Sunday, June 16, 2013

අවුල් වන්නට පෙර…(33)..මා ඉතින් යන්න යනවා

මම වාලුකාරාමයේ නැවතී සිටින කාලයටම අම්මා හෝ තාත්තා ,මා බැලීමට පැමිණියේ තුන් හතර වතාවක් පමණි. මට ඒ ගැන කිසිම අමනාපයක් හෝ විශේෂ උනන්දුවක් නොතිබුණි. අමනාප නොවුයේ නම් ගෙදර ආර්ථික තත්වය ගැන මම කොහොමත් දැනගෙන සිටි බැවින් විය යුතුය. විශේෂ උනන්දුවක් නොවුයේ, කොලු කාලයේ ඊට වඩා උනන්දුවීමට විශේෂිත කාරණා රාශියක් මා වටා එකතුවෙමින් තිබු නිසා බැව් මම දැන් හිතන්නෙමි.
තාත්තා පන්සලට වරක් හෝ දෙවරක් පැමිණියේත් විශාල මල්ලක්ද අත අතැතිවය. ඒ මල්ල පුරවා තිබුණේ පරණ සුදු කමිස, සුදු රෙදිපටි වැනි දේවල් වලින්ය. මොහොතක් කල්පනා කෙරූ පසු මට වැටහුණේ, මේ තාත්තාගේ තවත් දේශපාලන වැඩ කටයුත්තක තවත් එක් අංගයක් මිස අන් කවරක්වත් නොවන බවය. ඔබට මා කියා ඇති පරිදිම මගේ තාත්තා වාමාංශික දේශපාලන අදහස් වලින් පිරි වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙක් විය. ඔහු බාලා තම්පෝගේ ලංකා වෙළඳ සේවක සංගමයේ(CMU)මුල් සාමාජිකයෙක්ව සිටියේය. ඔවුන් ළඟින් ඇසුරු කළෝය. ප්‍රාදේශීය දේශපාලනය තුළ අවිස්සාවේල්ල ආසනයේ සමසමාජ ක්‍රියාකාරෙන්වු චන්ද්‍රා කුමාරගේ, කුලසිරි කුමාරගේ, වාසුදේව නානායක්කාර වැනිවුන් සමග එකව වැඩ කටයුතුවල යෙදුණි. එකල මැතිවරණ වේදිකාවල කථිකයෙක්ද විය. 1977 මැතිවරණය ගැන වෙනම් ලිපියක් ලිවීමට සිතා ගතිමි.
තාත්තා මේ පරණ කමිස මල්ලත් රැගෙන පන්සල් එන්නේ වෙන කුමකටවත් නොව, ඒවා රතුපාටට හුරු පඬුහැලියේ බස්සවා සුදු කමිස රතු කර ගැනීමටය. සුදු රෙදිපටි රතු කර මැයි පෙළපාලියෙ යන තම සහෝදර සගයන්ගේ හිසේ බැඳීමටය. ඒ අපේ තාත්තාගේ හැටිය. ඒ කාලයේ රතු පාටට හුරු පඬු වර්ගයක්ද සිවුරු පැහැ ගැන්වීමට භාවිතා කරන ලදි. මට මතක ඒ යුගයේ, බොහෝ හිමිවරු තම සිවුරුවල සේදිගිය වර්ණයන් නැවත ලබාගත්තේ පඬුහැලියේ ඔබා මිස, වරින්වර අලුතෙන් මිලදී ගැනීමෙන් නොවේ. ඒ සඳහා ශිෂ්‍ය භීක්ෂූන්ට ඇති තරම් මුදල් හදල්ද නොවීය.පිරිකර ලෙස ලැබුණු යමක් වී නම් ඒ පමණි. අදනම් සමහර ඉටිරූප සාදුලාගේ සිවුරක් මිලදී ගැනීමට යන මුදලින් ගමේ දුෂ්කර විහාර්ස්ථානයක් පිළිසකර කරගත හැකිය. මේවා ගැන ලිවීමෙන් පලක් නැත. මාස දෙකකට වරක් පමණ එක් මුස්ලිම් මිනිසෙක් පනසලට පැමිණේ. බයිසිකලයක ලී පෙට්ටියක් බැඳගත් මොහු එන්නේ මරදාන පැත්තේ සිටය. මේ කාලය ඇතුළත පන්සලේ සිටිනා හිමිවරුන්ට පිරිකර ලෙස ලැබෙනා දෙයින් පමණටත් වඩා ඇති සබන්, දත්බෙහෙත්,පිටිකිරි ,තුවා ආදී දේ ඇත්නම් මොහු මිලදී ගනි. සිවුරු, අටපිරිකරද මේ ලැයිස්තුවට ඇතුළත්ය. මෙය ක්‍රමයේ ඇති කිසිම වරදක් මට නොපෙනේ. තේ එකක් බුලත්විටක් සප්පායම්වී ඔහු පිටව යයි. කාටවත් කරදරයක් නැති මේ නිහතමානී මුසල්මානුවා ඒවා රැගෙන ගොස් මරදානේ අටපිරිකර කඩවලට දී නැවත මුදල් කරගනි.
මේ පන්සලේ සිටිනා යුගයේ මට ගලබොඩ පොඩි සාධු නම්වූ ගංගාරාමයේ නායක හිමියන් වරක් හමුවිය. ඒ ආනන්ද හිමියන් හමුවීමට පැමිණි දිනයකය. ගංගාරාමයේ සීමා මාලකය ඉදිවෙමින් පැවතියේ මේ අවදියේය. වාලුකාරාමයේ බණ මඩුවේ පිරිත් මංඩපය යට සුරක්ෂිත ගබඩාවක, පෞරාණික සහ ඉතා වටිනා යැයි සිතිය හැකි තිරිවානා බුදු පිළිමයක් විය. එය ලා කොළ පැහැයට හුරුබවත් මතකය. මමත් ප්‍රේමදාසත්, බන්දුත් ඔය පිළිමය අර යට ගබඩාවෙන් එළියට ගෙන පොඩි සාධුගේ මෝටර් රථයට පටවා දුනි. පසුව එය බේරේ වැවේ සීමාමාලකයේ තැන්පත් කර තිබුණි. පන්සල් යෑමට වැඩි කැමැත්තක් නොදක්වන මම ඉන් බොහෝ කාලයකට පසු වැඩිහිටියකු ලස සීමාමාලකය නැරඹීමට ගියෙමි. මට ඔය කිවූ බුදුපිළිමය තුළින් වාලුකාරාමයත්, ආනන්ද හිමියනුත් නැවත සිහියට නැගුණි.
ඒ කෙසේ වෙතත් වාළුකාරාමය පන්සලේ පෙරහැර රාජකාරී අවසන්වූ පසු වාර්ෂික දෙවොල්මඩු සහ ගිනිපෑගීමේ උත්සවය පවත්වයි. මෙහි ප්‍රධාන සංවිධායක කටයුතු කළේ දසනායක කපුමහතාගේ මූලිකත්වයෙනි. දෙවොල් මඩුවේ සහ ගිනිපෑගීමේ කටයුතුවල සංස්කෘතිමය වැඩ කොටස පැවරෙන්නේ ඉතාමත් ප්‍රසිද්ධ කපු පරම්පරාවකින් පැවත එන ඇරැව්වල කපු මහතාටය. ඇරැව්වල කපු මහතා නියම පොරකි. විහිළුවෙන් තහලුවෙන් කල්ගත කිරීමට කැමති, හීනියට අඩියක් පුඩියක් ගහන මොහු නායක හිමියන්ගේ කිට්ටුම හිතවතෙකි. ඇරැව්වල නන්දිමිත්‍ර නම් ප්‍රවීණ ලේඛකයා කපුමහත්තයාගේ සොයුරෙකි. මේ ඇරැව්වල කපු මහතා අති දක්ෂ නැටුම් ශිල්පියෙක් විය. පත්තිනි සළඹ නැටුමට පත්තිනි අම්මා ලෙස හැඩගැන්වූ විට ගැහැනියකට සමානය. ඇරැව්වල කපු මහතා සහ උසාවි නඩු කටයුත්තකටත් මේ පත්තිනි ඇඳුමේ කතාව ඈඳී තිබූ මුත් මතකය හරියටම නිවැරදි නැති නිසා ලියා තැබිය නොහැක. මෙය පුවත් පත් වලත් පළවූ බවත් මතක්වේ. ගරා යකා නැටුමටද උපන් හපනෙක් විය. ගොරොක් අතු දෙකේ අට්ටාලය මත නැග ඔහු දොඩනා කටවාචාල කථා ඇසීමට ගැහැණුන්ද බොහෝ කැමති විය. නායක හාමොදුරුවෝ ළඟපාත ඉන්නවා නම් වැඩේ තවත් උණුසුම්ය
ගිනිපෑගීමේ අවස්ථාවද අවට බොහෝ මිනිසුන්ගේ සිත් දිනාගත් අංගයක් විය. විශාල පන්සල් භූමියේ දේවාලය ඉදිරිපසින් ගිනිමැලය දල්වයි. ගිනිපෑගීමේ දවසේ මුලු කාලයම පුරා අර මෑණියෝ නම් සිටින්නේ බොහෝ චකිතයෙනි. ඒ බව පන්සලේ කවුරුත් දනී. ගිනි මත ඇවිදීම විද්‍යාත්මකව සිදුකළ හැකි බව හේතුවාදීන් පවසති. එය දේව භක්තියෙන් පේවී කළයුතු බලගතු ක්‍රියාවක් බව අනිකුන් තර්ක කරති. මම හේතුවාදින්ගේ අදහසට වඩාත් නැඹුරුවෙමි. ගිනි පෑගීමට නොයෙකුත් ආරූඪ කාරයෝ මෙදිනට පන්සලට පැමිණෙති. හේතුවාදියෙක්වත්, හරිහමන් දේව භක්තියෙක්වත් නොවනා පන්සලේ දේව මෑණියෝද එහෙන් මෙහෙන් කොහොම හරි ගිණිමැලයේ ඒ කෙළවරින් මේ කෙළවරට අඩියට දෙකට පැන ගනී. යටි පතුලක් පිළිස්සී දිය පට්ටා ආ සිද්ධියක්ද මට හොඳ හැටි මතකය.
ආනන්ද හාමුදුරුවෝ, ලංකාවේ සිටි දඹදිව වන්දනා සංවිධායකයින් අතර පුරෝගාමි චරිතයකි. වසරකට වරක් හෝ දෙවරක් වන්දනා නඩයක් රැගෙන දඹදිව යෑම ආනන්ද හිමියන්ගේ සිරිත විය. මෙය බොහෝ ආදායම් ගෙන දෙනා මාර්ගයක් සේම ඉතා වගකීමක් ඇති වැඩ පිළිවෙළකි. දන්නා හඳුනන අයගේ කටින් කට පණිවිඩ සහ පුවත්වත්වල පළකළ කුඩා දැන්වීම් හරහාද දිවයිනේ නොයෙකුත් පළාත්වල මිනිසුන් හාමුදුරුවන් සොයා පන්සලට පැමිණෙති. අන් සියලුම නේවාසික භික්ෂුන් හා ගිහි අයට වඩා ඉංග්‍රීසි භාෂාවේ හැකියාව යම්තාක් දුරට පිහිටා තිබුණ නිසා මේ එන අයගේ හදිසි ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් පත් පිරවීම සහ අනිකුත් ලිය කියවිලි වල වැඩ කටයුතු කොටසක් මටත් පවරා තිබුණි. මම ඒ සියල්ල මැනවින් ඉටුකර දීමට සමත්විය. එක් වන්දනා වාරයක් අතරතුර දඹදිවදී එක් වැඩිහිටි කාන්තාවක් මියගිය සිද්ධියක් සමගම මේ දඹදිව වන්දනා සංවිධානය කිරීමෙන් ඉවත්වීමට සුදානම් බව නායක හිමියන් පැවසූ මුත්, ඉන්පසු කුමකින් කුමක් වූවා දැයි මම නොදන්නේ, මටත් පන්සලෙන් පිටවී යන්නට සිදුවූ නිසාය. මෙයට හේතුවත් වූයේ අනුන්ගේ හොර මගුල්වලට උදව් කිරීමට යෑමෙන්ය.
පන්සලේ රියැදුරු තැන වූයේ කඩවසම් පුද්ගලයෙක්වූ ගාල්ල පැත්තෙන් පැමිණි සෝමපාල අයියාය. ඒ වනවිට අවිවාහකයකුවූ ඔහුට, වැඩිමහල් ඥාති නැන්දනියක් හා අනියම් සම්බන්ධතාවයක් තිබුණා යැයි මා හට කියා තිබුණි. ඇය පදිංචිව සිටියේ පාදුක්ක හෝ දොම්පේ ප්‍රදේශයේ බව මට යාන්තමට මතකය. සෝමපාල අයියා නියම ජොලි පොරකි. ගැටවරයෙක් සහ විනෝදයට බරවු මා වැනි වයසේ වුන්ට මෙවැනි අයගේ කතා අසා සිටීමත්, ඒ ඒ දඩබ්බර ක්‍රියාවන් තමන්ගේ කරගැනීමටත් තිබුණේ මහත් උනන්දුවකි. සෝමපාල අයියා පන්සලේ කා අතරත් ජනප්‍රියවුණේ ඔවැනි වැඩ සහ කතා නිසාය. සිගරට් එක උරන්නේත්, ඇවිදින්නේත් එක්තරා රටාවකටය. සුදු සරම පැත්තට ව්න්න පොට හිටින්නට අඳින්නේත් අනිකුත් අයට වඩා කැපී පෙනෙන්නට විය යුතුය. ඇඟේ ඉණ පැත්තට සරමේ පොට ඇදෙන්නට තබා ඇඳීම එකල විලාසිතාවක් විය. සිදු කමිසය, සරමට යටකර අඳිනා මොහු තද කළු බඳ පටියක්ද ඊට උඩින් පලඳී. පන්සලේ මෑණියන්ගේ පවුලේ විවාහක ගැහැණු කෙනෙකු සමගත් එහා මෙහා වීමක් ඇති බවත් මට කියා ඇත. ඒ උකුළු මුකුළුවත් මම සියැසින් දැක ඇත. මම මේ සිද්ධිය දුටුවේ මොහු සමග මෑණියන්ගේ වැඩ කටයුතු සඳහා ඇයගේ නිවසට ගොඩවදින බැවින්ය. ඔවුන් පදිංචිව සිටියේ කිරුලපන පුස්තකාලය අසලින් ඇති පාරේ මහජන ක්‍රීඩාංගනයට යාබද නිවසකය. ජීවන් කුමාරතුංග විවාහ වෙන්නට පෙර පෙම්වතිය ෂෙරීන් බලන්නට එන්නේ ඔය පාරේම ඇයගේ නිවසටය. ජීවන් සතුව යමහා වර්ගයේ කුඩා මෝටර් සයිකලයක් විය. දක්ෂ ගිටාර් වාදකයෙක්වූ උපාලි සන්නස්ගල පදිංචිව සිටියේ මෑණියන්ගේ ගේ ඉදිරිපිටමය. උපාලිගේ සොහොයුරු විමල් සන්නස්ගල විවාහවූයේ මගේ පන්තියෙ මිතුරෙක්ගේ අක්කා සමග බැවින් මට මේ දේවල් හොඳ හැටි මතකය. ලේක් හවුසියෙ ක්‍රීඩා හා සමාජසේවා කටයුතුවලදී මුල් තැනක් ගෙන වැඩ කටයුතුකල විමල් අයියා දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් මෙන්ම ටේබල් ටෙනිස් ක්‍රීඩාවෙනුත් ලේක් හවුසියට ගෞරවය ලබා දුන් කෙනෙක් විය. මේ අයියා මලෝ දෙදෙනාම ඉතා කඩවසම් තරුණයින් විය.
නායක හිමියන්, මෑණියන් ඇතුළු ඒ කංඩායම දඹදිව වන්දනා ගිය සමයක සෝමපාල අයියා, උපතිස්ස හාමුදුරුවන්ටත් දන්වා පන්සලේ මෝටර් රථයෙන් දොම්පේ හෝ පාදුක්කේ හොර මගුලේ යන්නට මාවත් සහභාගි කරවා ගත්තේ ස්ත්‍රී නිමිත්තක් පෙන්වන පොරොන්දුව මතය. ඒ පොරොන්දුව ඉටු නොවුණා සේම, මට සිදුවූයේ කවුරුත් නැති පාළු තැනක නැවැත්වූ කාර් එක ඇතුළටවී පැය භාගයකට අධික කාලයක් ගත කිරීමටය. කෙසේ හෝ වේවා මේ ගමන එතරම් සුබ ගමනක් නොවන බව පන්සලේ ජේමිස් අයියාත් තවත් අයගේත් කසුකුසුවලින් පැහැදිලි විය. වැඩේ හරියටම හරිය. නායක හිමියන් පැමිණි පසු, සියල්ල ආරංචිවී හමාරය. එය කෙසේ වූවා දැයි මම නොදනිමි. මට එල්ලවූ චෝදනාව වූයේ නුගේගොඩට යනවා කියා ලබාගත් මෝටර් රථය වෙන කොහේ හෝ ගොස් පරක්කුවී පැමිණීමට හේතු දක්වා නොතිබීමය. මම එදාත් අදත් හොරෙන් යමක් කරානම් එල්ලා ගැසුවත් කියන්නේ නම් නැතිය. පාවාදීම මට හුරු නැති කාරියක් විය. සෝමපාල අයියාව රැකියාවෙන් පහ කෙරුණි. මට පෙන්නපු නැන්දාගේ ස්ත්‍රී නිමිත්තත්කුත් නැත. මට දැන් ඉන්න හිටින්න තැනකුත් නැත. මේවා හොඳ පාඩම්ය.
කරුණු විමසා සිටීමෙන් පසු, කාගේ අත හෝ පණිවිඩයක් යවා අපේ අම්මා පන්සලට කැඳවා මා නැවත රගෙන යාමට පවරන ලදි. ඒ මා පන්සලේ ගත කල අවසාන දිනය විය. මම සියල්ලන්ටම සමුදුන් අතර, අම්මාත් මමත් නැවත කොහේ යන්නේ දැයි සිතුවිල්ල තුළ අතරමං වුණි. මගේ පළමු නවාතැනවූ නැන්දලාගේ ගෙදරින් පිටව යන දවසේත් අම්මාත්, මමත් මෙසේම තනිවිය. එදා මම කුඩා එකෙක් බැවින් ඉදිරි පියවරයන් ගැන හැඟීමක් නොතිබුණු නමුත්, මෙදා මම ඊළඟට ගන්නා පියවර ගැන හැම මිනිත්තුවකම සිතන්නට පටන් ගත්තෙමි.
පසුව හමුවෙමු…

No comments:

Post a Comment