිලා, පික්චර් පිස්සුවටත් තිත වැටුණේ මේ අවදියේය. මේ සියල්ල නිමාවිය යුතු බවත්, මට දෙල්කඳ ලොකු අම්මා සහ ආච්වී සමඟ නැවතී සිටීමට තවත් අවසර නැති බවත් තීරණය වී අවසන්ය. ආච්චී මා ගැන දුක් වන බව සීතූවත් එය එසේ නොවීය. මම ආදරය ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ අනුකම්පාව තුළින්ය. එය නම් ගොන් පාට් එකක් බව අදටත් හිතමි. මේ 1977 කාලය යැයි හොඳින්ම මතක ඇත්තේ ඒ මහා මැතිවරණයේ ප්‍රතිඵල ඇසීමට වූයේ මගේ අලුත් නවාතැන් සිටි කාලයේ බැවින් විය යුතුය. අනිත් කාරණය නම් මම උසස් පෙළ පන්තියටද ඇතුළු වූයේ එම වසරදේදීමය. නොයෙකුත් දුෂ්කරතා මැද අප පවුලේ උදවිය මේ වන විටත් පදිංචිව සිටියේ පහත්ගම ඊරියගොල්ලේ කඩ කාමරයක් බඳු කුඩා නිවසයකය. ආර්ථික ප්‍රශ්න ඉහවහා ගොස් ඇති බැව් පෙනුණේ බොහෝ කාලයකට පසු මට ගෙදර යන්නට ලැබුණ බැවින්ය. මා යහළුවන් සහ ගත කල කාල පරිච්ඡේදය තුළ මේ සියල්ලක්ම මට අමතවක ගොස් සැටිය. මට කල හැකි දෙයක්ද නොතිබුණි. 1977 මැතිවරණ පෙරළියත්, මගේ උසස් පෙළ පන්තියත්, පවුලේ තත්වයත් පසුව ලියන්නට තබා මගේ අලුත්ම නවාතැන් පොළ ගැන ලියා තබන්නෙමි.
1973- 1977 කාලය අතරතුර මේ මගේ හත්වැනි නවාතැන් පොළයි. මෙය මහා අපූරු අත්දැකීමකි. කොළඹ නගරයේ පිහිටි පැරණිතම විහාරාස්ථානයක් වන කොල්ලුපිටියේ වාලුකාරාම පන්සල මගේ මේ නවාතැනයි. මෙහි විහාරාධිපති වූයේ නිවන්තිඩියේ ආනන්ද නායක හාමුදුරුවන්ය. පිළියන්දල නිවන්තිඩියේ පදිංචිව සිටි ජිනදාස අන්කල් නම්වූ තාත්තාගේ කාර්ය්‍යාල සගයාගේ හිතවතෙක්වූ නායක හාමුදුරුවෝ නිසා මෙතැන නවාතැන් ගැනීමට ලැබිණි. ඒ කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනීමට දුර බැහැරින් පැමිණි භික්ෂූන් වහන්සේලා නවාතැන් ගත්තේ මේ විහාරස්ථානයේය. දහ පහළිස් දෙනෙක් පමණ භික්ෂූන්ද, විශ්ව විද්‍යාලයීය සිසුන් හතර පස් දෙනෙක්ද, පන්සලේ වැඩ කිරීමට තවත් හය හත් දෙනෙක්ද, රාත්‍රී කාලයේ බණ මඩුවේ නිදා ගැනීමට තවත් අසරණයෝද බොහෝ වූහ. මේ වට පිටාව මට අළුත් අත් දැකීම රාශීයක් ජීවිතයට එකතු කරදෙන ස්ථානයක් බවට පත්විය.
කොල්ලුපිටිය වාළුකාරාමය පිහිටා ඇත්තේ ගාලු පාරෙන් පටන් ගන්නා වාලුකාරාම පාරේ කෙළවරේමය. මෙය විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත. වාලුකාරාම පාරෙන් පන්සලට ඇතුළුවූවිට එහි අනෙකුත් මායිම් තුන වූයේද , ලංකාවේ ඉතා ප්‍රසිද්ධ මායිම් බිම් කඩ කිහිපයක්ය. එක මායිමක් වූයේ කොල්ලුපිටියේ මහානාම විදුහලේ දිගු තාප්පයයි. එම විදුහලේ උන්නතිය වෙනුවෙන් ආනන්ද නායක ස්වාමීන් වහන්සේත්, වාළුකාරාමය දායක සභාවත් මහත්සේ ඉවහල්වී ඇතැයි මම අසා ඇත්තෙමි. මහානාම විදුහලේ ආරම්භයේදි පන්ති පවත්වා ඇත්තේ වාලුකාරාම බණ මඩුවේ යැයි මම අසා ඇත්තෙමි. මා එහි නැවතීමට යන අවධීයෙත් මහානාමය කුඩා පාසැලකි. ක්‍රීඩංගනයක් නොවීය. පංති කාමර පේළි කිහිපයකට පමණක් සීමා විය. පන්සල් භූමියේ වම් පසින් මායිම් වූයේ කොල්ලුපිටිය පස්වැනි පටුමගේ ධනවත් නිවැසියන්ගේ ඉඩම් පිටුපස තාප්පයන්ය. පන්සලේ පිටුපස මායිම විවෘතව තිබුණි. ගේට්ටු තාප්ප කිසිවක් නොතිබුණි. එහි පෙනෙන මායිම කොළඹ කාන්තා විදුහලේ පිටුපස තාප්පයට නුදුරින්ම විය. පස්වැනි පටුමගින් , කොල්ලුපිටිය, ෆ්ලවර් රෝඩ් දෙසට ඇවිදගෙන යාමට කොන්ක්‍රීට් අතුරු පාරක් විය. මෙහි වාහන පැදවීමක් නොතීබු අතර , මහානාම විදුහලේ ඉතා කුඩා පිටුපස ගේට්ටුව පමණක් එතැනට විවෘත විය. ගලා යන කුඩා වතුර ප්‍රවාහයකින් රෙදි සෝදා වේලා දීමේ අහිංසක වැඩ පිළිවෙළක් ද්‍රවිඩ ජාතික යුවලක් පවත්වා ගෙන ගිය බව මතකය. තවත් බෝතල් පත්තර එකතු කරමින්, පන්සල් භූමියේම රැකවරණ ලැබු ද්‍රවිඩ මිනිසුන්ද වූහ. ගාලු පාරටත්, රාජකීය විදුහලටත් මැදිවන මානයේ වාළුකාරාමය පිහිටා තිබුණේ යැයි කීවොත් යම් තාක් දුරට නිවැරදිය.
නිවන්තිඩියේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතා තදින්ම ශ්‍රිලනිප දේශපාලනයේ යෙදුණු අයෙක් බව කවුරුත් දනී. 1956 සමාජ වෙනස්වීම් වෙනුවෙන් නිවන්තිඩියේ ආනන්ද හිමියන් විශාල මෙහෙවරක් කර ඇති බව ශ්‍රීලනිප ඉතිහාස පොත් තිබේ නම් සාක්කි ඉතිරිව තිබිය යුතුව ඇත. වාළුකාරාමය ඒ අරගලයේ තෝතැන්නක් බවද මම අසා ඇත්තෙමි. කොල්ලුපිටිය හන්දියට ආසන්නව තිබූ පොල්වත්ත පන්සල ඩඩ්ලිලාගේ, ජේ ආර්ලගේ පන්සල් බවද මම අසා ඇත්තෙමි. පසු කාලවලදී එය දෑසින්ද දුටුවෙමි. නිවන්තිඩියේ හිමි බංඩාරනායකගේ ඉතා හිතෛෂී පුද්ගලයෙක් බව පන්සලේ තිබූ පුරාණ ලියකියවිලි , ඡායාරූප දුටුවිට මට සිතා ගත හැකිවිය.
බණ්ඩාරනායක ඝාතන සිද්ධිය හා බැඳුණු නඩුවේ පැමිණිලි පාර්ශවයේ ප්‍රධාන සාක්ෂිකරුවෙක්වී ඇත්තේ නායක හාමුදුරුවන්ය. ඒ අවස්ථාවේ ඔහු බණ්ඩාරනායක අගමැති හා සමග සිටිබව එදා මා දුටු වාර්තාවල ලියවී තිබුණි. ඒ හා බැඳුණු අනිකුත් කාරණා ගැන කීමට මට එතරම් දැනීමක් නැත. මෙහිමියන්ට එම සිදුවීමෙන් පසුවත් මරණ තර්ජන තිබූ බවට හොඳම නිදසුන වූයේ 1977 යුගයේත් ඔහුගේ නිදන කාමරයේ ජෙනෙල් වට කර තිබූ යකඩ දැල් අවාරණයන් යැයි පැහැදිලිය. ආනන්ද හාමුදුරුවන් යකෙකුටවත් බිය නොවූ, ඉතාමත් දැඩි ,ස්ථාවර පෞරුෂත්වයකින් හෙබි , කට හඬින් පවා කෙනෙකුට නොදෙවෙනිවූ, කඩවසම් දේහධාරියෙක් විය. කටවාචාල වදන් හෝ පුහු ගෝරනාඩු ඒ ශබ්දකෝෂයේ නොවීය. එක් බැල්මකින් හෝ යම් වචන පේලියකින් මදාවියෙක්. දාමරිකයෙක් හෝ බල පුළුවන්කාර ධන කුවේරයෙක් මෙල්ල කිරීමේ හැකියාව ඔහු සතු විය. එහිමියන් සතුව තිබු සැබෑ නායකත්ව ලක්ෂණයන්ය. නාගරික විහාරස්ථානයක් මැනවින් පාලනය කරගෙන යෑමට නම් යම් කිසි හෝ ගිහි ගති පැවතුම්ද ආරුඪ කර ගත විය යුතුවේ. ඒවා මෝඩ චණ්ඩිකම් නොවන බව මම පසුව පහදා දෙන්නෙමි. මෝඩ චණ්ඩි පිස්තෝල පොඩි සාධුලා බොහෝය. ඒ සෙල්ලම් පටන් ගත් තැන ගැනත් බය නැතිව මට පසුව විස්තර කල හැක. මට මේ හා කිව හැකි කාරණා බොහෝමයකි.
මම “අවුල් වන්නට පෙර…දේශපාලනික සටහනක් නොවේ” යැයි ලියූ පෙරවදනේ සටහන් කෙරූ පුද්ගල නාමයන් තුල මෙතුමා එක් චරිතයකි. ඒ ලියා තිබු අය අතරින් අද ජීවතුන් අතර ඇත්තේ චාල්ස් කුමාරයා පමණි. මගේ ජීවිත ගමන ගලායන මේ කතාවේ නිවන්තිඩියේ ආනන්ද නම්වූ මහා පුරුෂයා ගැන ලිවිය යුතු දේ බොහෝය. මෙතුමන් මහා ගැඹුරින් ශාස්ත්‍ර හැදෑරු මහා පන්ඩිතයෙක් නොවීය. අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේටත් වඩා ඉහලින් දෙසුම් පැවැත්වූයේත් නැත. සිවුරු වෙනුවට සිල්ක් සාරි පැලඳුවේත් නැත. තුනුරුවන් සරනයි කියා හාදු දුන්නේත් නැත. විය යුතු දේ සිදුවිය. නිවන් දකින්නට පාරමි පිරුවේ නැති බව අවට දායකින්ද මැනවින් වටහා ගෙන සිටි බව නම් ඉතා පැහැදිලිය. මෙය පොන්න උපාසක උපාසකාවියන් පෝයට සිල් ගන්නා ෆැන්සි පන්සලක් නොවීය. මා හා උරන වීමට වඩා සිදුවිය යුත්තේ ඔබේ ගැහෙන හදවත හා චූටි තට්ටුවක් දමා ඔබ කවුද යන්න සිතා බැලීම පමණි.
මා ඉහළ ලියා තැබු ලෙසම ,ආනන්ද වූ නම් එතොමෝ ප්‍රායෝගික මිනිසෙක් විය. ශාස්ත්‍රීය ඉගෙනුමක් නොලැබුවා වුණත් ඔහු අනිකුත් ආගමික සංකල්පයන් පිළිබඳව සංයමයෙන් හා විචක්ෂණශීලීව සමාජ අධ්‍යයනයක් ලැබුවේක් යැයි මට හිතෙන්නේ ,එවන් බෞද්ධ විහාරස්ථානයක් පවත්වා ගෙන යාම සඳහා අවට සිටී , අන්‍යාගමිකයින් (කොල්ලුපිටිය ගල් පල්ලිය ,මුස්ලිම් දේවස්ථානය, හින්දු භක්තිකයන් )මෙන්ම , ඒ අවට විසූ පහළම ආදායම් ලාභීයාගෙ සිට මහ එකා පවා ගෙන්වා ගැනීමට තිබු ප්‍රායෝගිකත්වයයි.
පන්සල් භූමිය නම් හැමදාමත් ඉතා පිරිසිඳු , මහා දැකුම්කළු භූමියක් විය. ඒ සඳහා දායක වූවෝ බොහෝය. ඒ ගැන මම පසුව ලියමි. බෝධිය, බණ මඩුව. ඝාන්ඨාර කුළුන, බුදුගෙය මේවා අති විශිෂ්ඨ ලෙස පවත්වා ගෙන ගියමුත් පන්සලට චෛත්‍යයක් නොවීය. හැබැයි මහා විශාල දේවාලයක් නම් විය. මේ අඩුපාඩුව ආනන්ද හාමුදුරුවන් ඒ ගැන කතා කලේ නේවාසික භික්ෂූන් සමග මිස පන්සලේ ගැවසෙන මුදලාලිලා සමග නොවේ. ඔහු තුල සැඟවුනු වානිජ අරමුණු නොතිබුනා නොවේ. මම ඔහු බුදුන් කල සිටි ආනන්දයන් කියනවාද නොවේ. ඉතා සැහැල්ලුවෙන් ජීවිතය ගත කල එක් සංඝයා වහන්සේ කෙනෙක් පමනක් බව කීම වටී.
එදාත් වාළුකාරාමය බොහෝමයක් පහසුකම් තිබූ විහාරස්ථානයකි. මූල්‍යමය වශයෙන් උදව් කිරීමට බොහෝ දායක කාරකාදීන් සැදි පැහැදී සිටියත් ,ආනන්ද නම්වූ ඒ හිමියන් ඒ පසුපස හඹා ගිය පුඟුලෙක් නොවීය. වාලුකාරාම පාරේ පිහිටි කුඩා නිවෙස් හිමියන් සහ ඒ අවට ජීවත්වූ කොල්ලුපිටිය මධ්‍යම පාන්තිකයෝ ගැන මොහු විශ්වාසය තැබීය. මා මේ ලියන්නේ උඹ අපවන් ගිහියෙක් ගැන නම් මට මෙය වඩා විසිතුරු බසකින් මෙවලම් කල හැක. ලියන්නට වෙලා තිබෙන්නේ හිමි නමක් ගැනය. මට පරිස්සම් වෙන්න වෙන්නේ ඇත්තෙන් නොව වචන වලින්ය. මම ලියන්නේ බුදුන් ගැන නොවන නිසා නුඹලා මා හා සමග උරණ නොවිය යුතුය. අපි තව දුරටත් වාළුකාරමයත් ආනන්ද නායක හාමුදුරුවෝ ගැනත් අපි පසුව කතා කරමු.

No comments:

Post a Comment