Friday, June 13, 2014

අවුල්වන්නට පෙර (40)….SEE YOU AGAIN බම්බලපිටිය

බම්බලපිටිය හංදිය ආශ්‍රිත ප්‍රදේශය කොළඹ අවට පාසැල් සිසුන්ගේ ප්‍රියතම ස්ථානයක් වන්නට ඇත්තේ ඒ අවට තිබූ බොහෝ බාලිකා පාසැල් නිසා විය යුතුය. ලින්ඩ්සේ බාලිකා, විශාඛා, සේන්ට් පෝල්ස් මිලාගිරිය, මුස්ලිම් බාලිකා, හෝලි ෆැමිලි ඉන් කිහිපයකි. මගේනම් වැඩි කැමැත්තක් තිබුණේ මිලාගිරිය මානවිකාවන්ටය. ඒ ඔවුන්ගේ යුනිෆෝම් එක නිසාද යැයි සැකය. ඔය අවට පිරිමි පාසැල් තිබුණේ අතලොස්සකි. රාජකීය, තර්ස්ටන්, සේන්ට් පීටර්ස් ඉන් සමහරක්ය. සෙන්ට් පීටර්ස් සිසුන් බම්බලපිටියට උරුම කරුවන් මෙන් විය. මේ විදුහලේ සිසුන් බොහෝමයක් බම්බලපිටිය, වැල්ලවත්ත ආශ්‍රිත පදිංචිකරුවන්ය. බම්බලපිටිය තට්ටුනිවාස වාසීන්ගේ දරුවන් බොහෝමයක් සේන්ට් පීටර්ස් කොළුවන්ය. “බම්බා ෆ්ලැට්ස්”වාසීන් බම්බලපිටියේ වැඩකාරයින් යැයි අපි දන්නා නිසා ඔය පැත්තේ වැඩිය දඟලන්නට ගියේද නැත.
මේ පිරිමි පාසැල්වල සිටි රස්තියාදුකාරයන් බොහෝවිට බම්බලපිටියට එක්වේ. ලයන්හවුස් නම් ආපනශාලාව දීර්ඝ ඉතිහාසයක් ඇති ස්ථානයක් යැයි මම සිතමි. මෙහි ඉදිරිපස තිබු වීදුරු ආවරණය තීන්ත ආලේප කර තිබු නිසා සිගරට් බොන කොල්ලන්ට යම් ආරක්ෂිත කලාපයක් බඳුය. ලයන්හවුස් තේ එක තරම් රසවත් තේ එකක් අවට අනිකුත් හෝටල්වල නොතිබුණු බව සාමාන්‍ය මතය විය. එය අයිතිව තිබුණේ සිංහල ව්‍යාපාරිකයෙකුටය. කිරිබත්, ලුණුමිරිස්, ඉඳිආප්ප, කිරිමාලු, අලහොදි, බනිස්,මාළුපාන්, පාන් වීදුරු සෝකේස්වල පෙනෙන්නට තිබුණි. සේවය සැපයීමට සිටියේ ඈත පළාත්වලින් පැමිණි, සුදු සරම්, කමිස හැඳි මැදිවියේ මිනිසුන්ය.
ලයන්හවුස් එකට යාබදව තිබු මේෆෙයාර් ආපනශාලාව මුස්ලිම් හෝටලයක් විය. බුරියානි, තක්කාලි, ලූණුපෙති,සලාද කොළ මත වැඩවිසූ රෝස්ට් කුකුළන්,බැදපු තෝර මාළු පෙති,වටලප්පන් දිහා හොරෙන් බලමින් ප්ලේන්ටියක් ගහනවා හැර තරුණ පාසැල් සිසුන්ට වෙන කළහැකි දෙයක් නොවීය. ඕනෑම වුණොත් බඩ පුරවාගන්නට සරස්වති ලොජ් නම්වූ සයිවර් කඩය සැම විටම විවෘතය. මා ඇතුළු කංඩායමේ යමක් කමක් ඇති කොලුවන් කිහිප දෙනෙක් ගැවසුනි. තෝසේ දෙකක් දැමු කෙහෙල් කොළය උතුරා යන තරමට සාම්බාරුව ඉල්ලා ගන්නටත්, ඒ සාම්බාරුව බාල්දියේ අඩියෙන්ම ගෙන බෙදන ලෙස කාරුණිකව ඉලා සිටීමටත් ලැජ්ජා නොවීය. හැන්ද පතුලටම යවා බෙදනා විට වට්ටක්කා කෑලී, වම්බටු කෑලි, මුරුංගා පොතුවලින් අඩුවක් නොවේ. උලුඳු වඩයක්, අල බෝණ්ඩාවක් ගන්න පුළුවන් වුණොත් බෝනස්ය. අත දමා හොරෙන් ගන්නට හැකි තැනක තිබුණොත් තෝසේ දෙකට යට කරගන්නා වඩය කාටවත් නොපෙනේ. එසේ යට කරගන්නා වඩය හෝ අලබෝලය අතින් තදකර මට්ටම් කෙරූවිට හොයනවා බොරුය. මේ මොන සෙල්ලම් දැම්මත් මුදල් නැති දිනයක කාබී කාටත් හොරෙන් මාරුවන අවස්ථාද නොතිබුණාම නොවේ. මෙවැනි අවස්ථාවලදි, පළමුවෙන්ම පිටවී යාමේ අවස්ථාව මට හිමිවුණේ, කිහිපවරක් අවසානයා ලෙස පිටවෙන්නට ගොස් අනාගත් බැවින්ය. ඒ අනාගත් කිසිම අවස්ථාවක වීදුරු සේදීමටවත්, කෙහෙල් කොළ බාල්දි අස්කිරීමටවත් සිදුනොවුයේ ,මොකක් හෝ කියා අනුකම්පාව ලබාගත් නිසා මිස වීරකමකට නොවේ.
බම්බලපිටියේ බුලර්ස් පාරට එක්වරම මුහුණලා පිහිටියේ ප්‍රසිද්ධ සිටි ඩිස්පෙන්සරි ගොඩනැගිල්ලයි. විශාල වීදුරු බොතල්වල නොයෙකුත් වර්ණයේ දියරයන් පුරවා පෙනෙන්නට තබා තිබුණි.අද මැජස්ටික් සිටි නොහොත් MC යැයි කියනා විශාල භූමියේ එදා තිබුණේ පහසුකම් සහිත ප්‍රධානතම සිනමා ශාලාවක්වූ මැජස්ටික් සිනමා ශාලාවය. එවැනිම පහසුකම් ඇති අනිකුත් ඒවා වූයේ සැවොයි-වැල්ලවත්ත, රීගල්-ලේක් හවුස් සහ ලිබර්ටි-කොල්ලුපිටිය පමණි. මේ ගොඩනැගිලි අතරින් වයින් ස්ටෝර්ස් එකක් තිබුණා මතකය. ඒ කාලයේ පාර අතුගාන ද්‍රවිඩ ජාතික වැඩිහිටි කාන්තාවන්, ඔතනින් කාලේ, බාගේ බෝතල් ගෙන කටේ තියාගෙන ඇදලා අරින හැටිත් අමතක නොවේ.
මැජස්ටික් සිනමාහල පිහිටා තිබුණේ විශාල බිම්කඩකය. කෙටි තාප්පය දෙපසින්ම මෙයට ඇතුළුවිය හැක. සිනමාහල තුළට පිවිසීමට සිටිනාවුන් පාරට පෙනෙනා නිසා නවක පෙම්වතුන්ද, හොර කපල්ස්ද, පාසල් සිසුන්ද පරිස්සම් විය යුතුය. ඒ කාලයේ උදේ 10.30 දර්ශන වාරය පවත්වාගෙන යන්නට ඇත්තේ මේ කංඩායම් ඉලක්ක කරගෙන යැයි මට සිතේ. මැජස්ටික් සිනමාහල පිටුපස එම ඉඩමේම පරණ වලව්වක් වැනි විශාල නිවසක් විය. මේ නිවසේ පදිංචිය සහ අයිතිය තිබුණේ අපේ පාසැල් මිතුරෙකුවූ මිගාරගේ පවුලටය. පාසැල් වේලාවෙන් පසුව නම් අප එහිගොස් තේ බීමටත් පුරුදුව සිටියහ. ඔවුන් සංග්‍රහශීලි මිනිසුන් විය. රූමත් සහෝදරියන් දෙතුන් දෙනෙක්ද මිගාරගේ පවුලේ වූහ. අප ඒ පිළිබඳ කිසිවිටෙකත් ව්මසිලිමත් නොවීය.
බම්බලපිටිය හන්දියේම තිබු අමතක නොවන තැනක් නම් බම්බලපිටිය මාකට් බිල්ඩිමය. නගර මධ්‍යයේ පිහිටි මෙම ස්ථානය කොළඹ මහ නගර සභාව විසින් ක්‍රමවත්ව නඩත්තු නොකළ නිසා මස්, මාළු කුණු ගඳෙන්ද අඩුවක් නොවීය. එළවළු, පලතුරු, බිත්තර, මස්, මාළු කඩ රාශියක් ඒ තුළ තිබිණි. මේ ගොඩනැගිල්ල පිටුපස තිබු පැරණි විශාල නිවසේ සිටියේ පසුව මා හඳුනාගත් මිතුරියකගේ ඥාතීන්ය. මාකට් එකට මෙහායින් තිබුණේ, එකල පාරේ නිතර දැකිය හැකි දසුනක්වූ භූමිතෙල් කරත්ත සහ ගවයින් ගාල් කරතැබූ කරත්ත ගාලය. ඒ යුගයේ කොළඹ අවට පවා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්වූ භූමිතෙල් ඕනෑම සිල්ලර කඩයකින් තෙල් කරාඬියෙන් මැන බෝතලය, භාගය සහ කාල වශයෙන් මිලදී ගැනීමට ඉඩකඩ තිබුණි. ගොන් බැඳි කරත්තයට සවිකෙරූ රතු පැහැති ටැන්කියෙන් සිල්ලර කඩවලට භූමිතෙල් බෙදුවේ තොග මිලටය. සීනුවක් ගසමින් මොවුන් වීදි සැරිසරති. යහමින් මුදල් ඇති අයනම් ගැළුමක් දෙකක් එකවර මොහුගෙන් පුරවාගනී. මේ සේවකයන් බොහෝදෙනා ද්‍රවිඩ ජාතිකයින් විය. බම්බලපිටියේ මේ භූමිතෙල් ව්‍යාපාරය අයිතිව තිබුණේ මගේ පන්තියේ මිතුරු සුරාජ් ඇන්තනීස් පවුලටය. ඒ නිසාම සුරාජ්ට අප කිව්වේ භූමිතෙල් කියාය. තවත් මෙවැනි ව්‍යාපාරිකයින් කොළඹ විසූහ. පොල්තෙල් බෙදුවේ කහ පැහැති ටැංකි බැඳගත් ගොන් කරත්තයකින් බවත් මතකය. මාකට් බිල්බිම අසලම එක් කොනක දැල් ගැසු කුඩා කඩයක් තිබුණි. සිගරට්,බීඩි,බුලත්විට, සබන්, නිල් පැකට් වැනි එදිනෙදා අවශ්‍යතාවයන් මේ අහිංසක ද්‍රවිඩයා වෙළඳාම් කෙරුවේය. ජාතිආලයෙන් මඤ්ඤංවූ කාළකණ්ණීන් විසින් 1983දී මේ කඩය විනාශ කරලීමට තරම් සැහැසි විය. බම්බලපිටියෙන් රටට දායකවූ තවත් ව්‍යාපාරයක් නම් ඇල්බට් එදිරිසිංහ ඇස් කණ්ණාඩි ව්‍යාපාරයයි. ඇල්බට් එදිරිසිංහ මහතා බොහෝ කාලයකට පසුව දේවමිත්ත නමින් පැවිදිවියට පත්ව නිහඬ ජීවිතයක් ගෙනගිය අතර මෑතකදි අපවත්විය. ඒ අසලම වූයේ පොලිසිය සහ තැපැල් කන්තෝරුවයි. පොලිස් නිල නිවාස පිහිටියේ ඊට පිටිපසිනි.
බම්බලපිටියට සෙනඟ එක්වෙන තවත් තැනක් නම් කදිරේෂන් කෝවිල හෙවත් වැල්ලවත්ත කෝවිලයි. බම්බලපිටියේ පිහිටා තිබුණත් මෙය වැල්ලවත්ත කෝවිල ලෙස හඳුන්වයි. මේ අසල අශෝක ලොජ් සහ තවත් තෝසේ කඩයක් විය. බම්බලපිටිය හන්දිය පැත්තට වෙන්න තිබුණේ කදිරවේල් කෝවිල බව මතකයේ තිබේ. මේ කෝවිල් දෙක අසල පිච්චමල් මාලා, කපුරු, පොල්තෙල් වෙළඳාම ජයටම කෙරුණි. කුඩා බංකුවක් මත වාඩිවී කෙසෙල් කොළයක් මත තබාගත් සුවඳ හමන පිච්චමල් වලින් මල්මාලා ගොතන ඒ ද්‍රවිඩ ජාතිකයන්ගේ දසුන කිසිදින අමතක කල නොහැකිය. ඒ අසල අපි ඔහේ ගැවසෙන්නෙමු. මේ මල් වර්ග මාතලේ වැනි පළාත්වලින් මෙතැනට සැපයූ බවත් මම අසා ඇත්තෙමි. කොළඹ ජින්තුපිටියේ කෝවිලේ සිට බම්බලපිටිය කෝවිලට පැමිණෙන වාර්ෂික වේල් පෙරහැරද අමතක කල නොහැකිය. ඒ කාලයට කොළ පිටින් උක්ගස්, කඳු ගසා විකුණන මිනිසුන්ද මිහිරි අතීත මතකයන් අවුස්සා දමයි. මේ ප්‍රදේශයේ ප්‍රසිද්ධම සහ කලබලකාරීම ස්ථානය වූයේ බම්බලපිටිය ෆ්ලැට්ස් ආසන්නයේය. ඒ අසලම ලේඛා ස්ටුඩියෝ නමින් ප්‍රසිද්ධ ඡායාරූප ශාලාවක්ද පිහිටා තිබුනි.සියලුම කාන්තා පාසල්වල සිසුවියන් සහ අවට කොල්ලන්ගෙන්ද දහවල් 1.30-2.00 වනවිට අවට පිරී ඉතිරීයයි. හැම තැනම රස්තියාදුවී, ෆ්ලැට් එක ඉදිරිපිට බස් නැවතුමේත් කාලය කාදැමීම එදිනෙදා අංගයක් විය.
ඒ අසලම ගාලු පාරට මුහුණලා පරණ බෝතල් පත්තර එකතුකරනා කඩයක්දවිය. එය අමතක නොවන්නේ ඔතනින් ගුටිනොකා බේරුණ එක් සිද්ධියක් සිතේ ඇති බැවිනි. පරණ බෝතල් දැල් ගෝනිවල අසුරා ගොඩගසා තිබෙන්නේ ලොරිවල පටවා කොළඹ යැවීමට කියා අපි දන්නෙමු. දිනක් ඔය කඩය අසල පිස්සුවක් නටන්නට ගොස් ඔය ගෝනි කන්දක් බිමට කඩා වැටුණේ මහා ශබ්දයක්ද නගමිනි. වැඩේ වැරදුණු බව දැනගත් අපි හිස හැරුණු අතේ දිව යන්නට වුණෙමු. වාසනාවකට අප කිසිවෙක් අසුවුණේ නැත. මම දිවගොස් නැවතුණේ මුහුදු වෙරළේ බව තවමත් මතකයේ තිබේ. කෝච්චියට යටනොවී බේරුනේ පූරුවේ පිනකට යැයි සිතමි.
බම්බලපිටිය ගැන කියනා විට සිරිසඳ හෝටලය ගැනත් නොලියා බැරිය. නමුත් ඒ අත්දැකීම් මා විඳින්නේ තරුණයෙක් ලෙස නැවත බම්බලපිටියට පදිංචියටම පැමිණි පසුවය. ඒ කාලය නම් මගේ ජීවිතයේ අමිහිරිම අත්දැකීම් ලැබු කාල පරිච්ඡේදයක් වේ. ඒ ගැන පසුව ලියමි. SEE YOU AGAIN බම්බලපිටිය කියා මාතෘකාවක් යෙදුවේ ඒ නිසා බව ඔබට වැටහෙනු ඇතැයි සිතමි. නොලියවුණු තැන් සහ අමතකවූ සිද්ධීන්ද බොහෝය. මතකදේ පවා නොලියා සිටින්නේ මාගලක් වෙනු දැකීමට අකැමති නිසා යැයි සඳහන් කරමි. ඩික්මන් පාර, කින්රෝස් ක්ලබ් එක, වජිර පාර, ඒ අවට පිහිටා තිබු ඩෝබි මඩුව, ඒ යුගයේ ලොන්ඩරි, වජිරාරාමය වැනි අවට පරිසරය ගැන ලියන්නට ගියොත් ගොඩ ඒමක් නැත. චීන හෝටල් ගැනද ලියන්නට අමතක විය. ටොලරම්ස්, ලක්ෂ්මිස්, බුලියන් එක්ස්චේන්ජ්, බෙයාර්ෆූට්, නවාවි, උණු උණු ගෝදම්බ රොටි කරත්තය, සයිකල් කඩය ගැන ලිව්වේම නැත.
කෙසේ හෝ වේවා, බුලර්ස් පාර අසලින් පටන්ගෙන වැල්ලවත්ත හැමිල්ටන් ඇල අසලින් අවසන්වෙන බම්බලපිටිය කොළඹ 4 ගැන මෙසේ ලියා තැබුවෙමි. මේ ඇල අයිනෙන් තිබූ වැලි පාරේ දිගටම ගියවිට වැල්ලවත්ත රෙදිමෝල අයිනෙන් හයිලෙවල් පාරට පිවිසිය හැක. මගේ ජීවිතය යනු පුස්තකයක් නම් එහි පිටු බොහෝමයක්ම මේ බම්බලපිටිය නම්වූ සුන්දර පුරවරයට අයිතිවේ.
ප.ලි.
යොදාගත් වැඩ කටයුතු නිසා ඔබගේ බ්ලොග් කියවීමත්, පිලිතුරු ලබාදීමත් දින දෙක තුනකට මදක් අතපසු විය හැක.

No comments:

Post a Comment