Monday, May 19, 2014

අවුල් වන්නට පෙර…(29) කොල්ලුපිටිය , කොළඹ 3

කොල්ලුපිටියේ වාළුකාරාමය අවට පදිංචිව සිටියේ හෝ හිමිකාරිත්වය තිබුණේ මුදල් හදල් ඇති, සමාජ සම්බන්ධතා බහුල මිනිසුන් කොටසක්ය. මේ අතර දේශපාලකයින්ද, ව්‍යාපාරිකයින්ද බොහෝ වූහ. ගාලු පාරෙන් වාලුකාරාම පාරට හැරෙන විටම තිබුණේ ඉතාම කුඩා නිවසකි. මේ පවුලේ උදවිය හා පන්සල අතර සුහද ගනුදෙනුවක් නොවූයේ පාර පළල් කිරීමට පන්සලෙන් කල ඉල්ලීමක් නිසා නිවසෙන් කොටසක් පාරට වෙන්වීමට නියමිතව තිබූ බැවින්ය. ගාලු පාරේ සිට ඩුප්ලිකේෂන් පාර දක්වා වූ අනිකුත් බොහොමයක් නිවාස එතරම් හානියකට ලක්නොවූයේ, එම නිවැසියන් සතුව ඇති පමණට මිදුල් ඉඩකඩ තිබු නිෂාවෙන්ය. කෙසේ නමුත් ඒ වකවානුවේදීම වාලුකාරාම පාර පුළුල් කිරීමකට ලක්විය. ඉහතකී පවුලේ උදවිය නායක හිමියන් සමග අඩදබරයකට ඒමට මැලිවුවත්, එහිමියන් මේ උදවියට පෞද්ගලිකවත් මූල්‍යමය ආධාරයක් කල බැව් මම අසා ඇත්තෙමි. ඩුප්ලිකේෂන් පාරෙන් වාලුකාරාමයට හැරෙන විට දකුණු පසින් පන්සල තෙක්ම දිගටම පැවතියේ කුඩා නිවාස පේළියකි. මේවා පැලපත් නොවූ මුත් අවම පහසුකම් වලින් පමණක් සමන්විත විය. වම් පසින් තිබුණේ තනි තනි ඉඩම්වල තනා තිබු විශාල දෙමහල් නිවාසයන්ය. ඔවුන් ධනවතුන් වූහ. දෙපැත්තේම සිටි කොල්ලෝ කුරුට්ටෝ ක්‍රිකට් ගැසූවෙත්, ටින් පෙරළුවේත් වාලුකාරාම පාර මැද්දේය. මෙම පාර පුළුල් කිරීමට හේතුව වූයේ 1963 සිට අද වෙනතුරුත් ආනන්ද හිමියන් විසින් පවත්වාගෙන පවත්වාගෙන එන වාලුකාරාම ඇසළ පෙරහැර ගමන් මාර්ගයේ ආරම්භයට පහසුවක් පිණිස විය යුතුය.
කුඩා නිවාස 20-25 කින් පමණ සමන්විත මේ ගෙවල් පේළියේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් සියලුම ජාතින්ගෙන් සමන්විත මිනිසුන් පදිංචිවී සිටි අතර පන්සලත් ඔවුනුත් අතර මනා සම්බන්ධතාවයක් පැවතිණි. පන්සල් භූමිය පිරිසිඳු කිරීම පවා ඔවුන් හෝ අප කවුරුන් අතින් ස්වෙච්ඡාවෙන් සිදුවූවත්, බෝ මළුව හා ආවාස ගෙය ඉදිරිපිට අතුගෑමත් ආනන්ද නායක හාමුදුරුවන් තමන්ටම පවරාගත් රාජකාරියක් විය.දිනපතාම හිමිදිරි උදෑසනත්, හැන්දැවරුවේත් ශාරීරික ව්‍යායාමයක් සේ සලකා මෙය සිදුකළා විය යුතුය. ඒක් රටාවකට මිදුල ඇමදීම බොහෝ සිත්ගන්නා සුළුය. මහා පාන්දර අවදිවෙන මෙහිමියන් ස්නානය කර දිනපතාම හිස සහ රැවුල බෑම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ සඳහා කදිම දැලි පිහි කීපයක් ඔහු සතු විය. පිරිසිඳුවත්, ප්‍රියමනාපවත් ආවාස ගෙය ඉදිරිපිට තබා තිබූ ලෑලි බංකුවේ වාඩිවී සිටීම පුරුද්දක් විය. ගාලුපාර අවට සහ වාලුකාරාම පාරේ මිනිසුන්ද, පාසල් සිසුන්ද තර්ස්ටන් පාර පැත්තට ගොස් හයිලෙවල් පාරට සම්බන්ධවීමට පයින් ඇවිදයන්නේ පන්සල් භූමිය හරහාය. බොහෝ මිනිසුන්ට උදෑසන මේ ප්‍රියමනාප මෙන්ම ගාම්භීර මිනිසා සමග වචනයක් හා දෙඩීම සතුටට කාරණයක් විය. වාළුකාරාමය අවට ජීවත්වූ බොහෝමයක් දුප්පත් හෝ පොහොසත් පවුල්වල දරුවන් රාජකීය විදුහලේ සිසුවන් විය. ඒ නිසා සියල්ලන්ම මගේ මිතුරන් විය. පන්සලක නැවතී සිට ඉගෙනුම ලැබූ එකම රාජකීයයා මම විය යුතුය. ගෙවල් පේළියෙන් පැමිණ පාසල් යන ළමයින් උදේට නායක හාමුදුරුවන් ළඟට විත් වැඳ ආචාර කරන්නේ අන් කිසිවක් නිසා නොව, ඒ වෙනුවෙන්ම ළඟ තබා ගෙන තිබූ ශත පනහක්, විසිපහක් ලබා ගැනීමට බව එතුමා දැන සිටියේය. පන්සල් පිං කැටවල ඒ වෙනුවෙන් ඇති පදම් මාරු කාසිවිය.
මිදුල අතුගා ,මල් පහන් පූජා කර, බුඳුන් නමදින ආනන්ද හාමුදුරුවන් ඉන්පසු උදෑසන ආහාරයද ගෙන නොයෙකුත් රාජකාරීවල යෙදේ. මුළු පන්සල් භූමියත්, පාරේ මදක් දුරකට යන තෙක්ම හමන හඳුන්කූරු සුවඳත් මට අදටත් ගෙන එන්නේ මිහිරි මතක සටහන්ය. මමද අර කොලු රැළ සමගම පාසැල් ගියෙමි. මා කිවු පරිදි ගෙවල් පේළියේ සිටි බොහොමයක් කොලුවන් රාජකීයයන් වූ අතර කෙල්ලන් කොල්ලුපිටිය, බම්බලපිටිය කාන්තා පාසල්වල සිසුවියන් විය. උදය වරුවේම පන්සල තුළ ඇත්තේ විශාල ගාලගෝට්ටියකි. කැම්පස් යාමට සැරසෙන හාමුදුරුවරුන්ද, අනිකුත් අයද එක පිම්මට වැසිකිළි කැසිකිළි කටයුතු වලටත්, උදේ ආහාරය ගැනීමටත් පෝලිම් ගැසීය. හීල් දානය රැගෙන විත් සිටිනා අයවේ නම් ඒ චාරිත්‍රත් පැවැත් විය යුතුය. පැවිදි ජීවිතය තුළ මේ සියල්ලක්ම ඉවසා වදාරා සිටිය යුතුවේ. ලෙහෙසි පහසු කටයුත්තක නොවන්නේ අධ්‍යාපනයේ යෙදෙන හිමිවරුන්ටය. ඒව පසුව සාකච්ඡා කල යුතුවේ. වැසිකිළි හය හතක් සහ නෑම සඳහා හිරගෙදර වැනි වතුර ටැංකියක්ද විය. දාන ශාලාවද එකවර 15-20 අසුන් ගැනීමට හැකි ලෙස සකසා තිබුණි. මේ සියලු වැඩ කටයුතු මැද නායක හිමියන්ද සිංහයෙක් සේ විමසිල්ලෙන් බලා සිටී. කුස්සියට ගොස් විශාල තේ ජොග්ගුව හැදීමටත්, ඒ අතරතුර තවත් වැඩක් ඇත්නම් එයට උදව් වීමටත් කඩියෙක් සේ යුහුසුළු විය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අපේ භාෂාවෙන් පුදුම පොරක් විය.
ඩුප්ලිකේෂන් පාරේ සිට වාළුකාරාමය පාරට හැරුණු තැනම තිබුණේ විශාල නාන බාල්දි 15-20 සහිත, අවට මිනිසුන්ට පැමිණ මුදල් ගෙවා ස්නානය කරගැනීමටත්, රෙදි සෝදා ගැනීමටත් තිබු ස්ථානයක්ය. මේ නාන බාල්දිය යැයි හැඳින්වූ තැන් ගැන බොහෝමයක් දෙනා නොදන්නවා යැයි මම සිතමි. නාන බාල්දි කොළඹ නගරයට පමණක් සීමාවූ සංකල්පයක්දැයි මට සිතේ. මෙවැනි ස්ථානයන් අන් කවර නගරයකවත් මම දැක නැත. කොම්පඤ්ඤවීදියේ මෙවැනි තැනක් තිබූ බව දැක ඇතත් මරදානේද එවන් තැනක් තිබූ බවත් අසා තිබුණි. මේ ස්ථානයන් පෞද්ගලික හිමිකරුවන් විසින් මුදල් අය කර ගැනීමෙන් පවත්වා ගිය තැන්ය. එක දිගට එකිනෙකට යාබදව සිමෙන්තියෙන් බැඳ තිබූ විශාල ටැංකි පේළි කිහිපයක් වේ. මේ ටැංකිවලට නිතරම විශාල වතුර පොම්ප මගින් ජලය පුරවනු ලබයි.මගේ මතකය නිවැරදි නම් එක් වතුර ටැන්කියක් ශත පනහක් හෝ ශත හැත්තා පහක් පමණ විය. එක් ටැංකියකින් ඇති පදමට නාගැනීමටත්, රෙදි සෝදා ගැනීමටත් ප්‍රමාණවත් විය. සමහරුන් තම කුඩා දරුවන් නාවා පිරිසිඳු කර ගත්තේත් එකම නාන බාල්දියකින්ය. වතුර හිසට වත්කර ගැනීම සඳහ කුඩා බාල්දි හෝ කම්බියක් ගැට ගැසූ විශාල ටින් තබා තිබුණා මතකය. ගැහැනුන් සඳහා කොටසක් වෙන්විය. මෙවැනි ස්ථාන මරදාන, කොම්පඤ්ඤවීදිය අවට තිබුණේ ඇයිදැයි සිතා ගත හැකි මුත් කොල්ලුපිටියේ මෙවැනි ස්ථානයක පවත්වා ගෙන ගියේ, වාලුකාරාම පාර පදිංචිව සිටි ගෙවල් පේළියේ මිනිසුන් ඉලක්ක කර ගෙන දැයි කීමට නොදනිමි. නමුත් ඔවුන් වෙනුවෙන් වැසිකිළි පද්ධතියක් සහ නාන කාමර පේළියක් එම පාරේම අයිනේ විය. ඒ කෙසේ වෙතත් මේ නාන බාල්දිය උදය වරුවේත්, හැන්දෑවේත් මිනිසුන්ගෙන් පිරී ඉතිරී තිබුණි. මේවා දියසෙවෙල, පාසි බැඳීමෙන් තොරව ඉතා පිරිසිඳුව පවත්වාගෙන යාමට සේවකයෙක් හෝ දෙදෙනෙක් විය.
මේ ප්‍රදේශය එවකට බොහෝ ප්‍රසිද්ධ දේශපාලකයින් පදිංච්වී සිටි යුගයකි. ඔවුන් බොහෝ දෙනෙකු අද ජීවතුන් අතර නැත. මේ බොහෝ දෙනා පන්සලේ ක්‍රියාකාරී දායකයින් නොවූවත්, මාසිකව හෝ යම්කිසි කාල සීමාවක් තුල නොවරදවා දානයක් පිරීනැමීය. බොහෝදෙනා පිසින ලද ආහාර වෙනුවට මුදල් පරිත්‍යාගයක් කිරීමට පුරුදුවී සිටියහ. නියමිත දිනයට දිනකට හෝ දෙකකට පෙර දානය මතක් කරදීමට යෑම පන්සලේ රාජකාරිය විය. මේ කටයුත්ත ප්‍රේමදාස හෝ බන්දුට පැවරී තිබුනි. මමත් ඔවුන් සමග පසුපසින් යෑමට කැමැත්තක් දැක්වූයේ සිගරට් බාග ගැසීමටත්, රවුමක් ගසා අවට තොරතුරු බලා ගැනීමටත්ය.
එවකට දේශපාලන ප්‍රබලයෙක්වූ රොනී ද මැල් මහතාගේ බගතලේ පාරේ නිවසින් සෑම මාසයකට වරක්ම ප්‍රණීත පිසූ අහාර, රසකැවිලි, පිටිකිරි සිට හකුරු මුල දක්වා සියල්ල සම්පාදනය කෙරුණි. දන්තාලේප, සබන් වැනි දේද මසුරු නැතිව සපයන ලදි. 15-20ට සෑහෙන මේ දාන වේල රැගෙන ඒමට දෙතුන් දෙනෙක්වත් එම නිවසට යායුතුය. ඔවුන් කිසි විටෙකත් පන්සලට පැමිණියේ නැත. විශේෂ අවස්ථාවකටවත් ආවාදැයි මතක නැත. පාසැල් නිවාඩු දිනයක නම් මමත් ඔය වැඩයට හවුල්වුණෙමි. කඩදාසි කවරවල සහ වෙනත් ආකාරයෙන් ඔතා තිබූ භාණ්ඩ පමණක් ඔසවාගෙන ඒමට මම සැමවිටම උත්සාහ කරේ, පාසල් මිතුරන් රාශියක් සිටින්නේත් ඔය අවට පාරවල් වල නිසා, ඔවුන්ගේ කතාබහට ලක්වේවි යන ලැජ්ජාව නිසාමය. අනික් එවුන් නම් පන්සලේම රාජකාරිවල යෙදුණු නිසා ප්‍රශ්නයක් නොවීය. වියළි භාණ්ඩ වලින් එකක් හෝ දෙකක් පන්සලට ගෙන ඒමට පෙර යටිමඩි ගසා ගත යුතුබව ප්‍රේමදාසත් බන්දුත් මට පැවසීය. මේවා පසුව මුදල් කර ගත හැකි බවත්, ඒවා සිගරට් බීමට වියදම් කරන බවත් දැන ගත්තෙමි. අන්තිම අමාරු අඩියක සිටීනම් දේවාලයේ පඬුරු ගැලවීමටත් මැලි නොවිය. බත්ගෙන ඒම සඳහා බාල්දියක් වැනි කදිම භාජනයක් තිබූ අතර වෑංජන සඳහා එකිනෙකට සම්බන්ධ කල හැකි ටිෆින් කැරියර්ස් වැනි විශාල මෙවලම් කිහිපයක්ද විය. මේ මොනවා ලැබුණත් පනසලේ අර්ක්කැමියාවූ කරෝලිස් අයියාට දිනපතාම තවත් බත් හැළියක් සහ හොදි මාළු පිනි උයා පිහා තබන්නට සිදුවූයේ පන්සලෙන් කන්නට සිටි අය බොහෝවූ නිසාය. ඉතිරිය රෑ කෑමටය.
රොනී ද මැල් බිරිඳ මල්ලිකා ද මැල් මහත්මිය ඉතා උවමනාවෙන් කුස්සියේ සේවිකාවන් සමග මේවා පිළියෙල කර බාරදෙන අයුරු කිහිප විටක්ම මම දැක ඇත්තෙමි. එම පවුලේ යම්කිසි ආබාධයකට ගොඳුරුවූ දරුවෙක් සිටි බවත් මතකය. රොනී ද මැල් මහතාත් සරමකින් සැරසී ,කණ්ණාඩි කුට්ටමේ පැත්තක් මුවග රඳවා කල්පනා කරමින් වත්තේ සක්මන් කරන සැටි අනන්තවත් දැක ඇති අතර, ඔහු වැඩිපුර කතාබහ කල පුද්ගලයෙක් නම් නොවීය.
වාලුකාරාමයේ පදිංචිව සිටි ගිහි පැවිදි උදවියත්, එහෙදී මට හමුවූ පන්සල හා සබඳකම් පැවැත්වූ දේශපාලකයින්, ව්‍යාපාරිකයින් ගැනත් පසුව ලියන්නට බලාපොරොත්තුවෙමි.

No comments:

Post a Comment