Saturday, December 21, 2013

අවුල් වන්නට පෙර..(22)…මාළු, මස්, සිගරට් සහ ගංජා…


මහ රෑ දෙගොඩ හරියේ සිට උදෑසන දක්වා ඉරිදා පොළේ හැඩරුව මම ඔබට කිව්වෙමි. මෙතැන් සිට ඉරිදාපොළ අවට මුළු ප්‍රදේශයම ඇවිස්සුණු කඩි ගුලක් වැනිය. ඊළඟට පැමිණෙන්නේ මාළු වෙළෙන්දන්ය. ඒබරං මුදලාලිගේ මාළු ලෑල්ලට අලගු තියන්නටවත් හැකිවෙන්නට මාළු ගෙනාවානම් ගෙනාවේ ඇක්මන් මුදලාලි පමණි. මුළු පොළටම මාළු ලෑලි හතරක් විය. ඒබරං මුදාලාලි ව්‍යාපාරයේ තෝරෙක් නම් අනිත් අය සාලයෝ, හුරුල්ලෝ බඳු විය. විශාල ලොරියක් පුරවා මාලුද, අයිස්ද, වැලිද පුරවා රැගෙන එන ඒබරං මුදලාලිගේ තොග බෑමටත් ලෑල්ලේ ඇසිරීමටත් ගෝලයෝ පස් හයදෙනෙක්ම් සිටියහ. හාල්මැස්සාගේ සිට ඉස්සා, කකුළුවා, තෝරා තලපතා දක්වා ඕනෑම වර්ගයක් මෙහි විය. ඒබරං මුදලාලි කොතරම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ද කිවහොත් දෙහිවල, ගල්කිස්ස වැනි මුහුදුබඩ පැති වලින් පවා ධනවතුන් එන්නේ ඉරිදා පොළේ මේ මාළු ලෑල්ලටය. රත්තරන් සුරයක් පැළඳ, දැල් බැනියමකින් උඩුකය සරසා සිටි මොහු ලීයෙන් තැනු විශාල මුදල් පෙට්ටිය භාරව සිටියේය. කටේ උඩු ඇන්දේ රත්තරන් දතක්ද විය. එවැනි දත් පැලඳවූ තවත් අයෙක් අප ගමේ විසීය. ඒ රෙජා ආච්චීගේ පුත ලාල් අයියා විය. රත්තරන් දත් පැළඳීම, මේ කාලයේ කටට කරාබු දමනවා වැනි මෝස්තරයක් විය. ලාල් අයියා වඩාත් ප්‍රකට වූයේ සරුංගල් සෑදීමටය. ඉංග්‍රීසි කොඩියේ ආකාරයට ඇලවූ කොම්බුවාත්, ඇස් පිනවන වර්ණයෙන් සැරසූ මොනර සරුංගලයත්, යාර ගණන් දිග වලිගයක් සහිත නයා සරුංගලයත් මොහුගේ ප්‍රියතම අංගයන් විය. කාට නොලැබුණත් මට ඉන් එකක් ලැබෙන්නේ, රෙජා ආච්චිලාගේ කටුක ජීවිතවලට අපේ දෙමව්පියන් ඇති හැකි කාලයේ හොඳින් සලකා හැටි නිසා බැව් ලාල් අයියා මට කිහිප වරක් පවසා ඇත.
ගමේ හැමෝගේම ආදරයත් ගෞරවයත් දිනා සිටී ඒබරං මුදලාලිගේ ප්‍රධාන ගෝලයා වූයේ මාළු ආනන්ද නම් අප ගම් වැසි තරුණයාය. ආනන්දගේ මූලිකම රාජකාරිය වූයේ ලොකු මාළු සිල්ලරට කැපීම පමණය. තළන්නේ පොඩිකරන්නේ නැතුව රාත්තලක් හෝ රාත්තල් භාගයක් එක පෙත්තටම කපා තරාදියට දැමුවොත් එය සීයට අනූනවයක්ම නිවැරදිය. බැලන්ස් තරාදිය නම් දෙපැත්තෙන්ම පෙනෙන කටු කැරකවෙන තරාදිය, මිලදීගන්නා අයට පෙනෙන්නට එල්ලා ඇති බැවින් මාළු ආනන්දගේ මේ වික්‍රමය බලන්නට කොල්ලෝ කුරුට්ටෝ රැස්වී සිටී. ආනන්දට පෙම් බැඳි කෙල්ලෝද බොහෝ වූහ. දැන් කාලයේ කියනා විදිහට නම් මාළු ආනන්ද ස්මාර්ට් බුවෙක් විය.
වෙල් මාළු විකුණන උදවිය සිටින්නේ හබරල කොළ මත මසුන් අසුරා පොළවේ තබා ගෙන විකුනමින්ය. ඉරටුවල හෝ වෙනත් වැල්වලින් එකට අමුණා ඇති මේ මාළු වැල් වෙළඳාම් කරන්නේත් ඔය අවටින් පැමිණෙන දුප්පත් මිනිසුන්ය. ඌරු මස් වෙළෙන්දෝ දෙදෙනාත් ඉරිදා පොළේ ජනප්‍රිය දසුන්ය. එතනම එහා පැත්තෙන් මඤ්ඤොක්කා වෙළෙන්දාද වාඩිලා ගන්නට වග බලා ගනී. අඩුවකට ඇත්තේ මේ දෙදෙනාම එකතුකරන පානීය ප්‍රවාහය පමණි. අවශ්‍ය අයට වනාත පාරේදී සුදු පාටින්ම ඒවා නිරතුරුවම බලා සිටිය බව එකල වැඩිහිටියෝ නොදැන සිටියා නොවේ. ගාත් පිටින්ම ලෑලි මත තබා ඒ මත ඌරු ලේ අතුල්ලමින් සුදු හමක් ඇති ඌරා රතු සමක් ඇති ඌරෙක් කිරීමද දෙනෙතට රසකාරයක් වැනිය. මස් කැපිමේදී තරාදියට දැමීමට පෙර කටු කැබැල්ලක් හෝ අතුනුබහන් ටිකක් හොරෙන්ම රිංගවීමටත් එය හබරල කොළයේ ඔතා දීමටත් සමත් ගෝලයෝද ඔවුන් අතර වූහ. වංචාවෙන් තොර වෙළදාමක් එදත් නැත . අදත් නැත. නමුත් එදාට වඩා සාපේක්ෂව අද වැඩිය. මාළු ඒබරං විශාල ධනවතෙක් වූයේ මේ කපටිකම් වංචාවල් වලට ඔහු යොමුවූයේ අඩුවෙන් නිසා විය යුතුය. වැලි නැති මාළු ගන්නට නම් වැලි නැති මුහුදකට යා යුතුය. අපිට කොහෙද මාළු…අපි යනවද මුහුදු.
ගමේ බොහෝ අයගේ පුරුද්දක් වූයේ උදය වරුවේ මේ සියල්ලක්ම සූදානම් වෙන තෙක් පොළ සිරි නැරඹීමය. යමක් කමක් ඇති උදවිය නම් උදෑසනින්ම බඩු මිලදී ගැනීමට කැමතිය. දහවල් වනවිට අව් රශ්මියෙන් බැටකන එළවළු පළතුරුවලට වඩා උදය වරුවේ ඒවා ඉතා නැවුම්ය. මාලුන්ට නම් අයිස් ඇත. දහවල් වෙනවිට වෙලන්දන් විසින් මේ මිල කෙමෙන් කෙමෙන් පහළට දමන්නේ හැකි පමණින් තොග අවසන්කර හිස් අතින් ගෙදර යෑමටය. නැතිනම් හවස් වරුවේද ලොරි කුලියකට යටත් වීමට සිදුවේ. අපේ ආදරණීය සිරියාවති ලොකු අම්මානම් පොළේ යන්නේ පොළ වහන වෙලාව ආසන්නයේය. ඒ අපි ගෙවු දරිද්‍රතාවයේ මග සටහන්ය. ඉතාම සියුම් පිහියකින් පමණක්, තළන්නේ පොඩිකරන්නේ නැතුව හරියටම රාත්තල කපා තරාදියට දා ගත හැකි අධ්‍යාත්මක සිතුවිලි බොහෝය. මාළු ආනන්ද සතුව තිබූ ඒ මන්නය ,මම අධ්‍යාත්මක පිහියක් කරගත්තා දැයි මට නිතරම සිතේ. මම කිසිවිටෙකත් ෂයිලොක් කෙනෙක් නොවුයේ , කිසිදෙයකින්ම රාත්තලම ඉල්ලු මිනිසෙක් නිසා නොව, රාත්තල හරියටම බෙදූ මිනිසෙක් නිසා විය යුතුය.
පෙට්ටියක් බයිසිකලයේ බැඳගත් පුෂ්පා අයිස්ක්‍රීම් වෙළෙන්දාද, වෙරළු, අඹ අච්චාරු වෙළෙන්දියන්ද සිටින්නේ පොළ පිටිපස්සට වෙන්න පරණ පාර වන්නටය. නාවින්නේ චන්ද්‍රා පපඩම් වෙළෙන්දාද හොඳ ආකර්ශණයකි. කුඩා භූමිතෙල් ලිපක් මේසයක් මත තබා මිනිස්සුන්ට පෙනෙන්නට බදින පපඩම්, කුඩා බැලුම් බෝලයක් තරමටම පිම්ඹෙන්නේ මොන ආශ්චර්ය්‍යකින් දැයි අදටත් මට නොතේරේ. හොඳින් පිම්බුණු පපඩම්, කොළ නොමැති හෝ ඇති කුඩා අත්තක එල්ලා තබා ප්‍රදර්ශනයට තබන්නේත් නත්තල් ගසක තෑගි එල්ලුවා මෙනි. තෙල් බෙහෙත් වෙළෙන්දාද. මැජික් පෙට්ටියෙන් නොයෙකුත් දේ පෙන්වන පිචර්මෑන්ද පොළට එන්නේ මාස දෙකකට වරක් වගේය. ඒ එකම බොරුව නිතරම කරොත් ගම්මුන්ගෙන් බේරුමක් නැති නිසා විය හැකිය.
මෝටර් රථවලින් පැමිණෙන පිරිස ඉතා අවම වූවත්, අපේ ජම්බුගස්මුල්ලේ සෝමාවති ලොකු අම්මා එන්නේ ඔවුන්ට හිමිව තිබු ඕපල් රෙකාඩ් කාර් එකේය. බොහෝ දුරට ඒය පදවන් එන්නේ ලයනල් අයියා හෝ දයානන්ද අයියාය. දයානන්ද අයියා නම් පසුකාලීනව ජ’පුරේ සිටි ගණිත මහාචාර්ය්‍යවරයෙක්ය. මොහො ඉතා නිහඬ මිනිසෙක් විය. සතියටම ඇති තරමින් බඩු මිලදීගෙන ,ආච්චීටත් මටත් අන් අයටත් යමක් මිලදී ගන්නට අමතක නොකරන ඇය , ඇයගේ නැගණියවූ දුල්ලාවති නැන්දාට වඩා සිනහමුසුව ජීවත්වූ කෙනෙක් විය. මේ සියල්ලක්ම පසුකාලවලදීත් අප පවුලට උදව් උපකාර කර ඇත. ඒවා පසුවට ලියන්නෙමි.
දුල්ලාවති නැන්දා පදිංචිව සිටියේ හරියටම පොළ ඉස්සරහම තිබූ නිවසවූ මගේ පළමු නවාතැනේය. පොළට පැමිණෙන බයිසිකල්කරුවන්ට ඒව නවතා තබන්නට සිදුවූයේ නැන්දාගේ ගෙදර තාප්පය යාබද කුඩා බිම්කඩේය. එය නිවැසියන්ටද මහත් කරදරයක් විය. මේ හැම කරදරයක්ම ඉරිදාපොළ වෙනුවෙන් ඉවසා දරා ගැනීමට සියලු ගම් වැසියෝ කාරුණික වූහ. බයිසිකල් බලාගත්තේ කල්‍යාණරත්න නම්වූ එක් කකුලක් පෝලියෝ රෝගයට ගොදුරුවූ, නොන්ඩි ගසමින් ඇවිදින වැඩිමහල් තරුණයෙක්ය. නැන්දාගේ බිම්කඩට පින් සිදුවන්නට සෑම ඉරිදාවකම පාපැදිකරුවන්ගෙන් ඔහු යම්කිසි මුදලක් උපයා ගනී. එය ඔහුගේ එකම ආදායම් මාර්ගයවූ අතර සතියේ වියදමට එය සෑහෙන්නේ එතරම් බයිසිකල් ප්‍රමාණයක් පොළට පැමිණෙන නිසා විය යුතුය.
කාලය මෙසේ ගෙවී යන අතරේ අපේ කුළුබඩු පැකට් ව්‍යාපාරයේ මුදලාලිද හෙමින් හෙමින් සාර්ථක දියුණුවක් ලබමින් පවතී. පසුකලෙක රියෝනි ප්‍රඩක්ට්ස් නමින් ඔහුගේ ව්‍යාපාරය යම් සාර්ථකත්වයක් අත්කර ගත් අතර පාපැදියේ ගොසින් බඩු බෙදීමත්, එම පාපැදියේම පෙට්ටියේ පටවා අවශ්‍ය කළමනා රැගෙන ඒමත් , ඒ කුඩා නිවසේම පදිංචිවී සිටීමත් අත හැරියේ නැත. රියෝනි මුදලාලිගේ ඊළඟ අත්හදා බැලීම වූයේ රුලං සහ තල අළුවා හැදීමේ කටයුත්තයි. ජෝරිස්ලාගේ වත්තේම විශාල තාච්චිවල මේ රසකැවිලි හැදුවේ මේ කුඩා මිනිසා සහ බඩදරු බිරින්දෑය. මහරගම ගුණසිරි බුල්ටෝ හැදෙන්නේත් මේ කාලපරිච්ඡේදය තුළමය. අපේ රියෝනි මුදලාලි සිනහවෙවී කියන්නේ මහරගම බුල්ටෝ නම්, ඉරිදා පොළේ රුලං කෑලී කියාය. මමද කාටත් හොරෙන් ඉරිදාපොලේ වෙළෙන්දෙක් වූයේ ,ජෝරිස්ලා සමග රුලං වෙළෙන්දෙක් වීම නිසා යැයි කීමට මැලි නොවෙමි. අවට පදිංචිව සිටි පාසැල් මිතුරන්ගේ දෙමාපියන්, ඥාතීන් පොළට පැමිණීම නිසා ඔවුන්ට මුහුණ නොපෙන්වීමටත් වග බලා ගත්තෙමි. උඩහමුල්ල ඩිපෝව අසල පදිංචිව සිටි හර්ෂ සූරියාරච්චිගේ අම්මාගෙනුත් දෙල්කඳ සිට පාසැල් පැමිණි කිරි හේරත්ගේ ඥාතින්ගෙන් බේරි සිටිය විය යුතු විය. මේ අය මා හඳුනන්නේ මම ඔවුන්ගේ ගෙවල්වල ගොස් ඇති බැවින්ය. ඒවා පසුවට ලියන්නෙමි.
පොළ අසල තේ කඩ දෙකම උදේ 9-10 සිට වෙලන්දුන්ගෙන් පිරී ඉතිරී යයි. වරින්වර තේ බීමත්, බීඩි සිගරට්, බුලත් විටට පැමිනීමත් වෙලෙන්දන්ගේ සිරිත විය. විටින් විට රත්නසිරි ලාච්චුවෙන් මාටියා ගහනා රුපියලේ කාසි සාක්කුවේ ඔබා ගැනීමත් මගේ රාජකාරිය නිසා ඒ ගැනද කල්පනාවෙන් සිටිය යුතුමය. නැත්නම් අපේ චිත්‍රපටි බැලීමත්, සංගීත සංදර්ශන කෙරුවාවත් හබක්ය. රත්නසිරිගේ පියාටත්, තේ හදන ජයසේනටත් ඇස්වසා මේ හැම දෙයක්ම කරගැනීම අපි දෙදෙනාටම වීර ක්‍රියාවක්ම විය.
ඒ කාලයේ සිගරට් වර්ග කිහිපයක්ම විය. Four Aces(ෆෝරේස් )සහ බ්‍රිස්ටල් ෆිල්ටර් සහිතය. Three Roses(තීරෝස් ) සහ Capstan Navy Cut (නයිකට් ) ෆිල්ටර් නොමැති ඒවා විය. ස්පෝර්ට්ස්මන් කියා තවත් වර්ගයක් තිබුනි.මට මතක හැටියට බ්‍රිස්ටල් එකක් ශත 13කි. පාන් රාත්තලක් ශත 35කි. පාන් කාලක් ගන්නේ නම් ශත 9කි. ප්ලේන්ටියේ ගාන මතක නැත. මේ සිගරට් ඉතා වෛවර්ණ පැකට් වල අසුරා තිබුණත් බොහෝ අය මිලදී ගත්තේ එකක් දෙකක් හෝ පහක්ය. මේ හිස් පැකට් කඩවල්වලට ගොස් එකතු කර හිත්ගන්නා සුළු නිර්මාණ කෙරූ බවත් මතකය. ස්පෝර්ට්ස්මන් පැකට් වල සිටි එම නමක් නැති ක්‍රීඩකයාගේ රුව සියුම්ව කපා ඒ පැකට්ටුවම රේසින් කාර් එකක් (ලැම්බොගිනි ) කරේත් අපමය . මෙම සිගරට් පැකට් කඩා සිල්ලරට විකිණීම සඳහා බහා තැබීමට ප්ලාස්ටික් කෝප්ප වැනි භාජනයක් සැපයූවේ සිගරට් ඒජන්සි වලින්ය. පෝරේස් කොළපාට බඳුනකද, තීරෝස් රතු පාට එකකද, බ්‍රිස්ටල් සුදු බඳුනකද, නයිකට් දැමීමට නිල් පාට ප්ලාස්ටික් බඳුන්ද විය. සිගරට් තොග වශයෙන් කඩවල් වලට සැපයූවේ ආකර්ෂණීය පෙට්ටිවලින් සැරසූ බයිසිකල් පදවාගෙන ආ සේවකයන්ය. සිල්ලර කඩවලට සිගරට් සපයා එවෙලේම මුදල්ද රැගෙන ගොස් ඒජන්සියට භාරදීම එකල සිරිත විය. මොවුන් අත විශාල මුදලක් තිබෙන නිසාම අතුරු පාරවල් වලදී මුදල් පැහැර ගැනීම් වලට ලක්වෙන නිසා මේ ක්‍රමය සෙමින් සෙමින් වෑන්වලි බෙදා හැරිමේ ක්‍රියවලියකට පරිවර්තනය විය. අප පළාතටම සිටි එකම සිගරට් ඒජන්සි කරුවා වූයේ නුගේගොඩ ගුණවර්ධනය. ඇස්වාට්ටුවේ අරුණදිසිද, අතුරුගිරියේ ගුණසේකරද එවන් අය බව මතකය. සිගරට් ඒජන්සියක් ලබාගැනීම එසේ මෙසේ කාරියක් නොවේ. ඒ සඳහා මුදල්ද විශ්වාසයද ,සිලෝන් ටුබැකෝ එකට ඔප්පු කල විය යුතුව තිබුණි. ඒ එදාය.
අද නම් කතාව දිගය. නමුත් ශෘතියට අනුව ගැයිය යුතුය. මා මේ ප්ලාස්ටික් සිගරට් බඳුන් ගැන කිව්වේ එක කාරණයක් නිසාමය. ඉරිදාපොළ වැඩ කටයුතු අවසන් වෙත්ම තේ කඩද වසා දමනු ලැබේ. වලං වෙළෙන්දන් දෙදෙනා රත්නසිරි හමුවීමට එන්නේ මීට මොහොතකට පෙරය. ඒ සිගරට් බඳුන්වල අඩියේ ඉතිරිවෙන සිගරට් වලින් හැලෙනා දුම්කොළ හෙවත් සිගරට් කුඩු ඉල්ලා ගැනීමටයි. ඔවුන් අප දෙන්නාගේ හිතවතුන් වෙන්නේ මේ නොමිලයේ සිදුවන ගනුදෙනුව හරහාය. මේවා ගෙනයන්නේ කිනම් අවශ්‍යතාවයකට දැයි අපි විමසිලිමත් වූයෙමු. ඒ විමසිලිමත් වීමේ ප්‍රතිඵලය වූයේ, ජීවිතයේ ප්‍රථම වතාවට මටත් රත්නේටත් ගංජා සුරුට්ටුවක් ඉරීමේ අත්දැකීමද ලබාදීමය. මොවුන් ගංජා ඔතන්නේ සුදුපාට සව් කඩදාසියකට මේ සිගරට් කුඩුද එකතු කරමින්ය. ඉන්පසු එය ඉතා තද කළු පැහැති කාප්පය නම්වූ දුම්කොලයෙන් තදවෙනසේ එක් හැඩයකට ඔතා ගැනීමට සමතුන්ය. අබ්‍යාවාකාශයට යන රොකට්වල හැඩය ගත්තේ මේ රොකට් වලින්ද නොදනිමි. හැබැයි දෙකම රොකට් බව වැටහුණේ ඒ මුළු රැයම වමනය දැමීමත්, හිස කැරකැවීමත්, නින්ද නොයන රාත්‍රියක් වූ නිසාමය. මා මේ ලියන්නේ මගේ අත්දැකීම් විනා අන් කවරක්වත් නොවේ.
මාගම් තෙන්නකෝන් නම්වූ, ඒ නිර්ව්‍යාජ ලේඛකයා සහ මාධ්‍යවේදියා පිළිබඳ ඔහුගේ පුත් සඳුන් තෙන්නකෝන් ලියු රසවත් පොතකද මෙවන් ගංජා ඉරීමක් ගැන සඳහන් වේ. පොතේ නම මතක නැත. මාගම් විත්ති කියා යාන්තමට කිව හැක.

No comments:

Post a Comment