Sunday, June 16, 2013

අවුල් වන්නට පෙර (23)…..පිචෑර් AND මියුසික්….

දවස් ගණනකට පසු ලැප් එක ගොඩදාගත්තේය. ඉරිදා පොළේ සිටි සමහරක් වෙළෙන්ඳන් මෙන්ම මේ රටේ ලැප්ටොප් හදන අයද බෙල්ල කපන්නට දක්ෂයෝය. මේ බව දන්නා මගේ හිතාදර මිත්‍රයා සමන්, දහසකුත් වැඩ රාජකාරී මැද මට එය නොමිලයේම අලුත්වැඩියා කර දෙන ලදි. මට වියදම් වුණේ අළුත් කී බෝර්ඩ් එකට ගිය මුදල පමණය. මට සමන් ලැප්ටොප් එක හදා දෙන ගමන් මම සමන්ට වත්තේ වැට හදාගන්නට අහිංසක උදව්වක් කෙරුවෙමි. සමන් උඹට බොහෝම ස්තූතියි මිත්‍රයා. මම දැන් නැවත ලියන්නෙමි.
මා මීට කලින් ලිව්වේ ඉරිදා පොළේ වෙළඳුන් සියලු වෙළඳාම් අහවර වී පිටත්ව යෑමය. එතනින් පසු ඇරඹෙන්නේ පොළ පවිත්‍ර කිරීමේ කටයුත්තය. මේ පවිත්‍ර කිරීමේ කටයුතු භාරව සිටියේ අප ගම්වාසිවූ පොළ රංජිගේ පවුලේ කට්ටියත්, සයිමන් පවුලේ අයත්ය. ඒ තිබූ මහා ඝෝෂාකාරී වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගෙන ඇත. මහා පාළු ස්වරූපයක හැඩ ගනී. අවට තේ කඩ දෙක වසා දැමීමට සුදානම්ය. පොළ භූමිය අතුගා පිරිසිඳු කිරීමට පෙර අප කිහිප දෙනෙක් පොළ වටේ රවුමක් ගහන්නේ වෙළඳුන්ට අතපසුවූ කාසි අහුලා ගැනීමටය. බිමට එලා ගන්නා පොලිතින් දවටන උඩට සල්ලි එකතුකර ගන්නා වෙළෙඳන්ට පොඩි පොඩි කාසි එහේ මෙහේ යාම නිරන්තුරුවම සිදුවේ. පොළ වටේ රවුමක් දෙකක් ව්මසිල්ලෙන් කැරකුණොත් රුපියල් දෙකක් තුනක් එකතුකර ගැනීම අපහසු නොවේ.
පොළ අතු ගෑ පසු ඉවතලූ බාගෙට තැම්බුණු එළවළු සහ පලතුරු කොටස් වෙනම ගොඩසකටත්, කඩදාසි, පොලිතින් වෙනම ගොඩකටත් එකතුකරනු ලැබේ. දැන් පැමිණෙන්නේ , හයිලෙවල් පාර සහ අවට නිතරම උලාකමින් ඇවිදින ගවයන්ගේ වාරයයි. පොළ ඝෝෂාව අහවර වෙනවිටම , ඉතිරිවෙන එළවළු පලතුරු බුදීමට මේ ගවයන් එන්නේ සංසාර පුරුද්දකට විය යුතුය. සයිමන්ලා, රංජිත්ලා පොළ අතුගා නිමවූ සැණින් ගවයින් පෝලිම් ගැසී , පොළ භූමියට විත් මේ ලෝකයට ප්‍රතිචක්‍රීකරනයේ සක්‍රීය දායකත්වය ලබාදීමට ඉතා ඉහළින් දායක වූවෝය. නමුත් අපි හරක් වන්දනාවේ යා යුතුද? මේ වන්දනා ගමනේ අපි වැරදි නිවැරදි යන ස්ථාන දෙකෙහිදීම වැරදිකරුවෝය. ජීවත්විය යුතු බොහෝමයක් මිනිසුන්ගේ ජීවිතවලට වටිනාකමක් නැති යුගයක, හරකුන් ගැන කතා කරන්නේ මොන හරකුන්ද?
මේ ගවයින්ට අයිතිකාරයින්ද සිටියෝය. නමුත් නිදැල්ලේ සැරිසැරූ ගවයින්ගෙන් නම් හයිලෙවල් පාරට අඩුවක් නොවීය. අයිතිකරුවන් මුන් හඳුනාගැනීම සඳහා, ඔවුන්ට ආවේනික සංඛේත හංවඩු ගසා තිබුනි. ඒ අතර “පිං” යැයි හංවඩු ගැසූ ගවයින් එකෙක් හෝ දෙදෙනෙක් විය. පිං ගොනා මස් කඩයකට දක්කන්නට උත්සාහකල පිටස්තරයෙකුට බඩ කට පුරා ගුටි කන්නට සිදුවූයේ ගමේ තරුනයන්ගෙන්ය. මසට හරක් සෑදීම ඕන රටක සිදුවේ. නමුත් පිංගොනා මස් කිරීම බලු නොවටී. එවැනි අයව එකලදී පවා සමාජය විසින් බරපතල දඬුවම්වලට භාජනය කරන ලදි. ගස් බැඳීමද ඉන් එක් අංගයකි. නමුත් රාජ්‍ය සේවකයකු තියා කිසිම මිනිසෙකු ගස් බැඳීම බල්ලන්ටත් නොවටිනා තිරිසන් ක්‍රියාවකි. මුන් ඇමතිවරුය!!!
රත්නසිරීත් මමත් ලහි ලහියේ දැන් සූදානම් වෙන්නේ චිත්‍රපටි බැලීමට හෝ සංගීත සංදර්ශනයක්, වාද බයිලා තරඟයක් ඇත්නම් එතනට ගාල්වී රාත්‍රිය නිදිමරා සිටීමටය. අප වටා තවත් කොලු ගැටව් කිහිප දෙනෙක් සිටියත්, රත්නේ වියදම් කරන්නේ මට පමණකය. ඔහු අත මුදල් ගැවසෙන බව අනිකුත් අය දැන ගන්නවාට ඔහු කැමති නොවීය.
චිත්‍රපට පිළිබඳ කතා කළහොත්, ඒ වයසේදී අපි දෙදෙනා තරම් පිචෑර් බලපු කොල්ලෝ දෙදෙනෙක් අවට නොසිටීහ. සතියකට දින තුනක් හෝ හතරක් මෙය අනිවාර්ය්‍ය. සමහර දිනවල හැන්දෑවේ 6.30 සහ රාත්‍රී 9.30 දර්ශන දෙකම, සිනමාහල් දෙකකට ගොඩවී නරඹන්නෙමු. රත්නසිරිට තිබුණේ පුදුමාකාර පිචැර් පිස්සුවකි. මටද එම රෝගය ගොදුරුවී තිබුණත් මම වාද බයිලා සහ සංගීත සංදර්ශන නැරඹීමට මහත් ඇලුම් කළෙමි. ඉන් වාද බයිලා ප්‍රදානය. නමුත් මූල්‍ය දායකයාට සවන් දීමට සිදුවීම අනිවාර්‍යය. නැත්නම් පිචැරුත් නැත මියුසිකුත් නැත.
මම ඉතා කුඩා කාලයේ තාත්තා සමග ගොස් නැරඹූ එකම සහ පළවෙනි චිත්‍රපටිය HATARI නම් ඉංග්‍රීසි චිත්‍රපටිය විය. එය නැරඹුවේ නුගේගොඩ ගම්සභාහන්දියේ ලැවිනියා සිනමා හළේය. තවමත් මට එම චිත්‍රපටිය මැවී පෙනෙන්නේ, එහි සිටි නළු නිළියන් නිසා හෝ එහි තිබු වීර වික්‍රමයන් නිසා නොව, තාත්තා අරන් දුන් බැදපු කජු පැකට්ටුව සහ අයිසි චොක් එක නිසාය. ඒ අතරතුර බීමට අවශ්‍යනම් ඔරේන්ජ් බාර්ලි බෝතලයක්ද සීට් එක යට විය. තාත්තාද මොනවා මොනවා හෝ බිව් බව දුටු මුත් මට ඒවායේ වගේ වගක් නොවීය. මට ඒවේලාවට අවශ්‍ය දෑ තාත්තා ලබා දී අවසන්ය.
අප දෙදෙනා වඩාත් ළංවූයේ බොහෝ පසුකාලීනව වීම නිසාම, අප ඔහුව නිවැරදිව හඳුනාගෙන ඇත් දැයි මට අප පවුලේ අය සමග සාධාරණ ප්‍රශ්නයක් තිබේ. සත්තකින්ම, තාත්තා ඔහුව තමන් විසින්ම හඳුනාගෙන තිබුණේ ඔහු නිවැරදි බවය. එය පට්ටපල් ආත්ම වංචාවකි. ඒ ඕනෑම කෙනෙක් වරද සඟවාගැනීමට කරන බොරුවය. අප සියල්ලෝම අඩු වැඩි වශයෙන් එසේය. ඒ ගති ලක්ෂණ එන්න එන්නම ඔහු පිළිබිඹු කරමින් සිටියේය. ඔහු පරිත්‍යාග කරගෙන ඇත්තේ ඔහුටමය. ඒ ඔහුගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්ය. ඒ මොනවා වුණත් මම පියකුවූ දින සිට මම නැවත ඔහු ගැන සිතන්නට පටන් ගත්තෙමි. මම පියෙක් වූයේ 1989 දීය. වරදක් නොකරපු මිනිසුන් සෙවීම ඉතා අපහසුය. හමුවූවිට සමාව දීම , අප විසින් මිනිසුන් හැටියට හදා වඩා ගතයුතුම ගුණාංගයක්ය. ඒ කෙසේ වෙතත් හටාරි චිත්‍රපටියේ රඟපෑ ජෝන් වේයින් නම් ඒ රංගවේදියා මට තවමත් මතකය. ඔහු පසුකාලීනවත් රංගනයේ යෙදුණු අති දක්ෂයෙක් විය. මට ජෝන් වේයින්ට වඩා අපේ තාත්තා ගැන හොඳට මතකය.
මගේ ඔමෙගාව නොහොත් අවුල් වන්නට පෙර මෙගාවේ තව කොටසක් මෙසේ ලියා අවසන් කරමි. ලියනවාට වඩා මම, උඹලා ලියන දේ කියවීමට ආශා කරන්නෙක් නිසා අදට මෙය කෙටි කරන්නේ අනිකුත් බ්ලොග් සතියකටත් වඩා කාලයක් කියවීමට බැරිවීම නිසාය. මම ඒ යුගයේ පිචෑර් සහ මියුසික් ගැන ටික දිනකින් ලියන්නෙමි.

No comments:

Post a Comment