Wednesday, May 7, 2014

අවුල් වෙන්නට පෙර (39)වුනාට බම්බලපිටිය (01)


මගේ පාසැල් කාලය කිසිසේත්ම එක්තරා ඉලක්කයක් කර ගමන් ගත් නිරවුල් මාර්ගයක් නොවීය. ඒ සඳහා බලපෑ නොයෙකුත් බාහිර සහ අභ්‍යන්තර සාධක බොහෝමයකි. අභ්‍යන්තර සාධක යැයි කිව්වේ, මා විසින්ම මට එරෙහිව නගාගත් බාධකයන්ය. ඒ මගේ දුර්වලකම්ය. මේ කාලයේ කොහේ හෝ අවස්ථාවක මම තවත් අකරතැබ්බයකට මුහුණ දුන්නෙමි. මගේ පාසැල් මිතුරෙකුවූ හේමමාල්ගේ ,වටිනා කැමරාවක් අළුත් වැඩියා කරනා තැනකට භාර දීමට මම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණෙමි. එම ස්ථානය පිහිටා තිබුණේ මා නැවති සිටි ගල්කිස්ස නිවස අසලමය. මොනයම් හේතුවක් මත හෝ එම කැමරාව ඔවුන් අතින් අස්ථාන ගත විය. මට කට උත්තර නැතිවිය. ටික දිනකින් මෙම කුඩා ව්‍යාපාරික ස්ථානයද වසා දමන ලදි. මගේ මිතුරාට මුහුණ දීම ඉතාමත් දුෂ්කර කාරියක් විය. හේමමාල් කිහිප විටක් ඒ පිළිබඳව විමසා සිටි බැවින් ඔහුව මඟ හැරීම අනිවාර්ය විය. කොහොමත් පාසලින් කට්ටි පැනීමට ඇල්මක් දැක්වූ මම, මේ කාරණයත් තවත් පිටිවහලක් කර ගන්නට ඇතැයි සිතමි. ටික කාලයකින් පසු හේමමාල් ඒ ගැන විමසීම පලක් නොවනු ඇතැයි සිතන්නට ඇත්තේ මා ගැන වරද සිතින් නොවේ යැයි අදටත් සිතමි. මීට කලකට පෙරත් අඩෝ ඒ.එන්. යැයි පණිවිඩයක්ද එවා තිබිණි. ඒවා එහෙමය. ඒ මිත්‍රයා අද එක්සත් ජාතින්ගේ සංවිධානයේ වගකිව යුතු තනතුරක් හොබවන මහාචාර්ය හේමමාල් ජයවර්ධනය. වෛද්‍යවරයෙක්ද වන “ජාවා”, පාසැල් කාලයේ දක්ෂ රගර් ක්‍රීඩකයෙක් මෙන්ම, හොඳ ඡායාරූප ශිල්පියෙක්ද විය.
අප පාසැල පිහිටියේ එවකට අධ්‍යාපන ත්‍රිකෝණය යැයි කියූ භූමි ප්‍රදේශය තුළය. රීඩ් මාවතත්, රේස්කෝස් ඇවනිව් සහ රාජකීය පාරත් වටකරගත් මේ ත්‍රිකෝණය තුළ කොළඹ විවියත්, තර්ස්ටන් විදුහලත්, රාජකීය විදුහලත් හැර අන් ගොඩනැගිල්ලක් තිබුණේ නැත. රාජකීය විදුහලේ සිට මෙම වටිනා ආයතන තුන හරහා යම් අයුරකින් හෝ රහසින් පිටව යෑමට ස්ථානයන් සොයා ගැනීමට අප දක්ෂයින් වූවා සේම, ඒ මිල කල නොහැකි ඉගෙනුම කඩාකප්පල් කරගැනීමට තරම් මෝඩයන්ද වූහ. අප විදුහලේ ප්‍රධාන ගේට්ටුවෙන්, පාසැල් කාලය තුළම වුවද අවසර ඇතිව පිටව යාමට ක්‍රමවේදයක්ද විය. ඒ සඳහා ශිෂ්‍ය වාර්තා පොත හරහා මව්පියන්ගේ අත්සනින්, පාසැල් අවසන් වීමට පෙර පිටත්ව යෑම සඳහා අවසර ඉල්ලා සිටිය හැකිය. ඉන් පසුව අංශ ප්‍රධාණී ගුරුතුමාවූ ඉයුස්ටස් මහතා අනුමත කර අත්සන් තැබූ පසු, අති උත්තම හනීෆා නම්වූ ආරක්ශක නිළධාරියාගේ සියුම් පරීක්ෂාවෙන් පසු ගේට්ටුවෙන් පිටව යා හැක. මේ මිනිසුන් එදා අපට හිසරදයක් වුවත් ඉතා සොඳුරු මිනිසුන් නොවේදැයි අද හිතේ. හනීපා ඉංග්‍රීසියෙන් මිස කතා නොකරයි. තද නිල් පැහැ කලිසමත්, ලා නිල් පැහැ කමිසයත්, තද නිල් පැහැ ටයි පටියත් පලඳා සීරුවෙන් සිටී. කළු සපත්තු යුගල දීප්තිමත්ය, විදුහල්පතිතුමාගෙන් ගැලවුනත් හනීෆාගෙන් බේරිමක් නැත. නමුත් බිග් මැච්දාට ආදී සිසුන් සමග කුණු ඩෝප්ය. පහුවදා ආපහු පරණ හනීපාය. මම ඔහුට ගරු කරන්නෙමි. ඔවුන් සොඳුරු මිනිසුන්ය.
තාත්තාගේ අත්සන යෙදීම ඉතා අපහසුය. වේලාසනින් පිටවීම සඳහා මම ඉතා පහසුවෙන් අපේ අම්මාගේ සරල අත්සන යොදා ඉල්ලීම කරන්නෙමි. ඉයුස්ටස් මහතා වෙත මුලින් මුලින් මේ කටයුත්ත සඳහා ගියත්, පසුව එම ගමන අතහැර දැම්මේ , අපි පොඩි ඉයුස්ටස් නමින් හැඳින්වූ අපේ පංතියේ මිතුරා, ඉයුස්ටස් සර්ටත් වඩා හොඳින් ඔහුගේ අත්සන ගසා දීමට හපනෙක්වූ බැවිනි. අති උත්තම හනීෆාටවත් මෙය වෙනස් යැයි හඳුනාගත නොහැක. මේ පොඩි ඉයුස්ටස් අද ජනාධිපති නීතිඥවරයෙකි.
මේ කොයි යම් ආකාරයෙන් හෝ පාසැලෙන් පිටවී යන අප කිහිප දෙනා, තර්ස්ටන් එක ඉදිරිපිට රහීමා හෝටලය අසලදී මුණ ගැසෙන්නෙමු. එතැනින් ප්ලේන් ගෝදම්බ රොටි සහ කෑලි නැති මස් හොදිත්, ප්ලේන්ටි භාගවලිනුත් සංතර්පනයවී, දුම්වැටි කිහිපයක්ද රැගෙන ඉබාගාතේ ඇවිදින්නෙමු. තර්ස්ටන්, පෙම්බ්‍රොක් කොල්ලෝද කිහිප දෙනෙක් එක්වේ. සමහර විට අප එවකට සුජාතා විදුහල තිබු පාරෙන් ගොස් ඩුප්ලිකේෂන් පාර හරහා බම්බලපිටිය, වැල්ලවත්ත පැත්තටත්, එසේ නැතිනම් වාළුකාරාමය පිටිපස මහානාමය අසල තිබු කුඩා කඩයේ ගංජා නානා හමුවීමෙන් පසු මහජන පුස්තකාලය, විහාරමහා දේවී උද්‍යානය පසුකර ඒ අවටත් සැරි සරසන්නෙමු. මේ කිසිම ගමනක අරමුණක් නොවීය. නමුත් සැබෑ මිනිසුන් හමුවිය.
ඩුප්ලිකේෂන් පාර ඒ කාලයේ ඉතා සන්සුන් ප්‍රදේශයක් විය. පාර දෙපස විශාල ගස්ද, හිස් බිම් පෙදෙස්ද අරුමයක් නොවේ. අදත් මට අමතක කල නොහැකි එක් තැනක් ඇතනම් ඒ බම්බලපිටිය සහ කොල්ලුපිටිය අතරවූ විශාල මාර ගස් යට සෙවණේ එක් රැස්වෙන , බයිසිකල්වලින් කාර්යාලවලට කෑම බෙදන මිනිසුන් එක්වෙන ස්ථානයයි.
කොළඹ නාගරික ප්‍රදේශවල රජයේ කාර්යාලයන්හී රැකියාවේ නිරතවු බොහෝ අයගේ දහවල් ආහාරය තම නිවසින් පිඟානකට බෙදා ,තව පිඟානකින් ආවරණය කර සුදු රෙද්දකින් එය තදකර බැඳ ලේබලයක් ගසා උදෑසන දහය වනවිට සුදානම් කර තබයි. නගර අවට ප්‍රදේශවල නිවෙස්වලින් මේවා එකතුකර ගන්නා බයිසිකල්කරුවන් තම ලී රාමු පෙට්ටියේ ඒවා සුරැකිව එකලස් කරගනී. මෙය එකල ඉතා ජනප්‍රිය ක්‍රමවේදයක් විය. අද මෙන් කඩවල්වලින් කෑමට මිනිසුන් හුරු පුරුදු නොවීය. නුගේගොඩ, දෙහිවල වැනි පළාත්වලින් පවා මේ බයිසිකල්කරුවන් කෑම එකතුකර ගැනීමට පුරුදුවී සිටියහ. මෙය ක්‍රමවත් සේවා සැපයීම් ජාලයක් විය. බොහෝ කාලයකට පෙර අපේ තාත්තාටද දෙල්කඳ අප නිවසේ සිට කොළඹ කොටුවට දහවල් කෑම සැපයූවේ ඔය අයුරින්ය. අවට පෙදෙස්වලින් කෑම පිඟන් එකතුකර ගන්නා මොවුන් ඩුප්ලිකේෂන් පාරේ මේ ගහ යටට එකතුවේ. මෙවැනිම ස්ථානයක් කොළඹ එම්පයර් සිනමා ශාලාව අසලද තිබූ බව මතකය. කෑම පිඟානේ ඇති ලේබලය අනුව, කාර්යාල පිහිටා ඇති ඒ ඒ මාර්ගයන්ට අනුව නැවත මේවා බෙදාගන්න මොවුන් දහවල් කෑම පැයට පෙර ඒ ඒ කන්තෝරුවලට මේවා නිවැරදිව භාර දේ. අතපසුවීම් හෝ කෑම මාරුවීම් ඉතාම අවමවූ මේ ක්‍රමය ඉතා විශ්වාසනීයවූ ක්‍රමයක් විය.
ඒ මිනිසුන්ගේ කඩිසර ක්‍රියාකලාපය දෙසද ඔහේ බලාගෙන සිටිනා අපි, බුලර්ස් රෝඩ් එක හරහා බම්බලපිටියට පැමිණීම එක් චර්යාවකි. බම්බලපිටිය හන්දිය නම් අපූරු තැනකි. කොළඹ නගරයේ ඕනෑම දිශාවකට ගමන් ගන්නා බස් ,හන්දියේ නැවතුම් කිහිපයක නවත්වනු ලැබේ. බොරැල්ල, කිරිබත්ගොඩ, කඩවත දෙසට ගමන් ගන්නා බස් නැවැත්වූයේ බුලර්ස් පාරේ මුල් හරියට වෙන්නටය. තහඩු බස් හෝල්ට් දෙකත්, ඒ කාලයේ සිටම තිබූ පත්තර කඩයත් එදා අයට මතක ඇතැයි සිතමි. මුස්ලිම් පල්ලියක්ද එතනම තිබූ බවත් මතකය. ඔය බස් නැවතුම පිටුපස තිබූ කුඩා නිවාස දෙක තුනකින් එකක පදිංචිව සිටියේ අප පාසැලේ මිතුරු නලීන් ෆොන්සේකාගේ පවුලේ අයය. නලීන්ගේ නිවස අසලටවී කයිය ගැසීමද පුරුද්දක් විය. පසු කාලයකදී නලීන් ෆොන්සේකා, චන්ද්‍රිකා කුමාරතුංග යුගයේ ඉතාමත් ආන්දෝලනයට ලක්වූ ප්‍රබල කැසිනෝ ව්‍යාපාරිකයෙක් විය. පසුව මොහු රටින් පිටව ගිය බවද අසන්නට ලැබුණි.
ගාලු පාරින් බුලර්ස් පාරට හැරෙන විට එක් කොනක තිබුණේ කිරි මංඩලයයි. පාරෙන් අනිත් පැත්තටවූ කොනේ තිබුණේ ඒ කාලයේ කවුරුත් දන්නා ELASTO බෝඩ් එකයි. මේ ඉලාස්ටෝ පුවරුව දිලිසෙන සහ සුළඟට ලෙලදෙන කුඩා ඇලුමිනියම් තහඩුවලින් නිර්මාණය කර තිබුණි. මිල්ක්බෝඩ් එක අපගේ තවත් නැවතුම් පොළක් විය. එකල මෙම මිල්ක්බෝඩ් සංකල්පය බොහෝ නගරවල ව්‍යාප්තව පැවතියේය. කල්කිරි සහ එදිනම පාවිච්චියට කිරි වර්ග මේවායේ විකිණීමට තිබුණි. කඩදාසි ඇසුරුම්වල බහාලු අයිස්ක්‍රීම්, කජු, රටකජු, පැකට්, කැන්ඩොස් චොකලට්ද පොඩි වීදුරු කබඩ්වල පෙනෙන්නට තිබුණි. තැඹිලි කරත්තයක්ද ඒ අසල විය. වසන්ති චතුරාණි නම් ඒ ප්‍රවීණ රංග ශිල්පිනිය පසු කාලයක විවාහවූයේ ඒ අසලම නිවසේ ධනවත් තරුණයෙක් සමගිනි. වීදුරු බෝතල්වල අසුරා, ඇලුමිනියම් වැනි අතින් ගලවා දැමිය හැකි ආවරණයකින් එදිනෙදා කිරි වෙළඳපොළට නිකුත් විය. වැනිලා, චොක්ලට් සහ ප්ලේන් වශයෙන් මේවා නිපදවූයේ ජාතික කිරි මංඩලය විසින්ය. පාසැල් ළමුන් අතර ඉතා ජනප්‍රිය බීමක් විය. කල්කිරි යනු ගෙදර ගෙන ගොස් උණු කිරීමෙන් පසු බීමට ගන්නා කිරි වර්ගයකි.(එසේ නොකර බීමේ ආදිනව අපේ මාතලන් දනී). අප පාසල තුළම මිල්ක්බෝඩ් එකක් විය. අප කුඩා කාලයේ පංතියට කිරි බෙදීම කළේ අපේ හේමන්ත හේරත්ය. ඒ නිසාම ඔහු කිරි හේරත් විය. පසුව කිරා විය. වෛද්‍යවරයෙක්වන මොහු දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස අගනා සේවයක් නිහඬව කරමින් සිටී.
බම්බලපිටිය නගරය සහ අවට පරිසරය සහ අත්දැකීම් මෙසේ ලියා නිම කල නොහැකිය. බම්බලපිටිය හන්දියේ අනිකුත් ස්ථාන ගැන පසුවට ලියන්නෙමි. ලයන් හවුස්, මේ ෆෙයාර් හෝටල් දෙක ඉදිරිපසින්වූ පෙට්‍රල් ෂෙඩ් එක තවමත් තිබේදැයි මම නොදන්නෙමි. එකල අප ලයන්හවුස් තේ කඩය අසල නිතර ගැවසෙන්නෙමු. තරුණයෙක් ලෙස මම පසුකාලයක බම්බලපිටියේ පදිංචිව සිටියෙමි. හැන්දෑවට ඔතැනට බොහෝ රසවතුන් එක්වේ. එතැනදී හමුවූ එක් බර්ගර් ජාතික වයසක මහතකු පැවසූයේ, BILL FORBES නම් 1960-1970 දශකයේ ලෝකයේ ඉතාම ප්‍රසිද්දවූ බටහිර ගායකයා , ශ්‍රීලාංකිකයෙක් බවත්, ඔහු මුලින්ම සේවය කළේ බම්බලපිටියේ පෙට්‍රල් ෂෙඩ් එකේ අත් උදව්කරුවෙකු ලෙස බවත්ය. මම බොහෝ කාලයක් යනතුරු මෙය විශ්වාස නොකළෙමි. නමුත් එය ඇත්තක්ය. වයස 17දී 1955 වසරේ එංගලන්තයට පැමිණ ඇති BILL FORBES ගේ සමකාලීනයන් අතර CLIFF RICHARDS ද සිටිනා බව අසා ඇත්තෙමි. ශාන්ත පීටර්ස් විදුහලේ ආදී සිසුවෙක්වු මොහු ගැන තොරතුරු සෙවීමට කාලය හරස්වේ. ඒ යුගයේ ගීත ඇසීමට ප්‍රිය උදවිය මේ ගැන යමක් දන්නවා විය හැක. ඒ කෙසේ වෙතත් බම්බලපිටිය එසේ මෙසේ තැනක් නොවේ. ඒ ගැන ලියන්නට තව බොහෝමයක් දේ ඇත.
ප.ළි…. මගේ හිතවත්ම පාසැල් මිතුරෙක්වූ ශ්‍රීනාත් ප්‍රේමරත්නගේ ආදරණීය බිරිඳ පිළිකා රෝගයට ගොඳුරුව අප හැර ගොස් ඇති බව දැනගන්නට ලැබුණි. මගේ පාසැල් මිතුරන් මෙය කියවනවානම්, මේ ඔවුන්ගේ දැන ගැනීම සඳහාය. අප ඇයට නිවන් සුව පතමු!!!

No comments:

Post a Comment