Sunday, June 16, 2013

අවුල් වන්නට පෙර (37)…මාදුරුඔය ශ්‍රමදානය

මම නැවතත් ගෙදර බලා පිටත්වුනෙමි. ගෙදරත්,ඒ අවටත් කිසිම වෙනසක් පෙනෙන්නට නැත. සුපුරුදු පරිදි සියල්ල සිදුවූවත් තාත්තාගේ නම් සැබෑ වෙනසක් දකින්නට තිබේ. ඔහුගේ වැඩ කටයුතු කිසිවක් නතරවී නැතිමුත් යම් පරිවර්තනයක් පෙනේ. දැන් ඔහුගේ කාර්යාල මිතුරන්, දේශපාලන මිතුරන් වෙනුවට ඇත්තේ ගමේ මිතුරන්ය. ඒ දිනවල රැකියාවට හැඳ පැළඳගිය මැදපු සුදු කමිස, කලිසම් වෙනුවට අතට අහුවෙන ඇඳුමක් අඳින බවත්, සපත්තු වෙනුවට සෙරෙප්පු ආදේශවී තිබෙන බවත් පෙනේ. මොහු සියල්ලෙන්ම කලකිරී සිටින සේය. අරක්කු වෙනුවට කසිප්පුත්, සිගරට් වෙනුවට බීඩිත් මදි පාඩුවට ඔහුගේ ඇසුරේ ඇතිබවත් දක්නට ලැබේ. එකල සුදුබීඩි නම් වර්ගයක් විය. ඒවා හංවැල්ලට නුදුරු මල්වාන ප්‍රදේශයේ ගෘහස්ථ කරමාන්තයක් ලෙස පැවතිණි. ගමේ සිල්ලරට කසිප්පු විකුණු තැන්වලත් දිනක් හෝ දෙකක් තාත්තාව කවුරුන් හෝ දැක ඇතැයි සීයා පැවසීය. කසිප්පු විකුණුවේ කකුල් දෙකම පෝලියෝ රෝගයට ගොදුරුවූ කෝරළේ නම් මිනිසෙකි. ඔවුන් තාත්තාගේ පෙර සිටම මිතුරන්ය. අසල මළ ගෙයක් සිදුවුවහොත්, කසිප්පු බූලිය කාට හරි කියා ඒ අසලම පඳුරකට මුවා කර තබා ගනී. මහ රාත්‍රියේ ජංගම බාර් එක කෝරළේය. තාත්තා ඉස්සර නම් කීවේ කෝරළේ ශෝකය බෙදන්නේ අශෝක වීදුරුවෙන් කියාය. දැන් තාත්තාද ඒ අශෝක වීදුරුවේම පාරිභෝගිකයෙක්වී අහවරය.
සීයාට නම් මේ අසන්නට ලැබෙන මේ තොරතුරු වහ කදුරු මෙන් තිත්තය. ඔහු සිටියේ කෝපයෙන් හා කනගාටුවෙනි. ප්‍රින්ස් ඔෆ් වේල්ස් කොලිජියේ ඉංග්‍රීසි බසින් ඉගෙණුම ලබා යම්කිසි වැදගත් රැකියාවක් කරන එකෙක් හැසිරෙන්නේ මෙහෙම දැයි සීයා බෙරිහන් දෙයි. අපේ අම්මාටද නැති තැන දොස් කියන්නේ තාත්තාව හදාගත්තේ නැතැයි කියාය. අපේ අම්මාට හදාගන්න ඉලව්වක් ඉතිරිවී තිබුනේ නැත. තාත්තා උපන් නැකතින්ම විනෝදකාමියෙක් වූ බව සැක නැත. මම සීයා සමග පළමුවරට කට ගසා ගත්තේ අම්මාට දොස්කීම නිසා බැව් මට හොඳ හැටි මතකය. ටික වේලාවකින් සීයා කඩයට ගොස් ඔරෙන්ජ් බාර්ලි බෝතලයක් මට බොන්නට සලස්වා, මා අත මුදලක් තැබුවේ අම්මාට දෙන ලෙස දන්වමින්ය. සීයාට මා ගැන හෝ අපේ අම්මා ගැන දුක හිතෙන්නට ඇතිය. වැරද්දක් තිබුනත් තම දරුවා සුද්ධ කිරීම සමහර දෙමව්පියන්ගේ හැටිය. ඒ ආදරයට විය හැකිමුත් ,නිවැරදි නොවේ. අදත් කවුරුන් හෝ අපේ අම්මාට දොසක් කිවහොත් මට ඉවසා සිටීමට හිත ඉඩ නොදේ. ඇය කල කැපවීම් අප හොඳින් දණී.
ලොකු නංගීද පාසල් අධ්‍යාපනයට උනන්දුවක් නැති බව පෙනේ. හතරවැනියාවූ මල්ලී හංවැල්ලේ මායාදුන්න විදුහලේ ඉගෙනුම ලබයි. අප පවුලේ කාගෙත් ආදරය හා අවධානය නිතර ලැබූ පස්වැන්නාවූ නංගි කුඩාකල සිටම ඉතා සියුම් මන්ද මානසික තත්වයකින් පසුවන බව වැටහුණේ ඇය පාසල් යාමට පටන්ගන්නා කාලයට ටික කලකට පෙරය. ඇයව ගමේ පංසලේම තිබු පාසලට ඇතුළත් කළමුත් විවේක කාලයට ලැබෙන විස්කොතුත් රැගෙන එවෙලේම ගෙදර යන බව විදුහල්පතිතුමාද දැන සිටි කාරණයක් විය. ඇයට මේ සඳහා තහංචි නොවීය. ඇය මෙන්ම එවැනි තත්වයේ පසුවූ දැරිවියක් අප අසල නිවසක විය. ඒ ගමේ මැම්බර් රාළහාමිගේ දියණියය. මේ දෙදෙනා ඉතාමත් සමීප මිතුරියන් විය. ඔවුන් දෙදෙනාටම මේ ලෝකය පෙනෙන්නත් දැනෙන්නත් ඇත්තේ එකම විදිහකට විය යුතු යැයි මම සිතමි. හයවැනියාවූ පුංචිම නංගීද හංවැල්ලේ රෝමානු කතෝලික පාසලට ඇතුළුවිය.
දැන් මට අපේම ගෙදරත් දැනෙන්නේ තවත් නවාතැන් පොළක් සේය. පසුගිය වසර කිහිපය තුළ මම ගෙදර නැවතී සිටියානම් ඒ බොහෝම කෙටි කාලයකට පමණි. මම නැවතත් ගෙදර සිට පාසැල් යන්නට පටන් ගතිමි. මේ මගේ නවවැනි නවතැන යැයි කීවාට වරදක් නැත. ගමේ සීයා මට බස් සීසන් එක මිලට ගෙන දුන්නේය. එදා ලංගමයට පින්සිදුවෙන්න සියලුම පාසල් සිසුන් මේ බස් සීසන් ටිකට් එකෙන් උපරිම පළ නෙලූහ. පාසල ඇරී ගෙදර ආ සැණින් යමක් ගිල දමා අප සිටි ඊරියගොල්ලේ නිවසේ සිට සීයාගේ ගෙදරට එක පිම්මට දුවගෙන යාම දිනපතා පුරුද්දක් විය. පොතක් පතක් රැගෙන ගොස් කියවීමටත් පුරුදු විණි. ගැටවර වියේ කොළුවෙකුට තම ජීවිතයේ පළමු ලිංගික අත්දැකීම කිසිදිනෙක අමතක නොවේ. මට ඒ වයසට ලැබිය හැකි උපරිම අත්දැකීම් ලබන්නට අවස්ථාව උදාවිය. ඒ අප සීයාගේ ගෙදරට නුදුරින්ම තිබු නිවසක අප ඥාතියෙක්වූ මට වඩා වැඩිමහල් අවිවාහක සොහොයුරියක් සමගය. මෙය ඇයටද හානියක් නොවූ ප්‍රාථමික ලිංගික ඇසුරක් වුණි. මෙවැනි අවස්ථා ඔය වයසේදි ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ සඳහා ඇති පදම් නිදහස තිබුණේ ඇයගේ නිවසේද හැන්දා වරුවේ කිසිවෙක් ගැවසුණු නැති නිසා යැයි කිව යුතුය. පාසල් ඇරී සුපුරුදු රස්තියාදුවේ මිදි ,පැමිණෙන පළමු බසයේම ගෙදර ඒමට මම යුහුසුළු වුණෙමි. ඒ කිමදැයි කිවයුතු නොවේ. පාරේ රස්තියාදුවට වඩ මට දැන් වෙනත් රස්තියාදුවක් ඇත. ඒ ගැන අටුවා ටිකා ලිවිය යුතු නැත. ඇය දැන් මිත්තණියක් විය යුතුය. යමක් කමක් වැටහෙනා කාලයේම මා ලැබු ඒ අත්දැකීම එලෙසය.
1977 මහා මැතිවරණයෙන් පසු ගාමිණි දිසානායක මහතා මහවැලි විෂයභාර ඇමති විය. මේ වනවිට කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මාදුරුඔය ජලාශය මුල් කරගෙන ප්‍රතිසංස්කරණයන් පටන්ගන්නා යනබවත්, එහි එක් අංගයක් වනුයේ පාසැල් සිසුන්ගේ ශ්‍රම දායකත්වයෙන් එම ප්‍රදේශයේ යෝධ ඇල මාර්ගයක් කැපීමය. මේ සඳහා පාසල් දහයක් හෝ පහළොවක් එකවර සහභාගිවෙන බවත් එක පාසලකින් 40ක් පමණ සිසුන් සිටිය යුතු බවත් ගුරුවරුන් දැන්විය. මේ 1978 වසරයි. ඒ ව්‍යාපෘතිය හා සම්බන්ධ විෂය කරුණු දැන් අමතකවී ඇතත් ඒහි ගොස් ගතකළ සති දෙකකට ආසන්න කාලය නම් ඉතාම සුන්දරය
මේ ශ්‍රමදානය සඳහා කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද, තර්ස්ටන්, ඉසිපතන විදුහල් සහභාගිවූ බව මතක තිබේ. කොළඹ විශ්ව විද්‍යාලයේ කංඩායමක්ද එකතුවිය. පොලොන්නරුව අවට පාසල් කිහිපයක්ද සිටී. රාජකීය විදුහල් කංඩායමට අපේ “වල” පංතියෙන් කිහිපදෙනෙක්ම එකතුවිය. පොත්පත්වලටම ඇලී ගැලී සිටි ඔතෑනි එවුන් හා කොළඹ හතේ ලොකු පවුල්වල උදවියගේ ළමයින් මේවාට එවන්නේ නැත. මෙවැනි ක්‍රියාකාරකම් ගොඩ දාගන්නට වෙන්නේ අප වැනි චාටර් කොල්ලන්ගෙන් බව ගුරුවරුද දනි. අපි කොහොමත් යන්න රෙඩිය. අප කංඩායම භාරව ගුරුවරුන් හතර දෙනෙක්ද, ආහාර පිසීමට හොස්ටල් එකේ සිටි අරක්කැමියන් තිදෙනෙක්ද පැමිණියෝය. එක් ගුරුවරයෙක් වූයේ සමන් අමරසිංහ මහතාය. පාසලේ ආදි සිසුවෙකුද වූ මොහු පසු කාලයක පළමු පෙළේ ක්‍රිකට් විනිසුරෙක්ද විය. මෙවැනිම ආදි සිසුවෙක් ගුරුවරයෙක්දවී පසුව උප විදුහල්පති ධූරයක්ද හෙබවිය. ඒ නම් කාලයකට පෙර අප අතරින් වියෝවූ විජී වීරසිංහ නම්වූ අති කාරුණික ගුරු පියාණන්ය. ලතින් සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයෙක්වූ එතුමා දිවිගෙවූ වසර හැත්තෑවෙන් වසර හැටකට අධික කාලයක් රාජකීය විදුහල් සෙවණේ ගැවසී ඇත. විශ්ව විද්‍යාල ජීවිතයේ වසර හතරින් පසු පාසලේ සේවයට එක්වී ඇත. නිල කාලයෙන් පසු ආදී සිසුන්ගේ ඉල්ලීම මත පාසලේ ආදි සිසු සංගමයේ කාර්යාලයේ අනුශාසක ධූරය දැරීය.
මාදුරුඔය ශ්‍රමදාන කඳවුරේ තාවකාලික පහසුකම් රාශියක් විය. සෞඛ්‍යය, පරිපාලන හා අනිකුත් මූලික පහසුකම් රජය මගින් සපයා තිබුණි. අවශ්‍ය දෑ මිලදී ගැනීමට තාවකාලික සතොස ගබඩාවක්ද මේ කැලය මැද ඉදිකර තිබුණි. අප සති දෙකකට ආසන්න කාලයක් මේ කඳවුරේ ගත කළෙමු. මේ කැපීමට නියමිත ඇල මාර්ගය එක් එක් පාසල්වලට කොටස් ලෙස වෙන්කර තිබුණි. ඒ දින කිහිපය තුළ ඒ නියමිත කොටස කපා සම්පූර්ණ කිරීමට අන් සියල්ලක්ම සමත්වූවත් , රාජකීයයන්ට එය එතරම් ලෙහෙසි නොවීය. එම ඉතිරිවූ කොටස පසු කාලයකදි කවුරුන් හෝ කපා දමන්නට ඇත.
ඒ ගතකළ කාලය අතිශයින්ම සුන්දර දින කිහිපයක් විය. පාසැල් කංඩායම් අතර තේ පැන් සංග්‍රහ, විවිධ ක්‍රියාකාරකම්, විනෝද වැඩ සටහන් අඩුවක් නොවීය. කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු කංඩායමත් සමග අප කිහිප දෙනෙක් ළඟින් ඇසුරු කළේ වෙන කාටත් හොරෙන් සිගරට් ඉරීමටය. අතිශය රහසිගත ලෙස අරක්කු වීදුරුවක් ගංජා උගුරක් නොලැබුණාද නොවේ. වැඩිහිටි සිසුන් ලෙස ඔවුන් එය තෝරා බේරා සප්පායම් වීමටද බලාගති. එම ශ්‍රමදානයට සහභාගිවූ සියලුම සිසුන්ට යම් මුදල් පරිත්‍යාගයක්ද කෙරුණු අතර සහතික පතක්ද ලැබුණු බව මතකය.
අපි සියල්ලෝම නැවත දුම් රියේම කොටුවට පැමිණ නිවෙස් බලා පිටත්වුයෙමු. අප පැමිණි දුම් රියේ බිම වැටී තිබී තවත් මුදල් කවරයක් මට හසුවිය. ඒ අප සමග පැමිණි කොළඹ පාසල්වල සිසුන් අතරින් කාට හෝ ලැබුණු ශ්‍රමදාන පරිත්‍යාගයක්ය. මමත් මගේ මිතුරෙකුත් අයිතිකරු සොයාගැනීමට පොඩි උනන්දුවක් දැක්වූ මුත් පසුව ඒ උත්සාහය අතහැරියේ ඒ වනවිට බොහෝ දෙනෙක් විසිර ගොස් සිටි බැවිනි. මමත් මිතුරාත් මෙය බෙදා ගත්තෙමු. මට ලැබුණු මුදල් ගෙදර ගොස් අම්මාගේ අතට දුන්විට ඇයගේ දෑසින් කඳුළු ගැලූ බව මට මතකය. මගේ දහඩියට ලැබුණු යම් මුදලක් අම්මාගේ අත තැබූ පළමු අවස්ථාව එය විය. එදායින් පසු රැකියාවක් කිරීමට පටන් ගත්දා සිට අදවන තෙක් හැම මාසයකම අපේ අම්මාගෙ අතට මුදලක් දීමට අතපසු නොකෙරුවෙමි. අප පවුලේ සියල්ලන්ම එසේය.
මාදුරුඔය ව්‍යාපෘතිය තුළින් රටට යම්කිසි දායකත්වයක් ලැබෙන්නේ නම් , මමද එම මූලික වැඩකොටස වෙනුවෙන් එක් උදලු පහරකින් හෝ සම්මාදම්වූ එකෙකු බව කීම ආඩම්බරයකි.

No comments:

Post a Comment