Monday, March 10, 2014

අවුල් වන්නට පෙර (32)….. කොල්ලුපිටියේ ඇසළ පෙරහැර

අවුල් වන්නට පෙර (32)….. කොල්ලුපිටියේ ඇසළ පෙරහැර

වාලුකාරාමයේ ඇසළ පෙරහැර 1963 වසරේ සිට නොකඩවා පවත්වා ගෙන එන බව කියති. මෙය නිවන්තිඩියේ ආනන්ද නායක හිමියන්ගේ අප්‍රතිහත දහිරියේ ප්‍රතිඵලයක් බව අදටත් කියති. ඒ දින දෙක තුන තුළ පන්සල් භූමිය යුද පිටියක ස්වරූපය ගනී. මෙහි සේනාධිනායකයා ආනන්ද හිමියන්ය. අදටත් මට සිතාගත නොහැකි කරුණක් වන්නේ, මේ සියලු දේ සංවිධානය කර හසුරුවා ගත්තේ කෙසේද යන්නය. අපටවත් පන්සලේ නේවාසික භික්ෂූන්ටවත් වෙන් වෙන් වශයෙන් පැවරූ රාජකාරියක්ද නොවීය. අලි ඇතුන් කිහිප දෙනෙක්ද පන්සල් භූමියේ ගැට ගසා සිටී. පොල් අතුද, කොස් අතුද පටවගත් ට්‍රැක්ටර්ද පැමිණේ. නැටුම් කංඩායම්ද, බෙර වාදකයින්ද, කාවඩි කරුවන්ද, ගිනිබෝල ශිල්පීන්ද, බණ මඩුව සහ අවට අරක්ගෙනය. බුදු මැදුර ඇතුලේද නොයෙක් පිරිස් රැස්ව සිටී. ආනන්ද හිමියන් කාර්යශූර ලෙස සියල්ල මෙහෙයවයි. ඇත් රජකු මෙන් ගාම්භීරවත්, කඩියෙකුසේ යුහුසුළුවත් මේ සියල්ලක්ම කෙරුවේ කෙසේදැයි අදටත් මට පුදුමයකි.
දසනායක කපු මහතාද ඊට නොදෙවෙනිය. උපතිස්ස හාමුදුරුවෝත් පණ්ඩිත හාමුදුරුවෝත් විදුලි කාර්මික වැඩවලවලට දායකවේ. ඒ දින කිහිපය තුළ, පන්සලේ ඉන්නා ප්‍රේමදාසට නම් වැඩ රාශියකි. ඔහු පන්සලේ උදය වරුවේත්, හැන්දෑවරුවේත් දෛනික තේවා මුරය භාරව සිටියා පමණක් නොව අනිකුත් සියලුම වැඩ කොටස්වලට සම්බන්ධවූ, සුදු සරමත්, කමිසයත් ඇඳි තරුණයෙක්ය. මාවනැල්ල ප්‍රදේශයේ නැටුම් හා බෙරවාදන පරම්පරාවකින් පැවති ආ මොහුගේ, පියාද, සොහොයුරන්ද ඇතුළු විශාල කංඩායමක් අනිවාර්යෙන්ම පෙරහැරට සහභාගිවේ. ඒ ආභරණ, ආයිත්තම් පැළඳු පසු, මේ අපිත් සමග හොරෙන් සිගරට් බොන ප්‍රේමදාස දැයි හඳුනාගැනීමටත් නොහැකිය. අපි කවුරුත් ඔහු ගැන ආඩම්බර වූවෙමු. පසු කාලයකදි ඔහු බෙල්ලන්විල රජමහා විහාරයේ තේවා වැඩ කටයුතු භාර ගන්නා ලදි. ඉන්පසු කිහිප විටක්ම මට ප්‍රේමදාසව එහිදි මුණ ගැසුණි. මම,බන්දු,සමන්, ජයවීර අයියා, තිලකේ, වික්‍රම ආදීවූ ගිහි උන්දෑලාට පැවරූ නියමිත රාජකාරීයක් නොතිබූ මුත් අපිද සංවිධාන ලාංජන පැළඳගෙන එහේ මෙහේ ඇවිදින්නෙමු. දායක මංඩලයේ අයද නොයෙකුත් වැඩවලය.
කරෝලිස් අයියා හෙවත් කිලුටු කරෝලිස් පන්සලේ අරක්කැමියා විය. පන්සලේ නැවතී සිටිනා එක් එක් කංඩායම් වෙනුවෙන් කෑම පිසීම ඔහුගේ රාජකාරිය විය. මේ දිනවලට ඔහු ගෝලයින් කිහිප දෙනෙක් රැගෙන එයි. කොහොමත් මල පැනගෙන ඉන්නා කරෝලිස් අයියා, ඒ දවස්වලට යකෙක් මෙන්ය. කොයි වෙලාවෙත් බුලත් කමින් කළු සුරුට්ටු උරණා මොහු හැබෑ කිලුට්ටෙකි. නායක හාමුදුරුවෝ හිටපු ගමන් කරෝලිස්ගේ පිටුපසින් ගොස් වතුර බාල්දියක් ඇඟට ගසා, බණ මඩුවේ කුළුණකට මුවාවී හැංගී බලා සිටී. අමු තිත්ත කුණුහරුපයෙන් කෑගහනා කරෝලිස්, ඒ නායක හාමුදුරුවන්ගේ වැඩක් යැයි දැනගත් විට, නායක හාමුදුරුවෝත් පිස්සු කෙළිනවා යැයි කියා නාගන්නට යයි. එයද කපුටු නෑමකි. මෙය මසකට වරක්වත් සිදුවේ. වෙන කවුරුහරි අතින් මේය සිදුවූවා නම් විසුමක් නැත. කේන්තිය ඉහවහා ගිය දවසක නම් ඇඳුම් මල්ලත් රැගෙන පන්සලෙන් පිටවී යයි. නැවත මාසයකට දෙකකටවත් සොයාගන්නට බැරිය. පසුව ඔහුම නැවත පැමිණ මුකුත්ම සිදු නොවුවාසේ වැඩට බහී.
පන්සලේ සිටි බන්දුද මගේ මිත්‍රයෙකි. කොට කලිසම් අදින ඉදිරියට නෙරා ආ දත් දෙපළක් හිමි, ඉතාම අනර්ඝ මිනිසෙක්වූ බන්දුගේ නිවෙස් පිහිටා තිබුණේ එඬේරමුල්ල, රාණිමඩම ප්‍රදේශයේ කනත්තට ඉදිරියෙන් ඇති පාරේ කෙළවරය. මම බොහෝ වාරයක් එහි ගොස් ඇති අතර, බන්දුගේ නිවෙස් අසල ඩොරීන් නම් ගෑනු ළමයෙක් සමග පොඩි සම්බන්ධයක්ද විය. ඒ බන්දුට පින් සිදුවන්නටය. වරක් මමත්,ඇයත්, බන්දුත්, ඔහුගේ දෙමව්පියනුත් අවට අයත් සමග පිටකොටුවේ වෙසක් බලන්නට ගිය බව අමතක නොවේ. මම ඩොරීන්ගේ අතින් අල්ලන් ගිය බවත් හොඳට මතකය.මට එවිට වයස අවුරුදු 16ක් හෝ 17ක් වූවා විය යුතුය. ඒවා එදා වේල ආදර කතා මිස ඉන් එහාට ගිය දේවල් නොවේ. බන්දු අද කොහේ සිටිනවාදැයි මම නොදනිමි.
ජයවීර අයියාද, ඔහුගේ අයියා විජේද නැවතී සිටියේ පන්සලේය. පාසල් ගියේ තර්ස්ටන් විදුහලටය. පොල්ගහවෙල පළාතේ දුෂ්කර පවුලක ඉපිද, හදිසි අනතුරකින් දෙමව්පියන් වියෝවු පසු නායක හිමියන් පන්සලේ රඳවාගෙන බොහෝ උදව් පදව් කල බව කවුරුත් දනී. ඒ කාලයේදීම ජයවීර අයියාට ඩොක්යාඩ් ආයතනයේ රැකියාවක් සොයාදෙනු ලැබුවේ නායක හිමියන්ය. ඔහුව මට අහම්බයෙන් ඕමානයේදී හමුවී,අපේ ගෙදර ගෙනවිත් සැලකුවෙමි. ජේමිස් ලබ්බා යනු දසනායක කපු මහතාගේ අත් උදව්කරුය. විශාල ලබ්බකට හිමිකම් කියූ ජේමිස් අයියා වැඩිහිටි මිනිසෙකි. ලබ්බ මදිවාට ඇඟට අත තිබ්බොත් කිචිය. ඇඟට අත තිබ්බොත් *කනවා යැයි කියවෙයි. ජේමිස් උඹ අද ගෙදර ගිහින් මොකද කරන්නේ යැයි අසමින්, ජේමිස්ගේ ඉනට අඟිල්ලෙන් ඇනීම නායක හාමුදුරුවන්ගේ සිරිතය. *කනවා යැයි ජේමිස්ට කියවෙයි. නායක හාමුදුරුවෝ ඔවැනි ජොලි වැඩවලට රුසියෙකි. ජයසේන ජයකොඩිගේ පොත්වල එන පන්සලේ සිඤ්ඤප්පු මට මතක් කරන්නේ ජෙමිස් අයියාවය. නමුත් සිඤ්ඤප්පු අයියා මෙන් නොව ජේමිස් ලබ්බා අපතයෙකි. කේලමෙකි. මගේ සිගරට් බීම, රස්තියාදු ගැසීම් නායක හිමියන්ටත්, අර එදා කියූ මෑණියන්ටත් කනට දෙන්නේ ඔය ජේමිස්ය.
පෙරහැර සංවිධානය කර පාරට දැමීමට පෙර නායක හාමුදුරුවන් මෝටර් රථයෙන්, පෙරහැර ගමන් මාර්ගයේ එක් වටයක් ගොස් ඒම සිරිත විය. කුමන හේතුවක් මත එය කරාදැයි මම නොදනිමි. ඉන් පසු මේ දර්ශනීය පෙරහැර ආරම්භවී සියලු වැඩ කටයුතු අවසන් කර නැවත පන්සලට ළඟාවේ. නායක හාමුදුරුවන් පෙරහැරේ ඒ කෙළවරටත් මේ කෙළවරටත් නිරතුරුවම ඇවිදින් වැඩ කටයුතු නිරීක්ෂණය කළේය. සැම විටම තව දෙතුන් දෙනෙක් ඔහු පිටුපසින් යන්නට වගබලා ගනී. නැටුම් කංඩායමක ගැහැණු ළමයින්ට අතදමා අනවශ්‍ය ගොබ්බ වැඩක් කෙරූ කොල්ලුපිටියේ මදාවියෙකුට එක පහරින් හතරගාතෙන් ඇද වැටෙන්නට, ලොකු හාමුදුරුවෝ සලකපු හැටි මට අදත් මතකය. නිවන්තිඩියේ ආනන්ද හිමියන් යනු යෝධ පුරුෂයෙකි. ගරු කටයුතු සංඝ නායකයෙකි.
කොල්ලුපිටිය අවට තරුණයින් හැම විටම පෙරහැරේ අවසාන අංගයවූ කාවඩි නැටුමට එකතුවී නටමින් ගමන් කරති. අපත් බොහෝ විට කැමතිවූයේ කාවඩි වාදනයත් සමග ඒ අංගයටය. නමුත් මට නිතරම යන්නට සිදුවූයේ වේවැල් නැටුම් කංඩායමත් සමගය. වේවැල් නැටුම් පෙරහැරවල් සඳහා එකතුවීමේ ඉතිහාසය මම නොදනිමි. මා මේ කියනා 1977-78 යුගයේ නම් එය පෙරහැර සම්ප්‍රදායන්ට එකතුවූ අළුත් අංගයක් යැයි මතකය. මෙය සංවිධානය කළේ වනාතමුල්ලේ සර්දානන්ද නම් තරුණයෙකි. ඔහු දක්ෂ පිනුම් කරුවෙකි. වනාතේ සර්දයියා කිව්වාම ඒ දවස්වල නොදන්නා කෙනෙක් නැත. ඔහුගේ අක්කාගේ පුතා නිහාල්ද මෙම කංඩායමේ සාමාජිකයෙක් විය. නිහාල්ලාගේ පවුලේ අයද පන්සලට නිතර පැමිණි උදවියය. ඔවුන් පැමිණියේ අර මෑණියන්ගෙන් සාස්තර ඇසීමට බැව් මතකය. නිහාල් මගේ මිතුරෙක් වූයේ එලෙසින්ය. මේ අය සමග වනාතමුල්ලේ යෑමට ඒමට මමත් ප්‍රිය කළෙමි. වනාතේ ජීවිත ගැන මටත් අත්දැකීම් බොහෝමයක් ඇත. ඒ අතරතුර වනාතේ මට වඩා වැඩිමහල් කෙල්ලක් සමග තවත් පුංචි යමක් කමක් ඇතිවිය. ඇයද මේ කංඩායම සමග පැමිණෙයි. පෙරහැර පවත්වා අවසන්වූ එක් රාත්‍රියක, ඒ කෙල්ලව කාටත් හොරෙන් පන්සල පල්ලෙහා ළිඳ පැත්තට අරන් ගියේ, වාළුකාරාමය පාරේම හිටි තවත් ජයවීර නම්වූ කෙනෙක්ය. ඔහු යුද හමුදාවේ සේවය කෙරූ තරුණ සාජන්ට් කෙනෙක් බැව් මතකය. ගැටවරයෙක්වූ මම ලැජ්ජාවටත්, දුකටත් පත්වුණා මිස වෙන කුමක් කරන්නද? ඇය පසුව කිසිත් නොවූ ලෙස මට සමීපවීමට උත්සාහකළත් මට ඇය අප්‍රසන්න විය.
තවත් රසවත් සිදුවීම් වෙන්නේ “පොන්න ඩාන්ස්” කංඩායම ගැවසෙන තැන්වලය. (පෞද්ගලිකව මම මේ මිනිසුන්ට පොන්න යන වචනය භාවිතා කිරීමට කැමති නැත. නමුත් ඒ නැටුමට කිව්වේ පොන්න ඩාන්ස් කියාය.) පෙරහැර අවසන්වී ඔවුන්ට ඇඳුම් මාරුකර ගැනීමටත්, පසුවදාවන තෙක් නැවතී සිටීමටත් බණ මඩුව කෙළවරේම කුඩා කාමරයක් සපයා තිබුණී. ඔය අවට තරුණ කොල්ලෝත්, තරුණ හාමුදුරුවරුත් එහා මෙහා ගැවසීම අරුමයක් නොවීය. ඒ ඒ කාලයන්ට තම ලිංගික අවශ්‍යතාවයන් නොයෙකුත් අයුරින් පිරිමසා ගැනීම සාමාන්‍ය නිරෝගී මනුෂ්‍යයන්ගේ හැටිය. ඕවා හරිද වැරදිද කියා කතා කරනවාට වඩා, ඒවා සිදුවූවා යැයි පමණක් ලියා තබමි.
මට පන්සලෙන් පිටව යෑමට මූලිකවූ හේතු සහ පන්සලේ පෙරහැරෙන් පසු පැවැත්වෙන ගම්මඩු උත්සවය ගැනද යමක් ලියා මේ කොටස අවසන් කරන්නට සිතූ මුත් අදත් කතාව දිග වැඩි විය. ඊළඟ වාරයේවත් පන්සල් ස්ටෝරිය ලියා අවසන් කරන්නෙමි.

No comments:

Post a Comment