Saturday, June 15, 2013

අවුල් වන්නට පෙර (10)……වනාත පාරේ ගෙවල් පේලිය.

           මීට දින තුන හතරකට පෙර BBC යේ Panorama වැඩසටහන තුලින් Malala Yousuf Saif දැරිවිය ගැන වාර්තාමය වැඩසටහනක් නැරඹුවෙමි. ඇය ලොවට හඬගා කියන්නේ , ම්ලේච්ඡ තලිබාන් ත්‍රස්ථවාදීන් විසින් පාකිස්තානයේ ගැහැණු දරුවන්ට අධ්‍යාපණය සඳහා පනවා ඇති තහංචියයි. මේ එඩිතර දියණිය මේ කාරණාව සම්බන්ධව ඇති ජීවමාණ සංඛේතයයි. ඇයට වයස පහලොවක්වූ ගිය වසරේ මෙවන් දිනයක තලිබාන් වෙඩි ප්‍රහාරයකින් ඇය තම ජීවිතය ගලවාගත්තේ එංගලන්තයට ස්තූතිවන්නටය. පාකිස්තානයේ සිට එංගලන්තයට ගෙන්වාගත් ඇයගේ මියයමින් තිබු සිරුරට ජීවය ලබාදුන්නේ බරපතල සැත්කම් කිහිපයකින් පසුවය.ඇය දැන් බර්මිංහැම් නුවර අධ්‍යාපණය ලබමින් සිටී.  ඇය කල එකම වරද ගැහැණු දරුවන්ට ඉගෙණීමේ නිදහස ලබාදෙන ලෙස ඉල්ලා Anonymous Blog එකක් ලිවීමත්, ඒ සඳහා පෙනී සිටීමත්ය. මැයට උපහාරයක් ලෙස මහ රැජිණ හමුවී සාකච්ඡා කිරීමට ආරාධණා ලැබුණු අතර, ඇය අද  අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සමගද වයිට් හවුස් හී සාකච්ඡවකට සහභාගි විය. ඒ අතරතුර ම්ලෙච්ඡ ත්‍රස්තයින් විසින් නැවත මරණ වරෙන්තුවක් නිකුත් කර ඇත. මේ සටහන මා ලියා තැබුවේ ලෝකවාසී සියළු දියණියන් වෙනුවෙන් ඒ දියණියට උපහාරයක් වශයෙන් සහ අධ්‍යාපණයේ වටිනාකම සඳහන් කිරීමටත්ය.
    මගේ අධ්‍යාපණ ගමන් මගද නොයෙකුත් බාධක දුෂ්කරතා මැද දිවගිය ගමනක්ය. ලොකුඅම්මාගේ පැමිණීම සහ අනෙකුත් කටයුතු සමථයකට පත්වූ පසුදින අම්මාත් මමත් නැවත දෙල්කඳ නැන්දාගේ ගෙදරට පැමිණියේ වරදට සමාවගෙන නැවත පාසල් යාම පටන් ගැනීමටය. මා අතින් වරදක් සිදුවී ඇති බැවින් නැවත එහි යාම තදබල තිගැස්මක් හා කුතුහලයක් දනවන්නක් විය. කෙසේ නමුත් අප එහි පැමිණි පසු දක්නට ලැබුනේ තත්වය එතරම් හොඳ නැති බවය. මා එක්වරම කාමරයට ගිය විට දක්නට ලැබුණේ මගේ සියළුම පොත්පත්, ඇඳුම් කැඩුම් ආදීන් මනාව සූට්කේස් තුල අසුරා ඇති බවය. මේ බව නොදත් අම්මා, නැන්දාට සියළු කාරණා පහදා දී, මටද සමාව ගන්නා ලෙස කියා සිටියත් වැඩේ හරිගිය නැත්තේ ගෙදර සියල්ලෝම මා නැවත එහි රඳවා ගැණීමට අකැමත්ත පලකර සිටි නිසාය. ඔවුන් නිවැරදිය. සත්තකින්ම මම වැරදිය.
   ඇතිවූ තත්වය ගැන එතරම් වැටහීමක් නැති මට, මෙතැනින් පිටවීම නම් මහා අස්වැසිල්ලක් විය. නමුත් අම්මා පසුවූයේ වේදනාත්මක සිතුවිලි සමුදායක් සමග බව මට තේරුනේ ඇයගේ දෙනෙත් කඳුළින් බරව තිබූ නිසාය. අපි අපේ සූට්කෙස්ද රැගෙන මහපාරට පිවිසුනෙමු. මේ හැන්දා වරුවය. අපි අතරමංවූවා දෝ යැයි හැඟීමක් මටද ඇතිවිය. මෙවන් තත්වයක් ඇතිවේ යැයි අම්මා කිසිවිටෙකත් නොසිතන්නට ඇත. ඒ ප්‍රදේශයේ අවට අපගේ ඇති හැකි නෑදෑයින් කොපමන සිටියත් අම්මා තීරණයක් ගෙන ඇති බව මට වැටහිනි. ඇය අසල ඇති සිල්ලර කඩයකට ගොස් සීනි, පිටි, බිස්කට්.තුනපහ මල්ලක් මිලදී ගෙන මාවත් කැටුව ඒ අසල ඇති වනාත පාර දිගේ ඇවිද ගියේ මම්මා නමින් හඳුන්වන අපේ ආච්චිගේ යෙහෙළියකගේ නිවස දෙසටය.
          මම්මාගේ නිවස පිහිටියේ වනාත පාරේ කුඩා පාසල පසුකර පේන මානයේ ඇති ගෙවල් පේලියේය. මෙය කොළඹ නාගරීක ගෙවල් පේලියක් මෙන් අක්‍රමවත් නොවීය. ඉඩම් හිමියා විසින් සාමාන්‍ය පහසුකම් සහිත ස්ථීර ගෙවල් අටක් හෝ දහයක් මෙහි නිමවා කුලියට දී තිබුනි. මම්මා යනු අපේ ආච්චීගේ වයසේ ගැහැණියකි. ඇය ඉතා කාරුනික බව මම බොහෝ කලකට පෙර සිට මම දණිමි. ඇය ආච්චීගෙන් මුදල් ගණුදෙණු කරගන්නා බව දැක තිබුණි. ඇයත් .අපේ අම්මා වයසේ ඇයගේ අවිවාහක දියණියත්, මගේ වයසේම ගාමිණි නම් ඔවුන්ගේ ඥාති පුත්‍රයාත් එම නිවසේ විය. මොවුන්ටද හරි හමන් ආදායම් මාර්ගයක් නොවුනත් මම්මාට යම්කිසි විශ්‍රාම වැටුපක් ලැබුනි.
    අද සිට සතියක් දෙකක් යනතුරු මගේ තාවකාලික නවාතැන් පොල මෙතැන විය. මිළදී ගත් සියල්ල මම්මාටත් කුසුමාටත් බාරදුන් අම්මා බොහෝ වේලාවක් සතුටු සාමීචියේ යෙදී යන්නට පිටත් විය. මට අදටත් අමතක නොවන සිදුවීම නම්,ඇය තමන් සන්තකේ තිබූ සියළුම මුදල් වලින් බඩු මුට්ටු ගත්තා මිස, නැවත ගෙදර බලා යන්නට බස් ගාස්තු තබාගෙන ඇත්තේ අඩුවෙන්ය. අපේ අම්මාගේ ඔළුව යකාගේ කම්මල මෙන්  තිබුනා විය යුතුය. දැනුත් ඒ මුහුණ මට මැවී පෙනේ. නැන්දලාගේ ගෙදරින් පිටවූ පසු සිට ඇය ගත කරේ යම්කිසි අවිනිශ්චිත ස්වභාවයකින්ය. මෙය තේරුම් ගත් මම්මා නොමසුරුව ඇයට යම්කිසි මුදලක්දී, නැවත ඇයගේ කුඩා පසුම්බිය හැර මගේ අතටද කීයක්ද දුන්නේ ඔන්න අම්මාටයි පුතාටයි දෙන්නටම දුන්නා යැයි පවසමිනි. මේ සිද්ධිය මට කවදාවත් අමතක වන්නේ නැත. අම්මා පිටත්ව ගියාය.
    මගේ වයසේම කොළුවෙක් වූ ගාමිණි ඉගෙණගැනීමට තියා කිසිම වැඩකට උනන්දුවක් ඇති එකෙක් නොවීය. මට මම්මලාගේ ගෙදර කිසිම කරදරයක් නැතිමුත් මගේ සෙල්ලම් ලෝකයේ එකම සාමාජිකයා ගාමිණිම පමනක් විය. මොහුට පාඩම් කියා දීමද මට පැවරුණු අතර, පොතක් අතට ගෙන පාඩම් කරමු යැයි කිවු සැණින් එක් අතක ඇඟිල්ලක් කටේ ගසා වේගයෙන් ඉරීමටත්, අනිත් අතින් කළිසම අස්සට අත දමා ජුන්ඩා පිරිමදිමින් මෝඩ පහේ සිනහාවක් දමා විකටයෙකුසේ හැසිරීම මොහුගේ පුරුද්දක් විය. බොහෝ අපල උපද්‍රව ඇතැයි කියා කළු නූලක එල්ලූ රන් පැහැති සුරයක්ද මොහුගේ ගෙලේ විය. මූට නම් ඉගෙණගැනීමට කිසිම උවමනාවක් නැත. උදය වරුවේම කාලගෝට්ටියකි. ලඟම තිබූ පාසලට පිටත්කිරීමට මොවුන් නොගන්නා උත්සාහයක් නැත. ගාමිණීගේ අවසාන තුරුම්පුව බෙල්ලේ පලඳා ඇති සුරය කඩා ගලවා දැමීමය. මම්මාටද කුසුමාටද මෙය තරම් බිය ගෙන දෙන්නක් තව නොවීය.සුරය ගලවා තැබීම ගාමිණිගේ ජීවිතයටද හානි ගෙනදෙන්නක් බව කවුරුන් හෝ මොවුන් රවටා ඇත. ඌ පාසල් ගියේ ඌට හිතුන දිනක කැමති වෙලාවටය.
    වනාත පාරේ ගෙවල් පේලියේ සති දෙකේ තාවකාලික නැවතුම්පලට දැන් මාස තුන හතරක් ගෙවී ගොස් අවසන්ය. මගේ පාසල් ගමනද නොකඩවා කෙරීගෙන යයි. පාසල් පයිප්පයේ වතුරත් පංතියේ එවුන්ගේ කෑම බෙදා ගැණීමත් නිසා, දවල් ගෙදර එනකම් මම ෆිට්ය. අපගේ ආච්චීගේ විශ්‍රාම වැටුප ඇය මියයන තෙක්ම ලබාගත්තේ නුගේගොඩ ප්‍රධාණ තැපැල් කාර්යාලයෙන්ය. කිසිම විටකත් එම කටයුත්ත අවිස්සාවේල්ලට හෝ අන් තැනකට මාරු කර ගැණීමට ඇය විරුද්ධ විය. ඇය එතරම්ම නුගේගොඩට ඇල්මක් දැක්විය. එය ඇයගේ මාසික චාරිකාව විය. මහනුවර කටුගස්තොට පලාතේ කෙනෙක් වුවත්, සීයාගේ ගම්බිම්වූ නුගේගොඩට ඇය මහත් රුචියක් දැක්විය. පැන්ෂන් එක ගැණීමට නුගේගොඩට එන්නේ මිතුරු ඇසුරටත් සතුටු සාමීචියටත්ය. ඉහල තල්දූව ඇයට එතරම් ගෝචර නොවීය. මාසිකව යෙදෙන මේ ගමනේදී ඇය ඉන්ද්‍රක්කා හෝ අම්මා සමග පැමිණේ. මට අවශ්‍ය සියළුම දේද, බස් සීසන් එකද, මම්මාට මුදල්ද බඩු මුට්ටුද ලබාදෙන ඇය පිටත්වෙන්නේ හැඬූ කඳුළෙනි. නුගේගොඩ හුලං ගේ කඩෙන් පෑනක් පැන්සලක් වරදින්නේ නැත. 
     දෙමව්පියන්ට මා නවතා තැබීම සඳහා තවත් තැනක් සොයා ගැණීමට නොහැකිවීම නිසාත්, දරුවන් හයදෙනෙක් සමග පවුලක්, ගෙවල් කුළීත් සමගම නඩත්තු කිරීමත් ලෙහෙසි පහසු නොවන බවත් මම්මාගේ සහ ආච්චීගේ කතාබහින් මම වටහාගෙන සිටියෙමි. තාත්තා දැන් අවිස්සාවේල්ලේ පැත්තේ දේශපාලන වැඩය. බොනී ජයසූරිය අවිස්සවේල්ලේ මන්ත්‍රීය. වාසුදේව, චන්ද්‍රා කුමාරගේ තාත්තාගේ දේශපාලන සගයින්ය. ආච්චී කියන හැටියට නම් දේශපාලනය, මිතුරු ඇසුර හැර වෙන කිසිම දෙයක් ගැන තාත්තාගේ උනන්දුවක් නැති ගානය. මම්මා සහ කුසුමාගේ ඇවටිල්ල වුයේද මා එහි නැවතී සිටීම ගාමිණිගේ යහපතටද සුදුසු බවය. මගෙන් ගාමිණීට සිදුවුනු යහපතක් නැත. ඌ ගාමිණීම විය. කුණුහරුපයෙන් කෑගසීම නම් මදකට සීමා විය. බොහෝ කාලයකට පසුව මට මොහු හමුවිය. ප්ලේන්ටියක් සිගරට් එකක් සප්පායම් වෙන ගමන් සුරය ගැන ඇහුවෙමි. මේ තියෙන්නේ ඉලව් යෝණිය කියා සුරය ඇද පෙන්විය. කටක් ඇරියොත් කුණුහරුපය. වැඩ කරන්නේ හාබර් එකේ සහායක්යෙක් ලෙස බව පැවසීය. අස්සට අත නොදැම්මත් කළිසමට උඩින් ජුන්ඩා පිරිමදිමින් සිටියේය. ඒක උගේ සංසාර පුරුද්ද විය යුතුය. මම ඌට කැමතිය. උගෙන් කාටවත් කරදරයක් නැත.
මේ අතරතුර දවසක් අපේ තාත්තාගේ තාත්තා(හංවැල්ලේ සීයා) ඔහුගේ විශ්‍රාම වැටුප් ලිපි ගණුදෙණුවකට නුගේගොඩට පැමිණ, මා බැලීමට මගේ පළමු නවාතැනවූ නැන්දාගේ නිවසට පැමිණ ඇත. මා එහි දැන් නොමැති නිසා, සිටිනා තැන සොයාගෙන මම්මාගේ නිවසට පැමිණියේය. දැඩිසේ කෝපයටත් කම්පාවටත් පත්ව සිටි සීයා, අපේ තාත්තාටත් අම්මාටත් නොසෑහෙන්න දොස් පැවරීය. මේ සියළුම දේට වගකිවයුත්තේ තාත්තාගේ නාස්තිකාර හැසිරීම් රටාව බවත්, අම්මා තාත්තාව හුරතල් කරනවා මිසක් ඔහුව යහමගට නොගන්නා බවත් පැවසීය. අම්මාට කලහැකි දෙයක් නොතිබුණි. සීයාට ඔහුගේ එකම පුත්‍රයා ගැන ඇත්තේ තදබල කේන්තියකි. ඒ කේන්තියට සාධාරණ හේතු රාශියකි. මේ කතාබහේ අවසාණ ප්‍රතිඵලය වූයේ උන්ට ළමයා ගැන උනන්දුවක්, තැකීමක් නැත්නම් කාගේවත් තැන්වල නැවතී සිටීමට අනවශ්‍ය බවත් ,මට හංවැල්ලේ සිට පාසල් යාමට සුදානම් වෙන්නට සිදුවන බවත්ය. සීයාගේ ලෝකයේද ලොකුම වීරයා මම විය. සීයාගේ ගම් පලාතේ පහේ සහ හතේ ශිෂ්‍යත්ව දෙකම සමත් එකම කොළුවා මම විය. ඊටත් වඩා සීයාට ආඩම්බරය ඒ හතර ගම් මායීම්වලින් රාජකීය විදුහලට යන කොළුවන් දෙදෙනාගෙන් එකෙක් මම වීමය. අනිකා පහත්ගම “අබේසිංහ වලව්වේ” ලොකු පුතාය. සෙස්ස පස්සට…..

No comments:

Post a Comment