Monday, December 16, 2013

අවුල් වන්නට පෙර…(21)..ඉරිදා පොළේ-තතු එකලේ….


මා මේ ලියන්නේ මතු බුදුවීමට පෙරුම් පිරූ බෝධිසත්වයෙකුගේ කථා පුවතක් නොවේ. එදිනෙදා සමාජයේදි ඔබ හමුවෙන තවත් සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය ගොඩ නැගී ආ මාවතයි. ඒ නිසා මෙහි හොඳ-නරක, සුදු-කළු, යහපත්-අයහපත් පුරුදු සහ ගති පැවතුම්ද පුද්ගල චරිතද පිළිබඳව ලියා තැබීමට සිදුවේ. මේ ලියන්නේ දුටු දේ සහ අත්විඳි දේ පමණය. හොඳ දෙයක් ඇත්නම් ළඟ තබා ගැනීමත් නරක දෙයක් ඇත්නම් ඉවතට දැමීමත් ඔබගේ අයිතිය වේ. යහපත් සංවාදයක් සහ සාකාච්ඡාවක් තුළින් ඉදිරියට යාම දියුණු සමාජයක දැකිය හැකි ධනාත්මක ලකුණක් බව සිතමි.
පොසොන් කූඩු ව්‍යාපෘතිය තුළින්, කුඩාකල ඇසුරු කල මිතුරන්ටත් වඩා එහාගිය තවත් මිතුරු ඇසුරකට මංපෙත් විවර විය. ඔවුන් නම් අප ගම ඇතුළට වන්නට පදිංචිවී සිටි සම වයසේ උන්ය. ශෝභන, ඡන්න, අජිත් ඇතුළු කිහිප දෙනෙක් ඔය කංඩායමේ සිටියහ. තවත් එක් විශේෂිත කොල්ලෙක් වූයේ මට වඩා වසරක් වැඩිමහල් රත්නසිරිය. මොහුගේ පියා ඉරිදාපොළ අසලම කොස් ගහ යට තේකඩය හිමි ඇඩ්ඩින් මුදලාලිය. අයියා මෝටර් එතීමේ දක්ෂයෙක්වූ මෝටර් රංජිය. මොවුන්ගේ මුල් ගම බොරලැස්ගමුවය. මීට වසර කිහිපයකට පෙර අපේ මහගෙදර තාත්තා සහ මාමා එකතුවී කාටත් හොරා විකුණ දමා තිබුණේ ගේ ඉදිරිපිට ඔය තේ කඩේ මුදලාලිටය.ඔවුන් පදිංචිව සිටියේ, අදත් මට මහගෙදර යැයි කියවෙන අපට අයිතිව තිබුණු එම නිවසේය.
රත්නසිරි නොම්බර එකේ විනෝදකාමියෙක් විය. නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ ඉගෙනුම ලැබු ඔහු පාසල් ගියාටත් වඩා නොගිය දවස් වැඩි බව අපි කවුරුත් දන්නෙමු. කාලයක් යන තුරුම ඔහු මගේ ප්‍රියතම මිතුරා විය. මම ඔහුට ඉංග්‍රීසි පාඩම්ද කියා දුන්නෙමි. තම පියාගේ තේ කඩයේ මුදල් කූඩුවේ බොහෝ විට වැඩ කරනා රත්නේ, මට ඒ අසලම නිතර ගැවසෙන්නට යැයි කියන්නේ කීයක් හෝ තාත්තාගේ ලාච්චුවෙන් අතයට ගසා මට සාක්කුවේ දමා ගැනීමටත් ඒ මුදල් අපට චිත්‍රපටි බලන්නට වියදම් කිරීමටත් බව මම නොදැන සිටියා නොවේ. ඔය වයසේ ඕවා නොකෙරුවේ කවුදැයි නොකීවාට බොහෝ අය එහෙමය. මම කැමත්තෙන්ම කියන්නේ මා දුටු එකල වටපිටාවයේ සත්‍යමයමය.
බොහෝ මහන්සියෙන් හරි හම්බ කරනදේ විනාශ කරන්නේ ඒවා නිකම්ම උකුලට ලැබුණ එවුන්ය. මගේ තාත්තා එවැන්නෙකි. මට සිදුවුණේ අහිමිවූ දේ නැවත ගොඩ නගන්නටය. මම යමක් ජයගත්තෙක්මි.ඒ තවකෙකු පරයා යාමට නොව, නැගිට සිටීමට පමණි. සබඳ අපි කඳු නොවෙමු. කපුගේ ගැයුවෝ ඔය සත්‍යයමය. මම ඒ ගැන පසුව ලියන්නෙමි. ඔබ නිවැරදිව හිතා බැලුවොත් ලෝකයේ බොහෝ විට වඩාත්ම සාර්ථක මිනිසුන් වන්නේ අළු මතින් ගොඩ නැගුණු එවුන්ය.ආදර්ශයන් බොහෝය (මේ ගැන පසුව ලියමි ). මේ සඳහා ලංකාවේ නිදසුන් බොහෝය. කෙසේ වුවත් අපි මිය යා යුතුවන්නේ කිසිවෙකුටත් වරදක් නොකෙරූ මිනිසුන් ලෙසය. මම යම් තාක් දුරකට හෝ එය එසේ නොවන්නට වග බලා ගත්තෙක්මි. මා කරගත් වරද නම් මම කවුදැයි හඳුනා නොගැනීමය. මේ නම් ඉතා ගැඹුරු මාතෘකාවක්ය. දැනට ඒ ගැන නොසිතමු.
එදා පටන්ම ඇඩ්ඩින් මුදලාලිගේ කඩයට එන අයට කියවීමට දිනමිණ පුවත්පත මේසයක් උඩ තබා තිබුණි. අල්ලපු තේ කඩය වූ ඩයස් බඩා මුදලාලිගේ කඩයේ තිබුණේ ඇත්ත පත්තරේ පමණක් විය. ඔහු තද කොමියුනිස්ට් පාක්ෂිකයෙක් විය. මේ තේ කඩවල ලාච්චුවලට හරි හමන් මුදලක් වැටෙන්නේ ඉරිදා පොළ දවසට පමණය. පොළේ වෙළෙන්දන් උදේ දහවල් ආහාරය ගන්නේ මේ කඩ දෙකෙන් බැවින් එදාට කඩ දෙකේම හැදෙන්නේ ඉස්පැසල් කෑම වර්ගය. චිකන් නම් මසුරන්ය. හැදුණේ නම් නැති නැති ගානය. මිරිසට හැදු තලපත් මාළු සමග පරිප්පු සමග පාන් කෑමට වෙළෙන්දෝ බොහෝ විට ඇලුම් කළහ. මේ කියන්නේ මම රත්නසිරිගේ අග්‍ර ශ්‍රාවකයෙක් වී සිටි නිසාමය.
මා පදිංචිවී සිටි නිවසට යාබ්දව තිබු ලීමඩුවේ ඩේලිනිව්ස් පුවත්පත් තිබුණේ එහි අයිතිකාර ලයනල් අයියාට කියවීම සඳහාය. ගෝලයා පේමානන්ද ඩේලිනිව්ස් ක්‍රීඩා පිටුව බැරි බැරි ගානේ හෝ කියවන්නෙක් විය. මම ඔහුට එය පරිවර්තනය කර දීමට සිටි එකම එකා විය. ඩේලිනිවුස් ක්‍රීඩා පිටුව තරම් ක්‍රීඩා තොරතුරු ගෙන ආ වෙනත් පුවත්පතක් නොතිබූ තරම් විය. මිහිර, සතුට වැනි පුවත්පත් අවට ගෙවල් වලින් ලැබෙන සතිපතා බෝනස් විය. සරසවිය ජෝරිස් පවුලේ සතියේ පුවත්පත ,අනිකුත් ගෙවල්වල අතින් අත මාරුවෙන තොරතුරු ගොන්නේ රසවතා විය. බුදුසරණ පත්තරේ අකැමත්තෙන් හෝ කියවීමට දුල්ලාවති නැන්දා බල කරන්නට යෙදුණි. අලිබබා, බටකොළ ආච්චීලාගේ ලෝකයෙන් මිදුණු මගේ ලෝකයේ ගාමිණි ෆොන්සේකලා, ඔස්වල්ඩ් ජයසිංහලා, ඇන්තනි සී පෙරේරලා, රොබින්ලා,ඇලෙක්සැන්ඩ්‍රලා, බන්දු මුණසිංහලා රජ කරන්නට විය. මාලනීලා, සුමනලා, ස්වීණතාලා, ජෙනිටාලා සිහින මවන්නන් විය. ඔය කිව්වේ සිනමාව ගැනය. සංගීතය ගැන පසුව කියන්නෙමි. මේ නොයෙකුත් විෂයන් අළලා තිබූ පුවත්පත්, තැනින් තැනට මාරුවී, ඒ ගෙවල්වලට ගොඩ වැදී කියවීමේ පුරුද්ද, මගේ කියවීමේ ආශාවට මෙන්ම මිනිසුන් හඳුනාගැනීමේ හැකියාවටත් මහඟු පිටිවහලක් විය.
දෙල්කඳ ඉරිදා පොළට සිකුරාදා රාත්‍රියේ සිටම පැමිණෙන වෙළෙන්දන් කොටසක් විය. ඒ මැටි වළන් සහ මුට්ටි,මැටි කළගෙඩි පුරවාගත් බරබාග දෙකකි. සතිය පුරාම නොයෙකුත් ප්‍රදේශයන්හී සති පොළවල්හී වෙළඳාමේ නියැලෙන මේ සුන්දර මිනිසුන් සිකුරාදා සිට පොළ ඇතුළේම එක් මුල්ලක වාඩිලා ගනී. පොළ අයිතුකරුවාගේ ඥාතියාවු සෝමපාල අයියාගේ නිවස තිබුණේත් පොළ භූමියේය. වලං වෙළොන්දෝ වාඩි ගහන්නේ ඔය අසලමය. කරත්තය යටින් එල්ලෙන ලණු දැලේ, ඉවුම් පිහුම් අඩුම කුඩුමද, ලන්තැරුම් භූමිතෙල්ද සුරක්ෂිතව රැගෙන එන මොවුන් උයා පිහා ගත්තේද එතැනමය. මේ මිනිසුන්ට කවදාවත් අමතක නොවුණු එක් දෙයක් විය. ඒ තම ජීවිතය ගැටගස්සා ගැනීමට හුස්ම රැලක්වූ ඒ ආදරණීය සත්වයාගේ මූලික ගිලගැනීමවූ පිදුරු මිටි කිහිපයය. එයට නිතරම කරත්තයේ ඉඩ කඩ සලසා තිබුණි. ඔවුන් සතුන්ගෙන් වැඩගත්තා මිස, ඒ සතුන් වන්දනා නොකළ යථාර්ථවාදී මිනිසුන්ය. මම එවුන්ට හිස නමා ආචාර කරමි. බොරු වන්දනා, බොරු කාරයින්ගේ ජීවන මාර්ගයන්ය. මේ සොඳුරු මිනිසුන් එසේ නොවේය.
අවට මිනිසුන් වලං මුට්ටි,කළ මිලදී ගැනීමට සෙනසුරාදා දිනය යොදාගත්තේ මිලදී ගන්නා අනිකුත් බඩුමුට්ටු සමග මේවාද ඔසවාගෙන යන්නට අපහසු නිසා විය යුතුය. මේ වෙළඳුන්ගේ පහසුව පිණිස පොළ ඇතුළේම කුඩා වැසිකිළි දෙකක් සහ වතුර පයිප්පයක්ද විය. හයිලෙවල් පාරේම නගර සභා වතුර පයිප්පයක්ම තිබූ නමුත් මෙහි පිත්තල කරාමයක් නොවීය. ඇරීම සහ වැහීම සිදුවුණේ යකඩයෙන් නිමවූ ඉතා කුඩා ලීවර ක්‍රම වේදයකිනි. පිත්තල කරාම සහිත පාරට සවි නොකළේ ඒවා ගලවාගෙන ගොස් විකුණා ගන්නා උදවිය එදාත් හිටිය නිසා විය යුතුය. ඒ අපි දෙපයින් සිට ගන්නා මිනිසුන් නිසාමය. සතුන් සතුන් වන්නේත් ,අපි මිනිසුන් වන්නේත් කෙසේද යැයි අසා ඇති මුත් , නැවත සිනහා වෙනවා හැර හඬන්නට කඳුළු නැත.
මගේ මේ කතාව වෙනත් ඉසව්වකට ගෙන යෑමේ උවමනාව තදින්ම තිබුණත් දෙල්කඳ හා අවට පරිසරයත් ඒ හා බැඳුණු සොඳුරු මතකවලින් ගැලවී යාමට මට සිත් නොදේ. තව දුරටත් මේ හා බැඳීසිටීමට මට අවනත නොවූ මගේ චෛතිසිකය මට බල කරයි. ඒ කාටවත් වැදගත් නොවෙන මගේ කථාවේ ලොකුම සාක්ෂිකාරයා මම නිසාම විය යුතුය. එය කොතරම් දුරට ඔබට ගෝචර වේ දැයි මම නොදනිමි.
සෙනසුරාදා රාත්‍රිය වෙනවිට පොල් පුරවාගත් කරත්ත පහ හයක්ද හයිලෙවල් පාරට මුහුණලා නවාතැන් ගෙන වෙළඳාමට සූදානම්ය. පොල් වෙළඳාමද සෙනසුරාදා සිට පටන් ගනී. කරත්ත හයක් හෝ හතක් නොවරදාම පැමිණේ. ඒ අසලින් ගමන් ගන්නා අයට පොල් මෝලක සුවඳ හඳුනාගැනීම අපහසු නොවේ. මොවුන් පොල්පී හෝ පැලපොල් කියනා අපි කවුරුත් කැමති ඒ රසවතාද විකුණාගන්නේ, පොල් යනු පොල් විතරක් නොවේ යන සත්‍යයද මතක් කර දෙමින්ය. සමහර කරත්තවල සෙවිල්ලට සුදුසු පොල් අතුද , කරත්තයට උඩින් පටවා ගෙන විත් මුදලට විකුණු බව මතක් කර තැබීම සුදුසය. හනසු, පොල්මල්ද ඉඳ හිට විකිණීමට ඇති බව මම දැක ඇත්තෙමි.
ඉරිදා පාන්දර තුන හතරේ පටන් හයිලෙවල් පාරට මුහුණලා පදිංචිවී සිටිනා අයට නම් නිදාගැනීමට ඇති එකම බාධාව වන්නේ ලොරි දෙක තුනකින් පැමිණ එක් එක් වෙළඳුන්ගේ එළවළු, පලතුරු ගෝනි ගොඩ බෑමේදි ඇතිවන මහ ඝෝෂාකාරී කට හඬවල්ය. එක් ලොරියක කුඩා වෙළඳුන් 15-20ගේ පමණ වෙළඳ ද්‍රව්‍ය රැගෙන එයි. මේවා එක් එක් සිල්ලර වෙළෙන්දාට අයිති බඩු මුට්ටුය. මේවා එක එකාට අනන්‍ය සලකුණු වලින් වෙන් කරවා ගත හැකිය. බඩු බාන උදවිය මේවා පොළේ ස්ථානගත විය යුතු තැන් මැනවින් දත්තෝ වෙති. මේ ක්‍රියාවලියෙන් පසු නියමිත වෙළෙන්දෝ පොළට පැමිණෙන්නේ පාන්දර පහට හයට පමණය. ඔය අතරතුර ගෝනියක් හිල්කර බණ්ඩක්කා අහුරක්, මිරිස් අහුරක් හොරකම් කරපු උදවියත් නොසිටියාමම නොවේ. නමුත් මහා පරිමාණයේ හොරකම් සොරකම් සිදුවූයේ නැත. එයට ප්‍රධාන හේතුව වූයේ සිකුරාදා, සෙනසුරාදා සිට ගැවසෙන පොල් සහ වලං කරත්තකරුවන් අවට ගැවසීම බව අපි දනිමු. මේ ග්‍රාමීය ක්‍රියාපටිපාටියන් වලින් බැහැරව නව ජීවන රටාවන් විවෘත හෝ සංවෘත ලෙසින් බිහිවුනා මිස ඒ කිසිවක් අපේ බඩ වියත ඉල්ලා සිටි දේවල් නොවේ. අපි බලා සිටිමු. ඉරිදාපොළේ සෙනසුරාදා රාත්‍රිය මිස ඉරිදා වරුව මම කිව්වේ නැත.
මේ කොටස මෙතනින් ලියා අවසන් කරමි. ලියා තැබිය යුතු දේ බොහෝය. දැනට නවතමි. මට වෙහෙස නැත. ඔබ වෙහෙසට පත් කිරීම යුතු නොවේ.

No comments:

Post a Comment