Thursday, February 27, 2014

අවුල් වන්නට පෙර (31)…පන්සලේ කාලි මෑණියෝ

නිවන්තිඩියේ ආනන්ද නායක හිමියන්ට ගෝල හිමියන් තුන්දෙනෙක් සිටි බව මම දන්නෙමි. ඔවුන් කිසිවෙක් තව දුරටත් පැවිද්දන් නොවේ. විශ්ව විද්‍යාල ජීවිතය අවසන්වූ පසු ඔවුන් සිවුරු හැර පියා දමා ගිහි ජීවිතයට පියමන් කලවූහ. අද මහාචාර්ය්‍ය චන්දිම විජේබංඩාරයන් එදා ආනන්ද හිමියන්ගේ පැවිදි ගෝලයෙකි. ජ’පුර උප කුලපතිව සිටි මෙතුමා පසුව නවක වධයට විරෝධය පෑමක් ලෙස තනතුරෙන් ඉල්ලා අස්වූ බව අසා ඇත්තෙමි.ප්‍රේමරත්න තිරාණගම නමින් පසුව දක්ෂ නීතිවේදියෙක් වූයේ ආනන්ද හිමියන්ගේ පැවිදි ගෝලයෙකි. කල්‍යානන්ද තිරාණගම නීතිවේදියා හා පටලවා ගත යුතු නොවේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොලැබූ හිරණ සීවලී නම් වූ පැවිදි ගෝලයාද අවසාන වශයෙන් තිලකරත්න නමින් උපැවිදි විය. ඔහු එතරම් සාර්ථක ලෙස ගිහි ජීවිතයට අනුයුක්ත නොවූවා යැයි හිතන්නේ, පසු කාලයේදීත් නායක හිමියන්ගේ උදව් පදව් සහිතව කාලයක් ගත කල නිසාය. ගිහියෙකු ලෙසත් පන්සලේ කාලයක් ජීවත් විය.
ප්‍රසිද්ධ ගල්ලෙන රජමහා විහාරධිපති සහ එම පිරිවනේ පරිවේනාධිපති රාජකීය පණ්ඩිත පෝරුවදණ්ඩේ සුමන හිමියන්ද සිවුරු හැර නොගිය, වාලුකාරාමයේ නැවතී සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ හිමි නමකි. අදටත් පරිසර හිතකාමි ජීවිතයක් ගෙවමින් ශාසනික සහ ශාස්ත්‍රීය වැඩ කොටසක්ද ඉටු කරමින් ජීවිතයේ සැඳෑ සමය ගෙවයි. දැනට ප්‍රංශයේ සංඝනායක ආචාර්ය්‍ය පරවාහැර චන්දරත්න හිමියන්ද එකල නේවාසිකව වැඩ සිටි හිමිනමකි. එදා වාලුකාරාමයේ වැඩ සිටී අදත් පැවිදි ජීවිත ගෙවන තවත් හිමිවරුන් දෙදෙනෙක් සිටී. නුවර එළිය නිල්දණ්ඩාහින්නේ පණ්ඩිත හාමුදුරුවන් ඉන් එක් අයෙකි. එදා කාලයේ මෙහිමියන් ඉගෙනීමට අමතරව ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට හපනෙක් විය. ඒ දිනවල රූපවාහිනි නොවීය. නරාවල සුධම්ම නම් වූ අනිත් හිමියන් ගාල්ලේ පෝද්දල පැත්තේ විහාරාධිපති කෙනෙක්ය. විච්ත්‍ර ධර්ම දේශකයන් කෙනෙක් වූ මෙහිමියන්, පිණ්ඩපාතයේ යෙදී අහාර පාන සොයා ගත් කෙනෙක් විය. මෙහිමියන්ගේ වැඩිමල් සොයුරාගේ විවාහ මගුලට මමත් නරාවල නිවසට ගිය බව මතකය.
මේ පන්සල හා සම්බන්ධකම් පැවැත්වූ අවට විහාරාස්ථාන අතරින් නුගේගොඩ නාලන්දාරාමය, කිරුළපොන බලපොකුණේ පන්සල, බෙල්ලන්විල රජමහා විහාරය, මරදානේ මහාබෝධි විහාරය මුල් තැන ගනී. මෙකී විහාරයන්හී වැඩ විසූ බොහෝ ස්වාමින් වහන්සේලා ගැන මට අදත් මතකය. නාලන්දාරාමාධිපතිව වැඩ විසු නායක හිමියන්ගේ පැවිදි ගෝලයෙක් වූ තීනියාවල පාලිත හිමි නිතර වාළුකාරමය ඇසුරු කෙරු කෙනෙක් විය. වර්තමානයේ නාලන්දාරාමාධිපති පාලිත හිමියන් එජාපයේ ප්‍රබල චරිතයක්ය. මෑතකදී සනත් ගුණතිලකට තාවකාලික පැවිද්ද ලැබුණේ මෙතුමන් අතින්ය. තීනියාවිල පාලිත හිමියන්ගේ පැවිදි සොහොයුරා ඉහළ කරගහමුණේ උපතිස්ස නම් විය. මොහු රජ වැඩ කාරයෙක් බව කිව යුතුමය. ආනන්ද නාහිමියන්ගේ ගෝලයින් සියල්ලම උපැවිදිවූ නිසා උපතිස්ස හාමුදුරුවෝ ,වාලුකාරාමයට සින්නක්කර විය. ආනන්ද හිමියන් ඔහුව තමන්ගේම ගෝලයෙක් ලෙස සැලකිය. ආනන්ද හාමුදුරුවන්ටත් වඩා දක්ෂ කැරම් ශූරයෙක් විය. මමද අපේ තාත්තා මෙන්ම කැරම් ක්‍රීඩාවට ඇල්මක් දැක්වූයේ ඔය පන්සල නිසා බැව් කිව යුතුය. උපතිස්ස හිමි මෝටර් රථ, විදුලි කාර්මික වැඩ, රේඩියෝ රෙපයාර් වැඩ ආදි නොයෙකුත් දේ කෙළ පැමිණියෙකි. පන්සලේ කාර් එකේ පොඩි පොඩි අලුත් වැඩියාවන් කළේ මෙහිමියන්ය. රියැදුරු සෝමපාල අයියාට ඕවා කියා දුන්නෙත් එයාමය. හැබැයි පාරේ වාහන පැදවුයේනම් නැත. තදින් දුම් පානයට ඇබ්බැහිව සිටි ඔහුගේ සිගරට් වලට විදීමට මමත් ප්‍රේමදාසත් මැලි නොවූහ. පසු කාලයක සිවුරු හැර ගොස් ජපානයේ පදිංචිව සිටි බවත්, එයින් පසු අදටත් ලංකාවේ සිට මෝටර් රථ ආනයනයේ ඉහළින් සිටිනා බවත් මම අසා ඇත්තෙමි. දැන් ජපානයේ සංඝ නායක තනතුර දරන බානගල උපතිස්ස හිමි වෙන අයෙකි. එහිමියන්ද වාළුකාරාමය හා සබඳකම් පැවැත්වූයේ, ඉන්දියාවේ මහබෝධි සමාගම වෙනුවෙන් අනගි දායකත්වයක් සැපයූ හැඩිගල්ලේ නායක හිමිගේ මුල්ම ගෝලයෙක් නිසාම බව මතකය.
පන්සල් භූමියේම, මහානාම විදුහලේ පුංචි ගේට්ටුව අසල ලැලි වලින් ආවරණයවූ, ලෑලි මේස සහ ලෑලි බංකු වලින් සෑදු තේ කඩයක් තිබුණි. මෙය පවත්වාගෙන ගියේ පන්සලේ බහුබූත දේවාල වැඩ කටයුතු කල පෙරේරා මෑණියෝ යැයි හැඳින්වු ගැහැනියයි. බොරු ආරුඩයකින් දේව විස්මයන් සහ නොයෙකුත් සෙප්පඩ විජ්ජාවන් කල ඇය මේ යුගයේදී පන්සලේ පරිපාලන කටයුතු වලටත් අත පොවන කාලයක් විය. ඇය කිරුලපන ප්‍රදේශයේ පදිංචිව සිටි මැදීවියේ කාන්තාවක් වුවත් නැවති සිටියේ පන්සලේමය. පසුකාලයකදී මැයගේ දරුවන් මගේද යහළුවන් විය. ඔවුන් මට වඩා වැඩිමහල් නමුත් මම ඔවුන්ව ඇසුරු කළෙමි. ඇයගේ වැඩිමහල් දියණිය මට නැවතත් හමුවූයේ මම රමාඩා හෝටලයේ ඉන්නා අවදියේය. එවකට බෙල්ලන්විල රජ මහා විහාරයේ අධිපතිවූ සෝමරත්න නායක හාමුදුරුවන්, ආනන්ද හාමුදුරුවන්ට දොස් පැවරුවේ…කෑවාට කමක් නැහැ බෙල්ලේ එල්ලා ගෙන කෑම එතරම් සුබ නැතැයි කියා…යම් කිසි හේතුවක් නිසා විය යුතුය. මේ උද්ධච්ච ගැහැනියගේ ක්‍රියා පටිපාටියන් දැනගත් විය යුතු නිසාමය. සෝමරත්න නායක හිමි යනු, අද බෙල්ලන්විල රජමහා විහාරයේ නායක හිමියන්ගේ ගුරුතුමන්ය. මේ මගේ අත්දැකීම්ය.
පන්සල පල්ලෙහායින් තිබු මේ ලෑලි කඩය, හැන්දෑවේ පහෙන් හයෙන් පසු අඳුරු වටපිටාවක ආරූඪය ගනී. මෙය රස්තියාදු ගුබ්බෑමයක් වන්නේ නායක හාමුදුරුවන් ඒ පැත්ත පළාතටත් නොපැමිණෙන නිසාමය. ගංජා බොන අයත්, රීඩ් මාවතේ රාත්‍රිය මුදලින් සංසිඳුවා ගන්නා අයගේ රසය පිනවනා ඒ අහිංසක ගැහැනුන්ගේ පෙර සුදානම සිදුවුණේත් ඔතැනය. තේ කඩයේ වැඩ කිරීමට නානා නමින් හැඳින්වූ මුස්ලිම් මිනිසෙක් විය. නානා නොදන්නා මහානාමයෙක් එදා නොවීය. ඒ නරක යැයි හංවඩු ගැසූ නානා නිතරම ගංජා ගැසූ, කායිකව අපිරිසිඳු මිනිසෙකු වුවත් ඔහු කාගෙත් සිත් ඇදගන්නා සුළු මිනිසෙක් විය. කකුලේ තිබු තුවාලයට නායක හාමුදුරුවෝ බෙහෙත් දැමූ බවත් මතකය. පන්සලේ දේවාලයට ලැබෙන පළතුරුත්, රස කැවිලිත් කඩේට ගෙන ගොස් විකුණා මුදල් කර ගැනීමටත් මෑණියෝ යුහුසුළු විය. නායක හාමුදුරුවෝ නොදැක්කා සේ සිටියේ ඇයි දැයි සිතාගැනීම අපහසු නොවේ. මේ කඩයට යාබදව පන්සල් ඉඩමේම අතින් ඇද ගෙන නෑමට හැකි ළිඳක් විය. එවැනි තැනක් කොල්ලුපිටියේ තිබුණා දැයි අට මතක නැත. සිමෙන්තියෙන් බැඳි බිත්ති හතරකින් මෙය වට කොට තිබුණි. කළුවර වැටීමෙන් පසු මේ අවට නොයෙක් දේ සිදුවිණි. තරුණ හාමුදුරුවරුද රහසින් මේවාට හවුල් වූ අවස්ථා නැත්තේද නොවේ. එහායින් තිබු ධනවත් නිවසක බිෂොප් කෙල්ලක හා තිබූ මුකුළුව මට අහිමි වුණේත්, මමත් ඔය වැනි තාරුණ්‍යයේ රසයක් අත් විඳීම උඩුමහලේ සිට ඇය දැක තිබුණු බැවින්ය.
මා කලින් කියු බොරු ආරුඪ මෑණියන්ගේ ක්‍රියාකලාපයන් නිසා පන්සල නොයෙකුත් අපවාදවලට ලක්වූ අතර, නායක හිමියන්ගේ ගතිගුණ නිසා බොහෝ අය ඒවා නිර්භයව හාමුදුරුවන්ට කීමට මැලිවූහ. වරක් ඉතා අප්‍රසන්න සිදුවීමක කොටස් කරුවෙක් වීමට මටත් සිදුවිය. ඉංදියාවේ මහබෝධියේ හිටි චන්ද්‍රරත්න නම් තරුණ හිමිනමක් සති දෙකක කාලයක් වාලුකාරාමයේ වැඩ සිටීමට පැමිණියේය. කඩවසම් තරුණයෙක්වූ මේ හිමියන්ට, මේ මෑණියෝ බොහෝ ඇලුම් කෙරුවාය. මේ අප්‍රසන්න හැසිරීම පන්සලේ සිටි කාටවත් ගෝචර නොවීය. දසනායක අයියා යනු පන්සලේ සිටි කපු මහත්තයා විය. මොහු හොරණ පළාතේ ප්‍රසිද්ධ කපු පරම්පරාවකින් පැවත ආ සම්ප්‍රදායික කපු මහතෙකි. ප්‍රිය මනාප මිනිසෙකි. ආරූඪ, ආවේශ සාස්තර බයිලා නැත. කරොත් කරේ දේවාශීර්වාද, සෙත් කවි වැනි සුභාවිත ගීත පමණි. මොහු පැමිණියේද සතියකට දින තුනක් පමණි. ඒ දින තුන පන්සලේ ගත කරනා දසේ අයියා නැවත ගම් බිම් බලා යයි. දේවාල රාජකාරීවලින් පසු හන්දියට ගොස් හීනියට අඩියක් පුඩියක් නෙලාගැනීමටත් පසුබට නොවෙයි.
එක් මහා රාත්‍රියක දසේ අයියාත්, නේවාසික හාමුදුරු දෙපලකුත් කාටත් හොරෙන් වහලට නැග , දඹදිවෙන් පැමිණි චන්ද්‍රරත්න හාමුදුරුවන්ගේ කාමරයේ සුළං කවුළුවෙන් එබී බලා ඇත. මෑණියොත් චන්ද්‍රරත්න සාධුත් වැඩ අල්ලා තිබෙනු දුටු දසනායක කපු මහතා, කවදාවත් නැති ආරූඪයක් ගෙන මුළු පළාතටම ඇහෙන්න “මෙන්න චන්දරත්න හාමුදුරුවෝ මෑණියන්ට ***වෝ” යැයි මහ හඬින් කෑගසන්නට විය. කාමරවලින් එළියට පැනගත් අනිකුත් හාමුදුරුවරුන් මේ සිද්ධිය දෙස විපරමින් බලා සිටියා හැර අන් කිසිවක් සිදු නොකළේ මේ ඔවුන්ගේද අනුදැනුමෙන් සිදුවූ ක්‍රියාවක් නිසා විය යුතුය. වහලෙන් බැස ගත් දසේ අයියා ගාණ්ටාරය නාද කරන්නට පටන් ගත්තේය. මිනිහෙක් මැරුවත් ලොකු ගෙවල්වල උදවිය එළියට බැසීම එදා තිබුණේත් නැත. දැනගන්නේ හෙට පත්තරයෙන්ය. වාලුකාරාම පාරේ ගෙවල් පේළියේ උදවිය පන්සල දෙසට ඇදී එන්නට පටන් ගති. මේ සියල්ලක්ම නායක හාමුදුරුවෝ සාවධානව අසා සිටින්නට ඇතැයි අපි පසුව කතා වුණෙමු. එළියට පැමිණි එහිමියන් කෙළින්ම ගියේ පන්සලේ කවදාවත් නොවැසුණු ගේට්ටුව ළඟටය. එය වසා දැමු ඔහු. මේක මම බලා ගන්නම් කියා සියල්ලන්වම ආපසු හැරවිය
දසේ අයියාව මෙල්ල කරන්නට කිසි කෙනෙකුට බැරිවිය. ඒ ඔහුගේ බොරු ආරුඪය නිසා විය යුතුය. චන්දරතන සාධු ඇඳ යටය. මෑණියෝව අතින් ඇදගෙන ගොස් කාලි මෑණියන්ගේ දේවාලයේ ඇතුළට දමා දොර වැසුවේ ප්‍රේමදාස සහ මමය. කාලි දේවාලය තිබුණේ පන්සලේ කුස්සිය අසල මුල්ලකය. නායක හාමුදුරුවෝ දශනායකට කනට ළංව යමක් කීවේ තදබල කෝපයෙන් විය යුතුය. පාන්දර යාමය තෙක් ගමක් හිනැහූ මේ නාඩගම අතරතුර දසේ අයියා පන්සලේ පිටුපස පැත්තෙන් පස්වැනි පටුමග හරහා යන්නට ගොසින්ය. මමත් ප්‍රේමදාසත් බන්දුත් ඔහුව අල්ලා ගත්තේ රීඩ් ඇවනිව් එකේදීය. නැවත කැඳවා ගෙන ඒමට උත්සාහ කළත් ඔහුව කිසිදිනෙක අද දක්වා මට හමුවී නැත. මට ඇති ආරුඩයක් නැහැ බන් …සිගරට් එකක් දියන් යැයි කිවූ දසේ අයියා ප්‍රෙමදාසගෙන් සිගරට් එකක්ද අරන් බිබී, අපිත් සමගම රේස්කෝස් එක අසල 120 පාන්දර හොරණ බස් හෝල්ට් එකට ගියේ වීරයෙක් ලෙසිනි.
මමත් බන්දුත්, ප්‍රේමේත් නැවත පන්සලට එනවිට දසේ අයියා පිටවගොස් ඇතිබව දැන සිටි කාලි මෑණියෝ, හැංගී සිටි දේවාලයෙන් එළියට විත් බංකුවක් උඩ හඬමින් සිටි බව මතකය. අප තිදෙනා දුටු සැණින් කාලි මෑණියෝ අපේ ඇඟට පැන්නේ තොපි දෂයාව එක්කන් එන්න ගියා නේදැයි බැණ වදිමින්ය. එදා පටන් මේ උමතු ගැහැනිය අප තිදෙනාට වෛර කිරීමට පටන් ගත් අතර, චන්දරත්න ටික කාලයකට පසු උපැවිදි විය. මෑණියෝ නම් මියයන තෙක්ම මේ පන්සලේම සිටි බවත් මම අසා ඇත්තෙමි.
දසේ අයියා එදා කළදේ මගේ තරුණ හිතට ජවයක් ගෙනදිය. මම අද ඒ දේ ගැන වෙනත් ඇසකින් දකිමි. ඒ මම වයසින් මුහුකුරා ඇති නිසා විය යුතුය.
මේ සියල්ලක්ක්ම දෙස බැලිය යුතුවන්නේ නිරුවත් දෑසින්ය. කෙසේ වෙතත් මම එදා රස විඳි ඒ යෞවනයේ චමත්කාරයට අදත් පෙම් බඳිමි. පුහු බොල් තාරුණ්‍යයට වඩා අදත් සමහර තරුණයින් රස විඳිනා චමත්කාරයට මම ලොල් වෙමි.
ප.ළි……සින්දුවා, වයලීනුවා, අයාල් සිත්, වගේ අය හැම පෝස්ට් එකකම ගීතයක් අපිට දෙන නිසා මමත් ගීතයක් දාන්නට සිතුවෙමි.
ඒ නිරුවත් දෑස් යන වචනය මතක්වූ නිසාමය.
ගැයුවේ…අමරසිරි පීරිස්
සංගීතය….කේමදාස මාස්ටර්
ලිව්වේ….ලූෂන් බුලත්සිංහල ( මා නිවැරදි කරන්න )
චිත්‍රපටිය….සිරි මැදුර

https://www.youtube.com/watch?v=j8E9COU4wPs

No comments:

Post a Comment