Saturday, June 14, 2014

අවුල් වන්නට පෙර..(41)…ඉගෙනීම හෝ පිටවීම

අධ්‍යාපනය ලැබීම සඳහා පාසැල් යාම තව දුරටත් ප්‍රයෝජනයක් නැති යැයි, මා නැවතී සිටි ගෙදර පොරෝලිස් මාමාද පැවසීය. මා පාසැල් යන්නේ ඉගෙනුමට නොවන බව ඔහුට වැටහෙන්නට ඇත. රැකියාවක් සොයාගත යුතු යැයි මම සිතන්නට පටන් ගතිමි. පුවත්පත්හී පළවූ ඇබෑර්තු සඳහා ඉල්ලුම් කිරීමටත් සිතාගත්තෙමි. අප පාසැලේ ආදී සිසුවන් බොහෝ දෙනෙක් සමාගම් හිමිකරුවන් හෝ ඒවායේ වගකිවයුතු නිලයන් දරන්නන් බැවින්, කොළඹ අවට ආයතනවල රැකියා ඇබෑර්තු ඇතිවූවිට, උසස් පෙළ අවසන් කරන්නට ආසන්නයේ සිටිනා අප පාසැල් සිසුන් බඳවාගන්නා ක්‍රියාපටිපාටියක් පාසැල හා එක්ව පවත්වාගෙන ගිය බව මතකය. අපේ උද්භිද විද්‍යා ගුරුවරුයවූ මාලති ප්‍රනාන්දු මහත්මිය මෙවන් රැකියාවක් සඳහා මට සම්මුඛ පරීක්ෂණයක් සුදානම් කිරීමට උනන්දුවිය. ඒ හයිඩ්පාක් අසල පිහිටි එකල සමර්විල් ගෲප්ස් නම්වූ ආයතනයයි.
මේ සඳහා අවශ්‍ය විදුහල්පති සහතිකය ලබාගැනීමට නම් විෂයභාර ගුරුවරුන් අත්සන් තැබිය යුතු විය. සත්ව විද්‍යාව ඉගැන්වූ ඒ රූමත් ගුරුතුමිය මෙහි අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළේ මා බරපතල වරදක් කර ඇතැයි පවසමිනි. ඒ කාලයේ ගැහැනුන් බුරිය පෙනෙන්නට සාරිය ඇඳීම විලාසිතාවක් කරගෙන තිබුණි. කවුදෝ සිසුවෙක් විසින් ඇයගේ නිවසේ ලිපිනයට ලිපියක් යවා ඇත. ඒ සාරිය අස්සෙන් පෙනෙන බුරිය සහ අවට ප්‍රදේශය වර්ණනාවකට ලක්කරමින් බවත්, එහි යටින් මගේ නම ලියා ඇති බවත්ය. දැන් වැරදිකරු මමය. එවැනි වැඩක් කෙරූ කෙනෙක් තමන්ගේ නම ඊට යටින් ලියා යවනවාදැයි සිතීමට පවා ඇයට අවශ්‍ය නොවී ඇති හැඩය. මේ බව මාලති ප්‍රනාන්දු ගුරුතුමියද ඇයට පහදාදීමට ඉදිරිපත් විය. ඇය එම ගුරුවරියට කියා සිටියේ, එවැනි ලිපියක් ඇයට ලැබුණා නම් කියවාබලා විසිකරනවා හැර, අනවශ්‍ය ලෙස කලබල නොවනා බවයි. කෙසේ හෝ දින දෙක තුනකට පසු ඇගේ අත්සන ලබාදීමෙන් පසු මට විදුහල්පති සහතිකය ලැබිණි. නමුත් සම්මුඛ පරීක්ෂණයෙන් මා අසමත් විය. තව දුරටත් පාසැල් යාමට තීරණය විණි.
එම පාසැල් කාලයත් පෙර පුරුදු රස්තියාදුවම විනා කිසිම යහපතක් නොවීය. අප කංඩායම බම්බලපිටිය පැත්තට නොයා ඉන්නා දවසට, කොල්ලුපිටිය වාළුකාරාමය පිටුපස තිබු නානාගේ කඩයට රිංගා ප්ලේන්ටියක් බී, නානා විකුණන ගංජා මිටියක්ද ගෙන, ඔහුටම කියා ඔතා ගන්නටත් පුරුදුවී සිටියහ. මෙය දිනපතා සිදුවූ කරියක් නම් නොවීය. එතැනින් ගමන් ආරම්භ කර කොල්ලුපිටිය පැත්තෙන් ඇස්වාට්ටුව දෙසට ඇවිද යන්නෙමු. එවකට මහජන පුස්තකාලය පිහිටා තිබුණේ ශ්‍රාවස්ථිය අසල, අද කොළඹ නගාරාධිපති නිල නිවාසයේයි. පුස්තකාලයට රිංගා පැයක් දෙකක් පත්තර කියවීමද සිදුවුණි. කාලයකට පසුව මහජන පුස්තකාලය නව ගොඩනැගිල්ලට මාරුවිය.
වික්ටෝරියා පාක් එකේ කරක් ගැසීමත් කට්ටි පනිනා පාසැල් සිසුන්ගේ පුරුද්දක් විය. පෙම්වතුන් මෙන්ම හොරෙන් හමුවන ජෝඩුද ඒ කාලයේ විහාරමහා දේවි උද්‍යානයේ විශාල ගස් යට උකුළු මුකුළු කරමින්ද, තවත්දේ කරමින්ද ප්‍රේමයේ රස උරා බොමින් කල් ගත කරති. ගස්වලට මුවාවී ඒවා රසවිඳිමින් ස්වයං වින්දනයේ යෙදෙනා පිරිමින්ද මේ උද්‍යානයට අමුත්තක් නොවීය.
එතැනින් වෛද්‍ය සිසු නේවාසිකාගාරයක්වූ බ්ලොම් එක හරහා පුංචි බොරැල්ලටත්, එතනින් මරදාන දක්වාත් ඔහේ ඇවිදගෙන යෑම විඩාවක් නොවීය. මගේ පංතියේ මිතුරෙක්වූ ශ්‍රීනාත් ප්‍රේමරත්න පදිංචිව සිටියේ මරදාන ඩොනල්ඩ්ස් ස්ටුඩියෝව ඉදිරිපසට වෙන්නට ඇති නිවසකය. ඇට්ලස් හෝල් නම්වූ පොත් ප්‍රකාශන ආයතනයද ඒ අසලම විය. ඒ පැතිවල වඩාත් රස්තියාදුවුණේ ආනන්ද, නාලන්ද සිසුන්ය. ආනන්දයේ සිසුන්ද සමහර අවස්ථාවල අප හා එක්වේ. ආනන්දය අසලම ජීවත්වූ නිසා ශ්‍රීනාත්ගේ ආනන්ද මිතුරන්ද රාශියක් විය. මට ශ්‍රීනාත්ලාගේ ගෙදර හොඳට හුරු පුරුදුය. මම විටින් විට එහි ගොස් කාබී නැවතී ඇති තැනක්ය. ශ්‍රීනාත්ගේ මවගේ ඉල්ලීමකට අනුව පානදුරේ අරියධම්ම හිමිගේ සීල ව්‍යාපාරයකටද සහභාගි විය. ඒ මගේ පළවෙනි සිල් සම්මාදම බැව් මතකයේ තිබේ. ඉන් පසුව දෙවරක් මා දැන් සිටිනා රටේදි සිල් ගත්තා හැරෙන්න වෙන මතකයක් නම් නැත. පානදුරේ අරියධම්ම බෝධිපූජා වැඩසටහන් එකල දිවයින පුරාම ඉතා ජනප්‍රිය වැඩ සටහනක් විය. වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගයත්, අරියධම්ම හිමියන්ගේ “බ” වැඩසටහනත් අති මහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. ඒ කාලයේ අරියධම්ම හිමියන්ගේ බයන්න කියා කීවේ විහිළුවටය. මෙසේ කියා ශ්‍රීනාත්ගේ අම්මාගෙන් බැණුම් ඇසූ අවස්ථාවන්ද විය. ඒ කෙසේ වෙතත් පුංචි බොරැල්ල පසුකර මරදාන හරහා ,ඩීන්ස් පාරේ තිබු මගේ පන්තියේ මිතුරෙක්වූ අජිත් කුමාරලාගේ හෝටලයෙන් සමහර දිනයක නොමිලේම බත් වේලක්ද ගිල දමා ගල්කිස්ස බලා පිටත්වේ.
පාසැල් කාලය තුල අමතක නොවන ක්‍රීඩා තරඟ දෙකක් විය. ඒ රෝයල්-තෝමියන් බිග් මැච් එකත්, රොයල්- ට්‍රිනිටි බ්‍රැඩ්බි ශීල්ඩ් තරඟාවලියන් වේ. රාජකීය-ශාන්ත තෝමස් සියවැනි ක්‍රිකට් තරඟය නැරඹීමට ගියේ පාසැල් සිසුවෙකුව සිටි අවධියේය. හැම වසරේම ක්‍රීඩා තරඟයට පෙරදින පාසැලේ සිට ක්‍රිකට් කංඩායමේ නායකයාගේ නිවසට වාහන, බයිසිකල් සහ පයින් ගමන්ගන්නා සතුටු පෙරහැරක්ය. “බිග් මැච් පැරේඩ්” කියා කිව්වේ මෙය විය යුතුය. නායකයාගේ නිවසින් තේ පැන් සංග්‍රයක් ලැබේ. බිග්මැච් දිනයන්හී ලොරි භාගයක් හෝ පපරා බෑන්ඩ් එකක් සෙට් කරගැනීමට මුදල් නැත. අපේ ගමන පයින්ය. දින දෙකකට සීමාවූ බිග්මැච් එක, දින තුනක් වූයේ ඔය කාලයේ බැව් යාන්තමට මතකය.
“හැට් කලෙක්ෂන්” යැයි හැඳින්වූ, පාසැල අවට නිවෙස්වලට තට්ටුකර මුදලක් කඩාගත්තේ බෝතලයක් දෙකක් මිලදී ගන්නත් දවල් කෑමටත් බව කිවයුතු නොවේ. සල්ලි එකතුකරන්නේ පොත්පත් ගන්න නොවන බව දෙන අයත් දනී. වරක් නොදැනුවත් කමින්, එකල විදුහල්පති තුමාවූ එල්.ඩී.එච්.පීරිස් මහතාගේ ග්‍රීන්පාත් නිවසටත් ගොසින් යාන්තම් ගැලවී ආවේ විදුහල්පති තුමාත් බිග්මැච් තෘප්තිය ලබන්නට ගොස් බැවිනි. පාසැල් ගුරු මංඩලයේ සහ සේවක මංඩලයේ බහුතරයක්ද තරඟය නැරඹීමට පැමිණේ. මින් අමතක කල නොහැකි චරිතයක් නම් කඩළේය. අනිකා, රසායනාගාර භාරව සිටි සේවකයෙක්වූ ඩැනී අයියාය. කඩලේ ගැන මාතලන්ද ලිපියක් ලියා ඇතිමුත්, මා යමක් නොලිව්වොත් මගේ කතාවට කරනා අඩුපාඩුවක් වේ.
කඩලේගේ නියම නම කුමක්දැයි මම නොදන්නෙමි. ඔහු නැවතී සිටියේ පාසැල් නේවාසිකාගාරයේම කොටසකය. මොහු ද්‍රවිඩයෙකි. මොහු පාසැලේ ආදී සිසුවෙක් බවත් මම අසා ඇත්තෙමි. මොහුගේ ආදායම් මාර්ගය වූයේ කඩල, වඩේ වෙළඳාමයි. බොහෝවිට පාසැල තුළ පමණි. පාසැල් විවේක කාලයේදී වීදුරු පෙට්ටිය පුරවාගෙන ගොඩනැගිල්ලක් අයිනටවී කඩලේ වෙළඳාමේය. මේ වටා සිසුන් මීමැස්සන් මෙන් පිරී ඇත. කඩලේගෙන් යමක් සොරාගැනීමට ඉතාමත් පහසුවුවත් අප එසේ නොකිරීමට වග බලා ගත්තෙමු. ඔහුට උදව් කිරීමටත් පසුබට නොවූ සිසුන් විය. කඩලේ අද සල්ලි නැහැයි කීවිට ඔහු ඇඹරුණේද නැත. ඉහළ ප්‍රමිතියකින් සහ රසවත් කෑම වර්ගවලින් පිරුණු පාසැල් කැන්ටිමට මෙන්ම කඩලේටද ඉහළ ඉල්ලුමක් විය. කඩලේට නොතිබුණේ මුදල්ය. නමුත් මනුස්සකම ඕනෑවටත් වඩා හිමිව තිබුණි
සුදු සරමත්, කමිසයත් හැඳි මේ කාලවර්ණ හැඩිදැඩි උතුම් සුන්දර මිනිසා අවිවාහකයෙක්ද නැද්ද කියා කීමට මම නොදන්නෙමි. හැන්දෑවට පොඩි අඩියක් පුඩියක් ගසා පාසැල් ක්‍රීඩාංගනයට පැමිණෙන මොහු අවිනීත ලෙස හැසිරෙන්නෙක්ද නොවේ. තරඟ නැරඹීමට ගොස් කරටි කඩාගෙන ඉන්නා අවස්ථා නැත්තේ නොවේ. භාෂා තුනම චතුරව හැසිරිවිය හැකි කඩලේට ආදරය නොකෙරූ කෙනෙක් නොවීය. ඔහු මගේ ලෝකයේ වීරයෙක් විය. බිග්මැච් දිනයට රාජ්‍ය නායකයාගේ සිට කුඩාම සිසුවා සමග කඩලේ විනෝදෙන්ය. රටේ ප්‍රබලයින් සමග එකට වාඩිවී අඩියක්ද ගසයි. කඩලේට අප පාසැලත්, කඩලේ අප පාසලටත් සම්පතක්ම විය. මේ සොඳුරු මිනිසා මිය ගියාට පසුවත්, ඔහු වෙනුවෙන් ස්මාරකයක් තැනීමටද කතිකාවක් තිබූ මුත්, කුමක් වූවාදැයි නොදනිමි.
ඩැනී අයියාද සුදු සරම සහ කමිසය හැඳි”ටොප් ක්ලාස් පොරක්” විය. ඔහු පදිංචිව සිටියේ කොල්ලුපිටියේය. අපේ සියලුම රසායණාගාරයන් භාරව සිටි ජ්‍යේෂ්ඨයා ඔහුය. ගුරුවරුන් මෙන්ම සිසුන් සමගත් ඉතාමත් සුහදශීලී ජීවිතයක් ගතකළ ඩැනී අයියා හොඳ විනෝදකාමියෙක් විය. ඔහුගෙන් “දඩයක්” දාගත් අවස්ථාද තිබේ.
බ්‍රැඩ්භි පලිහ වෙනුවෙන් පැවැත්වෙන රාජකීය-ත්‍රිත්ව වාර්ෂික තරඟාවලියද අප අමතක නොකරනා තවත් ඉසව්වක්ය. තරඟ දෙකකින් පසු පලිහ පිරිනමනු ලැබේ. එක් තරඟයක් මහනුවරත්, අනික කොළඹත් පැවැත්වේ. අප වැඩි උනන්දුවක් දක්වන්නේ මහනුවර තරඟය නැරඹීමට යාමටයි. එදින උදෑසනින් “රෝයල් එක්ස්ප්‍රස්” යැයි කියා දුම් රියක් කොටුවෙන් නුවර බලා පිටත්වේ. දැන් නම් ඒවා තියෙනවාද කියා නොදන්නෙමි. රාජකීය කොඩිවලින් දුම් රිය පිරී ඉතිරී ඇත. පපරා බෑන්ඩ්ස්ද ඇතුළත්ය. මහනුවර නගරයේ දහවල සැරිසරා, හැන්දෑවේ තරඟය නරඹා ආපසු කොළඹ එන්නේ නැත. මත්පැනින්ද, දුමෙන්ද සංතර්පණය වී කඩවල්වලින් කා, පදික වේදිකාවේ ගොඩනැගිල්ලක් අයිනටවී නිදාගන්නෙමු.
ඒ කෙසේ වෙතත් මගේ පාසල් කාලය නිමාකිරීමට කාලය පැමිණ ඇත. Disce Aut Discede යනු රාජකීය විදුහලේ උදෘත පාඨයයි. ලතින් භාෂාවෙන් එය ඉංග්‍රීසියට පෙරළූ විට Learn Or Depart යැයි කියවේ. මම පිටවුණෙමි. මා අයදුම් කල රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට කැඳවා ඇත. ඒත් ගල්කිස්සේමය.
මගේ ආදරණීය පාසැල් මිතුරන් හා සම්බන්ධ චරිත හා රසකතා ලිව්වා මදිය. විවේක ඇති විටක ඒවා කොහේ හෝ ලියා තබන්නෙමි. මේ බ්ලොගය කියවා දුරකථනයෙන් මා අමතා දිරිමත් කරන සහ තවත් කරුණු ගැන සාකච්ඡා කරන මගේ පාසැල් මිතුරු ඒ.එම්. රණසිංහට හදබැති ගෞරවය ලියා තබන්නෙමි. අදහසකින් හෝ මා දිරිමත් කරවන ඔබටත්, කියවන සැමටත් මගේ ගෞරවය!!

No comments:

Post a Comment