Thursday, March 27, 2014

අවුල් වන්නට පෙර (34)….කොහේ යන්නද?


මමත්, අම්මාත් පන්සලෙන් පිටත්වී නිවෙස් බලා යාමට තීරණය කෙරුවෙමු. මගේ පළමු නවාතැනින් පිටත්වීමට සිදුවූයේ මගේ කුඩාකමට සිදුවූ නොදැනුවත්කම නිසාම යැයි මම හිතමි. නමුත් අද මේ පිටත්වන්නේ නොදන්නාකම නිසා නොව වගකීම් අමතක කර හුදු ආත්මාර්ථකාමය නිසාම හුරුවූ රස්තියාදුකාර ජීවිතයට හැඩගැසීම බැවින් යැයි කීමට මම මැලි නොවෙමි. මට වඩා බොහෝ දුෂ්කර ගමන් මාර්ගයන්හී ඇවිදගොස් ජීවිතය ,අධ්‍යාපනය තුළින් ගොඩ නගාගත් ඇත්තෝ බොහෝවූහ. පන්සලේ නේවාසිකව සිටි තරුණ හිමිවරුන් බොහෝමයක් ඊට නිදසුන්ය. දෙමව්පියන්ගෙන් ඈත්ව ජීවත්වන්නට සිදුවීම කිසිසේත්මනිදහසට කාරණයක් නොවේ. මම වගකීම් සහ හුදු වින්දනය අතර අතරමංවූ ගැටවරයෙක් යැයි කීම නිවැරදිවේ. දහසක්දේ හිත තුළ වදයක් වෙන්නට පටන් ගති. සියල්ලක් දෙස උපේක්ෂාවෙන් බලන්නට හුරුපුරුදුවී සිටි අම්මා, මාද කැටුව තර්ස්ටන් පාරේ රහීම හෝටලයට ගොඩවී උණු තේ කෝප්පයක් බොමින් ආගිය තොරතුරු විමසන්නට යෙදුණි. අම්මාගේ තිබු ඒ උපේක්ෂාසීලි යහගුණය අදත් එලෙසම පවති. කුමන කරුණක් හෝ අරභයා දුකක් කනස්සල්ලක් ඇතිවී ඇය හා කතාකළොත්, ඔන්න ඔය කට්ටියම ඇවිත් මෙහේ වැටිලා ඉන්න..පුළුවන් විදිහට කාලා බීලා ඉමු..ඒ ඇයගේ පිළිතුරය. ඇය මෙසේ පවුලේ අනිකුත් අයටත් කියාසිටිනා බව ඔවුන් මට පවසා ඇත. ඇය කවදාත් අප සියල්ලකගේම අයෝමය ශක්තිය විය. ඇය ගැන ලිවීමට නිදසුන් බොහෝමයකි.
වසර එක හමාරකට ආසන්න කාලයක් නිදහසේ පයින් ඇවිදගෙන ගොස් පාසලට ගොඩවීමට තිබු පහසුතම නවාතැන පන්සල විය. මට එය තදින්ම දැනුණේ, පන්සලට යාබදම පාරේ විශාල නිවසක නවාතැන් ගෙන ඉගෙනුම කෙරූ බැසිල් නානායක්කාර ඒ අසලින් නිවෙස් කරා ගමන් කරනු දුටු විටය. මට නවාතැනක් සොයා ගත යුතුය. බස් ගාස්තු වෙනුවෙන් මුදල් තිබිය යුතුය. නවාතැන් පොළ කවර ආකාරයේ විය හැකිද, කොපමණ මුදලක් ගෙවිය යුතුද ආදී වශයෙන් ප්‍රශ්න රාශියක් සිහියට නැගුණේ, අම්මා සමග තේ බොමින් පැවති සතුටු සාමිචිය අතර තුළය.
මේ වනවිටත් තාත්තා රැකියාව කරගෙන යනමුත්, මාසිකව ගෙදර නඩත්තු කිරීමට මහා මුදලක් ඉතිරි නොවන බවත්,තවමත් අපේ මුලු පවුලේම ස්ථිර ආදායම් මාර්ගය ආච්චීගේ විශ්‍රාම වැටුප පමණක් මම දන්නෙමි. තාත්තා තවමත් ණය උගුලෙන් ගොඩවී නැත. අම්මා කිසිවිටෙකවත් තාත්තාගේ දොසක් කියන්නේද නැත. තැන තැන දොස් කිය කියා පසුතැවිලි වීමෙන් පලක් නොවන බවත්, ඒ නිසාම තාත්තා වැරදි හදා ගන්නේ නැති බවත් අම්මා දැරූ අදහස විය. තම පුරුෂයා ගැන නිවැරදිම තක්සේරුව කරන්නේ එම බිරිඳ හැර වෙන කවුරුන්ද? අප පවුලේ උදවිය මේ වනවිට පදිංචිව සිටියේ හංවැල්ල, තුන්නානට නුදුරින් ඊරියගොල්ල ගමේ කුඩා කඩ කාමරයක් බඳු නිවසකය. තාත්තාගේ පියාවු හංවැල්ලේ සීයාද හිටියේ ඒ නුදුරේම වුවත් ඔහුගෙන් රැකවරණයක් පැතීම ,අම්මාට ගෝචර නොවීය. කෙසේ වෙතත් සීයාද ඒ වනවිට පොඩි නැන්දාගේ තොවිල්, බවිල් වලට අනවශ්‍ය ලෙස වියදම් කර බොහෝ මුදල් නාස්තිකර ගෙන තිබුණු අවධියකි. ඒ මදිවාට දීගදෙන වයසද ඉක්මවා යමින් සිටි නැන්දලා දෙදෙනාද තවම ගෙදරය. ඔවුන් මේවා කෙසේ ඉවසා සිටින්නට ඇද්ද..අම්මා මේ ගැනද සිතයි. තාත්තාට වගේ වගක් නැති බව ඇයත් මමත් දනී. අපි දෙදෙනා තවමත් තේ කඩය තුළ කතා බහේය. අම්මාට මේ සියල්ලක්ම කියා ඉවර කල ගත යුතු බව සිතේ. ඒ තම ලොකු පුතන්ඩියාටය. නමුත් ඔහුටද පාරක් ඇති නැති ගානය.
මේ කටුක ජීවන තත්වය අම්මාගේ ඇඳුම් පැළඳුම් තුළින්ද, විඩාබර මුහුණින්ද කදිමට පැහැදිලිවේ. ඇයට තවත් දරාගත නොහැකි විශාල බර පොදියක් ඒ හිස මතම පැටවීම මට කිසිසේත්ම කල හැක්කක් නොවීය. මේ සියල්ලෙන් මිදී කොහේ හෝ පලා යන්නට සිත බලකරයි. මගේ සිත තුළ කැකෑරෙමින් තිබු සිතුවිලි ඇය තේරුම් ගත්තා මෙන් තේ බිලද ගෙවා කඩයෙන් පිටත්වූයේ , ඕවා ගැන ඕනාවට වඩා සිතන්නට උවමනා නැතිබව ඉඟිකරමින් මෙන්ය.
දෛවය යනු කොතරම් පුදුමාකාර දෙයක්දැයි මට විග්‍රහ කල නොහැක. මට එවැනි ඥානයක් නැත. කඩයෙන් පිටව පාරට බහිනාවිට, දුම්වැටියක්ද දල්වාගෙන බැබළෙන මෝටර් රථයකට පිටදී සිටින්නේ ජැන්ඩි පහේ සෝමපාල අයියා බව දැක්කෙමි. එදා ඔහුට පන්සලේ රැකියාව අහිමිවී පිටව ගියාට පසු දැක්කේ මේ මොහොතේය. මම ඔහු වෙත ගොස් කථාකෙරුවෙමි. පන්සලේ සියල්ලන්ටම බැණ වැදුණු සෝමපාල අයියා, අප දෙදෙනාව කාර් එකෙන් පහත්ගමට ගොස් ඇරලවන්නට පොරොන්දු විය. සිදුවූ අකරතැබ්බය ගැන සිතා කලබල නොවන ලෙසත්, ඊළඟ සතියේ දිනක තර්ස්ටන් පාරේ රහීම හෝටලය අසළදීම හමුවෙන ලෙස දන්වා අපව ගෙදර අසලින් ගොඩ බැස්සවිය. ඔහු දැන් සේවය කරන්නේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ රියැදුරු ලෙස යැයි කීවේය. තවමත් ඔහුගේ පෞද්ගලික වැඩ කටයුතු සඳහා හාම්පුතාගේ වාහනය යොදා ගනි. අපව ගෙනත් ඇරලුවේත් එසේය. තවමත් පාඩමක් ඉගෙනගෙන නැති හැටිය. කෙසේ වෙතත් මගේ අටවැනි නවාතැන් පොළ ගැන මට අපැහැදිලි චිත්‍රයක් මැවී පෙනෙන්නට පටන් ගති.
ගෙදර ආර්ථික තත්වය අන්ත අසරණ තත්වයට පත්ව තිබේ. ආච්චීගේ පැන්ෂන් එක මාසයෙන් අඩක්වත් පියවා ගැනීමට නොසෑහෙන බවක් කියවේ. අපේ ගෙදර සිටි ඉන්ද්‍රක්කා ,අම්මාට ලිපියකින් දන්වා තිබුණේ මාසයකට වරක්වත් ඇය නැවතී සිටි නන්දක්කාගේ ගෙදරට ගොඩ වැදෙන ලෙසය. ඉන්ද්‍රක්කාද නන්දක්කා සමග හැකි විටක අම්මාට උදව් කළෝය. නුගේගොඩ, දෙහිවල පැත්තේ නැදෑ ගෙවල්වල රවුමක් ගසන අම්මා ඒ අයගෙන් ලැබෙන දෙයක්ද දරුවන්ගේද, ගෙදර අයගේද බඩ කට පිරවීමට යොදවයි. ඒ වනවිට අප ගම් පළාතේ නිතර නිතර ශ්‍රමදාන සහ සමාජසේවා කටයුතු සංවිධානයවූ යුගයක් විය. ෆිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ ඡන්ද ගබඩාවක් වූ අවිස්සවේල්ල ආසනයෙන් ඔහුගේ පුත් දිනේෂ් ගුණවර්ධනයන්ව යූ,එන්.පියේ එම්.ඩී.ප්‍රේමරත්න විසින් වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් පරදවා තිබුණි. අපේ තාත්තාගේ සමසමාජ සහෝදරයා චන්ද්‍රපාල කුමාරගේ ලබා තිබුණේ ඡන්ද දෙදාහක් හෝ තුන් දාහක් පමණි. තාත්තා එදාත් පරාදය. ඒ කෙසේ වෙතත් යූ.එන්.පී.මන්ත්‍රීගේ ළඟම හිතවතෙක්වූ හසන්ත අයියා අපේ ගම් පියසේ සමාජ සේවා සහ ශ්‍රමදාන කටයුතු වලින් ප්‍රසිද්ධ වූයේ මිනිසුන් හා එක්ව ඔහුගේ ගමන සාදා ගැනීමට විය යුතුය. මේ ශ්‍රමදාන වැඩ කටයුතුවලට අම්මාද දහවල් වරුවේ සහභාගිවන බව මම දැනගත්තෙමි. ඒ අන්කිසි දෙයක් නිසා නොව, එතනින් ලැබෙන හාල්, පරිප්පු වියළි සලාකය ගෙදර ගෙන එන්නට බව රහසක් නොවේ. ගමේ බොහෝ ගැහැනුන් මෙසේ සහභාගි විය. තාත්තාට හොරෙන් මේ වැඩේ සිද්ධ වුණේ තාත්තාගේ දේශපාලන අදහස් හා ගැටෙනා නිසාය. නමුත් හසන්ත අයියා, අපේ තාත්තාට ගෞරවයෙන් සැලකීය. බොහෝ කාලයකට පෙර ගමේ අවුරුදු උත්සව, සමාජ සේවා වැඩ බොහොමයක් කර තිබුණේ තාත්තාගේ මූලිකත්වයෙනි. විශේෂත්වය වන්නේ ඒ වියදම් තනිකරම තාත්තාගේ පෞද්ගලික මුදල්වීමය. ඒ එක් යුගයක් පමණි. තාතාගේ දේශපාලන න්‍යායන්ටත්, සීයගේ පුහු මානයටත් වඩා ගෙදර දරුවන්ගේ බඩගින්න වඩා බලවත් බව අම්මා දන්නා නිසා ඇය මහත් උනන්දුවෙන් මේවාට සහභාගි විය. ඇය කැත්ත උදැල්ලේ වැඩ දැන සිටි ගැහැනියක් නොවීය. නමුත් අන් කෙනෙකුගේ බඩගින්න මැනවින් හඳුනගත් අති උතුම් ගැහැනියක් විය. තාත්තාට දරුවන්ගේ බඩගින්නට වඩා දේශපාලනයත්, මිතුරු ඇසුරත් වඩා වැදගත් වූයේ වැඩට ගෙනියන්නට අම්මා බත් මුලක්ද බැඳ තබා දෙන නිසා විය හැකිය. කෙසේ වෙතත් මම ඔහුට දොස් නොකියමි. ඔහු නරක මිනිහෙක් නොවීය. අපේ අම්මා මේ සියලු දුක්ඛ දෝමනස්සයන් කෙසේ ඉවසා සිටින්නට ඇද්දැයි මගේ බිරිඳ නිතර විමසා සිටියි. මගේ මෑණියන්ගේ හොඳම මිතුරුය වීමට මා බිරිඳ සුදුසුකම් ලැබීම මට ඔටුනු පළඳනවාට වඩා වටිනේය. අදත් ඒ මිතුදම එදාටත් වඩා ප්‍රබලය. අම්මා කියන්නේ ඇය අප පවුලේ වැඩිමහල් දියණිය කියාය. බොහෝ කාලයක් රටින් බැහැරව සිටි නිසා ගමේ බොහෝ අය සිතන්නේ මම ඇයගේ බෑනා ලෙසය. මට මුණ ගැසෙනා සමහරක් තරුණ ගැහැණු දරුවන්ට තව තවත් ඉගෙනගත යුතු දේ බොහෝ ඇති බව මම හිතමි.
අප පවුලේ දෙවැනියාවූ ලොකු මල්ලි පාසැල් වැඩ කටයුතු කෙරෙහී කිසිම උනන්දුවක් නොදක්වන බව අම්මා මට කීවාය. මගේ පාසැල් වැඩ කටයුතුත් එසේම යැයි ඇය හීනෙකින්වත් නොසිතන්නට ඇත. ලොකු මල්ලී හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහලේ ඉගෙනිමින් සිටියේය. පාසැල් යනවා යැයි කියා රස්තියාදුවේ යන බවත්, පොතක් පතක් කියවීමටවත් උනන්දුවක් නැති බවත් ඇය කියා සිටී. නිහඬව අසා සිටිනවා හැර මමත් එසේම යැයි කියා ඇයගේ බලාපොරොත්තු බිඳ දැමිය නොහැකිය. මට වරදකාරී හැඟීම්ද අනිවාර්යයෙන්ම දැනෙන්නට ඇත. ලොකු මල්ලී කාර්මික වැඩවලටත්, බර වැඩ කිරීමටත් බොහෝ කැමැත්තක් දැක්වීය. මා ගෙදර සිටි දිනෙක මොහු ගෙදරින් අතුරුදහන් විය. සොයාගැනීමට කල උත්සාහයේදි දැනගන්නට ලැබුණේ, අප නිවස ඉදිරිපස පිහිටි නිවසේ මල්හාමි මාමා නම්වු අයගේ පුතා සමග එකතුවී රත්නපුර පැත්තේ මැණික් පතලක වැඩට ගොසින් බවය. තවත් අකරතැබ්බයකි. තාත්තා, මල්හාමි මාමා සමග ගොස් ලොකු මල්ලීව ගෙදර රැගෙන ආවේය. කිසිම කලබලයක් නොවීය. අම්මාත්,ආච්චීත් හඬන්නට විය. පසුදා ඔහු නැවත පාසැල් යාමට පටන්ගත් නමුත් එය දින දෙකකට සීමා විය. දහවල් පාසැල් ඇරී ගෙදර ඒම කෙසේ වෙතත් පැමිණියේ රාත්‍රී බෝවී ගෙදරින් සොයන්නටත් පටන් ගත් පසුවය. පසුදා පාසැල් ප්‍රධානීන් හමුවු තාත්තාට දැන ගැනීමට ලැබී තිබුණේ පාසැල් එනවාට වඩා නො එනා ළමයින්ගේ ගොඩේ මල්ලී පළවෙනියා බවය. මේ සියල්ලටම මූලික හේතුව ගෙදර නිසි කළමනාකරණයක් නැති බව ඕනෑම කෙනෙක් වටහා ගන්නා බව නිසැකය. ආර්ථිකය බිඳ වැටුණු තැන අන් සියල්ලක්ම කඩා වැටීම වලක්වාලිය නොහැක. නොයෙකුත් අකටයුතුකම් සිදුවේ. මේ සියල්ලටම තාත්තා වගකිව යුතුය. නමුත් කිසිදිනෙක ඔහු වැරදි සාදා ගත්තේ නැත. වියපත්වූවිට පසුතැවිලි වීමෙන් පලක් නැත. දොස්කීමෙන්ද පලක් නැත. ලොකු මල්ලී කියා සිටියේ ඔහුට මෝටර් රථ අලුත්වැඩියාව පිළිබඳ ඉගෙනගත යුතු බවය. ඊට පසු දින තාත්තා දන්නා අවිස්සාවේල්ලේ ගැරෙජ් බාස් කෙනෙක් හමුවීමට දෙදෙනාම පිටත් විය.
එදා පටන් කාලයක් යනතෙක්ම ඔහු එම ස්ථානයේම නැවතීසිට වැඩ උගත්තේය. පසුකාලීනව මෝටර් රථ කාර්මිකයෙකුට වඩා දක්ෂ වැද්දුම් ශිල්පියෙක් විය. ඒ පිළිබඳ හසළ දැනුමක් ඔහු සතුවිය. අවාසනාවන්ත එක් කුරිරු කාලයකින් පසු ඔහුගේ ජීවිතය අති දරුණු උඩු යටිකුරු වීමකට ලක්විය. ඒ සියල්ලක් නැවත නිවැරදි කර ගැනීමට අප සියල්ලෝම අති මහත් මැදිහත් කිරීමක් සිදුකළ මුත් ඔහුද අපේ තාත්තා මෙන්ම වැරදි හදාගත්තේ නැත. ඒ නිසාම ඔහුගෙන් අප සියල්ලටම සිදුවු බොහෝ අකටයුතුකම් විය. ඒ මිනිස් ජීවිතවල හැටිය.බොහෝ කාලයක් අංක එකේ බේබද්දෙක් ලෙස ජීවත්වූ ලොකු මල්ලි දැනටත් අවිවාහක මුත් මත්පැන් සහ සූදුවෙන් තොර සාමන්‍ය ජීවිතයක්, අප සියල්ලකගේම ආදරය සහ රැකවරණය මැද ගෙවා දමයි.
මේ 2010 වසරේ මම ඔහු ගැන ලියූ බ්ලොග් සටහනකි. නොමළ නුඹට

No comments:

Post a Comment