Wednesday, December 4, 2013

අවුල් වන්නට පෙර (19)….රාජකීය තැඹිලි..


රාජකීය විදුහලට ඇතුල්වූදා සිට ගෙවීගිය වසර කිහිපය ඇතුළත එතැනින් මෙතැනටත්, මෙතනින් එතනටත් නවාතැන් මාරු කරමින් ගතකළ මගේ ජීවිතය තවත් සංධිස්ථානයකට ගොඩවී ඇත. ඒ මම කවදාත් ප්‍රියකළ දෙල්කඳ, ගංගොඩවිල ප්‍රදේශයට නැවත පැමීනීමත් සමගය. දැන් මා නැවතී සිටින්නේ දෙල්කඳ අපට උරුමව තිබූ නිවසට යාබදව ඇති ලොකු අම්මාගේ නිවසටය. තවමත් එම නිවසේ කොටසක් කොමියුනිස්ට් පක්ෂයේ කෝට්ටේ ආසනයේ ප්‍රධාන කාර්යාලය වේ. අනිත් කොටසේ ලොකු අම්මාත්, දියණියත්, ආච්චීත්, මාත් පදිංචි විය. පොඩි අයියා නම්වූ රොමානිස් හාමි නිවසේ ඉස්තෝප්පුවේ පැදුරක් එලා රාත්‍රිය ගත කරන්නේය.
මා කුඩාකල සිටම ළඟින්ම ඇසුරුකළ අය අතරින් එහා වත්තේ විසූ ජෝරිස් එදිරිසිංහ පවුලේ අය විශේෂිත වූහ. පිරිමි ළමුන් හතරක් සහ ගැහැණු දරුවෝ දෙදෙනෙකු වූහ. ඒ කිසිවෙක් අධ්‍යාපනය සඳහා උනන්දුවක් දැක්වූ අය නොවේ. මගේ වයසේවූ ආනන්දද පාසැල් ගමන් අතහැර ඇත. මට වඩා වයසින් බාලවූ මහින්ද පමණක් ගංගොඩවිල රේවත විදුහලේ පාසැල් ගමන අතහැර නැත. මොවුන් එම ප්‍රදේශයේ විසු දක්ෂ වඩු කාර්මිකයන් වූ අතර පියාගේ වියෝවෙන් පසු වැඩිමල් පිරිමි දරුවන් තිදෙනාම වඩු මඩුවේ වැඩ දිගටම කරගෙන යන බව පෙනේ. රූබන් අයියා යයි මුළු ගමම හඳුනන මොවුන්ගේ පියා මිය ගියේද අධික බීමත් කම නිසාමය.
පාසැල් යෑම පිළිබඳ මගේ තිබූ අවධානය දිනෙන් දින බිඳ වැටී ගියේ මේ කාලයේදී යැයි කිව්වොත් එය නිවැරදිය. පාඩම් වැඩ අතපසු කිරීමත්, යන්නන් වාලේ පාසැල් යාමත් හැර මගේ ප්‍රියතම කාලය ගතකරේ ජෝරිස්ලාගේ වඩුමඩුව තුළය. වඩුමඩුව තිබුණේ අප කුඩාකල හැංගිමුත්තම් කෙරූ ලී මඩුවට යාබදවය. ලී මඩුව පවත්වාගෙන ගියේත් ජෝරිස්ලාගේ ඉඩමේම වෙනත් ව්‍යාපාරිකයෙක් විසින්ය. ජෝරිස් පවුලේ සොයුරන් සමග එකතුවී යතු ගෑම, ලී ඉරීමට සහයෝගය දීම, ලී කුඩු ,යතුකුඩු, පිළිස්සීම වැනි වැඩවලින් කාලය කාදැමීමත්, හැන්දාවරුවේ දාම් ඇදීමත්, ඕමි ගැසීමටත් පුරුදුවී සිටි මා කළුවර වැටන විට ගෙදරට ගොඩවීමටත් පුරුදුවී උන්නෙමි. රාජකීය විදුහලේදීත් ප්‍රාග්වෘත්තීය විෂයට වඩු වැඩ වෙනුවට මැටිවැඩ කෙරූ මා, වඩුමඩුවේ කාලය ගෙවීමට උනන්දු වූයේ කුඩා කල සිටම මිතුරු ඇසුරට ලොල්වු නිසා විය යුතුය.
උසස්පෙළ හැදැරීමට යාම සදහා ඇති විභාගය සමත්වීමට උනන්දුවක්ද නොවීය. ආච්චීද, ලොකු අම්මාද කොතරම් අවවාද කළත්, තරවටු කළත් කිසිම දෙයක් මායිම් නොකළ මුත්, යම්කිසි අවවාදයකට අනුශාසනාවකට කන් දුන්නානම්, ඒ මා මුලින්ම නැවතී සිටි ගෙදර නැන්දාගේ බාලපුතාවූ ආනන්දසිරි අයියාට පමණි. ඔහු ඈතින් සිට හෝ එනවා දුටුවොත් වඩුමඩුවී පිටිපස්සෙන් පැනගොස් ගෙදරට ගොඩවී සිටියා මිස එයිනුත් නිසි ප්‍රයෝජනයක් ලැබුවේම නැත. අප පවුලට පසු කාලයකදී බොහෝ උදව් පදව් කර ඇති , සුරාසූදුවෙන්ද තොර මේ උතුම් මිනිසාව 1988 දී කුරිරු ලෙස ඝාතනය කර දමන ලදි. එය වෙනමම ලිවිය යුතු පරිච්ඡේදයක්ය. පාසැල අවසන්වූ පසුත් ක්‍රීඩා පිටියටවී ක්‍රිකට් ගැසීම හෝ නවරඟහලේ සවස තුනට පැවත්වෙන නාට්‍යයක් ඇත්නම් නොමිලයේම එයද නරඹා යෑමේ පුරුද්දක්ද විය. නාට්‍ය නැරඹීම සඳහා පාසල් කාලයෙන් පසු රැඳී සිටිමද පහසු කාර්‍යයක් නොවීය. ඒ සමහර ගුරුවරුන් පාසල් වේලාවෙන් පසුත් නොයෙකුත් වැඩ වෙනුවෙන් ඒ අවට ගැවසීමය. ක්‍රීඩපිටියේ නම් ළමයින් ක්‍රීඩා කටයුතු සඳහා රැඳී සිටිනා නිසා ප්‍රශ්නයක් නොවීය. ජීවිතයේ පසු කාලයකදී නාට්‍ය නැරඹීම මගේ ප්‍රධාන විනෝදාංශයද විය.
අම්මා දෙල්කඳ පැමිණෙන්නේ මාසයකට වරක් හෝ දෙවරක් පමණි. ආච්චී, ලොකු අම්මාගේ තනියට ඇය සමග පදිංචිවී සිටියත් විශ්‍රාම වැටුප දෙන්නේ අම්මා අතටය. ලොකු අම්මා මේ ගැන කිසිදිනෙක උරන නොවූ අතර, අපගේ පවුලේ ප්‍රශ්න ගැන සොයා බැලුවේ අම්මාත්, ඇයත් අතර තිබූ සහෝදර බැම්ම මෙපමණැයි කියා කිව නොහැකි නිසා විය යුතුය. ආච්චී තම විශ්‍රාම වැටුපෙන් කීයක් හෝ ඉතිරිකර ගත්තා නම් ඒ ඇයගේ බුලත්, දුම්කොළ වියදමට පමණය. අම්මා දෙල්කඳට පැමිණ නෑ හිතවතුන්ගේ ගෙවල්වලටත් ගොඩවී ඔවුන්ටත් උදව් පදව් කර ලැබෙන ප්‍රතිඋපකාරයක්ද රැගෙන හැන්දා වරුවේම පහත්ගම බලා පිටත් වෙයි. ඇයට දැන් දැන් මා ගැන විමසිලිමත් වීමට කාලයක් නොමැති සේය. තවත් දරුවන් හයදෙනෙක් නඩත්තු කිරීම ලෙහෙසි පහසු වැඩක්ද නොවේ. මේ කාලය තුළ මා ගෙදරින් බොහෝ දුරට සිතින් ඈත්වී සිටියාදෝ යැයි හැඟීමක් මට දැන් දැනේ.
මේ සියලු සිදුවීම් මැද්දේ මම ජීවිතයේ තවත් කඩඉමක්වූ උසස් පෙළ හැදෑරීම සඳහාවූ විභාගයට මුහුණ දුන්නෙමි. ඒ සඳහා කිසිම පෙර සූදානමක් නොවූ අතරම, මතකයේ ඇත්තේ විභාගය ලිව්වා යැයි කියන්න පමණය. එයින් පසු ප්‍රතිඵල නිකුත්වන කාලය අතරතුර මගේ ජීවිතය ඉතාමත් නරක ලෙස රස්තියාදුවේ ගත කිරීමට පෙළඹවිය. දැන් ඒ සිදුවීම් සිහිකිරීමේදි නම් අපූරු අත්දැකීම් ලෙස සිතුනත් පාසැල් වියේ සිසුවෙක් එවන් ක්‍රියාවන්ට පෙළඹීම කිසිසේත්ම සුදුසු නොවේ.
වඩු මඩුවේ මිත්‍රයින්ගේ වෘත්තීය දක්ෂතාවය නිසාම ඔවුන් ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමේදි වහලවල් ගැසීම, දොර, ජනෙල්, උළුවහු තැබීම වැනි රාජකාරී වලටත් අතගසා තිබුණී. මේ කාලයේ පාසැල් යාමක් නොතිබූ නිසාත්, ගෙදර නොගොස් දෙල්කඳටවී සිටීමට දැක්වූ කැමැත්ත නිසාත් කාටත් හොරෙන් මමද වඩු කාර්මීක සොහොයුරන් සමග අත් උදව්වට ගියෙමි. ඉනිමං අල්ලා සිටීම, වහල උඩ සිටිනා අයට ඇණ, රීප්ප සැපයීම වැනි ප්‍රාථමික වැඩ කටයුතු කරදීම මට පැවරිණි. හැන්දෑවට කීයක් හෝ අතමිට මෙලවීමටත් ජෝරිස් වැඩිමහල් සොහොයුරෝ පසුබට නොවීය. මේ මුදල් කඩචෝරු කෑමට වියදම් කළා මිසක් අන් දෙයක් නොකෙරුණි. වරක් ආච්චීට බුලත් රැගෙන ගොස් දුන්විට ඇය ඒවා ගේ අසලම කාණුවට විසිකර මට පහරක් දෙකක් ගැසූ බවද මතකය. මගේ මුදල් මටම සඟවා තබා ගැනීමට සිදුවිය. මා ඉගෙනගත් වඩු වැඩක්ද නොවීය.
කුඩාකල සිටම දන්නා තවත් කොලුවෙක් වූයේ සුනිල්ය. මොහු පහේ හයේ පංතියේම සිට පාසල් ගමන අතහැර දැමූ එකෙක් විය. ඔහු දැන් අත් කරත්තයක තැඹිලි, පොල්, කොස් පටවාගෙන ගම අවට ප්‍රදේශවල විකුණමින් ජීවිත සටනට උරදෙමින් සිටී. කාලය කොතරම් දුරට මිනිසුන්ට ජීවිත අත්දැකීම් ලබා දෙනවා දැයි සිතෙන්නේ මට මා ගැන සිහිපත් වෙන විටය. ඒ නිසා ඊළඟ ඡේදය සටහන් කර තබමි.
මා කියවමින් සිටින අසම්මත විචාරය නම් ග්‍රන්ථයේ ප්‍රස්තාවනාව ලියා ඇති සී.එච්.කේ.ගුරුදෙනිය මහතා එම පොතේ කතෘ ජයතිස්ස කුමාරගේ මයා ගැන මෙසේ කියයි.
” ත්‍රාසය, භීතිය, හාස්‍ය, කුතුහලය මෙන්ම සංවේදිජනක හැඟීම්වලින්ද ගහණ වූ තම භාවපූර්ණ ජීවිත අත්දැකීම් අව්‍යාජව ගෙන හැර දක්වනුයේ ඔහු තුළ සිටින්නාවූ අව්‍යාජ මිනිසා පාඨක හදවතට වඩාත් සමීප කරවමිනි. ළමාවියේ සිටම ඔහු ලබා ඇති බොහෝ අත්දැකීම් කතුවරයා ඉතා සමීපව ඇසුරු කළ අයෙකුට හැරෙන්නට බහුතර පාඨකයාට තම ජීවිත අත්දැකීම් හා සැසඳීමේදී බොහෝ විට අභව්‍ය සිදුවීම් හා ප්‍රබන්ධ ලෙසද හැඟී යා හැක. කුඩා කල සිටම ඔහු ලද ඉතා සියුම් අත්දැකීම් පිළිබඳ පවතින ධාරණයද විස්මය දනවන සුළුය. මෙයට හේතුව කතුවරයා තුළ පවතින සංවේදී භාවය හා වත්මනෙහි පොත පතට පමණක් සීමාවී ඇති සම්මා සතිය හෙවත් නිවැරදි සිහිය කුඩා කල සිටම ඔහු තුළ පිටා තිබීම යැයි මට හැඟේ”
මා හට මෙවැනි උතුම් ගතිගුණ නොමැති වුවත් ඒ උපුටා දැක්වීම අඩු වැඩි වශයෙන් මගේ ජීවිත කතාවටද අදාළ නිසා ලියා තැබුවෙමි.
මම සුනිල්ගේ අත් උදව්කරු වුයෙමි. අපේ නෑදෑ නිවෙස් පසුකර ඈතට ගියාට පසුවත් ගමෙන් ඈතට වෙන බව හැඟුණ විටත්, ඔහුට මහන්සිවූ විට කරත්තය තල්ලු කිරීමටත්, තැඹිලි තැඹිලි යැයි කෑ ගැසීමත් අලුත් අත්දැකීමක් එක්කල බවනම් ඇත්තය. නමුත් මගේ මේ දඩබ්බර ක්‍රියාපටිපාටියන් අවට පදිංචිවී සිටී නෑදෑයින්ට ආරංචිවීම නම් එතරම් සතුටුදායක නොවීය. නැන්දාකෙනෙක් මට කේන්තියෙන් කිව්වේ මේ අපේ රෝයල් කොලෙජ් තැඹිලි වෙළෙන්දා කියාය. මේ නිසාම අම්මාට නිතර නිතරම දෙල්කඳ බඩගෑමටත්, තම ලොකු පුතු මෙවන් තත්වයකට පත්වීමත් හිත රිඳුම් දෙන කාරණයක් වෙන්නට ඇත. නමුත් මේ කිසිවකට සවන් නොදී මගේ දඩබ්බර ජීවිතය ගෙවීයන්නට මම ඉඩහැර ඇත්තෙමි. මේ විඳින්නේ වයසට ගෝචර නොවූ වල්බූරු නිදහසක් යැයි ඒ කාලයේ නොසිතෙන්නට ඇත. රාජකීය තැඹිලි කාරයෙක් වීමෙන් මා උගත් ව්‍යාපාරික ඥානයක් නැත. එය දැන්නම් සොඳුරු අත්දැකීමක්මය.
දෙල්කඳ ගංගොඩවිල වනාත පාර නුදුරේමවූ ජෝරිස්ලාගේ වඩුමඩුවද තිබු ඉඩම ඉතා විශාලය. මේ ඔවුන්ගේ දේපලය. මේ ඉඩමේ කවුරුත් පදිංචිව නොසිටී කුඩා නිවසක්ද විය. මෙහි පදිංචියට තරුණ යුවලක් පැමිණියෝය. ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය වූයේ මිරිස්. කහ, තුනපහ, තේකොළ, කෝපි වැනි ද්‍රව්‍ය කුඩාම කුඩා පැකට් ලෙස සකසා කාඩ්බෝඩ් පත්‍රිකාවලට සවිකර සිල්ලර කඩවලට සැපයීමය. දැන් ඔබ දකිනා Sachet සංකල්පය හා සමානය. එකල ජනතාවගේ ආර්ථික තත්වය කොතරම් දැයි කිවහොත් මිනිසුන් බොහෝ විට මිලදී ගන්නේ එක වේලකට දෙකට ප්‍රමාණවත් මෙවැනි කුඩා පැකට්ය. මේ ගැන මතක අය සිටිනවා යැයි මම දනිමි. අප නැවත ගමන් කරන්නේ එවන් යුගයකට දැයි වරෙක මට සිතේ. කුඩා පොලිතින් පැකට් තුළට තේ හැන්දක් හෝ දෙක තුනක් දමා ඉටිපන්දමෙන් පුච්චා සීල් කිරීමත්, නිම කරනා පැකට් ප්‍රමාණයට අනුව ගෙවීම් සිදුකිරීමත් විය. මමත් ජෝරිස් පවුලේ ගැහැණු දරුවනුත්, වඩු වැඩ නැති දිනයන්හීදි අනිකුත් එවුනුත් මේ වැඩේට සහභාගි විය. පාරේ රස්තියාදුවක් නැති නිසාත්, නැදෑයින්ගේ දෝෂාරෝපණයක් නැති නිසාත් ආච්චීත් ලොකු අම්මාත් නිහඬ පිළිවෙතක් අනුගමනය කළහ.
මේ අතරතුර සිදුවු දෑ බොහෝ ඇත. ඒවා පසුව ලියන්නෙමි. විභාග ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට මට සිදුවී ඇති බව දැන ගතිමි. මම සතුටුවූවාද නැද්ද යන්න ගැන මට මතකයක් නැත.
ප.ලි………..අද නම් අක්ෂර ගැටලු ඇත්නම් බෙල්ලෙන් අල්ලා ගත යුතුවන්නේ මගේ නොව…අප හිතවත් සුබස ගෙනි.
වැඩ කටයුතු කිහිපයක් නිසා බ්ලොග් ලිවීමටත් වඩා කැමති කියවීම අතපසු විය. සමාවන්න. නැවත ඔබලාගේ රසවත් සටහන් කියවීමට හෙට සිට පිවිසෙන්නෙමි.

No comments:

Post a Comment