Monday, February 17, 2014

අවුල් වන්නට පෙර..(30)..පන්සල අවට සිටි ලොක්කෝ


වසර එකහමාරකට ආසන්න කාලයක් මා නැවතී සිටි වාළුකාරාමය අවට, ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ නොමැකෙන සටහන් තැබූ චරිත කිහිපයක් පදිංචිවී සිටියෝය. රොනී ද මැල් මහතාට අමතරව එවකට එජාප දේශපාලනයේ ප්‍රබලයන් වූ ගාමිණි දිසානායක ඒ අසල ඇල්ෆ්‍රඩ් හවුස් පාරේද, ලලිත් ඇතුලත්මුදලි ඉනර් ෆ්ලවර් පාරේද, රනිල් වික්‍රමසිංහ පස්වැනි පටුමගේද පදිංචි කරුවන් බව මතකය. මොවුන් වාළුකාරාමය හා එතරම් සම්බන්ධකම් නොපවත්වා, කොල්ලුපිටියේ පොල්වත්තේ පන්සල හා ගනුදෙනු කරේ නිවන්තිඩියේ ආනන්ද හිමියන්ගේ දේශපාලන ඉතිහාසය ශ්‍රීලනිපය හා තදින් බැඳී තිබූ නිසා විය යුතුය. නමුත් ඒ අවටම පදිංචිව සිටී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා නම් මාසිකව දහවල් දානයක් සැපයීමට බැඳී සිටියා මතකය. කුරුණෑගල ප්‍රදේශයේ දේශපාලනයේ යෙදී සිටියත් ,කොල්ලුපිටිය ඔවුන්ගේ පදිංචිය විය.
මේ අයට අමතරව වාමාංශික දේශපාලනයේ පතාක යෝධයන්වූ ලසසපයේ කොල්වින් ආර් ද සිල්වා, බර්නාඩ් සොයිසා වැනි අයද, කොපයේ පීටර් කෙනමන් මහතාද ඒ අවට පදංචිකරුවන් විය. මා මේ කියන 1977 යුගයේ මහා මැතිවරණයට පෙර ඔවුන් පාර්ලිමේන්තුව නියෝජනය කල මන්ත්‍රීවරුන් නිසා ඔවුන් කැපීපෙනෙන පුද්ගලයින් විය. ඒ නැති වුවත් ලාංකීය සමාජය තුළ ඔවුන් කෙරෙහී යම්කිසි ගෞරවයක් විය. ඒ ඔවුන්ගේ දැනුම සහ උගත්කම නිසාත් ඔවුන් රට තුළ සිදුවූ නොයෙකුත් අරගල සහ සමාජ ක්‍රියාකාරකම් වල පෙරමුණ ගත් අයත් බැවින්ය. මොවුන් සතුව තිබූ ධනය දේශපාලනය වෙනුවෙන් වියදම් කළා මිස ඒ තුළින් උපයා ගත් අය නොවන බව නායක හාමුදුරුවන් නිතරම පැවසූ දෙයක් විය. 1977 මැතිවරණයෙන් ලැබූ අන්ත පරාජයෙන් පසුව වුවත්, මොවුන් බොහෝමයක් දෙනා මිය යන තෙක්ම දේශපාලන ක්‍රියාකාරකම්වල බැඳී සිටියහ.
කොල්වින් ආර් ද සිල්වා පවුල පදිංචිව සිටියේ ඩුප්ලිකේෂන් පාරට යාබදව අබ්දුල් ගෆූර් මාවත අසලම පැරණි පන්නයේ විශාල නිවසකය. මෙම නිවස පිහිටි වත්තේ ජම්බු, පිනි ජම්බු, පේර, අඹ වැනි ගස් රාශියක්ද තිබුණි. කොල්වින් ආර් ද සිල්වා මහතාගේ දේශපාලනය ගැන ශාස්ත්‍රීය වශයෙන් කරුණු ලියා තැබීමට මා සතු දැනුම අල්ප වුවත්, මෙවැනි මිනිසුන් ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන චරිත විය. පන්සලත් සමග විශාල ගනුදෙනුවක් නොතිබුණත් මෙම නිවසෙන්ද මාසිකව දානමය කටයුතු සඳහා මුදලක් වෙන්විය. මෙම මුදල් එකතුකර ගැනීමට මමද කිහිප වරක් එහි ගොස් ඇත්තෙමි. සුදු සරමකින් හා සුදු අත්කොට මේස් බැනියමකින් සැරසී කළු පැහැ රාමුවකින් යුතු උපැස් යුවළක්ද පළඳා, ආලින්දයේ තිබු හාන්සි පුටුවේ දිග ඇදී පුවත්පතක් හෝ යම් ලියකියවිල්ලක් අධ්‍යනයේ යෙදී සිටිනවා දැකීම සුපුරුදු දසුනකි. මොකද ළමයා යැයි ඇමතීම පුරුද්දකි. ඔහු පෙනුමෙන් සහ ආමන්ත්‍රණයෙන් යම්කිසි රෞද්‍ර පෙනුමක් ගත්තත්, ගතිගුණ එසේ නොවනා බව දන්නෝ දනිති. මේ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙක් බවද ලියා තබමි. කොල්වින්ගේ, දියණිය මනෝරි විවාහවූයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙක්වූ සරත් මුත්තෙටුවෙගම මහතා සමගය. තවත් දරුවන් සිටිබවත් අසා ඇත. සරත්-මනෝරි යුවළ නම් මේ නිවසේදීම මම දැක ඇත්තෙමි. මේ නිවස මනෝහාරි(?) නමින් හැඳින්වූ කුඩා නාම පුවරුක්ද තිබූ බවත් මතකය. 1980 කාලයේදි කඳුළු ගෑස් බෝම්බයකට පාදයක් පිළිස්සී බොහෝ දුක්විඳි බවත් පුවත්පත්වල පළවිය.
බර්නාඩ් සොයිසා මහතා නියෝජනය කළේ දකුණු කොළඹ ඡන්ද කොට්ඨාශයයි. එය අද බටහිර කොළඹ වේ. කිසිම විටෙක පන්සලට පැමිණෙනවා නම් නොදැක ඇති මුත් බොහෝවිට ඔහුගේ නිවසේ ගේට්ටුව අසල රැඳී සිටිනවා දැක ඇත්තෙමි. බර්නාඩ් සොයිසා මහතා ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් විශාල දායකත්වයක් ලබාදී ඇති අතර, මේ අය ගැන අපේ තාත්තාද ඒ අවධියේ කතාකළේ මහත් රුචියකිනි.
පීටර් කේනමන් මහතා බොහෝ කාලයක් මැද කොළඹ බහු මන්ත්‍රී ආසනය නියෝජනය කල කොමියුනිස්ට් පක්ෂයේ දැවැන්ත චරිතයකි. ජැක් නිකල්සන් නම් අපූරු හොලිවුඩ් නළුවා මට මතක් කරන්නේ පීටර් කෙනමන් මහතාගේ රූපයයි. මොහු පදිංචිව සිටියේ කොල්ලුපිටියේ මහනාම විදුහලේ පිටුපස ගේට්ටුවට නුදුරු නිවසකය. නායක හාමුදුරුවන්ගේ දැන හැඳුනුම්කම් හැර පන්සල හා සම්බන්ධකමක් නොවීය. ඒ වනවිට ඊඩා කෙනමන් මහත්මිය හා විවාහවී සිටි පීටර් කෙනමන් මහතාගේ නිවසින් පියාණෝ වාධනයන්ගේ හඬ අසන්නට ලැබිණි. කෙනමන් මහත්මිය දක්ෂ චිත්‍ර ශිල්පිනියක් සහ කලාකාරිනියක් බව පන්සලේ නායක හාමුදුරුවන්ද කතාබස් වලදී කියා තිබේ. කොළඹ රාජකීය විදුහල බිහිකෙරූ දහසකුත් එකක් ජාතික හා විදේශීය දේශපාලකයින් අතරින් පීටර් කෙනමන් මහතාද අති විශිෂ්ටයෙක් බැව් ඉතිහාසය සාක්ෂි දරයි.
පන්සලේ දායකයින්වූ මුත් නිතර පන්සලට නොයෙන විශාල ව්‍යාපාරිකයින් රාශියක්ද ඔය අවට විසූහ. මැලිබන් බිස්කට් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හින්නි අප්පුහාමි මුදලාලි පදිංචිව සිටියේත් වාළුකාරාමය අසලය. පන්සලේ බොහොමයක් වැඩ කටයුතුවලට නොමසුරුව දායකවූ මැලිබන් මුදලාලි නම්වූ ඔහු ගැන, නායක හාමුදුරුවෝ බොහෝ වැදගත් සහ රසවත් විස්තර පන්සලේ උදවිය හැන්දෑවරුවේ යෙදෙන සතුටු සාමිචීවලදි පවසා ඇත. කොළඹ කොටුවේ මැලිබන් හෝටලය නමින් කුඩා තේ කඩයක් අරඹා ඉන් පසුව ලංකාවේ අංක එකේ ව්‍යාපාරීකයක්වූ බව පමණක් ඒ කතාබහේ මට මතක ඇති සටහනක්ය. මා කියන ඒ කාලයේත් ඩුප්ලිකේෂන් පාර පාම්ග්‍රෝව් ආසන්නයේ පිහිටි, මැලිබන් මුදලාලිගේ නිවස විශාල මන්දිරයක් වැනි යැයි යාන්තමට මතකය.
ජේ.පී.අයි.පියදාස ව්‍යාපාරයේ නිර්මාතෘ පියදාස මුදලාලිද එවකට විශාල ව්‍යාපාරිකයෙකි. ශ්‍රීලනිපයත් සමග පියදාස මුදලාලිගේ බොහෝ බැඳීම් තිබී ඇති අතර ඔවුන් පදිංචිව සිටියේත් ඉනර් ෆ්ලවර් රෝඩ් හී විශාල නිවසකය. පියදාස මුදලාලි නායක හාමුදුරුවන්ගේ ළඟම හිතෛෂියෙක් විය. දාස සමූහ ව්‍යාපාරය හිමිව තිබු ගුණදාස මුදලාලි සහ ජේ.පි.අයි.පියදාස යනු දෙදෙනෙක්ය. එය පටලවා ගතයුතු නැත. ඒ කෙසේ වෙතත් මේ දෙදෙනාම එවකට ශ්‍රිලනිපය හා ළඟින් ඇසුරු කල උදවියය. මේ අයගේ නම් දාස-පියදාස නමින් 1977 එජාප මැතිවරණ වේදිකාවේ පට්ට ගැසිණි. මැලිබන් මුදලාලිගේ නම නම් දේශපාලනයට ඈඳී තිබු බවක් මතක නැත. වාලුකාරාම පාරේම විශාල නිවසක පදිංචිව සිටි සාගරසිරි මුදලාලිත් පන්සලේ හොඳ දායකයෙක් විය. ඔහු සතුව තිබු සාගරසිරි හෝටලය පිහිටා තිබුණේ ගාලු පාර කොල්ලුපිටියේ ෆැබ් එක අසල ලොකු ගොඩනැගිල්ලකය. එකල ෆැබ් එකක් නොතිබුණි. මීට අමතරව තවත් බොහෝ ධනවත් ව්‍යාපාරිකයන් සහ තවත් දේශපාලකයින්ද ඒ අවට පෙදෙස්වල පදිංචිව සිටියත්, මේ සියල්ලන් ගැනම මතකය අවදිකර ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මොනවා වුණත් පන්සලේ කටයුතු සඳහා මේ නිවෙස්වලට යාමට ප්‍රේමදාසත්, බන්දුත් වැඩි කැමැත්තක් දැක්වූයේ ,එම නිවෙස්වල කුස්සිය පැත්තේ සිටිනා සේවිකාවියන් එක්ක උකුළු මුකුළු කිරීමටය. පසුකාලයක පන්සලේ සිටි සමන් නම් තරුණයා ඒ ගෙදරක වැඩට සිටි තරුණියක් හා රහසේම පැනගොස් විවාහ විය. ඒ මහානාමයේ පිටුපස ගේට්ටුවේ බිත්තියට යාබදව තිබූ තට්ටු දෙකේ ගෙදර වැඩට සිටි ළමයා සමගින්ය. මට ඒ සිද්ධිය අදටත් මතක මම එයට උදව් කරපු නිසාත්, එම නිවසේ සිටි බිෂොප් විදුහලට ගිය හැඩකාර ගැටිස්සිය සමග මගෙත් පොඩි උකුළුවක් තිබු බැවිනුත්ය. මගේ මුකුළුව මාස කිහිපයකට සීමා විය. ඒ ගැන පසුව ලියන්නෙමි.
නිවන්තිඩියේ ආනන්ද හිමියන් අධිපතිත්වය දැරු විහාරස්ථාන තුනක් පැවතිණි. කොල්ලුපිටියේ වාළුකාරාමය, නිවන්තිඩියේ මහෙන්ද්‍රාරාමය සහ කිරුලපන ශ්‍රී සිද්ධාර්ථ අඩිපාරේ තිබු කුඩා පන්සලක්වූ ශ්‍රී සිද්ධාර්තාරාමය නම්වු ,කිරුලපන ඇල අයිනේ පන්සලත් මේ ස්ථාන තුන විය. පිළියන්දල, නිවන්තිඩියේ තිබු පන්සල විශාල ස්ථානයකි. මසකට වරක් හෝ දෙවරක් එහි යනවා එනවා හැරෙන්නට, ආනන්ද හිමියෝ මෙය පවත්වාගෙන යෑම එහිසිටි ස්වාමින්වහන්සේටම පවරා තිබුණි. එය ආනන්ද හාමුදුරුවන්ගේ උපන් ගම නිසා, වැඩිහිටි දායකයින් කොල්ලුපිටියට පැමිණ යම් යම් සිද්ධීන් ගැන සාකච්ඡාද පවත්වති. එදිනට පසුදාම ඒ පැත්තට යන්නේ යම් යම් ප්‍රශ්න විසඳීම සඳහා වියයුතුය. එකල කොල්ලුපිටියේ පන්සලට දුරකථනයක් තිබුණත්, නිවන්තිඩියට නොවීය. මම පළමුවෙන් දුරකථනයකින් කතා කළේත් ඒ අවදියේය. කිරුලපනේ පොඩි පන්සලට නම් මාස තුන හතරකටවත් යන බවක් මතක නැත. ඒ කාලයේදීම සිද්ධාර්තාරාමය වෙනත් හිමිනමකට සහමුලින්ම පවරා දෙන ලදි. මේ පවරාදීම් තුළ යම්කිසි මූල්‍යමය ගනුදුණු සිදුවූවා දැයි කීමට මම නොදනිමි.
මේ සියලු ගමන් බිමන් යාමට ඒමට නායක හිමියන් සතුව ෆෝඩ් කොන්සල් නම් , ඒ කාලයේ වටිනා මෝටර් රථයක් තිබුණි. එහි රියැදුරු සෝමපාල නම් තරුණයෙක්ය. නායක හාමුදුරුවන්ගේ ගමන් බිමන් සියල්ලක් සිදුවූයේ මෝටර් රථයෙන් බැවින්, මේ හැම ගමනකටම හවුල්කරුවෙක් වීමට පන්සලේ නැවතී සිටි හාමුදුරුකෙනෙකු හෝ ගිහියෙකු සහභාගි කරවා ගැනීමට නායක හිමියෝ කැමැත්තක් දැක්විය. ඒ ගමන් අතරතුර කතාබහ කර කර යෑමටය. ඒ කතාබහද, යන ස්ථානයන්ද, මටත් ජීවිතයේ අත්දැකීම් පුළුල් කරගැනීමට ඉවහල් විය. දුර බැහැර ගමනක් යනවානම් මෝටර් රථයේ අසුන් ගත හැකි උපරිමයද හවුල් කරගැනීමට වගබලා ගනී. කතරගම, මහනුවර, මාතලේ, අ’පුර, පොලොන්නරුව, මොනරාගල වැනි පාලත්වලටද එවැනි ගමන් යොදා ගැනේ. පන්සලේ නැවති සිටි භික්ෂූන් බොහොමයක් ඔවැනි පළාත්වලින් පැමිණි අය නිසා, ඒ අයද මේ ගමන් වලට වැඩි කැමැත්තක් දැක්වූයේ, තම විහාරස්ථානවලට ගොඩ වැදීමට හා තම දෙමව්පිය සොයුරු සොයුරියන් දැක බලා ගැනීමේ අවස්ථාවක් හැටියටය. නායක හිමියන්ද ඒ සඳහා නොමසුරුව කැමැත්ත පළකළේ, මේ විශ්ව විද්‍යල අධ්‍යාපනය ලබමින් සිටි හිමිවරුන් සතුව තිබු සීමිත පහසුකම් සලකා බලා විය යුතුය.
සිදුවීම් සහ පුද්ගලයින් ගැන ලිවිය යුතු දේ බොහෝය. වාළුකාරම ඇසළ මහා පෙරහැර ගැනත් ,පන්සලේ සිටි ගිහි පැවිදි උදවිය ගැනත් පසුවට ලියන්නෙමි.

No comments:

Post a Comment